මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Friday, 18 March 2016
දෙකේ කොලේ කතාවක් - My lottery win
මා කියන්නට යන මේ කතාව එක්තරා ආකාරයක හොරකමක් හෝ වංචාවක් හෝ ලෙසත් සැලකිය හැකි බව මුලින්ම පවසමි. අද මට එසේ සිතුනත්, එදා එසේ නොසිතීම ඇත්තටම අභාග්‍යයක් බව ද අද සිතේ.
ඒ දිනවල මා තුන්වෙනි ශ්‍රේණියේ ඉගෙන ලබමින් සිටි කුඩා දරුවෙකි.
පරකන්දෙණිය නම් ගමේ කෙළවරේ පිහිටි අපේ නිවසේ සිට මා උගත් කොස්සින්න සිරි සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයට දුර කිලෝමීටරයක් පමණ වූ අතර මා එහි ගියේ මගේ මල්ලීත් බොහෝ විට අල්ලපු ගෙදර ආනන්ද ජයතිලකත් සමග පයින් ඇවිදගෙන ය.
අපට බස් රථයකින් ගමන් කිරීමට ලැබුණේ මසකට පමණ වරක් අම්මා සමග ගමේ පාරේ දිවෙන 218 බසයෙන් ගනේමුල්ලට යන විට පමණි.
අම්මා අපව ගනේමුල්ලට රැගෙන ගියේ කොණ්ඩය කැප්පවීමටයි.
කොස්සින්න පාසලට නුදුරින් පිහිටි කුඩා කඩ පේළියේ සුදාලැගෙ කඩේ සහ උප තැපැල් කන්තෝරුව අතර සිසිර සැලූන් (බදාදා දිනයන් හි වසා ඇත!) නම් බාබර් සාප්පුවක් තිබුණ ද අප කිසිදා එහි ගොස් නැත.
කොණ්ඩය කැපීම යනු අප ඒ දිනවල මහා කරදරයක් සේ සැලකූ කාරණයක් වුව ද, ගනේමුල්ලට ගිය බොහෝ දිනවලදී දුම්රිය මාර්ගයෙන් එහා පැත්තේ පිහිටි මට අද නම අමතක හෝටලයෙන් සීනි බනිසක් කා තේ බොන්නට ලැබෙන නිසා, මේ ගමන අපට ගෙන දුන්නේ තරමක් දුරට හෝ ප්‍රීතියකි.
සීනි බනිස් කා ප්ලේන්ටියක් බීමට මා ප්‍රිය කළ අනෙත් ස්ථානය නම් කඩවත 223 මාර්ගය කොළඹ නුවර පාරට සම්බන්ධ වූ ටී-ජන්ශනයේ පිහිටා තිබු ජන්ශන් හෝටලය නම් තේ කඩයයි. කඩවත ජන්ශනය විශාල වීමත් සමග පසු කලෙක ඒ ජන්ශන් හෝටලය බ්ලාස් වී ගියා යැයි සිතමි.
අප ජන්ශන් හෝටලයට ගියේ කඩවත නගරයේ කිරිබත්ගොඩ අන්තයටත් එහා පිහිටි ගුණතිලක දොස්තර ගේ ඩිස්පෙන්සරියට ගිය ගමන්වල දී ය. ඔහු, මුල් කාලයේ සිංහල සිනමාවේ සිටි නිර්මාණකරුවකු වූ පී.කේ.ඩී. සෙනවිරත්නගේ බාල සොහොයුරා බව කියවුණි.
ගනේමුල්ලේ දී ළමුන් ගේ කොණ්ඩා කප්පවා, සීනි බනිස් සමග තේ ලබා දුන් පසු අම්මා බොහෝ විට යන්නේ සේන කඩේටයි.
සේනලාට හෙවත් ගුණසිරිලාට කඩ තුනක් විය. එකක යකඩ බඩු ය. එහි ගියේ නම් ඒ තාත්තා පමණි.
