Sunday, 24 May 2026

අකාලයේ මියගිය චූටි බාප්පා - Suriyaarachchige Chandrasiri, my father's youngest brother



මේ ඡායාරූපය සූරියආරච්චිගේ චන්ද්‍රසිරිගේ ය. එනම් සූරියආරච්චිගේ ජිනදාස හරිශ්චන්ද්‍ර හෙවත් අපේ තාත්තාගේ බාල ම සොහොයුරාගේ ය.

අප ඔහු ඇමතුවේ "චූටි බාප්පා" යන නමිනි. ආච්චී ඔහු ගැන කතා කළේ "පොඩි කොලුවා" කියාය. ගමේ මිනිසුන් ඔහු ගැන දැන සිටියේ "සරත් චන්ද්‍රසිරි" කියාය. ඔහු සමහර අවස්ථාවල තමන්ගේ නම ලියා ඇත්තේ "සරත් කුමාර් චන්ද්‍රසිරි" කියාය.

පවුලේ බඩ පිස්සා වූ ඔහු අවාසනාවන්ත ලෙස අවුරුදු තිහේ දී තම ජීවිතය හැර ගියේය. මගේ මතකයට අනුව ඒ මොළයේ නහරයක් පිපිරීම නිසා ඇති වූ යේ අන්තඃ මොළ රක්තපාතය නිසාය.

චූටි බාප්පා සාමාන්‍ය පෙළ සමත් වූ අයෙකු යැයි මම සිතමි. ඔහුට යම් ඉංග්‍රීසි භාෂා දැනුමක් ද තිබුණි. මිය යන විට ඔහු සේවය කරමින් සිටියේ කොළඹ කොටුවේ පිහිටි ජුවෙල් ට්‍රේඩ් ඉන්ටර්නැෂනල් නම් ව්‍යාපාරයේය. එහි හිමිකරු වූයේ අද්දර ආරච්චිගේ සැම්සන් නමැත්තෙකි. ඔහු පසු කාලයේ ලංකාවේ ජනප්‍රිය වූ නළුවෙකුගේ පියා ය.

චූටි බාප්පා ඔහුගේ මිතුරන් අතර ජනප්‍රිය චරිතයක් වී යයි සිතමි. නැන්දලාගේ විවාහ උත්සවවලදී ම නිවසේ සිදු කෙරුණු විවිධ කටයුතුවලට ඔහුගේ මිතුරන් පැමිණ උදව් කරනවා මගේ මතකයේ රැඳී ඇත.

බාප්පාගේ අවමංගල්‍ය උත්සවයේදී ඔහුගේ මිතුරන් විසින් කවියෙන් ලියා මුද්‍රණය කරන ලද ශෝක ප්‍රකාශ දෙකක් ද කියවන ලදී.

ඒ ශෝක ප්‍රකාශ කරන්න මම මීලගට පළ කිරීමට අදහස් කරමි.

චූටි බාප්පා සුරා පානය කරනවා හෝ දුම් පානය කරනවා හෝ වෙනත් අකටයුත්තක යෙදෙනවා හෝ මා දැක නැත. ඔහු මකුළුවන්ට සහ කැරපොත්තන්ට පවා බය පුද්ගලයෙකි. එසේ නමුත් ඔහු පරිපූර්ණ මිනිසකු ලෙස ජීවත් වූ අයෙකු යැයි මම නොකියමි. අප සියලු දෙනා මෙන්ම ඔහු ගේ ද යම් යම් වැරදි තියෙන්ට ඇත.

ඔහු මිය යන විට මගේ වයස අවුරුදු දොළහක් පමණ නිසා, චූටි බාප්පා පිළිබඳව මගේ මතකය සීමාසහිත එකකි. එසේ වෙතත් විටින් විට ඔහු පිළිබඳව විවිධ රසවත් කතා මගේ සිතට නැගේ.

ඉදිරි කාලයේ දී ඒවා අකුරු කිරීමට බලාපොරොත්තු වෙමි.

- රසික සූරියආරච්චි

7 comments:

  1. ඉදිරි කාලයේ දී ඒවා අකුරු කිරීමට බලාපොරොත්තු වෙමි.// අන්න වටින වැඩක්

    ReplyDelete
  2. දෙවියනේ එපා. මෙන්න වැන්දා.

    ReplyDelete
  3. yes, you are correct A A Samson (father of Kamal) owned JTI (Jewel Trade International) down Chatham Street I think, their residence was down Duplication Road Bambalapitiya (current Rhythm & Blues night club premises)

    ReplyDelete
    Replies
    1. ඒ දවස්වල ලිපිනය බේලි ස්ට්‍රීට්. මං හිතන්නේ වේල්ල වීදිය කිව්වේ ඒකටයි. දැන් නම් එහෙම පාරක් නෑ මං හිතන්නේ මුදලිගේ මාවත විය යුතුයි

      Delete
  4. රසික, පරකන්දෙනියෙ "සූරියආරච්ච්ලා" ආභරණ හදන ආචාරි කුලයේ නෙමෙයි හකුරු හදන වහුම්පුර කුලයේ නේද? මහර එස්.කේ.කේ. සූරියාආරච්චිත් හකුරෙක් කියල මම අහල තියෙනවා.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.