Wednesday, 10 May 2023

රත්මලානේ සිට පලාලි දක්වා ගුවනින් ගිය ගමනක් - ‍My first flight


මේ සටහන මගේ පළමුවෙනි ගුවන් ගමන ගැනයි.

පාසල් ගුරුවරයකු වූ මගේ පියාට රජයේ සේවකයින්ට හිමි වන දුම්රිය ගමන් බලපත්‍ර වරප්‍රසාදය හෙවත් රේල්වේ වොරන්ට්ස් තිබුණු අතර ඒවා උපයෝගී කරගෙන අප අනුරාධපුරය, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, බදුල්ල, මාතර යන දුම්රිය ස්ථාන පිහිටි ප්‍රදේශ කරා චාරිකා කර ඇත්තෙමු.

එවැනි රේල්වේ වොරන්ට්ස් දෙකක් පමණ උපයෝගී කරගෙන එවකට පැවති එව Air Ceylon ගුවන් සේවයේ යානයකින් අපට යාපනය (පලාලි) බලා යාමට හැකි වූ අතර ඒ ගමනේ දී තාත්තා හා ගුරු සේවයේ යෙදෙනු මිතුරන් දෙදෙනකුගේ දරු පවුල් ද අපේ කණ්ඩායමට ඇතුළත් වූහ.

මෙම අභ්‍යන්තර ගුවන් ගමන රත්මලාන ගුවන් තොටුපළෙන් ඇරඹෙන්නේ උදෑසන හතටත් පෙර නිසා, අප එවකට පදිංචිව සිටි ගනේමුල්ල ප්‍රදේශයේ සිට එදින උදෑසනින් එහි යාම අසීරු කරුණක් විය. හොඳ වෙලාවට අපේ එක් පුංචි අම්මා සහ බාප්පා යුවලක් ඒ දිනවල රත්මලානේ පදිංචිව සිටියහ. එනිසා අප කළේ ඊට පෙර දින එහි ගොස් රාත්‍රිය ගතකර පසුව දා උදෑසන ම අවදිව ලකලැහැස්ති වී ගුවන්තොටුපළ කරා යාමයි.

ගුවන් ගමන පිළිබඳව වැඩි විස්තරයක් මගේ මතකයේ නැත. තමන්ගේ ආසන අංකය වූයේ A1 බවත්, කවුළුවෙන් බලද්දි තමන් පුත්තලම සහ මන්නාරම් ප්‍රදේශය සිතියමේ හැඩයට ම දිස්වෙන ආකාරය දුටු බවත්, අම්මා සහ බාල මල්ලී අසුන්ගෙන සිටියේ ගුවන් යානයේ තටුව කෙළින් ම ඇති ආසනවල නිසා ඔවුනට ඒ කිසිදු දර්ශනයක් නොලැබුණු බවත්, ලොකු මල්ලී පවසයි.

මේ සමග අමුණා ඇත්තේ මල්ලී විසින් ඉතා දිගු කාලයක් සුරැකිව තබාගෙන තිබුණු ඒ ගමනේ ටිකට් පත සහ බෝඩිං කාඩ් එකයි.

මගේ මතකයේ රැඳී ඇති එකම සිදුවීම නම් ගුවන් සේවිකාව විසින් බන්දේසියක තබා ඩෙල්ටා ටොෆි අපට පිරිනැමූ බවයි. පැයක් පමණ ගත වූ ඒ කෙටි ගුවන් ගමනේදී බොහෝ විට වෙනත් ආහාරයක් අපට නොලැබෙන්නට ඇත.

පලාලි ගුවන් තොටුපළෙන් ගොඩ බට අප කණ්ඩායම ගුවන් හමුදා ලොරියක් එක නැගී පන්සලක් කරා ගොස් එහි බණ මඩුවේ රාත්‍රී දෙකක් ගත කළෙමු. බස් රථයක නැගී නාගදීපය වැනි ස්ථානයකට ගිය බව ද මතකයේ ඇත.

මල්ලීගේ මතකයට අනුව, අප ඒ දෙදින නැවතී ඇත්තේ පාසලක ය. නමුත් මේ ගමන අප ගොස් ඇත්තේ ජනවාරියක නිසා, එය ද සැක සහිත ය. අප නවාතැන් ගත් ස්ථානයේ පිටුපසින් මුහුද හෝ කලපුවක් පිහිටා තිබුණු බවත්, එය කිසිදු රළ නැගීමක් නැති සන්සුන් මුහුදක් බවත්, වෙරළේ කුඩා ගල් සහ සිප්පි තිබුණු බවත් මගේ මතකයයි. කන්කසන්තුරේ තිස්ස නම් විහාරය (දැන් නම්) පිහිටා ඇත්තේ මුහුදක් හෝ කලපුවක් ආසන්නයේ නොවේ. මෙය යාපනයේ සංචාරයක් ලෙස හැඳින්වුව ද ඇත්තට ම අප යාපනය දුටුවේ රාත්‍රී තැපැල් දුම්රියේ ගොඩ වී ආපසු ගනේමුල්ල බලා එන අතර එය යාපනය දුම්රිය ස්ථානයේ නැවැත්වූ විට දුම්රියේ කවුළු තුළින් පමණි.

ටිකට් පත:
බෝඩින් පාස් එක:
බෝඩින් පාස් එකේ අනිත් පස:

4 comments:

  1. ඇයි ඩෙල්ටා ටොෆි ම දුන්නෙ. ඕක උපාලි ට අයිති එකක්ද?

    ReplyDelete
    Replies
    1. පැයක ගමන්. ටොෆි එක දුන්නේ මම හිතන්නේ අර ටේක් ඕෆ් කරණකොට කන් අගුල් වැටෙන එක නවත්වන්න. Air Ceylon උපාලිගේ නෙමෙයි.

      Delete
  2. මේ පාසල් වියේ ගිය ගමනක් නේද
    හිතූ විදිහටම ගමනේ කරදර අඩුද
    තිබ්බත් මතකයේ ඒවා රැඳේවිද
    වැදගත් කරුණු විතරක් ඔබ ලිව්වාද

    ReplyDelete
  3. ඔය රජයේ සේවක වොරන්ට් වලින් දෙමව්පියන් සමය දෙවරක් ගුවනින් යන්න ලැබුනා. පලවෙනි ගමන 1970 දී අම්මලගෙ ඉස්කෝලේ ගුරුමණ්ඩලය සමග අම්පාරේ ගියා. මතක හැටියට ඒ ගමනෙදි ගුවන් යානයේ මගීන් 90% විතරම අපේ කණ්ඩායම. දවස් තුනක් හෝ හතරක් විතර අම්පාරේ ඇවිද්දා බස් එකක් අරගෙන. ආපසු ගමනේදී අම්පාරේ සිට ගුවන් යානය මඩකලපුව දක්වා ගොස් ආපසු කොළඹ ආවා. ළමයින් ඇතුලු හැමෝටම වගේ නියමු කුටිය බලන්න අවස්ථාවක් දුන්නා.ඩෙල්ටා ටොෆියක් සහ ලෙමනේඩ් වීදුරුවක් ලැබුනා. යානය DC 3 එකක්. දෙවන ගමන් 1977විතර ත්‍රිකුණාමලය දක්වා ආපසු ආවේ දුම්රියේ. යානය Avro . ටිකට් නම් තවමත් ඇති. හැබැයි ඒවා දාලා තාබුනෙ හෝල් ගේ වීජ ගණිතය පොත ඇතුළෙ. ඉස්සෙල්ලම පොත හොයාගෙන ඉන්න ඕන.😀

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.