
කාලෙන් කාලෙට එන වසංගතේ නෑ අඩුපාඩු....
එසේ කීවේ මා නොව ඇන්ටන් ජෝන්ස් නිහාල් නෙල්සන් ය. මට මතක හැටියට හැත්තෑවේ දශකයේ අග හරියේ දී ය. ඒ කුඩු හෙවත් මත්ද්‍රව්‍ය ගැන ගැයෙන බයිලාවකි. ඇන්ටන් ජොන්ස්ලා අද සින්දු නොකියන මුත් කුඩු සහ බයිලා නම් අද ද යහතින් වැජඹේ.
අද කාලේ වසංගත එන්නේ එදා මෙන් නොව ෆේස්බුක් හරහා ය.
ගිය වසරේ අග භාගයේ දී තමන් කැමති පොත් දහයක මුල්කවරවල ඡායාරූප, වරකට එකක් බැගින් ලියා පළ කරන්නට කියා අභියෝගයක් ආවේ ය. හැබැයි කවර පමණි. විස්තර ලියන්නට බැරිය. ඒ මදිවාට, අභියෝගය ඉදිරියට ගෙන යන්නට තම මිතුරෙකු නම් කළ යුතු විය.
රංජිත් පෙරේරා නම් මිතුරෙකු කළ එම අභියෝගය බාර ගත්ත ද, මා නම් ඒ සමග ආ කොන්දේසි කිසිවක් තඹ සතයකට මායිම් නොකළෙමි.
මා පොත් පිට කවර ඡායාරූප පළ කළේ මා ලියූ හෝ සංස්කරණය කළ හෝ පොත් ගැන පමණකි. පිට කවර පමණක් නොව ඒ ඒ පොත් ගැන දීර්ඝ විස්තරයක් ද ලියා පළ කළෙමි. තවත් කොන්දේසියක් කඩමින් කිසිවෙකුට එම අභියෝගය නැවත ලබා නොදුන්නෙමි. එසේ ම, පොත් දහයකින් නතර නොකොට මටම අතපසු වී යන තුරු දිගටම පොත් ගැන ලිවීම කළෙමි.
මේ මොහොතේ ද, මට එවැනි අභියෝගයක් නැවතත් ලැබී ඇත. ඒ තමන්ගේ ජීවිතයට බලපෑමක් ඇති කළ චිත්‍රපට දහයක නිශ්චල ඡායාරූප දහයක්, දිනකට එකක් බැගින් පළ කරන්නට ය. ඡායාරූප පමණි, විස්තර ලියන්ට බැරි ය.
මට මේ අභියෝගය කළේ රන්සිරිමාල් ප්‍රනාන්දු විසිනි.
ඉතින් මා මේ සැරසෙන්නේ ඒ අභියෝගය ද බාර ගෙන නැවතත් ඒ සමග පනවා ඇති කොන්දේසි කඩන්නටයි.
මා ලියන්නේ මගේ ජීවිතයට බලපෑමක් ඇති කළ චිත්‍රපට ගැන නොවේ. ඇත්තටම, ඒ ආකාරයේ චිත්‍රපට තිබුණාදැයි මට මතක නැත. චිත්‍රපටයක් නරඹා දුක් වෙන්නට ද, සිත පිනා යන්නට ද ඉඩ ඇති නමුත්, ජීවිතයට අනිසි බලපෑමක් ඇති කර ගන්නේ ඇයි?
මා ලියන්නට යන්නේ මගේ ජීවිතයට සම්බන්ධ කිසියම් හෝ හේතුවක් නිසා මගේ මතකයේ රැදී ඇති චිත්‍රපට ගැන ය. ඔව්, ඡායාරූප පමණක් නොව විස්තරයක් ද ලියමි. හැබැයි චිත්‍රපටය ගැන නොවේ. මගේ මතකයේ රැඳී ඇති, ඒ චිත්‍රපය නැරඹීම හා ආශ්‍රිත සිදුවීම් ගැන ය.
