Saturday 12 December 2015

කොරහ ළඟ තියෙද්දී අත දමන්නට කළගෙඩි සෙව්වෙමි! - Around half the world in 24 hours


මෙය කියවන ඔබ, "හදිස්සියට කොරොස් කටේ අත දා ගන්නත් බෑ!" යන කියමන අසා තිබේ යැයි සිතමි.

අද භාවිතයෙන් ඉවත් වී යමින් තිබුණ ද, කොරහ යනු එකල අපේ කුස්සිවල තිබුණු මැටි භාණ්ඩ අතුරින් ප්‍රධාන තැනක් ගත් එකකි. එය කළගෙඩියක් තරමටම වාගේ බඳේ ප්‍රමාණයෙන් විශාල වූ නමුත් හැඩයෙන් අර්ධ ගෝලාකාරී එකකි. මැටි කෝප්පය නමින් හැඳින්වූ භාජනයේ විශාල පරිමාණයේ අනුරුවකි. විශාල වතුර ප්‍රමාණයක් දරමින් කුස්සියේ පොළොව මත සමතුලිතව සිටුවා තැබිය හැකි නිසා, එය හාල් ගැරීම, විවිධ ආහාර ද්‍රව්‍ය සේදීම වැනි කටයුතු සඳහා උපයෝගී කර ගන්නා ලදී.

අප කුඩා කාලයේ මැටියෙන් සෑදූ කොරොස් භාවිතා වූ නමුදු පසු කලෙක ඒවා ඇලුමිනියම්වලින් නිපදවෙන්නට පටන් ගැනුණි.

කුස්සියේ භාවිතා වූ වළඳ, කළය, ඇතිලිය, මැටි කෝප්පය සහ නෑඹිලිය වැනි භාජන හා සලකා බලන කළ, කොරහ යනු විශාලම ප්‍රමාණයේ කටක් හෙවත් විවරයක් තිබුණු භාජනය යැයි කිව හැකි නිසා හදිස්සියට කොරොස් කටේත් අත දාන්න බෑ යනුවෙන් එන යෙදුමේ අදහස එය කලින් අසා නැති, කොරහක් දැක නැති අයට වුවද වටහා ගත හැකි වෙතැයි සිතමි.

හදිස්සියක් නැති අවස්ථාවල දී නම් "කොරොස් කටට අත දැමීම" වනාහී අති සරල ක්‍රියාවක් වේ.

එය එසේ නමුත් කළගෙඩියක කට ඇතුළට අත දැමීම නම් එතරම් ලෙහෙසි ක්‍රියාවක් නොවේ. ඒ දැමූ අත, කළගෙඩිය ඇතුළත දී මිට මෙළවූවොත් අත එළියට ගැනීම ඊටත් වඩා අසීරු කාර්යයක් වෙනු ඇත.

දැන් සති දෙකකට ඉහත දිනයක මට මුහුණ දෙන්නට සිදුවුණු අවස්ථාවක දී මට ඇති වූ තත්වය විස්තර කළ හැක්කේ "හදිස්සියට කොරහ මොකක්ද, කළගෙඩිය මොකක්ද යැයි අඳුනා ගන්න බැරි වෙනවා" වගේ හෝ එසේ නැතිනම් "කොරහ ළඟ තියෙද්දී අත දමන්නට කළගෙඩි හෙවීම!" වැනි අලුත් ම අලුත් කියමනකිනි.

මා නිවසෙන් බැහැරව දුර ගමනක් යෑම සඳහා ගුවන් ටිකට් පතක් වෙන් කරවා ගත්තේ මාර්තු මාසයේ ය. එය යෙදී තිබුණේ දෙසැම්බර් එකොළොස් වෙනි සිකුරාදාටයි.

සිනුවරින් ගුවන් යානය පිටත් වෙන්නේ රාත්‍රී නමයට නිසා, මා බලාපොරොත්තු වූයේ එදින කාර්යාලයට ගොස් සේවය නිමවා, එතැනින්ම දුම්රියේ නැගී ගුවන් තොටුපොළට යන්නයි.

