Thursday, 17 December 2015

"වළේ" ඉඳං නාට්‍ය බැලූ හැටි : සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිලිබඳ අතීත ආවර්ජනාවකි! - Nostalgia


කාල යන්ත‍්‍රයක නැගී හෝ වෙනත් ක‍්‍රමයකින් හෝ අතීතයට යාමට හැකියාවක් ලබා ගත හැකි නම්, අප බොහෝ දෙනෙකු එදා ගත් තීරණ කිහිපයක් හෝ වෙනස් කර අදට වඩා වෙනස් වූ වර්තමානයක ජීවත්වනු ඇතැයි මට සිතේ. එසේ කළ හැකි නම් සහ තමන් එළිපිට කියන කරුණු සත්‍යයක්ම මිස අන් කිසිවක් නොවේ නම්, ඕස්ටේ‍්‍රලියාවේ අද සිටින අපේ සිංහල ජනගහනයෙන් හරි අඩක් පමණ තම සංක‍්‍රමණ අයැදුම් පත් ගාස්තුව ද ඉතිරි කරගෙන පින් කෙත හෙළ රන් දෙරණේ අද ද යහතින් කල් යවනු ඇත.

මා සම්බන්ධයෙන් නම් කිව යුත්තේ, සම වයසේ යුවතියන් පිළිබඳ කිසිසේත් සිත කරදර කර නොගෙන, නිසැකවම නිෂ්ප‍්‍රභාවන බව අපරදෘෂ්ටියෙන් දන්නා ප‍්‍රශ්න ඔවුන් ගෙන් නොඅසා, මා සොඳුරු අනාගත පියඹ මුණ ගැසෙන තුරුම, කුමර බඹසර අසපුවේ මා නිරාමිසව කල් ගතකරන්නට ඉඩ තිබුණු බවයි.

මා අතීතයේ ගත් කුමන තීරණ කුමන ලෙස වෙනස් කළද, කිසි දිනක එලෙස වෙනස් නොකරන එක් තීරණයක් ඇත. එය නම්, මීට වසර විසි අටකට කලින් විශ්වවිද්‍යාල පිවිසුම සඳහා අයැදුම් කරද්දී, උඩුගම් බලා පීනමින්, පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගේ මුල් තේරීම ලෙස සඳහන් කරන්නට ගත් නිවරද තීරණයයි.

එදා මා "ටැක්නිකල් හන්දිය" වෙනුවට ගලහ හන්දිය තෝරා ගත්තෙමි. පිළී ගඳ වෙනුවට මල් සුවඳ තෝරා ගත්තෙමි. පල් වී ගිය බොල්ගොඩ ජලාශය වෙනුවට සුන්දර මහවැලි නදිය තෝරා ගත්තෙමි. "ජේම්ස් ජෝර්ජ් ශාලාව" වෙනුවට "සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය" තෝරා ගත්තෙමි.

කාල යන්ත‍්‍රයක නැගී අතීතයට යාමට අවස්ථාවක් ලදහොත් නැවත එලෙස කරන්නට ද කිසිසේත් ම නොපැකිලෙමි.

සොඳුරු හන්තාන කඳු වැටිය පාමුල, මහවැලි ඉවුර අසබඩ දිවෙන ගලහ මාර්ගයේ ආදරවන්තයින් ගේ වංගුව හෙවත් "කිසිං බෙන්ඞ්" පසුකර තුන් මහලින් සැදි, මල් කැටයම් පිරි, හිල්ඩා ඔබේසේකර සරසවි පාය දෙසට පා නගන කල දකුණු පසින් දක්නට ලැබෙන්නේ උඩරට කඳු අතර සරණ විට නිබඳ නෙත ගැටෙන රැළි ලියැදි වලින් යුත් කුඹුරක් වන් පි‍්‍රය උපදවන දසුනකි. මේ එදා පුරාණ ගී‍්‍රක රඟ මඩලක අර්ධ වෘත්තාකාර ආකෘතියට අනුව යමින්, පේරාදෙණිය සිරිලක මහා තක්සලාව අලංකෘත කල මහා කලාකරු, මහාචාර්ය වැදිතන්තිරිගේ එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් නිර්මාණය කර, දේශීය අභිවාහ්‍ය කළා රසිකයින් ගේ රංගන රසකාමය සන්තර්පනය කිරීම පිණිස දායාද කරන ලද එළිමහන් රංග පීඨයයි.

