Wednesday, 31 January 2018

පල්ලෙහා තට්ටුවේ ආච්චීගේ මකුළුවා - I dont know why!


මේ සිදුවීම සහ තවත් එකිනෙක ඈඳුණු සිදුවීම් කිහිපයක් ම පෙරේදා හවස් වරුවේ මගේ මතකයේ ඉහළ ස්ථරයට පැමිණ හක්කලං කරන්නට පටන් ගත්තේ ය. පසුදා මා දුටුවේ මා මිත්‍ර ඉඳිගහ මඩිත්තගේ සතින්ද්‍ර සත්‍යප්‍රසාද් විසින් තම ෆේස්බුක් පිටුවේ පළකර තිබුණු සටහනකි.

අමතක වී ගොස් තිබුණු රසිකොලොජි බ්ලොගය නැවත එළිපහළි කර, මේ මතක සටහන් දෙක තුන වහවහා ලියා දමන්නට සිත්වුණේ ඒ නිසා ය.

අප මෙල්බර්න් නුවරට සංක්‍රමණය කර ජීවත්වීම ඇරඹූ මුල් කාලයේ පදිංචිව සිටියේ කානර්ගී නම් තදාසන්න ප්‍රදේශයේ තට්ටු නිවාසක ය. නිවාස අටකින් යුත් දෙමහල් ගොඩනැගිල්ලක් වූ එහි, අපේ කාමර දෙකේ නිවාසයට යටින් පිහිටි නිවසේ ජීවත් වූයේ සුදෝ සුදු කොණ්ඩයකින් යුත් මහලු කාන්තාවකි. අගේ නම ඇනට් වැන්නක් බව මගේ මැකී යන මතකයේ තවමත් රැඳී ඇත.

ඉඳහිට සති අන්තයේ දිනක දී, ටැක්සියකින් පැමිණ ඇය හමුවන මිතුරෙකු හැරෙන්නට ඇය විසුවේ තනිවම ය. සතියට වරක් දෙකක් නිවස අසල ප්‍රදේශයේ දී ඇය හමුවන විට මද සිනහවක් පා, හලෝ යැයි කීම හැර අප අතර වෙනත් ගනුදෙනුවක් නොතිබුණි.

එක් දිනක් සවස්වරුවේ ළදැරික වූ මගේ දියණිය හා මා නිවසේ සිටින අතර නිවසේ ඉදිරි දොරට තට්ටු කරන හඬක් ඇසුණි.

දොර හැර බැලූ විට මා දුටුවේ තරමක් බියපත් වූ මුහුණින් යුතු ඇනට් ය.

"මට උදව්වක් කරන්න හැකිද?" ඇය ඇසුවා ය. "මගේ ගෙදරට මකුළුවෙක් ඇවිත්. පොඩ්ඩක් පහළට එන්න ප්ලීස්."

බිරිඳ ඒ වන විට නිවසට පැමිණ සිටියේ නැති නිසා මම කුඩා දියණිය ද සමග පහළ තට්ටුවේ ඇනට් ගේ නිවසට ගියෙමි.

ඕස්ටේ‍ර්ලියාවේ දරුණු විසකුරු මකුළුවන් ඇති බව මා අසා තිබුණි. නමුත් ඇනට්ගේ නිවසට වැද සිටියේ ද, මා "වධකයා සහ උගේ බිරිඳ" කතාවේ ලියූ ආකාරයේ ම විෂ රහිත සාමාන්‍යයෙන් ගෘහස්ථව වෙසෙන මකුළුවෙකි.

"මට දෙන්න ෂොපින් බෑග් එකක්!" යැයි ඉල්ලා සිලි-සිලි බැගයක් ලබා ගත් මම, එය මගේ අතේ රුවා, මකුළුවා අල්ලා බෑගය නොපිට පෙරලූවෙමි.

මකුළුවා බැගය තුළ කොටුවිය.

"ඔන්න වැඩේ ඉවරයි. මේකාව මං එළියේ තියෙන කුණු බාල්දියට දාන්නම්!" මම කීවෙමි.