අනෙක ඩේරපරි හෙවත් රෙදි පිළි කඩයකි. අම්මා සමහර විට ඒ කඩේට ගොඩ වෙයි. නමුත් ඇය රෙදි මිලදී ගැනීම සඳහා බොහෝ විට ගියේ කඩවත නගරයටයි. කෙළවරේම තිබුණේ අපේ පවුලට අවශ්‍ය සීනි රාත්තලේ, තේ කොළ රාත්තල් බාගේ පත්තර කඩදාසි ගොටුත්, පත්තර කොලවලම එතූ තෝර කරවල, කීරමින්, හාල්මැස්සන් යනාදියත් සිමෙන්ති උරවලින් සෑදූ කඩදාසි බෑගයක දමා මිලට ගත හැකි, අද භාෂාවෙන්, ග්‍රොසරියයි. මේ කඩයේ නම ගුණසිරි ස්ටෝර්ස් වැනි එකකි.
තාත්තාට කියා සතියේ දිනක ගුණසිරි ස්ටෝර්ස් එකෙන් වියළි මිරිස්, කොත්තමල්ලි යනාදිය ගෙන්වා ගන්නා අම්මා, ඒවා සෝදා වියළා සකස් කොට ගෙන මේ මසකට වරක පමණ කෙරෙන ගමන්වලදී ගනේමුල්ලට ගෙන එයි. එහි තිබුණු ඇඹරුම් හලෙන් ඒ ද්‍රව්‍ය ඇඹරී තුන පහ, මිරිස් කුඩු බවට පත්වෙයි.
බිම වැටී තිබුණු රුපියල් දෙකේ කොළයක් මගේ නෙත ගැටුණේ මා පෙර සඳහන් කළ එක් ස්ථානයක දී ය.
දෙකේ කොලේට දැමීම යනු යමක් පහත් කොට සැලකීමයි. එයට හේතුව ඒ කාලයේ මුදල් නෝට්ටු අතරින් අගයෙන් අඩුම නෝට්ටුව වූයේ දෙකේ කොළය වීමයි. අපේ තාත්තා නම් ඊට කලකට රුපියලේ කොළ ද තිබුණු බව මා සමග කියා ඇතත්, මම එවැන්නක් කිසි දිනයක දැක නැත්තෙමි.
දෙකේ කොලේට දැමීමේ කතාව කෙසේ වෙතත්, විවේක කාලයේ පාසල අසල කඩල විකුණූ කඩල ආච්චිගේ කඩල ගොට්ටක මිල ශත පහක් වූ එකල රුපියල් දෙකේ යනු මට නම් ඉතා විශාල මුදලක් විය. බිම වැටී තිබුණු ඒ නෝට්ටුව දැක මා තරමක් තැති ගත්තේ එබැවිනි.
තුන්වෙනි ශ්‍රේණියේ ඉගෙන ගන්නා වයසේ සිසුවෙකුට එවැනි තිගැස්මක් ලැබෙන්නට නම් බිම වැටී තිබෙනු දැකිය යුත්තේ අඩු වශයෙන් රුපියල් දෙදාහේ නෝට්ටුවක් බව මම සිතමි.
මේ දෙකේ කොළය යූ.බී. වන්නිනායක මුදල් ඇමති ලෙස සහ විලියම් තෙන්නකෝන් මහ බැංකුවේ අධිපති ලෙස අත්සන් කර තිබුණු, පරාක්‍රමබාහු රජු ගස්ලබු කෑල්ලක් කන ප්‍රතිමාවේ රූපයකින් සැරසුණු දෙකේ කොළයක් විය.
මුදල් ඇමති ද, මහ බැංකුවේ අධිපති ද නෝට්ටුවල අත්සන් කිරීම ලොව පිළිගත් සම්ප්‍රදායයි. පසු කලෙක ලංකාවේ සර්වබලධාරී ජනාධිපතිලා තමන් ම මුදල් ඇමතිකම අයිති කර ගත්තේ, ඒ අත්සන ගැන ඇති වූ කෑදරකමක් නිසා බව මගේ අදහසයි.
එතැනිනුත් එහාට ගිය ර. ප්‍රේමදාස සහ ම. රාජපක්‍ෂ තම රූපය ද, පිළිවෙලින් කාසියකට සහ නෝට්ටුවකට යොදා ගත්තෝය.
