Saturday, 14 December 2024

රන්වල ප්‍රශ්නය සහ හිත හොඳ යාලුවෝ - I am glad that it is over!


අනවශ්‍ය පරිදි කල් අදිමින් සිට, ගංවතුර නහයටත් වඩා උඩින් ගිය පසු වුවද, දැන් ඉතින්
රන්වල ප්‍රශ්නය
අප බලාපොරොත්තු වූ ආකාරයටම විසඳී ඇති බව පෙනී යන නිසා මේ දෙසැම්බර් 13 වැනිදා සවස් යාමයේ මෙය ලියා පළ කර යුතු ම යයි සිතමි.

තමන්ට ආචාර්ය උපාධියක් හෙවත් ඩොක්ටරේට් එකක් හෙවත් PhD එකක් ඇති ඇයි සැලකෙන ප්‍රකාශ නිකුත් කරන විට නිහඬව සිටිමින් වක්‍රාණුකාරයෙන් ඒවා අනුමත කරමින් අශෝක රන්වල ස්වයං ඝාතනයක් කරගත්තේ ය.

නමුත් එයින් ම අප වටහා ගත යුතු අනිත් කාරණය නම් ඔහුට ඔහුට එවැනි උපාධියක් හෝ එවැනි සුදුසුකමක් නොතිබුණු බවයි. එසේ තිබුණා නම්, එවැනි උපාධියක් ලබා ගැනීම පිළිබඳ ඔහුට අවබෝධයක් තිබිය යුතුය. එනිසා ම, තමන්ට එවැන්නක් නොමැති බව අතැඹුලක් සේ වැටහිය යුතුය.

මට දැනගන්නට ලැබුණු ආකාරයට අවසාන මොහොතේ ද ඔහු පවසා තිබෙන්නේ "මට අහවල් විශ්වවිද්‍යාලයෙන් අහවල් කාරණය සඳහා පී.එච්.ඩී, එකක් ලැබීමට නියමිතව තිබුණා, නමුත් ඒ සහතිකය තවම ලැබී නැත", හෝ අන්න ඒ ආකාරයේ වෙනත් දේ බවයි.

මා මේ සටහන ලියන්නට පටන් ගත්තේ රන්වල ගැන ලියන්නට නොවේ වෙනත් මා හොඳින් දන්නා කාරණයක් ගැන ලියන්නටයි.

එනම්, සමහර පුද්ගලයින් අශෝක රන්වල පත්වූ ආකාරයේ අසීරු අවස්ථාවලට පත්වන්නේ ඔවුන්ගේ වරදක් නිසා නොව, ඔවුන්ගේ මිතුරන්වන හෝ ඔවුන්ගේ යහපත ගැන සිතන, කාරුණික හදවත් ඇති නිසාම අනවශ්‍ය දුරකට ගොස් සහයෝගය දැක්වීමට උත්සාහ කරන පුද්ගලයින් නිසා බවයි.

මෙන්න ඒ පිළිබඳව මගේ හොඳ අත්දැකීමක් ඇති කතාවක්.

මා ඉතා හොඳින් දන්නා තම මූලික උපාධියෙන් පසු පශ්චාත් උපාධි මෙන්ම හෙවත් ආචාර්ය උපාධියක් ද ලැබු අයෙකු සිටී. ඔහු මේ කියන කාලේ විශ්ව විද්‍යාලයක සේවයට කළේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙසිනි.

ඒ දිනවල පළ වූ ප්‍රකාශනයක, මෙය ඇත්තෙන්ම සමරු කලාපයකි, ඔහුගේ නම ඉදිරියෙන් "මහාචාර්ය" යන පදවිය යොදා තිබෙනු මා දුටුවෙමි.

මේ කියන මගේ මිතුරා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු බව මා හොඳින් දන්නා නිසා සමරු කලාපය නිෂ්පාදනය කිරීමට අදාළ ව්‍යාපෘතියේ කළමනාකරුගෙන් මම මේ පිළිබඳව විමසීමි.

ඇත්තටම මා මුලින්ම සිතුවේ මගේ මිතුරා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තනතුරෙන් මහාචාර්ය තනතුරට උසස්වීමක් ලබා ඇති සේය. ඔහුට එම උසස් වීම පිළිබඳව සුබ පැතුම් පණිවිඩයක් යැවීමට ඔහුගේ විශ්වවිද්‍යාල වෙබ් පිටුවට ගිය විටයි මා දුටුවේ ඔහු තවමත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු බව.

සමරු කලාපය සෑදූ පුද්ගලයා මා සමග කීවේ අපූරු කතාවකි.

"මං තමයි ඒ Professor කියන නම එකතු කළේ. දැන් අපේ යාලුවා ෆොෆෙසර් වෙන්න කාලය එළඹිලායි තියෙන්නේ!"

හොඳ වෙලාවට ඒ සමරු කලාපය වැඩිදුර සංසරණය වූ එකක් නොවිණි.

එසේ නොමැති වූවා නම්, අපේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මිතුරාට මහා අබැද්දියක්ට මුහුණ පෑමට සිදුවෙනවා නියතය.

