Showing posts with label පරිවර්තන. Show all posts
Showing posts with label පරිවර්තන. Show all posts

Tuesday, 21 May 2024

පරිවර්තනය /අනුවර්තනය සහ නැවත ලිවීම - Lost in translation


සාහිත්‍යමය සංවාදයකට සූදානම් වීම සඳහා උබයසිරි විජයනන්ද වික්‍රම ගේ පරිවර්තන කවි ඇතුළත් “ඉංග්‍රීසි පද්‍ය සිංහලෙන්” කෘතිය කියවමින් සිටිය දී පැරණි මතකයක් සිහියට නැගුනු අතර ඊ මේල අවුස්සා සොයාගත් විස්තර අනුව එය මෙලෙස පෙළගස්වමි.

ඕස්ට්‍රේලියාවේ පර්ත් ග්‍රාමවාසී කවියකු වන සුනිල් ගෝවින්නගේ පහත කවිය 2006 ඔක්තෝබර් මාසයේ දී රචනා කළේය.

Stopping by a cafe on King Street on a grey morning

White strangers walk swiftly in the narrow way
As the lightning flashes in the sky

Like a weeping widow
The sky Graves and drapes black

I have to rush to work
To make a living by killing my soul

I need to warm my heart
To revive my dying body

I find a cafe selling Ceylonese tea
To sustain my body

A crab in the pot
As the water begins to seethe

I float with the feeling of comfort
Consoling my feeble soul

එදිනම ඔහු ට ඉහත කවිය සිංහල භාෂාවෙන් ද මෙලෙස අකුරු කර ඇත.

වැඩ අරඹන්නට පෙර

මා නොහඳුනන සුදු මිනිසුන්
විදුලි සැරින් පටු මේ මඟ සැඟවී යයි

අහස් කුස ද කම්පා වී
කළු තිර පොරවා හිස මත
වැලපෙන්නී කනවැන්දියක විලස

විරුද්ධ දුවයි සැඟවෙන්නට
බියපත් වූ ළමයෙකු ලෙස

මරා දමන්නට හදවත
යා යුතු වෙයි වැඩපොළ වෙත

උණුසුම් කළ යුතුය මහද
පණ දෙන්නට මිය යන ගත

රිංගමි තේ කඩයක් වෙත
උණුසුම්කරනට තොල කට

ලබමි සැනසුමක් රඳවන
ලංකා තේ කෝප්පයක

මිය යන කකුළුවකු විලස
දිය සැලියක රැඳී සිටිමි

බියපත් වූ සිත සනසා
සොඳුරු ලොවක වෙසෙන මොහොත


සුනිල් ගෝවෙන්න ගේ ලියූ ඒ සිංහල පදවැල දුටු ලංකාවේ විසූ එඩ්වින් ආරියදාස විසින් එය මෙලෙස ඉංග්‍රීසි බාෂාවට පරිවර්තනය කර ඇත.

Before settling down

White men who know me not
Trotting along in a mighty haste
In lightning-flash steps and speed
Vanish down narrow alleys

The Sun too scurries for shelter
Like a frightened child,
Avoiding roads and path-ways

Shocked and shaken, the vaulted sky
Head wrapped in black shawls
Lemons and weeps, widow-vice

Disposed of all, am I
I must (warm) my heart
With the familiar remedy

I slink into a tea-kiosk
To reheat my lips and mouth
Sipping a drop of Lanka tea

A fleeting, transient relief comes.
Like what a helpless crab feels
In a pot of water, gradually heating up.


එඩ්වින් ආරියදාසගේ ඒ පරිවර්තනය ඩේලි නිවුස් පුවත් පතේ (30/10/2007) පළ වූවකි.

තමන් ලියූ සිංහල සහ ඉංග්‍රීසි කවි ද්වය ද, එඩ්වින් ආරියදාස ගේ පරිවර්තනය ද සුනිල් ගෝවින්නගේ ඒ දිනවලම මා වෙත එවීය.

මේ කවි කියවීමෙන් පසු මා කළේ සුනිල් ගේ මුල් සිංහල කවිය සිංහලට පෙරලීමට උත්සාහයක් දැරීමයි.

Before shift starts

Unknown white fellas
Vanish down the lane in a flash

Frighten like a child
The sun too, is in a hurry to hide

The sky resembles a weeping widow
Her shattered self hidden in a black veil

I must rush to work right now
To kill my ailing soul

Yet I must make my heart warm
To keep my body alive

I crawl into a cafe by the lane
Throw my lips and mouth

I find the relief I sought
In a cup of Ceylon tea

Like a crab in a boiling pot
I enjoy a moment in the cafe

A moment where I live in a wonderful dream
With no fear in my relieved heart


ඊළඟට මා උත්සාහ කළේ එඩ්වින් ආරියදාසගේ සහ සුනිල් ගෝවින්නගේ ගේ ඉංග්‍රීසි පරිවර්තන ඇසුරෙන් ඒ අදහසේ සිංහල අනුවාදයක් කිරීමටයි.

මෙන්න එහි ප්‍රතිඵලය.

