Showing posts with label පාර්ලිමේන්තුව. Show all posts
Showing posts with label පාර්ලිමේන්තුව. Show all posts

Saturday, 14 December 2024

රන්වල ප්‍රශ්නය සහ හිත හොඳ යාලුවෝ - I am glad that it is over!


අනවශ්‍ය පරිදි කල් අදිමින් සිට, ගංවතුර නහයටත් වඩා උඩින් ගිය පසු වුවද, දැන් ඉතින්
රන්වල ප්‍රශ්නය
අප බලාපොරොත්තු වූ ආකාරයටම විසඳී ඇති බව පෙනී යන නිසා මේ දෙසැම්බර් 13 වැනිදා සවස් යාමයේ මෙය ලියා පළ කර යුතු ම යයි සිතමි.

තමන්ට ආචාර්ය උපාධියක් හෙවත් ඩොක්ටරේට් එකක් හෙවත් PhD එකක් ඇති ඇයි සැලකෙන ප්‍රකාශ නිකුත් කරන විට නිහඬව සිටිමින් වක්‍රාණුකාරයෙන් ඒවා අනුමත කරමින් අශෝක රන්වල ස්වයං ඝාතනයක් කරගත්තේ ය.

නමුත් එයින් ම අප වටහා ගත යුතු අනිත් කාරණය නම් ඔහුට ඔහුට එවැනි උපාධියක් හෝ එවැනි සුදුසුකමක් නොතිබුණු බවයි. එසේ තිබුණා නම්, එවැනි උපාධියක් ලබා ගැනීම පිළිබඳ ඔහුට අවබෝධයක් තිබිය යුතුය. එනිසා ම, තමන්ට එවැන්නක් නොමැති බව අතැඹුලක් සේ වැටහිය යුතුය.

මට දැනගන්නට ලැබුණු ආකාරයට අවසාන මොහොතේ ද ඔහු පවසා තිබෙන්නේ "මට අහවල් විශ්වවිද්‍යාලයෙන් අහවල් කාරණය සඳහා පී.එච්.ඩී, එකක් ලැබීමට නියමිතව තිබුණා, නමුත් ඒ සහතිකය තවම ලැබී නැත", හෝ අන්න ඒ ආකාරයේ වෙනත් දේ බවයි.

මා මේ සටහන ලියන්නට පටන් ගත්තේ රන්වල ගැන ලියන්නට නොවේ වෙනත් මා හොඳින් දන්නා කාරණයක් ගැන ලියන්නටයි.

එනම්, සමහර පුද්ගලයින් අශෝක රන්වල පත්වූ ආකාරයේ අසීරු අවස්ථාවලට පත්වන්නේ ඔවුන්ගේ වරදක් නිසා නොව, ඔවුන්ගේ මිතුරන්වන හෝ ඔවුන්ගේ යහපත ගැන සිතන, කාරුණික හදවත් ඇති නිසාම අනවශ්‍ය දුරකට ගොස් සහයෝගය දැක්වීමට උත්සාහ කරන පුද්ගලයින් නිසා බවයි.

මෙන්න ඒ පිළිබඳව මගේ හොඳ අත්දැකීමක් ඇති කතාවක්.

මා ඉතා හොඳින් දන්නා තම මූලික උපාධියෙන් පසු පශ්චාත් උපාධි මෙන්ම හෙවත් ආචාර්ය උපාධියක් ද ලැබු අයෙකු සිටී. ඔහු මේ කියන කාලේ විශ්ව විද්‍යාලයක සේවයට කළේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙසිනි.

ඒ දිනවල පළ වූ ප්‍රකාශනයක, මෙය ඇත්තෙන්ම සමරු කලාපයකි, ඔහුගේ නම ඉදිරියෙන් "මහාචාර්ය" යන පදවිය යොදා තිබෙනු මා දුටුවෙමි.

මේ කියන මගේ මිතුරා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු බව මා හොඳින් දන්නා නිසා සමරු කලාපය නිෂ්පාදනය කිරීමට අදාළ ව්‍යාපෘතියේ කළමනාකරුගෙන් මම මේ පිළිබඳව විමසීමි.

ඇත්තටම මා මුලින්ම සිතුවේ මගේ මිතුරා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තනතුරෙන් මහාචාර්ය තනතුරට උසස්වීමක් ලබා ඇති සේය. ඔහුට එම උසස් වීම පිළිබඳව සුබ පැතුම් පණිවිඩයක් යැවීමට ඔහුගේ විශ්වවිද්‍යාල වෙබ් පිටුවට ගිය විටයි මා දුටුවේ ඔහු තවමත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු බව.

සමරු කලාපය සෑදූ පුද්ගලයා මා සමග කීවේ අපූරු කතාවකි.

