නොබෝදා පැවැති කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී උපාධිලාභීන් සමහර දෙනෙකු විශ්වවිද්‍යාලයේ අලුතෙන් පත් කෙරුණු උපකුලපති මුරුත්තෙට්ටුවේ ආනන්දගෙන් උපාධි සහතිකය ලබාගැනීමට ප්‍රතික්ෂේප කරණ උපාධි ප්‍රධාන උත්සවේ වීඩියෝ දර්ශන නැරඹූ අය අතර ඒ පිළිබඳ දක්වන අදහස්වලින් සෑහෙන බෙදීමක් පෙනෙන්නට තිබේ.
මෙහිදී මා නිරීක්ෂණය කළ එක් කරුණක් නම් පොදුවේ අපට වටහාගත හැකි පරිදි මුරුත්තෙට්ටුවේ ආනන්ද නමැත්තා කිසිසේත් ම නුසුදුසු එම තනතුර සඳහා ඔහුව පත් කළ ජනාධිපති ගෝඨාභයට සහය දක්වන බයියන් පිරිස උපාධිධාරීන් විසින් කළ එම විරෝධය හෙළා දකින අතර සාමාන්‍යයෙන් ප්රගතිශීලී අදහස් දරන කිහිපදෙනෙකු ද විවිධ හේතූන් නිසා එම ක්‍රියාව වැරදි යැයි පැවසීමයි.
මා දන්නා එක් මිතුරෙකු ෆේස්බුක් අවකාශයේ සටහනක් තබමින් එසේ පවසා ඇත්තේ, සමහර විට ඔහුගේ විශ්වවිද්‍යාල සම්ප්රදාය පිළිබඳ ඇති ගෞරවය නිසා, සම්ප්රදාය කැඩීමෙන් සිදුවෙතැයි ඔහු සිතන අගෞරවය, නොඑසේ නම් උපාධි ප්‍රදානෝත්සවයේ දී විරෝධය පෑමෙන් විශ්වවිද්‍යාලයට සිදුවෙතැයි ඔහු සිතන අගෞරවය, එසේ විරෝධය දැක්වීමට වඩා වැදගත් යැයි සලකන නිසා යැයි මට සිතුණි.
අවුරුදු විසි දෙකකටත් වඩා දිගු කාලයක් තිස්සේ, කොළඹ විශ්වවිද්‍යාලය ද ඇතුළුව, විශ්වවිද්‍යාල රාශියක රස්තියාදු වී ඇති මගේ මේ පිළිබඳ අදහස ද කොහේ හෝ තැනක සටහන් කර තැබිය යුතු යැයි මට සිතුණි.
මගේ අවංක අදහස ඉතා කෙටියෙන් මුලින් ලිව්වොත්, උපාධිධාරීන් විසින් කරන ලද එම විරෝධය අඩංගු වීඩියෝ දෙක තුනක් නැරඹූ මට කිව හැක්කේ ඒ ඉතා සාමකාමී විරෝධය දැක්වීම මෙවැනි අවස්ථාවකට ඉතා උචිත බවයි.
ඊට අමතරව එවැනි විරෝධයක් කිරීමට සුදුසුම අවස්ථාව එය වූ නිසා එසේ නොකර සිටියා නම් සිදුවන්නේ සිදුවීමට නියමිතව තිබුණේ මීට වඩා මීට වඩා විශාල වරදක් සහ නොසලකා හැරීමක් බවයි.
විශ්වවිද්‍යාලයේ ගෞරවය කෙළෙසෙනවා නම් එය සිදු වූයේ පෙරකී විරෝධය නිසා නොවේ. එකී විරෝධයට බඳුන් වූ පුද්ගලයාව එම තනතුරට පත් කළ නිසා ය. එය දිගු කළහොත්, එම පුද්ගලයා එම තනතුරට පත් කළ පුද්ගලයාව, රටේ ජනාධිපතිවරයා ලෙස පත් කළ මොහොතේ, ඔහුට ඡන්දය දුන් පිරිස එකල නොදැන සිටියත්, අගෞරවය සිදුවීමේ මූලික පෙරනිමිත්ත සෑදුනි.
