Wednesday, 19 April 2017

බින්න බැහීම - වෙනස සැපක් ද, සැප වෙනසක් ද? :: A part of my family history


උපාධිධාරී විද්‍යා ගුරුවරයෙකු, ගුරු උපදේශකයෙකු සහ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ඉහළ තනතුරු හොබවා දැන් විශ්‍රාමිකව සිටින දයා-වී(ර?) නම් අයෙකු විසින් ලියන අධ්‍යාපන රසකතා නම් අලුත් බ්ලොගය ඔබ කියවූවා ද?

එහි එක් ලිපියකට මාතෘකාව සැපයූ "බින්න බැසීම" නම් යෙදුම දුටු විට මට ඒ පිළිබඳව මේ විස්තරය ලියන්නට සිත්විය.

අප දන්නා පරිදි, සම්ප්‍රදායානූකුල සිංහල විවාහයේ දී සිදුවන්නේ විවාහ වූ තරුණිය තම දෙමව්පියන් ගේ නිවස හැරදා, සැමියා ගේ නිවසේ පදිංචියට ගොස් අලුත් නෑදෑයින් සමග එහි ජීවත්වීමයි. සැමියා ගේ මහගෙදර හිමිකම ඇත්තේ ඔහුට නොවේ නම්, පසු කලෙක මේ යුවළ විසින් ඒ ගම් ප්‍රදේශයේ ම වෙනත් නිවසක් තනා ගැනීම සාමාන්‍යයෙන් කරනු ඇත.

නමුත්, බින්න විවාහයක දී සිදුවන්නේ පෙර කී සාමාන්‍ය විවාහයේ ප්‍රතිලෝම ක්‍රියාවලියයි. එනම්, විවාහ වූ තරුණයා, තම දෙමව්පියන් ගේ නිවස හැර දමා, තම මනාලිය ගේ මහගෙදර පදිංචියට ඒමයි.

ඒ ආකාරයට බින්න විවාහ සිදුවීමට එකම කොන්දේසිය වන්නේ විවාහ වන තරුණිය තම පවුලේ එකම දරුවා වීම වේ.

එලෙස, එකම දරුවා වන දියණිය පිට ගමක දීගයක ගියහොත් ඇගේ දෙමව්පියන්ට ඉන්පසු තනිවම තම නිවසේ ජීවත්වීමට සිදුවෙන නිසා, එය වළක්වා ගැනීම පිණිස බින්න විවාහ ක්‍රමය සැකසී ඇති බව නොරහසකි.

සාමාන්‍යයෙන් අතීතයේ සිටම සිංහල පවුල්වල දරුවන් කිහිප දෙනෙකු සිටි නිසා, මේ බින්න විවාහ අවශ්‍ය වූයේ ඉතා කලාතුරකින් පමණි.

ඇත්තටම මේ දක්වා මා දන්නේ බින්න විවාහ දෙකක් පිළිබඳව පමණි. ඉන් එකක් මගේ පියාගේ මිතුරු යුවළක ගේ එකම දියණිය ගේ විවාහයයි. ඔවුන් අපේ ඥාතීහු ද වෙති.
අනෙක් බින්න විවාහය ඊටත් වඩා අපට සමීප එකකි. ඒ මගේ පියා ගේ දෙමව්පියන් ගේ විවාහයයි.

මගේ පියා ගේ මව, උපන් විගසම පාහේ ඉතා අවාසනාවන්ත ලෙස ඇගේ මව මිය ගොස් ඇත. වෙනත් විවාහයක් ගැන නොසිතා, තම දියණිය රැක බලා ගත් ඇගේ පියා කර ඇත්තේ ඒ කාලයේ හැටියට නිසි වයස එළැඹුණු පසු තම දියණිය සඳහා බින්න විවාහයක් පිළියෙල කිරීමයි.

ආච්චී ගේ තාත්තා ගේ පාරම්පරික ගම් ප්‍රදේශය කොස්සින්නට නුදුරු පහළ පරකන්දෙණියයි. සීයා ඉහළ පරකන්දෙණියේ තරුණයෙකි.

