Thursday, 28 July 2016

කෞෂල්‍යා ප්‍රනාන්දු ගේ අධ්‍යක්‍ෂණයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සරච්චන්ද්‍ර එළිමහන් රංගපීඨයේ හෙවත් වළේ දුටු තැන අල්ලනු වේදිකා නාට්‍යය හූ හඬ මැද රඟ දැක්වුණු අයුරු හෙවත් වළේ-හූව :: My two-cents worth


සිංහල වේදිකා නාට්‍ය පිළිබඳව දන්නා අය මේ ලිපියට මාතෘකාව සැකසී ඇත්තේ සුගතපාල ද සිල්වා ගේ අධ්‍යක්‍ෂණයෙන් වේදිකාගත වුණු, කෞෂල්‍යා ප්‍රනාන්දු ප්‍රධාන කාන්තා චරිතය නිරූපණය කළ "ද සාද් ඈපාණන් ගේ අධ්‍යක්‍ෂණයෙන් චැරින්ටන් සායනයේ නේවාසිකයින් විසින් ආචාර්ය යොන් පෝල් මරා ගේ වද දීම සහ ඝාතනය රඟ දැක්වූ අයුරු හෙවත් මරා-සාද්" නම් වේදිකා නාට්‍යයේ නම ඇසුරෙන් බව තේරුම් ගනු ඇත.

මේ ලිපිය එලෙස නම් කළේ මා කෞෂල්‍යා ප්‍රනාන්දු නම් ප්‍රතිභා පූර්ණ නිළිය මුල්වරට දුටුවේ ඒ නාට්‍යයේ නැරඹීමේ දී නිසා ය.

මේ නාට්‍යයේ ඒ දීර්ඝ නම සුගතපාල ද සිල්වා විසින් නිර්මාණය කරන ලද්දක් නොවේ. මරාසාද් නාට්‍යය සම්පූර්ණ පරිවර්තනයකි. එහි මුල් නිෂ්පාදනයවූ "Die Verfolgung und Ermordung Jean Paul Marats dargestellt durch die Schauspielgruppe des Hospizes zu Charenton unter Anleitung des Herrn de Sade" නමැති ජර්මන් වේදිකා නාට්‍යය Peter Weiss ගේ කෘතියක් විය. ඒ දිගු නමේ ඉංග්ලිෂ් පරිවර්තනය "The Persecution and Assassination of Jean-Paul Marat as Performed by the Inmates of the Asylum of Charenton Under the Direction of the Marquis de Sade" වේ. [https://en.wikipedia.org/wiki/Marat/Sade]

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වොලොංගොං නුවර වත්මනෙහි වාසය කරන ප්‍රවීන ලාංකික නාට්‍යවේදියෙකු සහ රචකයෙකු වන ධනංජය කරුණාරත්න ද ඉහත නාමකරණය අනුකරණය කරමින් වොලොංගොංහි "මෙරිගොං" නාට්‍ය කණ්ඩායම වෙනුවෙන් ඩේවිඩ් විලියම්ස් හා එක්ව 2015 දී අධ්‍යක්‍ෂණය කළ වේදිකා නාට්‍යයකට "එ ශ්‍රී ලංකන් ටැමිල් ඇසයිලම් සීකර්ස් ස්ටෝරි ඈස් පර්ෆෝර්ම්ඩ් බයි ඕස්ටේ‍ර්ලියන් ඇක්ටර්ස් අන්ඩර් ද ගයිඩන්ස් ඔෆ් එ සිංහලීස් ඩිරෙක්ටර්" යනුවෙන් නම් කළේ ය.

ඒ කෙසේ වෙතත්, මේ ලිපිය ලියන්නට මට සති දෙකකට පමණ පෙර සිතුණේ කෞෂල්‍යා ප්‍රනාන්දු අධ්‍යක්‍ෂණය කළ "දුටු තැන අල්ලනු" වේදිකා නාට්‍යය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සරච්චන්ද්‍ර එළිමහන් රංගපීඨයේ හෙවත් වළේ රඟ දැක්වුණු දිනයේ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලෙස එල්ලවූ දැඩි හූ හඬ නිසා, නාට්‍යය එහි අවසානය දක්වා රඟ නොදක්වා අත්හැර දමන්නට සිදුවීම පිළිබඳ කනගාටුදායක පුවත අසන්නට ලැබුණු විටයි.

