Saturday, 2 May 2015

මැයි දින පෙළපාලියක මතකය - Once upon a time on a May Day


මා මුලින්ම නැරඹීමට ගිය මැයි දින පෙළපාලිය ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද්දකි. තවමත් ඡන්දය පාවිච්චි නොකළ අයෙක් වුවද, වයස දහ අට පසුවී තිබූ නිසා, මේ ගමනට මට ගෙදරින් තහනමක් පැනවුනේ නැත.

ඒ වසරේ ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින පෙළපාලිය කිරුලපන පිටියෙන් ඇරඹී, රැස්වීම පැවැත්වෙන කොළඹ නගර සභා පිටිය දක්වා ගමන් කිරීමට නියමිත මාර්ගය පුවත් පතකින් සොයාගත් මම, මධ්‍යාහ්නයේ දී නිවසෙන් පිටවී ගනේමුල්ලට 218 බස් රථයෙන් පැමිණ, එතැනින් දුම්රියෙන් මරදානට ගොස්, නැවතත් 140 බස් රථයකින් කොල්ලුපිටියට ලඟාවී ලිබර්ටි සිනමා හල ඉදිරිපිටට පදිකවේදිකාවේ පෙළපාලිය එනතුරු හිටගෙන සිටි ආකාරය තවමත් මගේ මතකයේ ඇත.

නොසිතූ විලසින් එහිදී මට හමුවූයේ නෑකමින් මට සීයා කෙනෙකු වන, නමුත් මා හිතන විදියට ඒ වන විටත් වයස අවුරුදු පනහ නොඉක්ම වූ, අමරදාස ආතා ය. ඔහු මගේ මව් පාර්ශවයෙන් මිත්තණිය ගේ ඥාති සහෝදරයෙකි.

"පාමංකඩ ආච්චී නැතිවෙලා බව දන්නවා නේද? අම්මලා මල ගෙදර ගියාද?" ඔහු මගෙන් විමසා සිටියේය.

පාමංකඩ ආච්චී යනු මගේ මිත්තණිය ගේ බාල සොහොයුරියකි. ඇගේ මුල් නම මම තාමත් නොදනිමි. ඇය පාමංකඩ ආච්චී වූයේ විවාහයෙන් පසු ඔවුන් ගේ ගම වූ දේවමුල්ලෙන් නික්ම, සිය සැමියා සහ දියණිය සමග පාමංකඩ පදිංචි වී සිටිය නිසාය.

"නෑ, අපි දන්නේ නෑ. අම්මයි තාත්තයි ගෙදර!" මම කීවෙමි.

මේ දිනවල අපට ජංගම දුරකතන තබා නිවෙස්වල දුරකතනද නොතිබුණි. අවමංගල්‍යයන් ගැන ආරංචි ඥාතී මිත්‍රාදීන්ට දන්වන ලද්දේ විදුලි පණිවිඩ මගිනි. අන් අය මේ තොරතුරු දැන ගත්තේ එක්කෝ ගුවන් විදුලියේ ප්‍රවෘත්ති ප්‍රචාරයෙන් අනතුරුව කියවන මරණ දැන්වීම් මගිනි, නැතහොත්, දිනමිණ, ඩේලි නිව්ස් වැනි දිනපතා පුවත්පත්වල පළ කෙරෙන මරණ දැන්වීම් මගිනි.

සිදුවී තිබුණේ, අම්මාට එවන ලද විදුලි පුවත පෙර දින නොලැබීමයි. අවමගුල පැවැත්වුනු මැයි පළමුවෙනිනදා තැපැල් නිවාඩු දිනයක් විය.

මේ වන විට වේලාව සවස දෙක පමණ විය. ආපසු නිවසට ගොස් අම්මාට පණිවිඩය දී ඇය සමග පාමංකඩ අවමංගල්‍යයට සහභාගී වීම ප්‍රායෝගිකව කළ නොහැක්කකි. මා කළ යුතුව තිබුණේ වහාම පාමංකඩ ආච්චී ගේ නිවස කරා යෑමයි.

මැයි දිනය නිසා මෙදින බස් ගමනාගමනය ද සිදුවූයේ තරමක් අකාර්යක්‍ෂම ලෙස බව මම දැන සිටියෙමි. ඒ කෙසේ වුවද, මා කොළඹට පැමිණි මූලික කර්තව්‍යය වූ ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින පෙළපාලිය නැරඹීම මට අත හරින්නට සිදුවෙන බවනම් පෙනෙන්නට තිබුණි.

නමුත් රැවුල ද බේරා ගෙන කැඳ බොන්නට හැකි ක්‍රමයක් හොඳ වෙලාවට මෙන් මගේ සිහියට නැගුණි. එනම්, කොල්ලුපිටිය ලිබර්ටි හන්දියේ සිට පෙළපාලිය එන මාර්ගය ඔස්සේ කිරුළපන පැත්තට ගමන් කිරීමයි. ඒ සඳහා කෙතරම් කාලයක් ගත වේ දැයි සිතමින් ලත වෙන්නට වෙලාවක් ද නොතිබුණි.

