Showing posts with label ආනන්ද ජයතිලක. Show all posts
Showing posts with label ආනන්ද ජයතිලක. Show all posts

Thursday, 15 June 2017

පරිධියේ ජීවිතේ - At the edge


කරුණාකර මේ මාතෘකාව වරදවා වටහාගන්න එපා!

මේ කියන්නට යන්නේ ලකාන් හෝ ෂිෂැක් හෝ ජිජැක් හෝ ඩෙරීඩා හෝ කියූ පරිධියක් ගැන හෝ ඒ ආකාරයේ පරිධියක සිට කේන්ද්‍රය දෙස බැලීමක් ගැන හෝ නොවේ. මා ඒ පඬියන් ගේ නම් අසා දැක තියෙනවා මිස, ඔවුන් කියූ ලියූ කිසිවක් අසා, දැක, කියවා නැත.

මා මේ කියන්නේ ලංකාවේ ගම්මානයක පරිධියේ ජීවත්වීම ගැනයි.

අප කුඩා කාලයේ ජීවත් වුනු තාත්තා ගේ මහගෙදර පිහිටා තිබුණේ පරකන්දෙණිය නම් ගම්මානයේ ය. එහි ද, ඈත බටහිර අන්තයේ ය.

මා පසුව දැනගත් පරිදි, මේ කියන කාලය වෙන විටත් අපේ ආච්චී ගේ නිවස සහ වතුපිටි තිබුණු මේ ප්‍රදේශය ලඩ්කාණ්ඩුවෙන් කටුවාලමුල්ල ලෙස නම් කර ගැසට් කර තිබුණ ද, එය කිසිසේත් ම ප්‍රායෝගිකව නම් භාවිතා නොවුණි. අපි කැපුවත් පර, කැපුවත් දෙණි, පරකන්දෙණියන් ම වීමු.

සාමාන්‍යයෙන් ගමක ගුරුත්ව කේන්ද්‍රය ලෙස සැළකිය හැක්කේ පාසල, පන්සල, කඩ මණ්ඩිය යනාදිය පිහිටා ඇති ස්ථානයයි. සුදෝ-සුදු කවි කතාවේ විස්තර වුණු කටුරොද ගම්මානයේ කඩ මණ්ඩිය ගම කෙලවර පිහිටා තිබුණ ද, සාමාන්‍යයෙන් ගමක කඩ මණ්ඩිය ස්වභාවිකව ගොඩ නැංවෙන්නේ පාරවල් දෙකක් එක්වෙන හෝ කැපෙන ස්ථානයක වීම නිසා, එය ගමේ ගුරුත්ව කේන්ද්‍රය වීමට ඇති ඉඩකඩ ඉතා වැඩි ය.

පරකන්දෙණිය ගමේ බටහිර කොනේ ජීවත් වූ අප සිටියේ, ඒ ගුරුත්ව කේන්ද්‍රයෙන් ඉතා දුරිනි. ඇත්තටම කියනවානම් අප සිටියේ පරකන්දෙණිය ගමේ පරිධියේ ය.

මගේ ඥාතියෙකු මෙන් ම, එකම පන්තියේ සගයෙකු ද වූ ආනන්ද ජයතිලකලා ගේ නිවස පිහිටා තිබුණේ අපේ වත්තට අල්ලපු වත්තේ ය. ඔවුන් අයත් වූයේ කොස්සින්න නම් ගම්මානයට ය.

ඒ අනුව ආනන්ද ජයතිලකලාත් සිටියේ කොස්සින්න ගම්මානයේ පරිධියේ වුව ද, වාසනාවකට මෙන් කොස්සින්න ගම්මානයේ ගුරුත්ව කේන්ද්‍රය හෙවත් පන්සල, කඩ වීදිය සහ පාසල පිහිටා තිබුණේ අපේ නිවෙස්වල සිට කිලෝමීටරයකටත් වඩා අඩු දුරකිනි.

එනිසා කොස්සින්න වාසී විතානගේ ආනන්ද ජයතිලක මෙන් ම පරකන්දෙනිය වාසී රසික සූරියආරච්චි වූ මම ද, හෝඩියේ පන්තිය හෙවත් පළමුවෙනි ශ්‍රේනියේ ශිෂ්‍යයින් ලෙස පාසල් අධ්‍යාපනය ඇරඹුවේ කොස්සින්න ශ්‍රී ශීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයේ ය.

