Friday 18 October 2024

ඊළඟ පාර්ලිමේන්තුවේ විපක්ෂය සඳහා සුදුසු ම දේශපාලන පක්ෂය “ජන අරගල සන්ධානය” යි - The need of the hour for Sri Lanka


ලංකාවේ පාර්ලිමේන්තුවට ජනතා නියෝජිතයින් තෝරා ගැනීම සඳහා නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත මහ ඡන්දයෙන් පසු ආණ්ඩුවක් පිහිටවන්නේ කොයි දේශපාලන කණ්ඩායම ද යන්න පිළිබඳව සැකයක් කිසිවෙකු තුළ නැති බව පෙනේ.

කිසිවෙකු තුළ යැයි කියන්නේ පසුගිය ජනාධිපති ඡන්දය ජයග්‍රහණය කළ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාගේ පාක්ෂිකයින් තුළ පමණක් නොව, ඡන්දයේ දී පැරදුනු අපේක්ෂකයින් නියෝජනය කරන බොහෝ කණ්ඩායම්වල පිරිස් පවා විශ්වාස කරන්නේ ජාතික ජන බලවේගයේ කණ්ඩායම මහ ඡන්දය දිනන බව ය. ඔවුන් සටනක් දෙන්නේ හොඳ විපක්‍ෂයක් ලෙස පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුව නිසිමග යැවීමට බව ද ඔව්හූ කියති.

ජනාධිපති චන්දයේ දෙවෙනි තැන ලැබූ සමගි ජනබලවේගයේ අපේක්ෂකයාගේ පිළේ සමහරුන් නම් ඔවුන් ආණ්ඩුබලය ලබා ගැනීමට සටනක් දෙන බව පැවසුවත්, එය හුදෙක්ම තමන්ගේ සහ තම “කැපුවත් ප්‍රේමදාස” පාක්ෂිකයින්ගේ ස්වයං අභිප්‍රේරණය සඳහා භාවිතා කරන සටන් පාඨයක බවට සැකයක් නැත.

අනුර කුමාර දිසානායක ජනාධිපතිගේ දේශපාලන කණ්ඩායම නොවැම්බර් මහ ඡන්දයෙන් පසු පාර්ලිමේන්තුව තුළ හරිනි අමරසූරිය අගමැතිගේ නායකත්වයෙන් ආණ්ඩුව පිහිටවන විට එහි විපක්‍ෂය ලෙස පත්වීමට සුදුසුම කණ්ඩායම වන්නේ කවර කණ්ඩායම ද?

මගේ අදහසට අනුව, ඒ සඳහා හොඳම කණ්ඩායම වන්නේ ප්‍රේමකුමාර් ගුණරත්නම් ගේ නායකත්වයෙන් යුතු පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළත් සන්ධානය, එනම්, “ජන අරගල සන්ධානය” බවයි.

මෙය සරදමට කියන කතාවක් නොවේ.

ඇත්තටම පාර්ලිමේන්තුවේ දී ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ විපක්ෂ කණ්ඩායම ලෙස කටයුතු කිරීමට වඩාත් සුදුසුවන්නේ ඔවුන් ය.

මෙන්න මා දකින හේතු:
  1. ආණ්ඩු පක්ෂය සමන්විතවන්නේ නව නියෝජිතයින්ගෙනි. විපක්ෂය ද එසේවීම හොඳය.
  2. පැරණි යූඇම්පී, සිරිලංකා, රාජපක්ෂ වහල් වැනි කණ්ඩායම්වල දූෂිතයින් තවදුරටත් පාර්ලිමේන්තුවේ සිටිය යුතු නැත.
  3. ජන අරගල සන්ධානයේ අරටුවවන පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ජාතික ජන බලවේගයේ අරටුවවන ජනතා විමුක්ති පෙරමුණ යන කණ්ඩායම් දෙක, එකට සිට වෙන්වූ සහ එනිසාම එකිනෙකා හා පසමිතුරු කණ්ඩායම් නිසා ඔවුන්ට සැබෑ පක්ෂ-විපක්ෂ අරුතෙන් කටයුතු කිරීමට හැකි වෙනු ඇත.
මේ සුසං‍යෝගයේ ඇති වටිනාකම ගැන ඔබට සිතෙන වෙනත් කරුණු තිබේ නම් පහතින් සඳහන් කරන්න.

ජනාධිපති ඡන්දයේ දී ජයග්‍රහණය නොකළ අපේක්ෂකයින්ට ඡන්දය භාවිතා කළ, සජිත් ප්‍රේමදාස පාක්ෂිකයින්, රනිල් රාජපක්ෂ පාක්ෂිකයින්, සහ නාමල් රාජපක්ෂ පාක්ෂිකයින් විසින් තමන්ගේ ඡන්දය නොවැම්බර් මහ ඡන්දයේදී “ජන අරගල සන්ධානය” වෙනුවෙන් පාවිච්චි කළහොත් මේ ආණ්ඩු පක්ෂ - විරුද්ධ පක්ෂ සුසංයෝගය සැබෑවක් කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇත.

- රසික සූරියආරච්චි

(images: Wikipedia )

Thursday 17 October 2024

එදා පාසල්, එදා සිසුන් සහ දෙමව්පියන් - System changed?