තම ස්වයං චර්තාපදානය වන "පිං ඇති සරසවි වරමක් දෙන්නේ" කෘතියෙහි මේ රඟහල පිළිබද සටහනක් තබන සරච්චන්ද්‍රයෝ මෙසේ පවසති.
"මනමේ නාටකයේ අභිරංගයක් ඉදිරිපත් කළ හැක්කේ තාත්වික රංගයට සුදුසු පරිදි හැඩගැසුණු ප්‍රොසීනියම් රංග භූමියක නොව, රඟ මඩලක යයි විශ්වාස කළ මම, එවැනි තැනක් පේරාදෙණියේ කඳු අතර එළිමහනේ වුව සකස් කරගත හැකි නම් මැනවයි සිතමින් උන්නෙමි. එකල මා වාසය කෙළේ සංඝමිත්තා කන්ද උඩ තුබූ ගෙවල් තුනකින් එකක ය. හැම දා ම කන්ද බැස ආට්ස් බ්ලොක් දෙසට යන මම, කඳු පල්ලේ වම් පසෙහි වළන් කැබැල්ලක ආකෘතිය දරන කඳු බෑවුමක් නිතර දකිමි. එහි කලින් තුබූ ලියදි වල් බිහි වී දැන් පඩි පෙළක් මෙන් සෑදී ඇත. බෑවුමේ පතුලේ සමතලා භූමි භාගයක් තිබේ. මේ ස්ථානය මා හැමදාම පසු කර යන නමුත් එය කෙරෙහි මගේ අවධානය යොමු වූයේ එළිමහන් රඟ මඬලක් ගැන සිතමින් හුන් දවස්වල ය. එය, ඇම්පිතියටර් යන නමින් හඳුන්වන පේ‍්‍රක්ෂාගාරයකට හා රංගභූමියකට සුදුසු ස්වාභාවික පිහිටීමකින් යුත් තැනක් නොවේ දැයි මම කල්පනා කෙළෙමි. පතුලේ සමතලා භූමිය සක් කරගත හොත් එහි නාට්‍යයක් රඟ පෑ හැකි ය. පේ‍්‍රක්ෂකයින් ට කඳු බෑවුමේ පඩි උඩ වාඩි වී නාට්‍යය බැලිය හැකි ය."

"මනමේ බිහි වූයේ 1956 නොවැම්බර මස තුන් වෙනි දා ය. එය එළිමහන් රඟ මඬලේ, සාම්ප‍්‍රදායික නාඩගම් රීතිය උල්ලංඝනය නොකර, අභීෂ්ට පරිසරයක රඟ දක්වන ලද්දේ 1958 පෙබරවාරි හෝ මාර්තු මස රාති‍්‍රයක ය."
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වීමේ මහානුභාවයෙන් "සරච්චන්ද්‍ර වළේ" සිටම සරච්චන්ද්‍ර නාටක නරඹන්නට මම වරම් ලදිමි. මනමේ, සිංහබාහු, මහාසාර, රත්තරං සහ එලොව ගිහින් මොලොව ආවා ඒ අතර වූ බව මගේ මතකයයි. විජය නන්දසිරි, නිශ්ශංක දිද්දෙනිය, ජය ශී‍්‍ර චන්ද්‍රජිත්, ලලිතා සහ යශෝදරා සරච්චන්ද්‍ර වැනි ප‍්‍රවීන නළු නිළියෝ එදා පේරාදෙණිය නාට්‍ය කළා උලෙළේ දී වේදිකා ගතවුණු සරච්චන්ද්‍ර නාට්‍යයන් හි රඟ පෑ අයුරු මට අද ද දෙනෙත් ඉදිරියේ මැවී පෙනෙන්නාක් සේ ය. එපමණක් නොවේ. ජයන්ත චන්ද්‍රසිරි ගේ අත්, සුනන්ද මහේන්ද්‍ර ගේ පොකුරු වැස්ස, සාලමන් ෆොන්සේකා ගේ අහිමි ජීවිත යනාදී අග‍්‍ර ගණයේ දෘශ්‍ය කාව්‍යයන් රැසක් නරඹා රස විඳින්නට මට හැකිවූයේ ද මේ සරච්චන්ද්‍ර එළිමහන් රඟහල නිසාbය.

