Tuesday 30 December 2014

ඡන්ද ඔට්ටුවක් - "මෙදා පොටේ දුන්න බැටේ!" : I was an UNPer once


ලංකාවේ සමහරු මැරුණත් යූ.ඇම්.පී ය. තවත් සමහරු මැරුණත් සිරිලංකා ය.

පසුගිය සමයේ නිරතුරු සිදුවූ මන්තී‍්‍රලා ගේ කූඩළු න්‍යායේ හෙවත් කටුසු න්‍යායේ පක්‍ෂ මාරු නිසාත්, ඔවුන් සමග ඒ පැත්තට, මේ පැත්තට ඇදෙන සපෝටර් වර්ගයේ ජනතාව නිසාත්, මේ උග‍්‍ර පාක්‍ෂිකත්වයේ තරමක අඩුවක් අද දකින්නට ලැබුනද, එදා හැටේ හැත්තෑවේ දශක වලදී තත්වය එසේ නොවීය. එක්සත් ජාතික පක්‍ෂය, පාර්ලිමේන්තුවේ ආසන 144 න් අටක් පමණක් ලබා අන්ත පරාජයකට ලක් වූ 1970 මැතිවරණයේ දී ද, ඔවුන් ගේ මුළු ඡන්ද සංඛ්‍යාව ඒ ආකාරයේ සමානුපාතික අඩුවීමකට භාජනය වී නොතිබුණි. ආසන ක‍්‍රමය බැහැරකොට සමානුපාතික ඡන්ද ක‍්‍රමයකට යාමට ජනාධිපති ජයවර්දෙන තීරණය කළේ මේ නිසා යැයි කියවේ.

අද මා සැරසෙන්නේ 1977 මහ ඡන්දය හා සම්බන්ධ කතාවක් ඔබට කියන්නටයි.

මේ මැතිවරණය පැවැත්වෙන විට මට අවුරුදු පහලොවක්වත් සම්පූර්ණ වී නොතිබුණි. ඡන්ද බලය තව දුර වූවද, දේශපාලනයික වශයෙන් අප තරමක් සංවේදී අය වීමු. එකම ප‍්‍රශ්ණයකට තිබුනේ අපේ දේශපාලන මතය අනිවාර්යෙන්ම අපේ දෙමව්පියන්ගේ දේශපාලන මතිමතාන්තර මතම ගොඩ නැගුණු එකක් වීමයි. කොටින් ම කියතොත්, දෙමව්පියන් යූ.ඇම්.පී නම් දරුවෝ ද යූ.ඇම්.පී වූහ. දෙමව්පියන් සිරි ලංකා නම් දරුවෝ ද සිරි ලංකා වූහ. අවුරුදු දහඅට වෙනතුරු ඡන්ද බලය නොලැබෙන්නේ ඇයි දැයි මෙයින් මනාව සාධාරණීකරණය වේ.

වසර 1977 වන විට එවකට පැවති ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වයෙන් යුතු වූ සමගි පෙරමුණු රජය වසර හතක ආණ්ඩු කාලයකින් පසු මුළු රට පුරාම බරපතල අප‍්‍රසාදයකට පත් වී සිටියහ. ඇත්තටම කියනවා නම් 1970 දී ඔවුන් බි‍්‍රතාන්‍ය රැජින යටතේ පාලනය වූ ලංකාණ්ඩුවේ බලයට පත්වුනේ අවුරුදු පහක කාලයකටයි. නමුත් පසුව 1972 දී, ශී‍්‍ර ලංකා ජනරජය බිහි වීමෙන් පසු රජයේ ආයු කාලය නැවතත් අළුත් කරන ලදී. මේ කරුණද, මීට වඩා බරපතල වූ බඩුමිල යනාදී කරුණු ද මේ මහජන අප‍්‍රසාදයට හේතු වී තිබුණි.

රජය විසිරවීමේ නිවේදනය ගුවන් විදුලියෙන් ප‍්‍රචාරය කෙරෙනු ඇසෙන විට මා සිටියේ අපේ වැඩිහිටි වන්දනා නඩයක් සමග පලාබත්ගල පාරේ සමනොල කන්දේ සෑහෙන දුරක් නැග ඉඳිකටුපාන හරියට ලඟාවෙමිනි. අතේ ගෙන ගිය රේඩියෝවකින් ප‍්‍රවෘත්තිය අසා පී‍්‍රති ප‍්‍රමෝදයට පත් වූ පියදාස බාප්පා, එහි සිටි තම මිතුරන් කිහිප දෙනෙකුද සමග එක්වී, "මෙදා පොටේ දෙනව බැටේ!" යනුවෙන් හඬ නැගූ අයුරු තවමත් මගේ මතකයේ ඇත.

ඡන්දය ඉතා උණුසුම් වූ එකක් විය. අප අත උඩින් දිනන බව අපි සක්සුදක් සේ දැන සිටියෙමු.

ඒත් පැරදෙන්නට නියමිතව සිටි පිලේ සමහරුනට එය වැටහී තිබුණේ නැත. මගේ පන්තියේ සිටි අෂාද් පෙරේරා එවැන්නෙකි. වරද ඔහුගේ නොවේ. ඔහුගේ දෙමව්පියන්ගේ ය.

