Showing posts with label ජාතික ජන බලවෙගය. Show all posts
Showing posts with label ජාතික ජන බලවෙගය. Show all posts

Saturday, 7 December 2024

ගරු කථානායක රන්වල - Honorable Speaker Ranwala


මහචන්දයෙන් පසු අලුත් පාර්ලිමේන්තුව රැස්වන්නට පෙර දිනය වෙන්න තෙක්ම පාර්ලිමේන්තුවේ කථානායක ලෙස කවුරුන් පත්වේ දැයි දනන් තුඩ තුඩ රැව් දුන් සාකච්ඡාවක් තිබිණ.

ජාතික ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයින් වූ, ඇත්තටම එහි ලේකම් මෙන්ම කළුතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ද තේරී පත් පත් වී තිබුණු වෘත්තීයෙන් විශේෂඥ වෛද්‍යවරයෙකු ද වූ නිහාල් අබේසිංහ ඒ වෙනුවට පත්වෙනු ඇතැයි ද, ජනතා විමුක්ති පෙරමුණේ පැරණිතම පාර්ලිමේන්තු මන්තිරියා වූ නිහාල ගලප්පත්ති ඒ තනතුරට පත්වෙනු ඇතැයි ද, ඊට පෙර, බිමල් රත්නායක කථානායක ලෙස පත් කෙරෙනු ඇතැයි ද යනුවෙන් විවිධ ආරංචි පැතිර ගියේය.

නමුත් පාර්ලිමේන්තුව රැස්වෙන්නට පෙර දින සවස් කාලයේ ස්ථීරවම ලැබුණු ආරංචිය වූයේ අශෝක රන්වල නමැති ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී තිබුණු අයෙකු මේ තනතුර සඳහා පත්වීමට නියමිත බවයි.

ඒ නම මා අසා නොතිබුන නිසා වහාම ගූගල් සෙවුම් යන්ත්‍රය භාවිතා කරමින් මේ රන්වල යනු කවුදැයි සොයා බැලුවෙමි.

මට දක්නට ලැබුණු විශ්වාස කළ හැකි තොරතුරු මූලාශ වූ විකිපීඩියාව සහ ලින්ක්ඩ්-ඉන් අඩවි අනුව මට පෙනී ගියේ ඔහු මොරටුව විශ්වවිද්‍යාලයෙන් රසායන ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ද, ජපානයේ විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධියක් හෙවත් පී.එච්.ඩී උපාධියක් ලැබූ, ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ සපුගස්කන්ද පිරිපහදුවේ සේවය කළ අයකු වන බවයි.

ඔහු මොරටුව විශ්වවිද්‍යාලයෙන් ම උපාධිය ලබා ඇත්තේ 1983 දී බව කියවිණි. ඒ අනුව ඔහුගේ වයස අවුරුදු හැටපහක් පමණ වන බව තීරණය කළ හැකිවිය.

එනම් මේ අශෝක රන්වල යනු, ජනාධිපති අනුර කුමාර දිසානායකට වඩා පක්ෂය තුළ සෑහෙන ජ්‍යෙෂ්ඨයෙකි. සමහර විට ටිල්වින් සිල්වා තරමටම ජ්‍යේෂ්ටයෙකි.

අප ඔහුගේ නම අසා නොතිබුන ද, ඔහු තිරයෙන් පිටුපස මෙන්ම ඉදිරියේද ක්‍රියාකාරී දේශපාලනයේ යෙදුණු අයෙකු බව වෙනත් විස්තර අනුව පැහැදිලි විය. එනම් පසුගිය කාලය තුළ ඔහු තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති නායකයකු ලෙස ද, එමෙන්ම බස්නාහිර පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ලෙස ද සේවය කර තිබේ.

කෙසේ වෙතත් අශෝක රන්වල යනු ඉහළ අධ්‍යාපන මට්ටමක් ඇති උගත් අයෙකු බව පෙනුන නිසා මම ෆේස්බුක් එකේ පහත සඳහන් කෙටි සටහන පළ කළෙමි.


