Friday, 27 March 2026

තායි චිකන් ග්‍රීන් කරි දිවා ආහාරය - This is what I had for lunch last Thursday


බ්‍රහස්පතින්දා දිනවල දිවා කාලයෙන් සාමාන්‍යයෙන් මගේ පැය හත අටක් ගෙවෙන්නේ මෝටර් රථයේ සහ නිවසෙන් කිලෝමීටර් තිහක් පමණ දුරින් පිහිටා තිබෙන වින්ඩ්සර් නැමැති කුඩා නගරයේ ය. උදෑසන දහයේ පමණ සිට හවස පහ පමණ දක්වා එහි නැවතී සිට මගේ වැඩකටයුතු කරමින් කල්ගෙවන නිසා දිවා ආහාරය ද එහි දී ම ලබා ගැනීමට මට සිදුවේ.

මේ කුඩා නගරයේ ආහාර ගැනීම පිණිස මට ගැලපෙන ස්ථාන කීපයක්ම ඇත. ඉන් දෙකක්ම තායි කෑම විකුණන ආපනශාලා වීම සතුටට කරුණකි.

ආපනශාලාවලින් කෑම ගන්නෝ කොටස් දෙකකි.

ඥාති මිත්‍රාදීන් සමග කාලය ගත කර ආහාර ගැනීම සඳහා බොහෝ දෙනා ආපනශාලාවලට එන්නේ රාත්‍රියේ දී ය.

විශේෂයෙන්ම බොහෝ දෙනකු දහවල් කාලයේ එහි පැමිණෙන්නේ තම රාජකාරි කරන අතර ඉතා කෙටි කාලයක දී ආහාර ගැනීමටයි. මා ඇතුළු ඒ පිරිස සඳහා ආපන ශාලාවල වෙන ම සැකසූ lunch menu එකක් ඇත.

තායිලන්තයේ ඇති විවිධ කෑම අතර ග්‍රීන් කරි සහ රෙඩ් කරි යනුවෙන් වර්ග දෙකක් ඇත. එහි වාසයට ගිය කාලයේ මා ද මුලින් හිතුවේ රෙඩ් කරි යනු එයින් සැර එක ය ග්‍රීන් කරි යනු සැර නැති එකය කියා ය. නමුත් ඇත්තටම පාට කෙසේ වෙතත් කටට සැරට ඇත්තේ ග්‍රීන් කරියයි.

මා ගිය වී-තායි නම් මේ ආපනශාලාවේ දිවා ආහාරය සඳහා ඇණවුම් කර ඉතා ඉක්මනින් සාදා ගැනීමට කෑම වර්ග දුසිම් දෙකක් පමණ ඇත. එසේම ඒ හැම කෑම වර්ගයටම ප්‍රධාන මූලද්‍රව්‍යය ලෙස මස් වර්ග තුන (කුකුළු, ගව, ඌරු) හෝ ටෝෆු හෝ එළවළු හෝ ඉස්සන් හෝ සීෆුඩ් හෝ ඇණවුම් කළ හැක.

මා ඇණවුම් කර සාදවා ගත්තේ චිකන් ග්‍රීන් කරියයි. ඒ සමග බත් ද ලැබේ.

මේ දිවා කාලයේ විශේෂ ලයිස්තුවේ කෑමක් සඳහා ගාස්තුව ඕස්ට්‍රේලියානු ඩොලර් දහතුනක් පමණි. යුද්ධය නිසා මේ දිනවල සිදුවෙන බඩු මිල ගණන් යම් නිසා අප්‍රේල් හත්වැනි දා සිට කෑම මිල සංශෝධනයක් වෙන බවට ආපනශාලාවේ දැන්වීමක් අලවා තිබුණි.

මගේ ඊයේ දිවා ආහාරය වූ මේ චිකන් ග්‍රීන් කරිය සහ බත් පත දකින යමකුට "අයියෝ ඔය ටික කාලා ඇති ද?" කියා හිතුණොත් මට කිවහැක්කේ මට අනුභව කිරීමට හැකි වුණේ මෙයින් අඩකට ස්වල්පයක් වැඩියෙන් පමණක් බවයි.

- රසික සූරියආරච්චි (image: Captured by Rasika)

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.