Monday 5 December 2016

හිටං විහිළු නොහොත් "කුණුහරුප සහ අමාරු වචන" - Stand up!


"හිටං විහිළු" යනු මොනවාදැයි දැන ගැනීමට සහ "හිටං විහිළු" කිහිපයක් හෝ දැන ගැනීමට පහත පළ කෙරෙන මගේ මුල් ම "හිටං විහිළු" වැඩ සටහනේ පිටපත කියවන්න.

මෙය මා ඉදිරිපත් කළේ 2016 දෙසැම්බර් තුන්වෙනි දා සවස පැවැත්වුණු ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ වර්ෂාවසාන සාදයේ දී ය.


කුණුහරුප සහ අමාරු වචන

ආයිබෝවන්, සුභ සැන්දෑවක් වේවා!

ටික ටික වයසට ගිහින් ඉස නිකට පැහෙන කොට අපිට හැදෙනවා පොඩි ලෙඩක්.

මේකට කියන්නේ "අතීතකාමය" කියලයි.

කලබලවෙන්න එපා. අතීතකාමය කියන්නේ කුණුහරුපයක් නොවෙයි. හැබැයි ඒකේ තේරුම දන්නෙ නැති අයට ඒක අමාරු වචනයක්.

අපි ඉස්කෝලේ ගිය පොඩි කාලේ, අකුරෙන් අකුර ගැ ගහගෙන වචනෙන් වචනේ කියවන්න හැකි වෙලා, පොත් පත්තර කියවන්න පටන් ගත්තු කාලේ අපිට තිබුණු ලොකුම ප්‍රශ්නයක් තමයි මේ අමාරු වචන.

අමාරු වචන කියලා කියන්නේ මහප්‍රාණ අකුරු තියෙන, උණ්ඩුඛඵුච්ඡය, භෞමිඛ අඛණ්ඪඨාවය වගේ වචනවලටම විතරක් නොවෙයි.

මං පොඩි කාලේ, මට මතක විදියට තුනේ පන්තියේ විතර ඉගෙන ගන්න කාලේ, මං දැක්කා කෝච්චි ටිකට් එකක්. දුම්රිය ප්‍රවේශ පත්‍රයක්.

මං ඒ දවස්වල අතට අහුවෙන ඕනෑම දෙයක් කියවනවා. කෝච්චි ටිකට් මෙන්න මෙහෙම ලියලා තිබුණා.
නිකුත් කළ දිනට පමණක් වලංගුයි
ගනේමුල්ල සිට කොළඹ කොටුව
මිල ශත හැත්තෑවයි
මං බැලුවා මේ ටිකට් එකේ අනිත් පැත්ත
අත්සන් කිරීම තහනම්!
අත්සන් කිරීම තහනම්?

"මේ මොන විකාරයක් ද?" මට හිතුණා. "මේ ටිකට් එක අපි සල්ලි දීලා ගත්තා නම්, අපි ඒකේ අත්සන් කළාට මක්වෙනවාද?"

මං ගත්ත පෑන, ගැහැව්වා අත්සනක් ටිකට් එක පිරෙන්න.

පස්සෙ තමයි මං දැන ගත්තේ ඒ තිබුණේ අත්සන් කිරීම නොවෙයි අන්සන්තක කිරීම කියන අමාරු වචනය ය කියලා!

ඊට අවුරුදු දෙක තුනකට පස්සේ මට මතකයි ගනේමුල්ලේ තිබුණා කවි මඩුවක්.

මේක හිටගෙන කවි කියන තැනක් කියලයි කියවුණේ.

ඒ කාලේ ඒ පැත්තේ හිටපු නං දරාපු කවිකාරයෝ, කවිකාරියෝ, ගනේමුල්ලේ සිරිනන්දන, කටුවාලමුල්ලේ වයි ජිනදාස, බිංගිරියේ විජයකුමාර, සෝමා හපුගොඩ හෙම ඇවිල්ලා හිටියා එදා.

