Tuesday, 7 May 2019

ජනතා විමුක්ති පෙරමුණ, හෙන්රි වර්ණකුලසූරිය, ලයනල් බෝපගේ සහ බලහත්කාරෙන් සමාජවාදය ගොඩ නැගීම! - Socialism "by force"


මා මිත්‍ර හෙන්රි වර්ණකුලසූරිය විසින් රචනා කරන ලද නාදුනන තුවක්කුකරුවාගේ කතාව නම් ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේ දී එහි ප්‍රධාන දේශකයා වන ලයනල් බෝපගේ විසින් පවත්වන්නට යන කතාවේ මාතෘකාව ලෙස දැක්වෙන්නේ මේ ලිපියේ මාතෘකාවේ කොටසක් ලෙස මා යොදාගෙන ඇති "බලහත්කාරයෙන් සමාජවාදය ගොඩ නැගිය හැකිද?" යන්නයි.

ඒ මාතෘකාව දුටු විට ම මගේ සිත අතීතයට ඇදී ගියේ ය. එයට හේතුව නම් අදින් වසර තිස් පහකට පෙර මා ලියූ දීර්ඝ කවියකින් මා ද මේ කරුණ ම මතු කර තිබීමයි.

මා එදා ලියූ ඒ කවිය ද එයට හේතු වූ, පසුබිම් වූ කාරණා ද මීට වසර තුනකට පමණ පෙර රසිකොලොජි බ්ලොගයේ ලිපියක් ලෙස පළ වුණු අතර, වෙනත් මාතෘකාවක් යටතේ රාවය පුවත් සඟරාව සඳහා මා ලියූ ලිපියක ද ඇතුළත් විය. ඒ රාවය ලිපිය ද කොටස් කිහිපයකින් යුක්තව රසිකොලොජියේ ද පළ කළෙමි.

අද මා ලියන මේ සටහන ඒ පෙර ලියූ ලිපිවල සඳහන් වූ කාරණා, වඩාත් විස්තරාත්මකව, ලයනල් බෝපගේ ගේ යෝජිත දේශනයේ මාතෘකාවට අදාළ පරිදි කෙරෙන නැවත පෙළගැස්වීමකි.

මේ සටහනට සම්බන්ධ මගේ පෙර කී කවියේ අවසාන පද කීපය මෙසේය.

අසාධාරණයෙ අඳුර බිඳින්නට
හිරු පායන තෙක් සිටි කාලය ඇති
බලහත්කාරෙන් හෝ හිරු පුබුදා
හෙට මුළු ලෝකය එළිය කළ යුතුය


මගේ පටු කාව්‍යමය භාෂාවෙන් හිරු උදා කිරීම සහ ලෝකය එළිය කිරීම යන්නෙන් මා එදා අදහස් කළේ සමාජවාදය ස්ථාපනය කර අසාධාරණය තුරන් කිරීම බව අමුතුවෙන් කිව යුතු නැත. එසේම මගේ කවියෙන් මා කළේ අද ලයනල් බෝපගේ අසන ආකාරයෙන් ප්‍රශ්නයක් නැගීම නොවේ. සමාජ අසාධාරණයේ ගනඳුර බිඳින්නට පැහැදිලි විසඳුමක් ලෙස බලහත්කාරෙන් හෝ හිරු පිබිදවීම ඉදිරිපත් කිරීමයි. එනම්, බලහත්කාරෙන් සමාජවාදය උදා කළ යුතුය කියා කීමයි!

දැන්, මගේ මේ කවිය, හෙන්රි වර්ණකුලසූරිය ගේ පොත් එළිදැක්වීමේ උත්සවයේදී ලයනල් බෝපගේ විසින් කරන්නට යන කතාවේ මාතෘකාවට සම්බන්ධ වන්නේ කෙසේද විස්තර කළ යුතුය.