තැති ගත් සිතින් යුතුව මා කළේ හෙමින් සීරුවේ පාත් වී ඒ රුපියල් දෙකේ නෝට්ටුව ගෙන කොට කලිසමේ සාක්කුවකට දා ගැනීමයි.
සමහර විට එය නිෂ්ඵල කාර්යයක් වෙන්නට ඉඩ තිබුණත් මා එදා කළ යුතුව තිබුණේ, ඒ නෝට්ටුව අම්මාට පෙන්වා, ඇය ලවා එතැන සිටි පිරිසගෙන් එය ඔවුන්ගේ දැයි විමසීම ය.
නමුත් මේ ගැන මා අම්මාට පවා කීවේ දින කිහිපයකට පමණ පසුව එක් රාත්‍රි කාලයක ඇය කුස්සියේ උයන වේලාවක රහසක් ලෙසිනි.
"දැන් ඉතිං අයිතිකාරයා හොයන්න පුළුවනියැ, එහෙනං ඔය සල්ලි ඔයා ගේ පොතට දාමු!" අම්මා කීවාය.
ඇය එහිදී පොත යනුවෙන් අදහස් කළේ මගේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පාස්පොත නොහොත් එමගින් ගනුදෙනු කළ හැකි බැංකු ගිණුමයි.
රුපියලක් ගෙවා, ගමේ උප තැපැල් කාර්යාලයේ දී වුවද අරඹා පවත්වාගෙන යා හැකිවූ ඒ ආකාරයේ ගිණුමකට පොතක් පමණක් නොව විශේෂ ආදායම් මුද්දර වර්ගයක් ඇලවිය හැකි කාඩ් පතක් ද ඇතුළත් විය. ශත විසි පහක් අතේ ඇතිනම් එයින් පෙර කී මුද්දරයක් රැගෙන කාඩ් පතේ ඇලවිය හැකිය. කාඩ්පත සම්පූර්ණ වූ පසු එහි ඇති මුද්දරවල අගය ඉතිරි කිරීමේ ගිණුමට බැර කරවා ගත හැක.
අභ්‍යාස පොතක එකිනෙක ඇලවූ පිටු දෙකක් අතරේ සඟවා තිබුණු තැනින් රුපියල් දෙකේ කොළය ඉවතට ගත් මම පසු දින එය කොස්සින්නේ උප තැපැල් කාර්යාලය වෙතට ගෙන ගොස් බැංකු පොතේ තැන්පත් කළෙමි.
මා මුලින්ම මේ ගිණුමෙන් මුදල් ආපසු ගත්තේ පසු කලෙක උසස් පෙළ සමයේ දී දිග කලිසමක් මැසීමට රෙදි කැබැල්ලක් හෙවත් පීස් එකක් හෙවත් ලෙන්ත් එකක් මිලට ගැනීම සඳහාය.
මාස කිහිපයකට පසුව මා දෙවෙනි වරට ගිණුමෙන් මුදල් ආපසු ගත්තේ ද, ඇඳුම් සඳහාය. එවර මරදානේ ජිල්/මයුරා සාප්පුවෙන් මැසූ කලිසමක් සහ කමිස දෙකක් මිලට ගත්තෙමි. ඒ පුංචි අම්මා ගේ මංගල උත්සවය දිනයේ ඇඳීමටයි.
උද්ධමනය යන වචනය අපේ එදිනෙදා වාග්මාලාවට ඇතුළත් වී තිබුණු මේ කාලය වෙන විට, මා තුනේ පන්තියේ දී අහුලාගත් දෙකේ කොළය, කමිසයක බොත්තම් කිහිපය තරම්වත් නොවටිනා මුදලක් බවට පත් වී තිබුණි.
-රසිකොලොජිස්ට්
ප/ලි:
රසිකොලොජියේ පළ වූ ලිපි දෙක තුනකක් ඔස්සේ යමින් ඒ කරුණු වෙනත් ඉහල මානයකට ගෙන යන ලිපි ලියා තම බ්ලොගයේ පළ කළ ඉකොනොමැට්ටා මේ ලිපිය සම්බන්ධයෙන් හෝ, එසේ නොමැති නම්, මා ඊලඟ ඉරිදා පළ කරන්නට බලාපොරොත්තුවෙන ලිපිය ගැන හෝ එසේම කරනු ඇතැයි සිතමි.