මට මතකයි, මං ඒ හිටගෙන කවි මඩුව බලන්න ගියාම දැක්කේ ස්ටේජ් එකේ පුටු දාලා කවියෝ හොඳට වාඩිවෙලා හිටිය හැටියි.

මං හිතුවා, හිටගෙන කවි කියන්න ඇයි මේ පුටුවල වාඩිවෙලා ඉන්නේ කියලා.

හැබැයි තමන් ගේ වාරය ඇවිල්ලා කවියක් කියන්න කලින් මේ හැමෝම නැගිටලා හිට ගන්නවා. මයික් එක ළඟ හිටගෙන තමයි කවි කියන්නේ. මං හරි නේ කියලා මට හිතුණා.

මේ හිටගෙන කවි නොවෙයි හිටිවන කවි බවත්, හිටිවන කවි කියන්නේ ගෙදරදී ලියාගෙන කට පාඩම් කරගෙන ඇවිල්ලා හිටගෙන කියන කවි නොවෙයි, ක්‍ෂණිකව ගොතා කියන කවිවලට බව මං දැන ගත්තේ එදායි.

ඊට අවුරුදු විස්සකට විතර පස්සේ ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ එක දවසක් මං ටෙලිවිෂන් එකේ දැක්කා හොඳ විහිළු තහළු වැඩ සටහනක් යනවා.
ඒ විකට වැඩ සටහන හැඳින්වුණේ "ස්ටෑන්ඩ් අප් කොමඩි" කියලායි.

ඒ කියන්නේ හිටගෙන විහිළු?

මට එක පාරටම මතක්වුණේ අර හිටගෙන කවි මඩුවේ කේස් එකයි.

එතකොට මේ ස්ටෑන්ඩ් අප් කොමඩි කියන්නේ හිටගෙන කරන විහිළු කියන එක ද, නැතිනම් ගෙදරදී ලියලා, පුහුණුවෙලා එන්නේ නැතුව හිටිවන ම, ක්‍ෂණිකව කරන විහිළු කියන එකද?

මොනවා වුණත්, ඒ මුල්ම ස්ටෑන්ඩ් අප් කොමඩිය දැකලා අවුරුදු ගණනාවක් ගියාට පස්සේ මටත් ඒ වගේ ස්ටෑන්ඩ් අප් කොමඩි කරන්න හිතුණු වෙලාවේ, මට තේරුණා මේකට සිංහල නමක් අවශ්‍ය බව.
හිටගෙන විහිළු කියලා කියනවද?
හිටිවන විහිළු කියලා කියනවද?
හොඳ වෙලාවට මේකට ඒ දෙකටම වඩා ගැලපෙන නමක් ලංකාවෙන් මට හම්බ වුණා!
හිටං විහිළු!!!
ලංකාවේ මිනිස්සු හිනා ගස්සන්න නම්, පුක වගේ දෙයක් කීවාම ඇති කියලා පසුගිය දවසක කෙනෙක් කිව්වා. නමුත් මේ වෙනකොට නං ඇත්තටම "හිටං" කියලා කිව්වාමත් බොහෝ දෙනෙකුට හිනා යනවා!

ඉතිං මේ තමයි මං ප්‍රසිද්ධ වේදිකාවක "හිටං විහිළු" කරන මුල්ම අවස්ථාව.

මං මුලින් කිව්වා නේද අර අමාරු වචන ගැන?

පොඩි කාලේ පොත් පත්තදර කියවන කොට අපිට හමුවෙන අමාරු වචනවල තේරුම මං අහගන්නේ අපේ තාත්තාගෙන්.

අපේ තාත්තා ගුරුවරයෙක්. තාත්තා ඕනෑම අමාරු වචනයක තේරුම දන්න වීරයෙක්.