ලයනල් බෝපගේ යනු 1977 න් පසුව ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන පක්ෂයක් ලෙස සංවිධානය වූ කාලයේ සිටම එහි ප්‍රධාන ලේකම් විය. මා ඔහු දැක ඇත්තේ දෙවරකි. ඒ මුල්ම අවස්ථාව එකල ජාතික ප්‍රශ්නය ලෙස හැඳින්වුණු ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය පිළිබඳව තම පක්ෂයේ ප්‍රතිපත්ති පැහැදිලි කිරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දී පැවැත්වූ දේශනයක දී ය.

ඉන් වසර එකහමාරකට පමණ පසුව රටේ ඇතිකළ ජූලි කලබලය දඩමීමා කරගෙන, එවකට පැවති යූඇම්පී රජය විසින් ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරන ලදී. එයින් සුළු කලකට පසුව ලයනල් බෝපගේ පක්ෂයේ ප්‍රධාන තනතුරෙන් ඉවත් වූ බව ආරංචි විය. එයට හේතුව වූයේ නන්දසිරි විජේවීර සහ අනෙකුත් පක්ෂ නායකයින් විසින්, සිංහල ජාතිවාදීන්ගේ කැමැත්ත දිනා ගැනීම පිණිස අතිශය අවස්ථාවාදී ලෙස ජාතික ප්‍රශ්නය පිළිබඳ පක්ෂයේ ප්‍රතිපත්තිය වෙනස් කර දේශප්‍රේමය නම් බැටළුහමකින් වසා ජාතිවාදයේ කුෂ්ඨ රෝගය සාදා ගැනීම බව මගේ අදහසයි.

තවත් කලකට පසු ඕස්ට්රේලියාවට සංක්‍රමණය කළ ලයනල් බෝපගේ එහි ෆෙඩරල් රජයේ ආයතනයක මැවිසුරුවකු ලෙස කලක් සේවය කර විශ්‍රාම ලබා දැන් මෙල්බන් නගරයේ ජීවත් වෙයි. මා දෙවන වරට ඔහු දුටුවේ සහ මුල්වරට වචන කිහිපයක් හෝ කතා කළේ පසුගිය වසරේ දිනක මා සම්බන්ධ සිඩ්නි කොළඹ රංග ව්‍යාපෘතිය නම් නාට්‍ය කණ්ඩායම සමග මෙල්බර්න් නගරයට ගිය අවස්ථාවේ දී ය.

බලහත්කාරෙන් හෝ හිරු පුබුදා ලෝකය එළිය කිරීම පිළිබඳ පෙර කී කවිය මා ලියා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ කලා කවයේ පළ කළේ 1984 මැද භාගයේ දී ය. ඒ සමගම විශ්වවිද්‍යාලය කුරුටු ගී සම්ප්‍රදාය රකිමින්, ඇන්ඩ්‍රීස් නෙල් ශාලාවේ ඉහළ මාලයේ හාඩ්බෝඩ් පුවරුවක ද එය හුණු කූරකින් ලියා තැබුවෙමි.

ඊළඟ වසරේ දිනක මේ කාමරයට පැමිණි ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ අයෙකු විසින් (මේ ආනන්ද ඉඩමේගම විය හැක), ඔහු පිළිගන්නා ජනතා විමුක්ති පෙරමුණේ මතයට සාපේක්ෂව, මේ කවියේ අඩංගු අදහස දේශපාලනිකව සාවද්‍ය බව කියා ඇත. එහි දී ඇතිවුණු සාකච්ඡාවේ දී කවියේ නිර්මාපකයා පිළිබඳව විපරම් කෙරී ඇති අතර, ඒ මා බව දැන, කවියේ අදහස සම්බන්ධයෙන් මා සමග සාකච්ඡා කළ යුතු බවට යෝජනා වී ඇත.

මා එම යෝජනාවට කැමැත්ත පළ කළ පසු, ජනතා විමුක්ති පෙරමුණ විසින් මට නිවැරදි දේශපාලන චින්තනය වටහා දී, හැකි නම් මට (පසු කලෙක මා දැන ගත් වචනයකින් කියනවා නම්) කොක්ක ගැසීම සඳහා එවන ලද්දේ, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු තනතුරෙන් පසුව, ඒ වන විට පූර්ණකාලීනව පක්ෂ දේශපාලනයේ නිරතුව සිටි උපාලි ජයවීරව යි.