මා කලින් කිව්වාක් මෙන් නිවරදි දේශපාලන අවබෝධයක් නොමැති පොඩි එවුන් වූ අප, නිරායාසායෙන්ම පිළිගත්තේ අපේ දෙමව්පියන් ඇදහූ දෙයයි. අෂාද් ගේ පියා ඉහල පෙලේ සිරිලංකා පක්‍ෂයේ ආධාරකරුවෙකි. රජයට අයිති මාධ්‍ය ආයතනයක ඉහල නිලයක් දැරූ පිළිගත් වෘත්තිකයෙකු වූ ඔහුට, ඇත්තටම කියනවා නම්, ආණ්ඩු පෙරලියෙන් පසු රැකියාව ද අහිමි විය.

ආනන්දයේ ගොඩනැගිල්ලක තුන්වන මහලේ තිබූ අපේ පන්ති කාමරයේ අෂාද් සිටියේ මැද තීරුවේ මුල් පෙලේ එක් කොනක ය. මගේ අසුන හරියටම ඔහු පිටු පසින් විය. ඡන්දයට ආසන්න දිනවල, පාඩම් අතර ඉඩ කඩක් ලැබුනු හැම මොහොතකම පාහේ, අපට ඡන්දය ගැන කතාවට ඉඩ කඩ ලැබුණි.

අෂාද් පැරදීමට නියමිත වූ ආණ්ඩු පක්‍ෂයේ ය. මා ජය ගැනීමට නියමිතව සිටි විරුද්ධ පක්‍ෂයේ ය.

එක් දිනක අපේ මහ මැතිවරණය පිළිබඳ කතාවක් අවසාන වූයේ අප දෙදෙනා අතර ඡන්ද ඔට්ටුවකිනි. ඔට්ටුව වැඩි ගණනකට නොවේ. රුපියල් පහකටය. වෙනත් වචන වලින් කියනවා නම් ආනන්දයේ කැන්ටිමේ බිත්තර පාන් දහයක මිල ය. නැතහොත්, පොදු ජන ආහාරය වූ පාන් ගෙඩි පහක මිල ය.

ඔට්ටුව මෙයයි. මහ ඡන්දයෙන් යූඇම්පීය ආසන 75 කට වඩා දිනුවොත් අෂාද් මට රුපියල් පහක් ගෙවිය යුතුය. යූඇම්පී ආසන ගනන 75 වඩා අඩු වූවොතින් මා අෂාද්ට රුපියල් පහක් ගෙවිය යුතුය. මෙම ආසන ගණන එදා වූ ආසන 144 පාර්ලිමේන්තුවේ රජයක් පිහිටුවීම සඳහා අවශ්‍යවූ අවම සරල බහුතරය විය.

මේ දිනවල "රිවිරැස" පත‍්‍රය මගින් එක් එක් පක්‍ෂයට ලැබෙන ආසන ගණන ගැන කියන්නට තරගයක් විය. ඒ කූපන් පිරවීමේදී අපි යූඇම්පීය ට ආසන සියයකට වැඩියෙන් ලැබෙන බව යෙදුවෙමු. එහෙත්, මා අෂාද් සමග ඇල්ලූවේ අවදානමෙන් තොර ඔට්ටුවකි.

ඡන්ද ප‍්‍රතිඵල අනුව යූ.ඇම්.පී.යට තුනෙන් දෙකක බහුතරයක් හිමි වූ අතර මම ඔට්ටුව උඩින් ම දින්නෙමි.

මෙදා පොටේ දුන්න බැටේ!

-රසිකොලොජිස්ට්

පසු සටහන:
වසර තිස් හතක් ගතවී ජීවිතයේ මැදි වියට එලැඹ ඇති අපේ දේශපාලන අදහස් ද අද වන විට සහමුලින්ම වෙනස් වී ඇති බව කිවයුතු නොවේ.

මට නම් සත්‍යය වැටහෙන්නට පටන් ගත්තේ අවුරුදු දහ අට ලැබීමටත් පෙරය. මා උසස් පෙල විභාගයට සූදානම් වෙන සමයේ පැවති 1980 ජූලි වැඩවර්ජනය අනුසාරයෙන් සියළු මොහඳුර මැකුණි. ඊලඟ වසරේ විශ්ව විද්‍යාලයට යන විට මා තරමක දේශපාලන විඥාණයකින් යුතු වෙනස් පුද්ගලයෙකි.

මා මෙන්ම අෂාද් ද දැන් වාසය කරන්නේ ඕස්ටේ‍්‍රලියාවේ ය. මා වසර 2009 දී එක් දිනක ඔහුට දුරකතනයෙන් කතා කර පරණ සිදුවීම් නැවත මතක් කර අහිංසක සතුටක් ලබා අවසානයේ ඔහුගේ දේශපාලන අදහස් ගැන විමසූ විට මට හැඟුණේ ඔහු එදත් සිරිලංකා අදත් සිරිලංකා ආකාරයේ පොරක් කියා ය. ඒ 2009 දී ය. අද තත්වය කෙසේ දැයි මම අවංකව නොදනිමි.

එදා 1977 දී යූ.ඇම්.පී ය පැත්තට ඔට්ටු අල්ලා රුපියල් පහක් දිනූවද, එම පක්‍ෂයට කිසි දිනක ඡන්දය නොදුන් මම අද කිසිදු පක්‍ෂයක් නැතිව දේශපාලන වශයෙන් අනාථ වී සිටිමි.


රසික සූරියආරච්චි ලියූ "සිව් වසරක් මරදානේ" (2012) කෘතියෙන් උපුටා ගන්නා ලදී. ප‍්‍රකාශනය දයාවංශ ජයකොඩි සමාගම.