ඒ හූ හඬ සහ විරෝධය නැගුණේ එම නාට්‍යයේ දර්ශනවල ඇතුළත් වූ සිප ගැනීම් පිළිබඳව යැයි ද පසුව නිල නොවන ආරංචියක් පැතුරිනි.

මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සරච්චන්ද්‍ර එළිමහන් රංගපීඨයේ හෙවත් වළේ සිව් වසරක් නාට්‍ය නරඹා ඇත්තෙමි. ඒ පිළිබඳ මගේ සුන්දර අත්දැකීම් පසුගිය වසරේ මා රසිකොලොජියේ පළ කළ පහත ලිපියේ සඳහන් කළෙමි.

http://rasikalogy.blogspot.com/2015/12/nostalgia.html

ඒ සුන්දර අත්දැකීම් අතරේ එතරම් සුන්දර නොවෙන අත්දැකීම් ද නොතිබුණා නොවේ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයින් වුණු පමණින්, ඒ සියලු දෙනාම "ඩයි-හාඩ්" නාට්‍ය රසිකයින් යැයි සිතීම විහිළුවකි. ඒ කෙසේ වෙතත්, එළිමහන් රඟහලක අඩු තාක්‍ෂණයක් සහිතව රඟ දැක්වෙන නාට්‍යයක් නැරඹීමට මනා ශික්‍ෂණයක් අවශ්‍ය වේ. රාත්‍රී කෑමෙන් පසු එළිමහන් රංග පීඨයක ගල් ආසන මතට ගාල්වෙන තරුණ වියේ කණ්ඩායම් මානසිකත්වෙන් (pack mentality) යුතු විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් වනාහී ඒ ශික්‍ෂණය ඉතා හොඳින් තියේ යැයි සිතිය හැකි ප්‍රාණීන් කොටසක් නොවේ.

මෙහිදී පැක් මෙන්ටලිටි හෙවත් කණ්ඩායම් මානසිකත්වය යනුවෙන් මා අදහස් කළේ එකෙකු හූ කීවොත්, ඌ හා කණ්ඩායම් ගත වීමට තවත් පිරිසක් සිටිනවා ය යන අරුතෙනි.

එනිසා, නාට්‍ය දර්ශනයක් අතරතුර, ප්‍රේක්‍ෂක අවධානය ගිලිහී යන මොහොතක හූ හඬක් මතුවීමත්, ඇතැම් විට එය ඔද්දල් වීමත් කිසිසේත් ම පුදුමයක් නම් නොවේ.

සිව් වසරක් තුළ ලද මගේ පේරාදෙණිය වළේ සුන්දර නොවන නාට්‍ය අත්දැකීම් අතරින් මුලින් ම මා සිහියට එන්නේ ඇමරිකානු නවකතාකරු ස්ටෙයින්බෙක් ගේ "ඔෆ් මයිස් ඇන්ඩ් මෙන් (Of mice and men)" ඇසුරින් සාලමන් ෆොන්සේකා ගේ නිපදවූ "අහිමි ජීවිත" නාට්‍යයේ පේරාදෙණිය වළේ දර්ශනයයි. මුලින් ම වළ අසල පිහිටි හිල්ඩා ඔබේසේකර ශාලාවේ සිට නොමිලේ නාට්‍යයේ අර්ධ දර්ශනයක් නැරඹූ සිසුවෙකුගෙන් ලැබුණේ යැයි මගේ මතකයේ ඇති යමක් කියා කෑ ගැසීමට පසුව ඇතිවුණු විවිධ බාධාවන් ගේ අවසානය වූයේ නාට්‍යය නවතා සාලමන් ෆොන්සේකා සභාව ඇමතීමයි.