එදා මගේ කාමරයේ දී, දෙපැයක් පමණ කාලයක් තිස්සේ උපාලි ජයවීර උත්සාහ කළේ ජනවාර්ගික ප්‍රශ්නය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය පැහැදිලි කිරීමටත්, උතුරේ තරුණ කණ්ඩායම් විසින් අරඹා තිබූ සන්නද්ධ අරගලය ජවිපෙ මතයට අනුව වැරදි එකක් වන්නේ ඇයි දැයි කීමටත්, බලහත්කාරයෙන් හිරු පුබුදුවාලිය නොහැකිය, එසේ කිරීම වැරදිය, එනිසා මා විසින් පෙර කී කවියෙන් මතු කරන අදහස ප්‍රතිගාමීය යන කාරණා මට කියා පැහැදිලි කරදීමටත් ය.

ඒ නිෂ්ඵල උත්සාහය අවසානයේ ඔහු පිටත් වී ගියේ නැවත දිනක හමු වී කතා කරමු යැයි පවසමින් වුව ද, මට උපාලි ජයවීරව යළි කිසි දිනක මුණ ගැසුණේ නැත. මා වැනි ගල් ඉබ්බන් කෙසේ වුවද, උපාලි ජයවීරලාගේ ජාතිවාදී කයිවාරු ඇමට අසුවන ඕනෑ තරම් සාලයන් සහ සූඩයන් ඒ මුල් කාලයේ වුව ද සිටින්නට ඇත.

එහි අන්තර්ගත අදහස නිසාම, මගේ කවියේ පෙර සඳහන් කළ අවසාන පද හතරට මා කෙතරම් ඇලුම් කළේ ද යත් මගේ සංස්කරණයෙන් මුද්‍රණය වුණු විශ්වවිද්‍යාල ශිෂ්‍ය සඟරාවක කතුවැකියේ අවසානයේ මම ඒ සිව්පදය ඇතුළත් කළෙමි. ඒ සඟරාව මුද්‍රණය කෙරුණේ එවකට පැවති යූඇම්පී ආණ්ඩුව විසින් පේරාදෙණියේ පද්මසිරි අබේසේකර සහ කොළඹ රෝහණ රත්නායක යන සහෝදර විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් දෙදෙනා වෙඩි තබා මරා දමා වසරක් ගතවීම සනිටුහන් කිරීමට 1985 ජූනි මාසයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ අප විසින් දියත් කළ වැඩ සටහනේ එක් අංගයක් ලෙස බව ද සඳහන් කළ යුතු ය.

මේ අනුස්මරණ රැස්වීම සඳහා විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය නියෝජනය කරමින් උපකුලපති පානබොක්කේ ද, වෙනත් විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයින් නියෝජනය කරමින් ශිෂ්‍ය නියෝජිතයින් ද සහභාගී වූහ. ඒ අතර කොළඹ විශ්වවිද්‍යාලයේ ස්ථාපිත වී තිබුණු ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නියෝජිතයෙකු ද වූ බව මගේ මතකයයි.

විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් තහනම් කර තිබුණු තත්වය යටතේ වුව ද, ඒ සමයේ දී, සෑම විශ්වවිද්‍යාලයකම පාහේ ශිෂ්‍යයින් අතර නායකත්වය හිමිකරගෙන සිටියේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමය විසිනි. අනෙකුත් දේශපාලන මතවාද දරණ ශිෂ්‍යයින් අනුගමනය කළේ නිහඬව සිටීමේ ප්‍රතිපත්තියකි. තත්වය වෙනස් වූයේ ස්වාධීන ශිෂ්‍ය සංගමය විසින් සෑහෙන ප්‍රමාණයකට බලය රඳවා ගෙන සිටි කොළඹ විශ්වවිද්‍යාලයේ දී ය. මෙනිසා, ජනතා විමුක්ති පෙරමුණ සහ එහි එවකට විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංවිධානය වූ සමාජවාදී ශිෂ්‍ය සංගමය තම පරම හතුරා ලෙස සැලකූවේ කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයයි. එය පසු කලක, ජීවිත සෑහෙන සංඛ්‍යාවක් අකාලයේ විනාශ කළ නයි-මුගටි හටනක් විය.

