Saturday 13 May 2017

සිගරැට් බීම - Who else hates smoking?


මා මුලින් ම සිගරැට් දුම් උගුරක් ඇද්දේ "වෙසක් එකට" පින් සිදු වෙන්නට ය.

ඒ වසරේ වෙසක් එකට මා උගත් ගලහිටියාව මධ්‍යම පාසලේ හැම පන්තියකටම වෙසක් කූඩු සාදන්නට යැයි ඉහළින් අණක් හෝ ඕඩරයක් හෝ ඉල්ලීමක් හෝ නිවේදනයක් හෝ එවැනි මොකක්දෝ එකක් ලැබී තිබුණි.

වෙසක් කූඩු තැනීම වනාහී, පාසල පැවැත්වෙන වේලාවේ කළ හැකි කාර්යයක් නොවේ.

අපි පාසල අවසාන වූ පසු නැවතීමට කතා කර ගත්තෙමු.

සෑහෙන පිරිසක් එසේ නතර වූහ.

එදා අප මුලින් ම කළේ, ජාඇල පාර දිගේ ගොස් දකුණට හැරී වෙල අද්දරට දිවෙන ගුරු පාර අවසානයේ තිබුණු, මා හිතන විදියට අයිතිකරුවෙකු නිශ්චිතව නොමැති, උණ ගස් පඳුරකින් උණ ගසක් කපා ගෙන කොල්ලන් ගේ කර උඩින් පාසල් භූමියට වැඩැම්ම වීමයි.

අපේ පන්තියේ සිටි කර දඬු උස් මහත් වූ කොල්ලන් දෙතුන් දෙනා ඉන් පසු කළේ අනෙකුත් කොල්ලන්ගෙන් ශත පහක් වැනි මුදලක් බැගින් එකතු කිරීමයි.

එකල ෆෝ ඒසස් සිගරැට්ටුවක් ශත පහළොවක් විය.

බ්‍රිස්ටල් එකක් ඊට ශත පහක් පමණ වැඩි වෙන්නට ඇත.

ෆිල්ටරයක් නැති ත්‍රී රෝසස් නම් ඊට අඩු මිලකට අලෙවි කෙරිණි.

නමුත් පෙර කී කොල්ලන් කැමති වූයේ ෆෝ ඒසස් නමැති සිගරැට් වර්ගයටයි.

කඩේට ගියේ කවුද, සිගරැට් පත්තු කළේ කෙසේ ද යන්න මට දැන් මතක නැත.

මට මතක ඇති එකම දෙය නම්, බෙදා හදා ගත් සිගරැට් තුන හතරෙන් එකකින් මා උගුරක් දෙකක් ඇද්ද බවත්, ඒවායේ රසට මා කැමති වූයේ නැති බවත් ය.

මා සිගරැට් බිව් අන්තිම දිනය ඒ මුල් දිනය නොවුණත්, වාසනාවට මෙන්, සිගරැට් බීමට මට කිසි දිනයක ආශාවක් ඇති නොවුණි. ඒ හැම මිතුරු බෙදා ගැනීමක් ම තත්පරයකට දෙකකට පමණක් සීමා විය.

දැන් නම් දශක දෙකකින් පමණ සිගරැට්ටුවක් තත්පරයකට හෝ මගේ දෙතොල අසලට පැමිණ නැත.

-රසිකොලොජිස්ට්

ප/ලි

ලංකාවේ සිගරැට් පැකට්ටුවල අවවාදාත්ම වැකි පළ කිරීමට නීති ගෙනා දිනවල මා ලියූ ලිපියේ ද, අද මා ලියූ කතාව ම මා වෙනත් ආකාරයකට ලියා ඇත. ඕස්ට්‍රේලියාවේ සිගරැට් පැකට්වල යෙදා ඇති එවැනි පණිවිඩ එහි දැක්වේ.
https://rasikalogy.blogspot.com/2015/11/kiss-only-non-smokers.html

ගාමිණී ෆොන්සේකා සම්බන්ධ බාලාපරාධයක් කතාවක් මෙන්න.
https://rasikalogy.blogspot.com/2015/03/this-isnt-funny.html