(image: http://srilankanexpatriates.blogspot.com.au/2011/04/rare-collection-of-sri-lankan-currency.html)

58 comments:

  1. බ්ලොග් අවකාශයේ ප්‍රෝ-මහින්ද පිළ:

    1. අපේ මාරයා අයියා
    2. මීමුරේ ණය මාමා
    3. අමුමිරිස් රනා
    4. මහා කලු කපු දෙන්නා

    බ්ලොග් අවකාශයේ ප්‍රෝ-මෛත්‍රි පිළ:

    1. පැරායියා
    2. රාජයියා
    3. ඉන්දිකයියා
    4. රසිකයියා
    5. බුවායියා
    6. විචාරක මාමා

    නිගමනය: හොරුන්, දූෂිතයින් තමන් වැනිම හොරුන්ට හා දූෂිතයන්ට සහයෝගය දක්වන අතර හොඳ මිනිස්සු හොඳ මිනිසුන්ට සහයෝගය දක්වති.

    ReplyDelete
    Replies
    1. එතකොට මාතලන් අම්පයර් ද?

      Delete
    2. මරාට කඩේ යන ගොඩට මේ අයත් දාගන්න. මේ සේරම එක වල්ලෙ, තරමක් උගත්, කේන්දර බලන, පිරිත් අහන, සම්මා දිට්ඨිය විතරක් අඩු මැට්ටො

      1. සමරසේකර උන්නැහේ
      2. යකා නොහොත් මධ්‍යසාර මතවාදියා
      3. ඩොස් හුධීක
      4. සා(ටර්) රස
      5. මහ හොරෙන් පිල්ළිය

      Delete
    3. /එතකොට මාතලන් අම්පයර් ද?/

      මාතෙ වැට උඩ නේද? ම්ට පෙණුනෙ එහෙමයි.

      Delete
  2. මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ඉතා භයානක කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. මේ තොරතුරු අනාවරණය කරගන්න මට දුරකථන ඇමතුම් ඉතා විශාල ගණනක් සහ වැදගත් පුද්ගලයන්ට නොදැනෙන පරිදි ඔවුන්ගේ අදහස් දැනගැනීමක් කරන්නට සිදුවුනා. මෙය දැලිපිහියෙන් කිරි කනවා වැනි භයානක ක්‍රියාවක් වුණා. ලැජ්ජා නැතිව සමහර ලොක්කෝ කිව්වා, අපි හොඳින් හෝ නරකින් මහින්දට බලය අරන් දෙන බව. මෙය ඉතා භයානක තත්වයක් බව මා දැඩිව අවධාරණය කරනවා. මගේ ජීවිතයට එල්ලවියහැකි තර්ජන නිසා මා දන්නා සියල්ල මෙහි හෙළි කරන්නට බැහැ. නමුත් අපි ජනවාරි 8 වැනිදායින් පසුව ඉතා භයානක තත්වයකට මුහුණ දෙන බව කියන්නට පුළුවන්. ජනාධිපතිවරණය සාධාරණව නොපැවැත්වීමටත්, ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගතහොත්, භයානක කුමන්ත්‍රණයක් මගින් එතුමා ඝාතනය කර හෝ බලය අල්ලාගැනීමටත්, සැළසුම් සකසා තිබෙනවා. බීමත්ව කටමැත දොඩවන පුද්ගලයකු කීවා නම් එය ගණන් නොගෙන ඉන්නට තිබුනා. නමුත් මා මෙම තොරතුරු හොයාගත්තේ ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග මගින්. රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග, ඉතා පැහැදිළිව තහවුරු කර තිබෙනවා, ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරදින බව. මේ රටේ යුක්තිය සාධාරණත්වය අගයන ජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ මේ ගැන අවදියෙන් සිට, අසාධාරණයට එරෙහිව, අවශ්‍ය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වන ලෙසයි.

    ReplyDelete
  3. නෝටිස්කරල තියනවද 70 ගණන්වල ලමාකාලය ගෙවූ අය සෑහෙන ගාණක් තාමත් SLFP එකට අකමැති බව? සමහරවිට 80 ගණන්වල එසේවූ අය anti-UNP ඇති.

    බොරලැස්ගමුවේ Azad පෙරේරාද? කොළඹ යුගයේ කවියෙක්ගේ පුතෙක්? (Azad = Free )

    //මම අද කිසිදු පක්‍ෂයක් නැතිව දේශපාලන වශයෙන් අනාථ වී සිටිමි//
    ලමා කාලයේ සිට අතිශය individualistic වීමේ ( හරියටම හරි සිංහල වචනෙ මොකක්ද ex-KK?) රෝගයෙන් පෙලෙන මට නම් ඒ අනාථභාවය හැර වෙන විකල්පයක් නැත.
    මා චන්දය දුන් අවස්ථාවල එය දුන්නේ එක් පාර්ශවයකට ඇති වැඩි ඇකමැත්ත නිසා මිස චන්දය දුන් පාර්ශවයට ඇති විශාල කැමැත්තකින් නොවේ. පොඩි වෙනසකට පමණි.
    ප්‍රොටෙස්ට් වෝට් කියන්නේ ඒකද රසික?

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න, Azad රසිකට වඩා අවු 2ක් විතර සීනියර් වෙන්න ඕනැ.

      Delete
    2. මේ නම අශාද් ලෙස නිවැරදි විය යුතුයි!

      Yes he is the man. His grand father was the poet.

      Delete
    3. individualistic කියන්නේ ඒකපුද්ගලවාදී කියලා කියන්න හැකියි නේද? ඒකත් එක දේශපාලන දර්ශනයක් තමයි!