ඒ මිනීමරු හතුරුකමේ මුල් අවධිය එකල ප්‍රදර්ශනය වුණු අවස්ථා දෙකක් පිළිබඳව මට පුද්ගලික අත්දැකීම් ඇත.

ඉන් එක් අවස්ථාවක් නම්, කොළඹ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් කාර්යාලයේ දී පැවති අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ (අවිශිබම) රැස්වීමකි. මේ රැස්වීමේ මූලාසනය දැරුවේ එවන විට දෙවසරක් තිස්සේ තම ශිෂ්‍යභාවය තහනම් කිරීමකට ලක් වී සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ ශිෂ්‍ය රංජිතන් ගුණරත්නම් විසින් වන අතර රැස්වීමේ වාර්තාව සටහන් කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් එම රැස්වීමට සහභාගී වී සිටි එකම නියෝජිතයා වූ මා විසිනි. කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ එවකට නායක දයා පතිරණ අමතරව, ඒ රැස්වීමට සහභාගී වුණු අය අතරින් මගේ මතකයේ රැඳී ඇති දෙදෙනෙකු වන්නේ පොදු ශිෂ්‍යයන් නියෝජනය කළා යැයි පැවසුණු තඹරලුවේ ජිනරත්න සහ විද්‍යා හෝ නීති පීඨය නියෝජනය කළා යැයි පැවසුණු සරත් එදිරිසිංහ ය. ජවිපෙ අනුගාමිකයින් වූ ඔවුන් දෙදෙනා එහි පැමිණි සිටියේ කවර අරමුණින් ද යන්න පැහැදිලි වූයේ ඔවුන් කතා කරද්දී ය. එහි දී දීර්ඝ මෙන්ම වි’ෂ පිරි කරුණු දැක්වීම් සමගින් ඔවුන් ඉල්ලා සිටියේ, අධ්‍යයන කටයුතු නිසි පරිදි නොකිරීම නිසා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යභාවය අහෝසි වී සිටි දයා පතිරණට, අවිශිබම රැස්වීමට සහභාගිවීමට නීත්‍යානුකූල අයිතියක් නොමැති බැවින් ඔහුව මේ සභාවෙන් නෙරපා හරින ලෙස ය. ඔහුට පක්‍ෂව කරුණු දැක්වීමට කිසිවෙකු නොසිටි අතර, බහුතර අදහස පිළිගත් දයා පතිරණ සභාවෙන් නික්මී යන දර්ශනය වසර තිස් හතරකට පසුවත් මගේ මතකයේ හොඳින් රැඳී ඇත.

