Saturday, 16 November 2024

ඡන්ද කාලෙ මතකයක් - Colouring the electoral map


ඊයේ එනම් 2024 නොවැම්බර් 15 දා, ඕස්ට්‍රේලියාවේ වෙලාවෙන් උදය උදෑසන හතට එනම් ලංකාවේ වේලාවෙන් එක හමාරට පමණ අවදි වී ම දැන් පැය දොළහක කාලයක් තිස්සේ පාර්ලිමේන්තු චන්දයේ ප්‍රතිඵල යූ-ටියුබ් නාලිකා ඔස්සේ නරඹමින් සිටිය දී පැරණි මතකයක් අවදිවිය.

ඒ කුඩා ළමයෙකු ලෙස මා 1977 පැවති මහ ඡන්දයේ ප්‍රතිඵල රේඩියෝවෙන් ඇසූ ආකාරයයි.

ඒ දිනවල අප සිටියේ ගනේමුල්ලේ කුලී නිවසක ය. එම නිවස පිහිටා තිබුණේ, නිවසේ හිමිකරුගේ නිවස පිහිටා තිබූ පරිශ්‍රයේ ම ය. ඔහු ඒ ප්‍රදේශයේ ‍ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උග්‍ර සාමාජිකයකු වූ ගමේ සමිතියේ නිලයක් ද දැරූ අයෙකි. මා හිතන විදිහට ඒ කාරණය නිසා අපේ තාත්තා ඡන්දය පැවැත්වුණු දින රාත්‍රියේ අම්මා සහ දරුවන් තිදෙනා නිවසේ රැඳී සිටීම අන්තුරුදායක බව සිතු අතර අප ඥාති නිවසකට යැවීමට කටයුතු කළේය.

අම්මා, මා සහ මගේ බාල සොහොහොයුරන් දෙදෙනා ද කැටුව ඡන්දය පැවති දිනයේ දහවල් කෑමෙන් පසුව නිවසින් පිටත් වූවාය. කලින් ලිපියක් මගින් දන්වා තිබුණ ද නිවසෙන් පිට වූ අප බස් රථ තුනක පමණ ගමනින් පසුව අපේ ඥාති නිවසට ළඟා වන විට එම නිවස වසා දමා නිවැසියන් වෙනත් ඔවුන්ගේ ඥාති නිවසකට ඡන්දය ඇසීම සඳහා ගොස් තිබුණි. අපට ද එහි පැමිණෙන ලෙස පවසන පණිවිඩයක් තබා ගොස් තිබුණු නිසා රාත්‍රිය ළඟාවන විට ඒ ඥාති නිවසට අපට යාමට හැකි විය.

ඊට කලින් සතියේ එවකට පළවුණු ඉරිදා පුවත්පතක් වූ රිවිරැස පත්‍රය සමඟ ලැබුණු මැතිවරණ කොට්ඨාස වෙන්කර දක්වා තිබුණු විශාල ලංකාවේ සිතියමක් සහ පාට පැන්සල් පෙට්ටියක් මම මේ ගමනේ දී රැගෙන ගියෙමි. එම සිතියම එකී පුවත්පත සමග බෙදා හැර තිබුණේ ගුවන්විදුලියෙන් ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කළ විට දිනන පක්ෂයේ වර්ණයෙන් සිතියම ක්‍රමක්‍රමයෙන් පාට කිරීමටයි.

මෙවර අවසානයට ලැබුණු සමන්තුරේ ආසනයේ ප්‍රථිඵලය එදා ලැබුණේ මුල්ම ප්‍රථිඵලය ලෙසය. එතැන් සිට මම මගේ කාර්යය කරමින් ටිකෙන් ටික සිතියම වර්ණ ගන්වමින් පසුදා දවල් වෙනතුරු අවදිව සිටියෙමි.

එක්සත් ජාතික පක්ෂය දිනන ආසන කොළ පාටිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනන ආසන කොළ පාටිනි.

රතු, දුඹුරු සහ කහ පැහැති පැන්සල් ද සූදානම් කරගෙන සිටියෙමි.

