"දෙන්නම කරට කර දිව්වා. ඒත් මට නම් පෙනුණේ කුසුම් ඔයා තමයි දිනුවේ. ඇත්තට ම මොකද වුණේ?"
අපේ නිවාසය භාර ගුරුවරිය මුහුණේ ප්‍රශ්නාර්ථයකින් යුතුව විමසයි. මම නිරුත්තරව සිටිමි.
නුවරඑළිය නම් වූ අපේ කුඩා නගරයේ ප්‍රධාන ක්‍රීඩා පිටිය පිහිටා තිබුණේ තුරග තරග පිටියට ආසන්නයේ ය. "ඉස්සර ඔය රේස් කෝස් එකේ ඇත්තටම අස්ස රේස් තිබුණා!" මගේ පියා කියනු මා අසා ඇත.
ඔහු නිතරම අපට අතීත කාලයේ, එනම් බ්‍රිතාන්‍යය විසින් ලංකාව පාලනය කළ කාලයේ, සිදු වූ දේ පිළිබඳව කතා කියා දුන්නේ ය.
"ඒ දවස්වල හැම දේ ම තිතට සිද්ධ වුණා. සුද්දෝ හොඳට හිතලා බලලා, ප්ලෑන් කරලා, හරි වෙලාවට, ටක්කෙට ම වැඩ කළා. ඒ රේස් අස්සයෝ හරි ම ලස්සන සත්තු, ඔය දැන් මෙහේ ඉන්න පෝනි වගේ නොවෙයි."
"අස්ස රේස් කාලෙට රටේ හැම පැත්තෙන් ම ලොකු ලොකු ඈයෝ එනවා නුවරඑළියට. නුවර එළියේ ස්ප්‍රිං කානිවල් ඒකට ගහන්න උත්සවයක් රටේ වෙන තිබුණේ නෑ!" ඔහු ආශාවෙන් ඒ අතීතය සිහිකරයි.
සාමාන්‍යයෙන් නිදිබරව සිටින මේ ක්‍රීඩා පිටිය නව පණක් ලබන්නේ අපේ පාසලේ ක්‍රීඩා උත්සවයත් සමග ය. එදිනට පෙර දිනයේ ම පිටිය වටා කූඩාරම් ඉඳිවේ. කොඩි ගස් හිටවේ. පාසලේ නිවාස තුන නියෝජනය කරන රතු, කොළ සහ කහ පැහැති කොඩි සුළඟේ ලෙළ දෙන්නේ එකිනෙකා හා තරගයට මෙන් ය.
මෙවර ක්‍රීඩා උත්සවය තීව්‍ර තරගයක් වෙනු ඇතැයි මට සිතේ. ඉසව් වැඩි සංඛ්‍යාවකින් ජයගන්නා නිවාසයට අවසාන ජයග්‍රහණය හිමිවෙනු ඇත.
මේ වන විට අප මාසයක පමණ කාලයක සිට පුහුණු කටයුතු කර තිබේ. මේ වසරේ හොඳම පාසල් කාලයයි. පාසලේ වැඩ අඩු ය, ගෙදර වැඩ ඇත්තේ ම නැත. ක්‍රීඩා පිටිය වටා ඇති තුරු පෙළ සෙවණේ වාඩි වී සිටිමින්, උස පැනීම, දුර පැනීම, දිවීම, දැල් පන්දු වැනි ඉසව් සඳහා පුහුණුවීම පිණිස ඉඳහිට අපට කෙරෙන බාධා කිරීම්වලට පමණක් යටත්ව, මිතුරියන් හා කතා බහේ නිරත වීම මට ඉතා ප්‍රීතිජනක කාර්යයක් විය.
නමුත් එක් විශාල ප්‍රශ්නයක් තිබුණි.
තණ මත වාඩි වී සිටින අතරතුර අප ඉතා පරිස්සමෙන් සෝදිසියෙන් සිටිය යුතු විය.
