Monday, 11 July 2016

(නොරට වෙසෙන දෙමව්පියන්) දරුවා සමග ඉංග්ලිෂ් භාෂාවෙන් කතා කිරීම - English or Singlish?


සිනුවර වෙසෙන අලුත් දෙමව්පිය යුවලක් ටික දිනකට පෙර අප නිවසට ආවෝය. ගිය වසරේ උපන් ඔවුන් ගේ පුතණුවාට වයස තවම වසරක් හෝ පිරී නැත.

සතුටු සාමීචි කතා බහේ යෙදෙමින් සිටින අතර, අලුත් තාත්තා මගෙන් මෙලෙස විමසී ය.

"රසික අයියේ දැන් අපේ පුතා ලොකුවෙන කොට අපි එයා එක්ක කතා කරන්න ඕනෑ, සිංහලෙන් ද, ඉංග්ලිෂ්වලින් ද?"

"සිංහලෙන් කතා කරන්න. කවදාකවත් ඉංග්ල්ෂ් පාවිච්චි කරන්න එපා ගෙදර දී. එයා පාසලේ දී ඉංග්ලිෂ් ඉගෙන ගනියි" කියා උපදෙස් දුන් මම "ඇයි එහෙම ඇහැව්වේ?" යැයි ද විමසුවෙමි.

"නෑ, අයියේ, අපිට මේ ළඟදී පොඩි ළමයි ඉන්න අපේ යාළුවන් කට්ටියක් හම්බ වුණා. ඒ අය කිව්වේ නම් මුල ඉඳලා ම ළමයි එක්ක ඉංග්ලිෂ්වලින් කතා කරන්න කියලායි" එවිට නවක මෑණියෝ කීවා ය.

"මං හිටියා නම් ඒ ගොල්ලන්ගෙන් අහනවා, ඒ දෙමව්පියන්ට තමන් ගේ ළමයින්ට තමන් භාවිතා කරණ කැඩිච්ච ඉංග්ලිෂ් උගන්වන්න ඕනෑ වුණේ ඇයි කියාලා?" මම කීවෙමි.

මා ඒ කළේ සරදමක් ම නොවේ.

අපි අපේ දියණියට ඉංග්ලිෂ් භාෂාවෙන් යමක් කියන්නට කියා දුන්නේ නම් ඒ ඇය වයස වසර දෙකහමාරේ දී පමණ දිවා සුරැකුම් මධ්‍යස්ථානයට දිනපතා යන්නට පටන් ගන්නට පෙර දිනයේ දී "අයි වොන්ට් ටු ගෝ ටු ද ටොයිලට්", "අයෑම් තර්ස්ටි", "අයෑම් හන්ග්‍රි" වැනි අත්‍යාවශ්‍ය වාක්‍ය කිහිපයක් පමණි. එසේ කළේ ද ඇය ගේ දෛනික සුබ සිද්ධිය සඳහා ය.

අපේ මග පෙන්වීමක් නොමැතිව ඇය ඉංග්ලිෂ් කතා කරන්නට උගත්තා ය. අප සමග ඇය ගත කළ දවසේ හැම මොහොතක දීම ඇයට අප සිංහලෙන් ම කතා කළෙමු.

ඉංග්ලිෂ් තරමට ම නැතත්, හොඳින් සිංහල භාෂාවෙන් කතා කරන්නට අපේ දියණිය උගත්තේ ඒ නිසා ය. අප ඇය සමග නිතිපතා නිවසේ දී සිංහලෙන් කතා නොකළේ නම්, ඇයට කිසිසේත් ම සිංහල කතා බහ ඉගෙන ගන්නට නොහැකි වනු ඇත.

කුඩා ළමුන්ට භාෂා එකක් නොව කිහිපයක් ම එක්වර හොඳින් ඉගෙනීමේ හැකියාව ඇති බව එසේ කතා කරන්න ඉගෙන ගත් අයෙකුගෙන් ම(*) මම අසා ඇත්තෙමි. එනිසා ඔවුන් එක් භාෂාවකට පමණක් සීමා කිරීම මහා අපරාධයකි.

