Monday 10 August 2015

ප්‍රතිගාමී ධනපති පක්‍ෂයකට විලිලැජ්ජාව නොතකා ඡන්දය දූනිමි - My shameful and regrettable behaviour at teh presidential election


මැරුවත් යූඇම්පී අපේ ආච්චී සහ මැරුණත් යූඇම්පී අපේ බාප්පා සේ දරදඬු සිතැති මැරුවත් සිරිලංකා ඥාතීහූ ද මට සිටිති.

මේ එක් ඇන්ටි-අංකල් පවුලක්, කලින් අයිටීඇන් මිස වෙනත් චැනලයක් නොබැලූ අතර දැන් ඔවුන් බලන්නේ දෙරණ නම් චැනලය යැයි ආරංචි ය.

මේ ආකරයේ දැඩි මතධාරී අනම්‍ය පාක්‍ෂිකයින් දැන් දැන් අඩු වෙමින් යතැයි කිය වේ. මා කලින් දිනයක "ඡන්ද කාලේ කතා" යනුවෙන් ලියා පල කළ ලිපියේ සඳහන් කළ අයුරු එය හොඳ ප්‍රවණතාවක් යැයි සිතමි.

මෙහි සැබෑ උත්ප්‍රාසය වන්නේ අපේ අංකල්ලා, ඇන්ටිලා දැඩි මතධාරීව සිටින අතර, ඔවුන් ගේ දේශපාලන පක්‍ෂවල ප්‍රධාන පෙළේ නායක දේශපාලුවන් තම පුද්ගලික වාසි වෙනුවෙන් ඒ පැත්තෙන් මේ පැත්තට සහ මේ පැත්තෙන් ඒ පැත්තට පැනීමයි. මේ ලපයි සිපයි නායකයින් නොවේ, කතානායකලා ය, සභානායකලා ය, ජ්‍යෙෂ්ඨ ඇමතිවරු ය. ජාතික සංවිධායකවරුය. ඒ මදිවාට ජනාධිපති අපේක්‍ෂකයින් ය.

එකක් අනිකේ කාබන් පිටපතක් නැතිනම් ප්‍රතිබිම්බයක් බවට දැන් පත් වී ඇති යූඇම්පී සිරිලංකා පක්‍ෂ දෙකෙන් එකකට ඡන්දය දුන් අයෙකුට ඊළඟ වාරයේ අනෙක් පක්‍ෂයට ඡන්දය දීම පහසු දෙයක් විය හැකි මුත්, තම මුල්ම ඡන්දය වාමාංශික පක්‍ෂයකට ලබා දුන් මා වැන්නෙකුට පසු කලෙක දක්‍ෂිණාංශික පක්‍ෂයකට ඡන්දය දෙන්නට හිත හදා ගැනීම අසීරු දෙයකි.

නමුත්, මම එය ජීවිතයේ දෙවරක් කර ඇත්තෙමි.

ඉන් පළමුවැනි අවස්ථාව එළැඹියේ ඕස්ට්‍රේලියාවේ දී ය. ඒ එවකට වික්ටෝරියා ප්‍රාන්තයේ බලයේ සිටි ජෙෆ් කෙනට් නම් ප්‍රමුඛ ඇමති තක්කඩියා එළවා දමන්නට 1999 දී කම්කරු පක්‍ෂයට ඡන්දය දුන් අවස්ථාවයි.

මේ ලිපිය ලියන්නේ ඒ ගැන විස්තර කීමට නොව, මට ලංකාවේ පැවති 1999 ජනාධිපතිවරණයේ දී දෙවෙනි වරට මගේ ප්‍රතිපත්තියක් ලිහිල් කර ඡන්දය පාවිච්චි කරන්නට සිදුවූ ආකාරය ලේඛනගත කිරීමටයි.

හොඳින් හිතා බැලුවොත් දක්‍ෂිණාංශික පක්‍ෂවලට ඡන්දය නොදෙන මගේ ප්‍රතිපත්තිය මුල් වරට කැඩෙන්නට ඉඩ තිබුණේ 1994 පැවති ජනාධිපතිවරණයේ දී ය. වාසනාවකට හෝ අවාසනාවකට හෝ මට එවර ඡන්දය නොතිබුණි. එය වයසේ ප්‍රශ්නයක් නොව ග්‍රාමසේවක විසින් කළ සේවයකි.