දවසක් අම්මා ගෙදර ගෙනැවිත් තිබුණු පත්තරයක තිබුණු කෙටිකතාවක් කියවන කොට ඒකේ තිබුණා මට නොතේරුණු අමාරු වචනයක්.
මං ගිහින් තාත්තා ගෙන් ඒකේ තේරුම ඇහැව්වා.

"තාත්තේ ගණිකාව කියන්නේ මොකක්ද?"

එදා තමයි මට තේරුණේ තාත්තා හැම වචනයකම තේරුම දන්නේ නෑ කියලා.

තාත්තා කළේ මං කියවපු පත්තරේ මගෙන් උදුරාගෙන ගිහිල්ලා අමමාට බැන්න එකයි.

ඉතිං මං තේරුම් ගත්තා ගණිකාව කියන්නේ අමාරු වචනයක් විතරක් නොවෙයි කුණුහරුපයක් ය කියලා.

මං ඊට පස්සේ අමාරු වචනයක තේරුම තාත්තාගෙන් ඇහැව්වේ හොඳට කල්පනා කරලායි.

ඔය කුණුහරුප තියෙනවා නේද?

පොඩි කාලේ අපි ඒවා ඉගෙන ගත්තේ අපේ දෙමව්පිය ගුරුවරුන්ගෙන් නොවෙයි. අවට සමාජයෙන්, ගමේ මිනිස්සුන්ගෙන්, ඉස්කෝලේ අනිත් වනචර කොල්ලන්ගෙන්.

ඒ හින්දම ද කොහෙද, ලංකාවේ දී සේරම සිංහල කුණුහරුප මං ඉගෙන ගත්තත්, ඉංග්ලිෂ් කුණුහරුප මට දැන ගන්න ලැබුණේ කීපයයි.

ඇත්තම කියනවා නම් මං සමහර ඉංග්ලිෂ් කුණුහරුප ඉගෙන ගත්තේ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළාට පස්සෙයි.

දැන් මගේ පුතාට වෙලා තියෙන්නේ ඕකේ අනිත් පැත්ත.

ඒ කියන්නේ පුතා අවට පරිසරයෙන් සේරම ඉංග්ලිෂ් කුණුහරුප මටත් වඩා හොඳින් ඉගෙන ගෙන තිබුණත් සිංහල කුණුහරුප එකක්වත් දන්නේ නෑ.

මොකද, එයාට මුණ ගැහෙන කිසිම සිංහල කෙනෙක් කුණුහරුප කියන්නේ නෑනේ!

හැබැයි අපි පොඩි කාලේ වගේ නොවෙයි නේ මෙහේ හැදෙන අපේ ළමයි.

පුතා කෙළින්ම ඇවිත් මට කිව්වා මෙහෙම.

"තාත්තෙ මට සිංහල කුණුහරුප ටිකක් කියලා දෙන්න ප්ලීස්?"

මං අහුවෙයි ඕවට!

දවසකට විතර පස්සේ මට ඇහුණා පුතා දෙතුන් පාරක් මං ඉන්න හරියෙන් යනකොට මට ඇහෙන්න වගේ "අපොයි, අපොයි" කියලා කියනවා.
නිකං මාව ටෙස්ට් කරන්න වගේ!

පස්සේ තමයි මං දැන ගත්තේ ගූගල් ලැන්ග්වේජ් ට්‍රාන්ස්ලේටර් එකේ අර එෆ් අකුරෙන් පටන් ගන්නා අකුරු හතරේ ඉංග්ලිෂ් වචනෙට දීලා තියෙන සිංහල තේරුම තමයි ඒ අපොයි කියන එක කියලා.

හොඳයි එහෙනම් ආයිබෝවන්, මට ලැබුණු කාලය අවසානයි.

මං දැන් "අපොයි-ඕෆ්" වෙන්නම්!

මගේ නම රසික සූරියආරච්චි, ආයේ දවසක හිටං විහිළු කතාවකින් හමුවෙමු, ඔබ සැමට සුභ සැන්දෑවක් වේවා!