ත්‍රාසයෙන් වෙලෙමින් මගේ වීර ක්‍රියාව දෙස බලා සිටි ඇනට් ආච්චී අවසානයේ දී කෘතවේදී බැල්මක් මා වෙත හෙළා කීවේ "මං හිතුවේ ඔබ ඒකාව චප්ප කරලා දාවිය කියලායි" යැයි කීවා ය.

කුකුල් මස්, හරක් මස්, මාළු අනුභව කරතත්, මකුළුවෙකු වැනි කුඩා සතෙකු වුව මරා දමන්නට අසීරු ඇයි දැයි මට එදා සිතුණි.

එදා නොව පෙරේදා ද සිතුණි. ඒ කතාව ඊළඟට ලියමි.

මා මිත්‍ර ඉඳිගහ මඩිත්තගේ සතින්ද්‍ර සත්‍යප්‍රසාද් තම ෆෙස්බුක් පිටුවේ ලියා තිබුණේ ද, මේ කාරණය ගැනම ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මගේ මිතුරා ගැන සඳහනේ දී ඉඳිගහ මඩිත්තගේ සතින්ද්‍ර සත්‍යප්‍රසාද් යැයි නොකියා අයිඑම්එස් සත්‍යප්‍රසාද් යැයි කියා ලීව්වා නම්, මකුළුවන් කෙසේ වෙතත් 2014 දෙසැම්බරයේ දී මෙන් "මනපහතයෙකු" හෝ කිහිප දෙනෙකු හෝ නම් හඳුනාගන්නට ද ඉඩ තිබුණි!

(image: )

17 comments:

  1. තමන්ම සතකු මැරීම සහ වෙන කෙනෙකු මැරූ සතකුගේ මස් අනුභවය කියන වෙනස වෙන්න ඇති.

    ReplyDelete
  2. කියවන්නට කැමති කෙනෙකුට අවශ්‍ය වුවහොත් ඒ සටහනේ සබැඳිය පහත දක්වමි.

    https://www.facebook.com/ims.sathyaprasad/posts/10154757060004063

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සත්‍යා. මට එය දාන්නට අමතක වෙලා තිබුණා. පසුව එක් කළා!

      Delete
  3. ඇය එසේ පවසන්න ඇත්තේ සැබැවින්ම මකුළුවා ඇයට අප්‍රිය සතෙක් නිසා විය යුතුය. කුණු බක්කියේ සිට නැවත පැමිණෙයි ඇයට සිතෙන්නට ඇත.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. අප්‍රියටත් වඩා බය...!!!

      ඒ කුණු බක්කියේ සිට ආපසු නිවසට ඒම ලේසි නෑ. උඩ ඇති පින්තූරය බලන්න. අපේ නිවාස තිබුණේ ඔය තට්ටු නිවසේ අනෙත් කෙළවරේ!

      Delete
  4. කිසිම අමුත්තක් දැනුණේ නෑ.. සේම් හියර්.. නිකරුනේ මොනම සතෙක්වත් මරන්නෙත් නෑ මරන්න උවමනාවකුත් නෑ.. එදිරිව එනවනම් මෙල්ල නොකර ඉන්නෙත් නෑ.. මෙල්ල කිරීම සඳහා සීමාවන් ඇත්තෙත් නෑ.. මස් කෑමට ඒ එකක්වත් බාදාවක් කර ගන්නෙත් නෑ..

    කොහොම නමුත් සත්ව හිංසා විරෝධින්ගේ මස් කෑමට- සොරි- අපි මස් කනවට දක්වන විරෝධය නම් හරිම ජොලි..

    ReplyDelete
    Replies
    1. එළවලු ජීවිතවලට අපි මස් කවන්න නොගියාට ඒ අය සමහරු අපට බණ දෙසන්න එනවා මාත් දැකලා තියෙනවා!