(image: http://www.delcampe.net/page/item/id,312127316,var,Sri-Lanka-Ceylon-Ceylan-19680110-Parakramabahu-Two-Rupees-Rs-2-Crisp-Note,language,E.html)
Labels:
අතීතකාමය,
අපේ මෝඩකම්,
අම්මා,
ගමේ කතා,
තාත්තා,
මගේ ළමා දිවිය
Subscribe to:
Post Comments (Atom)
මරදානේ ජිල්/මයුරා සාප්පුවෙන්////// ඒකාලේ ජිල් ගාමන්ට්ස් කලිසම් තිබුනා නේද ?
ReplyDelete79/80 විතර තමයි ඔය සාප්පුව ඇරියේ රෙඩිමේඩ් හොද කලිසමක් රු 75.00 /110. 00 මුදලකට ගන්න පුලුවන් නිල්පාට කොට කලිසමක් 40.00 විතර වුනා ව්තන් ඊට කලින් තිබුනේ චීනුන්ට අයිති රෙදි කඩයක් හෝ චීන දත් බදින කඩයක්
DeleteRJ - මා ගියේ මරදානේ තිබුණු කඩේටයි. ගාමන්ට් එක තිබුනේ රත්මලානේ නේද?
DeleteK - කාලයක් යනතුරු මගේ හොඳම කලිසම වූයේ එයයි.
//ඉකොනොමැට්ටා මේ ලිපිය සම්බන්ධයෙන් හෝ, එසේ නොමැති නම්, මා ඊලඟ ඉරිදා පළ කරන්නට බලාපොරොත්තුවෙන ලිපිය ගැන හෝ එසේම කරනු ඇතැයි සිතමි.// දෙකේ කොලේටම වැටෙන්න බෑ. :)
ReplyDeleteඑහෙනම් ඉරිදා උදේ ලිපිය බලන්න.
Delete(ʘ‿ʘ)
This comment has been removed by the author.
ReplyDelete//පොතක් පමණක් නොව විශේෂ ආදායම් මුද්දර වර්ගයක් ඇලවිය හැකි කාඩ් පතක් ද// මට තිබුණේ තැපැල් කන්තෝරු පොතක්. පොතේමයි මුද්දර ඇලෙවුවේ.
ReplyDeleteඒ පාස් පොතේ ඇලවූ මුද්දර අවමය රුපියලේ ඒවා නේද?
Deleteශත දහයේ, විසි පහේ, පනහේ මුද්දර අලවන්න වෙනම කාඩ් එකක් තිබුණා මට හොඳට මතකයි. ඒක පිරුනාම පොතට දාන්වා!
ඒකාලේ ජිල් මයුරා අඳිනවා කියන්නෙ පොරක් තමා.
ReplyDeleteඇයි 81/82 වෙනකොට යටවර ගේ කැන්ඩි ගාමන්ට් එකෙන් ටොප් කොලිටි පොලියෙස්ටර් අත්කොට කමිසයක් නැගලා ගියා රු 65.00 ට විතර මැකසිනෝ බාටා 299.90
Deleteඑදත් පොරක්!
Deleteඅදත් පොරක්!!
අප්පට හුඩු මෙයා ඇවිල්ලා පරකන්දෙණිය නම් ගමේ එල පොරක් තමයි කොහොමද ගමේ කස්ටියගේ වැඩකිඩ බලමුකෝ එදත් පොරක්! අදත් පොරක්!! හෙටත් පොරක් !!!
