Tuesday, 9 May 2023

කටුනායක ගුවතොටුපළේ වැසිකිලියක කතාවක් - When do we learn?


මේ විස්තර කරන්නට යන අත්දැකීම මා ලැබුවේ පසුගිය වසරේ එනම් 2022 අප්‍රේල් මාසයේ දී ය.

කෝවිඩ් වසංගතය නිසා සෑම රටකම පාහේ පනවන ලද විවිධ ගමනාගමන තහංචි නිසා ඉන්ටර්නෙට් එක හරහා පමණක් මවගේ දුක සැප සොයා බලමින් සිටි මම එවර ලංකාවට පැමිණියේ හරියටම අවුරුදු දෙකයි මාස හයකට පසුව ය.

එක එල්ලේ පැය 18 ක පමණ කාලයක්, (නිවසේ සිට ගුවන්තොටුපලට යෑමට ගතවූ කාලය, ගුවන්තොටුපොළේ ගත කළ කාලය, ගුවන් ගමන සඳහා ගත වූ කාලය සහ කටුනායක සිට නිවසට කුලී රථයෙන් යාමට ගත වූ කාලය) මුව ආවරණයක් පැළඳ සිටීමේ බරපතල අත්දැකීම ද මම එදින ලැබූවෙමි.

එයින් සති දෙකකට පමණ පසු මම ආපසු නිවෙස කරා යාමට කටුනායක ගුවන්තොටුපලට පැමිණියෙමි. ගුවන් සමාගමේ "චෙකින්" කවුන්ටරයේ වැඩ කටයුතු නිමවා අත්මල්ල ද රැගෙන ඊළඟට නියමිත ආගමන විගමන කවුන්ටරය වෙත යන අතරතුර මම පහළ තට්ටුවේ ම තිබෙන වැසිකිළිය වෙත පිය නැගුවෙමි.

ලංකාවේ ගුවන්තොටුපලේ වැසිකිළිවල ඇති සුවිශේෂී ලක්ෂණයක් නම් ඒ හැම එකකටම එක් කම්කරුවෙකු බැගින් අනුයුක්ත කර සිටීමයි. වැඩිපුර සෙනග නොගැවසෙන සිල්ලර කඩ පේළිය කඩ කාමර ඉදිරිපිට එහි අයිතිකරුවන් පාරිභෝගිකයින් එනතුරු බලා සිටින පරිදි වැසිකිළියේ දොර ඉදිරිපිටට වී මුත්‍රා බර හෝ කක්කා බර සැදුණු අයෙකු එහි පැමිණෙන තුරු බලා සිටීම ඔවුන්ගේ සිරිත වේ.

යමෙකු පැමිණි වහාම ඔවුන් කරන්නේ ඒ පුද්ගලයා පිටුපසින් වැසිකිළි ප්‍රදේශය ඇතුළට පැමිණ එක්කෝ පොළොව මොප් කිරීම වැනි වැඩක් කිරීමයි එසේ නොමැති නම් එවැනි වැඩක් කරන බව පෙන්වීමයි.

එදා මා පිවිසුණු ඒ වැසිකිළියේ දොරකඩ සිටි සනිපාරක්ෂක කම්කරුවා ද පෙර කී තිර රචනය අනුවම හැසිරෙමින් මා පිටුපසින් ඇතුළට පැමිණ කොස්සක් වැනි උපකරණයක් රැගෙන පොළොව පිරිමදින්නට පටන් ගත්තේ ය.

මගේ කර්තව්‍යය නිමවූ පසු මා කළේ සුපුරුදු පරිදි දෑත සෝදා ගෙන එය වියළා ගැනීම සඳහා වැසිකිළියේ සවිකර තිබෙන උපකරණය වෙත යෑමයි.

එවිටම මා ඉදිරියේ ප්‍රාදුර්භූත වූ වැසිකිළි කඩේ අයිතිකරුවා කළේ තමන්ගේ අතක් නිල ඇඳුමේ ඉදිරිපස පොකැට්ටුවට යවා එයින් ටිෂූ කොළයක් ගෙන "සෑර්, ටිෂූ, ටිෂූ" කියමින් මා වෙතට දිගු කිරීමයි.

