Saturday, 7 December 2024

ගරු කථානායක රන්වල - Honorable Speaker Ranwala


මහචන්දයෙන් පසු අලුත් පාර්ලිමේන්තුව රැස්වන්නට පෙර දිනය වෙන්න තෙක්ම පාර්ලිමේන්තුවේ කථානායක ලෙස කවුරුන් පත්වේ දැයි දනන් තුඩ තුඩ රැව් දුන් සාකච්ඡාවක් තිබිණ.

ජාතික ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයින් වූ, ඇත්තටම එහි ලේකම් මෙන්ම කළුතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ද තේරී පත් පත් වී තිබුණු වෘත්තීයෙන් විශේෂඥ වෛද්‍යවරයෙකු ද වූ නිහාල් අබේසිංහ ඒ වෙනුවට පත්වෙනු ඇතැයි ද, ජනතා විමුක්ති පෙරමුණේ පැරණිතම පාර්ලිමේන්තු මන්තිරියා වූ නිහාල ගලප්පත්ති ඒ තනතුරට පත්වෙනු ඇතැයි ද, ඊට පෙර, බිමල් රත්නායක කථානායක ලෙස පත් කෙරෙනු ඇතැයි ද යනුවෙන් විවිධ ආරංචි පැතිර ගියේය.

නමුත් පාර්ලිමේන්තුව රැස්වෙන්නට පෙර දින සවස් කාලයේ ස්ථීරවම ලැබුණු ආරංචිය වූයේ අශෝක රන්වල නමැති ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී තිබුණු අයෙකු මේ තනතුර සඳහා පත්වීමට නියමිත බවයි.

ඒ නම මා අසා නොතිබුන නිසා වහාම ගූගල් සෙවුම් යන්ත්‍රය භාවිතා කරමින් මේ රන්වල යනු කවුදැයි සොයා බැලුවෙමි.

මට දක්නට ලැබුණු විශ්වාස කළ හැකි තොරතුරු මූලාශ වූ විකිපීඩියාව සහ ලින්ක්ඩ්-ඉන් අඩවි අනුව මට පෙනී ගියේ ඔහු මොරටුව විශ්වවිද්‍යාලයෙන් රසායන ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ද, ජපානයේ විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධියක් හෙවත් පී.එච්.ඩී උපාධියක් ලැබූ, ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ සපුගස්කන්ද පිරිපහදුවේ සේවය කළ අයකු වන බවයි.

ඔහු මොරටුව විශ්වවිද්‍යාලයෙන් ම උපාධිය ලබා ඇත්තේ 1983 දී බව කියවිණි. ඒ අනුව ඔහුගේ වයස අවුරුදු හැටපහක් පමණ වන බව තීරණය කළ හැකිවිය.

එනම් මේ අශෝක රන්වල යනු, ජනාධිපති අනුර කුමාර දිසානායකට වඩා පක්ෂය තුළ සෑහෙන ජ්‍යෙෂ්ඨයෙකි. සමහර විට ටිල්වින් සිල්වා තරමටම ජ්‍යේෂ්ටයෙකි.

අප ඔහුගේ නම අසා නොතිබුන ද, ඔහු තිරයෙන් පිටුපස මෙන්ම ඉදිරියේද ක්‍රියාකාරී දේශපාලනයේ යෙදුණු අයෙකු බව වෙනත් විස්තර අනුව පැහැදිලි විය. එනම් පසුගිය කාලය තුළ ඔහු තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති නායකයකු ලෙස ද, එමෙන්ම බස්නාහිර පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ලෙස ද සේවය කර තිබේ.

කෙසේ වෙතත් අශෝක රන්වල යනු ඉහළ අධ්‍යාපන මට්ටමක් ඇති උගත් අයෙකු බව පෙනුන නිසා මම ෆේස්බුක් එකේ පහත සඳහන් කෙටි සටහන පළ කළෙමි.


මා ඒ සටහනෙන් අදහස් කළේ, මූලිකවම සම්ප්‍රදායානුකූල පරිපාලන කටයුත්තක් වෙන කතානායක තනතුර වෙනුවට ඔහුට වෙනත්, රටට වැඩදායක වන, වගකීමක් බාර දිය හැකිව තිබුණු බවයි.

පාර්ලිමේන්තුව රැස්වූ මුල් දිනයේ දී තම රාජකාරිය කිරීමේ දී ඔහු දැක්වූ ආධුනිකකම, බියගුළුකම මෙන්ම ඒ තනතුරට මා පත්වූවා නම් කිසිසේත් ම නොකරන දේ, එනම් තුවාය ඔලුව වටා ගැට ගසා ගැනීම සහ පාර්ලිමේන්තුව ඇතුලේ සිටි මනුස්සයා වාහනයක එළියට ගොස් ආපසු හැරී නැවත පාර්ලිමේන්තුවට ම පැමිණීම වැනි දේ, කිරීම නිසා ඔහු පිළිබඳව තරමක විහිළු සහගත අප්‍රසන්න භාවයක් ද, අකැමැත්තක් ද, ඇති නොවුනා නොවේ.

