පසුගියදා ලංකාවේ පැවති සිනමා උළෙලකට සමාන්තරව, දෙරණ රූපවාහිනී නාලිකාවේ ප්‍රචාරය වුණු සාකච්ඡා වැඩ සටහනක් දැන් දෙසතියකට පමණ පෙර සයිබර් අවකාශයේ සංසරණය විය. ඒ සාකච්ඡාවේ මූලික මාතෘකාව වූයේ ඓතිහාසික කතා පුවත් රැගත් නිර්මාණකරණය පිළිබඳ සිංහල සිනමාවේ ඇතිවූ මෑතකාලීන ප්‍රවණතාවයි.
මම ද ඒ සාකච්ඡාව නරඹා රස වින්දෙමි.
ඒ වැඩසටහනේ වීඩියෝවට අදාළ සබැඳිය සහිත පණිවිඩ සයිබර් අවකාශයේ මුදා හැර තිබුණේ "ජැක්සන්ට ඇඩ්‍රස් නැති වුණු සාකච්ඡාව" යන මාතෘකාව සමගිනි. එයින් අනියමින් වූයේ ජැක්සන් ඇන්තනි ගේ නවතම සිනමා නිර්මාණය පිළිබඳව නොමිලයේ ප්‍රචාරයක් ද ලබා දීමයි.
ඒ සති දෙකකට පමණ ඉහත දී ය.
එයින් ජැක්සන් ඇන්තනි වැඩසටහනේ අවසානයේ දී පැවසූ දේ රැගත් කොටස පමණක් උපුටා ගෙන අවිචාරකයින් විසින් කපා දමන ලද ජැක්සන් ගේ පැහැදිලි කිරීම යන මැයෙන් සති අන්තයේ නැවත ප්‍රචාරයක් දී තිබුණි.
මෙන්න ඒ වීඩියෝව.
https://www.facebook.com/sudathanthonys/videos/10204940200215777/
මුලින්ම කිව යුත්තේ මේ කොටස කපා දමා තිබුණා ය කීම සාවද්‍ය බවයි.
මෙහි දී ජැක්සන් ඇන්තනි අබා චිත්‍රපටය නිෂ්පාදනයේ පසුබිම පිළිබඳව පවසන බොහෝ දේ නිවරැදිය. ඔහු ම පවසන පරිදි ඒවා ඔප්පු කළ හැකි දේ ද වේ.
නමුත් පාසල් විෂය නිර්දේශයේ ඉතිහාසය විෂය පිළිබඳව ඔහු කියන බොහෝ දේ සාවද්‍ය වේ. මේ පුද්ගලයා එම සාවද්‍ය ප්‍රකාශයම විවිධාකාරයෙන් විවිධ තැන්වල කියා දැන් එය බහුතරයක් ළමා ළපටියන් පිළිගන්නා දෙයක් බවට පත්ව ඇත.
මුලින්ම ජැක්සන් ඇන්තනි තමන් ගේ අබා චිත්‍රපටය ගැන පවසන කරුණු ගැන සලකමු.
ඔහු ඉතිහාසය ගැන කතා කරන්නට පටන් ගත්තේ දැනට දශක දෙකකට පමණ පෙර සිටය. එය ඔහු ගේ විනෝදාංශය, ප්‍රියතම විෂයය වෙන්නට ඇත. නමුත්, එය ඔහු ගේ රුකියාව ද විය. තමන් කැමතිම දෙයක් තම බඩ රස්සාව ලෙස කරන්නට ලැබීම තරම් වෙනත් වාසනාවක් මේ ලොවේ නොවේ!
මා වරින් වර ලංකාවට පැමිණි අවස්ථාවන් හි දී, ඔහු විසින් මෙහෙයවනු ලැබූ, නිෂ්පාදනය කරනු ලැබූ, විවිධ රූපවාහිනී වැඩ සටහන් නරඹා ඇත්තෙමි. ඒවා මා සිත්ගත් බව කිව යුතුය.
ඒ ප්‍රකාශයේ දී ජැක්සන් ඇන්තනි විසින් සඳහන් කරන සරසවිය පුවත්පත සමග කරන ලද සාකච්ඡාව ද මම කියවා ඇත්තෙමි.
ජුලියට් ගේ භූමිකාව සිනමා නිර්මාණයෙන් පසු වෙනත් නිර්මාණයක් නොකළේ මන්දැයි විමසනු ලැබූ විට ජැක්සන් ඇන්තනි උත්තර දෙන්නේ ඔහු ඓතිහාසික කතා පුවතක් මත පදනම් වූ තිර රචනයක් ලියා ඇති බවත්, එයට නිෂ්පාදකයෙකු සොයන බවත් ය.
