Tuesday 5 July 2022

ජැක්සන් ඇන්තනිගේ අනතුර නිසා සිහියට ආ “අලි” අත්දැකීමක් - A near miss wild-elephant experience




ජැක්සන් ඇන්තනි සහ තවත් පිරිසක් ගමන් කළ වාහනය පාර හරහා පනිමින් සිටි අලියෙකු හා ගැටීම සම්බන්ධ ප්‍රවෘත්තිය සහ ඒ පිළිබඳ ඇතිවෙන සමාජජාල සාකච්ඡා දැක මා ලැබූ පැරණි අත්දැකීමක් සිහිවිය.

මෙය සිදු වූයේ මීට වසර තිහකට පමණ පෙර සමයකයි.

අපේ හොඳම මිතුරෙකුගේ විවාහ මංගල උත්සවය යෙදී තිබුණු දිනට පෙර දින සවස් යාමයේ එයට සහභාගි වීමට කොළඹ සිට පොළොන්නරුව කරා යන තවත් හොඳම මිතුරෙකුගේ මෝටර් රථයට මටත් පෙර පිනකට මෙන් ගොඩවීමට ඉඩ ලැබුණි.

පෙර පිනකට කියා කිව්වේ විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයෙකු ලෙස රුපියල් හාරදාහකින් පමණ ගත කරන තනිකඩ ජීවිතයේ බර වැඩිවීමට තුඩුදිය හැකි වූ කොළඹ සිට පොළොන්නරුවට බස් ගාස්තුව එයින් ඉතුරු වුණු නිසා ය. මෝටර් රථය හිමි මිතුරා හොඳම මිතුරෙකු වන්නේ ඒ කළ උපකාරය නිසා ය.

මුල් මිතුරා හොඳම මිතුරෙකු වන්නේ ඔහුගේ මංගල උත්සවයට මට ආරාධනා කළ නිසා ය. මාසේ පඩියෙන් දිවි ගෙවන අයට හොඳම මිතුරන්ට වඩා වැඩි පිරිසකට ආරාධනා කළ නොහැකි බව අමුතුවෙන් කිව යුතු නැත. ඊට වසරකට පමණ පසු මා ද එය අත්දුටුවෙමි. මට ආරාධනා කළ හැකි වූයේ කොළඹ අවට සිටින මිතුරන් කීප දෙනෙකුට පමණි.

මගේ මතකයට අනුව, මෝටර් රථය පැදවූ මගේ මිතුරාට නම් එය ලැබී තිබුණේ ඔහු එවකට සේවය කළ පුද්ගලික අංශයේ සමාගමෙනි. ඒ රැකියාවට ඒමට, යාමට සහ පුද්ගලික ගමන් යාම සඳහා වූ පඩියට අමතර වරප්‍රසාදයක් ලෙසිනි.

වාහනය පැදවූයේ මෝටර් රථයේ භාරකාරීත්වය තිබූ මිතුරා වූ අතර අපේ තවත් හොඳම මිතුරෙකු ඉදිරිපස මගේ ආසනේ වාඩි වී සිටියේ ය. (මට හොඳම මිතුරන් විශාල සංඛ්‍යාවක් ඇති බව මෙය කියවන අයට දැන් තේරුම් යා යුතු ය!)

පසුපස අසුන් තුනේ සිටියේ මාත්, මිතුරා ගේ බිරියත්, ඇගේ උකුලේ ඔවුන්ගේ කුඩා අතදරු දියණියත්, තවත් කුඩා ළමයෙකුත් ය.

හවස් වරුවේ කොළඹින් පිටත් වූ අපේ අරමුණ වූයේ රාත්‍රී ආහාරය වන විට පොළොන්නරුවට ළඟා වීමයි.

හබරණ පසුකර අප පොළොන්නරුව දෙසට ගමන් අරඹන විට හතර වටින් හොඳටම කළුවර වී තිබුණි. එක්වරම මීටර් දහයක් පමණ ඉදිරියෙන් අපට පෙනුණ වන අලියෙකු (ඒ කාලයේ භාවිතයට අනුව වල් අලියෙකු) පාර අයිනේ සිටින බවයි. මෝටර් රථයේ ලාම්පුවේ එළිය නිසාදෝ ඌ නැවතී රථය දෙස බලාගෙන සිටින බවක් පෙනුණි.

වාහනයේ ඉදිරිපස මගී අසුනේ සිටි මිතුරා පොළොන්නරුව මාර්ගයේ රාත්‍රියේ ගමන් බිමන් කර ඇති “ගමේ කොල්ලෙකු” වූ නිසා ඔහු මේ අලියාගේ දර්ශනයෙන් පුදුමයට පත් වූ හෝ බියපත් වූ බවක් නොපෙනුණි. එසේ වුව ද, වාහනය පැදවූ මිතුරාට නම් මෙය කලින් මුහුණ දී නොතිබුණු තත්වයක් විය. එනිසා ඔහු, වාහනය මෙතැන් සිට පදවන් මෙන් “ගමේ කොල්ලා”ගෙන් ඉල්ලා සිටියේ ය.

ඉතිං, මගේ මේ හොඳම මිතුරන් දෙදෙනා කළේ දොරවල් ඇර එළියට බැස, වාහනේ ඉදිරිපසින් ගොස් අනිත් දොරෙන් ඇතුළට වී නැවතත් අසුන් ගැනීමයි.