වැඩ ඇරඹීමට පෙර

සුදු දනෝ අරුමැති
මේ පටු මගේ ඇවිදිති
විදුලි එළි මෙන් නිති
අඳුරු මඟ අග සැණින් සැඟවෙති

හිරු නොමැත බලවත්
මගහරී මං මාවත්
දරුවෙකු ලෙසින් බියපත්
සැඟවෙන්නට දරයි තැත්

විලස වැන්දඹු කත
කළු සේල ලා හිස මත
අහස් කුස කම්පිත
දුක්බරව අද කඳුළු වගුරත

ආත්මය මැරුමට
යා යුතුව ඇත සේවෙට
ගිලන් ගත රැකුමට
ඇවැසි වේ උණුසුමක් මා හට

ගොඩ වෙමි කඩපිලට
ලක් තේ රසය විඳුමට
මා මුවට දෙතොලට
ලැබෙන උණුසුම සුපුරුදුය මට

දිය කෙලින ජලයේ
රත්වෙන සෙමින් සැලියේ
කටක වින්දනයේ
මිහිරි සුවය ද මා ලබනුයේ?


මේ සටහන අවසාන කිරීමට මට එකතු කිරීමට ඇත්තේ මෙයයි.

කවි පරිවර්තනය කළ නොහැක. මෙය ඉංග්‍රීසි කවි සිංහලට පරිවර්තනයේ දී මෙන් ම, සිංහල කවි ඉංග්‍රීසියට පරිවර්තනයේ දී ද අදාලය. ඕනෑම භාෂාවක් සඳහා මෙය සත්‍යයැයි සිතමි. නමුත්, අනුවර්තනයක්, කවියේ අදහස ඇසුරෙන් ප්‍රතිරචනයක් හෙවත් නැවත ලිවීමක් නම් කළ හැක.

එසේ කිරීමේ දී සිංහල කවි සම්ප්‍රදාය අනුව සිව් පදයෙන් යුතුව, විරිතක් අනුගමනය කරමින්, එළිසමය ද සහිතව ලිවීම අනුවර්තනය හෝ ප්‍රතිරචනය හෝ අසීරු කරයි.

- රසික සූරියආරච්චි

(image: Created using Mirosoft Copilot Designer)

Tuesday, 15 February 2022

චීන කවියක් නිසා ලියවුණු සටහනකි - Anything lost?


විශ්වවිද්‍යාලයේ අවුරුදු හතරක් සිටි නමුත්, පළමු වසරේ මුල් මාස දෙක හමාරේ මාකස් ප්‍රනාන්දු ශාලාවේ ජීවිතය සහ දෙවන මාස දෙක හමාරේ මෙන්ම සිව්වෙනි වසරේ මැද භාගයේ මසක් පමණ කාලයේ සවස්වරු කිහිපයක් අමතක කළ හොත්, මගේ ජීවිතය වැඩිපුර ම ගෙවුණේ මහවැලි ගඟේ වම් ඉවුරේ ය.

එනිසා ම නොවුණත්, මට නිකමට හෝ ශාස්ත්‍ර පීඨයේ එනම් කලා පීඨයේ දේශනයක් අහන්නට ලැබී නැත.

ඇත්තටම, මා ශාස්ත්‍ර පීඨයේ සිංහල අධ්‍යයන අංශයට ජීවිතය පළමුවෙනි වතාවට ගියේ විශ්වවිද්‍යාලයෙන් පිට වී දශක දෙකකටත් පසු 2008 අවුරුද්දේ දී යි. ඒ මා සංස්කරණය කළ, ඕස්ට්‍රේලියානුවාසී සිංහල ලේඛකයින් තම සංක්‍රමණික අත්දැකීම් අනුසාරයෙන් ලියූ කෙටිකතා ඇතුළත් "තිරස තරණ" ග්‍රන්ථයේ පිටපත් කිහිපයක් එහි අධ්‍යයන කාර්ය මණ්ඩලයට ලබා දෙන්නයි.



"කන්දෙන් ලන්දට" යන ගීතයක අප අසා පුරුදු යෙදුම, උපහාස කතා රචකයෙකු වූ, (දිවංගත) මහාචාර්ය මිණිවන් පී තිලකරත්න විසින් තම නවකතාවක නම සඳහා යොදාගෙන තිබුණේ, ඔහු ද කළ ආකාරයට, කඳුරට පිහිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උගෙන, පහතරට පිහිටි විශ්වවිද්‍යාලයක සේවයට යෑම සංකේතවත් කිරීමට ය. ඒ වචනම උපයෝගී කරගෙන විස්තර කරනවා නම් මහාචාර්ය ලියනගේ අමරකීර්ති කියන්නේ "ලන්දෙන් කන්දට" ආ පුද්ගලයෙකි.

දෙවරක් පමණ හමු වී කතා බහ කර ඇති, මගේ ෆේස්බුක් මිතුරෙකු ද වන, ලියනගේ අමරකීර්ති විසින් ඊයේ අපට නවමු අත්දැකීමක් ලබා දුන්නේ ය. එය නම්, ඔහුගේ දේශනයක කොටසකට අනියම් ආකාරයකින් සම්බන්ධ වීමට අවස්ථාවකි.

පහත දැක්වෙන්නේ සහශ්‍රක දෙකකටත් ඉහත කාලයක ජීවත් වුණු (එසේ ම, රැවුල වවපු කොණ්ඩෙ බැඳපු) චීන අධිරාජයකු විසින් ලියන ලද විරහ කවියකි.

