Showing posts with label බ්ලොග් නියඟය. Show all posts
Showing posts with label බ්ලොග් නියඟය. Show all posts

Monday, 29 October 2018

සිංහල බ්ලොග් ලේඛන කලාවේ අවගමනය - A turning point?


ඔව්, එය සත්‍යයකි!

කලකට පෙර සශ්‍රීකව වැජඹුණු සිංහල බ්ලොග් කෙත අද පුරන්වී යාමට ආසන්න ය. ඒ අවගමනය මගේ රසිකොලොජියේ වාර්තාවෙන් ම පෙනේ.

රසිකොලොජිය ඇරඹුවේ මීට වසර හතරකට පෙර 2014 ඔක්තෝබර් මස 27 වෙනිදා ය. ඒ මගේ උපන් දිනයයි.

එතැන් සිට ලිපි පන්සියයේ කඩ ඉම පසුවන තුරු ම මම ඉතා උනන්දුවෙන් ලිපි ලියා පළ කළෙමි. ඒ වන විට බ්ලොගය අරඹා ගත වී තිබුණේ දින 1012 ක් පමණක් නිසා ලිපි 500 පළ කිරීම යනු ඉතා සශ්‍රීක අස්වැන්නකි.

කඩඉම පසු කළ පසු, බ්ලොග් ලිපි ලිවීමේ වේගය තරමක් අඩු කර වෙනත් ලියවිලි සඳහා කාලය වැඩියෙන් මිඩංගු කරන්නට අදහසක් තිබුණ ද, එය වසරකට ලිපි සියයක් පමණ අඩු කළ ඉලක්කයකි, මෙතරම් ඉඩෝරයකට මුහුණ දෙන්නට වෙතැයි මම එදා නොසිතුවෙමි.

කෙසේ වුවද, සිදුවූයේ එයයි.

මා සරදම් බසින් ඇස්වහක් හෝ කටවහක් යැයි කියූවද, මෙය මගේ ජීවිතයේ ද සිදු වූ වෙනස්කම් හා සමාන්තරව සිදු වූ කාලකණ්ණි තත්වයක් විය.

මගේ 500 ලිපිය පළ වී මාස පහළොවක් ගෙවී තිබුණ ද, මේ කාලය ඇතුළත ලිපි පළ වී ඇත්තේ 30 ක් පමණි.

බ්ලොය අරඹා, පළමුවෙනි සංවත්සරය, දෙවැන්න සහ තෙවැන්න සමරමින් ලිපි ලියා පළ කළ මට සිව්වැනි සංවත්සරයට ලිපියක් පළ කරන්නට නොහැකි විය.

මෙය කාලකණ්ණි තත්වයක් යැයි මා කීවේ, බ්ලොග් ලිපි නොලියූ හිලව්වට කළ වෙනත් ලියවිල්ලක් ද නැති නිසා ය. ගත වී ගිය කාලය නම් වූ හොණ්ඩර සියයක් බරැති ඒ රත්තරන් නගට්ටුව නැවත ඇද ගන්නට ඇතෙක් සොයා ගැනීමට ද නැත.

අන් අය කියවූවේද නැති ද යන කාරණය කෙසේ වෙතත්, ආත්ම ප්‍රකාශනයක් ලෙස තවමත් බ්ලොග් කලාවේ වැදගත්කමක් මම දකිමි. එය විවිධ හේතු නිසා ෆේස්බුක් අවකාශයට වඩා පහසුකම් ඇති ප්‍රකාශන මාධ්‍යයක් බව අලුතෙන් කිව යුතු නැත.

සෙනසුරාදාට යෙදී තිබුණු මගේ උපන් දින සංවත්සරය වෙනුවෙන් මම පසුගිය සමයේ තිබුණු කාලකණ්ණි තත්වයෙන් මිදීමට අධිෂ්ඨානය කළෙමි. ඒ අනුව, ඊයේ දිවා කාලයේ දී, කාලයක් තිස්සේ මා නොවරදවා කළ ද, මාස හයක් පමණ තිස්සේ අතපසු වී තිබුණු, ශාරීරික ව්‍යායාමයක් ලෙස ඇවිදීම යළි අරඹා පියවර 8,000 ක් ගමන් කළෙමි.

එදිනට ම යෙදුණු මගේ රසිකොලොජි බ්ලොගයේ උපන් දින සංවත්සරය වෙනුවෙන් මගේ අධිෂ්ඨානය නම්, අඩු වශයෙන් සතියකට එක බැගින් හෝ රසිකලොජියේ ලිපි පළ කිරීමටයි.

සිංහල බ්ලොග් ලේඛන කලාවේ අවගමනයට නැවතීමේ තිත තැබීමේ යුගයේ අවශ්‍යතාවයට මගේ සම්මාදම එය යි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙන්න හොඳ ගීතයක්.



[image: (c) Rasika Suriyaarachchi]

Saturday, 30 June 2018

සිදත්ගෙ සිතුවිලි - Just before June ends


සිදත්ගෙ සිතුවිලි

කන්ථක අසු පිට දිවා කලේ
සිංහ සෙයින් ගම් දොර සැරිසැරුව ද
අයිතිය මට නොව යසෝදරාටයි

ඉස්සර කොච්චර ලං වී හිටියත්
කසාදයක් බැඳ ගත්තට පස්සේ
ඉඳහිට මිස මේ පැත්තෙ එන්නෙ නැහැ
චන්නගෙ මිතු දම දැන් වියැකීලා!

මහලු ලෙඩෙක් මල කඳක් දුටුවෙ නැති
දිනයක් නැහැ මගෙ මෑත මතකයේ
කලකිරෙන්න ඔය නිමිති ඕනැ ම ද?

රාහුල පැටියා පාසැල් යනවා!

කුරුල්ලෙක් වගේ පියාපත් සලා
සුළං හමන පැත්තට පියඹන්නට
රතී රඟාලගෙ නැටුම් බලන්නට
අබිනික්මන් පාරමී පුරයි සිත.

පසුම්බියේ රන් කහවණු ඇත්නම්
සුජාතලා ගේ කිරිපිඬු එමට ය.

පාත්තරේ උඩුගම් පා කෙරුවොත්
ආපහු මේ ගම් ඒම සිතනු බොරු!

අභිනිෂ්ක‍්‍රමනය කුමන පලක් දෝ්?

කඩතිර එල්ලූ යහන් ගැබේ සිට
සුරුඟුම් පෙන්වන ළඳුන් නොමැති මුත්
චිත්ත සමාධිය සමාපත්ති වී
සුපුරුදු කර කර්මයෙන් සතුටු වෙන්!


-රසික සූරියආරච්චි

ප/ලි:
මේ කවිය ලියවෙන්නට ඇත්තේ 1999 දී පමණ ය. ඉන් දශකයකට පමණ පසු 2008 නොවැම්බරයේ දී මුද්‍රණය වුණු "සිව් සිත් කව්" කාව්‍ය සංග්‍රහයට එය ඇතුළත් විය.

ප්‍රකාශනය: විදර්ශන
ISBN: 978-955-8033-12-7