Saturday 10 January 2015

නව ජනාධිපති දිවුරුම් දෙන දා ලියවුණු පැල් කවි - History may repeat


මගේ පරණ පිනක් පලදීම නිසා මට ජනවාරි පස්වෙනිදා සිට දාසය වෙනිදා දක්වා නිවාඩුවක් ගත කරන්නට අවස්ථාවක් උදාවිය.

නිවාඩුව ගතවෙන්නේ ලෝකයේ ඉතාමත්ම පියකරු රටකය. ඒ කාලය අතරතුර වෙන වෙන අයගේත් පින පව් පල දී ඇති බව පෙනේ.

ලංකාවේ ජනාධිපති ලා ගෙදර යන, අලුත් පොරවල් පෙරට එන විස්තර කියවමින් සිටින අතරතුර මට, මා මීට වසර හයකට පෙර ජනවාරියක හිමිදිරි උදෑසන ජනාධිපතිවරයෙකු දිවුරුම් දෙන අයුරු රූපවාහිනියෙන් නරඹමින් ලියූ කවි පන්තියක් සිහියට නැගුණි.

මේ කවි ලියවුනේ 2009 ජනවාරියේ දී ය. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රථම කලු ජාතික ජනාධිපති ලෙස ඔබාමා දිවුරුම් දුන් දිනයේ ය.

ඔබමා බරක් එක්සත් ජනපද යේ
ජනපති විලස දිවුරුම් දුන් අද දින යේ
නෙත නැගි තුටු කඳුළු පිස දා ලහි ලහි යේ
මේ කවි ලියමි හිරු නැග එන හිමිදිරි යේ

වසවර්තියෙකු වුව ජනපති වෙනු පිණිස
ඡන්දය ඉල්ලනා විට බෝසත්ය යස
බෝසත් කෙනෙකු වුව ජනපති වූ විගස
වසවර්තියා වැඩි හොඳ බව නැත කුකුස

ඡන්දෙට කලින් මැති දුටු සඳ කුමක් වැනී
කලකින් නුදුටු හිත මිතුරෙක් දැක්ක වැනී
ඡන්දෙන් පසුව මැති දුටු සඳ කුමක් වැනී
අළුගෝසුවා රෑ මැද හමුවුනා වැනී

බලයට එන්න පෙර නිදහස භාෂණ යේ
පරමාදර්ශයයි මැතිඳුගෙ චින්තන යේ
තම පණ වුවද දෙන්නයි සැරසී සිටි යේ
අමතක වේ ද බලයට පත් වූ හැටි යේ

ෆොක්ස් ටෙලිවිෂනයට ගින්දර තැබේවි ද
වොෂින්ටන් පෝස්ට් කතුවර මැරේවි ද
අල්-කයිඩා ව ගැන ලිපියක් ලියන ලද
උප කතුවරුන් හෙට සිරගෙට වැටේවි ද

වදකාගාර ගන්තනමෝ බටලන්ද
වැලලු මිනී අබු-ග්‍රේ සූරියකන්ද
දැම්මත් බලය ගන්නට පෙර මහ සද්ද
කොමිසන් වාර්තාවට සීමා වෙද්ද

සේරු අටක් ඇට හැම ගෙට එවන්නට
නැති බැරි පිරිස ඇති හැකි අය කරන්නට
සමුර්දියක් ජන-සවියක් දෙවන්නට
දුන් සැම පොරොන්දුව අමතක වේද හෙට

බුෂ් ගේ ප්‍රජා අයිතිය හෙට නිමවේ ද
රට හැම තැනම පෑ තැටි ඉඳි කරවේ ද
චෞර රජා ලෙස හොඳ නම හිමිවේ ද
පෙන්ටගනයෙ ජොබ් එක මල්ලිට යා ද

විපක්‍ෂයේ ඉඳ සිල් අරගෙන වාගේ
රටේ ප්‍රශ්ණ විසදිය හැක කජු වාගේ
එරට මෙරට කොයි දේසෙත් එක වාගේ
බලමු හෙට කෙරුම් ජනපති ඔබමා ගේ


(ජනවාරි 2009)

ඉතිහාසය බොහෝ විට නැවත සිදුවෙයි. ඒ සඳහා පස්මහ බැලීම් නැත.