මා අශෝක රන්වල පිළිබඳව ඉන් පසු, ඊට වඩා සොයා බැලීමට වෑයම් නොකළත් ඊළඟට එළැඹුණු දින කිහිපය තුළ මට 1983 වසරේ මොරටුව විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබූ මිතුරෙකු කළ ප්‍රතිචාරයකින් දැනගනිමට ලැබුණේ ඔහු සමග විශ්වවිද්‍යාලයෙන් පිටවුණු පිරිස අතර රන්වල ලා සිටියත් ඔවුන් සිවිල් ඉංජිනේරුවන් බවයි.

ඒ සමගම අසූවේ දශකයේ අග භාගයේ සිට කලක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද පිරිපහදුවේ සේවය කළ, වෘත්තයෙන් ඉංජිනේරුවෙකුවන මා මිතුරෙකුගෙන් මට දැන ගැනීමට ලැබුණේ අශෝක රන්වල පිරිපහදුවේ දී වෘත්තීය සමිතිය නායකයකු ලෙස පෙනී සිටියේ සංස්ථා පිරිපහදු සේවකයින්ගේ සංගමයේ නියෝජිතයකු ලෙස මිස ඉංජිනේරුවන්ගේ වෘත්තීය නියෝජිතයකු ලෙස නොවන බවයි.

එනිසා ඔහු මොරටුවේ විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකු යැයි සඳහන් කර තිබුණ ද ඔහු ඇත්තටම ජාතික තාක්ෂණික ඩිප්ලෝමාව හෙවත් එන්.ඩී.ටී. පාඨමාලාව හැදෑරූ අයෙකු යැයි අප දෙදෙනා නිගමනය කළෙමු.

ඇත්තට ම ඊට දින කීපයකට පසු විකඩියාවේ මා දුටුවේ ද එයයි.


එම සටහනේ තිබුණු එක අවුලක් නම් එහි Institute of Technology යනුවෙන් තිබුණු සඳහනයි. එය මෑතකාලීනව පිහිට වූ ආයතනයක් මිස අශෝක රන්වල මොරටුවේ ශිෂ්‍යයෙකුව සිටියා නම් ඒ කාලයේ කිසිසේත්ම තිබුණු ආයතනයක් නොවේ.

නමුත් අද මේ මොහොත දක්වා ම දක්වාම අශෝක රන්වලගේ පුද්ගලික ලින්ක්ඩ්-ඉන් පිටුවේ පෙන්වන්නේ ඔහු රසායන විද්‍යාව පිළිබඳව උපාධිධාරියකු බවයි.


එය වෙනස් කර නොමැත.

නමුත් එම ලින්ක්ඩ්-ඉන් පිටුව ද වෙනත් අයකු විසින් සාදන ලද්දක් බවට සැක කළ හැක. එයට හේතුව හේනේගම මධ්‍යම මහා විද්‍යාලයේ දී රන්වල ඉගෙන ගෙන ඇත්තේ කම්බයින්ඩ් මැතමැටික්ස් යැයි එහි සඳහන් වන නිසයි.

කම්බයින්ඩ් මැතමැටික්ස් යන විෂය උසස් පෙළ විභාගයට ඇතුළත් වූයේ රන්වල ගේ කාලයට වඩා අවුරුදු විසිපහකට පමණ පසුව ය!

අප බොහෝ දෙනෙකු දන්නා පරිදි අද වන විට උද්ගත වී ඇති තත්ත්වය නම් මෙසේය.

අශෝක රන්වල ඔහුගේ ලින්ක්ඩ්-ඉන් පිටුවේ දැක්වෙන පරිදි මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු නොවන බවත්, එසේම ඔහු ජපානයේ වෂීඩා විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියක් ලබා ඇත්තෙකු විය නොහැකි බවත් පැවසෙන රාවයක් පැතිර යාමයි.

ඔහු මොරටුවෙ විශ්වවිද්‍යාලයෙන් ලබා ඇත්තේ උපාධියක් නොව ඩිප්ලෝමාවක් බව මට නම් පැහැදිලිය.

ඔහු ආචාර්ය උපාධියක් ලබා නැතැයි පවසන අය එයට හේතුව ලෙස දක්වන්නේ ආචාර්ය උපාධියක් ලැබීමට පෙර පවා බොහෝ දෙනෙකු සාමාන්‍යයෙන් ලියා පළ කරන පර්යේෂණ පත්‍රිකා එකක් හෝ ඔහුගේ නමින් පළ වී නොතිබීමයි.

