Wednesday, 5 November 2025

කීස්බරෝ සිබෞ පන්සලේ විජිත නාඔටුන්න සහ ග්ලාස්ගෝ සිබෞ පන්සලේ රේවත කඹුරුවල


මෙල්බර්න් කීස්බරෝ පන්සලේ විසූ විජිත නාඔටුන්න නමැත්තා කර ඇති ළමා ලිංගික අපයෝජන සඳහා අධිකරණය ඉදිරියේ වරදකරු වී ඇතත් අපේ සමහර අංකල්ලා සහ ඇන්ටිලා එය පිළිගැනීමට සූදානම් නැති බවත්, විජිත නාඔටුන්න වැරදිකරු යැයි උසාවියේ දී ප්‍රකාශ වූ විට හඬාවැටුණු බවත් කියවේ.

ලිඛිත නඩු තීන්දුව ප්‍රකාශයට පත්කර ඳඬුවම් නියම කළ විට ඒ අන්ධ භක්තික වහල් අමනයින් කුමකින් කුමක් කර නොගනීවි ද කියා බියක් ද ඇති වේ.

පහත ලිපියේ රොෂාන් බෙන්තරගේ විසින් සඳහන් කර ඇති පරිදි, කොටියා කොහේ සිටියත් පුල්ලි මාරු නොවෙන්නා සේ අන්ධ භක්තික වහල් අමනයින් උතුරු අර්ධගෝලයේ සිටිය ද, දකුණු අර්ධගෝලයේ සිටිය ද අන්ධ භක්තික වහල් අමනයින් ම බව පෙනේ.

කරුණාකර පහත සටහන කියවන්න.



ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හා ඕස්ට්‍රෙලියාවේ මෙල්බර්න් දෙනුවර සිංහල බෞද්ධයෝ හා කාන්තා හා ළමා අපයෝජනය
- රොෂාන් බෙන්තරගේ විසිනි.

ඕස්ට්‍රේලියාවේ ‌මෙල්බර්න් නුවර පන්සලක නායක භික්ෂුවක් වූ, හැත්තෑ හැවිරිදි නාඔටුන්නේ විජිත නම් පුද්ගලයෙකු 1994 සිට 2002 දක්වා කාලය තුල කුඩා ගැහැණු ළමුන් කිහිප ‌දෙනෙකු ලිංගිකව අපයෝජනය කළා යැයි එරට අධිකරණයක් මගින් වරදකරු ‌කොට දඬුවම් කළ පුවතක් කියවන්නට ලැබිණි.

එකල, කුඩා ගැහැණු දරුවන් වූ දැන් වැඩිහිටි කාන්තාවන් වන මේ නඩුවේ වින්දිතයින් පවසා සිටියේ ඔවුන්ව රසකැවිලි දෙන්නම් යැයි කියා භික්ෂුවගේ ආවාසයට රැගෙන ගොස් විවිධාකාරයෙන් ලිංගිකව අතවර කළ බවයි. සමහර දෙනෙකුගේ යෝනි මාර්ගයට ඔහු තම ඇඟිල්ල ඇතුළු කල බවත්, සමහරුන්ගේ අත් ගෙන තමන්ගේ ලිංගේන්ද්‍රිය මත තබා ගත් බවත් කියැවිණි.

මෙතැන තිබෙන, සිත් සසලකරවනම පුවත නම්, මේ දැරිවියන් තමන්ගේ දෙමාපියන්ට හා වැඩිහිටියන්ට මේ පිළිබදව එකල දැනුවත් කළත්, ඔවුන් එය විශ්වාස නොකළ බවයි. එසේ නොකරන්න හේතුව, අවුරුදු 30කට පෙර ළමා ලිංගික අපයෝජනය පිළිබදව ඔවුන් දැනුවත්ව සිට නැති නිසාදැයි කෙනෙකුට සැකයක් මතුවුවහොත් එය සාධාරණ නොවේයැයි කෙනෙකුට කිව නොහැක.

නමුත් 2025දී, දීර්ඝ නඩු විභාගයකින් පසු, මේ පුදගලයා වරදකරු කල පසුත්, ඔහු මෙසේ ඒ දැරිවියන් අපයෝජනය කලා යැයි මෙල්බර්න් නුවර වැසි වැඩිහිටි සිංහල බෞද්ධයින් පිළිනොගන්නේ නම්, එතන යම් වැරැද්දක් තිබේයැයි බැලූ බැල්මටම නොපෙනුනොත් එය පුදුමයකි. දිනපතාම චූදිතයාට තමන්ගේ සහය පළකරනු වස් අධිකරණයට ගිය මේ සිංහල බෞද්ධයින් නඩු තීරණයෙන් පසු හඬාවැටුණු බව කියනු ලැබේ.