මිතුරෙකු සමග ෆේස්බුක් සංවාදයක පැටලීම නිසා මට සිහිවුණු කරුණු කිහිපයක් වෙනම ලියන්නට සිත්විය. මෙහි ඇති වැදගත්කම නම් කාලය සමඟ කොයි තරම් දේ වෙනස් වන්නේ ද යන්නයි.

මම පාසල් තුනක අධ්‍යාපනය ලබා ඇත්තෙමි.

මා පළමුවෙනි ශ්‍රේණියේ සිට පස්වෙනි ශ්‍රේණිය දක්වා වසර පහක් අධ්‍යාපනය ලැබූ කොස්සින්න ශ්‍රී සීලානන්ද කනිෂ්ඨ විද්‍යාලයට මගේ පියා හෝ මව හෝ කිසි දිනයක පැමිණ නැත. පාසල් ගුරුවරයෙකු වූ මගේ පියා උදේ පාන්දරම නිවසෙන් පිටත්වී ගොස් ආපසු පැමිණෙන්නේ හවස හතරට පමණ වන අතර මගේ බාල සොහොයුරාගේ වයස අවුරුදු තුනටත් අඩු නිසා මා මුල් දවසේ පාසලට ගියේ ද ආච්චි සමග ය. ඉන්පසු අහල පහල සම වයසේ සිසුන් සමග මම පාසලට ආවෙමි, ආපසු ගියෙමි.

පාසලේ උගන්වන්නේ සිසුන්ට පමණක් නිසා දෙමව්පියන්ට පාසලට පැමිණීමේ අවශ්‍යතාවක් එකල නොවුණි.

මා හයවෙනි ශ්‍රේණියේ සිට නමවෙනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබූ ගලහිටියාව මධ්‍යම විද්‍යාලයට මා ගිය මුල් දවසේ මගේ මව සහ පියා දෙදෙනා ම මා සමග වූහ. එයට එක් හේතුවක් වූයේ එදින පුටුවක් සහ මේසයක් ගැනීමට පාසලට මුදලක් ගෙවීමට තිබීමයි. එය අවසානයේ තාත්තා බසයක නැගී සැතපුම් කිහිපයක් දුරින් තිබුණු ඔහු සේවය කළ පාසලට ගිය අතර, අම්මා එදින යෙදී තිබුණු වෙනත් ගමනක් ගියාය. දෙවෙනි දිනයේ සිට අපේ පදිංචිය වෙනස් වෙනතුරු මම ගමේ සිට බස් එකේ පාසලට ගියෙමි. ගනේමුල්ලේ පදිංචියට පැමිණීමෙන් පසුව පා ගමනින් පාසල් ගියෙමි.

පාසලේ උගන්වන්නේ සිසුන්ට පමණක් නිසා දෙමව්පියන්ට පාසලට පැමිණීමේ අවශ්‍යතාවක් එකල ද නොවුණි.

දහවෙනි ශ්‍රේණියේ සිට ඉහළට අධ්‍යාපනය ලැබීම සඳහා මා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් කිරීමට තාත්තා තීරණය කළ අතර ඒ සඳහා වූ සම්මුඛ පරීක්ෂණය සඳහා ඔහු මා කැටුව එක්තරා සෙනසුරාදා දිනයක කොළඹ මරදානේ පාසැලට පැමිණියේය. ඔහු වැනි දෙමව්පියන් විශාල සංඛ්‍යාවක් එදින පැමිණ සිටියහ. පාසල් යෑම ඇරඹුණු පසු මම මගේ පාඩුවේ පාසැල් ගියෙමි. තාත්තාට පාඩුවක් වූයේ නැත. එකල මගේ වයස අවුරුදු දාහතරයි මාස පහකි.

පාසලේ උගන්වන්නේ සිසුන්ට පමණක් නිසා දෙමව්පියන්ට පාසලට පැමිණීමේ අවශ්‍යතාවක් එකල ද නොවුණි. එනිසා මම මගේ පන්තියේ සිටි සහෝදර සිසුන්ගේ දෙමව්පියන් ලෙස දැක ඇත්තේ හදිසි අවස්ථාවල දී දරුවන් හමුවීමට පැමිණි තාත්තලා දෙදෙනෙකු පමණි.

පළමුවෙනි ශ්‍රේණියේ සිට දොළොස් වෙනි ශ්‍රේණියේ අවසානය දක්වා අවුරුදු දොළහයි මාස අටක් මා පාසල් ගොස් තිබුණ ද, මගේ අවාසනාවට මෙන්ම දෙමව්පියන්ගේ වාසනාවට, ඒ කාලය තුළ ඒ පාසල් තුනෙන් එකකවත් ත්‍යාග ප්‍රදානෝත්සවයක් හෝ පැවැත්වුණේ නැතිවීම ද මගේ දෙමව්පියන්ට පාසලට පැමිණීමට අවශ්‍යතාවක් නැතිවීමට තවත් හේතුවක් විය.

අද තත්ත්වය කෙතරම් වෙනස් ද?

මාසයකට අඩු වශයෙන් දිනයක් හෝ කුමක් හෝ කාරණයක් සඳහා දෙමව්පියන්ට පාසලට යාමට සිදුවන බව කියැවේ.

- රසික සූරියආරච්චි

(image: generated using meta.ai)