මා ඒ සටහනෙන් අදහස් කළේ, මූලිකවම සම්ප්‍රදායානුකූල පරිපාලන කටයුත්තක් වෙන කතානායක තනතුර වෙනුවට ඔහුට වෙනත්, රටට වැඩදායක වන, වගකීමක් බාර දිය හැකිව තිබුණු බවයි.

පාර්ලිමේන්තුව රැස්වූ මුල් දිනයේ දී තම රාජකාරිය කිරීමේ දී ඔහු දැක්වූ ආධුනිකකම, බියගුළුකම මෙන්ම ඒ තනතුරට මා පත්වූවා නම් කිසිසේත් ම නොකරන දේ, එනම් තුවාය ඔලුව වටා ගැට ගසා ගැනීම සහ පාර්ලිමේන්තුව ඇතුලේ සිටි මනුස්සයා වාහනයක එළියට ගොස් ආපසු හැරී නැවත පාර්ලිමේන්තුවට ම පැමිණීම වැනි දේ, කිරීම නිසා ඔහු පිළිබඳව තරමක විහිළු සහගත අප්‍රසන්න භාවයක් ද, අකැමැත්තක් ද, ඇති නොවුනා නොවේ.

මා අශෝක රන්වල පිළිබඳව ඉන් පසු, ඊට වඩා සොයා බැලීමට වෑයම් නොකළත් ඊළඟට එළැඹුණු දින කිහිපය තුළ මට 1983 වසරේ මොරටුව විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබූ මිතුරෙකු කළ ප්‍රතිචාරයකින් දැනගනිමට ලැබුණේ ඔහු සමග විශ්වවිද්‍යාලයෙන් පිටවුණු පිරිස අතර රන්වල ලා සිටියත් ඔවුන් සිවිල් ඉංජිනේරුවන් බවයි.

ඒ සමගම අසූවේ දශකයේ අග භාගයේ සිට කලක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද පිරිපහදුවේ සේවය කළ, වෘත්තයෙන් ඉංජිනේරුවෙකුවන මා මිතුරෙකුගෙන් මට දැන ගැනීමට ලැබුණේ අශෝක රන්වල පිරිපහදුවේ දී වෘත්තීය සමිතිය නායකයකු ලෙස පෙනී සිටියේ සංස්ථා පිරිපහදු සේවකයින්ගේ සංගමයේ නියෝජිතයකු ලෙස මිස ඉංජිනේරුවන්ගේ වෘත්තීය නියෝජිතයකු ලෙස නොවන බවයි.

එනිසා ඔහු මොරටුවේ විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකු යැයි සඳහන් කර තිබුණ ද ඔහු ඇත්තටම ජාතික තාක්ෂණික ඩිප්ලෝමාව හෙවත් එන්.ඩී.ටී. පාඨමාලාව හැදෑරූ අයෙකු යැයි අප දෙදෙනා නිගමනය කළෙමු.

ඇත්තට ම ඊට දින කීපයකට පසු විකඩියාවේ මා දුටුවේ ද එයයි.


එම සටහනේ තිබුණු එක අවුලක් නම් එහි Institute of Technology යනුවෙන් තිබුණු සඳහනයි. එය මෑතකාලීනව පිහිට වූ ආයතනයක් මිස අශෝක රන්වල මොරටුවේ ශිෂ්‍යයෙකුව සිටියා නම් ඒ කාලයේ කිසිසේත්ම තිබුණු ආයතනයක් නොවේ.

නමුත් අද මේ මොහොත දක්වා ම දක්වාම අශෝක රන්වලගේ පුද්ගලික ලින්ක්ඩ්-ඉන් පිටුවේ පෙන්වන්නේ ඔහු රසායන විද්‍යාව පිළිබඳව උපාධිධාරියකු බවයි.


එය වෙනස් කර නොමැත.

නමුත් එම ලින්ක්ඩ්-ඉන් පිටුව ද වෙනත් අයකු විසින් සාදන ලද්දක් බවට සැක කළ හැක. එයට හේතුව හේනේගම මධ්‍යම මහා විද්‍යාලයේ දී රන්වල ඉගෙන ගෙන ඇත්තේ කම්බයින්ඩ් මැතමැටික්ස් යැයි එහි සඳහන් වන නිසයි.