ක්වාලාලම්පූරයේ පැය හයක ඉසුඹුවකින් පසුව මගේ ඊළඟ ගුවන් යානය එයින් පිටත් වී ගමනාන්තයට ළඟාවෙන්නට තිබුණේ සෙනසුරාදා උදෑසන එකොළහට පමණ ය.

මා ගුවන් ටිකට්පත ලබා ගත්තේ ගුවන් සමාගමෙන් නොව අන්තර්ජාල සේවයකිනි. මාස නමයකටත් වඩා කලින් සැලසුම් කළ ගමනක් නිසා, කෝකටත් කියා, රක්‍ෂණයක් ද ලබා ගත්තේ ගමන අවලංගු කරන්නට හෝ වෙනස් කරන්නට සිදුවුණහොත් සිදුවෙන පාඩුව අවම කර ගැනීමට ය.

අවාසනාවකට මෙන් මීට සති දෙකකට පෙර දිනයක මට ලැබුණු හදිසි පණිවිඩයකින් කියවුණේ, ක්ලාලම්පූර් සිට සෙනසුරාදා උදෑසන පිටත්වීමට නියමිත මගේ දෙවන ගුවන් යානය අවලංගු කර ඇති බවත් ඒ වෙනුවට මා එදින රාත්‍රී නමයට පිටත්වෙන යානයට අනුයුක්ත කර ඇති බවත්ය.

මේ වෙනසේ ප්‍රධාන ප්‍රතිඵලය ලෙස පෙනුණේ පැය හයක් වෙනුවට පැය දහ අටක්, පාන්දර තුනේ සිට රාත්‍රී නමය දක්වා මට මැලේසියාවේ රැඳී ඉන්නට සිදුවීමයි.

සෙනසුරාදා සවස ගමනාන්ත නගරයේ දී පැවැත්වෙන, එනිසා මට සහභාගී වෙන්නට හැකියාව ඇති බව වැටහී තිබුණු එක්තරා සුන්දර උත්සවයක්, මේ ගහෙන් ගෙඩි කඩා වැටෙන්නාක් බඳුව සිදු වූ ගුවන් ගමන් අවලංගුව නිසා අමතක කර දැමීමට සිදුවෙන බව හැඟී මට කණගාටුවක් ද ඇතිවිය.

කෙසේ වෙතත්, ඒ මොහොතේ සිට මා කළේ කොරොස් කට අමතක කර විවිධාකාරයේ කළගෙඩිවලට අත දැමීමට තැත් කිරීමයි.

අන්තර්ජාල චාරිකා සමාගම අමතා, මට උදෑසන පිටවෙන වෙනත් යානයක් අමතර වියදමක් නොමැතිව ලබා ගත හැකි දැයි විමසූවෙමි. එය ඔවුනට ඉටු කළ නො හැකි බව පවසන ලදී.

රක්‍ෂණය සමාගමට කතා කර ඒ ගැන විමසූ විට පැවසුණේ ද ගමන ඇරඹී නැති නිසා, රක්‍ෂණය ද ඇරඹී නැති බවයි. මෙය හදිසි අවස්ථාවක් නොව, කලින් දැනුම් දුන් වෙනසකි!

රක්‍ෂණ ගිවිසුමේ වෙනත් කොන්දේසියක් යටතේ මට මැලේසියාවේ දී දැරීමට සිදුවෙන අමතර වියදම් ලබා ගැනීමට හැකියාව තිබුණද, මා ලබා ගෙන තිබුණු සාමාන්‍ය අවරණය යටතේ, අමතර පිරිවැය ඩොලර් දෙසිය පනහක් වැයවෙන බව ද පැවසුනි.