අවස්ථාව ලැබෙන පරිදි, දිගින් දිගටම, "හිටං විහිළු" ඉදිරිපත් කිරීම මගේ අරමුණයි. මීළග අවස්ථාව ජනවාරි 26 දින ලැබේ යැයි බලාපොරොත්තු වෙමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඔබේ සාදයට, උත්සවයට, සංදර්ශනයට හිටං විහිළු ජවනිකාවක් එකතු කරගැනීමට අවශ්‍ය නම් මා අමතන්න.

48 comments:

  1. පිස්සුද, නැත්නම් හැටිද?

    ReplyDelete
    Replies
    1. එදා මට දුන් ඔබේ උපදෙස පිළිපැදලා තමයි මේ ෂෝ එක කළේ!


      https://rasikalogy.blogspot.com/2016/08/blog-post.html?showComment=1470992993523#c8947336334158986403

      Delete
    2. පිස්සුද, නැත්නම් හැටිද? කියලා මගේ ඊළඟ හිටං විහිළු වැඩ සටහනට නම දාන්න මං තීරණය කළා!

      ස්තුතියි!!

      Delete
  2. ඇයි "ජනවාරි 26" විශේෂත්වය.කැහි ගැණි වෙනුවට හොටු ගැණි ගත්ත දවස නම් ජනවාරි අට.එකත් එක විහිළුවක් තමයි.

    ReplyDelete
    Replies
    1. ජනවාරි 26 වෙනිදා සිනුවර සිංහල ප්‍රජාවේ උත්සවයක් තියෙනවා. එදින මට හිටං විහිළු ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවක් ලැබේවිය කියලා යි මං බලාපොරොත්තුවෙන් ඉන්නේ!

      Delete
  3. මම ඔහොම අමාරු වචනයක් විදියට අම්මගෙන් අහපු වචනයක් තමයි "බුරුල්ල" කියන්නේ මොකක් ද කියන එක..අම්මා හිනා වෙලා එකට නම් උත්තරේ කියල දුන්නා..

    ReplyDelete
    Replies
    1. බුරුල්ල කියන්නේ ගණිකාව වගේ වචනයක් නොවෙයි.

      හැබැයි, ගණිකාවට අවිධිමත් ව්‍යවහාරයේ ගොනා කියනවා. බුරුල්ල තියෙන්නේ ගොනාට නොව එළදෙනටයි.

      Delete
  4. අපොයි! මම ගූගල්කරලත් බැලුව. හරිනෙ. අපොයි තමයි ලැබෙන්නෙ.
    මම ඒකාලෙ මුහුණ දුන් එකම සිද්ධිය තමයි ගබ්සාව මොකක්ද කියල තාත්තගෙන් අහපු එක. තාත්ත යස අපූරුවට කියල දුන්න විතරක් නෙවේ ගෙවල් කිට්ටුව හොරට ගබ්සා කල බුවෙක් සඳහන් කරල 'අහවලා කරන්නෙත් ඒ වැඩේ තමයි' කියලත් කිව්ව.

    පහුගිය දවසක මගේ කොල්ලත් පොඩි කුනුහබ්බයක් වන %කයා කියවනව අහගෙන. කවුද කිව්වෙ කියල ඇහුවම කියනව සීයා වාහනේ යද්දි කාටද බැන්නලු. :-) පස්සෙ යන්තං වැඩි අවධානයක් යොමු නොවන විදියට වචනය අමතක කරවල දැම්ම. කුනුහරුපත් ඉගනගන්න ඕන තමයි. ඒකට සුදුසු කාලෙ ආවම ඉගනගන්නෙ නැතෑ!

    ReplyDelete
  5. අපොයි ඔයා .. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. හිටං විහිළු වලට හිනා ගියා ද හිටං?