The sound of her silk skirt has stopped.
On the marble pavement dusk grows.
Her empty room is cold and still.
Fallen leaves are piled against the doors.
Longing for that lovely lady,
how can I bring my aching heart to rest?

Wu Ti, 6th Han Emperor, 157-87 BC
Translated by Arthur Waley

මහැදුරු ලියනගේ අමරකීර්ති අපට කියා තිබුණේ එම කවිය සිංහල භාෂාවට පරිවර්තනය කරන්න කියායි. එය ඔහුගේ යම්කිසි දේශනයක ද උපයෝගී කරගන්නා කවියක් බව කියවුණි.

අද උදෑසන පාතරසය රසවිඳින අතරතුර මට ඒ සඳහා යම් උත්සාහයක නිරත වෙන්නට කාලය් ලැබුණි.

මෙන්න එහි මුල් ප්‍රතිඵලය.

සේද සායෙන් ඇගේ, නැගුණු නද නැවතිලා
කිරිගරුඬ පුවරු මත ගොම්මන ද බෝ වෙලා

ඇගෙන් හිස් වූ කුටිය, සීතල ය, නිසසල ය
දොර අසල ගොඩ ගැසුණු මිලින වූ තුරු පත් ය

ඒ සොඳුරු කත කෙරෙහි ලාලසාවන් සිටිමි
රිදුම් දෙන හද මගේ කෙලෙස සතපා ලම් ද?


සියයට සියයක පරිවර්තනයක්, විශේෂයෙන් ම කවියක පරිවර්තනයක්, කිසිවෙකුට කළ හැකි වේ යැයි නොසිතමි. සෑම පරිවර්තනයක් ම, අඩුවැඩි වශයෙන් අනුවර්තනයකි. මෙහි ප්‍රතිශතය 90% පමණ වේ යැයි සිතමි. වචන සහ අදහස සම්බන්ධයෙන් එසේ වුව ද, කවියේ ධ්වනිතාර්ථය, මැවෙන රසය නම් එලෙස පරිවර්තනය කිරීම ඉතා අසීරු වේ. ඉංග්ලිෂ් භාෂාවෙන් Loss in translation කියන්නේ මේ කාරණය ගැනයි.

මෙහි දී අප නොදන්නා අනෙක් කාරණය නම්, මුල් චීන කවිය අප කියවන ඉංග්ලිෂ් භාෂාවට පරිවර්තනය වෙන අවස්ථාවේ කෙතරම් ප්‍රතිශතයක් නැති වූවා ද යන්නයි.

කෙසේ වෙතත්, මගේ උත්සාහය වූයේ නිසදැසක් නොව තාලයකට කිව හැකි කවියක් නිර්මාණය කිරීම බව ලියා තබමි.

පරිවර්තන සහ අනුවර්තන ගැන මා කාලයක් තිස්සේ අසා තිබුණත්, ඒ රේඛාවේ අනිත් අන්තයේ පිහිටි ප්‍රති-රචනය සහ සෙවනැලි රචනය ගැන මා දැනගත්තේ පිළිවෙලින් හෂිත අබේවර්ධන සහ ප්‍රියන්ත ෆොන්සේකා නිසා බව කිව යුතුයි.

අම්බලවානර් සිවානන්දන් ගේ When memory dies නම් කෘතියේ ප්‍රති රචනයක් හෂිත අබේවර්ධන විසින් මීට වසර කිහිපයක්ට පෙර "මතක මියෙන සඳ" ලෙස ඉදිරිපත් කළේ ය.


දශකයකටත් වඩා දිගු කාලයක් තිස්සේ විදෙස් කවි අනුසාරයෙන් තමන් කරන නිර්මාණ "කවි සෙවණැල්ල" නම් බ්ලොගයක පළ කළ ප්‍රියන්ත ෆොන්සේකා දැන් ඒ කවි එකතුව කවි පොතක් ලෙස ඉදිරිපත් කර තිබේ.


ඒ වගත් මෙසේ ම,

-රසික සූරියආරච්චි

(images: various sources in Internet)

Sunday, 12 August 2018

ප්‍රිසිලා ගොඩහේ්වා ගේ "ජැෆ්නාදරය" සහ "ගිමන් හරිමි" නම් නවකතා ද්වය එළිදැක්වීමේ උත්සවය - A note about the launch of two Sinhala novels in Sydney


මේ සටහන ලියන්නට පරිගණකය ඉදිරිපිට අසුන් ගත් මොහොතේ පැරණි උපදේශාත්මක කියමන් ද්වයක් මගේ සිහියට නැගුණි.

"කියවීම මිනිසා සම්පූර්ණ මිනිසෙකු කරයි" යන්න ඉන් පළමුවැන්නයි.

මෙහි දී කියවීම යනුවෙන් අදහස් කෙරෙන්නේ, පොත්, පත් යනා දී ලිඛිත, මුද්‍රිත ලේඛන කියවීම බව අපට වැටහේ. එලෙස, කියවීමට නම්, ඒ ආකාරයේ පොත්, පත්, ලේඛන ලිය වී තිබිය යුතු ය. එනිසා, සම්පූර්ණ මිනිසුන්ගෙන් පිරි ලෝකයක් ඇතිවීමට නම්, මේ ලෝකයේ ලේඛකයින් සිටිය යුතු බව නිගමනය කළ හැකි ය.