කෙසේ වෙතත්, දාහත් වසරක යූඇම්පී පාලනය අවසාන කරන්නට අන්තිම ඇණය ගසන්නට එදා ඡන්දය නොදුන්නද, ඡන්ද ප්‍රතිඵල අසා උද්දාම වෙන්නටත්, ඒ කාලයේ දී ද කබල රත් කිරීමට ප්‍රසිද්ධියක් දැරූ සෝභිත සාදු ගේ නාග විහාරයට යෑමට අපේ නිවස ඉදිරිපිටන් ගිය චබකු ගේ වාහනයට අත වනන්නටත් මට හැකි විය.

ටික දිනකින් ම මම ලංකාවෙන් පිට වී ගියෙමි. සාමය ඇති කරන්නටත්, දුෂණය, භීෂණය සහ දාහත් වසක ශාපය නිම කරන්නටත් සිතා බහුතරයක් දෙනා ඡන්දය දී පත් කරගන්නා ලද ජනාධිපතිවරිය සහ ඇගේ රජය ටික ටික චොර වෙමින් පවතින බව අන්තර්ජාලය ඔස්සේ දැන ගන්නට ලැබුණි.

ඇල්ටීටීය ත්‍රිකුණාමලයේ නැව් පුපුරවා නැවත යුද්ධය ඇරඹූ අතර, තවක්කාල්, එයාලංකා වැනි නොයෙකුත් කටකතා පැතිරී යමින් තිබුණි. යම් යම් මාධ්‍ය සහ පුද්ගලික නිදහස මර්දනය කෙරෙන රාජ්‍ය ක්‍රියා පිළිබඳව ද අසන්නට ලැබුණි. විපක්‍ෂයේ සිටි යූඇම්පීය ටික ටික අළු ගසා දමා නැගිටමින් සිටියේය.

කොටින්ම මා 1999 දෙසැම්බරයේ ලංකාවෙට එන විට යූඇම්පීකාරයෙකු වූ අපේ තාත්තා "රාවය" පුවත් පතේ නිත්‍ය පාඨකයෙකු වී සිටියේ ය. සඟරාව කාලයේ සිටම වාගේ මුලින් පුස්තකාලවලින් ද, පසුව 1992 පමණ සිට මිල දී ගෙන ද, 1995 දී ලංකාවෙන් පිටව ගිය දින දක්වා ම, රාවය කියවමින් සිටි මට මගේ දෙනෙත් අදහා ගැනීමට නොහැකි විය.

ජනාධිපති ඡන්දය ලං විය. චුවින්ගම් සහ බ්‍රේස්ලට් කතා නිසා දෝ මහගෙදර මහතුංලා වැනි තරුණයෝ අලි රූප සහිත බතික් සරම් ඇඳගෙන ජනාධිපති ඡන්දය ගැනත්, සක්සුදක් සේ සහතික රනිල් වික්‍රමසිංහ ගේ ජනාධිපති වීම ගැනත් උජාරුවෙන් කතා කළහ.

බුදු අම්මෝ!

මට සිහිවුනේ දාහත් අවුරුද්දක් තිස්සේ ජේ.ආර්, ප්‍රේමදාස, ලලිත්, ගාමිණී ඇතුළු යූඇම්පී නඩය විසින් ගෙන යනු ලැබූ දුර්දාන්ත පාලනය යි. දුෂණය යි. භීෂණය යි. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වී, යූඇම්පී ආණ්ඩුවක් පත් වී ලංකාව නැවතත් ඒ තත්වයට යෑම ගැන සිතීම පවා එකල භයානක දෙයක් විය.

ඊට අමතරව, ජනවාර්ගික ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබා ගත හැකි නම්, එසේ අපේක්‍ෂා කළ හැක්කේ වාමාංශික පක්‍ෂද ඇතුළත් ඒ පොදු පෙරමුණ යටතේ බවත් මම එකල විශ්වාස කළෙමි.

එනිසා, මගේ ප්‍රතිපත්ති මදකට ලිහිල් කර, විලිලැජ්ජාව නොතකා, ප්‍රතිගාමී ධනපති පක්‍ෂයක අපේක්‍ෂිකාවට ඡන්දය දීමට මා තීරණය කළෙමි. ඡන්දය දා උදේ පාන්දරින්ම කණිෂ්ඨ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයට ගොස් පෙරදා ගත් ඒ තීරණය ක්‍රියාවට නැංවීමි.

දෛවයේ සරදම් යන යෙදුම ලංකාව සඳහා ප්‍රදර්ශනය කරමින් සියල්ල කණපිට හැරෙන්නට වැඩි කල් ගත නොවීය.