මගේ මතකයට අනු එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කළේ ආසන අටක් වැනි ප්‍රමාණයක් පමණි. ඒවා නිල් පැහැයෙන් වර්ණ ගැන්වීමි. උතුරු සහ නැගෙනහිර සියලුම ආසන පාහේ, මතයට අනුව ආසන දහ අටක් පමණ, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට හිමි විය. ඒවා දුඹුරු පැහැයෙන් වර්ණ ගැන්වීමි. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හෝ ලංකා සමසමාජ පක්ෂය හෝ නව සමසමාජ පක්ෂය හෝ එකදු ආසනයක් දිනුවේ නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනූ ආසන සංඛ්‍යාවෙන් එකක් හෝ දෙකක් ද එකල පැවති බහුමන්ත්‍රී ආසන විය. එනිසා ඒවා නිල් සහ කොළ යන දෙවර්ණයෙන්ම සැරාසුවෙමි.

කෙසේ හෝ අවසානයේ ගේ ශ්‍රී ලංකා සිතියමේ උතුරු නැගෙනහිර හැරුණු විට අන් සියලුම කොටස් කොළ පැහැයෙන් බැබැලෙන්නට විය.

ඡන්දය අසමින්, සිතියම පාට කරමින් මා සතුටින් පිනා යමින් සිටිය ද, මේ ඡන්දය ඇසීමේ අවස්ථාවේ පොඩි අවුල් සහගත තත්ත්වයක් විය.

එයට හේතුව වූයේ අපේ මේ ඥාති නිවස පාරම්පරික වාමාංශික නිවසක් වීමයි.

එනිසා අපේ අම්මා සහ මා ප්‍රතිඵල අසමින් සතුටුවූව ද නිවැසියන්ට නම් එහි කිසි සතුටක් නොතිබුණි.

අගලවත්ත ආසනය කොල්වින් රෙජිනෝල්ඩ් ද සිල්වා පරාජය වූ ප්‍රතිඵලය ඇසූ ඔවුන්ගෙන් අයෙකු “කොල්වින් වගේ මනුස්සයෙකුත් පැරදුනා නම් ඉතින් මේ රට ගැන, මිනිස්සු ගැන කියල වැඩක් නැහැ” යැයි පවසමින් කණගාටු වෙනු මගේ මතකයේ හොඳින් ම රැඳී ඇත.

ඊටත් පසු දින ඒ ප්‍රදේශයෙන් පිටත් වූ අප සිව්දෙනා නැවතත් බස් රථ තුනක් ඔස්සේ අපේ කුලී නිවස වෙත පැමිණියෙමු. ඒ වන විට ඒ සියලුම බස්රථවල ඉදිරි වීදුරුවේ මෙන් ම පැති වීදුරුවල ද ජේ.ආර් ජයවර්ධනගේ ඡායාරූප අලවා තිබුණි.

නිවසට පැමිණි පසු අපි වටහා ගත් පරිදි ඒ ප්‍රදේශයේ කිසිදු පශ්චාත් මැතිවරණ කලබලයක් ඇති වී නොතිබුණි. සමහරවිට එයට හේතුව වන්නට ඇත්තේ අප සිටි ගම්පහ ආසනය එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය නොකළ නිසා විය යුතුයි.

කෙසේ වෙතත්, ඉන් පසුව ඇරඹුණේ එක්සත් ජාතික පක්ෂයේ හොඳම කාලයයි.

එක්සත් ජාතික පක්ෂයේ අවසානයේ ආරම්භය 1994 දී ඇරඹුණු අතර මහා අවසානය මීට අවුරුදු හතරකට පෙර 2020 මැතිවරණයේ දී උදාවිය.

- රසික සූරියආරච්චි

(images: Ada Derana)

8 comments:

  1. මටත් මතකයි 77 ඡන්දය. මගේ පියා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල ආධාරකරුවෙක් වූ අතර මගේ මව එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දුන්නා . මගේ පියා ශ්‍රි ල නි ප පැරදුනාට ගොඩක් දුක් වුණා හැබැයි අම්මා සතුටු උනා මොකද ශ්‍රිලනිප ය පවුල්වලට ගෙනාපු දුක නිසා.මට තවම්ත් මතකයි 1970 election එක - මගේ පියා ගුවන් විදුලියට සවන් දෙන ගමන් මැතිවරණ ප්‍රතිඵල පුරවන්න පාවිච්චි කරපු පුවත්පත් අතිරේකය තාමත් මගේ ළඟ තියෙනවා. එයා අලුත් රේඩියෝ එකක් ගත්තේ ඡන්ද ප්‍රතිඵල අහන්නම - National radio එකක්. ඒක තවමත් හොඳින් වැඩකරනවා.

    ReplyDelete
  2. 77 චන්දෙන් පස්සේ සතියක් පොලිසි වලට නිවාඩු දුන්න කියල අහල තියෙනවා.