කුසුම්සිරි ලියනාරච්චි සහ යසෝදරා සරච්චන්ද්‍ර දෙපළ ගේ නව නිෂ්පාදනයක් ලෙසින් මෙදා (2009) ඕස්ටේ‍්‍රලියාවේ දී අප හමුවට ආ ”රත්තරං” සහ "එලොව ගිහින් මෙලොව ආවා" නාට්‍ය ද්විත්වයේ ආරම්භය ගැන එදා සරච්චන්දුයෝ මෙසේ පැවසූහ.
"ඊළඟ අවුරුදු තුනේ මම, ගුවන් විදුලි නාට්‍යයක් වශයෙන් පළමුවෙන් රචනා කරන ලද 'රත්තරන්' හා 'එලොව ගිහින් මෙලොව ආව' යන කෙටි නාට්‍ය දෙක නිෂ්පාදනය කළෙමි. 'රත්තරන්' නිෂ්පාදනයට තොවිල් සම්ප‍්‍රදායේ නැටුම් වුවමනා වූ බැවින් වැලිගම නිවැසි ගෝමිත් ගුරුන්නාන්සේ මම පේරාදෙණියට ගෙන්වා ගතිමි. 'එලොව ගිහින් මෙලොව ආව' නම් නාට්‍යයට ආංගීකාහිනය රචනා කෙළේ මිහිරිපැන්න ය. ඒවා නම් විශිෂ්ට කාල්පනික නිර්මාණ බව කිව යුතුය."

"මේ නාට්‍ය දෙක නිෂ්පාදනය කරද්දී මා වෑයම් කෙළේ නාඩගම් ශෛලියෙන් බැහැරට ගොස් ගැමි ශාන්ති කර්ම හා ඒවායේ අඩංගු පෙළපාලිවල ශෛලියෙන් අපට යමක් උකහාගත නොහැකි දැ යි බැලීමට ය."
එදා අඩ අදුරේ ගිලූණු සරච්චන්ද්‍ර රඟහලේ සිට මම බොහෝ වේදිකා නාටක නැරඹුවෙමි. ඉන් නව නළු රස සිත් සේ වින්දෙමි. මතු දිවිය පුරාවටම දියෙන් කිරි වෙන්කර රස විඳින්නට ද, කඩුව ද, කොපුව ද, මනමේ කුමරිය ද යන ති‍්‍රත්වයම රැක ගන්නට ද, බාහු හා සීවලී කෙසේ වෙතත් අඩු ගණනේ සුප්පාවිය වත් ලෙන් දොර රඳවා ගන්නට ද, අවැසි පන්නරය ඉන් ලබා ගත්තෙමි.

අහා! එවන් සුන්දර සමයක්!

පෙර කී පරිදි කාල යන්ත‍්‍රයක පිහිටෙන් යළිත් අසූවේ දශකයේ පූර්ව භාගයට යන්නට ඇත්තම්, මා පේරාදෙණියේ සදහටම නතර වීමේ තීරණයක් ගන්නට ද සෑහෙන්න ඉඩ තිබේ.

සරච්චන්ද්‍ර රඟහලට නුදුරින් වැටී ඇති ආදරවන්තයින් ගේ මග දිගේ මද දුරක් ඇවිද ගොස් ඉන් පහළට බැස අනතුරුව කුඩා ඒ දඬු පාලමක් තරණය කර මහවැලි ගං ඉවුර අසලට පිවිසිය හැකි බව පෙර පින් පල දෙවා, මේ මග ගිය දෙපා මිස අනෙකෙකු නොදන්නා තරම් ය. හරිත උඩුවියනකින් ද, හරිත කලාලයකින් ද සුන්දර වූ ද, ලංකෘත වූ ද, කන් පිනවන, රන් ස්වරයෙන් යුතු කෝකිල කූජනයෙන් හෙබි වූ ද මේ අඩවිය වනාහී එක් විසි වියේ කොල්ලන් කෙල්ලන් පේ‍්‍රමයෙන් තම මන රංජිත, නන්දිත කරගන්නා බිමක් මිස මැදි වියපත් අතීතකාමීන් සරණ පෙදෙසක් නම් නොවේ.

