හරිනිට පිරිත් ළණුවක් බඳින මේ තෝරපිටියේ ආනන්ද නම් සාදු, සාමනේරයෙකු ලෙස අපේ ගමේ පන්සලේ මහණවුණු දිනය මගේ මතකයේ ඇත.
ගමේ පන්සලේ කිව්වාට, අපේ නාමමාත්‍රික ගම් වූ පරකන්දෙණියේ පරිධියේ (එනම් අල්ලපු වැටේ ගෙදර කොස්සින්න ගමේ ය) ජීවත් වූ අපට පන්සල වුණේ කොස්සින්න පුරාණ රජමහා විහාරයයි.
ඒ කාලේ මම පොඩි ළමයෙක් මි. මේ ආනන්ද සාදු ද එදා ළමාවියෙන් ඔබ්බ්ට යමින් සිටි අයෙකි. ඔහු මට වඩා අවුරුදු හත අටක් වැඩිමල් ය කියායි මා හිතන්නේ. පසුව කොස්සින්න ශ්‍රී සීලානන්ද කණිෂ්ට පාසලේ ඇරඹුණු, මා ද දෙවසරක් පමණ සහභාගී වුණු දහම් පාසලේ ලොකු ළමයින්ගේ පන්තියක ඔහු ඉගැන්නූ බව මගේ මතකයේ ඇත.
ඉරිදා දිනවල උදේ වරුවේ පැවැත්වුණු මේ කියන දහම් පාසලේ දී මං මොනවා හරි වැදගත් දෙයක් ඉගෙන ගත්තා නම්, ඒ එකම එක දෙයකි.
එක දවසක් අපේ පන්තියට ඉගැන්වූ ෂෙල්ටන් වැනි නමක් ඇති අයෙකු අපේ කන් හෙවත් කර්ණවල කළාඳුරු නම් ද්‍රව්‍යයක් නිපදවෙනවා, නෑමෙන් පසු ඒවා ඉවත් කිරීම හොඳ දෙයක් බව කීවා මට මතකයි. මේ ෂෙල්ටන් යනු අපේ ආච්චීගේ පරම හතුරෙකු වූ රොමියෙල් ගේ පුතෙකු යැයි සිතමි. ොමියෙල් ආච්චීගේ හතුරෙකු වන්නේ ඇයට අයත් ලියදි කෑල්ලකට රොමියෙල් සමග අවුරුදු දහයක් පමණ ඇදී ගිය ඉඩම් නඩුවක් තිබුණු නිසා ය. අවසානයේ ආච්චී මේ නඩුව දිනුවා ය.
දහම් පාසලේ අපේ පන්තියට ජේපින් නෝනා නම් වයෝවෘධ කාන්තාව ද ඉගැන්වූවා යැයි මට පොඩි මතකයක් ඇත. මේ කියන්නේ මං සාමාන්‍ය පාසලේ හයවෙනි ශ්‍රේණියේ පමණ ඉන්නා කාලේ නිසා දැන් ලොකු දෙයක් මතකයේ නැති වීම අරුමයක් නොවේ. එසේම, මතක තියාගන්නට තරම් වැදගත් වූ, සහ, පාසලේ බුද්ධාගම නම් විෂයයෙන් ආවරණය නොවුණු දෙයක් දහම් පාසලේ උගන්වන්නට ඇතැයි මම නොසිතමි.
දහම් පාසලේ දී මා ලද සුවිශේෂී අත් දැකීමක් නම්, මගේ දහම් පාසල් පන්තියේ සිටි කෙල්ලකට ලියුම් කිහිපයක් ලිවීමයි. එය ඇගෙන් මා ලද ඇරයුමෙන් කළ දෙයක් මිස මගේ අවශ්‍යතාවක් මත වූ දෙයක් නොවේ.
එහි ඇති අනිත් සුවිශේෂීත්වය නම් ඇය ඉරිදා දිනයේ දහම් පාසලේ මගේ පන්තියේ සිටිය ද, සතියේ දිනවල සාමාන්‍ය පාසලේ මට වඩා වසරක් ඉහළ පන්තියක සිටි කෙල්ලක වීමයි.
ලියුම් තුනකට පමණ පසු අමුද්‍රව්‍ය හිඟවීම සහ මට "රයිටර්ස් බ්ලොක්" එක වැනි දෙයක් සෑදීම නිසා අපේ "ලව් එෆෙයාර්" එක නැති වී ගියේ ය. ඇයගෙන් ලදුව, මගේ දහම් පාසල් ලියන පොතේ අවසන් පිටු දෙක කවරය අමුණා සාදා තිබූ රහස් කුටීරයේ බහා තිබුණු පෙම් හසුන් දෙක, මා අතින් කීතු-කීතු වී, පන්සල් කන්ද පාමුළ 2/6 බෝක්කුව යටින් දිවෙන දිය පහර හා මුසු වී ගියේය.
ඒ සමගම වාගේ සිදු වූ අපේ චූටි බාප්පා වූ චන්ද්‍රසිරි ගේ හදිසි මරණයත් සමගම, ලොකු බාප්පා වූ ධර්මදාස ගමට පැමිණ කළ කළබගෑනි නිසා අපේ පවුලට, අප පදිංචිව සිටි තාත්තාගේ මහගෙදරින් පිට වී මාස දෙක තුනක් අහිකුණ්ටික ජීවිත ගතකොට පසුව ගණේමුල්ලේ කුලී නිවසකට යාමට සිදුවූයෙන් දහම් පාසල ද මගේ මතකයේ එක් කුඩා ගැටිත්තක් ලෙස පමණක් ඉතුරු විය.
මා නැවත දහම් පාසලකට නොගියෙමි. එනිසා බුද්ධාගම නම් විෂයයට මා ලැබූ විශිෂ්ට සාමාර්ථයට කිසිදු දහම් පාසලක් වගකිව යුතු නැති බව පෙනේ.
එදා කොස්සින්න පන්සලේ ආනන්ද පමණක් නොව නාලන්ද නමින් සිවුරු අන්දන ලද ගැටවරයෙකු ද මහණ විය. පොර නම් පසුව සිවුර හැර ගිය බව මට සැළවිය.
ඒ අනුව ආනන්ද ස්ථවිර හොඳ භික්ෂූවක බව පෙනේ. හරිනි ඔහු ළඟ දණ නැමීමේ ලොකු වරදක් නැත.
ආනන්ද සාදු අකුදිගේ ගම්පහ රැළියටත් සහභාගී වූ බව මට තේරුණේ ඔහුගේ නම කියවුණු නිසාය. නමුත් මේ ඔහු බව වටහා ගත්තේ නම ගම සමග පළ වූ මේ පින්තූරය නිසා ය.
- රසික සූරියආරච්චි
ප/ලි:
මෙය Facebook එකේ මා දුටු ඡායාරූප ගොනුවක් සහ ඒ පිළිබඳ කෙටි විස්තරයක් දැක මගේ අතීතකාමය අවදි වී ලියවුණු සටහනකි.
මෙය හරිනි අමරසූරිය හෝ තෝරපිටියේ ආනන්ද හෝ ගැන නොව මා ගැන සටහනක් බව කරුණාවෙන් සලකන්න.
(image: https://www.facebook.com/permalink.php?story_fbid=pfbid02n9SPdqf7ZKgZJyXQyMjoeZud8UssY9u8NnrQMJkri9bUpvZS2D5VwRPBZAd4Gk9sl&id=61552670000719)
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.