මගේ සිතට නැගුණු දෙවන කියමන වූයේ, "ජීවිතය සම්පූර්ණවීමට නම් පොතක් ලියා, ගසක් සිටුවා, දරුවෙකු සාදා තිබිය යුතුය" යන්නයි. ජීව විද්‍යාත්මක කොන්දේසියක් ද අඩංගු බැවින් මෙම කියමන තරමක ආන්දෝලාත්මක එකක් බව කිව යුතු ය. එසේ නමුත්, එය එහි එන අසීරු ම කරුණ නොවුන ද, අපේ වැඩි දෙනෙකු තම දීර්ඝ ජීවිත කාලය තුළ දී ඉහත කොන්දේසි තුන අතරින් සපුරා නොගන්නා කොන්දේසිය නම් පොතක් ලිවීම යැයි මම සිතමි.

මීට දොළොස් වසරකට පෙර දිනයක, ඉන්නවා ද, යනවා ද යන තීරණය හදිසියේ ගැනීමට සිදුවුණු අවස්ථාවේ දී, නොයා රැඳී සිටිය යුතු යැයි තදින් ම අධිෂ්ඨාන කර ගැනීමට මට පිටුවහලක් වූ එක් කරුණක් වූයේ එකී පොතක් තවමත් ලියා නොතිබීමේ අඩුපාඩුවයි.

ඉන් වසර දෙකකට පමණ පසුව, වදෙන් පොරෙන්, ඒ ජයග්‍රහණය අත්පත් කර ගැනීමට මට හැකිවිය.

ඔව්, එය මගේ සිතට විශාල සතුටක් ලබාදුන් ජයග්‍රහණයක් ම විය!

ජයග්‍රහණයන් යනු සැමරිය යුතු අවස්ථාවන් වේ. බොහෝ ලේඛකයින් තමන් පොතක් ලියා ලබන ඒ ජයග්‍රහණය "පොත් එළිදැක්වීමේ උත්සව" හරහා සමරන්නේ ඒ අනුව ය.

මේ ආකරයේ එළිදැක්වීමේ උත්සව හැඳින්වීමට සඳහා "දොරට වැඩුම", "ජනගත කිරීම" යන පර්යාය පද ද යොදා ගනු ලැබේ.

පසුගිය දස වසරක පමණ කාලය තුළ, සාහිත්‍ය ලෝලියෙකු, රසිකයෙකු සහ සහෘදයෙකු ලෙස මම පොත් එළි දැක්වීමේ උත්සව විස්සකට පමණ සහභාගී වී ඇත්තෙමි. සිඩ්නි, මෙල්බර්න් සහ කොළඹ යන නගරවල දී පැවැත්වුණු, ඒ සමහර උත්සවවල දී අදාළ ලේඛකයා විසින් ලියන ලද, පොත් දෙකක් හෝ තුනක් එළිදැක්වුණු අවස්ථා ද විය.

ඒ සමහර උත්සව සඳහා මා සහභාගී වූයේ හුදු රසිකයෙකු හෝ සහෘදයෙකු ලෙස ය. එසේම, "ලූලා නැතිවලට බට කණයෙකු" සේ, උත්සව කිහිපයක දී ම, ආරාධිත දේශන පවත්වන්නට මට අවස්ථාව ලැබුණු අතර, මෑතක දී සිනුවර පැවැත්වූණු සිංහල පොත් එළිදැක්වීම් හැමෙකක දී ම පාහේ, උත්සවය මෙහෙයවන්නාගේ හෙවත් මගේ ම උදාහරණයකට අනුව "ආඳා ගේ භූමිකාව" රඟ දැක්වීමට ද මට අවස්ථාව ලැබුණි.

දීර්ඝ හැඳින්වීමක් ද සහිතව මේ සටහන ලිවීමේ අරමුණ වන්නේ මා තෙසතියට පෙර සහභාගී වූ එවැනි එක් පොත් එළිදැක්වීමක දී අත්දුටු සුවිශේෂී අසිරිය පිළිබඳව මගේ අවංක අදහස් සයිබර් අවකාශයට මුදාහැරීමට ය.


මෙන්න මූලික විස්තරය ලුහුඬින්.

මේ උත්සවය පැවැත්වුණේ 2018 ජූලි මස විසිවෙනි සිකුරාදා සන්ධ්‍යායාමයේ දී, සිනුවර තදාසන්නයේ රෝඩ්ස් හි දී ය.

එහි දී "ජැෆ්නාදරය" සහ "ගිමන් හරිමි" නමින් නවකතා ද්වයක් ම එළිදක්වන්නට යෙදුණි.

ඒ කෘති ද්වය සිනුවර ලේඛිකා ප්‍රිසිලා ගොඩහේවා නම් ලේඛිකාව ගේ නිර්මාණ විය.

ඒ පොත් එළිදැක්වීමේ වැඩකටයුතු මෙහෙයවීමේ අවස්ථාව මට හිමි වී තිබුණි.


දැන් මෙන්න තරමක පසුබිම් විස්තරයක්.