-රසිකොලොජිස්ට්

(image http://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d7/US_President_Barack_Obama_taking_his_Oath_of_Office_-_2009Jan20.jpg/1024px-US_President_Barack_Obama_taking_his_Oath_of_Office_-_2009Jan20.jpg)

24 comments:

  1. කිසිම කවිත්වයක් නැති කෙනෙක් ලියපු, කතාවක් වගේ දෙයක් වගෙ පෙනුනත් ඇතැම් කරුණු ඇත්ත තමයි.ඉතින්, ''ඒ කතාවෙත් ඇත්තක් තිබෙයි''කියලා මගේ කමෙන්ට් එක මෙහි තබමි.

    ReplyDelete
    Replies
    1. ඔබද හකුරු, මමද හකුරු?

      Delete
  2. අද (9) පාන්දර 2 ට පමන හමුදාපතිවරැන් සහ ගරැ නිතිපති අරලියගහ මන්දිරයට කැදවු පරාජිත ජනාධිපති රාජපක්‍ෂ මැතිවරන ප්‍රථිපල අත්හිටුවිම සදහා හදිසි නිතිය පනවනලෙස ට නියම කරන ලදි. එහෙත් එහෙත් එම යොජනාව නිතිපති වරයා විසින් තරයේ ප්‍රතික්ක්‍ෂප කරන ලදි. හමුදාවද ජයගත් අයගේ පැත්ත ගන්නා ලදුව ,කරකියාගන්නට දෙයක් නොමැති මාරා නිල නිවසින් පිටවි යනලදි. මහත්මා දේශපාලනයක ලකුන !

    by Ajith P Perera on his FB

    ReplyDelete
  3. බොහෝම කාළෙකින් අපූරු කවි පන්තියක් රස වින්ඳා රසිකගෙන්...

    ReplyDelete
    Replies
    1. මහහම සේකරටවත් බැහැ මේ වගේ අපූරු කවි ලියන්න.මාර කවිත්වයක් තියෙන්නේ,හැබැයි මාතලන් ලියන ඒවට වඩා නම් හොඳයි.

      Delete
    2. මේ කමෙන්ටුව මා දැක්කේ තනි තරුව ගේ බ්ලොග් එකේදීය.අයිතිය අදාල පාර්ශ්ව වලටලබා දෙමින්, මෙය මෙහි උපුටා දක්වමි.
      //යහපාලනේ තියෙන්නේ Utopia වෙ සහ කේතුමතී රාජ්යයේ පමනි. කිසිදා ලන්කාවෙන් පිට රටක ජීවත් නොවූඔ හාදයෝ ලන්කාවේ හැර අනෙක් රටවල යහපාලනේ තිබේ කියා සිතති. තව සමහරු තමන් ජීවත් වන රටෙ යහපාලනේ ඇතයි අපට දෙසා බායි. එහෙත් එය සත්යය නොවේ.

      උදාහරනයක් ලෙස දියුනු යැයි සම්මත රටවලින් වැඩිම පුද්ගලයන් සංක්යාවක් අතඩංගුවේ මීය යන්නේ ඔස්ට්‍රෙලියාවේය (cell deaths). එහි හැම විනාඩි දහ අටකටම සැරයක් පුරවැසියෙක් අතුරුදන් යැයි පොලිසියට පැමිනිලි ලැබේ.

      ලංකාවේ පවා දක්නට නොලබෙන අන්ත දරිද්‍රතාවට කෙලින්ම සම්බන්ද ලෙඩ රෝග ඇති රටකි ඔස්ට්‍රලියාව. යහපාලනේ තියේ නම් ඔවුවා සිද්ද වෙව්යි ද?


      ඒ වුනාට තමා පමනක් ඔස්ට්‍රෙලියාවේ ඉන්නවා කියා සිතාගෙන සින්හල බොග් ලියන අය ඒව අපට නොකියයි.

      ඒ නිසා නොනාවරුනි මහත්වරුනි, අම්මේ තාත්තේ, යහපාලනේ කිය දෙයක් මේ ලොව නැත!//

      Delete
  4. වෙනස් කම් ටිකක් කරලා ගත්තනම් මේක ලංකාවටත් ගැලපෙනවා..