පරාජය බාරගත් මා හිත හදාගෙන එතැන් සිට ඇරඹුවේ පැය දහඅටක් මැලේසියාවේ නාස්ති කරන්නට සැලසුම් කිරීමයි. එරටට ගොඩබහින වෙලාවේ සිට උදේ පහන්වෙන තුරු නැවතිය හැකි හෝටල් ගැන සෙවූයෙමි. ගුවන් තොටුපොළේ සිට නගරයට යන ක්‍රම ගැන සෙවූයෙමි. නගරය අවට කළ හැකි කෙටි ගමන් ගැන තොරතුරු සෙවූයෙමි.

ඒ කටයුතු සඳහා සතියක පමණ කාලයක් තුළ දී විටින් විට එකතුව පැය හතර පහක් ම ගත කළෙමි.

අත ළඟ ඇති කට ලොකු කොරහ අමතක කර මා මේ හදන්නේ කට පොඩි කළගෙඩිවල අත දමන්නට බව වැටහුණේ ඉන් පසුවයි.

මේ ගුවන් සමාගමෙන් ම උදේ වරුවේ ද ගුවන් යානයක් සිඩ්නි සිට මැලේසියාව බලා යන බව මට පෙනී ගියේ ය. මම කෙළින් ම ගුවන් යානා සමාගම ඇමතුවෙමි. කිසිදු ප්‍රශ්නයක් නොමැතිව ඔව්හූ අදාළ වෙනස්කම කළෝ ය.

සෙනසුරාදා උදේ වරුවේ සිනුවරින් පිටත් වී සෙනසුරාදා ම රාත්‍රියේ ගමනාන්තයට යනවා වෙනුවට වැඩිපුර දවසක් නිවාඩු ගෙන, සිකුරාදා පිටත්වීමට ආසන වෙන් කර ගත්තෙමි. ඒ සඳහා කිසිදු අමතර මුදලක් ගෙවීමට සිදු නොවීය!

ගුවන් යානා සමාගමෙන් මට ලැබුණු ඊ-මේලයේ ද ඒ බව සඳහන් කර තිබුණු බව මට සිහිවුනේ ඒ අතරතුර දී ය.

කොරහ ළඟ තියෙද්දී මා අත දමන්නට කළගෙඩි හොයා ඇත්තේ ඇතිවුණු හදිස්සිය නිසා ය!

මේ ලිපිය පළවෙන මොහොත වෙන විට මා ගමනාන්තයට ළඟා වී තිබිය යුතු ය.

එය එසේ නම්, අද සවස මිතුරු සමාගමක රස විඳින්නට ද හැකි වෙනු ඇත.

ජයවේවා!

-රසිකොලොජිස්ට්

23 comments:

  1. mona labbakda oyi meka , mekage diary kiyawanna apiwa purudu kaala mala wikarayak

    ReplyDelete
    Replies
    1. ඔබේ දැන ගැනීම පිණිස-

      Web + Log = Blog

      එනම් බ්ලොග් යනු සටහන් ය. ඒවා දින සටහන් ද විය හැක, වෙනත් සුවිශේෂී වර්ගවල සටහන් ද විය හැක.

      Delete
  2. දහස් ගනම් පඩි ගන්න ඔබලා බජට් එයාර් ලයින්වල යනකොට ඔය පරිප්පුව කන්න පුරුදු වෙන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. ඔබේ පහසුව පිණිස මේ කතාවෙන් මා කීමට අදහස කළ දේ සැකෙවින් මෙන්න.

      1. සමහර විට අපි හොඳින් පැහැදිලි විකල්පය තෝරා නොගෙන විවිධ අනවශ්‍ය දේ කරමු.

      2. මේ සඳහා අලුත් ප්‍රස්ථා පිරුළක් අවශ්‍ය වේ. මා යෝජනා කරන්නේ-

      "හදිස්සියට කොරහ මොකක්ද, කළගෙඩිය මොකක්ද යැයි අඳුනා ගන්න බැරි වෙනවා වගේ"
      "කොරහ ළඟ තියෙද්දී අත දමන්නට කළගෙඩි හෙවීම!"
      වැන්නකි.