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. how about voting for a party not bcoz i like it much but bcoz i dislike its opponents a lot?- pra jay

      Delete
    6. ප්‍රා, අද මෛත්‍රීට දෙන බහුතරය දෙන්නෙ මිනිහට කැමැත්තට වඩා මහින්දට ඇති අකමැත්ත නිසා. ඒකෙ වැරැද්දක් නෑ, අර දෙන කෙනා නම් වඩා අඩු නරක. ඕක ජෙප්පො 2005දි කිව්ව. කවුරු හරි "එදා විමළෙගෙන්" ඇහුව ඇයි කදිරගාමර් අගමැති කරන්න මහින්දට විරුද්ධව වැඩකල ඔබ අද මහින්ද ජනපති කරන්නෙ කියල. මිනිහ කිව්වෙ අපිට රනිල්ට දිනන්නට ඉඩ නොදී මහින්දව දිනවීම නමැති "වඩා අඩු නපුර" ජාතියේ නාමයෙන් තෝරගන්න සිද්ධවෙලා තියෙනව කියල.

      Delete
    7. ඔය lesser evil කියන එක තෝරා ගැනීමත් රුෂනල් ක්‍රියවක්. විකල්පය ඡන්දය වර්ජනය කිරීම. අර ගංගොඩවිල සෝම යෝජනා කළේ 1999 දී!

      BTW, ඕනෑම රුෂනල් මනුස්සයෙකුට දේශපාලන දර්ශනයක් තියෙනවා. ඒක එක රැයෙන් හැදෙන එකක්වත්, එක රැයෙන් වෙනස් වෙන එකක්වත් නොවෙයි. හෙමින් වෙනස් වෙන එකක්.

      සමහර කාලෙට ඒ දරශනය දේශපාලන පක්‍ෂවල ප්‍රතිපත්ති සමග යම්තාක් දුරට සමපාත වෙනවා. එතකොට ඒ පැත්තට ප්‍රායෝගිකව කැමැත්තක් ඇතිවුනත්, දේශපාලන පක්‍ෂවල ක්‍රියා නිසා නැවතත් දුරස් වෙනවා.

      Delete
    8. ප්‍රා ජේ ගේ කතාව වැරදියි. 70 ගණන් වල ළමා කාලය ගෙවපු මං 77දීත් යූ ඇන් පී එකට විරුද්ධයි. ඒ රසික කියනව වගේ පවුල් පසුබිම අනුව. දේශපාලනේ තේරිලා නෙවෙයි. හැබැයි මං එහෙම වුනු එක ගැන පසු කාලයෙදි ආඩම්බර වුනා. ඇත්තටම මට මතක විදිහට 1980 විතර වෙද්දි “මං යූ ඇන් පී“ කියල කියන මනුස්සයෙක් සාමාන්‍ය ජනතාව අතරින් හොයා ගන්න බැරි වුනා මට මතක හැටියට.

      ඉන්දික උපශාන්ත කියන කතාන ඇත්ත. අද බහුතරයක් මෛත්‍රිපාල දිහා බලා ඉන්නෙ මහින්දට තියන අකමැත්ත නිසා. කොහොමත් මෙතනදි මෛතුිපාල කියන්නෙ පුද්ගලයෙක් නෙවෙයි බලවේගයක්. එයාට කොහොමටත් තනි තීරණයක් ගන්න බෑ, තවත් රජ කෙනෙක් වෙන්න බෑ. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය.

      Delete
  4. අපේ ගෙදරත් තිබුනේ ඔය ලෙඩේමයි.. හැබයි අපට ඕන දෙයක් කියන්න හිතන්න ලියන්න නිදහස තිබුනා.. ඒක මාර වටිනවා.. මේකෙත් චෙන්ජ් එකක් වෙයි වගේ... ඒත් දැන්ම ප්‍රෙඩික්ෂන් කියන්න බෑ.. මේකේ අන්තිම දවසත් තීරණාත්මක දවසක්.. කොහොමත් මිනිස්සු කලින් ගත්ත තීරණෙත් වෙනස් කරන්නේ නෑ ලේසියෙන්..

    ReplyDelete
    Replies
    1. නමුත් මරා නිකන්ම යයි කියලා හිතන්න බෑ.....
      ඉංදියාවෙන් බලු නට්ටො ගේන්නේ ඇයි අප්පා උඩින්ම දිනනවා නම්?

      මාතලන්ට මේ ගැන කවියක් එහෙම ලියන්ට හතෙන්නේ නැද්ද?

      Delete
  5. මාත් පොඩි කාලේ මුද්දරයක් උඩ අත්සන් කරල මොකක් හරි ඔට්ටුවක් දැම්ම මතකයි.. හැක්..

    ReplyDelete
    Replies
    1. එදත් අද වගේම වැරදි පිලට වෙන්න ඕනෑ!

      Delete
  6. මාත් ලියනව මේ ජාතියෙ එකක්.

    ReplyDelete
    Replies
    1. මං හිතුවේ ලියනවාය කිව්වේ ඡන්ද ඔට්ටු කතාවක් කියලනේ. ලියලා තියෙන්නේ වෙනත් ආරක එකක්.
      http://raj1st.blogspot.com/2014/12/blog-post_30.html

      Delete
  7. කිරිබණ්ඩා සේනාරත්න30 December 2014 at 15:17

    මගේ පළමු ඡන්දයෙන් අවුරුදු 7කට පසු 2001 දී හූ එන් පී ආණ්ඩුවක් පත්වූ බව චිත්තප්‍රීතියෙන් යුතුව මේ අවස්ථාවේ සඳහන් කරමි :D

    ReplyDelete
    Replies
    1. අනේ පව්! වැඩිය ආයු තිබුණේ නෑ නේද?