මන්ද යත් අද, අවුරුදු පහළොවකට පසුව ද ඔහු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු බැවිනි.

මෙහිදී මතක් කළ යුතු වැදගත් කරුණක් ඇත. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මෙන්ම, සහාය මහාචාර්ය සහ මහාචාර්ය යනු රැකියා නාම වේ.

ඒවා වැදගත් වන්නේ විශ්ව්විද්‍යාලය ඇතුළේ ය. ගෙදර ගිය විට, ගොස් කවියක් ලියනවිට, ව්ශ්‍රාම ගිය විට, ඒවා අදාල නැත.

- රසික සූරියආරච්චි

ප/ලි:
තවත් කතාවක් ඇත, එය මෙහි ප්‍රතිවිරුද්ධ පැත්තේය. පසුව ලියමි.

(image: AI generated)

8 comments:

  1. දැන් ආයි කුමාර ජයකොඩිත් නාගනියිද? කුමාර ජයකොඩිගේ යාළුවෙක් දාලා කුමාර ජයකොඩි උපාධිය කලේ 87 කණ්ඩායමේ සහ කුමාර ජයකොඩිගේ අයි.ඊ.එස්.එල්. එකේ අයි.ඩී. එකේ ෆොටෝ එකක්. කීදෙනෙක් දන්නවාද දන් නෑ අයි.ඊ.එස්.එල් එකේ උපාධි දෙන් නැති බව.

    ReplyDelete
    Replies
    1. ඒ බැචා ගාව තිබුණු ෆොටෝ එකක් නේ ඌ දාලා තිබුණේ. ඔහුගේ තර්කය නම්, IESL එකේ associate membership එක ගන්න නම් උපාධිය තියෙන්න ඕනෑ බවයි. ඒක ඇත්ත.

      ඒත් ඒ associate membership එක දැන් අහොසියි. අවුරුදු කීපයක් සාමාජික මුදල් නොගෙවා හිටියාම එහෙම වෙනවා. මාත් අන්තිමට මුදල් ගෙව්වේ 1993 දී විතර. දැන් මගේ නම නෑ. ඒක සාමාජිකත්වයක් නේ.

      අනිත් කාරණය තමයි, ඉංජිනේරුවෙකු ලෙස ජොබ් එකක් කරන්න උපාධිය සම්පූර්ණ කිරීම හෝ IESL membership එක අත්‍යවශ්‍ය නෑ. මා දන්නා අය ඉන්නවා සිව් වසර අවසානයේ රැකියා කිරීම අරඹා දශක කිහිපයක් ගියත් තවමත් අවසාන විභාගය සමත් වී නැති.

      Delete
    2. ඉංජිනේරු කියල කියන්නාත් එංගලන්තයේ උපාධියක් ඕනේ නැහැ . ලංකාවේ තමා එව්ව ඕනේ

      Delete
    3. අජිත්,

      ලංකාවෙත් එසේ ය.

      ඉංජිනේරු යනු රැකියා තනතුරකි. විවිධ මූලික සුදුසුම් අනුව රැකියාවේ අත්දැකිම් මත සේවය කරන අය ද, වසර හතරක විශ්වවිද්‍යාල උපාධිය හැදෑරුව ද, විභාග සියල්ල සමත වී උපාධි සහතිකය නොලැබූ අය ද ඉංජිනේරුවන් ලෙස සේවය කරති. විශ්වවිද්‍යාලයේ සිටි මා දන්නා සමහරු සාමාන්‍යාධිකාරී, අධක්ෂක තනතුරු ද දරති. ඒ සියල්ල පුද්ගලික අංශයේ ය.

      නමුත්, රජයේ සේවයේ හෝ රජයේ ආයතනවල ඉංජිනේරුවෙකු වීම සඳහා උපාධි සහතික අවශ්‍යවේ.

      එසේම වරලත් ඉංජිනේරු (charted engineer) යනු වෘත්තීය සුසුදුකම්කි. එය ලබා ගැනීමට නම් උපාධියෙන් පසු වසර හතරක පමණ තම ස්පෙෂලිටියට (Civil, Mech, Elect etc) අදාල තැන්වල පළපුරුද්ද ලබා විභාග (professional ethics, management etc) සහ වයිවා සමත්විය යුතුය.

      Delete
    4. වරලත් කතාවල් මම දන්නවා අනේ . මටත් එකක් තියනව . IT පැත්තෙන් ඇති වැඩක් නැති 😀

      Delete
    5. 😀
      ඔය කිව්වට අපි පිළිගන්නේ නෑ.
      සහතිකේ කෝ යකෝ?
      😀

      Delete
  2. අපි පම්පෝරිකාරයො නොවැ එදා හිටං
    වංසෙ කබල් ගෑවෙත් ආදියේ පටං
    බුදු හිමිතුමන්ටත් කිව්වේ නෑදෑකං
    බොරුවෙන් නෙවෙයි දැන් ජීවත් වෙමු ඇත්තෙන්

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.