      3. මට යශෝධ සම්මානී ප්‍රේමරත්න ගේ පොතේ උත්සවයට සහභාගී වීමට හැකිය.

      Delete
  3. ඔබව එහෙමන් අද දැකගන්න පුලුවන් වෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. මට බැරිවුනානෙ. :-(

      Delete
  4. මහවැලි කේන්ද්‍රයට සඳ පායන වගයි..
    හෙහ් හෙහ්...
    ජයවේවා..!!

    ReplyDelete
  5. මූත් අර කතන්දරකාරයා වගේ එකෙක්. කොහෙද බං ඒ ක.කා. දැං? මක්වුනාද ඌට?

    ReplyDelete
  6. කියල වැඩක් නෑ...ඉංජන්ටමද මංද ඕව වෙන්නෙ....පදමට සප්පායම් වෙන්න ඕව අමතක කරල....අපි නොදන්න මිතුරු සමාගම.....

    ReplyDelete
  7. mamanam oya waradda sahenna karala thiyanawa.dan indan e gana aluthin hitanna puluwan.meeta passe e gana deparak hithala balala weda karanawa. bohoma stutiy!

    ReplyDelete
  8. කොරහ මට මතක ඇලුමීනියම් ඒවා විතරයි...
    මැටි කියලා දැකපු ගමන් ටිකක් අඤ්ඤකොරොස් වුණා...
    කොරහ කියන එකේ බහු වචනය මොකක්ද කියන එක මට පොඩි කාලේ ඉඳන් තිබුණ ප්‍රශ්නයක්...
    මම පාවිච්චි කරේ කොරහවල් කියන එක...

    ReplyDelete
  9. බස්සිගේ උස්සවේදි දුටුවනම හඳුනා ගත්තා. සිනාසුණා. නමුත් කතා කරන්නට හැකි වුණේ නැහැ. මම කළින්ම ආව නිසා. මේ බිමේදි දැකගන්නට ලැබීම සතුටක්..

    ReplyDelete
    Replies
    1. සචී සහ දියණිය අසල සිටියේ ඔබ නේද?

      Delete
    2. ඔව්... එතන උන්නේ මම තමයි..

      Delete
  10. පුන් සඳ මග හැරින.....

    ReplyDelete
  11. Dear Rasika,

    Can you publish a photo of "Koraha" made by clay? I haven't seen such item. At least gimme a link of website which having photographs.

    ReplyDelete
    Replies
    1. "හිල් පොල්කට්ටෙන් වතුර දමා දරුවා නෑවූයේ මැටි කොරහක ය. අපේ ඇතැම් ජනකතාවක ද මේ මැටි කොරහ දරුවන් නෑවීමට යොදා ගත් බව කියැවේ. හත් කෝරළයේ මේ මැටි කොරහ හඳුන්වා ඇත්තේ විල් කොරහා නමින් බව උපතේ වගතුග කෘතියේ සඳහන් වේ. කුළුඳුල් දරු උපතේ දී නැද්දම්මා ලේලියට විල් කොරහක් පිරි නමන්නේ බිළිඳා දොරට වඩම්මන දිනයේ බව ද ඒ කෘතියේ සඳහන්. මෙකල මෙන් ප්ලාස්ටික් ඔරු බේසම් නැති එකල දරුවන් නාවා පවිත්‍ර කිරීමට යොදා ගැනුණේ මේ මැටි කොරහ හෙවත් විල් කොරහ ය."

      http://www.silumina.lk/2011/03/27/_art.asp?fn=af1103275

      Delete
  12. ඇවිත් හිටිය බව දැන ගත්තා.. මට එන්න වුනේ නැති නිසා හමුවෙන්න තිබී අවස්ථාව මඟ හැරුනා..

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.