ස්වාධීන ශිෂ්‍ය සංගමය කෙරෙහි ජවිපෙ ශිෂ්‍ය සංගමයේ පැවති වෛරය පැහැදිලිවම දෘශ්‍යමාන වූ මා දුටු දෙවන අවස්ථාව නම් ඒ වසරේ අවසාන කාර්තුවේ දී, ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක දයා පතිරණ සහ සාමාජික ධර්මසිරි මහනුවර නගරයේ පැවැත්වුණු කුමක් දෝ දේශපාලන සාකච්ඡාවකට සහභාගීවීම සඳහා පැමිණ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අක්බාර් ශාලාවේ රැයක් ගත කළ අවස්ථාවේ, ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ පිරිස් අතිශය දරුණු ලෙස කලබල වූ ආකාරයයි. ස්වාධීන ශිෂ්‍ය සංගමයේ දේශපාලනය අති ධාවනකාරී බිහිසුණු එකක් බව ද, එය ශිෂ්‍ය ව්‍යාපාරයකට නොගැලපෙන බව ද, මේ ජවිපෙ හිතවාදීන් ගේ මතය විය. දයා පතිරණ සහ ධර්මසිරි දෙදෙනා එක් රැයක් නවාතැන් ගත් අක්බාර් ශාලාවේ කාමරය හිමි මා මිත්‍ර ස්ටැන්ලි මොරේමඩට ශිෂ්‍ය ක්‍ර්‍රියාකාරී කමිටු රැස්වීමක දී අයුතු ලෙස චෝදනා නැගීමට ද ජයශ්‍රී සහ නිෂ්මි ඇතුළු ජවිපෙ හිතවාදී සිසුන් කටයුතු කළහ. ඔවුන් එලෙස වාලධිය ගිනි ගත්තා සේ කටයුතු කිරීමට හේතුව වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ මෙන් තමන්ට තර්ජනයක් වෙන ආකාරයේ ස්වාධීන ශිෂ්‍ය කණ්ඩායමක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ද බිහිවෙතැයි යන බිය නිසා බව එදා හොඳින් පැහැදිලි විය.

මද කලකට පසු මා ඇතුළු කණ්ඩායමේ විශ්වවිද්‍යාල පාඨමාලා අවසාන විය. අපි විසිරී ගොස් විවිධ රැකියවන්හි යෙදෙමින් අපේ කුසලතා ප්‍රගුණ කරන්නට පටන් ගත්තෙමු. විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍ය ව්‍යාපාරයේ කටයුතු කළ ද, පක්‍ෂ දේශපාලනයකට කිසිදු සම්බන්ධතාවක් අපේ නොතිබුණු නිසා, රටේ සහ ලෝකයේ දේශපාලනය පිළිබඳව අවබෝධයෙන් සිටීම, දේශපාලන රැළියක් නැරඹීමට යෑම, සඟරාවක් කියවීම හැර අපේ වෙනත් දේශපාලන ක්‍රියාකාරකමක් තිබුණේ නැත.

වසරකට පමණ පසු දිනයක උදෑසන දිවයින පුවත්පතේ පළ වී තිබුණු ප්‍රවෘත්තියකින් මා කැළඹී ගියේ ය. කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක දයා පතිරණව කුරිරු ලෙස පිහියකින් කපා මරා දමා තිබුණි. ඔහු සමග සිටි සොමසිරි නම් තවත් ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙකු ද බරපතල තුවාල ලබා සිටියේ ය. සාකච්ඡාවක් සඳහා කළ ආරාධනයකට මුවා වී දයා පතිරණව සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් එලෙස මරා දමා ඇත්තේ කලින් සමාජවාදී ශිෂ්‍ය සංගමය නමින් හැඳින්වුණු, පසුව අවස්ථාවාදී දේශපාලන අවශ්‍යතා නිසා දේශප්‍රේමී ශිෂ්‍ය සංගමය ලෙස නැවත බෙෘතීස්ම ලබා සිටි ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ශිෂ්‍ය සංගමයේ අනුග්‍රහයෙන් බව පසුව හෙළි වූ අතර, ඒ ක්‍රියාන්විතයට, මා පෙර නම සඳහන් කළ කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකුව සිටි ජවිපෙ හිතවාදියෙකු ද සක්‍රීයව සහභාගී වූ බව ද පැවසුනි.

දයා පතිරණගේ මරණයෙන් සති දෙකකට පමණ පසු වෙනත් කටයුත්තකට නගරයට ගිය මා, හවස් වරුවේ කොළඹ විශ්වවිද්‍යාල භූමියෙට ගොඩ වැදුණෙමි. මුළු විශ්වවිද්‍යාලය ම ස්වාධීන ශිෂ්‍ය සංගමයේ බලයට නතුව තිබුණු අතර, ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ශිෂ්‍ය අංශය වූ දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරයට විරුද්ධ පෝස්ටර් යනාදියෙන් විශ්වවිද්‍යාල භූමිය පිරී තිබුණි.