(image: http://media.gettyimages.com/photos/indian-school-boys-dress-in-skeleton-design-during-the-world-no-day-picture-id475483970)

11 comments:

  1. අපිනං ඉස්සෙල්ලම ගැවුවේ විජිත බීඩිය

    ReplyDelete
  2. සිගරට්ටුවක් ඉරූ මුල් දිනය හරියට මතකයේ නැතත් එය පාසල් කාලයේ වග නම් ස්ථිරය. බොහෝ විට එය මහ ක්‍රිකට් තරගයක් පැවැත්වෙන දිනවලට ආසන්නයේ දිනක වග නම් යාන්තමට මතකය. මොනවා වුවත් ඔබ සිගරට් රසයට ඇබ්බැහි නොවී සිටිම වාසනාවකි. අප හිරවූ උගුලේ ඔබ අසු නොවි සිටිම සතුටකි.

    ReplyDelete
    Replies
    1. අප හිරවූ උගුලේ ඔබ අසු නොවි සිටිම සතුටකි. X 2

      Delete
    2. ගැලවුම්කාරයා එනතුරු ද බලාගෙන ඉන්නේ.

      තමන් හිසට තම අතමය සෙවනැල්ල.

      කෝහි නාතෝ පරෝසියා!

      Delete
  3. තාත්තා බි‍්‍රස්ටල් සිකරට් බොනවා දැක මමත් අයියාත් වේලුනු පැපොල් බට පත්තු කර ඉරුවා මතකයි. ඊට පසු කාලෙක සීයාගේ පයිප්පය රැගෙන ගොල්ඩ් ලිෆ් එකක් කඩා දුම්කොල එයට පුරවා ඉරුවා.නෙකඩවා දුම්පානය කරපු Chain Smoker කෙනෙකුවු තාත්තා මීට දශක තුනකට පෙරදී දුම්පානය අතහැර දැම්මා. ඒ නිසාම අදටත් ඔහු සුවෙන් ජීවත්වෙනවා. මාගේ අධ්‍යාපන කටයුතුවලින් පසුව වැටුන පාප මිත‍්‍රයන් හා එකතුව විවිධ දේ අත්හදා බැලු අවදියේදි පටන්ගත් දුම්පානය සප්ත මහාසාගරය මැද ගෙවු කාලයේදි නවතා දැමුවා. මේවා සියල්ල අත්හදා බැලීම් වලට පමණක් සීමා කරපු නිසා අදටත් දුම්පානයෙන් තොරව දුම්පානයට විරුද්ධ කෙනෙකුවශයෙන් ජීවත්වෙනවා.

    ReplyDelete
    Replies
    1. දුම් පානය නතර කර මාස තුනක් පමණ යන විට මැරුණු පෙනහළු ෙසෙල නැවත වැඩීම ඇරබෙනවා ලු!

      Delete
  4. මට හොදට මතකයි 5 පන්තියේ වගේ ඉන්නකොට ඉපිල් කෝටු පත්තුකරල බිවුවා. ඉපිල් කෝටු වේලුනාට පස්සේ මැද කොටස ඉක්මනට දිරා ගිහිල්ල සිදුරක් හැදෙනව. ඔක පත්තු කරල බ්ල අම්මට මාට්ටු වෙලා හොදට අහගත්තා. බොරු ඔනේ නැ ඉදහට දැනුත් බොනවා .පාටියක් වගේ නම් අනිවාර්යෙන් බොනවා
    කොහොම උනත් මම ඊට වඩා ගංජ වලට කැමතියි.ඒ ගැන ලංකාවේ තියෙන්නේ සම්පුර්ණයෙන් වැරදි චිත්‍රයක්

    ReplyDelete
    Replies
    1. කේ ජි කියන මල ජරාවනං වැඩක්ම නෑ. ගංජා නම් මරු.

      Delete
    2. කොහෙ බැලුවත් කේජී ජරාවමයි නෙ තියෙන්නෙ.. චැහ්ඃ

      Delete
    3. ගංජා වේදනා නාශයක් කියා අසා තියෙනවා.

      කේරළ වුනත් දේශීිය වුනත් ඕවා සේරම හොර බඩු නේද?

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.