"මං තමයි ඒ Professor කියන නම එකතු කළේ. දැන් අපේ යාලුවා ෆොෆෙසර් වෙන්න කාලය එළඹිලායි තියෙන්නේ!"

හොඳ වෙලාවට ඒ සමරු කලාපය වැඩිදුර සංසරණය වූ එකක් නොවිණි.

එසේ නොමැති වූවා නම්, අපේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මිතුරාට මහා අබැද්දියක්ට මුහුණ පෑමට සිදුවෙනවා නියතය.

මන්ද යත් අද, අවුරුදු පහළොවකට පසුව ද ඔහු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු බැවිනි.

මෙහිදී මතක් කළ යුතු වැදගත් කරුණක් ඇත. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මෙන්ම, සහාය මහාචාර්ය සහ මහාචාර්ය යනු රැකියා නාම වේ.

ඒවා වැදගත් වන්නේ විශ්ව්විද්‍යාලය ඇතුළේ ය. ගෙදර ගිය විට, ගොස් කවියක් ලියනවිට, ව්ශ්‍රාම ගිය විට, ඒවා අදාල නැත.

- රසික සූරියආරච්චි

ප/ලි:
තවත් කතාවක් ඇත, එය මෙහි ප්‍රතිවිරුද්ධ පැත්තේය. පසුව ලියමි.

(image: AI generated)

Saturday, 7 December 2024

ගරු කථානායක රන්වල - Honorable Speaker Ranwala


මහචන්දයෙන් පසු අලුත් පාර්ලිමේන්තුව රැස්වන්නට පෙර දිනය වෙන්න තෙක්ම පාර්ලිමේන්තුවේ කථානායක ලෙස කවුරුන් පත්වේ දැයි දනන් තුඩ තුඩ රැව් දුන් සාකච්ඡාවක් තිබිණ.

ජාතික ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයින් වූ, ඇත්තටම එහි ලේකම් මෙන්ම කළුතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ද තේරී පත් පත් වී තිබුණු වෘත්තීයෙන් විශේෂඥ වෛද්‍යවරයෙකු ද වූ නිහාල් අබේසිංහ ඒ වෙනුවට පත්වෙනු ඇතැයි ද, ජනතා විමුක්ති පෙරමුණේ පැරණිතම පාර්ලිමේන්තු මන්තිරියා වූ නිහාල ගලප්පත්ති ඒ තනතුරට පත්වෙනු ඇතැයි ද, ඊට පෙර, බිමල් රත්නායක කථානායක ලෙස පත් කෙරෙනු ඇතැයි ද යනුවෙන් විවිධ ආරංචි පැතිර ගියේය.

නමුත් පාර්ලිමේන්තුව රැස්වෙන්නට පෙර දින සවස් කාලයේ ස්ථීරවම ලැබුණු ආරංචිය වූයේ අශෝක රන්වල නමැති ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී තිබුණු අයෙකු මේ තනතුර සඳහා පත්වීමට නියමිත බවයි.

ඒ නම මා අසා නොතිබුන නිසා වහාම ගූගල් සෙවුම් යන්ත්‍රය භාවිතා කරමින් මේ රන්වල යනු කවුදැයි සොයා බැලුවෙමි.

මට දක්නට ලැබුණු විශ්වාස කළ හැකි තොරතුරු මූලාශ වූ විකිපීඩියාව සහ ලින්ක්ඩ්-ඉන් අඩවි අනුව මට පෙනී ගියේ ඔහු මොරටුව විශ්වවිද්‍යාලයෙන් රසායන ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ද, ජපානයේ විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධියක් හෙවත් පී.එච්.ඩී උපාධියක් ලැබූ, ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ සපුගස්කන්ද පිරිපහදුවේ සේවය කළ අයකු වන බවයි.

ඔහු මොරටුව විශ්වවිද්‍යාලයෙන් ම උපාධිය ලබා ඇත්තේ 1983 දී බව කියවිණි. ඒ අනුව ඔහුගේ වයස අවුරුදු හැටපහක් පමණ වන බව තීරණය කළ හැකිවිය.

එනම් මේ අශෝක රන්වල යනු, ජනාධිපති අනුර කුමාර දිසානායකට වඩා පක්ෂය තුළ සෑහෙන ජ්‍යෙෂ්ඨයෙකි. සමහර විට ටිල්වින් සිල්වා තරමටම ජ්‍යේෂ්ටයෙකි.

අප ඔහුගේ නම අසා නොතිබුන ද, ඔහු තිරයෙන් පිටුපස මෙන්ම ඉදිරියේද ක්‍රියාකාරී දේශපාලනයේ යෙදුණු අයෙකු බව වෙනත් විස්තර අනුව පැහැදිලි විය. එනම් පසුගිය කාලය තුළ ඔහු තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති නායකයකු ලෙස ද, එමෙන්ම බස්නාහිර පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ලෙස ද සේවය කර තිබේ.