කම්බයින්ඩ් මැතමැටික්ස් යන විෂය උසස් පෙළ විභාගයට ඇතුළත් වූයේ රන්වල ගේ කාලයට වඩා අවුරුදු විසිපහකට පමණ පසුව ය!

අප බොහෝ දෙනෙකු දන්නා පරිදි අද වන විට උද්ගත වී ඇති තත්ත්වය නම් මෙසේය.

අශෝක රන්වල ඔහුගේ ලින්ක්ඩ්-ඉන් පිටුවේ දැක්වෙන පරිදි මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු නොවන බවත්, එසේම ඔහු ජපානයේ වෂීඩා විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියක් ලබා ඇත්තෙකු විය නොහැකි බවත් පැවසෙන රාවයක් පැතිර යාමයි.

ඔහු මොරටුවෙ විශ්වවිද්‍යාලයෙන් ලබා ඇත්තේ උපාධියක් නොව ඩිප්ලෝමාවක් බව මට නම් පැහැදිලිය.

ඔහු ආචාර්ය උපාධියක් ලබා නැතැයි පවසන අය එයට හේතුව ලෙස දක්වන්නේ ආචාර්ය උපාධියක් ලැබීමට පෙර පවා බොහෝ දෙනෙකු සාමාන්‍යයෙන් ලියා පළ කරන පර්යේෂණ පත්‍රිකා එකක් හෝ ඔහුගේ නමින් පළ වී නොතිබීමයි.

මේ හේතුව නිසා ම දෝ, අද උදේ කාලය වන විට ම අශෝක රන්වලගේ විකිපීඩියා පිටුව සංස්කරණය වෙමින් තිබුණි.

ඕනෑම අයෙකුට සංස්කරණය කළ හැකි නමුත්, පරිපාලකයින් විසින් අනුමත කරන පරිදි පළ කෙරෙන විචිපීඩියා පිටු සාමාන්‍යයෙන් අනුමත වන්නේ දැක්වෙන සෑම කරුණකටම පාහේ නිශ්චිත මූලාශ්‍ර තිබේ නම් පමණි.

ඒ අනුව අශෝක රන්වල පිළිබඳ පිටුව අරභයා මෙහි දී ඔවුන් කරන්නේ දැන් සැකයට භාජනය වී ඇති සැම දෙයක් පිළිබඳව මූලාශ්‍ර ඉල්ලා සිටීම බව පෙනේ.

එවැනි මූලාශ්‍ර දන්නා අයෙකුට කළ හැක්කේ ඒවා විකිපීඩියාවට යොමු කිරීමයි.

තමන්ට අශෝක රන්වල වසීඩා විශ්වවිද්‍යාලයේ දී හමුවූ බව පවසමින් යම් පුද්ගලයෙකු විසින් ඡායාරූපයක් ද අද දිනයේ ෆේස්බුක් එකේ පළ කර තිබුණි.

එහෙත් එහි දැක්වෙන්නේ නම් පී.එච්.ඩී එකක් කරන පර්යේෂකයකු නොව, සමහර විට ඊට කලින් කෝස්වර්ක් අවශ්‍යතාවයක් සපුරා ගැනීමට තවත් පිරිසක් සමග දේශනාගාරයක හිඳගෙන ඉගෙනුම ලබන සාමාන්‍ය ශිෂ්‍යයෙකි. එය ද ජපානයේ නොව ඉන්දියාවේ දෝ කියා සිතේ.


- රසික සූරියආරච්චි

ප/ලි:
කතානායකයා පිළිබඳව ප්‍රකාශිතව තිබුණු අධ්‍යාපන සුදුසුකම්වල නිරවද්‍යභාවය ගැන හා-හෝව ඇතිවී දින කිහිපයක් ගෙවුණ ද ඒ ගැන කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් වූ බවක් නොපෙනුනි. මේ ගැන ප්‍රකාශයක් කිරීමේ හදිසි අවශ්‍යතාවක් නැතැයි කතානායක ම කියූ බවක් කවුදෝ ලියා තිබෙනු දුටුමි.

අද (09 දෙසැම්බර්) දිනය අවසන් වන විට අසන්නට ලැබුණේ පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ කතානායක ගැන විස්තර සංශෝධනය කර තිබුණු බවයි.