      Delete
    2. According to your son's dictionary

      අපොයි = fuck ඔයා = you

      lol

      Delete
    3. ගූගල් ලැන්ග්වේජ් ට්‍රාන්ස්ලේටර් එකේ -

      you = ඔබ

      Delete
  6. මම දවසක් අම්මාගෙන් ඇහුවා බැන්දාම ළමයි ලැබෙන්නේ කොහොමද කියලා....
    ඒ කාලේ ටෙලිනාට්‍යයක ධනවත් ළමයි නැති දෙන්නෙක් ඇවිත් දුප්පත් පවුලකින් ළමයෙක් හදලා දෙන්න කියලා ඉල්ලනවා...
    මං පළවෙනි වතාවට අම්මාගෙන් ඇහුවා ළමයි හදන්නේ කොහොමද? කියලා.
    අම්මා ගත් කටටම කිව්ව දන්නෑ කියලා..

    ReplyDelete
    Replies
    1. මං නං ඉගෙන ගත්තේ නමවෙනි ශ්‍රේනියේ දී, මුලින් සෞඛ්‍ය පාඩමට, ඊළඟට විද්‍යාව පොතේ දහනමවෙනි පරිච්ඡේදයෙන්!

      Delete
  7. "හිටං විහිළු!"

    ඇත්තටම රසික නියම "හිටං විහිළු" තියෙන්නෙ මෙහෙ. රටම "හිටං විහිළු" රසවිඳිනවා 2015 ජනවාරි අටෙන් පස්සෙ.

    - මොණරවිල

    ReplyDelete
    Replies
    1. මං හිතුවේ මොනරවිල ඉන්නේ එංගලන්තයේ හෝ යුරෝපයේ කියා නේ!

      Delete
    2. අපෝ නෑ,

      මොකද එහෙම හිතුවෙ ? කොහේ ගියත් ටික කාලෙකින් මෙහේම තමයි. සිය රටටමය කවදත්.

      -මොණරවිල

      Delete
  8. හොඳ පිටපතක් රසික. කොහොමද එවෙලෙ ප්‍රතිචාර...

    ReplyDelete
    Replies
    1. කීප දෙනෙකුම මට අපොයි-off, අපොයි-off කීවා!

      Delete
  9. හෙ හෙ හෙ කදිමයි හිටං.මාසික සඟරාවක්ද ජනවාරියෙ ලියනව කිව්වෙ :)

    ReplyDelete
    Replies
    1. හිටං විහිළු වලට හිටං හිනා යනවා වගේ?

      ජනවාරි 26 වෙනිදා සිනුවර සිංහල ප්‍රජාවේ උත්සවයක් තියෙනවා. එදින මට හිටං විහිළු ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවක් ලැබේවිය කියලා යි මං බලාපොරොත්තුවෙන් ඉන්නේ!

      Delete
  10. The Best Stand up Comedian is Trevor Noah

    ReplyDelete
    Replies
    1. මටත් ඕනෑ ඒ වගේ වෙන්න තමයි!

      Delete
  11. අනේ අපොයි.. හිටං කියුවට මෙහෙ අපේ නං පුක බිම ඇනිලා ඉන්නේ ..

    ReplyDelete
    Replies
    1. පුකෙනුත් හිටං ඉන්න පුළුවනි නේද?

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. හිටං විහිලු වලට වඩාත් ගැලපෙන්න සුදු සරමයි ෂර්ට් එකයි ඇන්දා නම් හොඳයි වගේ...

    ReplyDelete
    Replies
    1. සාටක නාටක කාලේ ඉවරයි, දැං හිටං කාලේ!

      Delete
  14. රසික, මේක වොයිස් කරලා වීඩියෝ එකක් හදන්න. මේක සිංහලෙන් අලුත් කලාවක් වේවි.

    ReplyDelete
    Replies
    1. ඔව් රාත්‍රී 10 පසුව වයස අවුරුදු 55 පැනපු රසිකාවියන්ට බලා ප්‍රීති වෙන්න

      Delete
    2. පැරා මේක විඩියෝ කළා, මේ ෆොටෝ එකත් ඒකෙන් ගත්තු ස්ක්‍රීන්ෂොට් එකක්. නමුත් ශාලාවේ පිටුපස සිට රෙකෝඩ් කළ නිසා, අවට ශබ්ද ඇසෙනවා. වෙනම ඩබ් කරන්න වේවි!