මේ මෙල්බර්න් සිංහල බෞද්ධයින්ට අමු කැවිලාදැයි කෙනෙකුට සිතෙන්න පුළුවන. මා දන්නා හැටියට අපරාධ නඩුවක් අධිකරණයකින් ඔප්පුවන්නට පැමිණිල්ල විසින් එය සැකයේ වාසියකින් තොරව ඔප්පු කල යුතුය. එසේ තිබියදීත් තවමත් මේ චූදිත භික්ෂුව නිවරැදිකාරයෙකු යැයි සිතනවානම්, මේ බෞද්ධියන්ගේ මානසික තත්වය අප තේරුම් ගන්නේ කෙසේද?

මෙය ඕස්ට්‍රෙලියාවේ සිංහල බෞද්ධයාට පමණක් උරුමවූවක් නොවේ. මා ජිවත්වන එක්සත් රාජධානියේ, එක් රටක් වන ස්කොට්ලන්තයේද තත්වය එසේ ම ය.

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර ඇති එක ම පන්සලේ භික්ෂුවක ලෙස සිටි රේවත කඹුරාවල විසින් 2015/2016 වසරවල ග්ලාස්ගෝ මයින්ඩ්ෆුල් සෙන්ටර් හා මේරිහිල් සෙන්ටර් යන ස්ථාන දෙකක දී කාන්තාවන් තුන්දෙනෙකුට ලිංගික අතවර කරන ලදැයි චෝදනා ලැබ අධිකරණයේ අසන ලද නඩු විභාගයකින් පසු වරදකරුවී දඬුවම ලැබූවේය. ඔහුට තිබූ චෝදනාවූයේ ඔවුන් ලවා තමන්ව ස්පර්ශ කර ගැනීම, ඔවුන්ව ස්පර්ශ කිරීම හා නොයෙකුත් ශෘංගාරාත්මක ප්‍රකාශ කිරීමයි. ඒ නිසා ඔහුට ලැබූ දඬුවම වූයේ පැය 200ක් පඩි රහිතව තමන් ජීවත්වන ප්‍රදේශයේ පොදු සේවාවල යෙදීමයි.

මෙල්බර්න් හා ග්ලාස්ගෝ දෙනුවර සමානකම් මෙතැනින් නිම නොවේ. ස්කොට්ලන්තයේ අධිකරණයකින් සැකයේ වාසියකින් තොරව ඔප්පු වූ පසුවත් මේ භික්ෂුව වරදක් කළා යැයි ග්ලාස්ගෝ නුවර බෞද්ධයින්ගෙන් බහුතරයක් මෙල්බර්න් නුවර බෞද්ධයින් මෙන්ම විශ්වාස කරන්නේ නැත. ඒ නිසා අදත් මේ භික්ෂුව ග්ලාස්ගෝ පන්සලේ වාසය කරමින් සුපුරුදු ලෙස ආගමික කටයුතුවල නිරතවෙයි. නමුත්, ඔහු කාන්තාවන්ට හිරිහැර කළා යැයි චෝදනා ලැබ වරදකරු වූ ග්ලාස්ගෝ මයින්ඩ්ෆුල් සෙන්ටර් හා මේරිහිල් සෙන්ටර් යන ස්‍ථානවල තවමත් ස්කොට්ලන්ත ජාතිකයින්ට භාවනා වැඩසටහන් පවත්වනවාදැයි නොදනිමි. සිංහල බෞද්ධයින් නම් මේ සිදුවීම අලුයම ලූ කෙළ පිඬක් සේ ඉවත දමා ඇති බව නම් නිසැක ය. ඒ සුපුරුදු ලෙස පන්සලත් සමඟ තමන්ගේ සම්බන්ධය කිසිම අඩුවක් නැතිව කරගෙන යන බැවිනි.

මීට වසර ගණනකට පෙර ස්කොට්ලන්තයේ මහානායක පදවියෙන් පිදුම් ලද මේ භික්ෂුවගේ පදවිය තවමත් එසේ ම ඇතැයි මම සිතමි. නමුත් 2021 දී ජෙනරල් ටීචින් කවුන්සිල් ස්කොට්ලන්ඩ් නම් ආයතනය විසින් ද්විතික පාසැල්වල ආගම ඉගැන්වීමේ රෙජිස්ටරයෙන් මේ භික්ෂුවගේ නම ඉවත්කිරීමට පියවර ගෙන තිබේ.