මගේ අගැයීම් මිනුම්වලට අනුව පොදු පෙරමුණ තව තවත් දුෂණයෙන් දුෂණයට ගිය අතර, ඔවුන් ගෙනා සාම යෝජනා කඩාකප්පල් විය. උතුරේ ප්‍රශ්නයට සාමකාමී විසඳුමක් යෝජනා කෙරුණේ රනිල් වික්‍රමසිංහ ගේ රජයෙනි.

ඊළඟ ජනාධිපති ඡන්දයෙන් පසුව එදා 2009 දී පැවති තත්වය සහමුලින්ම කණපිට හැරුණි.

අපේ තාත්තා නම් තම ජීවිතයේ අවසන් වසරක කාලය දක්වා ම "රාවය" කියවීය.

-රසිකොලොජිස්ට්


(image: http://www.breakingnews.ie/world/obama-defeat-of-gun-control-bill-a-shameful-day-for-washington-591663.html)

23 comments:

  1. චරිත වන්දනාමාන දේශපාලන සංස්කෘතිය දැන් කෙමෙන් නිමවෙමින් පවති. එසේම කුමන පක්ෂයක වේවා මැති ඇමැතියා මාටියා ගසමින් යෙහෙන් වැජබෙනු දැක්මද හුදී ඡන්ද දායකයාට දැන් වහ කදුරු වෙමින් පවති. එනිසාම මෙවර මහ පක්ෂ දෙකේම පරාල ඇණ ගැලවි අලුත්ම බෝල්ට් ඇණ ටිකක් දියවන්නාවට යනු ඇත.
    මේ මොනවා වුණත් මට ලැබෙන්නේ කුමක්ද, දරුවා පාසලට දාගත හැකිද, කෙළින්ම ගිහින් තම මන්ත්‍රී නියෝජිතයා හමුවී; ලයිසන් නොමැතිව වාහනයක ගොස් පොලිසියෙන් ඇල්ලු තම මිතුරාව නියෝජිතයා හරහා දුරකතන ඇමතුමකින් නිදහස් කරගත හැකිද වැනි කාරණා මත තම මනාපය දෙන පිරිස් හි අඩුවක්ද නැත.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන හැටියට වෙන්නෙ මේකයි;

      18 වැනිඳායින් පසු මොන පාටින් කවුරු දින්නත්...

      ජනාධිපති:- අතිගරු මෛත්‍රීපාල සිරිසේන මහතා

      අගමැති:- ගරු මහින්ද රාජපක්‍ෂ මහතා (වැඩිම සේවා කාලය මාස 3 යි. ඉන් අනතුරුව ගෞරවාන්විත ලෙස විශ්‍රාම යන්නේ තමාටත් තම පවුලටත් ඇති සියලු චෝදනා විමර්ශනය නොකර යට ගසන බවට ස්ථීර ඩීල් දමාගෙනයි.)

      නියෝජ්‍ය අගමැති:- ගරු රනිල් වික්‍රමසිංහ මහතා (ඉතිරි අවුරුදු 4 3/4 අගමැති ධූරට ඉබේම පත්වී)

      එජාප එජනිස සමගියෙන් සභාග රජයක් - ඇමතිවරු 125-135 අතර ගණනකින් යුත් සුපිරි කැබිනෙට්ටුවක්

      නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්:- ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ

      ප්‍රධාන විපක්ෂය:- ජවිපෙ/ ටී.එන්.ඒ. ඇතුළු කණ්ඩායම්

      විපක්ෂ මන්ත්‍රී: ෆීල්ඩ් මාශල් ෆොන්සේකා

      සැම එකමුතුව.... නූතන යුගයේ සිංගප්පූරුව සේම සමුර්ධිමත් ශ්‍රීලංකාවක් මාස 60 කින් ගොඩනැගීමට... !

      Delete
    2. Anonymous10 August 2015 at 20:05

      මේ තියෙන්නෙ උඹට හිතෙන හැටිනෙ. ලංකාවෙ දෙකෝටි දස ලක්ෂයක් ජනතාව හැමෝටම මෙහෙම තමට හිතෙන දේවල් දෙකෝටි දස ලක්ෂයක් ඇති. හැබැයි ඒවා ඔක්කෝම වෙන දෙවල් නෙවෙයි කියලා අපි දන්නවනෙ.

      Delete
    3. නලීන්-
      පළමුව බාටා දෙවනුව පාසල!

