Showing posts with label මහගම සේකර. Show all posts
Showing posts with label මහගම සේකර. Show all posts

Sunday, 20 March 2016

අමරදේව ගේ චූටි රුපියල් දෙක හෙවත් දෙකේ කොලේට වැටුණු අමරදේව - Time value of money


චූටි කිව්වාට චූටිමත් නැත.

ඒ කුමක් නිසා ද යත්, මේ මා ලියන්නට යන කතාව දැන් හරියටම හතළිස් වසරක් පැරණි එකක් නිසාය.

මා දින දෙකකට පෙර ලියා පළ කළ රුපියල් දෙකේ කතාව ලිපියේ සඳහන් කළාක් මෙන් ඒ කාලයේ රුපියල් දෙකේ නෝට්ටුවක් යනු අද රුපියල් දෙදාහක නෝට්ටුවක් තරමට බලසම්පන්න එකක් විය.

"ටයිම් වැලිවු ඔෆ් මනි" නමැති සංකල්පය දන්නාවුන්ට අවශ්‍ය නම් ඉහත උපකල්පනය මත පදනම්ව දශක හතරක් තුළ මුදලේ අගයේ ඇතිවූ වෙනස සඳහා ඒකීය දර්ශකයක් ගණනය කර ගත හැකිය.

මා විස්තර කරන්නට යන මේ සිදුවීමේ කාල නීර්ණය අපහසුවකින් තොරව ඔබටත් මටත් කළ හැක්කේ එය මාතෘකාවේ නම සඳහන් අමරදේව ගායකයා ගේ එකල සංගීත ක්‍ෂේත්‍රයේ හොඳම සුසංයෝගී සගයා වූ මහගම සේකර ගේ මළගම හා සම්බන්ධ හෙයිනි.

සිංහල කවියේ අවිවාදාත්මක පතාක යෝධයා වූ මහගම සේකර, සුවහසක් රසික ජනතාව ගේ සිත් සතන් කම්පනය කරමින්, කපා හෙළුෑ රඹ කඳක් මෙන් ඇද වැටුණේ 1976 ජනවාරියේ ය.

ඔහු ගේ අවසාන කටයුතු සිදුකර ඒ සොහොන් කොතේ දුක් ගීයක් ලියන්නට හිත මිතුරු, රසික ජනතාව රදාවාන ග්‍රාමයට රැස්වුණි.

අද පරිසර විද්‍යාඥයෙකු ලෙස විදෙස් රටක සේවය කරන මගේ එක් මිතුරෙකු, පහසුව සඳහා මා ඔහුව කේමචන්ද්‍ර කියා හඳුන්වමි, එදා කුඩා දරුවෙකු ලෙස අවමංගල්‍ය උත්සවයට සහභාගී වි තිබුණේ, මූලිකවම ඒ ඔහුගේ ද ගම් ප්‍රදේශය වූ නිසාය.

නමුත් තම වැඩිමහල් සොහොයුරා ද සමග කේමචන්ද්‍ර මහගම සේකර ගේ අවමංගල්‍ය උත්සවය දිනයේ එහි ගොස් ඇත්තේ, "අද ඔතැනට අමරදේව නම් අනිවාර්යෙන් ම එනවා!" යැයි ඔවුන් ගේ නිවසේ කතා බහ වූ හෙයිනි.

ගුවන් විදුලියෙන් ගීත අසා තිබුණද, කෙදිනක හෝ දැක නැති තම ප්‍රියතම ගායකයා දැක ගැනීමට පොඩි පහේ උණක් මේ දෙසොහොයුරන්ට ඇති වී ඇත.

වෙලෙන් ගොඩවී, තවත් සැතපුමක් පමණ පයින් ගොස් මළ ගෙදරට ගොඩ වැදුණු ළමුන් දෙදෙනා, ආචාර සමාචාර නිමා කර නිවසේ මිදුලට වී බලමින් සිට ඇත්තේ අමරදේව සිටී ද කියායි.

රූපවාහිනී නොතිබුණු ඒ කාලයේ කලාතුරකින් පුවත්පතක පළ වූ කළු-සුදු ඡායාරූපයක් දැක තිබුණු පමණින් අමරදේව එහි සිටීද, සිටීනම් ඒ කවුද යනුවෙන් සොයා ගන්නට මේ දෙදෙනාට හැකි වී නොමැත.

ආපසු නිවසට යම්දෝ, නොයම්දෝ යැයි සිතමින් සිටිනා මොහොතේ වාසනාවකට මෙන් ඔවුන්ට වටිනා රාජකාරියක් පැවරී ඇත. එය නම්, මල් වඩම් රැගෙන අවමංගල පෙරහැරේ ගමන් කිරීමයි.

තමා මල් වඩමද රැගෙන පෙරහැරේ ගියේ දෙවන ස්ථානයේ බව කේමචන්ද්‍ර මොහොතකට පෙර මා සමග පැවසීය.

අවමගුල් පෙරහැර මහහගම සේකර නිවසේ සිට සැතපුම් දෙකක් පමණ ගෙවා රදාවාන හන්දියට ළඟාවන විට ඒ ස්ථානය එකම හිස් ගොඩක්ව පැවත ඇත. නමුත් කේමචන්ද්‍රත්, වැඩිමහල් සොයුරාත් මල්වඩම් රැගෙන යමින් සිටි නිසා, චිතකය අසලටම කරදරයකින් තොරව යාමටත්, අවමංගල්‍ය සභාවේ වැඩකටයුතු කෙරෙන අවස්ථාවේ, මහගම සේකර පවුලේ ඥාතීන් සිටි ස්ථානයට සහ ගුණකතන පැවැත්වුණු ස්ථානයට ඉතා නුදුරෙන් රැඳීමටත් ඔවුනට ඉඩ ලැබී ඇත.