කෙසේ වෙතත් අශෝක රන්වල යනු ඉහළ අධ්‍යාපන මට්ටමක් ඇති උගත් අයෙකු බව පෙනුන නිසා මම ෆේස්බුක් එකේ පහත සඳහන් කෙටි සටහන පළ කළෙමි.


මා ඒ සටහනෙන් අදහස් කළේ, මූලිකවම සම්ප්‍රදායානුකූල පරිපාලන කටයුත්තක් වෙන කතානායක තනතුර වෙනුවට ඔහුට වෙනත්, රටට වැඩදායක වන, වගකීමක් බාර දිය හැකිව තිබුණු බවයි.

පාර්ලිමේන්තුව රැස්වූ මුල් දිනයේ දී තම රාජකාරිය කිරීමේ දී ඔහු දැක්වූ ආධුනිකකම, බියගුළුකම මෙන්ම ඒ තනතුරට මා පත්වූවා නම් කිසිසේත් ම නොකරන දේ, එනම් තුවාය ඔලුව වටා ගැට ගසා ගැනීම සහ පාර්ලිමේන්තුව ඇතුලේ සිටි මනුස්සයා වාහනයක එළියට ගොස් ආපසු හැරී නැවත පාර්ලිමේන්තුවට ම පැමිණීම වැනි දේ, කිරීම නිසා ඔහු පිළිබඳව තරමක විහිළු සහගත අප්‍රසන්න භාවයක් ද, අකැමැත්තක් ද, ඇති නොවුනා නොවේ.

මා අශෝක රන්වල පිළිබඳව ඉන් පසු, ඊට වඩා සොයා බැලීමට වෑයම් නොකළත් ඊළඟට එළැඹුණු දින කිහිපය තුළ මට 1983 වසරේ මොරටුව විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබූ මිතුරෙකු කළ ප්‍රතිචාරයකින් දැනගනිමට ලැබුණේ ඔහු සමග විශ්වවිද්‍යාලයෙන් පිටවුණු පිරිස අතර රන්වල ලා සිටියත් ඔවුන් සිවිල් ඉංජිනේරුවන් බවයි.

ඒ සමගම අසූවේ දශකයේ අග භාගයේ සිට කලක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද පිරිපහදුවේ සේවය කළ, වෘත්තයෙන් ඉංජිනේරුවෙකුවන මා මිතුරෙකුගෙන් මට දැන ගැනීමට ලැබුණේ අශෝක රන්වල පිරිපහදුවේ දී වෘත්තීය සමිතිය නායකයකු ලෙස පෙනී සිටියේ සංස්ථා පිරිපහදු සේවකයින්ගේ සංගමයේ නියෝජිතයකු ලෙස මිස ඉංජිනේරුවන්ගේ වෘත්තීය නියෝජිතයකු ලෙස නොවන බවයි.

එනිසා ඔහු මොරටුවේ විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකු යැයි සඳහන් කර තිබුණ ද ඔහු ඇත්තටම ජාතික තාක්ෂණික ඩිප්ලෝමාව හෙවත් එන්.ඩී.ටී. පාඨමාලාව හැදෑරූ අයෙකු යැයි අප දෙදෙනා නිගමනය කළෙමු.

ඇත්තට ම ඊට දින කීපයකට පසු විකඩියාවේ මා දුටුවේ ද එයයි.


එම සටහනේ තිබුණු එක අවුලක් නම් එහි Institute of Technology යනුවෙන් තිබුණු සඳහනයි. එය මෑතකාලීනව පිහිට වූ ආයතනයක් මිස අශෝක රන්වල මොරටුවේ ශිෂ්‍යයෙකුව සිටියා නම් ඒ කාලයේ කිසිසේත්ම තිබුණු ආයතනයක් නොවේ.

නමුත් අද මේ මොහොත දක්වා ම දක්වාම අශෝක රන්වලගේ පුද්ගලික ලින්ක්ඩ්-ඉන් පිටුවේ පෙන්වන්නේ ඔහු රසායන විද්‍යාව පිළිබඳව උපාධිධාරියකු බවයි.


එය වෙනස් කර නොමැත.

නමුත් එම ලින්ක්ඩ්-ඉන් පිටුව ද වෙනත් අයකු විසින් සාදන ලද්දක් බවට සැක කළ හැක. එයට හේතුව හේනේගම මධ්‍යම මහා විද්‍යාලයේ දී රන්වල ඉගෙන ගෙන ඇත්තේ කම්බයින්ඩ් මැතමැටික්ස් යැයි එහි සඳහන් වන නිසයි.