      Delete
  8. සල්මන් ඛාන් හම්බයා ඡන්ද ප්‍රචාරණයට යොදා ගැනීම ගැන විරෝධය දක්වන පෙළපාලිය අද සවස 2.00 ට අරලියගහ මන්දිරය අභියසදී...

    සිංහල බෞද්ධ අයිතීන් දිනා ගැනීම පිණිස බොදු බල සේනාව සමඟ එක් වන්න!

    දිලන්ත විතානගේ
    ප්‍රධාන විධායක නිලධාරි
    බොදු බල සේනාව

    ReplyDelete
  9. ඈ රසික
    බොරුවක්නෙ කරන්නෙ.උප්පත්තියෙන්ම ලැබුන පක්ෂයෙ තවම ඉන්නවනේද? පුරුෂ පක්ෂය.

    ReplyDelete
    Replies
    1. ඒ පක්‍ෂයත් පරාදයිනේ.
      ලංකාවේ වගේම ලෝකෙත් ගැහුණු පක්‍ෂයට තමයි ඡන්ද වැඩි!

      Delete
  10. දේශපාලන කතා හොඳයි මේ වගේ ලියනවනම්.. මාත් දාන්නෝනෙ මේ පාර ඔට්ටුවක්.. මරා දින්නොත් මං රට ඇරල යනවා.. මෛත්‍රී දින්නොත් දැන් කරන රස්සාව දාල යනවා (යන්න වෙනවා හැක් හැක්.. ) කවුද එන්නේ එහෙම ඔට්ටුවකට?

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ දැන් වැඩ කරන්නේ මහින්ද ගේ මීඩියා යුනිට් එකේද?

      Delete
    2. මරා දින්නොත් රට ඇරල යන එක තමයි එකම විකල්පය. නැතුව මේ රටේ හිටියට රටක් ඉතුරු කරන එකක් නෑ 2020 වෙද්දි.

      Delete
  11. රසික, මම දන්න තරමින් අර්ෂාද් සහ අzසාද් මිස අෂාද් නම් මුස්ලිම් නමක් නැහැ! ඔබේ මිතුර සිංහලනම්, ඒ අමුතු නම මොකද්ද කියල දැනගන්න හොයල බලන්න වටිනව!

    70-77 කාලෙ ළමා/තරුණ විය ගෙවපු බහුතරය පසුව අලි වෙන්නත්, 83-89 ළමා/තරුණ බහුතරය පුටු වෙන්නත් හේතු උනේ සීනුව සහ අත!

    දැන් මට පොඩි ප්‍රස්නයක් තීනව. 77 මහ ඡන්දෙ තිබිල තියෙන්නෙ 21.07.1977. එතකොට රසිකල සිරීපාදෙ ගියෙ අවාරෙද?

    ReplyDelete
    Replies
    1. මේ නම අශාද් ලෙස නිවැරදි විය යුතුයි!

      අශාද් ගේ පියා පුවත්පත් කලාවේදියෙක්. සරසවිය කතෘවරයෙක්. සීයා කවියෙක්. කලාත්මක, නව ආරේ නමක් වීම පුදුමයක් නොවේ.

      එහෙම බලනකොට මට තාම මට වඩා වයස රසික කෙනෙක් මුණ ගැසීත් නෑ.

      Delete
    2. සිරීපාදේ ගියේ අවාරයේ නොවේ. පාසල් නිවාඩු කාලයක වගෙයි මතක. ආණ්ඩුව විසුරුවපු දවසේ තමයි අපි පලාබද්ගල හිටියේ. ඡන්දේ තිබුණේ මාස දෙක තුනකට පසු.

      Delete
    3. ආණ්ඩුව විසිරුවන ලද්දේ මැයි මාසයේ මුල. මට මතකයි එදා (ඒ වන විට අළුතින් පටන් ගෙන තිබුණු) දවස පත්තරයේ මුල් පිටුව. හැබැයි ඒ පාසල් නිවාඩු කාලය නම් නෙවෙයි. මොකද මම දවස පත්තරේ දුටුවේ පාසලට යන ගමන් බව හොඳටම මතකයි. එදා බස් එකේ හිරවෙලා යනකොට මල පැණපු අන්කල් කෙනෙක් බැණ බැණ ගියා අපි හත් අවුරුද්දක් තිස්සේ හිරවෙලා යනවා අදින් පස්සෙ වත් ඒක ඉවරයි කියලා.

      ඒ කියන්නේ රසික කිව්වේ බොරුවක්ද එහෙම නැත්නම් මතකයේ ටැපලවිල්ලක්ද?

      Delete
    4. Azad - " free " in hindi / urdu - pra jay

      Delete
    5. රසික, මගෙ පටලැවිල්ලට හේතුව මේක.

      මෙන්න මෙතන තීන විදියට, 1977 මැයි 3 තමයි පෝය, ඒ කියන්නෙ වෙසක්. එතකොට පාර්ලිමේන්තුව විසුරවල තියෙන්නෙ 77 මැයි 18. ඒ කියන්නෙ වෙසක් පෝයට පස්සෙ. ශ්‍රීපාද උඩ මලුවෙ තියෙන දේවාභරණ සහ පිළිම වෙසක් දවසට පහලට ගේනව වන්දනා සමය අවසන් කරල. ඉන් පස්සෙ යන්නෙ කඩ ගලවන මිනිස්සු විතරයි. ඒකයි මම ඇහුවෙ ඔබ ගියෙ අවාරෙද කියල.