ප/ප/ලි:
අශෝක රන්වල දෙසැම්බර් 13 දින සවස් වරුවේ තම තනතුරෙන් ඉල්ලා අස්විය.

මෙන්න පසුදා උදෑසන වන විට තත්වය (විකිපීඩියාවෙන්).


(images: Screenshots captured from Wikipedia, LinkedIn, Facebook etc)

Thursday, 31 October 2024

අනුර-හරිනි ආණ්ඩුව පිළිබඳ ලොකුම පරීක්ෂණය - The first litmus test on the NPP government


මගේ දැක්මට අනුව, අනුර-හරිනි ආණ්ඩුව පිළිබඳ ලොකුම පරීක්ෂණය නම් මේ අල්ලා ගන්නා පාතාල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ට කුමක් සිදුවේ ද යන්නයි.

කලින් පැවති මිනීමරු ආණ්ඩු කිහිපයක කාලයේ සිදුවූයේ මේ සැකකරුවන් නීතිය ඉදිරියට නොගෙනවිත් ඔවුන් හොර රහසේ මරා දැමීමයි. ඉන්පසු ඔවුන් තමන් සඟවා ඇති අවි-ආයුධ පොලිසියට පෙන්වීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ බවත්, ඒ සඳහා ඔවුන් රැගෙන යන් අතරතුර දී ඔවුන් පළායාමට තැත් කළ බවත්, එහි දී සිදු වූ වෙඩි හුවමාරුවක දී ඒ සැකකරුවන් මිය ගිය බවත් යනාදී අතේ පැළවෙන බොරු සමග පොලිස් මාධ්‍ය සංදර්ශන පැවැත්වීම යි.

අනුර-හරිනි ආණ්ඩුව යටතේ එවැනි දේ නැවත ඇති නොවේ යැයි සිතමි. මක්නිසා ද යත්, ඒ ඒ සැකකරුවන් එකල අතඩංගුවට ගැනීම මෙන්ම, මරා දැමීම ද, පොලීසිය විසින්, දේශපාලන අවශ්‍යතාවක් මත මිස, ස්වේච්ඡාවෙන් කළා යැයි නොසිතෙන් බැවිණි. ජාතික ජනබලවේගයට එසේ හොරුන්, දූෂකයින්, මිනීමරුවන්, නීතිවිරෝධී කුඩු ජාවාරම්කරුවන් ආරක්ෂා කිරීමට හෝ විනාශ කිරීමට උවමනාවක් නැත.

ඇත්ත වශයෙන්ම තව සති තුනකින් පමණ ජාතික ජනබලවේගයේ සම්පූර්ණ ආණ්ඩුව පිහිට වූ පසු ඔවුන් කළ යුතු ප්‍රධානතම කාර්යයක්වනුයේ පසුගිය කාලයේ නීති විරෝධීව මරා දමා, ආයුධ පෙන්වීමේ බොරුවෙන් වසා දැමූ මිනී මැරුම් පිළිබඳව නිසි පරීක්ෂණ කිරීමයි.

- රසික සූරියආරච්චි

(image: A news item from the Divaina newspaper as shown in Derana TV)

Friday, 18 October 2024

ඊළඟ පාර්ලිමේන්තුවේ විපක්ෂය සඳහා සුදුසු ම දේශපාලන පක්ෂය “ජන අරගල සන්ධානය” යි - The need of the hour for Sri Lanka


ලංකාවේ පාර්ලිමේන්තුවට ජනතා නියෝජිතයින් තෝරා ගැනීම සඳහා නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත මහ ඡන්දයෙන් පසු ආණ්ඩුවක් පිහිටවන්නේ කොයි දේශපාලන කණ්ඩායම ද යන්න පිළිබඳව සැකයක් කිසිවෙකු තුළ නැති බව පෙනේ.