මේ හේතුව නිසා ම දෝ, අද උදේ කාලය වන විට ම අශෝක රන්වලගේ විකිපීඩියා පිටුව සංස්කරණය වෙමින් තිබුණි.

ඕනෑම අයෙකුට සංස්කරණය කළ හැකි නමුත්, පරිපාලකයින් විසින් අනුමත කරන පරිදි පළ කෙරෙන විචිපීඩියා පිටු සාමාන්‍යයෙන් අනුමත වන්නේ දැක්වෙන සෑම කරුණකටම පාහේ නිශ්චිත මූලාශ්‍ර තිබේ නම් පමණි.

ඒ අනුව අශෝක රන්වල පිළිබඳ පිටුව අරභයා මෙහි දී ඔවුන් කරන්නේ දැන් සැකයට භාජනය වී ඇති සැම දෙයක් පිළිබඳව මූලාශ්‍ර ඉල්ලා සිටීම බව පෙනේ.

එවැනි මූලාශ්‍ර දන්නා අයෙකුට කළ හැක්කේ ඒවා විකිපීඩියාවට යොමු කිරීමයි.

තමන්ට අශෝක රන්වල වසීඩා විශ්වවිද්‍යාලයේ දී හමුවූ බව පවසමින් යම් පුද්ගලයෙකු විසින් ඡායාරූපයක් ද අද දිනයේ ෆේස්බුක් එකේ පළ කර තිබුණි.

එහෙත් එහි දැක්වෙන්නේ නම් පී.එච්.ඩී එකක් කරන පර්යේෂකයකු නොව, සමහර විට ඊට කලින් කෝස්වර්ක් අවශ්‍යතාවයක් සපුරා ගැනීමට තවත් පිරිසක් සමග දේශනාගාරයක හිඳගෙන ඉගෙනුම ලබන සාමාන්‍ය ශිෂ්‍යයෙකි. එය ද ජපානයේ නොව ඉන්දියාවේ දෝ කියා සිතේ.


- රසික සූරියආරච්චි

ප/ලි:
කතානායකයා පිළිබඳව ප්‍රකාශිතව තිබුණු අධ්‍යාපන සුදුසුකම්වල නිරවද්‍යභාවය ගැන හා-හෝව ඇතිවී දින කිහිපයක් ගෙවුණ ද ඒ ගැන කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් වූ බවක් නොපෙනුනි. මේ ගැන ප්‍රකාශයක් කිරීමේ හදිසි අවශ්‍යතාවක් නැතැයි කතානායක ම කියූ බවක් කවුදෝ ලියා තිබෙනු දුටුමි.

අද (09 දෙසැම්බර්) දිනය අවසන් වන විට අසන්නට ලැබුණේ පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ කතානායක ගැන විස්තර සංශෝධනය කර තිබුණු බවයි.



ප/ප/ලි:
අශෝක රන්වල දෙසැම්බර් 13 දින සවස් වරුවේ තම තනතුරෙන් ඉල්ලා අස්විය.

මෙන්න පසුදා උදෑසන වන විට තත්වය (විකිපීඩියාවෙන්).


(images: Screenshots captured from Wikipedia, LinkedIn, Facebook etc)

10 comments:

  1. රසික නිකං රනිල්ගේ කොන්ත්‍රාත් නොකර ඉන්න මිනිස්සුන්ට මඩ ගහන්නේ.

    රන්වල සහෝදරයා ගැන ගැටළුවක් මොකක්ද? මීට පෙර හිටපූ අයට වඩා මේ සහෝදරයා වැඩක් කරයි පාර්ලිමේන්තුව තුල.

    දැන්ම විපක්ෂ අය බය වෙලා.

    ReplyDelete
    Replies
    1. "මඩ" කියන්නේ ද්වේශ චේතනාවෙන් යුතුව කරන චෝදනා හෝ පතුරවන අසත්‍ය තොරතුරු නොවේ ද?

      මා ලියා පළ කළ මේ සටහනේ ඇති මඩ මොනවාද?