    මේ පාර චන්දෙ නම් අති විශිෂ්ට ජයග්‍රහණයක්.. දිනපු අයටත් වඩා කොමිස් කාක්කෝ,චන්ඩි, නාකි සෙට් එක ප්‍රතික්ෂේප වීමම ලොකු දෙයක්..

    ReplyDelete
  3. මටත් මතකයි. ආසන අංක 100 සමන්තුරේ, තමයි 1977 පලවෙනි චන්ද ප්‍රතිඵලය.

    ReplyDelete
  4. මටත් මතකයි ඒ චන්දය . අපේ පවුල ශ්‍රීලනිප යට සපෝර්ට් . මම හතේ පන්තියේ එතකොට . ජේ ආර් දිනුව . මැද කොළඹ එකම ඝෝෂාව , ප්‍රේමදාස දිනලා

    ReplyDelete
  5. වැදගත් අතීතයෙ තතු විමසා බැලුම
    ඒවායින් උගත යුතු දේ ඉගෙනීම
    මෙතෙක් කලක් සිදු නූනෙත් ඒ දෙයම
    එයිනි වැඩි වුණේ ඡන්දය නොදැමීම

    ReplyDelete
  6. මේ පාර තිබුණෙ එජාපයෙ දානමය පිංකම සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන පෙරමුණේ අවසන් කටයුතු... මීට පස්සෙ මේ පක්ෂ මතකයක් විතරක් වේවා...

    ReplyDelete
  7. සටහනේ තියෙන්නේ, ශ්‍රී ලංකා ඒවාත් කොළ පාටින් පාට කෙරුවා කියලා. ඒක අසාධාරණයි නේ ද?
    හැත්තෑ හතේ ඡන්දේ ගණන් කරන්න අපේ තාත්තා පුත්තලං කච්චේරියට ගියා. එයා වෙන්නප්පුවේ අගුස්තීනු ෆොන්සේකාට වැඩ කලේ. ඡන්දෙ ඉවරවෙලා අතුරු පාරවල් වලින් එන්න සිද්ධ වෙන තරමට කලබල තිබුණා. එයා ගෙදර ආවේ, දංකොටුව පැත්තේ කරවල මුදලාලි කෙනෙක් එක්ක.
    තාත්තාව අපේ ගෙදර බස්සලා එයා ගෙදර ගියා. එදා හවස් වෙද්දී, අර මුදලාලිව ගෙදර මිදුලට ඇදලා අරගෙන පපුව හරහට නාරාසනයක් බස්සලා තිබුණා, එයාගේ කෝන්තර කාරයෝ. මේ කතා දෙකතුනක් තියනවා. දවසක ලියන්න ඕනා.
    අපේ ගෙදර පාරෙන් ටිකක් වත්ත ඇතුලට වෙන්න තියෙන්නේ. මහ පාරේ කට්ටිය වාහන වලින් ජල්ලි දම දමා ගියා ඇර දෙයක් වුනේ නැහැ. ගේ ලඟින් තියන දෙවට දිගේ, අපේ අම්මාගෙන් ඉගෙන ගත්ත පරණ ශිෂ්‍යයෙක් නම් හොඳටම බීලා පොල්ලක් අරන් කුණු හරුප කිය කියා ආවා... අම්මා එළියට බැහැලා දෙකක් කතා කලාම හීන් සීරුවේ ලිස්සලා ගියා.
    හැත්තෑවයි හැත්තෑ හතයි එක වගේම දෙපැත්තට ගිය ඡන්ද. මම හිතන්නේ, ලංකාව දේශපානිකව තාරුණ්‍යය ලැබුවේ ඒ කාලයේ කියලයි. දැන් තමයි, ඒ නොසන්ඩාල තරුණකමින් ඉගෙන ගත්තු පාඩම් නිසා, යම් විදිහක තලත්තෑනි කමක් ලබලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. // මුදලාලිව ගෙදර මිදුලට ඇදලා අරගෙන පපුව හරහට නාරාසනයක් ..... කතා දෙකතුනක් තියනවා. දවසක ලියන්න ඕනා//
      ලැබිච්ච තුනෙන් දෙකේ බලයෙන් හිස උදුම්මගෙන, ලංකාවෙ පාදඩ දේශපාලනය උත්කර්ෂවත් කලේ JR ගෙ ආණ්ඩුව තමයි, දැන් නිකං වැදගත් "මහත්මා දේශපාලනය" මූණ පෙන්නුවට. මේ ගැන ලියයි කියා බලා පොරොත්තු වෙනවා.🙏

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.