මේ සොදුරු අඩවියේ දී පෙමෙන් වෙළෙන තරුණයෙකු ලබන ලාලසී අත්දැකීම් ද පෙර කී නව නළු රසයෙන් කිහිපයක් ම, ඊටත් වඩා තීව‍්‍ර ලෙස, ඉන් විසිපස් වසරකට පසු වුව ද, යළි යළිත් මවන්නට සමත් බව නොකිව මනා ය.

වැලිකතරක දුහුවිලි පොදක් සේ නොදැනීම අතැඟිලි අතරින් ගිලිහී යන්නා වූ, පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා සබැඳි ඒ සොඳුරු අතීතය පිරී ඇති, පෙර කී දෙයාකාරයේ ම, මනරම් මතක සටහන් සියල්ල, අද තම මැදි විය ගෙවන්නෙකුට පෙර සේ ම එක හා සමානව අගනේ වේ.

අහෝ! කාල යන්ත‍්‍ර වනා හී විද්‍යා ප‍්‍රබන්ධයන් ට සීමා වූ මිථ්‍යාවක් පමණක් ම ය!

ඉදින්, එවන් අතත්‍ය කාල යන්ත‍්‍රයක පිහිට කිසිසේත් ම නොලබා, මෙම සරච්චන්ද්‍ර නාට්‍ය ද්විත්වයේ රසහව් මෙලෙස "දකුණු කුරු දිව" ලෙස කව් බසින් නම් ලද ඕස්ටේ‍්‍රලියාවේ දී ජීවමානව විඳින්න ට අවකාශ ලැබීම අප ලද මහරුතම භාග්‍යයක් නොවන්නේ ද?

මහවැලි ගඟ බඩ නව දැලි හේනේ පෑ රැඟුම් කෙසේ වෙතත්, පෙර කී සොදුරු හන්තාන කඳු පියසේ ම වුව ද සුනිල මහවැලි නදියෙන් වෙන් කර තිබුණා වූ ශුෂ්ක කලාපයේ "කම්මලක්" තුළ සිව් වසරක සිර දඩුවමක් ගෙවූ හේතුවෙන් දෝ, මට "සරච්චන්ද්‍ර නාටක" බොහොමයක් "සරච්චන්ද්‍ර වළේ" සිට රස විඳීමෙන් ඔබ්බට යමක් කල නොහැකි විය.

එදා ලඬ්කාද්වීපයේ දී සරච්චන්ද්‍ර නාටකයන් ට තම රංගන දායකත්වය සැපයූ කලාකරුවෙකු වන නාට්‍යවේදී චම්ප බුද්ධිපාල ගේ සංවිධාන මූලිකත්වයෙන් සිඞ්නි නුවර පැවැත්වුණු "රත්තරං" සහ "එලොව ගිහින් මෙලොව ආවා" නාට්‍ය ද්විත්වයේ දර්ශනයන් හි දී අත්වැල් ගායනයෙන් සහභාගී වීමට මා දුහිතෘ කුමරියට අවස්ථාවක් ලැබීම මට රත්තරං වලට වඩා වටින්නේ ඒ නිසා ය. හරස් මාරු වූ මගේ ජානයෝ එදා මා නොලද ඒ වරම මෙදා ලදහ. තුටූ කඳුළු මුල් වරට මා නෙත නැගිණි.

එදා ඒ ගොරහැඩි "කම්මලේ" සමකාලීනකයෙකු වූ මා ළබැඳි ජයන්ත රත්නායක නම් මාර්ග තැනුම් සගයා "රත්තරං" නාටකයේ පුතා ගේ භූමිකාවට පණ පොවමින් මා නිසැකවම කිසි දිනෙක පහස නොලබන ගිරි ශිඛරයක් තරණය කරනු දුටු මොහොතේ පෘථග්ජන ම සිත නැගි මාත්සර්යය, උන් ලද ඒ ජය නිසාවෙන් මා නෙත එකම දිනයේ දෙවෙනි වරට නැගි තුටු කඳුළින් සමථය කර ගත්තෙමි.

-රසික සූරියආරච්චි

25 comments:

  1. මේක ඇවිල්ල පැණි කැවුමක් වගේ... පීරිසියක තියාගෙන ඕනෙ කන්න.
    හෙහ් හෙහ්..
    ජයවේවා..!!

    ReplyDelete
  2. පිස්සු හැදෙන සිංහල ,දෙමළ අපිට පාන් ම තමයි [පයිතියන්]

    ReplyDelete
  3. සරසවි අතීතයේ ලැබූ වින්දනය සදා සුන්දර නොමැකෙන සිහිනයකි.