අපේ ජ්‍යෙෂ්ඨ සිසුවෙකු වූ හෙන්රි වර්ණකුලසූරිය ගේ මතකය අනුව එදා නාට්‍යය එතැනින් ම හමාර විය. මගේ මතකය නම් මද විරාමයකින් පසුව නාට්‍යය නැවත ඇරඹී අවසානය දක්වා පැවතුණු බවයි.

සුනන්ද මහේන්ද්‍ර ගේ "පොකුරු වැස්ස" නාට්‍ය පෙන්වූ දා, එළිමහන් රංග පීඨයක ඇති ලොකු ම ප්‍රශ්නය ඉස්මතු කරමින් නාට්‍යය මැද දී පොකුරු වැසි ඇද හැළුණි. ප්‍රේක්‍ෂකයින් බොහෝ දෙනෙකු විසිර ගිය අතර, මා වැනි "ඩයි-හාඩ්" පිරිසක් වැස්සෙන් පසු නාට්‍යය නැවත අරඹන තුරු එහි රැඳී සිටිය බව මට මතක ඇත.

වරෙක පේරාදෙණිය වළේ පෙන්වනු ලැබූ දයානන්ද ගුණවර්ධන ගේ "මධුර ජවනිකා" නාට්‍යය ද, ප්‍රේක්‍ෂක හූ හඬක් එල්ල වී නවත්වන්නට සිදුවූ බව මගේ මිතුරෙකු පවසතත්, මගේ මතකය නම් ඒ නාට්‍යය මා අවසානය දක්වා නැරඹූ බවයි. ඒ රූපවාහිනියේ පෙන්වූ දර්ශනය විය හැක.

විවිධ උසුළු-විසුළු කෙරුණ ද, වේදිකා නාට්‍යයක් මුළුමනින් ම කඩාකප්පල්වීමක් යනු අති දුර්ලභ අවස්ථාවක් බව මෙයින් කිව හැක.

කෞෂල්‍යා ප්‍රනාන්දු අධ්‍යක්‍ෂණය කළ "දුටු තැන අල්ලනු" වේදිකා නාට්‍යය මම පසුගිය දෙසැම්බරයේ දී කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී නැරඹුවෙමි. එය නෝබෙල් ත්‍යාගලාභී වොලී සොයින්කා ගේ අප්‍රිකානු ඒකාධිපතියෙකු ගේ පාලන සමය මත පදනම් වූ "ඔපෙරා වොන්යොසි" නම් වේදිකා නාට්‍යයේ අනුවර්තනයක් බව කියවේ.

එදා මම ඒ නාට්‍යය රස වින්දෙමි. නළු නිළියන් ගේ රංගනය ඉතා ප්‍රතිභාසම්පන්න විය. නාට්‍යයේ අනෙකුත් බොහෝ නිර්මාණාත්මක අංග ද ප්‍රශස්ත මට්ටමක පැවතුණි.

නමුත් අවංකව ම මට එය හැඟුණේ ලතින් ඇමරිකානු නාට්‍යයක් ලෙසිනි. ඒ එහි ආ සංගීතය සහ නැටුම් ආදිය නිසා යැයි සිතේ. ප්‍රධාන නළුවා ද මට පෙනුණේ Zoro ලෙසිනි. කතාව තරමක් ඇදෙන බව හැඟුණ ද, මට නම් එය කිසිසේත් ම නීරස නොවී ය.

ඒ සමගම කිව යුතු අනෙක් කාරණය වනුයේ පේරාදෙණිය වළේ සිදුවීමෙන් පසු කියවෙන තුරු, මේ නාට්‍යයේ අනවශ්‍ය සිප ගැනීම් දර්ශන තිබෙනවා යැයි මට කිසිදු මතකයක් නොතිබීමයි. එවැනි සිප ගැනීම් දර්ශන ස්වාභාවික රංගනයේ ම කොටසක් බව එයින් පෙනේ.