වන අලියා තවමත් ඉදිරියෙන් සිටින බව වාහනයේ ලාම්පු එළියට පෙනෙන නිසා ඉදිරියට යාමට නොහැකි හෙයින් දැන් රියදුරු අසුනට පැමිණි මිත්‍රයා තීරණය කළේ වාහනය මේ වන විට නැවතී තිබුණු තැනින් තරමක් පිටුපසට ගැනීමයි.

එසේ පිටුපසට යත්ම, වාහනයේ ලාම්පුවේ එළියෙන් අපිට පෙනී ගියේ අර මුලින් වාහනය නවතා දෙදෙනා මාරු වුණු ස්ථානයේ ද පාර අසල අලි රාශියක්ම සිට ඇති බවයි!

ඉදිරිපස මාර්ගය පමණක් ලාම්පු එළියට පෙනෙන අතර, මීටර් දහයක් පමණ ඉදිරියෙන් සිටි “තනි අලියා” දෙස බලමින්, ඔවුන් දෙදෙනා ආසන මාරු කර ගැනීමට එළියට බැස කට්ට කරුවලේ ඇවිද ගොස් ඇත්තේ අප සිටියේ අලි රංචුවක් මැද බව නොදැන ය.

මද වේලාවකට පසු අලි රංචුව වනයේ පාරේ එක් පසෙක වන රොදට වැදී නොපෙනී ගියහ.

අපි නැවත ගමන ආරම්භ කර නිරුපද්‍රිතව ගමනාන්තයට ගියෙමු.

-රසික සූරියආරච්චි

ප/ලි: ජැක්සන් ඇන්තනි හා (යාන්තමට හෝ) සම්බන්ධ වෙනත් මා ලියූ ලිපි.

1. ජැක්සන් ඇන්තනි අයියේ, තාත්තා මට ගැහැව්වෝ..! - A chapter from my dramatic life
https://rasikalogy.blogspot.com/2016/04/chapter-from-my-dramatic-life.html


2. ජැක්සන් ඇන්තනි රඟ පෑ නාට්‍යයක් (චූට්ටක් විතර) කොපි කළෙමි - Rasika Suriyaarachchi, the dramatist, director and actor, confesses...!
https://rasikalogy.blogspot.com/2016/10/rasika-suriyaarachchi-dramatist.html


3. ජැක්සන් ඇන්තනි ගේ හිස්-ස්ටෝරිය! - Jackson Anthony is history!
https://rasikalogy.blogspot.com/2015/12/jackson-anthony-is-history.html


4. ඇඩ්‍රස් නැති වුණා යැයි කියවුණු රූපවාහිනී සාකච්ඡාවේ දී ජැක්සන් කළ පැහැදිලි කිරීමේ ඇත්ත නැත්ත - In defence of Jackson Anthony
https://rasikalogy.blogspot.com/2015/11/in-defence-of-jackson-anthony.html


5. සිංහල කලාකරුවන් පිරිසක් නලාකරුවන් වීම නිසා අපට ඇතිවෙන වාසි! - Artistes and Artists Vs Henchmen
https://rasikalogy.blogspot.com/2015/04/artistes-and-artists-vs-henchmen.html


(Video: ජැක්සන් ඇන්තනි මුහුණ දුන් අනතුර දැක්වෙන බව කියවෙන සමාජජාලාවල සංචරණය වන වීඩියෝවකි.)

10 comments:

  1. හෙහ්..හෙ. 😄😄 මරු වැඩේ වෙලා තියෙන්නෙ

    ReplyDelete
  2. "කොළඹ සිට පෝන්නරුව"

    පෝන්නරුව ලෙස ගමක් මා නම් අසා නැත ! පොළොන්නරුව විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. 🙂
      පෝන්නරුව තියෙන්නේ ඔටුව, පිටෝටුව හරියේ!

      (වොයිස් ටයිපින් වරදක්. සංස්කරණයේ දී මග හැරී ඇත. ස්තුතියි. නිවැරදි කළා!)

      Delete
  3. 'හොඳම මිතුරෙකුගේ මෝටර් රථයට මටත් පෙර පිනකට මෙන් ගොඩවීමට ඉඩ ලැබුණි.'

    පෙර පින මනිනා ආකාරය කෙසේද? එසේ නම් රසිකට අනුව පයින් දාඩිය පෙරාගෙන යන්නේ පින් අඩු අය විය යුතුය.

    ReplyDelete
    Replies
    1. පින මනින්නේ ඉතුරු වෙන බස් ගාස්තුවෙනි.
      පයින් යන විට ද, බස් ගාස්තු ඉතුරු වෙන නිසා පින් ඇත.

      Delete
  4. අලි රැකෙනවාය. අපිද රැකෙනවාය. සිරසද රැකෙනවාය.. ජැක්සන් සැමදා දිණුම්ය....

    අලින්ට සුබ අනාගතයක්ය...!!!

    ReplyDelete
  5. මාරු කරන්නට තිබ්බේ කාර් එක
    එහෙම නොකළ එක ගැනමයි හිතට දුක
    ඩ්‍රයිවර් මාරු කරලත් වැඩ වෙයිද සැක
    සිරිලක්වාසි අප ගැනමයි අපට දුක!

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.