කිසිවෙකු තුළ යැයි කියන්නේ පසුගිය ජනාධිපති ඡන්දය ජයග්‍රහණය කළ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාගේ පාක්ෂිකයින් තුළ පමණක් නොව, ඡන්දයේ දී පැරදුනු අපේක්ෂකයින් නියෝජනය කරන බොහෝ කණ්ඩායම්වල පිරිස් පවා විශ්වාස කරන්නේ ජාතික ජන බලවේගයේ කණ්ඩායම මහ ඡන්දය දිනන බව ය. ඔවුන් සටනක් දෙන්නේ හොඳ විපක්‍ෂයක් ලෙස පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුව නිසිමග යැවීමට බව ද ඔව්හූ කියති.

ජනාධිපති චන්දයේ දෙවෙනි තැන ලැබූ සමගි ජනබලවේගයේ අපේක්ෂකයාගේ පිළේ සමහරුන් නම් ඔවුන් ආණ්ඩුබලය ලබා ගැනීමට සටනක් දෙන බව පැවසුවත්, එය හුදෙක්ම තමන්ගේ සහ තම “කැපුවත් ප්‍රේමදාස” පාක්ෂිකයින්ගේ ස්වයං අභිප්‍රේරණය සඳහා භාවිතා කරන සටන් පාඨයක බවට සැකයක් නැත.

අනුර කුමාර දිසානායක ජනාධිපතිගේ දේශපාලන කණ්ඩායම නොවැම්බර් මහ ඡන්දයෙන් පසු පාර්ලිමේන්තුව තුළ හරිනි අමරසූරිය අගමැතිගේ නායකත්වයෙන් ආණ්ඩුව පිහිටවන විට එහි විපක්‍ෂය ලෙස පත්වීමට සුදුසුම කණ්ඩායම වන්නේ කවර කණ්ඩායම ද?

මගේ අදහසට අනුව, ඒ සඳහා හොඳම කණ්ඩායම වන්නේ ප්‍රේමකුමාර් ගුණරත්නම් ගේ නායකත්වයෙන් යුතු පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළත් සන්ධානය, එනම්, “ජන අරගල සන්ධානය” බවයි.

මෙය සරදමට කියන කතාවක් නොවේ.

ඇත්තටම පාර්ලිමේන්තුවේ දී ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ විපක්ෂ කණ්ඩායම ලෙස කටයුතු කිරීමට වඩාත් සුදුසුවන්නේ ඔවුන් ය.

මෙන්න මා දකින හේතු:
  1. ආණ්ඩු පක්ෂය සමන්විතවන්නේ නව නියෝජිතයින්ගෙනි. විපක්ෂය ද එසේවීම හොඳය.
  2. පැරණි යූඇම්පී, සිරිලංකා, රාජපක්ෂ වහල් වැනි කණ්ඩායම්වල දූෂිතයින් තවදුරටත් පාර්ලිමේන්තුවේ සිටිය යුතු නැත.
  3. ජන අරගල සන්ධානයේ අරටුවවන පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ජාතික ජන බලවේගයේ අරටුවවන ජනතා විමුක්ති පෙරමුණ යන කණ්ඩායම් දෙක, එකට සිට වෙන්වූ සහ එනිසාම එකිනෙකා හා පසමිතුරු කණ්ඩායම් නිසා ඔවුන්ට සැබෑ පක්ෂ-විපක්ෂ අරුතෙන් කටයුතු කිරීමට හැකි වෙනු ඇත.
මේ සුසං‍යෝගයේ ඇති වටිනාකම ගැන ඔබට සිතෙන වෙනත් කරුණු තිබේ නම් පහතින් සඳහන් කරන්න.

ජනාධිපති ඡන්දයේ දී ජයග්‍රහණය නොකළ අපේක්ෂකයින්ට ඡන්දය භාවිතා කළ, සජිත් ප්‍රේමදාස පාක්ෂිකයින්, රනිල් රාජපක්ෂ පාක්ෂිකයින්, සහ නාමල් රාජපක්ෂ පාක්ෂිකයින් විසින් තමන්ගේ ඡන්දය නොවැම්බර් මහ ඡන්දයේදී “ජන අරගල සන්ධානය” වෙනුවෙන් පාවිච්චි කළහොත් මේ ආණ්ඩු පක්ෂ - විරුද්ධ පක්ෂ සුසංයෝගය සැබෑවක් කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇත.

- රසික සූරියආරච්චි

(images: Wikipedia )