මා තාත්තා ගේ මහගෙදර ලෙස දන්නා නිවස යනු, විවාහයෙන් පසු සීයා ද පදිංචියට පැමිණ මිය යන තුරුම ජිවත් වුණු පහළ පරකන්දෙණිය ගම් ප්‍රදේශයේ පිහිටි ආච්චී ගේ නිවසයි.

විවාහයක් යනු සමාන දෙපාර්ශවයක් අතර සම්බන්ධයක් ලෙස සැලකූ විට බින්න විවාහය සහ සාමාන්‍ය විවාහය අතර වෙනසක් නැති නමුත්, පෙර විස්තර කළ පරිදි පවුලේ සුවිශේෂී තත්වය හේතුවෙන් ඇතිවෙන බින්න විවාහ පිළිබඳව සාමාන්‍යයෙන් ඒ දිනවල කතා කෙරුණේ සරදම් බසිනි.

බින්න බැස්ස මිනිහා, හුළු අත්තක් නොහොත් ටෝච් එකක් නිතරම සකසා තබා ගත යුතු යැයි කතාවක් ඇත. ඒ අණ ලැබුණු ඕනෑම මොහොතක නිවසෙන් පිටවී යෑම සඳහා ය. හුළු අත්තක් අවශ්‍ය විය හැක්කේ ඒ මොහොත රාත්‍රියක් ද විය හැකි නිසා ය!

මා දන්නා කාලයේ පටන් අට සිල් සමාදන් වී, පිරිත් කියමින්, භාවනා කරමින්, නිර්මාංශික, විකාල භෝජනයෙන් පවා තොර ජිවිතයක් ගත කළ, මගේ සීයාට නම් එලෙස හුළු අත්තක් සමග ජීවත් වීමට අවශ්‍යතාවක් නොතිබුණි.

අවසන් මොහොත දක්වාම, සීයාට උම්බලකඩ පවා නොදැමූ ආහාර පිළියෙල කරදුන්, ඔහු භාවනාවෙන් යම් කිසි ඉහළ තත්වයට එළැඹ සිටියේ යැයි විශ්වාස කළ අපේ ආච්චී ඉඳහිට දිනක සීයාට කළ එකම චෝදනාව නම්, ආච්චි ගේ නිවසට බින්න බැස, ඇගේ වතුපිටිවල ගොවිතැන් යනාදිය කළ සීයා, තමන්ට හිමි ඉහළ පරකන්දෙණියේ ඉඩම් ඔහුගේ ඥාතීන්ට නොමිලේ ම ලියා දුන් බව පමණි!

ඒ සීයා ගේ දාන පාරමිතාවේ කොටසකි.

-රසිකොලොජිස්ට්

ප/ලි
මේ 2017 බ්ලොග් වසන්තය සඳහා මා ලියන තුන්වෙනි ලිපියයි.

මීට කලින් ලියූ ලිපි මෙලෙස ය.

1. තිඹිරි ගෙඩි වැනි තන ඇති යුවතියක් හා විවාහ වීම - Spring, better late than never!
https://rasikalogy.blogspot.com/2017/04/blog-post.html


2. නිවාඩුවකින් පසු - වෙනස සැපයි ද? :: First day after a holiday
https://rasikalogy.blogspot.com/2017/04/first-day-after-holiday.html

22 comments:

  1. දැන් ඔය ලිපියේ ආරන්බයේ කියල තියෙනෙ "උපාධිධාරී විද්‍යා ගුරුවරයෙකු" කියනෙ එකේ "උපාධිධාරී" කියන වචනේ මොකටද ඔතනට අවශ්‍යමද?
    ඔය ගුරුකුල වලට විරුද්දයි කියල නේද තම පෙනී හිටින්නෙ ?

    ReplyDelete
    Replies
    1. උපාධිධාරී ගුරු යනු ගුරු සේවයේ තනතුරකි.