දැන් දශක තුනක පමණ කාලයක් තිස්සේ, ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස ප්‍රාන්තයේ වාසය කරන අපේ සිංහල ප්‍රජාවේ සංස්කෘතිමය අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රශංසනීය සේවාවක් ඉටු කරන සිංහල සංස්කෘතික හමුවට අනුබද්ධව ලේඛක සංසදයක් මීට වසර නමයකට පමණ පෙර ආරම්භ කරන ලදී. ඒ සංසදය පිහිටුවීමේ මූලික අරමුණු වූයේ පොදුවේ ඕස්ට්‍රේලියාව තුළත්, සුවිශේෂීව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළත් සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රවර්ධනය කිරීම සහ සිංහල ලේඛකයින්ට ඔවුන්ගේ ලේඛක කටයුතු සඳහා අත්වැලක් සැපයීමයි. මේ අනගි කටයුත්ත සඳහා මූලිකත්වය ගත්තේ එවකට සිංහල සංස්කෘතික හමුවේ මාධ්‍ය අංශය භාර උප සභාපති වූ සිසිල් ෆොන්සේකා සහ සිංහල සංස්කෘතික හමුවේ සභාපති ලෙස කටයුතු කළ සමන් මහානාම දිසානායක බව ද සඳහන් කළ යුතු ය. විශේෂයෙන් ම සිඩ්නි නගරාශ්‍රිතව වාසය කරන ග්‍රන්ථ ලියා පළ කර ඇති සහ වෙනත් විවිධාකාර ලිපි ලේඛන ලියා ඇති ලේඛකයින් සෑහෙන පිරිසක් ද, ලේඛන කටයුතු සඳහා උනන්දුවක් දක්වන පිරිසක් ද මේ සංසදයට එක්වූහ.

"නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය" ලෙසින් හැඳින්වෙන එම සංවිධානය විසින් පසුගිය වසර නමයක පමණ කාලයක් තිස්සේ කරන ලද සියලුම කර්තව්‍යයන් ලේඛනගත කිරීම මේ සටහනේ අරමුණ නොවන නිසා, අපට වැදගත් එක් කාරණයක් පමණක් පවසමි. එනම්, ලේඛක සංසදය විසින් පසුගිය කාලය තුළ අපේ සාමාජික ලේඛකයින් විසින් සම්පාදනය කරන ලද ග්‍රන්ථ එළිදැක්වීමේ උත්සව රාශියක් ම සංවිධානය කළ බවයි.

මට "ජැෆ්නාදරය" සහ "ගිමන් හරිමි" නමින් නවකතා ද්වයේ රචිකාවිය වන ප්‍රිසිලා ගොඩහේවා මුණ ගැසුණේ ඒ ලේඛක සංසදය නිසා ය. එසේ ම, ඇගේ පොත් එළිදැක්වීමේ උත්සවයේ වැඩකටයුතු මෙහෙයවීමට මට අවස්ථාව ලැබුණේ ද ඒ නිසා ම ය. ඒ අවස්ථාවේ දී ලේඛිකාව පිළිබඳවත්, ඇය රචනා කර ඇති ග්‍රන්ථ පිළිබඳවත් තම අදහස් දැක්වූ ෂෙල්ටන් පීරිස්, සිසිල් ෆොන්සේකා සහ පාලිත ගනේවත්ත දේශකයින් තිදෙනා ද අපේ ලේඛක සංසදයේ ක්‍රියාකාරිකයෝ වෙති.

මා සහභාගී වී ඇති අන් පොත් එළිදැක්වීමේ උත්සව සමග සසඳා බලන කළ පසුගිය දා පැවැත්වුණු ප්‍රිසිලා ගොඩහේවාගේ මේ උත්සවය සුවිශේෂී එකක් ම වේ. ඒ පහත විස්තර කෙරෙන කාරණා නිසා ය.

මා රසිකයෙකු, සහෘදයෙකු, ආරාධිත දේශකයෙකු හෝ වැඩසටහන් මෙහෙයවන්නෙකු ලෙස මෙතෙක් සහභාගී වී ඇති සිඩ්නි සහ මෙල්බර්න් නගරවල පැවැති පොත් එළිදැක්වීම් පහළොවම, එකක් නෑර, ලේඛකයින් ගේ, එනම් පිරිමින් ගේ, කෘති සම්බන්ධ උත්සව විය. මේ මා දන්නා පරිදි සිඩ්නි නගරයේ දී නම්, ලේඛිකාවකගේ සිංහල කෘතියක් එළිදැක්වුණු ප්‍රථම අවස්ථාවයි. එනිසා ම මේ උත්සවය ඓතිහාසික වැදගත්කමකින් යුතු, සිඩ්නි සිංහල සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ සන්ධිස්ථානයක් ලෙස සැලකිය යුතුය.