ඒ අතර කැපී පෙනෙන ලෙස ගොඩ නංවා තිබුණු කටවුට් වර්ගයේ පුවරුවක විශාල අකුරෙන් ලිය වී තිබුණු පහත කවිය දැක මා විමතියට පත් වීමි.

අසාධාරණයෙ අඳුර බිඳින්නට
හිරු පායන තෙක් සිටි කාලය ඇති
බලහත්කාරෙන් හෝ හිරු පුබුදා
හෙට මුළු ලෝකය එළිය කළ යුතුය


ඒ මා ඊට වසර ගණනට පෙර ලියූ, එහි දැක්වෙන දේශපාලනය ප්‍රතිගාමී බවට ජනතා විමුක්ති පෙරමුණෙන් අවවාද ලැබීමට හේතුභූත වූ, මගේ කවියයි.

ඒ ස්ථානයේ කාටූන් සහිත පෝස්ටරයක් අඳිමින් සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මිතුරෙකුවන දර්ශක හේරත්ට මගේ ඒ කවියේ ඉතිහාසය විස්තර කරනු ඇසී මා හමුවට ආ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකත්වය බාරගෙන සිටි ධර්මසිරි, මගේ සිතේ ඒ වන විශාල කුතුහලයක් ඇති කර තිබුණු ප්‍රශ්නයට පිළිතුර ලබා දුන්නේ ය.

ඊට වසර දෙකකත් ඉහත මා ලියූු ඒ කවිය කොළඹ විශ්වවිද්‍යාලයේ භාවිතයට පැමිණ ඇත්තේ, එජාප රජය විසින් පද්මසිරි අබේසේකර සහ රෝහණ රත්නායක ශිෂ්‍යයින් ඝාතනය කිරීමේ සංවත්සරය සනිටුහන් කිරීමට මගේ සංස්කාරත්වයෙන් ප්‍රකාශනය වුණු සමරු කලාපයෙනි. මගේ කවියේ අදහසට දයා පතිරණ ඇතුළු ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් ද ඇලුම් කළ නිසා එය පසුගිය කාලය පුරාම තම ප්‍රචාරක පෝස්ටර් සඳහා යොදා ගත් බව එදා ධර්මසිරි මා සමග පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණ සහ ස්වාධීන ශිෂ්‍ය සංගමය අතර ප්‍රකාශිත දේශපාලනමය වෙනස මට එමගින් පැහැදිලි විය.

ස්වාධීනයෝ බලහත්කාරෙන් වුව හිරු පිබිදිය යුතු යැයි සිතූහ.

ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය එලෙස බලහත්කාරෙන් හිරු පිබිදීම ප්‍රතිගාමී අදහසක් යැයි බැහැර කරන්නන් බව (උපාලි ජයවීරගේ සාකච්ඡාව නිසා) පෙනුණි.

ජනතා විමුක්ති පෙරමුණ විසින් අරඹන ලද දීර්ඝකාලීන ඝාතන රැසක ආරම්භය සනිටුහන් කරමින් දයා පතිරණ මරා දැමීම සිදුවූයේ 1986 දෙසැම්බරයේ දී ය.

ඉන් වසර එකහමාරකට පසුව, 1987 ජූලි මාසයේ දී අතසන් කෙරුණු ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම සහ ඉන්දීයානු සාම සාධක හමුදාවේ ආගමනය දඩමීමා කරගෙන ජනතා විමුක්ති පෙරමුණ විසින් පෙර කී දේශප්‍රේමී ශිෂ්‍ය සංවිධානය මෙන් ඔවුන් ඒ වන විට ගොඩනගාගෙන සිටි දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය සහ වෙනත් නොයෙකුත් බලකායන් හරහා රට පුරා ත්‍රස්තවාදී කටයුතු ඇරඹූහ. මූලිකව ඔවුන්ගේ විරෝධය යොමු කෙරුණේ ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම සඳහා රජය විසින් අනුගමනය කරමින් තිබූ වැඩ පිළිවෙළට වුව ද, ජනතා විමුක්ති පෙරමුණේ අවසාන අරමුණ වූයේ ත්‍රස්තවාදය හරහා රට අකර්මණ්‍ය කර රාජ්‍ය බලය ඩැහැ ගැනීම බව පැහැදිලිවම පෙනෙන්නට තිබුණි. එනම්, කාව්‍යමය භාෂාවෙන් කියතොත් ඔවුන්ගේ ඒ වෑයම වූයේ බලහත්කාරෙන් හිරු පිබිඳවීමයි.

