
මට ද "නොකී කතා" තිබේ. ඒ මා පමණක් දන්නා දේ ය. මා හැර වෙනත් එක් අයෙකු පමණක් දන්නා කතා ද ඇත. ඒ ආකාරයට වෙනත් එක් අයෙකු හෝ දන්නේ නම් ඒ කතා තව දුරටත් නොකී කතා නොවේ.
මා මේ කියන්නට යන කතාව ඒ ආකාරයට සලකා බැලූ කල නොකී කතාවක් ම නොවේ. නමුත් මේ කථාවේ මුල් කොටස දන්නේ ඉතා කීප දෙනෙකි. මගේ දෙමව්පියන්, සොහොයුරන් හෝ ඥාතීන් දන්නේ නැත. බිරිඳ ද නො දනී.
කථාවේ මුල් කොටස දන්නා අය දෙදෙනෙකු පමණ සිටිය ද අවසානය නම් අද වෙනතුරු දන්නා අය මා හැර කිසිවෙකු නැත.
මේ 1987 වසරේ දෙවෙනි කාර්තුවයි. එනම් ජුූලි මසින් පසුව ය, නමුත් ඔක්තෝබරයට කලිනි. මා ඒ වෙන විට රජයේ සංස්ථාවක මැවිසුරුවෙකු ලෙසින් සේවයේ නිරතව සිටියෙමි.
මේ මැවිසුරු වෘත්තිය වනාහී පිළිවෙලින් විභාග පෙළ සමත් වීම නිසා ඔහේ පාවී ගොස් උපාධිය ලැබුණාට කරනවා විනා මා සිත ගත් එකක් නම් නොවීය. ඇත්තටම කියනවා නම් මා විශ්ව විද්‍යාලයෙන් පිටවූ පසු දෙවරක් ම සේවයට ගියේ කළමනාකරණ පුහුණුවකට (Management Trainee) මිස මැවිසුරු තනතුරකට නොවේ.
තවමත් වයස විසිපහක්වත් නොපිරුණු තරුණ වයසේ උපරිමයේ සිටි නිසා වීර වික්‍රමයන් කරන්නට සිතේ දිරිය හා ආශාව තිබුණි. ඊට අවුරුද්දකට පෙර යුද හමුදාවේ නිලයකට බැඳීමට ද සිතුවිල්ලක් ඇති වී තිබුණි. මේ සම්බන්ධයෙන් තිබූ දැන්වීමේ සඳහන් බැට්මෑන් දීමනාව යනු කුමක්දැයි අපේ ගමේ සිට හෝමාගම කඳවුරේ සිවිල් රැකියාවකට ගිය අයෙකුගෙන් ඇසුවා ද මතකය. නොකී කතා ලියන හෙන්රි වර්ණකුලසුරිය ඇතුළු පිරිසක් ද මේ වෙන විට නාවික හමුදා සේවයට බැඳී සිටියෝ ය.
මගේ හිත ගියේ ගුවන් හමුදාවටයි.
සන්ඩේ ඔබ්සර්වර් වැනි පුවත්පතක දුටු දැන්වීමකට අනුව ගුවන් හමුදාවේ යම් නිලධාරී තනතුරක් සඳහා මම අයැදුම්පතක් යොමු කළෙමි. ඒ දෙමව්පියන්ට හෝ වෙනත් කිසිවෙකුට නොකියා ය. මා එවකට පදිංචිව සිටියේ බෝඩිමක නිසා, සම්මුඛ පරීක්‍ෂණයට කැඳවීම ලැබුණු ලිපිය ගැනද නිවසෙන් දැන ගත්තේ නැත.
මා සමග සේවය කළ මිතුරන් දෙදෙනෙකුට පමණක් මේ බව පැවසීමි.
ඉන් එක් අයෙකු වූ සුනිල් වහා පැවසූ දෙයින් මගේ සිත තරමක් කැලඹිණි.
ඔහු කීවේ - "අඩෝ දැන් දෙමළ උන් එක්ක යුද්දේ ඉවර වෙලා හමුදාව අපේ උන්ට වැඩේ දෙන්න පටන් ගත්තු හින්දා ද උඹට ආමි එකට බැඳෙන්න හිතුණේ?" කියාය.
"දෙමළුන් එක්ක යුද්දේ ඉවරය" කීමෙන් ඔහු අදහස් කළේ, 1987 ජූලි මාසයේ දී ඉන්දියානු සාම සාධක හමුදාව උතුරු-නැගෙනහිරට පැමිණ, ආණ්ඩුවේ හමුදාව බැරැක්කවලට සීමා වි සිටීමයි.
"අපේ උන්ට වැඩේ දීම" යනුවෙන් අහස් කෙරුණේ එදා ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම අත්සන් කළ දා එයට විරුද්ධව කොළඹ දී විරෝධතා පැවැත්වූ අයගෙන් එකසිය පනහක පමණ පිරිසක් ඝාතනය කළ ආණ්ඩුවේ පොලීසිය සහ හමුදා මේ වෙන විට ඒ විරෝධතා පසුපස සිටි ජවිපෙ වෙස්මුහුණක් වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය සමග යුද ප්‍රකාශ කර තිබුණු බැවිනි.
සම්මුඛ පරීක්‍ෂණය යෙදී තිබුණේ දිවා කාලයේ බව මගේ මතකයයි. එ දින මුලු දවස සඳහා ම නිවාඩු අනුමත කරවා ගත් මා බෝඩිමෙන් පිටත් වූයේ නමයට පමණ ය. කටුනායක බසයක නැගීමට කොටුවට යාම සඳහා හයිලෙවල් පාරේ බස් රථයක ගමන් කරද්දී දිගින් දිගටම මට සිහි වූයේ මා මිතුරු සුනිල් කී ඒ කරුණයි.
සිතේ දෙගිඩියාව තවදුරටත් දරාගත නොහැකි වූ තැන අවසානයේ මා කළේ, නුගේගොඩින් බසයෙන් බැස ආපසු බෝඩිමට යාමයි.
මගේ වීර වික්‍රමාන්විත වෘත්තීය ජීවිතය ලත් තැනම ලොප් වූයේ එලෙසය.
එදා මා කටුනායක ගොස් පියාසර ලුතිතන් (හෝ එවැනි?) තනතුරකට ගුවන් හමුදාවට බැඳුණේ නම්, මගේ ජීවිතය කෙතරම් වෙනස්වන්නට තිබුණේ ද?
අවසාන වශයෙන් කිව යුත්තේ මේ නොකී කථාවේ, අද ද මා නොකියූ, නොකී ම නොකී කොටසක් ද ඇති බවයි.
ඒ කොටස නම් සදහට ම "නොකී ම නොකී" වී තිබෙනු ඇත!
-රසිකොලොජිස්ට්
(image: http://etheet.deviantart.com/art/Flying-High-163565058)