නුසුදුසු පුද්ගලයෙකුව තනතුරකට පත් කළ විට, එවැන්නන් නිසි පරිදි කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කළ නොහැක. එනිසා දැන හෝ නොදැන මෙම වරද, එනම් විශ්වවිද්‍යාලෙට අගෞරව කිරීම, මූලිකවම කර ඇත්තේ හැටනම ලක්ෂයක් වූ බයියන් පිරිසයි.
මුරුත්තෙට්ටුවේ ආනන්ද ගේ ද වරදක් නැත. මගේ මතකයට අනුව ඇත්තටම සිදුවූයේ දිගු කලක් තිස්සේ බයියෙකු වී සිටි මුරුත්තෙට්ටුවේ ආනන්ද එක්වරම ජනාධිපති, අගමැති ඇතුළු රොත්ත බුරුත්තම විවේචනය කරන්නට පටන් ගත් අතර ඔහුගේ කට වැසීමට පිරිකරක් ලෙස මෙම කුලපති තනතුර ප්රදානය කරන ලද බවයි. අල්ලසක් සේ පෙනුණත් එය දානයක් නිසා ප්‍රතික්ෂේප කිරීමට කරුණක් මුරුත්තෙට්ටුවේ ආනන්දට තිබෙන්නට නැත.
මෙම පත්වීම සිදු කළ අවස්ථාවේ දී (3 නොවැම්බර් 2021) මා පවසා සිටියේ මෙයයි
මගේ අත්දැකීම් අනුව නම් විශ්වවිද්‍යාලයක කුලපතිකම යනු පරිපාලනයට සෘජු සම්බන්ධතාවයක් නැති ceremonial තනතුරකි. මා ලංකාවේ විශ්වවිද්‍යාල දෙකකින් උපාධි ලබා වෙනත් විශ්වවිද්‍යාල දෙකක සේවය කර ඇති නමුත් ඉන් කිසිවක කුලපතිව සිටියේ කවුදැයි එකල දැන සිටියේ නැත. දැන ගැනීමට අවශ්‍යතාවක් ඇති වූයේද නැත. එනිසා යම් විශ්වවිද්‍යාලයක කුලපති ලෙස මිගෙට්ටුවත්තේ ගුණානන්ද සිටිය ද, මුරුත්තෙට්ටුවේ ආනන්ද සිටිය ද, කිරිබත්ගොඩ ඤාණානන්ද සිටිය ද ලොකු වෙනසක් නැත. ඇති එකම වෙනස නම්, ආනන්ද හෝ ඤාණානන්ද ඔය තනතුරට පත් කළ විට අපිට පොඩි ආතල් එකක් ගැනීමට හැකිවීමයි.නමුත් මෙවැනි තනතුරක් සඳහා පත් කළ යුත්තේ අඩුවශයෙන් උපාධි මට්ටමේ හෝ සුදුසුකම්ක් සපුරා ඇති පුද්ගලයෙකු බව අමුතුවෙන් කිව යුතු නැත.
උපාධි ප්රදානෝත්සවයේදී නුසුදුසු කුලපති අතින් තම උපාධි සංකේතය ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් විරෝධය පෑ උපාධිධාරීන් පිරිසටත්, එම විරෝධය එලෙස සංවිධානය කළ පිරිසටත් මගේ ප්‍රණාමය පුද කරමි.
-රසික සූරියආරච්චි
ප/ලි:
මේ ලිපිය ලියුවේ 2021 දෙසැම්බර් 21 වෙනිදා ය. හේතු කිහිපයක් නිසා එය නිසි පරිදි පළ කිරීම අතපසු විය. දිනය වෙනස් නොකර එලෙසම පළ කරමි.
(image: https://www.bbc.com/tamil/sri_lanka/2016/02/160201_mahinda_vihara)