Deletehttps://www.youtube.com/watch?v=8H9cHtDcrZw
මමත් ඒකාලෙ ඇන්දෙ පිටිපස්සෙ පොකට් දෙක තිබ්බ ජිල් මයුරා කලිසම්. තාමත් දුඹුරු පාට කලිසමක් මතක් වෙන්ට තියාගෙන ඉන්නනවා. කලුපාට මොකැසිනෝ දෙකක් තිබුනා. කුරුණෑගල කැන්ඩි ගාමන්ට් එකේ මහපු අත්කොට කමිස තමා ඇන්දෙ. දෙහිගම හෝටලයේ (දැන් සෙන්ට්‍රල් ෆිනෑන්ස්) තිබුන කලංගෙ මයි ඉන් එකෙන් තමා ඩෙනිම් ගත්තේ
Deleteජිල් මයුරා මතක් කොලාම නෙතට කඳුලක් ඉනුවා... ඔවුන් මගේ ඥාතීන් වනවා... ඒ කාළේ අනෙක් අයට නොතිබූ ඇඳුම් අපිට නොමිලේම ඔවුන්ගෙන් ලැබුනා...
ReplyDeleteපැටි මහත්තයා (මයුරා ජිල් හිමිකරු) ඝාතනයත් සමග ව්‍යාපරද නැති වෙල ගියා... අද බොහෝ ගාමන්ට් හිමිකරුවන් එකල ඔහුගේ සේවකයින්...
මා ඒ බව දැන ඝෙන හිටියේ නෑ.
Deleteඒ දවස්වල මුවන් පැලැස්ස අනුග්‍රාහක සමාගම වුනු ලින්ටන් එකේ අයිතිකාරයාවත් මරා දැම්මා නේද?
ඔය සාප්පුව අයිති රත්නම්[ කොලොම්බෝ චෙට්ටි] පවුලට නේද 83 ජූලියෙන් මුලින්ම කාපු සාප්පුවක් හයිඩ්‍රමනිලා අතර වෙළඳ තරඟයක් තිබුනානේ ඒකාලේ
Delete@ රසික
Deleteමූ අරුක්ගොඩ..... මිනිහට වෙච්චි දෙයක් අද වෙනකන් දන්නෙ නෑ මයෙ හිතේ...
මූ අරුක්ගොඩ නේද කැලෑ කපන්න ගිහින් කොටින්ගෙන් මැරුං කෑවෙ
Deleteමෙතැනට මු අරුක්ගොඩ අදාළ වන්නේ කෙසේද? ලින්ටන් අයිතිකරු ගේ නම මුනිදාසයි මට මතක හැටියට.මු අරුක්ගොඩ කැලෑ කපන්නට ගිහිං ආගිය අතක් නැතිවුණා.කොටි මැරුවා කියලයි කතාව තිබුනෙ.
Deleteමූ අරුක්ගොඩ යනු සිනමා පට අධ්‍යක්‍ෂණය කළ අයෙකි. ඔහු ගේ චන්නයි කොල්ලො දෙන්නයි වැනි චිත්‍රපට මා නරඹා තිබේ.
Deleteලින්ටන් අයිතිකරු වෙනත් අයෙකි. කඳාන පොලීසියේ ඉන්ස්පැක්ටර්වද ඊට කලින් කාලයක මරා දා තිබුණි!
ලින්ටන් එක අයිතිකාරයගෙ නම් මොකක්ද.... කඳාන පැත්තේ පැට්‍රල් ෂෙඩ් එකක් ළඟ නේද උන්නේ...
Deleteජිල් මයුරා අයිතිකාරයා කුමාර් දේවපුර කියලයි මං අහලා තියෙන්නෙ. සමහර විට දේවපුර ගත්තේ ඊට පස්සෙ වෙන්ටැ. උන්නැහෙත් ගාමන්ට් 200 ප්‍රොජෙක්ට් එකට අත දාලා නැති බංගස්තාන වෙලා ගියා.
Deleteරුපියල් දෙකේ කොලය මාරු කරන්ට ආච්චි ලඟ සල්ලි නැතිවෙයිනේ?
ReplyDeleteහරි හරි මම ඒකට එකඟයි
Deleteආච්චිලා ඕවා දනිතෙයි
රසික, මා ළඟ රුපියලේ නෝට්ටුවක් තියනවා.
ReplyDeleteඩොලර් 75කට පමණ විකුණා ගත හැකිය!
Deleteලංකාවට ආපු වෙලාවක ඒ කඩේ හරියෙම රුපියල් දෙදාහක් බිම දාල යන්න. එතකොට හරි
ReplyDelete2,000 or 200,000...?
Deleteහොඳ අදහස ඉයන්!