ජනතා විමුක්ති පෙරමුණේ ඒ ක්‍රියාන්විතය ආරම්භයත් සමගම, තම නායකයා වූ දයා පතිරණ මරා දැමීමේ පලිය ගැනීමට කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෝ ද රජයේ බලවේග හා එක්ව විවිධ ආයුධ සන්නද්ධ හිංසාකාරී කණ්ඩායම් සාදා ඒ හරහා ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරකයින් කොටු කර ගැනීමට ද, ඒ පුද්ගලයින් සඳහා වධකාගාර පවත්වාගෙන යාමට ද, අවසානයේ ඔවුන් ඝාතනය කිරීමට ද පෙළඹුණහ. ජනතා විමුක්ති පෙරමුණ මගින් ඇරඹූ බලහත්කාරෙන් හිරු පිබිදවීමේ විප්ලවයට ස්වාධීනයින් විරුද්ධ වූයේ එසේ ය.

වසර ගණනාවකට ඉහත කාලයක කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සහ ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරයේ බලය සඳහා මතවාදීව ඇරඹුණු මේ දෙපිරිසේ අරගලය, බාහු බලය, පුටු කකුල්, කඩු කිනිසි, ගල්කටස්, වධකාගාර සහ තුවක්කු හරා ඇදී ගොස් අවිගත්තන් අවියෙන් ම නැසී ගියේ එසේ ය.

ජනතා විමුක්ති පෙරමුණ විසින් ආරම්භ කර, රජයේ සහ වෙනත් කණ්ඩායම්වල සහභාගීත්වයෙන්, තරුණ ජීවිත හැට දහසකට වඩා විනාශ කර දමමින්, දෙවසරකටත් වඩා වැඩි කාලයක් තිස්සේ ලංකාවේ පැවති භීම සමය පසුබිම් කරගෙන හෙන්රි වර්ණකුලසූරිය විසින් රචනා කරන ලද නාදුනන තුවක්කුකරුවාගේ කතාව නම් ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේ දී එහි ප්‍රධාන දේශකයා වන ලයනල් බෝපගේ විසින් පවත්වන්නට යන බලහත්කාරයෙන් සමාජවාදය ගොඩ නැගිය හැකිද යන දේශනය පිළිබඳ මගේ උනන්දුවට හේතුව එසේ ය.

-රසික සූරියආරච්චි (2019)

9 comments:

  1. මහත්මයා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේද සේවය කරන්නේ?

    ReplyDelete
  2. මළපහ කොට ගුද විවරය සෝදා, දෑත් සබන් යොදා සේදීම අනවශ්‍ය බව අතිගරු ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන මහතා කියා සිටි. එතුමා මේ බව සදහන් කරමින් වැඩි දුරටත් කියා සිටියේ වැසිකිළි ගොස් ගුදයෙන් පිට කරනා මළපහ තමන්ගේ බඩ ඇතුලේ සිට එලියට යන ඒවා වන බැවින්, ඒවා ස්වල්පයක් දෑතේ තැවරීම ගැටළුවක් නොවන බවයි. දෑත් වල තැවරී ඇති මළපහ කෑම සමග මිශ්‍රව ශරීර ගත වීමෙන් සෞඛ්‍ය ගැටළු ඇතිවන බව කීවත් එය සබන් නිශ්පාදකයන් විසින් කියනු ලබන අසත්‍ය ප්‍රචාරයක් බවයි මයිත්‍රීපාල සිරිසේන මහතා කියා සිටින්නේ. ශරීරය තුල තිබෙන මළපහ පිටකිරීමෙන් පසු, ඒවා නැවත ශරීර ගත වීමෙන් සෞඛ්‍ය ගැටළු ඇතිවෙනවා යන්න සම්පුර්ණ අසත්‍යයක් බවයි එතුමා සදහන් කරේ.