      මම හිතන්නෙ "විසිරවීම ගැන ඉඟිය හෝ මුල්ම පුවත" මැයි මුල පත්තරේ/ ගුවණ්විදුලියෙ යන්න ඇති, ඉහත "ඇනෝ at 00:37" කිව්ව වගේ. අනික මැයි 1 ඉරිදාවක් නිසා ඒ නිවඩුව සඳුදට දී ( හෝ නොදී ), 3 සහ 4 වෙසක් නිවඩුව සමග ආ ලෝන්ග් වීක් එන්ඩ් එක පවුලෙ අය ශ්‍රීපාදෙ යන්න තෝරගන්න ඇති.

      දසක 4 විතර පරණ සිද්ධියක දින හෝ සිද්ධි පැටලීම අතිශය සාමාන්‍යයි. අඩුගණනෙ සිද්ධිය මතක තියාගෙන හිටපු එකම මදෑ! පිළිතුරට ස්තූතියි ඇනෝ මිත්‍රයන් දෙදෙනටත්!

      Delete
    6. Anonymous - 31 December 2014 at 00:37

      මගේ මතකය මෙයයි.

      එදා රජය පැවතුනේ හදිසි නිතිය යටතේයි. රජය විසුරුවා හැරිය පසු හදිසි නීතිය අවසන් වුනා. දවස පත්තරේ පටන් ගන්නට ලැබුණේ ඊට ටික දවසකට පස්සෙයි. ඡන්දේ තියෙන්න ඇත්තේ ඊටත් පස්සේ.

      බාප්පා සිරීපාදේ පාරේදී මෙදා පොටේ දෙනව බැටේ කීවේ ඡන්දයක් ලඟ එන බව වැටහුණු නිසයි.

      Delete
    7. මා කේ.එම්.ඩී සිල්වා ගේ ඉතිහාස පොතෙන් සොයා ගත් පරිදි, පෙබරවාරි 19 රැස්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තුව ඊට සතියකට පෙර හදිසියේම කල් දමා තියෙනවා මැයි 19 දක්වා. මැයි 22 තමයි රජයේ අවසාන දිනය (ජනරජය පිහිටුවා වසර 5ක් පිරීම). නැවත ඒ පාර්ලිමේන්තුව කිසිදා රැස්වී නෑ, කෙලින්ම ඡන්දෙට ගිහින්.

      අපි සිරීපාදේ ගියේ ඒ කියන්නේ පෙබරවාරියේ. මට 1976 දෙසැම්බරයේ සිට 1977 මාර්තු 25 දින ආනන්දයේ ඉගෙනුම ඇරඹූ දින දක්වා නිවාඩු තිබුණා.

      දවස ඇරඹුනේ පෙබරවාරියේ සිට ආණ්ඩුවට තුනෙන් දෙක නැතිවී හදිසි නීතිය නැතිවුණු නිසා විය යුතුයි.

      Delete
    8. රසික, ස්තූතියි පොතේ ලින්ක් එකට! මම ඔය පොත ගැන මුලිම්ම දැක්කෙ පොඩි කුමාරිහාමිගෙ පෝස්ට් එහෙක. ඒත් මම හිතුවෙ නෑ මේතරම් මෑත ඉතිහාසයක් වෙනකල් එහි ලියල තිබ්බ කියල. කියවන්නම ඕන, මොකද මේදවස්වල ජනප්‍රියම සබ්ජෙක්ට් එක "ඉතිහාසය".

      දැන් සියල්ල පැහැදිලියි. දින අනුව බාප්පට ලැබුනෙ "කල් තියපු" ආරංචිය. හොඳ දේශපාලන දැනුමක් තිබ්බ ඔහු දැනගත්ත ඒ අවසන් ගමණ තමා කියල!

      Delete
    9. ඔය පොත මං ගත්තේ 1998 දී බම්බලපිටියේ විජිත යාපා එකෙන්. දැන් දෙපාරක් පරිශීලනය කළා සූචිය හරහා.

      Delete
    10. ආණඩුව විසුරුවල තිබුනෙ ඉස්කෝලෙ පැවැත්වුන දවසකට කළින් දා රෑ දොළහට කියල මට ස්ථිරව මතකයි. වෙසක් දවස ගැන මතක නෑ.
      හැබැයි ශ්‍රී ලංකා කාරයෝ කළින් දැනගෙන ඉඳල තියනව විසුරුවන බව. මොකද අපි ඉස්කෝලෙ යනකොට ශ්‍රී ලංකා පෝස්ටර් වැදිල තිබුන.