      එය මේ කතාවට සම්බන්ධ වෙන්නේ කොයි ලෙසකින් ද යන්න, ඒ ලිපිය කියවූ විට ඔබට වැටහෙනු ඇත.

      http://dayawee2.blogspot.com/2017/04/blog-post.html

      ප/ලි
      ගුරුකුලය යනු වෙනස් ම සංකල්පයකි. එය මෙතැනට අදාල නැත!

      !

      Delete
  2. //සම්ප්‍රදායානූකුල සිංහල විවාහයේ දී සිදුවන්නේ විවාහ වූ තරුණිය තම දෙමව්පියන් ගේ නිවස හැරදා, සැමියා ගේ නිවසේ පදිංචියට ගොස් අලුත් නෑදෑයින් සමග එහි ජීවත්වීමයි.//
    දීග විවාහ හා බින්න විවාහ ලෙස සම්ප්‍රදායාකූල සිංහල විවාහ වර්ග දෙකක් තිබේ. දෙකෙන් එකක් අනිත් එකට වඩා සාමාන්‍ය හෝ අසාමාන්‍ය නැත.

    //ඒ ආකාරයට බින්න විවාහ සිදුවීමට එකම කොන්දේසිය වන්නේ විවාහ වන තරුණිය තම පවුලේ එකම දරුවා වීම වේ.// එවැනි අවශ්‍යතාවයක් නැත. පවුලේ එකම දරුවා නොවන බොහෝ දෙනා බින්න විවාහ වලට ඇතුළත් වෙති.

    //සාමාන්‍යයෙන් අතීතයේ සිටම සිංහල පවුල්වල දරුවන් කිහිප දෙනෙකු සිටි නිසා, මේ බින්න විවාහ අවශ්‍ය වූයේ ඉතා කලාතුරකින් පමණි.//
    උඩරට දිස්ත්‍රික්ක වල දැනටත් බින්න විවාහ එතරම් දුලබ නැත.

    //ආච්චී ගේ තාත්තා ගේ පාරම්පරික ගම් ප්‍රදේශය කොස්සින්නට නුදුරු පහළ පරකන්දෙණියයි. සීයා ඉහළ පරකන්දෙණියේ තරුණයෙකි.

    මා තාත්තා ගේ මහගෙදර ලෙස දන්නා නිවස යනු, විවාහයෙන් පසු සීයා ද පදිංචියට පැමිණ මිය යන තුරුම ජිවත් වුණු පහළ පරකන්දෙණිය ගම් ප්‍රදේශයේ පිහිටි ආච්චී ගේ නිවසයි. //
    මෙය සම්ප්‍රදායානුකූල සිංහල විවාහයක් නොව යුරෝපීයයන් විසින් හඳුන්වාදුන් පොදු නීතිය යටතේ සිදුවූ විවාහයක් විය යුතුය. සම්ප්‍රදායානුකූල සිංහල (බින්න හෝ දීග) විවාහ වලට ඇතුළත් විය හැක්කේ පාර්ශ්ව දෙකම උඩරට දිස්ත්‍රික්ක වල අයනම් (උඩරට ගිවිසුම අත්සන් කරන විට රජුට අයත් වූ ප්‍රදේශ) පමණි.

    //බින්න විවාහ පිළිබඳව සාමාන්‍යයෙන් ඒ දිනවල කතා කෙරුණේ සරදම් බසිනි.

    බින්න බැස්ස මිනිහා, හුළු අත්තක් නොහොත් ටෝච් එකක් නිතරම සකසා තබා ගත යුතු යැයි කතාවක් ඇත. //

    මෙය සරදම් කතාවක් නොවේ. පොදු නීතිය අනුව සිදු කෙරෙන විවාහ වලදී මෙන් නොව, උඩරට විවාහ වල දික්කසාද කිරීම ඉතා පහසුය. බින්න විවාහ වල මේ අයිතිය තිබෙන්නේ බිරිඳටය. එමෙන්ම එක් අයෙකුගේ මරණයකදී දේපළ අයිතිය හිමිවන ආකාරයද වෙනස්ය.

