
මෙන්න විශේෂ ප්‍රවෘත්තියක්.
බිරිඳ ද, දරු දෙදෙනා ද සමග මම පසුගිය දා සතියක පමණ පොඩි පහේ නිවාඩුවක් ගත්තෙමි.
ඒ මා වෙසෙන සිඩ්නි නුවර හෙවත් සිනුවරින් කිලෝමීටර් 900 ක් පමණ උතුරු දෙසින් පිහිටි බ්‍රිස්බේන් නගරයේ ය. බ්‍රිස්බේන් යනු ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රාජ්‍යයේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ අගනුවරයි.
වංගු ගැසෙමින් ඇදී යන බ්‍රිස්බේන් නදිය දෙපස පිහිටා ඇති බ්‍රිස්බේන් නගරය මනරම් පුරවරයකි. බ්‍රිස්බේන් කරා ගුවනින් ගිය අප නගර මධ්‍යයේ ම නවාතැන් ගත් නිසා, හිතේ හැටියට එපුර සිරි විසිතුරු දැක බලා ගැනීමට හැකි විය.


අප පසුගිය ජූලි 12 දින නගරයට ළඟා වූ මධ්‍යහන්‍යයේ සිට ජූලි 17 සවස දෙකේ හෝරාවට ඉන් පිටවූ මොහොත දක්වා, මා කිලෝමීටර් 50 ක් පමණ, දිනකට කිලෝමීටර් දහයකට වැඩි ප්‍රමාණයක් ඇවිඳින්නට ඇත.

බෑගයක දැමූ ඇඳුම්වලින් ජීවත්වීමත්, තුන්වේලම කෙසේ වෙතත්, දිවා සහ රාත්‍රී ආහාර වේල් සියල්ලම ආපනශාලාවලින් කෑමත් හොඳ අත්දැකීමකි.
විවිධ භාෂා කතා කරන මිනිසුන් වසන, බහු සංස්කෘතික රටක් වන ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයේ දී ද, අපට එංගලන්ත, ජපන්, චීන, ස්පාඤ්ඤ, ඉතාලි ආදී විවිධාකාරයේ ආහාර වර්ග පමණක් නොව, අවසානයේ සෙනසුරාදා මිතුරෙකු ගේ නිවසේ දී, සුපුරුදු සිංහල කෑම වේලක ද රස බැලීමට ද හැකි විය.






බීම ගැන සඳහන් කළහොත්, මම තේ, කෝපි, වයින්, ස්පාඤ්ඤ සැන්ග්‍රියා, ක්වීන්ස්ලන්ත බියර් සහ ජපන් බියර්වලින් ඔබ්බට නොගියෙමි.



කටට කෙළ උනන නිසා, අතුරුපස ගැන නම් වැඩි විස්තර නොලියමි.



බ්‍රිස්බේනයේ අප ගත කළ දින හය ඉතා ඉක්මනින් ගෙවී ගිය අතර, සිනුවර බලා අප පිටත් වූයේ තරමක දුකෙනි.
සතියක් පමණ කාලයක් තිස්සේ රසිකොලොජියේ කලින් ලියා සැකසූ ලිපි පළ කරමින් ජාම් බේරා ගත්තද, ප්‍රතිචාරවලට ප්‍රති පිළිතුරු දීමට කාලයක් සොයා ගත නොහැකි වීම ද තරමක දුකක් ගෙන දුනි.
ඊටත් වඩා දුකක් දැනුණේ ඉරිදා රාත්‍රියේ නිවසට පැමිණි පසු, ගමන් විඩාව මැද ම, පසුවදා සේවා ස්ථානයට යාමට ඇති බව සිහිවීම නිසා ය.
අවසානයේ සිදුවූයේ හිසරදයක් සමග අවදී වී තවත් පැය හතරක් ම සයනයේ ම "චක්-එ-සීකී" මුද්‍රාවෙන් ගත කිරීමටයි.
-රසිකොලොජිස්ට්
ප/ලි:
දශක කිහිපයක් පැරණි මගේ හතේ පන්තියේ සිංහල පාඩමක මතකය නිවැරදි නම් මේ ලිපියේ මුල් වැකිය වන
බිරිඳ ද, දරු දෙදෙනා ද සමග මම සතියක පමණ පොඩි නිවාඩුවක් ගත්තෙමියන්න
බිරිඳ ද, දරු දෙදෙනා ද, මා ද සතියක පමණ පොඩි නිවාඩුවක් ගත්තෙමුකියා ද ලිවිය හැකි ය.