මෙල්බර්න් නුවර සිංහල බෞද්ධයින් මෙන්ම, ග්ලාස්ගෝ බෞද්ධයින්ගෙන් බහුතරයක් තවමත් මෙය ස්කොට්ලන්තයේ අධිකරණයට සිදුවූ වැරදීමක් ලෙස සලකති.

මේ සිංහල බෞද්ධ ප්‍රජාවට මෙසේ සිදුවී ඇත්තේ ඇයි?

මොවුන් බොහෝ දෙනා, ජෙෆ්රි එප්ස්ටයින් විසින් සපයන ලද ගැහැණු දරුවන් සමඟ ඇන්ඩෘ වින්ඩ්සර් ලිංගික සංසර්ගයේ යෙදුනායැයි පිළිගන්නේ නැතැයි මම සිතමි. ඒ සියල්ල මේ කාන්තාවන් විසින් ගොතන ලද බොරුයැයි ඔවුන් නොකීවොත් පුදුමයකි. හොල්වුඩ් හි සුප්‍රසිද්ධ හාවි වයින්ස්ටීන් නම් චිත්‍රපට නිෂ්පාදකයා විසින් එකල හොලිවුඩ්වලට එන ආධුනික නිලියන්ව ලිංගිකව අපයෝජනය කළා යැයි කියන්නේ කෙසේදැයි අසනු ඇත. හොලිවුඩයේ සුප්‍රසිද්ධ ප්‍රහසන නළුවකු වූ බිල් කොස්බි, බ්‍රිතාන්‍යයේ ප්‍රහසන නළුවකු වූ රසල් බ්‍රෑන්ඩ හා හොලිවුඩ් නළු කෙවින් ස්පේසි යන අයට ද ඇත්තේ මෙවැනිම චෝදනා ය. අපයෝජනය වන කාලයේදී ළාබාල කාන්තාවන් වූ (කෙවින් ස්පේසිගේ වින්දිතයින් තරුණ පිරිමින් ය) මේ වින්දිතයින්ට ඉදිරියට පැමිණීමට හැකියාව ලැබූ ඇත්තේ තමන්ව අපයෝජනය වීමෙන් පසු සෑහෙන කාලයකට පසුව ය. එසේ කළා කියා කිසිවකුත් ඒ කාන්තාවන් බොරු කියන්නේ යැයි කියා අපයෝජකයින්ව ආරක්ෂා කරන්නට උත්සහා කරන්නේ නැත. නමුත් සිංහල බෞද්ධ බහුතරය සිතන්නේ වෙනත් ආකාරයකට බව පෙනේ.

මා හා මේ පිළිබදව සාකච්ඡා කළ ග්ලාස්ගෝ බෞද්ධයින් කිහිපදෙනෙකු, අධිකරණයෙන් වරදකරුවූ භික්ෂුව තමන් නිවැරදිකරු යැයි පැවසීම කිසිම සැකයකින් තොරව පිළිගන්නේ පහත සඳහන් හේතු දෙක හෝ දෙකින් එකක් ඉදිරිපත් කරමින්ය. එක්කෝ භික්ෂුව වචනයෙන්වත් ක්‍රියාවෙන්වත් කිසිම වරදක් කොට නැත. මේ වින්දිත කාන්තාවන් හිතා මතාම කියන්නේ මුසා ය. එහෙමත් නැත්නම්, භික්ෂුවගේ කතා හා ක්‍රියා, මේ කාන්තාවන් විසින් වැරදියට තේරුම් ගෙන ඇත.

ලංකාවෙන් සංක්‍රමිකයන්සේ පැමිණෙන විට තමන්ගේ ඔළුවේ පුරවාගෙන ගෙනෙන ලද සංස්කෘතික බැගේජය, ඉවත් කරන්නට බැරුව දගලන ඔවුන්ගෙන් මීට යමක් බලාපොරොත්තු වීම සිහිනයකි. බුදු දහම කියන්නේ පන්සලත්, එහි වාසය කරන භික්ෂුවත්, ඉඳහිට ඔහුට දෙන දානයත්, කෙනෙකු මිය ගිය විට දෙන පාංසුකූලයත්, සීතලේ සුදු ජාතික ඇදුම් ඇද, ළමයින්ට ද ඒ ජාතික ඇඳුම් හා ළමා සාරි අන්දවා, පාර දිගේ, වටේ සිටින සුද්දන්ට පෙනෙන්ට බෞද්ධ කොඩි ඔසවාගෙන, මල් අරගෙන යන කඨින පෙරහැරත් යයි සිතන ඔවුන්, පන්සලත් සමඟ මේ සුළු සිද්ධීන් අරඹයා විරසක වේ යැයි සිතීම මුළාවකි. පන්සලත් සමඟ විරසක අය සිටිති. ඒ මේ කාන්තා හිංසනයේ චෝදනාව නිසා නොවේ. ඒ වෙනත් පෞද්ගලික ප්‍රශ්න නිසා ය.