නවක දෙමව්පිය යුවලට මා කියූ කාරණය හොඳින් වැටහුණේ යැයි සිතමි.

-රසිකොලොජිස්ට්

(*) - ඒ බෙල්ජියන් ජාතික ආචාර්ය වෑන් ෆ්‍රෝසම් ගෙනි.
http://rasikalogy.blogspot.com/2016/07/dr-yves-van-frausum.html

84 comments:

  1. රට දැය සමය ආදර දරුවන් ජාතිකවාදී
    ඉංගිරිසියෙන් කතා කර වැරැදි ආදර්ෂ නොම දී
    නිවැරදි සිංහලෙන් කතා කළොත් ඔවුනට හැමදා
    සත්තයි මුළු ලොවම යයි ඔවුනට පැරැදී

    සිංහලයයි ලොව දියුණුම රසවත්ම භාෂාව
    අපි අපේ දරුවන්ට පුහුණු කරමු ඒ උතුම් භාෂාව
    රසකර කවි පබඳින්නත් පුළුවන් භාෂාව
    සුද්දට මිස අපට මොකටද උගෙ ඉංග්‍රිසි භාෂාව

    මීට, කුමාර දිප්පිටිය මයා
    ගරු ලේකම්,
    තරුණ බෞද්ධ සංගමය,
    කොතලාවලපුර
    රත්මලාන.

    ReplyDelete
    Replies
    1. අනේ දිප්පිටිය සීයෙ, සිංහලෙන් කථා කළාම අපේ ගුවන් තොටුපලෙත්, අපේ ගුවන් සේවෙත් අපිව පීච්චම් මට්ටමට තමයි දමන්නෙ. එතනින් එහා ඒරොප්පෙ ගැන කවර කථාද? සිංහල වගේ නොදියුණු භාෂාවක්යැ ඉංගිරිස් ?? ලෝකෙ ජයගන්න නම් ඉතින් ඉංගිරිස් ඉගෙන ගන්න ඕනෙ. නැත්නම් සීයා වගේ නාකි වෙනකම් තරුණ බෞද්ධ සංගමේ පිනට වැඩ කරල, ඕප දූප ටිකක් කියල ණයට බඩු ගන්න තමයි වෙන්නෙ.

      Delete
    2. බොරු නොකියා ඉන්න පුතේ. රත්මලාන ගුවන් තොටුපලේ එවුන්ට හොඳට සිංහල පුළුවන්. අපේ ගෙවල් ළඟ ඒක තියෙන්නෙ. ගහ දන්න මිනිහාට කොළ කඩා පාන්න එන්න එපා පුතේ.

      මීට, කුමාර දිප්පිටිය මයා
      ගරු ලේකම්,
      තරුණ බෞද්ධ සංගමය,
      කොතලාවලපුර
      රත්මලාන.

      Delete
    3. ඔව් ඔව් ඉංගිරිස් නම් මොනවාද එංගලන්තේ හිගන්නොත් කථා කරනවනේ එකට අපේ සිංහල මහා රැජිනිටත් බැහැ

      Delete
    4. දිප්පිටිය අංකල්, දික්තලා ඇන්ටිට ලියපු කවි නැද්ද?

      Delete
    5. @ Anonymous 11 July 2016 at 21:18

      චෞර රැජිනට නම් භාෂා කීපයක් ම පුළුවන් නේද?

      Delete
  2. අපේ පොඩ්ඩා තාම කතා කරන්න හදනවා විතරයි. අපි තීරණය කළා සිංහලෙන්ම කතා කරන්න. අපේ කැඩිච්ච ඉංග්‍රීසි එයාට හුරුකරවන්න හොඳ නෑ. ඒ එක්කම එයා සිංහල ඉගෙනගන්නත් ඕනෑ ගෙදරින්නෙ.