    ReplyDelete
    Replies
    1. කැන්ඩියන් ලෝ ලෙක්චර් එකකට ගියා වගේ.. :))))

      Delete
    2. මුස්ලිම් විවාහ නීතීයක් ගැන අසා තිබුණත්, ලංකාවේ පොදු විවාහ නීතියට පිටින් යන උඩරට විවාහ නීතියක් ඇති බවක් මා මෙතෙක් අසා තිබුණේ නෑ!!!

      මා දන්නා සම්ප්‍රදාය නම් ගැහැණිය මිනිසා ගේ නිවසට යෑමයි. නිතර සිදු නොවන අනෙත් ක්‍රමය නම් බින්න බැසීමයි.

      පිරිමි දරුවෙකු සිටිනා පවුලක සිටින දියණියක සඳහා බින්න විවාහයක් කරන්නට හේතු මොනවාද? පිරිමි දරුවා මහණ වීම වැනි කාරණයක් හැර වෙනත් හේතුවක් මට නම් හිතා ගන්නට බෑ.

      එසේම, මා මෙතෙක් සිතා සිටියේ, විවාහයකින් පසු, දේපල සම්බන්ධයෙන් බිරිඳගේ උරුමය සැමියාටත්, සැමියා ගේ උරුමය බිරිඳටත් එක සේ යනවාය කියා යි.

      Delete
    3. ලංකාවේ විවාහ/ දේපල උරුමය හා අදාළව පොදු නීතියට අමතරව වෙනත් නීති වර්ග තුනක් තිබේ.
      1. උඩරට නීතිය
      2. තේසවලාමේ නීතිය
      3. මුස්ලිම් නීතිය

      //පිරිමි දරුවෙකු සිටිනා පවුලක සිටින දියණියක සඳහා බින්න විවාහයක් කරන්නට හේතු මොනවාද? //
      එය උඩරට විවාහ නීති වර්ග දෙකෙන් එකක් නිසා විශේෂ හේතු කිසිවක් අවශ්‍ය නැත. උඩරට යුවලකට පොදු විවාහය, දීග විවාහය හෝ බින්න විවාහය යන තුනෙන් කැමති විවාහයක් කරගත හැකිය. එසේම බින්න විවාහයකින් පසු බිරිඳගේ මහගෙදරම ජීවත් විය යුතුද නැත. සම්ප්‍රදායිකව වුවද, බිරිඳට අයිති ඉඩමක, මහගෙදර කොටසක හෝ මහගෙදර අසල හදාගත් වෙනත් නිවසක ජීවත්වීම සිදුවිය. දැන් එසේද නොවන අවස්ථා ඕනෑ තරම් තිබේ. එමෙන්ම ඔබේ උදාහරණයේ පරිදි ගෙදර පිරිමි දරුවන් (තනි දරුවන් විය හැකි) ඔවුන්ගේ බිරින්දෑ වරුන්ගේ ගෙවල් වල බින්න බැස්ස විට මහගෙදරට පිටින් කෙනෙක් බින්න බස්සා ගැනීමට සිදුවේ. එමෙන්ම කලකට පෙර දෙමවුපියන්ගේ කැමැත්තට එරෙහිව විවාහ කරගත් පිරිමි (හෝ ගැහැණු) දරුවන් දේපල ලබා නොදී පවුලෙන් ඉවත් කිරීමද සුලභ සිදුවීමක් විය.

      Delete
    4. ස්තුතියි.
      තේසවලමේ කියන්නේ ඉඩම් මිලට ගැනීම ගැන නිතියක් පමණයි නේද?

      ඔය උඩරට නීතිය දිගටම වලංගු ද?
      නැති නම් 1948 පසු නැතුව ගියා ද?