      Delete
  2. කොක් සුද පෙනෙන්නේ ඌ ඉගිලෙන විටදී
    කාලා බලතැකිද මිනිසුන්ගේ වැරදී
    ඇත්තම මතු වේවි වැඩිකල් නොමයාදී
    ඉගෙන ගනිත්වා පාඩම් මෙව්වයෙදී

    ReplyDelete
    Replies
    1. ටික දෙනෙකු කදිමට
      රැවටුවත් ටික කලකට
      දන්නා ලෙස සොඳට
      ආයු බෝ නොම වේ ය බොරුවට

      Delete
  3. එයාල දීපු දත්ත වැරදි නම් ඉල්ලා අස් වෙන එකයි හරි . නමුත් වෙන අය නම් එයා වෙනුවෙන් හැදුවේ එතකොට අසාධාරණයි . ඒ වගේ දේවල් ගොඩක් කරනවා මම දැක තිබෙනවා

    ReplyDelete
    Replies
    1. අශෝක රන්වල මේ ගැන කර ඇති ප්‍රකාශ සහ හැසිරුණු ආකාරය දුටුවිට පේන්නේ නම් මොහු විශ්වවිද්‍යාලයක විධිමත් අධ්‍යාපනයක් ලද අයෙකු නොවන බවයි. ඔහු තම පීඑච්ඩී එක ගැන කියා ඇති දේවල්වලින් මට නම් හිතුණේ ඔහු පීඑච්ඩී උපාධියක් ලබාගැනීම ගැන නිවැරදි අදහසක් නැති අයෙකු බවයි.

      වෙන අයට කියා තමන්ගේ ලින්ක්ඩ්-ඉන් සහ ෆේස්බුක් සාදාගත් අය ගැන මාත් දන්නවා. එසේ නොකළත් සමහරු වැඩි හොඳට වෙනත් අයට නැති තනතුරු දුන් කතාවක් මං ඊයේ රෑ ලියා පළ කළා.

      Delete
  4. ඔය NDT කරපු ගොඩක් එවුන් විදේශවලදි මට හම්බවෙලා තියෙනවා, උන් කියන්නෙ උන් මොරටුවෙ ඉංජිනේරු උපාධිදාරීන් කියලා තමයි. උන්ට තියෙනවා හෙන හීනමානයක්. මොරටුවෙන් ඇත්තටම ඉංජිනේරු උපාධි ගත්තු එවුනුත් මට හම්බවෙලා තියෙනවා, මගෙ යටතෙ වැඩ කරලත් තියෙනවා, උන්ටත් තියෙනවා මෝරා උණ. මම නම් ලංකාවෙ ඉංජිනේරු යන්න බැරි වෙච්ච එකෙක්, මට හම්බ වුණේ කැළණිය විශ්ව විද්‍යාලෙ Physical science. ඒ කාලෙ ජෙප්පො කැළණිය අල්ලගෙන, විරුද්ධ වෙන අපි වගේ අලයන්ට ගුටි දෙන කාලෙ. මම කැළණියෙ හිටියෙ අවුරුද්දකට අඩු කාලයක්, ඒක අත්හැරලා, විදේශගත වුණා ඉංජිනේරුවෙක් වෙන්න. විදේශවලදි, ලංකාවෙ මොන විශ්ව විද්‍යාලෙන් ඉගෙන ගත්තත් එකම පිලි ගැනීම තමයි. ඒක විවෘත විශ්ව විද්‍යාලෙන් වුණත්, මොරටුව හෝ පෙරාදෙණියෙන් වුණත්, පසු කලෙක් පුද්ගලික විශ්ව විද්‍යාලෙකින් වුණත් එකම දේ තමයි, ඒ කියන්නෙ තුන්වෙනි ලෝකෙ රටකින් ගත්ත qualification එකක් කියන එක. ගොඩක් රටවල ඔය NDT එකත් එක්ක අවුරුදු කීපයක් working experience තියෙනවානම්, ඒ රටකින් පශ්චාත් උපාධියක් කරන්නත් පුළුවන්කම තියෙනවා. හැබැයි මේ රන්වල කියන තක්කඩියා, මට හිතෙන්නෙ ආචාර්ය උපාධියක් කරන්න ගිහින් ඒක සම්පූර්ණ කරපු නැති එකෙක් වෙන්න තියෙන ඉඩ වැඩියි. මූ ඒක තමන්ගෙ නම යටින් ගහගෙන නැති උපාධියක් පෙන්වන්න ගිහින් හත් පොලේ ගාගෙන වගේ.

    ReplyDelete
    Replies
    1. අශෝක රන්වල මේ කේස් එක ගැන කර ඇති ප්‍රකාශ සහ ඒ සම්බන්ධයෙන් හැසිරුණු ආකාරය දුටුවිට මට නම් හිතුණේ ඔහු විශ්වවිද්‍යාලයක විධිමත් අධ්‍යාපනයක් ලද අයෙකු නොවන බවයි. ඔහුට පීඑච්ඩී උපාධියක් ලබාගැනීම ගැන ද නිවැරදි අදහසක් නැහැ. තිබේ නම් ඔහොම ගොං කතා කියයිද?

      Delete
  5. දීලා තියන පොටෝ එක භූත විද්‍යා ඔඩිටෝරියම් එකක වගේයි බිත්තියේ ඇති රූප දිහා බැලුවම හිතෙන්නේ.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.