එක්වරම මට මගේ දකුණු කකුලේ කුමක් දෝ ඇනෙන වේදනාවක් දැනේ. මම කෑ ගසමින් උඩ පනිමි. එහෙත් හිතාමතා ම, වේදනාව දැනෙන පෙදෙස දෙස නොබලා සිටිමි.
"ඇයි කුසුම් මොකද, මොකද?" අල්ලපු කූඩාරම අසල සිටි මාලිනී මට උදව් වීමට දිව එයි. මම තවමත් වේදනාව දැනෙන පෙදෙස දෙස නොබලා සිටිමි.
"අනේ මගේ දකුණු කකුල බලන්න. මොකක්ද ඇනුණා වගේ වේදනාවක් දැනෙනවා" මට යාන්තම් මුමුණා ගත හැක.
"ආ, මේ කූඩැල්ලෙක් නේ! මං නං මුන්ට බය නෑ!" මාලනී කූඩැල්ලා ඇද පොළොව මතට විසි කරයි.
"තෑන්ක් යූ මාලනී" ආපසු තම කූඩාරම දෙසට දිව යන ඇයට මා කියන දේ නෑසේ. "අනේ මටත් මාලනී වගේ කූඩැල්ලන්ට බය නැතිව ඉන්න පුළුවන් නම්?" මම දුකෙන් සිතමි.
ග්ලුකෝස් බෙදන්නට පටන් ගෙන ඇත. හැම ක්‍රීඩකයෙකුට ම තරගවලට පෙර ශක්තිය වර්ධනය කර ගැනීමට ග්ලූකෝස් දෙනු ලැබේ. මා ඒ රසයට ඉතා කැමති ය. අපේ අත්ල මතට හැන්දකින් බෙදනු ලබන ඒ සියුම් කුඩු, අප ඒවා දිවෙන් කා දැමූ පසුවත්, අත්ලේ ඇලෙන සුළුබවක් ඉතුරු කරයි.
"වයස පහළොවෙන් පහළ මීටර් සීයේ කාන්තා ඉසව්ව....." මීළඟට මගේ ඉසව්ව සඳහා සූදානම් වීමට නිවේදනය නිකුත් වේ.
"ඕල් ද බෙස්ට් කුසුම්" අපේ නිවාසය භාර ගුරුවරිය මට සුබ පතයි. "අංක 60 ඔයාට සුබයි" මගේ ඇඳුමේ ඉදිරිපසින් සහ පිටුපසින් අමුණා ඇති අංක 60 සලකුණ දෙස බලමින් ඇය මට පවසයි.
මට අපේ ඉසව්වට සහභාගී වන අනෙකුත් තරගකාරියන්ව පෙනේ. මාලනී ඇගේ නිවාසය නියෝජනය කරයි. මම ඇය දෙස ඕනෑකමින් බලමි. ඇයට නැවතත් ස්තුති කළ යුතුය. නමුත් තරග ඉසව්වට සූදානම් වෙමින් සිටින ඇය මා දෙස නොබලන්නී ය.
"සැරසේන්!" ඇරඹුම් සංඥාව දෙන ගුරුවරයා කෑ ගසයි.
මම පෙනහලු වාතයෙන් පුරවා ගනිමි. මේ රේස් එක මං දිනනවා මම දැඩි අධිෂ්ඨානයකින් යුතුව සිතමි.
ඇරඹුම් සංඥා වෙඩි හඬ සමග ම අපේ මීටර් සීය දිවීමේ තරගය ඇරඹේ. හැම අතකින් ම නැගෙන ඔල්වරසන් හඬ දැඩි ය. තම දරුවන්ට දිරි දීමට දෙමව්පියෝ විශාල පිරිසක් ද උත්සවයට පැමිණ සිටිති. නමුත් අද අම්මා ඇය උගන්වන පාසලේ ක්‍රීඩා තරගය නිසා කාර්යබහුල වී ඇත. තාත්තා නම් ඔහු ගේ ග්‍රොසරියේ වැඩවලට හිර වී ඇත.