එසේ ම, ප්‍රිසිලා ගොඩහේවා, තමා රචනා කළ "ජැෆ්නාදරය" සහ "ගිමන් හරිමි" නමින් නවකතා ද්වය එදා එළිදැක්වූයේ ඇගේ ජීවිතයේ තවත් සන්ධිස්ථානයක්වන ජීවන මගේ පනස්වරක් ගතවීම සැමරීම පිණිස, ඒ ජන්ම සංවත්සර උත්සවය හා සමගාමීව වීම ද සුවිශේෂී කාරණයකි. මේ ආකාරයට තම පනස්වෙනි ජන්ම දිනය සැමරීම සඳහා තමා ලියූ පොතක් එළි දැක්වීම ද සැම අයෙකුටම කළ නොහැකි සුවිශේෂී කාර්යයක් ම වේ!

"ජැෆ්නාදරය සහ ගිමන් හරිමි" නමින් නවකතා ද්වය පිළිබඳව ද කිවයුතු සුවිශේෂී කරුණක් ඇත. මේ නවකතා දෙකම, මුලින් සිංහල භාෂාවෙන් ලියා පසුව වෘත්තීමය භාෂා පරිවර්තකයෙකු විසින් ඉංග්ලිෂ් භාෂාවට පරිවර්තනය කරන ලදුව, එකම ග්‍රන්ථයේ ද්විභාෂා කෘතියක් ලෙස පළ කර තිබීමයි. මා වෙනත් භාෂාවලින් ඉංග්ලිෂ් භාෂාවට පරිවර්තනය කළ කෘති ද, ඉංග්ලිෂ් භාෂාවෙන් සිංහලට පරිවර්තනය කරන ලද කෘති ද කොතෙකුත් දැක ඇතත්, එකම ග්‍රන්ථයේ මුල් කෘතිය ද, එහි පරිවර්තනය ද, භාෂා දෙකකින් මුද්‍රණය වූ ප්‍රබන්ධයක් මීට පෙර දැක නැත. මෙය සිංහල සාහිත්‍යයේ නවතම පෙරළියක් ලෙස මම දකිමි.

"ජැෆ්නාදරය සහ ගිමන් හරිමි" නමින් නවකතා ද්වය කියවා අවසන් කළ පසු ඒ කෘති පිළිබඳව විවරණයක් ලිවීමට ද අදහස් කරමි.

ඕස්ට්‍රේලියානුවාසී සිංහල ලේඛකයින් අතින් තවත් පොත් ලියවේවා, කෙමෙන් කෙමෙන් පුළුල්වන විගාමික සිංහල සාහිත්‍යය තව තවත් වර්ධනය වේවා, මේ ආකාරයේ පොත් එළිදැක්වීම් විශාල සංඛ්‍යාවකට සහභාගීවන්නට අපට අවස්ථාව ලැබේවා යනුවෙන් කෙරෙන ප්‍රාර්ථනා සමගින්,

සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසින් සම්පාදනය කරන ලද, ඕස්ට්‍රේලියානුවාසී සිංහල ලේඛකයින් විසිතුන් දෙනෙකුගේ නිර්මාණ රැගත් කෙටිකතා එකතුවක් ඔසී රටේ අපේ කතා නමින් දැන් මුද්‍රණය වී ශ්‍රී ලංකාවේ නිකුත් වී ඇති බව ද,

ඒ ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ දී එළි දැක්වීමේ උත්සවය අගෝස්තු 17 සිකුරාදා සවස 300 ට කොළඹ විශ්වවිද්‍යාලයේ ආරියපාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන බව ද,

ග්‍රන්ථයේ ඕස්ට්‍රේලියානු දොරට වැඩුම සැප්තැම්බරයේ දී පමණ පැවැත්විය හැකි වෙනු ඇති බව ද පවසමින් මේ සටහන අවසන් කරමි.

-රසික සූරියආරච්චි

(images: Book covers - Susantha Moonamalpe, Photos - Roy Gunaratne)

Monday, 17 July 2017

දිනන්නෝ දිනන්නෝ ය (කෙටිකතා නිර්මාණයකි) - Winner takes it all (A short story)


"දෙන්නම කරට කර දිව්වා. ඒත් මට නම් පෙනුණේ කුසුම් ඔයා තමයි දිනුවේ. ඇත්තට ම මොකද වුණේ?"

අපේ නිවාසය භාර ගුරුවරිය මුහුණේ ප්‍රශ්නාර්ථයකින් යුතුව විමසයි. මම නිරුත්තරව සිටිමි.

නුවරඑළිය නම් වූ අපේ කුඩා නගරයේ ප්‍රධාන ක්‍රීඩා පිටිය පිහිටා තිබුණේ තුරග තරග පිටියට ආසන්නයේ ය. "ඉස්සර ඔය රේස් කෝස් එකේ ඇත්තටම අස්ස රේස් තිබුණා!" මගේ පියා කියනු මා අසා ඇත.

ඔහු නිතරම අපට අතීත කාලයේ, එනම් බ්‍රිතාන්‍යය විසින් ලංකාව පාලනය කළ කාලයේ, සිදු වූ දේ පිළිබඳව කතා කියා දුන්නේ ය.

"ඒ දවස්වල හැම දේ ම තිතට සිද්ධ වුණා. සුද්දෝ හොඳට හිතලා බලලා, ප්ලෑන් කරලා, හරි වෙලාවට, ටක්කෙට ම වැඩ කළා. ඒ රේස් අස්සයෝ හරි ම ලස්සන සත්තු, ඔය දැන් මෙහේ ඉන්න පෝනි වගේ නොවෙයි."