    ReplyDelete
  4. ඔය ඉතින්.. ඔයාල අපිව තවත් අප්සෙට් කරනවනේ.. :/

    ReplyDelete
  5. සාලමන් ෆොන්සේකා ගේ අහිමි ජීවිත වලේ පෙන්වූ විට සූවක් නැගුවා කියා මගේ පේරාදෙනියේ මිතුරෙක් කීවා. එය ඔබ දන්නවාද ?

    ReplyDelete
  6. //මා අතීතයේ ගත් කුමන තීරණ කුමන ලෙස වෙනස් කළද,// මෙය මමද සෑහෙන වරක් සිතා ඇති ප්‍රශ්නයකි. මට මෙවැනි අවස්ථාවක් ලැබුණොත් (හිතළුවක් පමණක් වුවද) මා කිසිම තීරණයක් වෙනස් නොකරනු ඇත. අද කෙසේ පෙනුණත්, ඒ ඒ අවස්ථා අනුව මා ගෙන ඇත්තේ හොඳම තීරණයි. ඒ එක් තීරණයක් හෝ වෙනස් වුනානම් අද සිටින්නේ වෙනත් පුද්ගලයෙකු මිස මා නොවේ.

    //පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගේ මුල් තේරීම ලෙස සඳහන් කරන්නට// මගේ තෝරාගැනීම් දහයෙන් මා ඉදිරිපත් කළේ තේරීම් දෙකක් පමණි. පේරාදෙණිය ඉංජිනේරු පීඨය සහ පේරාදෙණිය විද්‍යා පීඨයයි. මා උසස්පෙළ කළ දිස්ත්‍රික්කයේ සියල්ලන්ම දැම්මේ කටුබැද්දට නිසා එය නිකමටවත් තෙවන තේරීම ලෙසවත් දැම්මේ නැත. පන්තියේ මිතුරන් ගණනාවක් මොරටු යද්දී තනියම පේරාදෙණි ගියෙමි.

    ReplyDelete
  7. චම්පා බුද්ධිපාලයන් වැදි රජු ලෙස රඟනු වීඩියෝ පටයකින් දැක ඇත්තෙමි. ඔහු ගේ උත්තුංග මෙන් ම (එවකට) තරමක් කෘශ ශරීරය සහ මැනවින් නෙරා ආ නැහැයත් තියුණු දෑසත් වැදිරජුගේ භූමිකාවට අතිශය මැනවින් ගැලපුණු බව මම සිතමි. "සින්ද වූ ගෙල සැමියා කවර සෙනේ - යන්ට යව වනේ නොසිටා" යනුවෙන් ගයමින් ඔහු ජවයෙන් පිරී උතුරා ගිය නැටුමින් මනමේ කුමරිය පරික්‍රමණය කරනු දැනුදු මා දෙනෙත් අබියස මැවී පෙනෙයි. ඔහු තවමත් කලා කටයුතුවල අනලස් බව ඇසීමට ලැබීම ප්‍රීතියකි.

    මා හද බැඳ ගත් එකම සිංහරාජයා නම් ජය ශ්‍රී චන්ද්‍රජිත් ය. ඔහු පෑ අභිරංගයට සම කරන්නට හැකි කිසිවකු සිංහබාහු නාටකයේ පසුකාලීන නිෂ්පාදන තුළ මම නො දිටිමි. ඔහුත් කැන්ගරුවන්ගේ දේශයට පළා ගියේ මේ සසිරිබර මෙසිරිලක කෙණෙහිලිකම් දරා ගන්නට බැරි ව බව ද මම දනිමි.

    ReplyDelete
  8. විශ්ව විද්‍යාලයක් යනු ටැක්නිකල් කොලීජියක් නොවන බව කියා දෙන්නේ පේරාදෙණි සරසවියයි. සියළු බෝධිසත්වයන් ජම්බුද්වීපයෙහිම උත්පත්තිය ලබන්නා සේ සියළු සරච්චන්ද්‍රයන් බිහිවන්නේද පේරාදෙණියෙන්ම පමණකි.