ඒ ලිපිය කියවූ, පසුව අබා චිත්‍රපටය නිෂ්පාදනය කළ දෙදෙනාට පමණක් නොව, වෙනත් අයටද, ඒ චිත්‍රපටය හැකි නම් නිෂ්පාදනය කළ යුතුයි කියා සිතුණු බව කලකට ඉහත කතන්දරකාරයා නම් බ්ලොග්කරුවා ලියූ පහත ලිපියෙන් පෙනේ.
http://kathandara.blogspot.com/2010/03/blog-post_05.html
වසර 2006 අප්‍රියෙල් මාසයේ දී අපේ සිංහල සංස්කෘතික හමුව මගින් සංවිධානය කරන ලද බක් මහ රංගන දෙමංසල අබියස ප්‍රසංගයට සහභාගී වීම සඳහා ජැක්සන් ඇන්තනි සිඩ්නි නගරයට පැමිණි අවස්ථාවේ දී අපේ සිංහල සඟරාවට ලිපියක් සැකසීම සඳහා මම ඔහු සමග සාකච්ඡාවක් පැවැත්වීමි.
එහිදී මා ඔහුගෙන් විමසූ එක් පැනයක් වූයේ ඔහු නිපදවූ, මෙහෙයවූ ඉතිහාසය පිළිබඳ රූපවාහිනී වැඩසටහන් ඩීවීඩී ලෙස අපට මිලට ගත හැකි ද කියාය. ඒ මට පෙර කී රුපවාහිනී වැඩසටහන් නැවත නැරඹීට තිබුණු කැමැත්්ත නිසාය.
සාකච්ඡාව අවසානයේ දී ඔහුගේ ඉදිරි වැඩ කටයුතු ගැන ද මම විමසූවෙමි.
(රසික) අවසාන වශයෙන්, ඔබේ ඉදිරි කලා කටයුතු ගැන කෙටියෙන් කිව්වොත්?මේ සාකච්ඡාව පැවැත්වුණු 2006 මුල භාගයේ මහින්ද රජා තම බල පරාක්‍රමය රටේ පස් දෙස පතුරවන්නට පටන් ගත්තා පමණකි. එනිසා අප බොහෝ දෙනා පසුකාලීනව ජැක්සන් ඇන්තනි ගේ වැඩ-කිඩ සලකා මේ සිනමා නිර්මාණය දෙස අපරදෘෂ්ටියෙන් බලමින් සිතන දේ නිවැරදි නොවන බව කිව හැකිය.
(ජැක්සන්) පණ්ඩුකාභය රජු ගේ ළමා කාලය පිළිබඳව අති දැවැන්ත සිනමා නිර්මාණයක අධ්‍යක්‍ෂණ කටයුතු මම ලංකාවට ගිය ගමන් පටන් ගන්නවා. ඉන් පසු, ජයන්ත චන්ද්‍රසිරි ගේ මීලඟ ඓතිහාසික චිත‍්‍රපටයේ මම විමලධර්මසූරිය රජුමෙන් රඟපෑමට සූදානමෙනුයි ඉන්නේ. ප‍්‍රසන්න විතානගේ ගේ මීලඟ සිනමා කෘතිය, ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජුගේ කාලයේ ගාඩි කුලය හා සම්බන්ධ එකක්. මෙහි මම ගාඩි රැහේ නායකයා ලෙස රඟ පෑමට නියමිතයි. මේ සිනමා කෘති සියල්ලම ඓතිහාසික කතා රැගත් ඒවා වීම සුවිශේෂ කාරණයක්.
ඒ සමගම මට පැහැදිලිවම කිව හැකි දෙය නම්, අබා චිත්‍රපටයෙන් පසු සිංහල සිනමා රැල්ලක් ඇති වූ ඉතිහාසය විකුණා කන ආකාරයේ රැල්ලට අබා චිත්‍රපටය වගකිව යුතු නැති බවයි.
ඒ වෙනුවට ඒ රැල්ලට මූලික හේතුව වූයේ යුද්ධයේ අවසානයත් සමගම ඇතිවුණු සිංහල ජාතිකවාදී වෙළඳපොළ බව මගේ අදහසයි.
ඒ කරුණු එසේ වුවද, මා මුලින් ද කී පරිදි, ඉහත රූපවාහිනී ප්‍රකාශයේ දී ඉතිහාසය විෂයය ගැන ජැක්සන් ඇන්තනි අසත්‍ය හෝ අර්ධ සත්‍ය ප්‍රකාශ කන්දරාවක් ම කරනු පෙනේ.
ඒ ගැන සවිස්තරාත්මකව ඊළඟ ලිපියෙන්: http://rasikalogy.blogspot.com/2015/12/jackson-anthony-is-history.html
-රසිකොලොජිස්ට්