      Delete
  12. මගේ පැත්තෙන් බැලුවොත් මම ඉපදෙනකොට අපේ අප්පච්චි pro unper. අපේ ගෙදර පක්ශේ කාර්යාලයක් වගේ. ඒත් අපේ ලොකු අප්පච්ච්චි pro freedom party. අපි බලංගොඩ හරිය ;) ඒ දෙන්න කවදාවත් නෝක්කාඩුවකින් ඉන්නවා මම දැකලාම නෑ. ඊටත් වඩා ලොකු අප්පච්චි දන්න කියන කාලේ ඉඳන් ක්ලිෆඩ් අන්කල්ගේ හොඳම යාළුවා මියෙන මොහොත වෙනකම්.
    අපේ පරම්පරාව ඇටෙන් පොත්තෙන් එනකොට අයියා ජේ වී පී. අම්මාට පක්ශයක් නැතත් ගෙදර සිටුවේශන් එක හැන්ඩ්ල් කලා. අම්මෝ ඒ කාලේ :) 87 89. මුලින් අප්පච්චිගේ ගෝලයා වුන මම ඒ වෙනකොට අපේ අයියාගේ ගෝලයා.
    ඒත් මටම කියලා කවදාවත් පක්ශයක් තිබුනේ නෑ. 2005 මහින්ද ගේන්න අපි සෑහෙන්න බැහැලා වැඩ කලා. ඒ වෙනකොට ඔහු අපේ හිතවතෙක්. ලංකාවේ දේශපාලනය ගැන මෙලෝ මලදානයක් නොදැන හිටියට අපි එහෙම කලා. ඒත් 2010 වෙනකොට මහින්දව මට නම් එපා වෙලා. ඒකට හේතුව වුනේ ඔහු සරත් ෆෝන්සේකා ට දක්වපු හිරිහැර. යුද්ධය විකුනන් කෑම. ඒත් අන්තිමකාලේ මම ඇන්ටි මහින්ද. පක්ශ බේදයක් මට නෑ. ඒත් රට විනාශයට පත්වෙන්න ඔහු සෑහෙන වගකීමක් ගත්තා කියන තැන මම ඉන්නවා.
    පෞද්ගලික හිතවත්කම්, යාළුකම් ඒකට කොහොමත් බලපාන්නේ නෑ.

    And here I am a Hardcore Leftist

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපි හැමෝටම දේශපාලන පක්‍ෂයක් තියෙනවා, ඒ ගැන තමයි අර ප්‍රා ජේ කියලා තියෙන්නේ.

      සමහර කාලෙට අපේ ඒ පක්‍ෂයේ ප්‍රතිපත්ති සහ ඇත්ත දේශපාලන පක්‍ෂවල ප්‍රතිපත්ති යම් තාක් දුරට සමපාත වෙනවා. නැවත දුරස් වෙනවා!

      Delete
  13. අවුරුදු 18 පිරීමෙන් පසු මගේ පළමුවැනි ඡන්දය 1977 දී යූඑන්පියට පූජා කලෙමි. මැතිවරණයට මහන්සිවී වැඩ කලෙමි. ශ්‍රීලංකා කාරයෝ අපිට දෙහිඕවිට නගරය මැදදී බිම පෙරලාගෙන පහර දුන්හ. නමුත් අපි ජයගත්තෙමු. පෙළපාලි ගියෙමු. එවකට සිටි හොරෙක් නොවන එහෙත් පුහුල් වගේ ගුණත් නැති අගුණත් නැති, පී.සී.ඉඹුලාන එජාප මන්ත්‍රී/ඇමතිවරයා අපිට කාගෙන්වත් පලිගන්න ඉඩ දුන්නේ නැත.

    රස්සාවල් ලැබුනත් එව්වා ලෙවකන රස්සාවල් බව තෙරුම්ගන්නවිට ජේආර් උන්නැහේ රට කණපිට හරවා හමාරය. එදාසිට කිසිම එකෙකුට ඡන්දය නොදීසිට චන්ද්‍රිකාට දුන්නෙමි. නමුත් චන්ද්‍රිකාද අන්තිමේදී අපට කොකා පෙන්නුවාය.

    අද?...............මේ සැරේ නම් කාසියක් උඩදමා, නෝනා වැටුණොත් ඡන්දය කාටවත් නොදෙමි. පොල්ල වැටුණොත් ඒත් කාටවත් ඡන්දය නොදෙමි. කාසිය දාරයෙන් කෙලින් හිටියොත් ඡන්දය දෙමි.

    ReplyDelete
    Replies
    1. ජවිපේ සිට යූඇම්පීයට, නිකං කලු ලකී වගේ නේ!

      ඔව් 1971 සිට 1977 දක්වා ඡන්දේ තිබුණේ නෑනේ, දැදිගම අතුරු මැතිවරණය වගේ ඒවා හැර. ඒකත් මං හිතන්නේ 1973.

      ඔන්නොහෙ දෙන්න විචාරක සිරාටත් ඡන්දයක්!

      Delete
  14. ලස්සන කතාව. 1977 මන් හතේ පන්තියේ. තාත්තා ශ්‍රී ලංකා කාරයා . මන් ඉගෙන ගත්තේ එතකොට රාජකීය විදුහලේ නිසා ජේ ආර් ට සපෝර්ට් කලා. මොකද කොලේජ් වාදය නිසා. තමන්ගේ ඉස්කෝලෙන් රටේ අගමැති කෙනෙක් එනවා දකින්න. උසස් පෙළ කරනකොට ජවිපෙ ට තමා සහය. සෝවියට් දේශයට ගිහාම මාක්ස්වාදය එපා වුණා. දැන් එංගලන්තයේ ජිවත් වෙන නිසා ආයිත් මාක්ස්වාදියෙක් වෙලා. එකම හේතුව අන්තිමට එන්නේ සමාජවාදයක් කියල තේරුමක් තියෙනවා.
    //මම අද කිසිදු පක්‍ෂයක් නැතිව දේශපාලන වශයෙන් අනාථ වී සිටිමි.// මම දැනට ලංකාවේ මාක්ස්වාදී පක්ෂ දෙක තුනකටම සහයෝගය දෙනවා. නමුත් ඒ හැම එකකම ප්‍රශ්න වැඩියි. ඒ නිසා මේ වාක්‍යය හුඟක් සාධාරණයි.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ඒ කාලේ Royal Vs St Bridget කියලා පාසල් අතර වලියක් තිබුණාද? ;-)

      මාත් කැමතියි අද ඉන්න වාමාංශික කණ්ඩායම් හතරකටම. ලංකාවේ හිටියා නම් ඡන්දය දෙන්නේත් ඒ විදියට තමයි.