    ReplyDelete
  9. මටත් ඉතිහාසයට ගොස් වෙනස්ව යමක් කරන්න පුළුවන් උණා නම් උසස්පෙළ කාලයේ ක්‍රීඩවෙන් ඉවත්වී හොඳට පාඩම් කර පේරාදෙණි විශ්ව විද්‍යාලයට යනවා....

    ReplyDelete
  10. අද මෙහේ පාලුයි,
    සෙරමල්ල අරෙහෙ මාතලන්ගෙ ගෙදර.
    දංසැල වගේ පෝලිමේ.
    එක පාරක් ගිහින් ආයෙත් පෝලිමට සෙට් වෙනවා

    ReplyDelete
  11. පේරාදෙණිය සරසවියට මා කිහිපවිටක්ම ගොස් තිබෙනවා...උසස්පෙළ සමයේ එහි ගියානම්.... ඔව්ව කියල වැඩක් නෑ දැන්.. ඇත්තටම ජිවිතයේ මිස් වෙච්ච දේවල් හදාගන්න කාල යන්ත්‍රයක් තිබ්බා නම් ...පාසල් සමයට නැවතත් ගොසින් වර්තමාන බිරිඳත් සමග පේරා යන්න තිබුණා නම්....

    ReplyDelete
    Replies
    1. හැබැයි එසේ වුවානම් , අද සිටින්නේ ඔය සිටින සජ්ජා නොවනු ඇත

      Delete
    2. ඒකත් හැබෑව තමා.. එක්කො ඕන්නෑ..

      Delete
  12. මේක මේ ලිපියට කෙලින්ම අදාළ නැති වුනත් අදාලයි .
    "සමකාලීන කතා නොස්ටල්ජියා බවට පත්වී ඉන්පසු ඉතිහාසය බවට පත් වේ "

    ReplyDelete
  13. අර වලේ තියේන "රොබරෝසියා" ගහ දැන් එහේ නැහැනේ. කාල යන්ත‍්‍රයක නැගලා යන්න පුළුවන් නම් මමත් උසස් පෙළ උසස් විදියට ආයෙමත් කරෙගන පේරදෙණි යනවා.

    ReplyDelete
  14. පේරාදෙණිය සරසවියට යාමට වරම් නොලබුනත්.... මා පාසල් ගියේ සරසවිය සමග පිහටවු සරසවි උයන විද්යාලයටය..... මා ඇතුලු අප පාසලේ සියලුම දෙනා පේරාදෙණිය සරසවිය අස්සක් මුල්ලක් නෑරම ගොස් රසවින්ද ඇත.... සුන්දර අතිතයට නැවතත් ගෙන ගියාට ස්තුතියි.... වලේ තිබුනු සුන්දර රොබේසියා ගස දැන් නැත..... කුමන හෝ හේතුවක් නිසා එය ඉවත් කර ඇත... බලධාරීන් සරසවිය සුන්දර ත්ත්වයෙන් පවත්වාගෙන යැමට මහත් වෙහෙසක් දරන බව නොකියාම බැරිය.... ඒ ඩවස්වල සරසවි ඓයලා අක්කලා පාසල් සිසුන් වු අපට කිසිදු කරදරයක් නොකරපු බැව් කිව යුතුමය.... මේ නිසා විජයවර්ධන ශාලාව ඇතුලු සියලුම නේවාසිකාගරවල ආපන ශාලාවලට ගොඩවැදී අඩු මුදලකට ආහාර රස බැලීමට හැකිවිය.... රස ගැනනම් වෙනමම කතා කල යුතුය හී හී හී....නමුත් ඒ කාලයේ අපට එය මහා ලොකු දෙයක් විය.... සරසවි නොගියද සුන්දර මතකයක් රැසක් උරුම කරගෙනීමට වාසනාවන්ත වීම ගැන මට ඇත්තේ ඉමහත් සතුටකී.... (මා මේ කියනා කාල පරාසය වැඩි ඇතක නොවේ අවුරුදු 5කට 6කට පමණ පෙර)

    ReplyDelete
    Replies
    1. රොබරෝසියා ගහ ඉවත් කලේ කඳේ බෙනයක් හැදිලා දිරා ගිහින් තිබුනු හින්දා. වෙන්න තිබුනු විනාසයක් වලක්වාගන්න එහෙම කලේ. නාට්‍යයක් පෙන්නන වෙලාවක කඩා වැටුනනං කොහොමද.