හූ හඬ නැගීමක් යනු නාට්‍යයක් නැවැත්වීමට තරම් විශාල හේතුවක් නොවෙතත්, යම් යම් මිසයිල ප්‍රහාර වේදිකාව දෙසට එල්ල වෙන්නට පටන් ගත් නිසා එසේ නාට්‍යය නවත්වා දැමූ බව ද මට දැන ගන්නට ලැබුණි. හූව කෙසේ වෙත්, එය නම් අති බරපතල තත්වයකි.

"දුටු තැන අල්ලනු" නාට්‍යයට ඒ හූ කීම සහ විරෝධය පෑම සිදුවූයේ එහි ආ සිප ගැනීමේ දර්ශන නිසා නම්, මට කිව හැක්කේ විශ්වවිද්‍යාල සිසුන් අතර එවැනි නෂ්ටකාමයකින් පෙළෙන, ඒ සමගම විකෘති වූ මනසකින් ද යුතු සංස්කෘතික බයියන් කිහිප දෙනෙකු හෝ සිටීම ඉතාමත් අභාග්‍යයක් බවයි. අනිවාරයෙන් ම එවැන්නන්ට ඉක්මනින් ම නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු වේ.

දැනට දැන ගන්නට ලැබී ඇති තොරතුරු අනුව, දුටු තැන අල්ලනු නාට්‍යය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී නැවත රඟ දැක්වීමට සැලසුම් කෙරේ.

එය සතුට දනවන දියුණුවකි.

-රසිකොලොජිස්ට්

(image: http://www.cultura.lk/event/dutu-thana-allanu)

13 comments:

  1. වැලිකඩ (දැන් මහ ඉස්පිරිතාලේ) ඉන්න අපේ චූටි මාමි (අප්පච්චිගෙ බාලම මල්ලි) නම් මේක කියවලා කිව්වේ අප්පච්චිගෙ කාළේ වළේ නාට්‍ය පෙන්නන වෙලාවට ඒක වටේට ගෝටා මාමිගෙ රක්නා ලංකා ආරක්ෂකයෝ ටිකක් දැම්ම නිසා ඔය ප්‍රශ්න මුකුත් උද්ගත නොවුණු බවයි.

    රොකට් එකට තෙල් මදි නම් කියන්න
    මම දෙන්නම් තෙල් ටැංකිය පිරෙන්න

    A.C.D.C. රොකට් උක්කුං

    ReplyDelete
  2. මාතෘකාව විතරක් මේ පොස්ට් එකට ඇති! එතනම වචන 250ක් විතර තියනවා.

    ReplyDelete
    Replies
    1. ගණිතය ෆේල් නේද?
      එතන තියෙන්නේ 250/10
      😄

      Delete
    2. That was not intended to be understood literally!
      Pela poth tika kole neha neda? :D

      Delete
    3. විභාගේ තමයි අපේ අභාගේ

      Delete
  3. මට නම් හිතෙන්නේ , ඒ වෙලේ , ඒ වළේ , හූ කීවේ , වල මැද සිටිය වුන්ට නොව ඉන් පිට සිටි උන්ට යයි කියාය

    ReplyDelete
  4. තලේබාන් හෙවත් ගෝත්‍රික පොලීසිය !

    ReplyDelete
  5. නාට්‍ය බලලා හරි හූ කියලා හරි අර ඇනෝ ගේ යාලුවො කවුරු හරි මැරිලා නැද්ද ? දන්නෙ නෑ

    ReplyDelete
  6. නාට්‍ය බලලා හරි හූ කියලා හරි අර ඇනෝ ගේ යාලුවො කවුරු හරි මැරිලා නැද්ද ? දන්නෙ නෑ

    ReplyDelete
  7. එනකං බල බලා හිටපු blog එක.
    එල

    ReplyDelete
  8. දැං එතකොට රසිකගෙ මතකයද හරි හෙන්රි‍ අයියගෙ මතකයද

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.