මට මද සුළඟ හොඳින් දැනේ. සම වයසේ තරගකරුවන්ට වඩා උසින් වැඩි වීම මට වාසියකි. සුළඟ මැඩලමින් මම ඉදිරියට දිව යමි. මට තරගයේ අවසානය දක්වන රේඛාව හොඳින් පෙනේ. තව තත්පට කිහිපයකින් මම පළමුවැන්නා ලෙස අවසාන රේඛාව පසු කරමි. ඔල්වරසන් හඬ තවත් තීව්‍ර වේ.
තරගය විනිශ්චය කරන ගුරුවරියන් දෙදෙනෙක් අප කරා දිව එති.
"මං හිතන්නේ නොම්මර 60 දිනුවා!" එක් ගුරුවරියක් මා පෙන්වමින් කියයි.
"මට නං ෂුවර් නෑ, මං හිතන්නේ නොම්මර 68 තමයි දිනුවේ!" දෙවෙනි ගුරුවරිය මාලනී පෙන්වමින් කියයි.
සිදු වී ඇති අවුල මට වැටහේ. මා දිනූ බව මට හොඳටම විශ්වාස ය.
ගුරුවරියන් දෙදෙනා අපේ අදහස දැන ගැනීමට මෙන් අප දෙස බලති.
මම මාලනී දෙස බලමි. ඇය දුකෙන් සිටින බව පෙනේ.
"මාලනී තමයි මුලින් ම ලයින් එක ක්‍රොස් කළේ" මා කියනු මට ඇසේ.
මම මගේ නිවාසයේ සිසුන් ගේ ඔල්වරසන් ගඟ මැද කුඩාරම දෙසට පිය නගමි. සුබ පැතුම් හැම දෙසින් ම ගලා එයි. "කන්ග්‍රැජුලේෂන්ස් කුසුම්, වෙල්ඩන් කුසුම්."
"රිසල්ට්ස් එනවුන්ස් කරන තුරු ඉන්න!" කියා කීමට මට අවශ්‍ය ය.
නමුත් මගේ මුවෙන් ඒ වචන පිට නොවේ!
මම අපේ නිවාසයේ කූඩාරම තුළට පිවිසෙමි.
"දෙන්නම කරට කර දිව්වා. ඒත් මට නම් පෙනුණේ කුසුම් ඔයා තමයි දිනුවේ. ඇත්තට ම මොකද වුණේ?" අපේ නිවාසය භාර ගුරුවරිය මුහුණේ ප්‍රශ්නාර්ථයකින් යුතුව විමසයි.
මම නිරුත්තරව සිටිමි.
දිනන්නෝ දිනන්නෝ ය.
-පුෂ්පා කුමාරි රණවක
පරිවර්තනය: රසික සූරියආරච්චි
ප/ලි
වෙනත් අයෙකු විසින් ලියන ලද්දක් වුව ද, මෙලෙස කෙටිකතාවක් රසිකොලොජියේ පළ කිරීමට ලැබීම සතුටකි. මා කෙටිකතා ලියන්නට ගත් මෙතරම් සාර්ථක නැති උත්සහායන් කිහිපයක නටඹුන් පහත සබැඳි හරහා කියවිය හැකි ය.
- සම්බෝල කෙටිකතාවකට එක වස්තු බීජයක් - Those were the days!
https://rasikalogy.blogspot.com/2017/06/those-were-days.html
- පෙම්වතිය ගේ අක්කා හමුවීම - Destiny
https://rasikalogy.blogspot.com/2017/06/destiny.html
- වීරවංශ මහතාගේ කතා වස්තුව හෙවත් "මරණ බිය දැනුණු විට" - A short story
http://rasikalogy.blogspot.com/2017/06/short-story.html
- වීරවංශ නම වෙනස් කරයි - A day begins for Mr Harris Chandrasuriya
http://rasikalogy.blogspot.com/2017/06/day-begins-for-mr-harris-chandrasuriya.html
(image: http://www.thepapare.com/four-new-meet-records-on-the-first-day-of-sir-john-tarbet/)