මම පුදුමයෙන් පුදුමයට පත් වුණෙමි.

ඒ මක්නිසා ද යත් මේ අප කතා කරන්නේ, දවසට කිහිප වරක් විෂබීජ නාශක දියර යොදා අත සෝදන, මුව ආවරණ පළඳින, හැකි තාක් අතේ දුරින් සිටින කෝවිඩ් සමයේ දී, නිරාවරණය වූ දෑතින් කොස්සක් රැගෙන පොළොව මදිමින් සිටින අයෙකු එම අතින් ම තමන්ගේ කිලිටි නිල ඇඳුමේ සාක්කුවක දෙකට නවා සඟවා ගෙන සිටි ටිෂූ කොළයක්, තත්පර කිහිපයකට පෙර සබන් යොදා අත සේදූ අයෙකුගේ අත පිස දැමීමට ලබා දීම ගැන වීමයි.

විශේෂයෙන්ම රාත්‍රී ගුවන් ගමන්වල දී ගුවන් යානය තුළ දැනෙන අධික ශීතල නිසා මා සාමාන්‍යයෙන් ගුවන් ගමන් සඳහා කබායකින් සැරසෙමි. මේ සේවකයා මා ඇමතූ ආකාරයට ඔහු සමහර විට (ඉන්දියානු වැනි) විදේශීය සංචාරකයෙකු යැයි මට රැවටී ඇති බවට සැකයක් මට ඇතිවුණි. කොහොමටත් මෙවැනි අයෙකු ශත දහයක ටිෂූ එකක් දී රුපියල් සීයක පමණ ටිප් එකක් ලබා ගන්නට උත්සාහයක් දරන්නේ විදේශීය සංචාරකයින්ගෙන් බව සැකයක් නැත.

එනිසා මා කළේ ඒ සැකයේ වාසිය ලබාගෙන, කටට සුද්ද සිංහල වචන කීපය පිට නොකර "නෝ, නෝ" වැනි ශබ්දයක් නගමින් මේ පුද්ගලයාට රවා බලා එතනින් පිටත් වීමයි.

ඔහුට පිටුපා ගමන් කරන මගේ මුහුණට කෝපය මැද්දේ සිනහවක් ද නැගුණි.

ඒ, අපේක්ෂා භංගත්වයට පත් වූ වැසිකිළි අයිතිකරුවා පෙර කී ටිෂූ කොළය තම සාක්කුව තුළට යළිත් ඔබා ගනිමින් ගී පදයක් මුමුණන්නට පටන් ගත් නිසා ය.

"මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ"

-රසික සූරියආරච්චි

4 comments:

  1. මේ විස්තර කරන්නට යන අත්දැකීම මා ලැබුවේ පසුගිය වසරේ එනම් 2002 අප්‍රේල් මාසයේ දී ය.//
    රසික මහත්මයා කොවිඩ් 2002 දි තිබුනේ නැත මෙන්ම පසුගිය වසරද 2002 ද නොවේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, නිවැරදි කළා.

      මෙය වොයිස් ටයිපින් කරද්දී සිදු වූ, සංස්කරණයේ දී මග ගැරී ගිය වරදකි.

      නැවතත් ස්තුතියි.

      Delete
  2. පුක පිහිදාන්නත් මිනිහගෙන්ද දන්නෑ ටිෂූ ගන්න ඕන ඉඳගෙන.

    පුක* යනු කුණුහරුපයක් නොවේ. (ක.කා.)

    ReplyDelete
  3. ඕක හොඳයි, රසික මහත්තයෝ.මහරගම ටෙලිකොම් ඔෆීසියට තවමත් වැද්ද ගන්නේ mask දාගත්ත අයව විතරයි, අවුරුදු ගණනාවක් තිස්සේ! නීතිය අයින් කලාට පස්සෙත්!

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.