"එහෙනම් මං මළගෙදර යනවා!" යැයි අමරදාස ආතාට පවසා මම ඩුප්ලිකේෂන් පාර ඔස්සේ දකුණු දිසාවට ගමන ඇරඹීමි!

මට මතක හැටියට බම්බලපිටිය ප්‍රදේශයේ දී පමණ මට පෙළපාලියේ ඉදිරිය මුණ ගැසුණි. එතැන් සිට මගේ ගමනේ වේගය තරමක් බාල වූයේ, ගමනට වඩා මුල්වරට දකින මැයි දින පෙළපාලිය හොඳින් නරඹන්නට මට අවශ්‍ය වූ නිසාය.

කොල්ලුපිටියේ සිට කිලෝමීටර් පහකටත් වඩා දුරක්, පැය එකහමාරක් පමණ ගත කරමින් පයින්ම ඇවිද ගෙන ගිය මට අවසාන කොටසේ දී ජනතා විමුක්ති පෙරමුණේ පෙළපාලිය මග හැර පාමංකඩ දෙසට දිවෙන පිළියන්දල පාර තෝරා ගන්නට වූයේ ඒවන විට කාලවේලාව අනුව අවසන් කටයුතු ඇරඹී ඇතැයි මට සැක පහළ වූ නිසාය.

අවසානයේ මා, පාමංකඩ ආච්චී ගේ නිවසට ලඟා වූයේ දහඩියෙන් තෙත බරිත වී ඇඟටම ඇලී ගිය සුදු කමිසයෙන් ද, දහඩිය නිසා මඩ තට්ටු වී තිබුණු දුවිලි පිරි සෙරෙප්පු කුට්ටමෙන් ද, තද කුසගින්නකින් ද යුක්තවයි.

"මං පෙළපාලිය ගිය පාර දිගේයි ආවේ. මාර සෙනගක් හිටියේ, කවදා හරි ජේවීපී එක බලයට එයි!" මම මළගෙදර දී හමු වූ පුංචි අම්මලා සමග පැවසුවෙමි.

"පෙළපාලි බැලුවට කමක් නෑ, උඹ කැම්පස් ගිහිල්ලා ජේවීපී හෙම කරන්න යන්න එපා!" අශෝකා පුංචි අම්මා මට අවවාද කළා ය.

-රසිකොලොජිස්ට

(image: http://www.sesatha.co.uk/Event_News/20140501_JVP_London_Mayday/index.htm)

20 comments:

  1. පුංචි අම්මාගේ අවවාදය තිතට පිලිපැද්දා නේද?

    ReplyDelete
    Replies
    1. මා කිසිම දේශපාලන පක්‍ෂයක සාමාජිකයෙකු වී සිට නැත.

      එසේම දේශපාලන පක්‍ෂයකට සම්බන්ධ හෝ ස්වාධීන හෝ ශිෂ්‍ය කණ්ඩායමක සාමාජිකයෙක් ද වී නො සිටියෙමි.

      දේශපාලනමය වශයෙන් වෙනස් මතයක් දැරුවද, විශ්ව විද්‍යාලයේ සිටින කාලයේ ජේවීපී එක සමග මගේ ආරෝවක් නොතිබුණි. එනිසා, මා සිම්පතයිසර් කෙනකු වී සිටියා යැයි පැවසීම උචිත වේ.

      Delete
  2. I also got the same advice as u got from Ashoka punci amma from my bappa before I go to uni. I still believe it is one of the wisest advice I got in my life.
    BP

    ReplyDelete
    Replies
    1. මගේ විශ්ව විද්‍යාල දිවියේ මුල් කාලයේ ජේවීපීය ප්‍රගතිශීලී බලවේගයක් විය. මට ඔවුන් සමග ආරෝවක් නොතිබුණි. ඒ වෙනුවට මා ඔවුන් ගේ සිම්පතයිසර් කෙනෙකු වීමි.

      ඔවුන් ජාතිවාදය හිසට දා ගත්තේ අප අවසාන වසරේ සිටියදී ය.

      පවතින දේශපාලන පක්‍ෂයකට ගෑවීම යනු තම ස්වාධීන මතය පාවා දීමකි. මට නම් අවංකවම සාමාජිකයෙකු විය හැක්කේ මගේ ම පක්‍ෂයක පමණි.

      Delete
    2. ඒකනෙ සෝමවංශ අයින් වුනේ.

      Delete
  3. මං නං හිතන්නේ පුංචි අම්මාගේ අවවාදය ටිකක් හරි කඩන්න අැති කියලා...............

    ReplyDelete
    Replies
    1. එක් එක් ශිෂයින් ගේ අදහස් කෙසේ වූවද, අපේ පීඨයේ දේශපාලන පක්‍ෂවලට සම්බන්ධ කණ්ඩායම් සිටියේ නැත.