      Delete
    2. එහෙමමත් නැහැ.ඔය කොලේජ් වාදය දැනුත් තියෙනවනේ. ෆොන්සේකා, ගොට ගියේ ආනන්දෙට , MR තර්ස්ටන් වගේ. ඒ දවස් වල රැල්ලක් තිබ්බනේ. අපේ පන්තිවල ජේ ආර් , ලලිත්, රනිල් කියල රැල්ලක් තිබ්බ. පොර දිනුවට පස්සේ ආවත් එක්කනේ. හැබැයි ඔය බෙදීමත් මහා බොළඳ එකක්.

      Delete
  15. හැත්තැ හතේ මං හිටියෙ හතේ පංතියෙ. අපේ පංතියෙ කොල්ලන්ව කටින් බය කරගෙන හිටියෙ. අපේ තාත්තා සමසමාජ. ඒ නිසා මං හිටියෙ වාමාංශික එක්සත් පෙරමුණේ. අපේ පංතියෙ කොල්ලොත් මං නිසා ඒකෙ තමයි හිටියෙ. පංතියෙ කොල්ලො අතර හිටියෙ එක යූඇම්පීකාරයයි. ඌත් එක්ක ගැටුම් නිසා අන්තිමට ඌ සී පන්තියට ගියා. අපි හිටියෙ ඩී එකේ. වාමාංශික එක්සත් පෙරමුණට එක සීට් එකයි ලැබුණේ. බඩ යන්න පැරදුණා. අර සී එකට ගිය කොල්ලා ටවුමෙ එකෙක්. හැමදාමත් නිවාඩු දෙන දවසට අපි සී පන්තියත් එක්ක ගහ ගත්තා. ඉස්කෝලෙදි අපි ජාමෙ බේරා ගන්නවා. ටවුමෙදි උන් අපට ගහනවා.

    ReplyDelete
    Replies
    1. ඕකනේ අන්තර්ජාලෙත් වෙන්නේ. බුකියේ, බ්ලොග් වල ඔක්කොම වාමාංශික, ආණ්ඩු විරෝධී. එළියේදී අම්බානක කනවා. හේ හේ

      Delete
    2. පැරාට එදා ඇත්තට ම ගුටිකාලා පුරුදු එක අද වර්චුවල් ගුටි කන්න හොඳ පෙරහුරුවක් වෙන්න ඇති.

      මගේ මතකයේ හැටියට 1977 දී වාමාංශිකයින්ට එක සීට් එකක්වත් ලැබුනේ නෑ.

      Delete
  16. රසික, වෙන දේ වෙයි. කළ යුත් දේ අපි කරනවා. අදනම් මම කමෙන්ට් කලේ සුබ පතන්න.
    සිංහල බ්ලොග් ලෝකයේ මම ඉතා ආසාවෙන් කියවූ අඩවියක් නිමැවූ “කතන්දර“ සහ ඔහුගේ පවුලේ සැමට ලබන්නාවූ නව වසර ලංකාවේ දේශපාලන දහජරාව ගැන කතාකරන්නවත් බැරි තරම් ශාන්ත සුන්දර නිර්මල නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ජනවාරි නමවෙනිදා දක්වා අවුරුදු සුභ පැතුම් කල් දැමේ....!
      http://rasikalogy.blogspot.com/2015/01/my-new-year-started-nicely-how-about-you.html

      .

      Delete
  17. කකා ලොජිස්ට්................

    අවුරුද්දක් ලැබුවා දැනුන් නැතුවා.... ඒහෙනම් අපි ඔබටත් ඔබේ පවුලේ සැමටත් සුභම සුභ නව වසරක් වේවා කියලා හිටං සුභ පැතුවා ඔන්න හරිය..........

    ReplyDelete
    Replies
    1. ජනවාරි නමවෙනිදා දක්වා අවුරුදු සුභ පැතුම් කල් දැමේ....!
      http://rasikalogy.blogspot.com/2015/01/my-new-year-started-nicely-how-about-you.html

      .

      Delete
  18. ////////////[රුපියල් පහ යනු] පොදු ජන ආහාරය වූ පාන් ගෙඩි පහක මිල ය.///////////////////

    වැරදි යි...... 1977 දී පාන් රත්තලක මිළ ශත 35 යි. එතකොට රුපියල් පහක් කියන්නේ පාන් ගෙඩි 14 ක පමණ මිළ යි.

    ReplyDelete
    Replies
    1. චෙක් අගේන්.
      යූඇම්පී ආණ්ඩුව පිහිටවූ පසු පාන් ගෙඩියක් ශත හැට දක්වා අඩු කරන ලදී. එනම් කාලක් ශත පහළොවක් විය.
      ඊට පෙර සිරිලංකා ආණ්ඩුව කාලේ පාන් කාලක් ශත විසි පහක් හෝ විස්සක් විය.
      ඒ මගේ මතකයයි.
      කරුණාකර නැවත සොයා බලන්න.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.