      Delete
  5. එක එක දිගට බ්ලොග් ලිපි ටික ලියූ නුඹ
    ටික ටික එයම තනිකරලා හිටිය නුඹ
    අමතක වූවමුත් යළි බ්ලොගයට ආව නුඹ
    පොකුරක මල්වලින් පිළිගන්නවා නුඹ....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලිපි ලියූ මුත් පෙර කල එක දිගට
      වෙහෙසක් දැනුනි හති ඇරියෙමි මොහොතකට
      අමතක වී යන්න පෙර බ්ලොග් ලොව සතුට
      ආවෙමි යළිත් ලියනෙමි ලිපි පෙර ලෙසට

      Delete
  6. අපිත් කැරපොත්තො එහෙම ශොපින් බෑග් වල දාගෙන ගිහින් බින් එකට දානවා. හැබැයි බෑග් එක ලිහලා

    ReplyDelete
  7. "සත්ත්ව ඝාතනයක් කරනු තබා එවැන්නක් බලා සිටීම පවා මට ඉතා අපහසු දෙයකි. ඒ ප්‍රතිපත්තිමය හේතු මත නොවේ. එහෙත්, කුඩා කළ සිටම සත්ව මාංශ වලට මගේ වූ කැමැත්ත තවමත් අඩු වී නැත. ඒ නිසා රයිගමගේ බෝර්ෂ් සුප් එක හෝ නලින්ගේ චිකන් සුප් එක රස විඳීමට අවස්ථාවක් ලැබේනම් එය මඟ හැරීම මට පහසු කටයුත්තක් නොවනු ඇත. මේ භෞතිකව සහ සංස්කෘතිකව මා නිර්මාණය වී ඇති ආකාරයයි."

    https://economatta.blogspot.com/2015/09/blog-post_22.html

    ReplyDelete
  8. ටිකක් හිතන්න ඕන කාරණයක්... සරලම උත්තරය තමයි, තව කෙනෙකුගේ ජීවිතය නැති කර දැමීම කොතරක් බරපතලද කියන කාරණය අපේ හිතේ තැම්පත් වෙලා තියනවා කියන එක. තව දෙයක් තමයි සතෙක් අපිට තර්ජනයක් වෙන අවස්ථාවකදී ඊට ප්‍රතිචාර දැක්වීමක් විදිහට මරණ එක තරමක් ලේසියි. ඒ තමන්ගේ පැවැත්මට (ජීවිතයට පමණක් නෙවෙයි, තමන්ගේ ගති පැවතුම් වලට උණත්) තර්ජනයක් දැනෙන අවස්ථාවක අපි ගොඩක් ආත්මාර්ථකාමී වෙනවා. වතුරක දඟලන කූඹියා, කැරපොත්තා ගැන ඇතිවන අනුකම්පාව, අපේ කෑමකට එන කූඹි හෝ ඇඟට වහන කැරපොත්තා ගැන ඇතිවෙන්නෙ නෑ සාමාන්‍යයෙන්.

    ReplyDelete
    Replies
    1. මගේ ලිපියේ ඊළඟ කොටස ගැනයි තිසර මේ ලියා තියෙන්නේ!!!

      https://rasikalogy.blogspot.com/2018/02/ant-in-loo.html

      Delete
  9. ඉවනාශ්කා ගේ මව ඉතා කරුණාවන්ත කාන්තාවකි. ඇය වඩාත් සමීප ලංකාවේ ගම්බද කරුණාවන්ත දයාවන්ත කාන්තාවකටය​. හමේ සුද ඇරෙන්නට ඇය තුල ලංකාවේ ගැමි ලියන්ගේ සියළු යහ ගුණ තිබේ. එහෙත් එක් දෙයකින් ඇය අපගේ ගම්බද වනිතාවන්ට වඩා වෙනස් වූවාය​.

    ඔවුනට ලස්සන පුෂ්ටිමත් සයිබීරියන් හස්කි වර්ගයේ බැල්ලක වූවාය​. ඇය පසුගිය ශීත සමයේ පැටවන් බිහි කල බවත් එම පැටවුන් අසල්වැසියන්ට බෙදා ඉතිරි වූ පැටවුන් දෙදෙනෙක් දියේ ගිල්වා මරා දැමූ බව ඇය කීවේ කිසිදු වෙනස්කමකින් තොරවය​. එය අසා මගේ ගත හිරි වැටුණි. ඒ අපගේ බෞද්ධ ශික්‍ෂණය නිසා බව මම සිතමි.

    ReplyDelete
  10. හරිම අනුවේදනීය කතාවක් !!!

    ReplyDelete
  11. මම මකුළුවෝ මරන්නේ නැහැ. අල්ලලා විසි කරනවා. මගේ බිරිඳට ඕක තේරුම් ගන්න අමාරුම දෙයක්.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.