Monday 29 October 2018

සිංහල බ්ලොග් ලේඛන කලාවේ අවගමනය - A turning point?


ඔව්, එය සත්‍යයකි!

කලකට පෙර සශ්‍රීකව වැජඹුණු සිංහල බ්ලොග් කෙත අද පුරන්වී යාමට ආසන්න ය. ඒ අවගමනය මගේ රසිකොලොජියේ වාර්තාවෙන් ම පෙනේ.

රසිකොලොජිය ඇරඹුවේ මීට වසර හතරකට පෙර 2014 ඔක්තෝබර් මස 27 වෙනිදා ය. ඒ මගේ උපන් දිනයයි.

එතැන් සිට ලිපි පන්සියයේ කඩ ඉම පසුවන තුරු ම මම ඉතා උනන්දුවෙන් ලිපි ලියා පළ කළෙමි. ඒ වන විට බ්ලොගය අරඹා ගත වී තිබුණේ දින 1012 ක් පමණක් නිසා ලිපි 500 පළ කිරීම යනු ඉතා සශ්‍රීක අස්වැන්නකි.

කඩඉම පසු කළ පසු, බ්ලොග් ලිපි ලිවීමේ වේගය තරමක් අඩු කර වෙනත් ලියවිලි සඳහා කාලය වැඩියෙන් මිඩංගු කරන්නට අදහසක් තිබුණ ද, එය වසරකට ලිපි සියයක් පමණ අඩු කළ ඉලක්කයකි, මෙතරම් ඉඩෝරයකට මුහුණ දෙන්නට වෙතැයි මම එදා නොසිතුවෙමි.

කෙසේ වුවද, සිදුවූයේ එයයි.

මා සරදම් බසින් ඇස්වහක් හෝ කටවහක් යැයි කියූවද, මෙය මගේ ජීවිතයේ ද සිදු වූ වෙනස්කම් හා සමාන්තරව සිදු වූ කාලකණ්ණි තත්වයක් විය.

මගේ 500 ලිපිය පළ වී මාස පහළොවක් ගෙවී තිබුණ ද, මේ කාලය ඇතුළත ලිපි පළ වී ඇත්තේ 30 ක් පමණි.

බ්ලොය අරඹා, පළමුවෙනි සංවත්සරය, දෙවැන්න සහ තෙවැන්න සමරමින් ලිපි ලියා පළ කළ මට සිව්වැනි සංවත්සරයට ලිපියක් පළ කරන්නට නොහැකි විය.

මෙය කාලකණ්ණි තත්වයක් යැයි මා කීවේ, බ්ලොග් ලිපි නොලියූ හිලව්වට කළ වෙනත් ලියවිල්ලක් ද නැති නිසා ය. ගත වී ගිය කාලය නම් වූ හොණ්ඩර සියයක් බරැති ඒ රත්තරන් නගට්ටුව නැවත ඇද ගන්නට ඇතෙක් සොයා ගැනීමට ද නැත.

අන් අය කියවූවේද නැති ද යන කාරණය කෙසේ වෙතත්, ආත්ම ප්‍රකාශනයක් ලෙස තවමත් බ්ලොග් කලාවේ වැදගත්කමක් මම දකිමි. එය විවිධ හේතු නිසා ෆේස්බුක් අවකාශයට වඩා පහසුකම් ඇති ප්‍රකාශන මාධ්‍යයක් බව අලුතෙන් කිව යුතු නැත.

සෙනසුරාදාට යෙදී තිබුණු මගේ උපන් දින සංවත්සරය වෙනුවෙන් මම පසුගිය සමයේ තිබුණු කාලකණ්ණි තත්වයෙන් මිදීමට අධිෂ්ඨානය කළෙමි. ඒ අනුව, ඊයේ දිවා කාලයේ දී, කාලයක් තිස්සේ මා නොවරදවා කළ ද, මාස හයක් පමණ තිස්සේ අතපසු වී තිබුණු, ශාරීරික ව්‍යායාමයක් ලෙස ඇවිදීම යළි අරඹා පියවර 8,000 ක් ගමන් කළෙමි.

එදිනට ම යෙදුණු මගේ රසිකොලොජි බ්ලොගයේ උපන් දින සංවත්සරය වෙනුවෙන් මගේ අධිෂ්ඨානය නම්, අඩු වශයෙන් සතියකට එක බැගින් හෝ රසිකලොජියේ ලිපි පළ කිරීමටයි.

සිංහල බ්ලොග් ලේඛන කලාවේ අවගමනයට නැවතීමේ තිත තැබීමේ යුගයේ අවශ්‍යතාවයට මගේ සම්මාදම එය යි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙන්න හොඳ ගීතයක්.



[image: (c) Rasika Suriyaarachchi]

28 comments:

  1. Many happy returns to you and to the blog.

    ReplyDelete
  2. පසුගිය සෙනසුරාදා බැරිවුනත් දැන් කියන්නං

    සුබ උපන්දිනයක් වේවා .

