
අම්මාගේ උපන් දිනය වෙනුවෙන් 2018 සැප්තැම්බර් මාසයේ දී ලංකාවට ගිය වෙලේ මට වෙනත් වැදගත් අවස්ථාවකට ද සහභාගි වීමට හැකිවිය. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ආදී විද්‍යාර්ථීන්ගේ සංගමයේ කොළඹ ශාඛාව පිහිටුවීමේ සමාරම්භක රැස්වීමට සහ සාදයට යි. මෙම උත්සවය පැවැත්වුණේ කොල්ලුපිටියේ ගාලු පාරේ පිහිටි මහ කුරුඳු හෝටලයේ බව මගේ මතකයයි.
සංගමයේ ශාඛාව පිහිටුවා නිලධාරීන් පත් කරගෙන, ලරීෆ් මොහොමඩ්ගේ ආරාධිත දේශනය ද අවසාන වීමෙන් පසුව, පැමිණි සිටි ආදී විද්‍යාර්ථීන්ට අදහස් දැක්වීමේ අවස්ථාව උදාවිය.
කිහිප දෙනෙකු තම අදහස් දැක්වීමෙන් පසු මයික්‍රොෆෝනය ඉල්ලා ගත් මා පැවසූයේ අදහසේ ආසන්න පරිවර්තනයක් මතකයට අනුව මෙසේ ය.
"රටක සංවර්ධනය සඳහා විවිධ ක්ෂේත්‍රවල ඉංජිනේරුවන්ගේ සේවය අත්‍යවශ්‍යයි. එසේ නම් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය වෙන ස්ථානයේ ද, එනම් පාර්ලිමේන්තුවේ ද ඉංජිනේරුවන් සිටිය යුතුයි. ඒ සඳහා, පූර්ණකාලීන දේශපාලනයට ඉංජිනේරුවන් ද එකතු විය යුතුයි.
පසුගිය දශක කිහිපයක කාලයේ දී වෘත්තීය ඉංජිනේරුවන් කිහිපදෙනෙකු ම පූර්ණ කාලීන දේශපාලනයට අවතීර්ණ වුණත්, සක්‍රීයව ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය සඳහා දායකත්වයක් ලබා දෙන්නට පුළුවන් වුණේ ඒ අතරින් මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරුවන්ට1 පමණයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ පූර්ණකාලීන දේශපාලනයේ යෙදෙන ඉංජිනේරුවන් තුන්දෙනෙකු2 ගැන මා දන්නවා. එයින් එක අයෙකු මේ සභාවේ සිටීමත් සතුටට කරුණක්. නමුත් ප්‍රායෝගිකව ඔවුන්ට මා අදහස් කරන ප්‍රතිපත්ති සම්පාදනයට ඍජුවම සහභාගි වීම සඳහා පාර්ලිමේන්තු යාමට ළඟක දී අවස්ථාවක් නැති බවයි පෙනෙන්නේ.
එනිසා මා ඉල්ලා සිටීමට කැමතියි, හැකියාවක්, උනන්දුවක් සහ ශක්‍යතාවක් ඇති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිහිටයේ උපාධිධාරීන්ට පූර්ණකාලීන දේශපාලනයට එකතුවන ලෙස."
ඊට වසර හයකට පසු, 2024 දී, මට අසන්නට ලැබුණේ, මහ ඡන්දය සඳහා ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වුණ පිරිස අතරේ සිටි අයගෙන් පේරාදෙණියේ ඉංජිනේරුවන් අඩුවශයෙන් දෙදෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින බවයි.
ඉන් එක් අයෙකු වෙන රවීන්ද්‍ර බණ්ඩාර හෙවත් රබා පිළිබඳව මම බ්ලොග් ලෝකය හරහා ඒ වන විට දැනගෙන සිටියෙමි. තව ටික දිනකින් ආරංචි වූයේ දෙවැන්නා, එනම් පුණ්‍ය කුමාර ජයකොඩි බලශක්ති ඇමති ලෙස පත්වීම ලබන බවයි.
අද වසර එකහමාරකට පමණ පසු සිදුවී ඇත්තේ, ඇමති තනතුරකට පත් වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ එකම විද්‍යාර්ථියා වන පුණ්‍ය කුමාර ජයකොඩි ඔහු ඊට පෙර රජයේ රැකියාවක් කරන සමයේ සිදුවීමක් සම්බන්ධයෙන් උසාවියෙන් අධි චෝදනා ලැබ, නඩු විභාගය අවසාන වෙන තුරු ඇප ලබා සිටින බවයි.
ජනාධිපති අගමැති සහ ආණ්ඩුවේ අවශේෂ බලකඩදාසිකරුවන්වන විද්‍යා, කලා, ඉංජිනේරු, වාණිජ, කළමනාකරණ උපාධිධාරීන්ගේ තර්ක කෙසේ වෙතත්, ඉංජිනේරුවකු ලෙස මගේ තීරණය නම්, ඔය නඩුව පවතින කාලය තුළ බලශක්ති ඇමති පුණ්‍ය කුමාර ජයකොඩි තනතුරෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේ පසු පෙළ ආසනයක අසුන් ගත යුතු බවයි.
නඩුවෙන් නිදහස් වුවහොත් ඔහුට යළි ඇමතියෙකු ලෙස පත්විය හැක.
වරදකරු වී දඩයක් හෝ ලැබුණොත්, ජනතාව දුන් ඡන්ද කෙසේ වෙතත්, පු. කු. ජයකොඩි ගෙදර ම යා යුතුය.
- රසික සූරියආරච්චි
1. මෝහන් ලාල් ග්‍රේරෝ, චම්පක රණවක, අජිත් මාන්නප්පෙරුම
2. වික්‍රමබාහු කරුණාරත්න, ලයනල් බෝපගේ, ප්‍රේමකුමාර් ගුණරත්නම්
(image: newsfirst.lk)
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.