හුණ්ඩුව රත් වී තිබෙන අවස්ථාවේ එක පෝස්ට් එකක් පුච්චා ගැනීමට හැකිවිය. පෙරේදා වොයිස් ටයිප් කිරීම ඇරැඹූ මේ දෙවැනි පෝස්ටුව එදිනම අවසන් කර ගැනීමට නොහැකි වූ ආතර මේ වන විට හුණ්ඩුවේ රස්නය නිවී යමින් පවතින නමුත් ඕ.පු. කියා පළකරමි.මෙය හුදෙක්ම අතීතකාමී අභ්‍යාසයක් බව සලකන්න.
මා කුඩා කාලයේ මෙකී හුණ්ඩු භාවිතා වුණු බව මගේ මතකයේ හොඳින් රැඳී ඇත.
අප එකල රාත්‍රියට නිවස ආලෝකමත් කිරීම සඳහා කුප්පි ලාම්පු, චිමිනි ලාම්පු සහ පෙට්‍රෝල් මැක්ස් ලාම්පුව දැල්වීමට අවශ්‍ය භූමිතෙල් මිලට ගත්තේ අප විසූ තාත්තාගේ මහ ගෙදර සිට මීටර් තුන් හාරසීයක දුරින් පිහිටි අපේ ආච්චි අනාගේ කඩේ යනුවෙන් හැඳින්වූ සාමාන්‍යයෙන් ගම්බද නිවසකට අවශ්‍ය සියලුම දේ පාහේ විකිණීමට තිබුණු සිල්ලර කඩේට ය.
අපේ තාත්තා ගමේ තිබුණු කිසිදු සිල්ලර කඩේකට මා දන්නා කිසිදු දිනයක පය තැබූ අයෙකු නොවේ. සීයා නම් නිවසෙන් එලියට හෝ ගේ ඉතාම කලාතුරකිනි. අප මහ ගෙදර පදිංචියට ගිය පසු මා ඉතාම කුඩා කාලයේ එදිනෙදා සහ හදිසි අවශ්‍යතා සඳහා ගමේ කඩේ යාමේ රාජකාරිය කළේ ආච්චි ය. ප්‍රධාන සිල්ලර බඩු රැකියාවට ගොස් පැමිණෙන විට තාත්තා ගනේමුල්ල නගරයෙන් ගෙනාවේය.
මා හිතන විදිහට වයස අවුරුදු හතක් අටක් වූ පසු අනාලාගේ කඩේට යාමේ රාජකාරිය මට ද පැවරුණි.
මා භූමිතෙල් මිල දී ගැනීම සඳහා කඩේට ගෙන ගියේ තෙල් ගැලුමක එනම් බෝතල් හයක ධාරිතාව ඇති එකකි. එසේ වුවද භූමතෙල් මැනීම සඳහා තිබුණු එකම ක්‍රමය වූයේ හුණ්ඩුවකින් මැනීමයි.
හුණ්ඩුවක් යනු මෙහිදී බෝතලයකින් කාලකි. බෝතලයක් යනු අද මිම්මෙන් මිලි ලීටර් 750 ක් නිසා මේ හුණ්ඩුවක් යනු ආසන්න වශයෙන් මිලි ලීටර් 185 ක් පමණ වේ.
ලෝහ වලින් සාදා තිබුණු ඒ සිලින්ඩරාකාර හුණ්ඩුවට පිටතින් දිගැති යකඩ කූරක් සවිකර තිබුණු අතර භූමිතල් පුරවා තිබුණු විශාල බැරලයෙන් වරකට හුණ්ඩුව බැගින් ගෙන මා ගෙනයන කෑන් එකට පුනීලයක් හරහා දැමිය යුතු විය.
මා කඩ හිමි වයෝවෘද්ධ කාන්තාවගෙන් (මේ ඔහු එවකට මිය පරලොව ගොස් සිටි නිසා මා කිසි දිනක දැක නැති, අපේ ආච්චි විසින් අනා ලෙස හැඳින්වූ පුද්ගලයාගේ බිරිඳ ය) ඉල්ලුවේ භූමිතෙල් බෝතල් හයක් නම් එය හුණ්ඩු 24 කි.
මීට අමතරව නිවසේ භාවිතා වූ තවත් හුණ්ඩුවක් විය. එය භාවිතා කෙරුණේ සහල් සහ පිටි වැනි දේ මැනීම සඳහා ය.
මේ දිනවල සිල්ලර කඩවල සහල් මැනීම සඳහා මිම්ම වූයේ සේරුවයි. ඒ සඳහා භාවිතා කෙරුණේ තරමක් විශාල සිලින්ඩරාකාර යෙන් කිරිපිටි ටින් එකක් වැනි භාජනයකි. සිල්ලර වෙළඳාම සඳහා භාවිතා කෙරෙන මේ සේරුවේ මිනුම් උපකරණය නිලධාරීන් විසින් අනුමත කළ එකක් විය යුතුවිය.
නිවසේ බත් ඉවීමට මැනීම සඳහා භාවිත කළේ හුණ්ඩුවකි. ඒ හුණ්ඩුවක මිම්ම යනු සේරුවකින් කාලකි.
මගේ මතකයට අනුව සේරුවක් යනු කිලෝ එකකි. එනිසා හුණ්ඩුවක් යනු ග්‍රෑම් 250 කි.
- රසික සූරියආරච්චි
මුල් සටහන: ලඞ්කාණ්ඩුව නම් හුණ්ඩුව - The quarter measure
https://rasikalogy.blogspot.com/2026/03/quarter-measure.html (image: Google Gemini : Nano Banana)
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.