    ReplyDelete
  3. සුබ උපන්දිනයක් වේවා රසික, සතියක් ගානේ පෝස්ට් දාන වැඩේ කරන්න හැකිවේවා කියල ප්‍රර්ථනා කරනවා. ඔය උඩින් ඉන්න ඉවාන්ලට බ්ලොග් ලියන්න හිතෙවා කියලත් අපි ප්‍රාර්ථනා කරමු.

    ReplyDelete
    Replies
    1. ඉවානය ලවුව ආයෙ ලියවන්නනං කො.කා. ල ටික ගිහිල්ල ඌව මුදලාලිගෙ අත්තඩංගුවෙන් මුදා ගන්න වෙයි. හැක්..

      Delete
    2. ස්තුතියි පැතුම්.
      කාට කාටත් බ්ලොග් සිතුවිලි පහල වේවා!

      Delete
  4. නිතර නිතර ලිපි ලියුවේ නැති හින්දා
    හතර වසරකට යළි ලිපි ලිව් හින්දා
    පැතිර හමන සුවඳැති මල් නිති රන්දා
    මතුර මතුර සුපැතුම් දෙමි කවි බන්දා....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Duminda
      ලියන එකත් විටෙක පණ යන වැඩකි!

      Delete
  5. උපන් දිනයටත් බ්ලොග්යටත් සුබ පැතුම්. යලි සිංහල බ්ලොග් පිබිදේවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, ඔබ එවූ ඊ-මේලය ලැබී තිබුණා. මේ පැත්තේ මං මාස ගණනාවකින් ආවේ නැති නිසායි ඒ ගැන කිසිවක් තවම කරන්නට නොහැකි වුනේ!

      Delete
  6. බ්ලොග් ලියන එක එක්තරා කලාවක්.එයට සතිපතා හෝ මාස්පතා යනුවෙන් නීති දාන්න පුළුවන්ද.ඔබ නොලියා සිටියා නම් හඬක් නැගිය යුතු තැන ඔබේ හඬ අපට නොඇසුනේ ඔබේ වරදින් නේද.ඔබට බොරු සුභ පැතුම් එක්කරන්න මට බෑ. යමක් ලිව්වොත් එකඟ උනත් නැතත් කියවන්නම්. කොමෙන්ටුවකුත් දාන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.
      ඒ ආකාරයේ බ්ලොග් කලාවකුත් තියෙනවා විය යුතුයි.
      නමුත් මා මෙතෙක් ලිව්වේත්, යළි ඇරඹුවේත් මගේ ආත්ම ප්‍රකාශනයක් ලෙසයි. ඒ සමගම මටම යම් විනයක් අවශ්‍ය නිසයි යම් සීමාවක් දා ගත්තේ!

      Delete
  7. සුබ උපන් දිනයක් වේවා . පොඩියට හරි සතියකට සැරයක් මොනව හරි ලියන්න . ඔබ වැනි ප්‍රවීණයන් ගේ ලියැවිලි බලන්න ආසාවෙන් ඉන්නවා .

    ReplyDelete
  8. පරණ කට්ටිය ලියන එක විතරයි අඩු වෙලා තියේන්නේ. සුභ ඇවිදිමක්, සුභ උපන්දිනයක්, හද්ද පරණ සුභ බ්ලොග්ඇනිවසරියක්

    ReplyDelete
  9. සුභ උපන්දිනයක් රසික... ඒක හොඳයි මගේ කියවීමේ රුචියත් දැන් සෑහෙන අඩුවෙලා තියෙන්නෙ.. බලමු ඒකත් මීට සමගාමීව ඉහල දාගන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි,
      මටත් පොත් කියවීම පවා දැන් තරමක් අසීරුයි!

      Delete
  10. සුබ උපන්දිනයක් රසික.
    බ්ලොග් මල් පිබිදේවා !

    ReplyDelete
  11. ජයවේවා ලොකුසෑර් !"

    ReplyDelete
  12. දිනේ පහු වුනත් සුබ උපන් දිනයක් රසික. සතියකට එකක්වත් යමක් ලියන්න ඕනි කියල මාත් හැමදාම හිතුවත්මො මොකක්දෝ කාලකන්නි කුසීතකමක් එක්ක ඒක බැරි වෙනවා . කොහොම උනත් රසිකට හා තව බොහෝ බ්ලොග්කරුවන්ට මේ බැරියරය බිඳගෙන එළඹෙන අවුරුද්දේ බ්ලොග් කේත සරුසාර කරන්නට හැකි වේවායි පතනවා.

    ReplyDelete
  13. සුභපැතුම් , ආපහු ලියන එක මරැ !

    ReplyDelete
  14. සුබ උපන්දිනයක් වේවා!

    ReplyDelete
  15. යළි යළිත් බ්ලොගය ලියන්නට දිරිය, විරිය, ශක්තිය, කාලය හා උනන්දුව වැඩි-වැඩියෙන් ලැබේවා!

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.