    ඊළඟට මතුවෙච්ච ප්‍රශ්නෙ තමයි නියම වචන පාවිච්චි කරනවද? කුඩා දරුවන් සඳහා පාවිච්චි කරන ආදේශක වචන යොදනවද කියන එක. උදාහරණයකට කිව්වොත් වතුර, බල්ලා, බත්, මාළුවා නොකියා ජෝ, බව්වා, බයියං, ආව්වා කියනවද කියන එක. ඒකට නම් තාම උත්තරයක් ලැබුනේ නෑ. මොකද නියම වචන පාවිච්චි කරන්න කියලා කියන මමම සමහරවෙලේට ඒ වචන පාවිච්චි කරනවා නොදැනුවත්වම.

    පොඩිම එවුන්ට ඉංග්‍රීසි උගන්වන එක උන් එක්ක ඉංග්‍රීසියෙන් කතාකරන එක දැන් මෝස්තරයක් වෙලා. අපේ ගෙවල් අහල පහල පෝස්ටර් ගහලා තිබ්බා අවුරුදු දෙකේ තුනේ ඉඳලා ළමයින්ට ඉස්පෝකන් ඉංග්‍රීසි.

    මගෙ යාලුවෙක්ගෙ ළමයෙකුට ඔය වගේ භාෂා ප්‍රශ්නයක් උනා. ‍යාලුවා වතුර පෙන්වලා වතුර කියනවා. යාළුවගේ අම්මා වතුර පෙන්නලා ජෝ කියනවා. යාලුවගෙ බිරිඳ වතුර පෙන්වලා වෝටර් කියනවා. පොඩි එකා හොල්මන්ද පොල්කොල.

    ReplyDelete
    Replies
    1. මගේ නම් අදහස දරුවන් එක්ක කතා කරනකොට නියම වචන පාවිච්චි කරන එක හොදයි කියලා. ඒවා දරුවට කියන්න බැරිනම් එයාම ඒකට වෙන වචනයක් හදාගෙන පස්සෙ හරි වචනෙ කතා කරනවා. එහෙම දරුවො කියන්න බැරි කමට හදාගන්න වචන ඔය අපි දන්න ආදේශක වචන වලට වඩා වෙනස් වගේම ඒවා අහන එක විනෝදයි. අපේ පුතා පුංචි කාලෙ පුංචම්මට කිව්වෙ පිම්පි කියලා. තව ඒ වගේ වචන මහ ගොඩක් තියෙනවා. මං ඒවා කාල වකවානුත් එක්ක ලියලා තියාගෙන ඉන්නවා.

      Delete
    2. හරී,
      මා කියා ඇත්තේ බහ තෝරන වයසේ ළමුන්ට භාෂා තුන හතරක් එක්වර ඉගෙන ගත හැකි බවයි.

      ඉංග්ලිෂ් කතා කරන රටක සිටිනා ළමුන්ට දෙමව්පියන් අමුතුවෙන් ඉංග්ලිෂ් උගන්වන්න අවශ්‍ය නෑ.

      ඔබේ දරුවාට කුඩා කළ සිටම භාෂා තුනම උගන්වන්න.

      Delete
    3. හරී/සඳ වියමන්,

      අප කළ වරදක් නම්, දුව වැරදියට කියූ වචන නිවැරදි නොකර අපත් භාවිතා කිරීම. උදාහරණ- දත් මැදුවා (දත් මැද්දා වෙනුවට)

      Delete
    4. //ඉංග්ලිෂ් කතා කරන රටක සිටිනා ළමුන්ට දෙමව්පියන් අමුතුවෙන් ඉංග්ලිෂ් උගන්වන්න අවශ්‍ය නෑ.// ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනගන්න ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන්න හිතාගෙන ඉන්න ළමයින්ටත් මේක අදාළයි නේද?

      මේක ලියනකොට තමයි මතක් උනේ. එහෙම කරන්නත් මූලික ඉංග්‍රීසි දැනුමක් ළමයාට දෙන්න ඕනෑ නේද? ඉංග්‍රීසි පාසලකට යවන්න කලින්. රසික කියපු වචන ටික විතරක් කියලා දීලා යවන්න බෑනෙ.

      Delete
  3. රසිකගේ ලස්සන ෆොටෝ එක

    ReplyDelete
    Replies
    1. දැන් වුනත් විග් එක විතරයි අඩු :-D

      Delete
    2. කොහොමද කණ්ණාඩි දෙකේ සයිස් එක?