      සිංහළෙන් ස්ටෑන්ඩ් අප් කොමඩි කරන අය තව ඉන්නවා. ඉංග්ලිෂ්වලින් කරන ලාංකිකයිනුත් ඉන්නවා. මගේ වෙනස, මං කරන්නේ හිටං විහිළු වීමයි!

      Delete
  15. ලොකුම නත්තල් ගහ හදන එකටත් අපොයි off වෙලා. ggl translate ආව ගමන් බැලුවේ ඔය වචන ගහලා.

    ReplyDelete
    Replies
    1. ඇයි සෙක්ස් කියා ගුගල් කලේ නැද්ද?

      Delete
  16. හිටගෙන ලියල වගේ :D

    ReplyDelete
    Replies
    1. හිටං ලියල හිටං ම කිව්වා!

      Delete
  17. ආචාර්ය උපාධියක් ඇති, ලෝකයේ එකම පූර්ණකාලීන හිටං ඉකොනොමිස්ට්ගේ වෙබ් අඩවිය.

    http://standupeconomist.com/

    ඔහු ගැන වසර මුලදී ලියූ සටහන.

    http://economatta.blogspot.com/2016/01/blog-post_5.html

    ReplyDelete
    Replies
    1. මං ඒ විඩියෝ කිපයක් ම නරඹා තියෙනවා. තමන් එකම ස්ටෑන්ඩ් අප් ඉකොනොමිස්ට් ය කීම තුළින් ම ඔහු උපරිම උත්ප්‍රාසයක් ගෙන දෙනවා!


      ආර්ථික විද්‍යාව ගැන මාස්ටර් උපාධියක් තියෙන හිටං විහිළුකාරයෝ නම් තව ඕනෑ තරම් ඇති නේද?

      http://rasikalogy.blogspot.com.au/2015/10/master-of-none.html

      Delete
  18. හිටගෙන කොමඩිය නැගල ගිහිල්ලනේ . අපොයි ඕෆ් වෙච්චි නිසා ජාම බේරෙන් ඇති.
    මම අපොදී කාලේ කාගේද හඳහනක් ලියපු එකක් කියවල හරි ජ්‍යෝතිෂ පොතක තිබුන වචනයක් දැකල තාත්තා ගෙන් ඇහුවා . "යෝනිය" කියන්නේ මොකක්ද කියල. අර යෝනියන් උපන් මේ යෝනියන් උපන් කියල තියනවනේ. තාත්තා කිව එයා ග්‍රහ තාරකා ගැන දන්නේ නැහැ කියලා.

    ReplyDelete
    Replies
    1. එහෙම කිව්වට, තාත්තට තරු පෙන්න ඇති!

      Delete
  19. ඔබගේ මේ ව්‍යායාමය විහිළුවකට වඩා වැඩි යමක් තියෙන දෙයක්. ස්තුතියි.

    ReplyDelete
  20. ඉස්සර අපේ යාලුවෙක් හිටියා පොඩ්ඩක්වත් 'කිති' කැව්වොත් ඉහලම ගණයේ කුනුහරුපයක්මයි කියන්නේ.මේ Grade 9 වලදී. එක දවසක් පන්තියේ කිහිපදෙනෙක් PT පන්තිය 'කට්' කරලා අහුවෙලා ප්රින්සිපල් ළඟට යන්නට උනා. එතැන පේලියට සිටිද්දී එකෙක් මිනිහට 'කිති' කැව්වා. එයා එක පාරටම අර ලොකුම කුනුහරුපය කිව්වා. අපට අතට වේවැල් පාරවල් එක බැගින් දීලා අපගේ කුණුහරුප සගයාට වේවැල් පාරවල් දෙකක් දුන්නා

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.