තමන්ගේ ප්‍රියතම ගායකයා කවුදැයි කේමචන්ද්‍ර දැක ඇත්තේ ලැබුණු ආරාධනයට අනුව ගුණකතනය කිරීමට අමරදේව මයික්‍රෆෝනය අසලට ගිය විටයි.

ඒ මහා ගායකයා ශරීර ප්‍රමාණයෙන් කුඩා මිනිසෙකු බව දැක තරමක පුදුමයකටත් පත්වුණු බව කේමචන්ද්‍ර පවසයි.

අයියෙ, අන්න අමරදේව කියා තම සොහොයුරාට අමරදේව ගායකයාව පෙන්වද්දී කේමචන්ද්‍ර ගේ නෙත ගැටී ඇත්තේ, අමරදේව ගේ සුදු ජාතික ඇඳුමේ කමිස සාක්කුව තුළ ඇති බව ඉදිරිපසට හොඳින් දෘශ්‍යමාන වූ මුදල් නෝට්ටුවකි.

ඒ මුදල් ඇමති යූ බී වන්නිනායක ද, මහ බැංකුවේ අධිපති විලියම් තෙන්නකෝන් ද අත්සන් කළ ලංකාණ්ඩුව විසින් නිකුත් කරණ ලද, මහා පරාක්‍රමබාහු රජු ගස් ලබු කෑල්ලක් අනුභව කරන ප්‍රතිමාවේ ඡායාරූපයකින් සමන්විත වූ රුපියල් දෙකේ නෝට්ටුවකි.

මේ නෝට්ටුව අනිවාර්යෙන්ම සාක්කුව තුළ තියෙන්නට ඇත්තේ දෙකට නැමූ ආකාරයෙන් වුව ද, නෝට්ටුවේ අසමසම වර්ණය නිසා සාක්කුවේ ආවරණයට පිටතින් වුවද ඒ කුමක්දැයි එක් වරම හඳුනා ගැනීමට කේමචන්ද්‍ර සමත් වී තිබුණි.

මහගම සේකර අවසන් ගමන් ගියේය.
අමරදේව ගයන "මා මළ පසු සොහොන් කොතේ" ගීතය අති ජනප්‍රියත්වයට පත් විය.
මා අසා ඇති තරමින් ඔහුගේ සොහොනේ අමුතු ගීතයක් ලියවී නො තිබුණි.
සොහොන ද කාලයා ගේ ඇවෑමෙන් වල් වැදී ගියේය.

පසුගිය දිනක, රදාවාන ගමේ පාසලේ ළමයෙකුගෙන් "මහගම සේකර අඳුනනවාද?" කියා විමසූ විට "ඔය කියන්නේ අර කඩයක් කරන කෙනා නේද?" යැයි පිළිතුරු ලැබී ඇත.

ඒ කුමන විපර්යාස සිදුවුණත්, කේමචන්ද්‍ර ගේ සිතෙන් අර අමරදේවගේ සාක්කුවේ තිබුණු රුපියල් දෙකේ කොළයේ දර්ශනය සිතෙන් බැහැර නොවිණි.

අමරදේවගේ ගීතයක් අසන විට, ඔහුගේ රුව මුද්‍රිතව හෝ රූපවාහිනී තිරයක් තුළින් දකින විට කේමචන්ද්‍ර ගේ සිහියට මුලින්ම ආවේ ඒ රුපියල් දෙකේ කොළයේ කතාවයි.

දිගු කලකට පසු කේමචන්ද්‍ර තම ආචාර්ය උපාධිය සඳහා පැරබෝලීය ගස් කියුබාකාර කරමින් පර්යේෂණවල නිරත වෙමින් සිටි කාලයේ දී, අමරදේව ගේ විදේශ සංචාරයක් ඒ නගරයේ පැවැත්වුණි. ඒ ප්‍රසංගයකට පසු දිනයේ විශ්ව විද්‍යාල මිතුරන් සමග අමරදේව ඇතුළු පිරිස සඳහා තේ පැන් සංග්‍රහයක් සූදානම් කරන්නට කේමචන්ද්‍ර මූලිකව කටයුතු කළේය.

මෙහිදී එළැඹුණු ප්‍රශ්න ඇසීමේ වාරයේ දී ප්‍රශ්නයක් අසන මුවාවෙන් මේ දෙකේ කොලේ මතකය ද අමරදේව හා බෙදා ගැනීමට ඔහුට අවස්ථාව ලැබුණි.

පසුගිය වසරේ ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ නැවතත් ජනාධිපති ලෙස පත් කරන්නට ඡන්දදායකයින්ගෙන් ඉල්ලමින් පුවත්පත්වල පළකර තිබුණු දැන්වීමක මුලටම සිටියේ අමරදේව ය.

ඒ දැන්වීම දුටු විට, අමරදේව ගේ වටිනාකම එදා රුපියල් දෙකක් නොව අද රුපියල් දාහක් පමණ බව මට වැටහිණි.

-රසිකොලොජිස්ට්

(http://mahagamasekera.blogspot.com.au/p/blog-page_9195.html)