      Delete
    5. සාමාන්‍ය විවාහ නීතියේදී දේපල අයත් වන පුද්ගලයා (මෙහිදී පවුලේ පියා යයි හිතමු) මිය ගියහොත්, එම දේපල වලින් අඩක් ඔහුගේ බිරිඳට ලැබෙන අතර ඉතිරි අඩ දරුවන් අතර සමව බෙදී යයි. උදාහරණයකට, දූවරුන් දෙදෙනෙකු හා පුතෙකු ඉන්නා පවුලක පියා, අවසන් කැමති පත්‍රයක් ලියා නොතබා මිය ගියොත්, දේපල වලින් හයෙන් තුනක් බිරිඳටත්, හයෙන් එකක් එක් දුවකටත්, හයෙන් එකක් අනිත් දුවටත්, ඉතිරි හයෙන් එක පුතාටත්, හිමි වේ. මා දන්නා පරිදි (වැරදි නම් කරුණාකර නිවැරදි කරන්න, ස්තුතියි) රෝම ලන්දේසි නීතිය ලෙස අප සමාජ අධ්‍යයනය ට ඉගෙන ගත් නීතිය මෙයයි.

      උඩරට විවාහ අදටත් උඩරට ප්‍රදේශ වල බලපැවැත්වෙන අතර, එහිදී දේපල බෙදී යන්නේ වෙනස් ආකාරයකට ය. මා දන්නා ලෙස එය මෙහි දක්වන නමුත්, පහතරට අයෙකු වන මගේ මේ ගැන දැනීම අඩු නිසා, වැරදි ඇත්නම් කරුණාකර නිවැරදි කරන ලෙස දන්වමි. උදාහරණයක් ලෙස, ඉහත කී පවුලේ දෙමවුපියන් උඩරට නීතියට විවාහ වී සිටියේ නම්, පියාගේ මරණින් මතු ඔහුගේ සියලු දේපල ලැබෙනුයේ එකම පුතාට වන අතර දූවරුන්ටත්, බිරිඳටත් එම දේපල වලට නීතිමය අයිතියක් නැත. පුතෙක් නැති පවුලක පියා මෙලෙස මරණයට පත් වුනොත්, ඔහුගේ දේපල, පියාගේ පිරිමි සහෝදරයින් අතර සමානව බෙදී යයි.

      පුතෙක් සිටින පවුලක උනත්, එම පුතා විදේශගතව නම් හෝ, දුර බැහැර රැකියාවක් කරනවා නම් හෝ, දියණියකට හා ඇගේ සැමියාට මහ ගෙදර ඉන්නට පුළුවන් නේද? :)

      Delete
    6. ත්‍රෙඩ් එකේ හොඳ විස්තර ටිකක් තිබෙනවා.

      Delete
    7. තේස වලමෙයි කියන්නේ ලංකාවේ පැරණිම ලිඛිත නීතිය.. ලංදේසීන් තමයි ලංකාවේ නීති සම්පාදනය කිරීම මුලින්ම කරේ. ඒ කරනකොට ලන්කාවේ තිබ්බ නීති ඒ අයුරෙන්ම තියෙන්න ඇරලා හිඩැස් පුරවන්න විතරක් පොදු නීතියක් ගෙනාවා. ඒ වෙනකොට තේසවලමෙයි විතරයි ලිඛිත නීතියක් විදියට තිබුනේ. උඩරට නීතිය ලිඛිතව තිබුනේ නෑ. භවිතයෙන් පමණයි
      මුස්ලිම් නීතියත් ඒ වගේ. තේස කියන්නේ දේශිය හෙවත් local කියන එක.. වලමෙයි කියන්නේ සම්ප්‍රදාය .. ඒ කාලේ යාපනය කියල පොදුවේ හඳුන්වපු අද යාපනය මන්නාරම කිලිනොච්චිය වගේ විශාල ප්‍රදේශයක පදිංචි වෙලා හිටපු මලබාරි ඩිසෙන්ඩන්ට්ස් ලගෙන් පැවත එන ඒ කලාපයේ පදින්චි හැමෝටම අදාල වෙන ඉඩම් හා දේපොළ සම්භන්ද පුලුල් නීතියක් තේසවලමෙයි කියන්නේ ..

      Delete
  3. හුළු අත්තත් , තල් අත්තත් දෙකම තියාගෙන ඉන්න කියල තමයි කියන්නෙ. රෑකදී , වැස්සකදී දෙකටම උදවුවට.

    ReplyDelete
    Replies
    1. තව අපේ පැත්තේ හැරමිටියත් තියෙනවා ඔතන.. අබල දුබල වෙලාවක එළියට බහින්න උනොත්..