      Delete
  2. අපේ (බිරිඳගේ) ගෙදරත් ඉන්නවා ඔය වගේ කැපුවත් සිරි ලංකා කාරයෝ දෙන්නෙක්.. ඒ දවස් වල අයි ටි එන් බලල දැන් දෙරණ විතරක් බලන.. හැක හැක හැක..

    ReplyDelete
    Replies
    1. මට නං හරි දුකයි ඒ කෂ්ටිය ගැන!

      Delete
  3. අපේ අප්පත්තිලා නම් ඇමදාම තන්දෙ දුන්නේ තිරිලංකා එකට තමයි. ඒක නිසා අපිත් මේ තැරේ නෙවෙයි ඇම තැරේම තන්දෙ දෙන්නේ තිරි ලංකා එකට විතරමයි. මේ තැරේ මයින්ද අප්පත්ති ආසන 120ක් ගන්නවා. අරගෙන විජයකලා ඇන්තිගෙන් රට බෙදන්නෙ නැතුව බේර ගන්නවා. ඊට පස්සෙ රනියාවයි මයිතිරියාවයි ඉරේ දානවා. අබයගිරියේ තාප්පේ පින්තූරෙ මකලා අප්පත්තිගෙ පින්තූරෙ අඳිනවා.

    තසුස තුසර කුමාර කැකුලාවල පුතා
    සුදීව කොක්කාවල පුතා සහ
    අබීත එදිරිතිංග පුතා

    2 A පන්තිය
    මැදමුලන විද්දියාලය
    වීරකැටිය.

    ReplyDelete
    Replies
    1. නිකන් ගොන් පාට් නොදා හිටපන් පොල් බූරු මොටා. උඹනම් ඇත්තටම දෙකේ පන්තියෙ වැඩ කරන පාහර අවලම් ඩබ්. පී. කෙනෙක්. ඔය කියපු උන් දැන් මේ බ්ලොග් බලන්නෙත් නැතුව ඇති. අනෙක ඡන්දෙන් පස්සෙ යූඇන්පී දින්නොත් මුන් ඒකටත් සෙට්වෙලා ගොඩයාවි. ඕකුන් අන්න ඒවගේ මහ තුප්පහි තක්කඩි ලෝක හොරු ටිකක්. අන්තිමට යූඇන්පියට රෙදි ලිහාන කඩේ ගිය තොපිට හුලං.

      Delete
    2. මෙවැනි චෝදනා කළාට මහින්දවාදී පාර්ශ්වය සැලෙන්නේ නැත. ඔවුන්ගේ කතාව මෙවැන්නකි;


      " 1- රනිල් ආවත් මහින්ද මහත්තයා ආවත් දූෂිතයෝ දෙපසේම සිටිති - ලොකු වෙනසක් සිදු නොවේ

      2- යහපාලකයන්ගේ මූලික පොරොන්දුව වූයේ දූෂණය අඩු කිරීමය - මහ බැංකු වංචාව අනුව ඔවුන්ගේ පොරොන්දු ඉටු නොවූ බව පැහැදිලිය.

      3 - දූෂණය වසයෙන් රනිල් හා මහින්ද මහත්තයා සමාන වුවද භෞමික අඛණ්ඩතාව සුරැකීම, බටහිර /ඉන්දියානු බලපෑම් කළමණාකරනය කිරීම, බෙදුම්වාදීන් මැඩලීම, සිංහල බෞද්ධයන්ගේ අයිතිවාසිකම් සුරැකීම ආදිය අතින් මහින්ද මහත්තයා ඉදිරියෙන්ම සිටී. එම නිසා මොන දූෂණ ‍චෝදනා ආවත් අපි මහින්ද මහත්තයාට ඡන්දය දෙමු "

      අවාසානාවකට මෙන් ඉහත තර්කය මහින්ද විරෝධී පාර්ශ්වයට නිශේධ කළ නොහැක.

      Delete
    3. /අවාසානාවකට මෙන් ඉහත තර්කය මහින්ද විරෝධී පාර්ශ්වයට නිශේධ කළ නොහැක./

      ඉහත ප්‍රකාශය "අවාසානාවකට මෙන් ඉහත තර්කය * බයියන්ට ඒත්තු යන පරිදි * මහින්ද විරෝධී පාර්ශ්වයට නිශේධ කළ නොහැක" ලෙස නිවැරදි විය යුතුයි. මොකද මේ වෙලාවෙ බයියෝ මහින්ද විරෝධීන් 1+1=2 කිව්වත් ඒකත් පිළි ගන්නෙ නෑ.