"අස්ස රේස් කාලෙට රටේ හැම පැත්තෙන් ම ලොකු ලොකු ඈයෝ එනවා නුවරඑළියට. නුවර එළියේ ස්ප්‍රිං කානිවල් ඒකට ගහන්න උත්සවයක් රටේ වෙන තිබුණේ නෑ!" ඔහු ආශාවෙන් ඒ අතීතය සිහිකරයි.

සාමාන්‍යයෙන් නිදිබරව සිටින මේ ක්‍රීඩා පිටිය නව පණක් ලබන්නේ අපේ පාසලේ ක්‍රීඩා උත්සවයත් සමග ය. එදිනට පෙර දිනයේ ම පිටිය වටා කූඩාරම් ඉඳිවේ. කොඩි ගස් හිටවේ. පාසලේ නිවාස තුන නියෝජනය කරන රතු, කොළ සහ කහ පැහැති කොඩි සුළඟේ ලෙළ දෙන්නේ එකිනෙකා හා තරගයට මෙන් ය.

මෙවර ක්‍රීඩා උත්සවය තීව්‍ර තරගයක් වෙනු ඇතැයි මට සිතේ. ඉසව් වැඩි සංඛ්‍යාවකින් ජයගන්නා නිවාසයට අවසාන ජයග්‍රහණය හිමිවෙනු ඇත.

මේ වන විට අප මාසයක පමණ කාලයක සිට පුහුණු කටයුතු කර තිබේ. මේ වසරේ හොඳම පාසල් කාලයයි. පාසලේ වැඩ අඩු ය, ගෙදර වැඩ ඇත්තේ ම නැත. ක්‍රීඩා පිටිය වටා ඇති තුරු පෙළ සෙවණේ වාඩි වී සිටිමින්, උස පැනීම, දුර පැනීම, දිවීම, දැල් පන්දු වැනි ඉසව් සඳහා පුහුණුවීම පිණිස ඉඳහිට අපට කෙරෙන බාධා කිරීම්වලට පමණක් යටත්ව, මිතුරියන් හා කතා බහේ නිරත වීම මට ඉතා ප්‍රීතිජනක කාර්යයක් විය.

නමුත් එක් විශාල ප්‍රශ්නයක් තිබුණි.

තණ මත වාඩි වී සිටින අතරතුර අප ඉතා පරිස්සමෙන් සෝදිසියෙන් සිටිය යුතු විය.

එක්වරම මට මගේ දකුණු කකුලේ කුමක් දෝ ඇනෙන වේදනාවක් දැනේ. මම කෑ ගසමින් උඩ පනිමි. එහෙත් හිතාමතා ම, වේදනාව දැනෙන පෙදෙස දෙස නොබලා සිටිමි.

"ඇයි කුසුම් මොකද, මොකද?" අල්ලපු කූඩාරම අසල සිටි මාලිනී මට උදව් වීමට දිව එයි. මම තවමත් වේදනාව දැනෙන පෙදෙස දෙස නොබලා සිටිමි.

"අනේ මගේ දකුණු කකුල බලන්න. මොකක්ද ඇනුණා වගේ වේදනාවක් දැනෙනවා" මට යාන්තම් මුමුණා ගත හැක.

"ආ, මේ කූඩැල්ලෙක් නේ! මං නං මුන්ට බය නෑ!" මාලනී කූඩැල්ලා ඇද පොළොව මතට විසි කරයි.

"තෑන්ක් යූ මාලනී" ආපසු තම කූඩාරම දෙසට දිව යන ඇයට මා කියන දේ නෑසේ. "අනේ මටත් මාලනී වගේ කූඩැල්ලන්ට බය නැතිව ඉන්න පුළුවන් නම්?" මම දුකෙන් සිතමි.

ග්ලුකෝස් බෙදන්නට පටන් ගෙන ඇත. හැම ක්‍රීඩකයෙකුට ම තරගවලට පෙර ශක්තිය වර්ධනය කර ගැනීමට ග්ලූකෝස් දෙනු ලැබේ. මා ඒ රසයට ඉතා කැමති ය. අපේ අත්ල මතට හැන්දකින් බෙදනු ලබන ඒ සියුම් කුඩු, අප ඒවා දිවෙන් කා දැමූ පසුවත්, අත්ලේ ඇලෙන සුළුබවක් ඉතුරු කරයි.

"වයස පහළොවෙන් පහළ මීටර් සීයේ කාන්තා ඉසව්ව....." මීළඟට මගේ ඉසව්ව සඳහා සූදානම් වීමට නිවේදනය නිකුත් වේ.

"ඕල් ද බෙස්ට් කුසුම්" අපේ නිවාසය භාර ගුරුවරිය මට සුබ පතයි. "අංක 60 ඔයාට සුබයි" මගේ ඇඳුමේ ඉදිරිපසින් සහ පිටුපසින් අමුණා ඇති අංක 60 සලකුණ දෙස බලමින් ඇය මට පවසයි.

මට අපේ ඉසව්වට සහභාගී වන අනෙකුත් තරගකාරියන්ව පෙනේ. මාලනී ඇගේ නිවාසය නියෝජනය කරයි. මම ඇය දෙස ඕනෑකමින් බලමි. ඇයට නැවතත් ස්තුති කළ යුතුය. නමුත් තරග ඉසව්වට සූදානම් වෙමින් සිටින ඇය මා දෙස නොබලන්නී ය.