මා ග්ලාස්ගෝ පන්සලට ගොස් නැත. එහි ගිය කෙනෙකු මට කීවේ ඔහු එහි ගිය මුල් දිනයේ එහි තිබූ විශාල සුදු කිරිගරුඬයෙන් තනන ලද ආකර්ෂණීය බුද්ධ ප්‍රතිමාව දැක ඉමහත් පුදුමයට පත් වූ බව ය. එවැනි ප්‍රතිමාවක් කෙසේ ස්කොට්ලන්තයට ගෙනාවාදැයි ඔහු එහි සිටි අයගෙන් විමසුවේ ලු. එවිට ඔවුන් කියා තිබෙන්නේ එය කිරිගරුඬෙන් සැදු එකක් නොව, රෙජිෆෝම් වලින් නිර්මාණය කරන ලද එකක් බවයි. මීට වඩා යමක් මම ඒ ගැන නොකියමි.

මෙල්බර්න් බෞද්ධයන්, තම පන්සලේ භික්ෂුව නිර්දෝෂයි කියා කියන්නේ මොන හේතු මතදැයි මම නොදනිමි.

- රොෂාන් බෙන්තරගේ

රේවත රඹුක්වැල්ල ගැන විස්තර:
1. https://www.dailyrecord.co.uk/news/scottish-news/shamed-buddist-monk-scots-re-25157584

2. https://www.bbc.co.uk/news/uk-scotland-glasgow-west-45296177



ලිපිය කියවූ ඔබට ස්තුතියි. ඔබේ අදහස් පහතින් සඳහන් කරන්න.

- රසික සූරියආරච්චි

(images: https://www.abc.net.au/ සහ www.dailyrecord.co.uk)

11 comments:

  1. ක්‍රොයිඩන් පන්සලේ හිටි ගම්පහ හාමුදුරුවෝ එහෙම හිරේ ගියා . ඒකෙ බෞද්ධයි ඊට පස්සෙත් දානේ දුන්න . ඒ මදිවට ලමයිගේ දෙමාපියන්ගේ වැරැද්ද කියල කිව්වා ළමයි පන්සලේ තියල ගිය එක .

    ReplyDelete
    Replies
    1. මූත් හිරෙන් නිදහස්වෙලා දැහැමෙන් සෙමෙන් ඉන්න ඉඩ තියෙනවා. නමුත් අවුරුදු දහයකට විතර හිරේ වැටෙයි වගේ.

      Delete
  2. සිංහල බෞද්ධයන් බහුතරය කොහෙත් එකවගේය, බුගොලීය බලපමක් නැත. බොහෝවිට එහෙයියොය. මල් පහන් සුවදදුම්වලට එහායින් යන දර්ශනය ගැන තැකීමත් නැත.කීස්බරෝ පන්සල එදා ඉදම්ම පොශ් පංසලය, මානක්කාර සින්හලුන් පිරෙන තැනය.බෙරික් පංසලේ කතාවත් ප්‍රසිද්ධ නොවුන්නානම් මේවා යට ගිය එකගන පුදුමයක් නැත

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මොකක්ද ඔය මෙල්බර්න්වල පන්සල් කේස් එක.
      මං ඉන්න කාලේ දවසක් දෙකක් ගිහින් තියෙනවා ඒ කාලේ අපි හිටි කානගීවලට කිට්ටු මෝල්වන් පන්සලට. පස්සේ රිංග්වුඩ් ඉන්න කාලේ ඩැංඩිනොං පන්සලට සහ නෝත් රිංවුඩ්වල රාහුල කියලා පොරක් පටන් ගත්තු එකට.

      යුරෝක් වගේ තැනකත් පන්සලක් ඇරඹුණා. ගිහිං නෑ.

      නෝබල් පාක් සහ ස්ප්‍රිංවේල් පන්සල් තිබුණා ගිහිං නෑ. මේ දෙකයි, ඩැංඩිනොං එකයි වෙන තැන්වලට ගෙනිච්චලු නේද?

      මේ කීස්බරෝ ගියේ මොන පන්සල ද?