      Delete
  4. /අපේ තාත්තා නම් තම ජීවිතයේ අවසන් වසරක කාලය දක්වා ම "රාවය" කියවීය./
    :(
    හැමවතාවේම දිනන/දිනූ පාර්ශ්වයේ ඉන්න ජනමතයක් ඇතිකරන්න බැරිද රසික?
    අලියා දිනුවම හැමෝම අලියා.කොටියා දිනුවම හැමෝම කොටියා.

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුව ක්‍රියා කළ යුත්තේ පක්‍ෂ විපක්‍ෂ සියලු දෙනාගේ ආණ්ඩුව ලෙසයි, නමුත් එදා සිට අද දක්වාම ආණ්ඩු වැඩ කරන්නේ පක්‍ෂග්‍රාගීවයි. එනිසා තමයි අපේ ආණ්ඩුවක් පිහිටවාගන්න හැමෝම වෑයම් කරන්නේ!

      Delete
  5. //අපේ අංකල්ලා, ඇන්ටිලා දැඩි මතධාරීව සිටින අතර, ඔවුන් ගේ දේශපාලන පක්‍ෂවල ප්‍රධාන පෙළේ නායක දේශපාලුවන් තම පුද්ගලික වාසි වෙනුවෙන් ඒ පැත්තෙන් මේ පැත්තට සහ මේ පැත්තෙන් ඒ පැත්තට පැනීමයි.//
    මෙය සර්වජන ඡන්දය ලැබීමෙන් පසු පසුගිය වසර 85තුළ ශ්‍රී ලාංකික ඡන්දදායකයා පරිණාමය වීමේ දෙවන අදියරයි.
    මුල්ම අවදියේදී නායකයින් අනුවම පක්ෂ මාරු කරන බොහෝ පිරිස් වූහ. මේ කාලයේ බහුතර ඡන්දදායකයෝ ස්වාධීන මතධාරීහු නොවූහ. තමන්ගේ වැඩපොළේ හෝ වැඩකරන වත්තේ ලොක්කා හෝ හාමු මහත්තයා කියන පාට පෙට්ටියට ඡන්දය දැමීම මේ යුගයේදී සාමාන්‍ය දෙයක් විය. නායකයින් පිල් මාරුකලේ ලොකු ඡන්ද කුට්ටිද සමඟය.
    දෙවන අවදිය ඔබ සඳහන් කරන අවදියයි. බහුතර ඡන්දදායකයෝ පුද්ගලයින් වෙනුවට පක්ෂ වටා පෙළගැසී ඇත. නායකයින් පක්ෂ මාරුකලත් පක්ෂ අතර විශාල ඡන්ද හුවමාරුවක් සිදුනොවේ. මෙය පළමු අදියරට සාපේක්ෂව දියුණුවකි.
    තුන්වන අදියරේදී දැන් දැන් ඡන්දදදයකයෝ සැලකිය යුතු ප්‍රමාණයක් සැබවින්ම ස්වාධීන දේශපාලන දැක්මක් ඇතුව සිටිති. එහෙත්, සලකා බලන කරුණු සම්බන්ධව තවදුරටත් පරිණත වීමක් අවශ්‍යය. මේ අතර, අඩුවෙන් වුවත් දෙවන අදියරේ මෙන්ම පළමු අදියරේ තාමත් සිටින පිරිස්ද සිටිති.

    //එකක් අනිකේ කාබන් පිටපතක් නැතිනම් ප්‍රතිබිම්බයක් බවට දැන් පත් වී ඇති යූඇම්පී සිරිලංකා පක්‍ෂ දෙකෙන් එකකට ඡන්දය දුන් අයෙකුට ඊළඟ වාරයේ අනෙක් පක්‍ෂයට ඡන්දය දීම පහසු දෙයක් විය හැකි මුත්, තම මුල්ම ඡන්දය වාමාංශික පක්‍ෂයකට ලබා දුන් මා වැන්නෙකුට පසු කලෙක දක්‍ෂිණාංශික පක්‍ෂයකට ඡන්දය දෙන්නට හිත හදා ගැනීම අසීරු දෙයකි.//
    මෙය මටද දැනෙන දෙයකි. එහෙත් තමන්ට 'ඒකාධිපති' බලයක් හිමිව තිබූ සීමිත කාල-අවකාශ තුල බොහෝ ජවිපෙ සාමාජිකයින් ක්‍රියා කර ඇති ආකාරයෙන්ද, ජවිපෙ තුලින් බිහිවූ ඇතැම් පුද්ගලයින්ගේ වත්මන් ක්‍රියාකාරීත්වය තුලින්ද මෙය තරමක් පහසු කර දී ඇති අතර යූඇම්පී සිරිලංකා පක්‍ෂ දෙකේ දේශපාලකයින් යනු සමාජයේ පොදු මිනිසාගේ ප්‍රතිබිම්බ බව තහවුරු කරයි. මේ පොදු මිනිසා වෙනස් නොවී, පක්ෂ විනය යටතේ සිය සාමාජිකයින් තරමක් දුරට පාලනය කරගෙන සිටින ජවිපෙට කිසියම් ආකාරයකින් පාලන බලයක් ලැබුණොත් ඔවුන් වසර පනහකම ඇරියස් අල්ලනු ඇත.