එසේම, මාස් පතා පසලොස්වක පෝයට ද, වාර්ෂික බණ මඩු කාලයට දිනපතා ම වාගේ ද, අම්මා සමග (තාත්තා මා දන්නා කාලයේ පන්සල් ගියේ නැත!) අප ගියේ කොස්සින්න යටවත්ත පුරාණ රජමහා විහාරට ය. ආනන්ද ජයතිලකලා නම්, අපට වඩා වැඩි වැඩිවාර ගණනක් පන්සල් ගිය හ. ඔහු ගේ උපන්දිනය දා ද පන්සලේ පින්කමක් පැවැත්වුණු බව මගේ මතකය යි.

ගනේමුල්ල සහ කඩවත අතර ධාවනය කෙරුණු 218 බස් රථය ද, අප සමහර විට හැඳින්වූයේ කොස්සින්න බස් එක ලෙස යි. එය පරකන්දෙණිය හරහා ද ගිය බව මෙන් ම, නිල වශයෙන් හැඳින්වුනේ පරකන්දෙණිය බසය නමින් බව ද අපි අමතක කෙරුවෙමු.

කොටින් ම, ගතින් පරකන්දෙණියේ සිටියද, මම ප්‍රායෝගිකව කොස්සින්නේ කොලුවෙකු වූයෙමි.

කෙසේ වෙතත්, මට තරමක හෝ දුකක් ඇතිවුණේ, පරකන්දෙණියේ අයෙකු වූ මට පරකන්දෙණිය සමග කිසිදු ප්‍රායෝගික සම්බන්ධතාවක් නොතිබීම ගැනයි. පරකන්දෙණිය පන්සලට මා එක් දිනක් හෝ ගොස් නැත. මායාදුන්නේ නමින් කණිෂ්ඨ විද්‍යාලයක් ද, මහා විද්‍යාලයක් ද පරකන්දෙණිය ගමේ තිබුණු නමුත්, ඒ පාසල්වලට යන කිසිවෙකු ගැන මම දැන නොසිටියෙමි. සීයා ගේ නෑදෑයින් සිටිය ද මා පරකන්දෙණිය ගමේ ඒ ප්‍රදේශයට ගොස් ඇත්තේ එකම එක ඇට්-හෝම් උත්සවයකට සහභාගී වීමට පමණි.

ගමේ වෙනස සමගම ආ තවත් වෙනස්කම් ද තිබුණි.

අප හතරවෙනි ශ්‍රේනියේ ඉගෙන ගන්නා කාලයේ, සිංහල පාඩමේ දී අපට අභ්‍යාසයක් ලෙස ලිපියක් ලියන්නට පැවරුණි. ලිපිය ආරම්භ කළ යුතුව තිබුණේ ලියන්නා ගේ ලිපිනයෙනි.

මා අසල සිටි ආනන්ද ජයතිලක තම ලිපිය අරඹමින් ලිපිනය ලෙස:
220,
කොස්සින්න
ගණේමුල්ල
කියා ලිව්වේ ය. මෙහි ගණේමුල්ල යනු ප්‍රධාන තැපැල් කාර්යාලය පිහිටා තිබුණු ස්ථානයයි.

අපේ මහගෙදර උළුවස්සේ අලවා තිබුණු සංගණන ලේබලය නිසා නිවසේ අංකය 101 යැයි මම දැන සිටියෙමි.

මම මගේ ලිපිය අරඹමින්:
101
පරකන්දෙණිය
ගණේමුල්ල
කියා ලිව්වෙමි.

"රසිකලා ගේ ගෙදර තියෙන පරකන්දෙණියට තැපැල් එන්නේ ගණේමුල්ලේ ඉඳලා නොවෙයි ඉඹුල්ගොඩ තැපැල් කන්තෝරුවෙනුයි!" ආනන්ද මට කීවේ ය.

මේ ඉඹුල්ගොඩ යනු කොළඹ නුවර පාරේ පිහිටා ඇති කඩ මණ්ඩියයි. කොටුවේ සිට දුවන 138 බස් රථවල පසු කාලයක ගමනාන්තය වූයේ මේ ස්ථානයයි.

-රසිකොලොජිස්ට්

(image: https://www.wired.com/2008/12/abstract-dlc-re/)