"සැරසේන්!" ඇරඹුම් සංඥාව දෙන ගුරුවරයා කෑ ගසයි.

මම පෙනහලු වාතයෙන් පුරවා ගනිමි. මේ රේස් එක මං දිනනවා මම දැඩි අධිෂ්ඨානයකින් යුතුව සිතමි.

ඇරඹුම් සංඥා වෙඩි හඬ සමග ම අපේ මීටර් සීය දිවීමේ තරගය ඇරඹේ. හැම අතකින් ම නැගෙන ඔල්වරසන් හඬ දැඩි ය. තම දරුවන්ට දිරි දීමට දෙමව්පියෝ විශාල පිරිසක් ද උත්සවයට පැමිණ සිටිති. නමුත් අද අම්මා ඇය උගන්වන පාසලේ ක්‍රීඩා තරගය නිසා කාර්යබහුල වී ඇත. තාත්තා නම් ඔහු ගේ ග්‍රොසරියේ වැඩවලට හිර වී ඇත.

මට මද සුළඟ හොඳින් දැනේ. සම වයසේ තරගකරුවන්ට වඩා උසින් වැඩි වීම මට වාසියකි. සුළඟ මැඩලමින් මම ඉදිරියට දිව යමි. මට තරගයේ අවසානය දක්වන රේඛාව හොඳින් පෙනේ. තව තත්පට කිහිපයකින් මම පළමුවැන්නා ලෙස අවසාන රේඛාව පසු කරමි. ඔල්වරසන් හඬ තවත් තීව්‍ර වේ.

තරගය විනිශ්චය කරන ගුරුවරියන් දෙදෙනෙක් අප කරා දිව එති.

"මං හිතන්නේ නොම්මර 60 දිනුවා!" එක් ගුරුවරියක් මා පෙන්වමින් කියයි.

"මට නං ෂුවර් නෑ, මං හිතන්නේ නොම්මර 68 තමයි දිනුවේ!" දෙවෙනි ගුරුවරිය මාලනී පෙන්වමින් කියයි.

සිදු වී ඇති අවුල මට වැටහේ. මා දිනූ බව මට හොඳටම විශ්වාස ය.

ගුරුවරියන් දෙදෙනා අපේ අදහස දැන ගැනීමට මෙන් අප දෙස බලති.

මම මාලනී දෙස බලමි. ඇය දුකෙන් සිටින බව පෙනේ.

"මාලනී තමයි මුලින් ම ලයින් එක ක්‍රොස් කළේ" මා කියනු මට ඇසේ.

මම මගේ නිවාසයේ සිසුන් ගේ ඔල්වරසන් ගඟ මැද කුඩාරම දෙසට පිය නගමි. සුබ පැතුම් හැම දෙසින් ම ගලා එයි. "කන්ග්‍රැජුලේෂන්ස් කුසුම්, වෙල්ඩන් කුසුම්."

"රිසල්ට්ස් එනවුන්ස් කරන තුරු ඉන්න!" කියා කීමට මට අවශ්‍ය ය.

නමුත් මගේ මුවෙන් ඒ වචන පිට නොවේ!

මම අපේ නිවාසයේ කූඩාරම තුළට පිවිසෙමි.

"දෙන්නම කරට කර දිව්වා. ඒත් මට නම් පෙනුණේ කුසුම් ඔයා තමයි දිනුවේ. ඇත්තට ම මොකද වුණේ?" අපේ නිවාසය භාර ගුරුවරිය මුහුණේ ප්‍රශ්නාර්ථයකින් යුතුව විමසයි.

මම නිරුත්තරව සිටිමි.

දිනන්නෝ දිනන්නෝ ය.

-පුෂ්පා කුමාරි රණවක
පරිවර්තනය: රසික සූරියආරච්චි

ප/ලි
වෙනත් අයෙකු විසින් ලියන ලද්දක් වුව ද, මෙලෙස කෙටිකතාවක් රසිකොලොජියේ පළ කිරීමට ලැබීම සතුටකි. මා කෙටිකතා ලියන්නට ගත් මෙතරම් සාර්ථක නැති උත්සහායන් කිහිපයක නටඹුන් පහත සබැඳි හරහා කියවිය හැකි ය.
  1. සම්බෝල කෙටිකතාවකට එක වස්තු බීජයක් - Those were the days!
    https://rasikalogy.blogspot.com/2017/06/those-were-days.html
  2. පෙම්වතිය ගේ අක්කා හමුවීම - Destiny
    https://rasikalogy.blogspot.com/2017/06/destiny.html
  3. වීරවංශ මහතාගේ කතා වස්තුව හෙවත් "මරණ බිය දැනුණු විට" - A short story
    http://rasikalogy.blogspot.com/2017/06/short-story.html
  4. වීරවංශ නම වෙනස් කරයි - A day begins for Mr Harris Chandrasuriya
    http://rasikalogy.blogspot.com/2017/06/day-begins-for-mr-harris-chandrasuriya.html
(image: http://www.thepapare.com/four-new-meet-records-on-the-first-day-of-sir-john-tarbet/)