      Delete
    2. @ කම්මල
      @ කල්‍යාණ මිත්‍ර

      පිරිමි දරුවෙකු ඉන්නා පවුලක දියණියක සඳහා බින්න විවාහයක් කර දී ඇති අවස්ථාවක් ඔබ දන්නවා ද?

      Delete
    3. මගේ පියා මිලට ගත් එක් ඉඩමක පරණ ඔප්පු කියවන විට දැක්කා, ඒ ඉඩම පියෙකු දියණියකට කොන්දේසි සහිතව ලියා දී, ඇය පවුලේ කීමට පිටින් විවාහයක් කර ගත් නිසා අවලංගු කර ඇති බව!

      Delete
    4. ඉන්නවනේ.. මේ මම.. අයියයි අක්කලා දෙන්නයි ඔක්කොම බැඳල පිට පදිංචි නිසා මම එහේ බින්න බැස්සා.. 😀

      Delete
  4. අපේ මස්සිනාත් ඔය කියන හේතුවටම බින්න බැස්සා.. අපොයි ඒ යකාට තියෙන කරදර කන්දරාවක්..
    අහ! ඔය හේතුවට නොවුනත් මාත් දැන් බින්න බැහැලා වගේ තමයි අපේ උන්දලා ගේ මහ ගෙදර තමයි වාසය.. මට ඔය කියනකං හැබැයි ඒක මීටර් උනේ නෑ. :)

    ReplyDelete
    Replies
    1. මස්සිනාටම ගැලපෙන මස්සිනා!

      ඉතිං හැරමිට්ට, හුළුඅත්ත සහ කුඩ දෙක බැගින් ලැහැත්ති ද?

      Delete
  5. මාත් හුළු අත්තක් අෙත් තියං ඉන්ෙන

    ReplyDelete
    Replies
    1. ඔබේ බිරිඳ පවුලේ එකම දියණිය නොවෙයි ද? ඇයට සොහොයුරන් ඉන්නවා ද?

      Delete
  6. මා 'බින්න බැසීම' යන වචන භාවිත කළේ එහි තිබෙන සාමාන්‍ය අරුත ගැන පමණක් සිතාගෙනයි. ඒ උනත් ඒ පිලිබඳ ඔබගේ විශ්ලේෂණය අනුව තව බොහෝ දේ දැනගන්නට ලැබුනා.විශේෂයෙන්ම ඔබගේ පවුලේ පුරාවෘතයෙන්ම දක්වා ඇති අදහස් වැදගත්. මා අදහස් කළේ බින්න බැසීම නිසා කෙනෙකු යම්කිසි 'සීමාකාරී බන්ධනයකට' හසු වන බවයි. ඒ නිසායි මා එහි වරක් සඳහන් කලේ 'උගුලකට හසුඋනා' වගේ දැනුනා කියා. පසුව තව තනතුරක් ලැබුණු විට 'උගුලකට හසුවීම තහවුරු විය' යනුවෙන් සඳහන් කළේ එම බන්ධනය තවත් තද වීම නිසාය. මට සිතෙන්නේ මගේ යෙදුම අවස්ථාවට උචිත බවයි.

    ReplyDelete
    Replies
    1. දයාවී

      මා දන්නේ මගේ අත්දැකීම් පමණයි. නමුත් බින්න විවාහය නමින් උඩරට අප නොදන්නා විවාහ නීතියක් ඇති බවත්, ඒ උඩරට නීති අනුව විවාහයේ දී දේපල උරුමය වෙනස් වෙන බවකුයි ඉකොනොමැට්ටා ගේ සහ එක් මානවිකාවියක ගේ ප්‍රතිචාරවලින් පෙනෙන්නේ.

      පිරිමියෙකු බින්න බැසීම යනු උගුලකට අසුවීමක් නම්, විවාහ වී සැමියා ගේ නිවසේ පදිංචියට යන ස4ම කාන්තාවක් ම එවැනි උගුලකට අහුවුණාය කියාත් සළකන්න හැඛියි නේද?

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.