Delete/කොස්සින්න පාසලට නුදුරින් පිහිටි කුඩා කඩ පේළියේ සුදාලැගෙ කඩේ සහ උප තැපැල් කන්තෝරුව අතර සිසිර සැලූන් (බදාදා දිනයන් හි වසා ඇත!) නම් බාබර් සාප්පුවක් තිබුණ ද අප කිසිදා එහි ගොස් නැත./
ReplyDeleteමේකෙ හිටිය සුදු සරම ඇඳල, ෂර්ට් එක යට කරල, පටිය බැඳපු මාමෙක්. වවුල් දොරක් තිබුණ. ඒකට අල්ලපු කාමරේ උප තැපැල් කන්තෝරුව. ඒකට අල්ලල, මොන්ටිසෝරියක් තිබ්බ. අර උප තැපැල් කන්තෝරුවෙ හිටියෙ, අපේ බාප්පගෙ නෑන. ඔය කඩපේළිය අයිති ඒ කඩපේලියෙම තිබ්බ වින්කලේ කරපු විංනල් සුදාට.
මං පොඩි කාලේ වින්කලයක් නම් තිබුනේ නෑ. සුදා නම් හැඳින්වූ මිනිසාට දූවරුන් දෙදෙනෙකු හිටියා මතකයි. ඔහුගේ නිවස තිබුණේ එක් කෙලවරක.
Deleteඒ දවස්වල මොන්ටිසෝරිය කලේ ඩෝරා. මගේ මල්ලීත් ගියා.
/සේනලාට හෙවත් ගුණසිරිලාට කඩ තුනක් විය. එකක යකඩ බඩු ය. එහි ගියේ නම් ඒ තාත්තා පමණි. /
ReplyDeleteදැන් නම් මේ කඩ තුන තිබුණ තැන තියෙන්නෙ සේන ටෙක්ස්ටයිල්ස්. ලොකු සාප්පුවක්. බඩුත් හොඳයි සාපේක්ෂව...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවෙ හැටියට, ඒකාබද්ධ අරමුදලෙන් මුදල් නිදහස් කරගන්න පුළුවන් මුදල් ඇමතිට සහ ජනාධිපතිටයි. එයින් ජනාධිපතිට පුළුවන් වෙන්නෙ පාර්ලිමේන්තුව විසුරුවාහැරිය අවස්ථාවක විතරයි. එහෙම දෙන්නෙකුට බලය බෙදල තියෙන්නෙ විනිවිදභාවයක් ඇතිවෙන්න. ජනාධිපතිට අමාත්‍යාංශ පවරගන්න පුළුවන් කියන සංශෝධනයෙන් පස්සෙ, දෙන්නම එකෙක් උනහම බඩු බනිස්...!
ReplyDeleteමං හිතන්නෙ ඒකයි ජනාධිපති මුදල් ඇමතිකමත් දැරුවෙ. ඕක පටං ගත්තෙ චන්ද්‍රිකා මැතිණිය.
චන්ද්‍රිකා අවසන් දිනවල මිලියන් ගනං හොර චෙක් ලියා ගත්තා නේද?
Delete//මා එදා කළ යුතුව තිබුණේ, ඒ නෝට්ටුව අම්මාට පෙන්වා, ඇය ලවා එතැන සිටි පිරිසගෙන් එය ඔවුන්ගේ දැයි විමසීම ය// අනේ ඉතිං කට්ටිය නෑම කියයි.
ReplyDeleteමා ගාවත් ඔය ඉතිරිකිරීමේ බැංකු පාස් පොතක් තිබ්බ මුද්දර අලෝපු. දැන්නං NSB POS එකෙන් තමයි සල්ලි දාන්නෙ.
ඒ කියන්නේ දැන් පොෂ් නේද?
Deleteඅර නම අමතක කඩෙනේ මාත් බනිස් කැවා.. සල්ගාදුද?? හරියට මතක නෑ. කළුතර නං සල්ගාදු එකක් තියෙනවා
ReplyDeleteඑක්කො බෙන්තර බෙක් හවුස්. නැත්තං බරණසිරි...
