
ලොකු දෙයක් නොවුණත්, ෆේස්බුකයියා යනු මා විසින් සයිබරාවකාශයට අද අලුතෙන් හඳුන්වා දෙන සිංහල වචනයකි. මේ ලියන මොහොත වන විට ෆේස්බුකයියා යන්න කිසිදු වෙබ් පිටුවක ඇතුළත්ව නොමැති බව ගූගල් දෙයියා පවසයි.
ෆේස්බුකයියා යන වචනය සෑදෙන්නේ ෆේස්බුක් සහ අයියා යන වචන ද්වය සන්ධි වීමෙන් බව සලකන්න. එනම්, ෆේස්බුක් + අයියා = ෆේස්බුකයියා.
මෙය සිංහල භාෂාවේ එන ස්වර සන්ධියකි.
සන්ධි යනු වචන ද්වයක් එකිනෙක ඇඳී, උච්චාරණය පහසු වෙනත් වචනයක් සෑදෙන ආකාරය විස්තර කෙරෙන පර්යාය පදයයි.
වචන ද්වයක් එකිනෙක සන්ධි විය හැකි ආකාර දහයක් පිළිබඳව සිංහල භාෂා පාඩම්ල දී ඉගැන්වේ. මා සඳහන් කළ ස්වර සන්ධිය යනු ඉන් එකකි.
ස්වර සන්ධිය යනු මුල් වචනයේ අවසානයේ ඇති ව්‍යංජනාක්‍ෂරය දෙවන වචනයේ මුලින් ඇති ස්වරය හා එක් වී වචන ද්වය එකිනෙක හා බැඳීම නොහොත් සන්ධි වීමයි.
එනම්,
ෆේස්බු + ක් + අ + යියා
ෆේස්බු + ක + යියා
ෆේස්බුකයියා
වීමයි.
සන්ධිවූ වෙනත් පද තුනක් ද මේ ලිපියේ මේ වාක්‍යයට පෙර මා භාවිතා කර ඇත. ඒවා නම්, සයිබරාවකාශය, එකිනෙක සහ ව්‍යංජනාක්‍ෂරය යන වචන ද්වයයි.
එයින් එකිනෙක යන වචනය සෑදී ඇත්තේ ද, එකින් සහ එක යන වචන ද්වය ස්වර සන්ධි වීමෙන් බව පෙනේ.
එනම්,
එකි + න් + එ + ක
එකි + නෙ + ක
එකිනෙක
වීමයි.
නමුත් සයිබරාවකාශය සහ ව්‍යංජනාක්‍ෂරය යන වචන සෑදෙන්නේ තරමක වෙනස් ආකාරයකින් බව පෙනේ.
එනම්,
සයිබ + ර් + අ + වකාශය
සයිබ + ර + ආ + වකාශය
සයිබරාවකාශය.
එසේම,
ව්‍යංජන + අක්‍ෂරය
ව්‍යංජන + ආ + ක්‍ෂරය
ව්‍යංජනාක්‍ෂරය
මේ ආකරයේ සන්ධිවීම් හැඳින්වෙන්නේ ස්වරාදේශ සන්ධි වශයෙන් යැයි හඟිමි.
මීට අමතරව සිංහල භාෂාවේ, පූර්වස්වර ලෝප සන්ධිය, පරස්වර ලෝප සන්ධිය, ගාත්‍රාක්ෂර ලෝප සන්ධිය යනාදී වශයෙන් තවත් සන්ධි වර්ග අටක් ඇති බව කියවේ.
https://si.wikipedia.org/wiki/සිංහල_සන්ධි
එලෙස, විවිධාකාර සන්ධි තිබුණ ද, ඒ දක්වා ඇති ලයිස්තුවේ අපර ව්‍යංජන ලෝප සන්ධියක්, එනම්, එකිනෙක එක්වෙන පද දෙකෙන් පසු පදයේ ඇති ව්‍යංජනාක්‍ෂරය ලොප් වී යාමෙන් සෑදෙන සන්ධියක්, ගැන සඳහන් නොවේ.
උදාහරණයක් ලෙස රජය විසින් ෆේස්බුක් පිළිබඳව යම් පනතක් ගෙන ආවායි සිතමු. ෆේස්බුක් + පනත යන්න ෆේස්බුකනත යනුවෙන් ප යන්න ලොප් වී සන්ධි නොවේ!
එනිසා, ෆේස්බුකයියා යන වචනය නිර්මාණයේ දී ඒ ලොවෙත් නැති ව්‍යංජන ලෝප සන්ධියක්, ප-යන්නක් ලොප්වීමක් සිදු වී නැති බව අමුතුවෙන් කිව යුතු නැත.
මේ සටහන පළ වී ඔබ කියවන මොහොත වන විට ෆේස්බුකයියා යන අලුත් වචනය සයිබරාවකාශයට එකතු වී ඇත.
දැන් ඉතිං කවර නම් බාධාවක් ද?
මා දන්නා හඳුනන එක්තරා ෆේස්බුකයියෙකු සම්බන්ධ අපූරු සිදුවීමක් තවත් කල් නොඇර වහා අකුරු කර, ඊළඟ රසිකොලොජි සටහනෙන් ම ඉදිරිපත් කරන්නට අදහස් කරමි.
-රසිකොලොජිස්ට්
ප/ලි:
මෙන්න මේ වන විට ෆේස්බුකයියා යන වචනය පළ වී ඇති තැන්.
Google ෆේස්බුකයියා
ප/ප/ලි:
මේ දිනවල ලියවෙන්නේ ෆේස්බුක් පිළිබඳ සටහන් ය. මෙන්න පසුගිය දිනවල පළ වූ සටහන් කිහිපය.
1. ෆේස්බුක් ගෘප් ඇඩ්මිනියගෙන් නොසෑහෙන්න කෑවෙමි! - Oh, these Facebook group administrators
http://rasikalogy.blogspot.com/2017/07/oh-these-facebook-group-administrators.html
2. තවත් ෆේස්බුක් කචල් කතාවක් - Facebook fun
http://rasikalogy.blogspot.com/2017/07/facebook-fun.html
3. ෆේස්බුක් අවකාශය, බ්ලොග් ලෝකය සහ මගේ ලෝකය - Facebook, blogging and I
rasikalogy.blogspot.com/2017/07/facebook-blogging-and-i.html
(image: https://www.dailydot.com/news/montana-facebook-stalking-joshua-james-allen/)