      Delete
  3. කෞශල්‍ය6 November 2025 at 16:20

    පිටරටකට 'අස්තානගත' වූ විට අපේ අයියලා බහුතරයකට existential crisis වැලඳේ. ආගම භාශාව, නැටුම් ගැයුම් ආදිය වන්දනීය වේ. සංස්කෘතිය වින්දනය කිරිම පසෙක තබා තැඹිලි පාට රෙද්දක් වැලක වනා තිබුනද පසඟ පිහිටුවා වැඳ වැටේ. ඉතින් මෙවැනි සිදුවීම් අහන්නට ලැබීම පුදුම වන්නට කරුනක් නොවේමය.

    ReplyDelete
    Replies
    1. පිටරට ගියා කියා අමුතු ලෙඩක් හැදෙන්නේ නැතිවුණත්, ලංකාවේ ලෙඩ්ඩු ඒ ඒ ප්‍රතිශතයෙන් ම පිටරට යනවානේ

      Delete
  4. මම හිතන්නේ සිවුරට අපහාස කිරීමට එරෙහිව උපතින්ම කාවද්දා තියෙන බය නිසා මිනිස්සු ඔහොම හැසිරෙනවා ඇති .. ඇත්තටම ඔය පව් සිද්ද වෙනවා කියන්නේ සිවුර ඇඳන් ඉන්න කෙනකුට එරෙහිව යන නිසා නොව සංග බේදය ඇති කලොත් කියලයි මම නම් අහල තියෙන්නේ ...


    ReplyDelete
    Replies
    1. ආගම අපේ, අපි ආගමේ කියා සිතන අයට මොන ජරා වැඩක් නිසා වුණත් පන්සලට විරුද්ධ වීම ස්වයංඝාතනයක් විදිය්ට දැනෙනවා ඇති

      Delete
  5. ගොඩක් අය අහනවා, ඇයි මේ හාමුදුරුවරු සහ පූජකයින් මේ විධියෙ අපචාර කරන්නෙ ඇයි කියලා. හේතුව ඉතාම සරලයි, හාමුදුරුවො වුණත් පූජකයො වුණත්, ඔක්කොම පිරිමි. පිරිමියෙක් නිරෝගිනම්, හෝමෝන ක්‍රියාකාරියි නම්, උන්ටත් අපිට එන හැම හැඟීමක්ම එනවනෙ, ඒව පාලනය කරන්න බෑ. විශේෂයෙන්ම හාමුදුරුවරු ඒවා පාලනය කරන්න නම්, අනිවාර්යෙන් භාවනා කරලා පෘථග්ජන ස්වභාවයෙන් ඔබ්බට යන්න ඕනෙ. එහෙම නැත්නම්, උන්ට ඒවා සංසිඳව ගන්න, ගෑණියෙක් ඉන්න ඕනෙ. මේක හරියටම දැක්ක සමහර ආගම්, විශේෂයෙන් එන්ගලන්ත සභාව වගේ ඒවා, තමන්ගෙ පූජකයන්ට කසාද බඳින්න අවසර දීල තියෙනවා. එහෙම නැති ආගම්වල තමයි, මේවගේ විකෘති කාමාතුරයො බිහි වෙන්නෙ.

    ReplyDelete
  6. ඕවා ඔහොමයි කියමුකෝ, දැන් නීතිය ක්‍රියාත්මක වුනානේ. රසික ඔයා දන්නවද එක්තරා මහැදුරුවරයෙක් ඉන්නවා තමන්ගේ ආචාර්ය නාමය FB එකේ ඉස්සරහින්ම දාගත්ත. එයාගේ විෂය එකක් වුනාට දැන් මෙයා පෙනී ඉන්නේ AI ගැන විශාරදයෙක් විදිහට. කමක් නෑ, එයා ඒක ඉගෙන ගත්තා කියමුකො පස්සේ හරි. ඒත් වැඩේ තියෙන්නේ මෙයා FB එකේ කවුරුහරි දාන post එකක් අරගෙන ඒක පොඩ්ඩක් වෙනස් කරලා තමන්ගේ වගේ දානවා. ඒක අහුවෙන හින්දා පොඩි සිංහල වචන ටිකකුත් ඒ අස්සේ දානවා. දාපු ගමන් දායක සභාවට මාර චූන්. මේ ළඟදි ජීවිතය වෙනස් කරගන්න මේ පොත් කියවන්න කියලා දාපු post එකක ඔයාම ගිහිල්ලා comment එකක් දැම්මාම මෙයා ඒකට වෙන මොනවද කියෙව්වා. post උස්සන එක නෙවෙයි ප්‍රශ්නේ, ඒත් මේ plagiarism, referencing කියන එක උඩින්ම සලකන academia වේ කෙනෙක් මේ වගේ වැඩ කරන එක ගැන රසික මොකද හිතන්නේ?

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.