      Delete
  15. //විජය නන්දසිරි, නිශ්ශංක දිද්දෙනිය, ජය ශී‍්‍ර චන්ද්‍රජිත්, ලලිතා සහ යශෝදරා සරච්චන්ද්‍ර වැනි ප‍්‍රවීන නළු නිළියෝ එදා පේරාදෙණිය නාට්‍ය කළා උලෙළේ දී වේදිකා ගතවුණු සරච්චන්ද්‍ර නාට්‍යයන් හි රඟ පෑ අයුරු මට අද ද දෙනෙත් ඉදිරියේ මැවී පෙනෙන්නාක් සේ ය.//

    මේ කියල තියන කාලේ යශෝදරා හිටියේ මොකේද? කදා වළලු ද?

    සරත්චන්ද්‍ර මහත්තයාගේ දූ දරුවෝ පොඩි කාලේ ඉඳලාම නාට්‍ය වැඩ වලට සම්බන්ද වෙලා හිටි බව මම අහලා තියනවා. මාර්ක් ඇන්තනි මහත්තයා පහු කාලෙක ලංකාවට ආව වෙලේ රූපවාහිනියෙන් පටිගතකරපු සිංහ බාහු නාටකයේ කොරස් කියන්න යශෝදරාගේ අක්කා වන කිසාගෝතමී හිටිය බවත් ඒ කාලේ අවුරුදු 15 පමණ වූ යශෝදරගේ හා කිසා ගේ මළනුවන් වූ රන්සිරි දක්ෂ ලෙස මද්දලය වාදන කරණ මේ වීඩියෝව ඒ බවට ඒක සාක්ෂියක්: https://www.youtube.com/watch?v=RSP4kVfjowA

    ReplyDelete
  16. sitha atheethayata gena giya rasabara lipiyak. 1968 -1971 eda lada rasa thawama tharunai.obata sthuthiy






    ReplyDelete
  17. Very Nice Rasika..

    ReplyDelete
  18. E atheetha mathaka thawamath sheshawa pawatheema sathutak...A Adam ara yak. ..

    ReplyDelete
  19. ජීවිතේ සුන්දරම සමය මෙහි ගෙවී ගියේය. හ්මුවීම් වෙන්වීම් මැද. සිත් සනසා සිත් හඬවයි දැනුදු..

    ReplyDelete
  20. ඔබේ ලියැවිල්ල පේරාදෙණි සරසවියේ 'වළේ' රංගනයන්ගෙන් අප ලැබූ රසය සොඳුරු ලෙස මතකයට ගේනවා. ඔබට පෙර සරසවි ගිය අප ද එළිමහන් රංග පීඨයට යන්නේ වචනයෙන් කිව නොහැකි ආස්වාදයක නිමග්න වීමටයි. එක් දිනයක සරච්චන්ද්‍රයන් ගේ නාට්‍යයක් එහි වේදිකා ගතවෙමින් තිබුණා. මට මතක නෑ කුමන නාට්‍යයද කියා. හදිසියේ ම හිල්ඩා ඔබේසේකර ශාලාවේ එළිමහන් රංග පීඨයට විවෘතව තිබූ වින්ග් එකේ සිට හූ හඩක් නික්මුණා. එතැන ඒ කාලයේ නාට්‍ය බැලුවේ ගජේට නාට්‍ය බලන අය.. හූ එකයි දෙකයි ගියේ. වේදිකාවේ වාදක මණ්ඩලයේ සිටි සරච්චන්ද්‍රයන් ගේ අණින් නාට්‍යය නැවතුණා. සමාන්‍යයෙන් විශ්ව විද්‍යාල ප්‍රජාව එතුමා ගේ නාට්‍ය නරඹන්නේ මීයට පිම්බා සේ නිහඩතාවයෙන්. ඊට පස්සේ අප එහි ඉන්නා තෙක් කවදාවත් සරච්චන්ද්‍ර නාට්‍ය එහි රඟ දැක්වුණේ නෑ.. සංඝමිත්තා එකේ සිටි අපට ඒ නාට්‍ය බැලීමට සුඛාවතී රඟහලට බඩගාන්නට සිදුවුණා. මේක හැත්තෑවේ දශකයේ මුල් භාගයේ සිදුවුණු සිදුවීමක්. මතක් කරනකොට හරි රසවත්. ඔබේ ලියැවිල්ලට ස්තූතියි.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.