    ReplyDelete
  5. ලස්සනයි. අර්ථවත්.

    ReplyDelete
  6. "ලුසියානා වූඩූ වලින් චන්දය තියේවිද"

    en.wikipedia.org/wiki/Louisiana_Voodoo








    ReplyDelete
  7. අතීතය නැවත සිදුවන විට අනාගතය පුරෝකථනය කිරීම හරිම පහසුයි.............

    ReplyDelete
  8. හිහ් හී...නියමයි. ඔබාමාගේ කෙරුම් නෙවෙයි දැන් මෛත්‍රී මාමගේ කෙරුම් බලන්නයි අපි ලෑස්තිවෙන්නේ. හැබැයි මෛත්‍රී මාමා කලින් හිටිය මාමගේ ඇඳුම් ඇඳගත්තොත් අපිටම තමා එව්වා ගලවන්න වෙන්නේ.

    ReplyDelete
  9. බලමු.... බලමු..... උදා වූ යුගයේ අරුනළු කෙලෙස පායාද කියා....

    ReplyDelete
  10. මහින්දට ඔයතරම් හෝ චන්ද ලැබුනේ චන්ද පෙට්ටි මාරු කරලා චන්ද පෙට්ටි මාරු කල කතාවේ කිසිම බොරුවක් නැහැ , ඉතාමත් පැහැදිලි ලෙස චන්ද දුෂණයක් තිබෙනවා , 81.52% චන්දය පාවිච්චි කළා , කියා කිසිසේත් පිළිගන්න බැහැ , 75% වුනත් පිළිගන්න බැහැ , 1% වෙනස කියන්නේ චන්ද 150,000 ක් පමණ වෙනවා , සාමාන්‍යයෙන් 75% චන්දය පාවිච්චි කර මෙය 81.5% දක්වා වෙනස් වුනා කියන්නේ චන්ද 975,000 ක පමන වෙනසක් මෙය සුළුපටු ගණනක් නොවේ ,
    කිසිම කෙනෙක් මේගැන හිතන්නේ නැහැ පසුගිය වාර්තා බලනකොට මෙම ප්‍රතිසතය ඉතා අගයක්, මේ නිසා තමා දකුණේ මහින්දට වැඩි චන්ද ප්‍රමාණයක් එකතුවෙන්නේ ,

    ReplyDelete
    Replies
    1. අම්මාපා නෙවෙයි මෙව්වට කියන්න ඕනෙ ඇන්ටිපා කියලා.

      Delete
  11. බලමුකෝ මෙයා යන පාර,තවම පටන් ගත්තා විතරනේ.

    ReplyDelete
  12. මැකේන් කිව්වා වගේ මතකයි මම පැරදුනේ නෑ , ඔබාමා දින්නේ අල්කයිඩා චන්ද වලින් කියලා

    ReplyDelete
  13. හම්මේ පට්ට කවි ටික :D කියල වැඩක් නැ

    ReplyDelete
  14. මේක අර කතන්දර කාරය ලියපු එකක් නේෆ්හ?
    දාසට ගැලපෙන කවි ටික.

    ReplyDelete
  15. //ඉතිහාසය නැවත නැවතත් සිදුවෙයි.. //
    ඒත් එය ඇමෙරිකාවේ උනාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ.. හැක් හැක්..

    ReplyDelete
  16. රස වින්දා. ඉතිහාසයක් මතක් කරවන මේ පේලි ටිකට වඩාත් කැමතියි .
    /බුෂ් ගේ ප්‍රජා අයිතිය හෙට නිමවේ ද
    රට හැම තැනම පෑ තැටි ඉඳි කරවේ ද
    චෞර රජා ලෙස හොඳ නම හිමිවේ ද
    පෙන්ටගනයෙ ජොබ් එක මල්ලිට යා ද /

    ReplyDelete
  17. වෙලාවටම ගැලපෙනවා. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15345-history-may-repeat

    ReplyDelete
  18. මාරයා බ්ලොග වහලා ගිහිල්ලත් කමෙන්ට්ස් 65 ක් තියෙනවා. ඒත් රසික ගෙ බ්ලොග කමෙන්ට්ස් නැතිව වේලෙනවා.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.