    මේ අනුව ඉදිරියේදී මළපහ කෑමෙන් කිසිදු සෞඛ්‍ය ගැටලුවක් ඇති නොවන බවට සදහන් කරමින් විශේෂ ගැසට්ටුවක් එලියට දැමීමට තමන් කටයුතු කරනා බවයි මයිත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වැඩි දුරටත් කිය සිටියේ.

    ReplyDelete
  3. හිස්බුල්ලා
    ගැන ඉව අල්ලා
    රිෂාඩ් ගෙන්
    ගේමක් ඉල්ලා
    හිරුද පුබුදුවා
    බලකරලා
    වැඩ නොකලොත්
    කඩිමුඩි කරලා
    වහාබ් වාදයෙ
    අඳුර නසන්නට
    තව "තිස් වසරක්"
    විඳපල්ලා!

    ReplyDelete
  4. ඇදුම් උනා දමා ගෙල කපා දයා පතිරණ මරාදමා තිබුනු ඡයාරුප කිහිපයක් රාවය සගරාවේ පලකර තිබුනා මතකයි. (එකල තිබුනේ රාවය පත්තරය නොවේ ටැබුලොයිඩ් ප‍්‍රමානයේ රාවය සගරාවයි.)

    ReplyDelete
  5. Reminder of UNP+JVP Bheema Samaya, the joke is now they are sleeping together and talking about white vans. JVP piked up Daya in white van from Thummulla.

    ReplyDelete
  6. සමාජවාදයේ තියෙන බරපතලම අඩුපාඩුව තමයි ඕනෑම වෙලාවක බුවල්ලන්ට හයි ජැක කරන්න පුළුවන් වෙන එක. සමාජවාදේ කියන්නේ නිර්ධන පන්ති ආඥාදායකත්වය. පන්තිය වෙනුවෙන් පක්ෂ ආඥාදායකත්වය බාර ගන්නවා. පක්ෂය වෙනුවෙන් කණ්ඩායමක් සහ බොහෝ විට එම කණ්ඩායම වෙනුවෙන් තනි පුද්ගලයෙක්. මේ ආවේනික දුවලතාවයෙන් මිදෙන්න සමාජවාදයට බැහැ. මෙය ඉතා භයංකර තත්වයක් බව අපි ලෝක ඉතිහාසයෙන් ඉගෙන ගත්තා. අද වුනත් උ. කොරියාව බලන්න. ධනවාදයේත් මෙහෙම බුවල්ලන එකාධිපතීන් ඉන්න පුළුවන් එත් සමාජවාදයට වඩා ගොඩක් පහසුවෙන් ධනවාදහ්යෙදී ඒ අය එලවන්න පුලවන්. අපේ රටේ මහින්ද එලෙව්වා පහසුවෙන්ම නමුත් JVP සමාජවාදේ UNP බූවල්ලන් විසින් ඩැහැ ගත්තා.. ඔය සමාජවාදේ ගලප්පන්න ගිය හැම තැනම අවුල් වුනා නේ. එක තැනක් අවුල් වුනා නම පිලි ගන්න තිබුනා පුද්ගල අඩුපාඩු කියලා. නමුත් ගලප්පන්න ගිය හැම තැනම අවුල් වීම නිසා ක්රමයේ වදරැද්ද ලෙස පිලි ගන්නම වෙනවා..

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. අතීතය සිහිපත් කිරීම ගැන ස්තූතියි.
    //අසාධාරණයෙ අඳුර බිඳින්නට
    හිරු පායන තෙක් සිටි කාලය ඇති
    බලහත්කාරෙන් හෝ හිරු පුබුදා
    හෙට මුළු ලෝකය එළිය කළ යුතුය//

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.