ඒ සමගම මගේ සටහන මුලින් රසිකොලොජි බ්ලොගයේ පළ කර පසුව ෆේස්බුක් හි බෙදා හරිමි. එසේම, මෙවර, මා කිසිදු විස්තරයක් නොදන්නා, අහඹු ලෙස තෝරා ගන්නා ෆේස්බුක් මිතුරෙකුව නම් කීරීමට ද අදහස් කරමි.
දැන් මෙන්න පළමුවෙනි චිත්තරපටිය.
නම: සිදාදියෙන් හයක්
මෙන්න මගේ මතකය.
චූටි නැන්දා යනු මගේ තාත්තාගේ බාල නැගණියයි. අගේ නම කරුණාවතී ය. වෘත්තියෙන් ගුරුවරියකි. මා කුඩා කළ ඇය අමුතු අකුරින් සටහන් ලියනු මා දැක ඇත. ඒ හින්දි භාෂාව ද ලියන්ට උපයෝගී කර ගන්නා දේවනාගරී අක්‍ෂර බව මම අසා දැන ගත්තෙමි. නැන්දා ලියමින් හිටියේ හින්දි නොවේ, සංස්කෘත භාෂාවයි. ඒ ඇය ජී.ඒ.කිව්. නම් විභාගයක් සඳහා ඉගෙන ගනිමින් සිටි විෂයයකි.
නැන්දා ඉගැන්වීම කළේ සපුගස්කන්ද මහා විද්‍යාලයේ ය. එහි ගුරුවරියක ලෙස සේවය කළ එදිරිසිංහ නම් කාන්තාව නැන්දාගේ මිතුරියක විය. ඒ සතිශ්චන්ද්‍ර සහ සුනිල් ගේ අක්කා ය.
සතිශ්චන්ද්‍ර එදිරිසිංහ නම් එවකට නැගී එන නළුවා රඟ පෑ "සිදාදියෙන් හයක්" චිත්‍රපටය නරඹන්නට නැන්දාට හිතුණේ ඒ ඇඳුනුම්කම නිසා විය යුතු ය.
කෙසේ වෙතත්, අවිවාහක තරුණියක තනිවම චිත්‍රපටයක් නැරඹීමට යාමේ සිරිතක් අද මෙන්ම එදා තිබුණේ ද නැත. එනිසා, නැන්දා ඇයගේ අයියාගේ ලොකු පුතා වූ මා කැටුව ගියා ය.
නැන්දා සමග "සිදාදියෙන් හයක්" නම් චිත්‍රපටය නැරඹූ බව මට මතක නමුත් එහි අන්තර්ගතය ගැන මෙලෝ අල බෝලයක් මගේ මතකයේ අද නැත. එසේ නමුදු මෙය බටහිර චිත්‍රපටයක කොපියක් හෝ අනුකාරක නිර්මාණයක් වෙන්නට ඉඩ ඇති බව සිතේ.
සිදාදියේ නොව ගමේ හය දෙනෙකු ගැන නම් මම දනිමි. ඒ මගේ තාත්තා සහ ඔහුගේ සොහොයුරු සොහොයුරින් පස් දෙනා ය. ඒ ගමේ හය දෙනාගෙන් මෙලොව ඉතිරිව ඉන්නේ නැන්දා පමණි.
පසුගිය වසරේ අසනීපවී ලෙඩ ඇඳේ පසුවන නැන්දාගේ දැන් වයස අවුරුදු අසූ හතරකි. "සිදාදියෙන් හයක්" චිත්‍රපටයේ අන්තර්ගතය ගැන ඇගේ මතකයේ තොරතුරු රැඳී තියෙන්නට ඇති ඉඩකඩ අඩු ය. තිබුණ ද, ඒවා වචන බවට පෙරළන්නට ඇයට දැන් නොහැකි ය.
-රසිකොලොජිස්ට්
ප/ලි:
නැන්දාගේ මිතුරිය, එදිරිසිංහ නම් ගුරුවරියගේ නිවසට ද මම ඒ දිනවල ගොස් ඇත්තෙමි.
මෙන්න ඒ ගැන මා ලියූ මතක සටහන.
http://rasikalogy.blogspot.com/2017/05/oh-no.html
මල් කුමාරයා - Oh, no!
(image: https://www.films.lk/sidadiyen-hayak-sinhala-film-565.html)