      ජවිපෙ, එජාප සහ සිරිලංකා යනාදී පක්‍ෂවලට ගෑවුණු ශිෂ්‍ය කණ්ඩායම් ක්‍රියාත්මක වූයේ ගඟෙන් එහා පැත්තේ පමණි.

      Delete
  4. උගුර ලේ රහ වෙනකන් කම්කරුවට ජය පැතුවයි කියලා මම හිතුවෙ.

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද ඒකාලේ එයා මාර ඩබල් ගේම් එකක් ගැහුවේ දැන් ඔය කටු බැද්දේ චම්පික ලා ගැහුවා වගේ
      දැක්කොත් බුවා නොදක්කොත් එබුවා සංසාරේ අපි තවමත් මහා පාරේ කිව්වේ නිකම් ද

      Delete
    2. @ ගස් ලබ්බ
      ශිෂ්‍යයින් සහ කම්කරුවන් යනු පන්ති දෙකකි. නමුත් අපේ ශිෂ්‍ය කාලයේ මැයි දින ඵෙළපාලිවලට සහභාගී වෙන්නට පක්‍ෂවලට සම්බන්ධ සිසුන් ගියහ. මා කවදත් හිටියේ පේව්මන් එකේ පෙළපාලි නරඹමිණි!

      Delete
    3. @ඇනෝ
      කා ගැන ද මේ කියන්නේ? නිර්මාල් රංජිත් දේවසිරි ගැනද?

      Delete
  5. ලංකාවෙ බොහෝ දෙනෙකු එකළ සිතා සිටියේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සියළු දෙනා ජේ වී පී කාරයන් බවයි. රැවුල කපන්නට උනන්දු නොවීමත් සෙරෙප්පු කබල් පැළඳීමත් එයට එක හේතුවක් වන්නට ඇත. (ඇත්තටම රැවුල කපන්නට උනන්දු නොවන්නේත් සෙරෙප්පු පළඳින්නේත් ඇයි කියා දන්නේ ඒ ශීෂ්‍යයන්ම පමණකි).
    එමෙන්ම, දැන් පොදු මතය නම් සරසවි ශිෂ්‍යයන් පෙරටුගාමීන් බවයි.
    දේශපාලන දැනුමෙන් අති සන්නද්ධව සිටින අපේ මහජනතාවගේ හැටි එහෙමය. ඒත් සිරිකොතේ අතුගාන එකාගේ නමවත් නොදන්නා මගේ දේශපාලන දැනුම ඉතා අඩු බව එක්තරා ඇනෝවෙක් මට පෙන්වාදුන්නේය.

    ReplyDelete
    Replies
    1. අපේ පීඨයේ සිසුන් බහුතරයක් පැළදූයේ සෙරෙප්පු තමයි. කලාතුරකින් සපත්තු ඕනෑ වුනාම ගජේට ගැහැව්වා.

      Delete
  6. ජේවීපී කාරයින්ට කලින් හිටියෙ චේ ගුවේරා කාරයෝ නේද?

    ReplyDelete
  7. පිනක් නේ කරගෙන තියෙන්නේ. පෙළපාලි බැලිල්ල පැත්තක තියලා අවමංගල්‍යයට යාමෙන්.

    අනේ 1977 ට ඉස්සෙල්ලා මම සෑහෙන්න මැයි පෙළපාලි ගිහින් තියනවා. ඒ කාලෙනම් ලැබුනේ බත් පැකට් විතරයි. අරක්කු අපේ ගානේ. ගොන් ආතල් ගැන හිතලා දැන් තනියම මෝඩ විදිහට හිනා යනවා.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ බත් ගොට්ටෙක්ද?

      මෙන්න කාලේ විචාරක ගේ මැයි දින සටන් පාඨය: "අරක්කු නැතුව බත් කන්නම්"

      Delete
  8. මේ සැරේ මැයි රැළි විතරක් නෙවෙයි, බයි රැළි, ටොයි රැළි හෙමත් තිබුණා.

    කිරුළපෙනේ තිබුණෙ නම් මහා ගුටි දන්සැලක්. කිරුළ කෙසේ වෙතත් තරු නම් පෙණුනාලු ඒවා වන්දනාවට ගියපු අයට. සාදු සාදු. මහින්දයි විමලෙයි වාසුයි ලබන ආත්මෙදිම නිවන් දකිනවා මේ කර ගත්තු පුන්‍යකර්මයට!

    ReplyDelete
  9. මේ පාර ජවිපේ මැයි රැළියට විජේදාසගෙන් කීයක් විතර ණය/ආධාර අරගන්න ඇතිද ?

    ReplyDelete
  10. අනේ මන්දා මේ කැම්පස් උන් ඔක්කොම ජෙප්පෝ නැතිනම් පෙරට්ටුවෝ කියන එක කොහෙන් කොහොම නතර වෙයිද තේරුම් ගනියිද කියලා

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.