    //යූඇම්පීකාරයෙකු වූ අපේ තාත්තා "රාවය" පුවත් පතේ නිත්‍ය පාඨකයෙකු වී සිටියේ ය.//
    මෙයට හේතුව මේ කාලයේදී රාවයේ වෙනස්වීමද? නැත්නම් ආණ්ඩුව සහ ආණ්ඩුපක්ෂය පටලවාගෙන ආණ්ඩු-පාක්ෂිකයෙකු වීමද?

    ReplyDelete
    Replies
    1. රාවය සහ වික්ටර් අයිවන් ගේ මතය 1999 ජනාධිපතිවරණයේ දී සමපාත වුනේ රනිල් සහ එජාපයේ මතයටයි. අයිවන් සහ චන්ද්‍රිකා චන්ද්‍රිකා විරෝධී වී තිබුණා, තාත්තා පත්තරය කියවන්න ගත්තේ එනිසායි. ඔහු 2009 අවසානය දක්වාම රාවය කියෙව්වා!

      Delete
  6. කැපුවත් කොලපාට/නිල්පාට/රතුපාට චින්තනය, දැන් වෙනස් වෙන්නට පටන්ගෙන තිබීම, රටේ අනාගතය යහපත් වන බවට පෙරනිමිත්තක්.

    ReplyDelete
    Replies
    1. ගුණයෝ, ඉතුරු ටිකත් කියාපං බං උන් ඔක්කෝම මගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ඡන්දෙ දාන්න පුල පුලා බලා ඉන්නවා කියලා.

      මීට,
      වෙල් විදානේ

      ප/ලි 'කොලපාට'නෙවෙයි බං 'කොළපාට'. උඹට තාම න, ණ, ල, ළ භේදය අල්ලගන්න බැරි උනාද? අර බ්‍රහස්පති ඇකඩමියට වත් ගිහින් ඉගෙන ගනින්.

      Delete
    2. ඒ කතාව ඇත්ත විචාරක. ඒත් මට ඉහල පරම්පරාවේ අය (අම්මා, පුංචි අම්මලා) පෙර සේමයි. කැපුවත් කොළ, කැපුවත් නිල්!

      Delete
  7. අපි කොහොම කතා කලත් තාමත් පාරම්පරිකව තමන්ගේ පක්ෂයට ඡන්දය දෙන කොටසක් ඉන්නවා. ඒක හැම පක්ෂයකටම එකයි.. ඒත් ඔය ප්‍රතිරූපයට කතාබහට රැවටිලා ජනතාවගේ ඡන්ද කඩාගන්න දේශපාලකයන්ට බැරි වෙන දවසට සමහර දේවල් වෙනස් වේවි..

    ReplyDelete
    Replies
    1. අන්න එදා එනකං තමයි මාත් බලාගෙන ඉන්නේ!

      Delete
  8. 2005 දී මා මහින්ද වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්නට සිතා සිටියද, ඡන්දය තිබුණේ ගම්පහ සහ ඒ වන විට සිටියේ පානදුර බැවින්, ඡන්දය දැම්මේ නැත.

    ReplyDelete
    Replies
    1. තිසර මාර කම්මැලියෙකු බව අදයි දන්නේ!

      පානදුරේ සිට ගම්පහට ෆ්ලයිට් එකක් බුක් කර ගන්න බැරි වෙන්න ඇති නේද?

      Delete
  9. මා කිසිවිටෙක එජාපය වෙනුවෙන් චන්දය භාවිතා කොට නොමැත. එහෙත් මෙවර වෙනත් විකල්පයක් නොමැත.

    ReplyDelete
    Replies
    1. ඔබේ කැමැත්තක් වේවා!

      කැමැත්ත යනු ඡන්දයයි.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.