කම්බයින්ඩ් මැතමැටික්ස් යන විෂය උසස් පෙළ විභාගයට ඇතුළත් වූයේ රන්වල ගේ කාලයට වඩා අවුරුදු විසිපහකට පමණ පසුව ය!

අප බොහෝ දෙනෙකු දන්නා පරිදි අද වන විට උද්ගත වී ඇති තත්ත්වය නම් මෙසේය.

අශෝක රන්වල ඔහුගේ ලින්ක්ඩ්-ඉන් පිටුවේ දැක්වෙන පරිදි මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු නොවන බවත්, එසේම ඔහු ජපානයේ වෂීඩා විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියක් ලබා ඇත්තෙකු විය නොහැකි බවත් පැවසෙන රාවයක් පැතිර යාමයි.

ඔහු මොරටුවෙ විශ්වවිද්‍යාලයෙන් ලබා ඇත්තේ උපාධියක් නොව ඩිප්ලෝමාවක් බව මට නම් පැහැදිලිය.

ඔහු ආචාර්ය උපාධියක් ලබා නැතැයි පවසන අය එයට හේතුව ලෙස දක්වන්නේ ආචාර්ය උපාධියක් ලැබීමට පෙර පවා බොහෝ දෙනෙකු සාමාන්‍යයෙන් ලියා පළ කරන පර්යේෂණ පත්‍රිකා එකක් හෝ ඔහුගේ නමින් පළ වී නොතිබීමයි.

මේ හේතුව නිසා ම දෝ, අද උදේ කාලය වන විට ම අශෝක රන්වලගේ විකිපීඩියා පිටුව සංස්කරණය වෙමින් තිබුණි.

ඕනෑම අයෙකුට සංස්කරණය කළ හැකි නමුත්, පරිපාලකයින් විසින් අනුමත කරන පරිදි පළ කෙරෙන විචිපීඩියා පිටු සාමාන්‍යයෙන් අනුමත වන්නේ දැක්වෙන සෑම කරුණකටම පාහේ නිශ්චිත මූලාශ්‍ර තිබේ නම් පමණි.

ඒ අනුව අශෝක රන්වල පිළිබඳ පිටුව අරභයා මෙහි දී ඔවුන් කරන්නේ දැන් සැකයට භාජනය වී ඇති සැම දෙයක් පිළිබඳව මූලාශ්‍ර ඉල්ලා සිටීම බව පෙනේ.

එවැනි මූලාශ්‍ර දන්නා අයෙකුට කළ හැක්කේ ඒවා විකිපීඩියාවට යොමු කිරීමයි.

තමන්ට අශෝක රන්වල වසීඩා විශ්වවිද්‍යාලයේ දී හමුවූ බව පවසමින් යම් පුද්ගලයෙකු විසින් ඡායාරූපයක් ද අද දිනයේ ෆේස්බුක් එකේ පළ කර තිබුණි.

එහෙත් එහි දැක්වෙන්නේ නම් පී.එච්.ඩී එකක් කරන පර්යේෂකයකු නොව, සමහර විට ඊට කලින් කෝස්වර්ක් අවශ්‍යතාවයක් සපුරා ගැනීමට තවත් පිරිසක් සමග දේශනාගාරයක හිඳගෙන ඉගෙනුම ලබන සාමාන්‍ය ශිෂ්‍යයෙකි. එය ද ජපානයේ නොව ඉන්දියාවේ දෝ කියා සිතේ.


- රසික සූරියආරච්චි

ප/ලි:
කතානායකයා පිළිබඳව ප්‍රකාශිතව තිබුණු අධ්‍යාපන සුදුසුකම්වල නිරවද්‍යභාවය ගැන හා-හෝව ඇතිවී දින කිහිපයක් ගෙවුණ ද ඒ ගැන කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් වූ බවක් නොපෙනුනි. මේ ගැන ප්‍රකාශයක් කිරීමේ හදිසි අවශ්‍යතාවක් නැතැයි කතානායක ම කියූ බවක් කවුදෝ ලියා තිබෙනු දුටුමි.

අද (09 දෙසැම්බර්) දිනය අවසන් වන විට අසන්නට ලැබුණේ පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ කතානායක ගැන විස්තර සංශෝධනය කර තිබුණු බවයි.



ප/ප/ලි:
අශෝක රන්වල දෙසැම්බර් 13 දින සවස් වරුවේ තම තනතුරෙන් ඉල්ලා අස්විය.

මෙන්න පසුදා උදෑසන වන විට තත්වය (විකිපීඩියාවෙන්).


(images: Screenshots captured from Wikipedia, LinkedIn, Facebook etc)