Deleteබෙන්තර තමා වගේ.. යෑස්
Deleteතේගිස් මුදළාලි ගේ කඩේ ද කොහෙද?
Deleteගස්ලබ්බා ඉතාමත් කුඩා කල ගස්ලබු මව සේවය කරන පාසලට රැගෙන යාම සිරිතක්.දිනක් ගුරුමේසය මත තිබූ රුපියල් දෙකක් රැගෙන කැන්ටිමෙන් රටකජු පැකට්ටුවක් කෑවා මතකයි.නමුත් මව නොදැනුවත්ව සිදුවූ ඒ ගනුදෙනුවට ලැබුනු දඬුවම නිසා නැවත නොමනා ගනුදෙණු ගැන ගස්ලබ්බා සිතුවේවත් නෑ.
ReplyDeleteජයවේවා..!!
හප්පා දැන් නම් රුපියල් දෙකකින් චුයින්ගම් එකක් වත් ගන්න පුළුවන් එහෙමත් තැනකින් තමා. අඩුම LED එකකුත් දැන් රුපියල් 2යි.
ReplyDeleteරුපියල් දෙක ඒ කාලේ සෑහෙන්න වටිනා මුදලක්. එදා රුපියල් දෙකට කරපු දේවල් අද රුපියල් දෙදාහකින් කරන්න බැරුව ඇති ලංකාවේ..රසික රුපියලේ කොලයක් දැකල නැහැ කිව්වාම හරිම පුදුමයි..
ReplyDeleteකමෙන්ට් ටික කියවලා හුඟක් නොදන්නා දේවල් දැනගත්ත. අපේ රුපියල බල්ලටම ගියේ අපේ මිනිස්සු අම්බරුවන් පාර්ලිමේන්තු යවපු නිසයි රසික..
එදා තිබුනු අඩුම වටිනාකම ඇති නෝට්ටුව රුපියල් දෙක. ඒක දැකල තුනේ පන්තියෙ ළමයට තිගැස්මක් ඇති වෙන්න ඇති.
ReplyDeleteඅද තියෙන අඩුම වටිනාකම ඇති නෝට්ටුව රුපියල් විස්ස. ඒත් අද තුනේ පන්තියෙ ළමයකුට තිගැස්මක් ඇති වෙන්න දෙදාහෙ නෝට්ටුවක් බිම වැටිල තියෙන්න ඕනැලු. ඒ කියන්නෙ විස්ස ගනන් ගන්නෙ නෑලු.
මේක ආර්ථික උද්ධමනය ම නෙවෙයි.
මා මුලින්ම දෙකේ කොලයක් දැක්කේ මේ පෝස්ටුවෙනි...අසා තිබුනත් දැක තිබුනේ නැත......
ReplyDeleteමුදල් ගැන කතාවේදී අපේ පොඩි මලයා මතක් වේ...ඒ යකා ඉස්කෝලේ යාමට නම් රුපියල් විස්සක අල්ලසක් දිය යුතුමය.. .....ඌ තවම සිටින්නේ දෙක වසරේ...
මේ දෙකේ කොලේ අපටත් හුරු [පුරුදු එකක් ඊට පස්සේ ජේ . ආර් ඇවිත් පහේ, දහයේ සහ විස්සේ කොළ ගැහුවා.. රෝනිද මැල් සහ වර්ණසේන රාසපුත්‍ර නම් දෙක සහිතව
ReplyDeleteමම දෙකේ තුනේ ඉන්න කාලේ ඉඳලා හිටලා දවසක ඉන්ටවල් එකට කන්න පුංචි අම්මා ජන්ෂන් හෝටලෙන් මාළු පාන් අරන් දෙනවා. පොත්ත එක්ක ලොකු අල කෑලි වල රස තවම මතකයි. මම පහේ පන්තියට එනකන් ගියේ ගනේමුල්ල පාරේ තියන රෝමානු එකට.
ReplyDeleteඅවාසනාව නම් මම රුපියල් දෙකේ කොලයක් නොදැක තිබීමයි.
ReplyDeleteමටත් තිබුණ තැපැල් කන්තෝරුවේ මුද්දර අලවන බැංකු පොතක්..
ReplyDelete