      Delete
  4. +++++++++++++++++++++++++++++++++++++++++++++++++
    බොහොම වටිනා උපදෙසක් රසික. ඔබගේ තර්කය එකහෙළා පිළිගන්නවා.

    ReplyDelete
    Replies
    1. ඕක අදාල වෙන්නේ පිටරටට නේද?
      ලංකාවෙනම් ඉස්කෝලෙන් විතරක් ඉන්ග්‍රීසි කතාකරන්න ඉගන ගන්නෙ සමහර ඉස්කෝලවල විතරයි.

      Delete
    2. (නොරට සිටින දෙමව්පියන් විසින් )....

      Delete
    3. සජිත්,
      මා කියා ඇත්තේ බහ තෝරන වයසේ ළමුන්ට භාෂා තුන හතරක් එක්වර ඉගෙන ගත හැකි බවයි.

      ඉංග්ලිෂ් කතා කරන රටක සිටිනා ළමුන්ට දෙමව්පියන් අමුතුවෙන් ඉංග්ලිෂ් උගන්වන්න අවශ්‍ය නෑ.

      ඔබේ දරුවාට කුඩා කළ සිටම භාෂා තුනම උගන්වන්න.

      Delete
    4. මේ කතාව ලංකාවේ එකක් නොවන බව තවත් පැහැදිලි වීම සඳහා ප්‍රාජේ ගේ කමෙන්ටුවට පසුව ලිපියේ මාතෘකාවේ මුල් කොටස එකතු කරන ලදී.

      Delete
    5. ඔව් පිළිගන්නවා පිටරට ඉන්න යට විතරක් ඒ කතාව අදාලබව. හැබැයි මෙහෙම දෙයක් තියනව නේද. අද සමහර උදවිය ළමයින්ට ගෙවල් වල ඉංග්‍රීසියෙන් කතා කරන්න උගන්වන්න උත්සාහ කරනව ඔවුනුත් ගෙදර ඉංග්‍රීසියෙන් කතා කිරීමෙන්. මම දන්නා තරමට පුද්ගලිකව මට එහෙම කරගන්න පලුවන් යයි සිතමු. හැබැයි මගේ ඉංග්‍රීසි සහ බිරිඳගේ ඉංග්‍රීසි පිටරට ඉංග්‍රීසි වල තත්වයට එන්නෙ නෑ. එතකොට ඒ ළමයට ඉංග්‍රීසිත් හරියට බෑ, සිංහලත් හරියට බෑ. මම කියන්නෙ පුළුවන් සිංහල ඉස්සෙල්ල උගන්වන්න ඕන. ඊට සමගාමීව ඉංග්‍රීසි උගන්වන්න ඕන. මමත් විශ්වාස කරන ආකාරයට අපි දෙමලත් උගන්වන්න ඕන ළමයින්ට. හැබැයි පළමුව දෙමාපියන්ට හොඳින් පුළුවන් මව් භාෂාව උගන්වන්න අවශ්‍යයි.එක හරියට නොකර භාග ඉංග්‍රීසි ඉගැන්නුවොත් ළමයි නන්නත්තාරයි...

      Delete
  5. රසිකගෙ උපදෙස හොඳයි. මොකද ඒ ළමයින්ට පාසලේදි ඉංග්‍රීසි කතාකරන්න ඉගෙනගන්න පුලුවන් උනත් සිංහල කොහෙන් ඉගෙනගන්නද.

    කවුද අර උඩ ෆොටෝ එකේ කොන්ඩෙයක් දාගෙන ඉන්න ඩෑල් එක.

    ReplyDelete
    Replies
    1. නිහාල් නෙල්සන් කීවාන පරණ කතාවක් සිහිවුණා.

      ඒ ෆොටෝ එකේ ඉන්නේ නළුවෙක්.

      Delete
  6. මේ ගැන මට හිතෙන දේ http://maanawa.blogspot.com.au/2016/07/blog-post_11.html

    ReplyDelete
  7. මගේ ළමයි 4 දෙනා ලැබුනේ පිටරට මං ළමයි එක්ක කතා කරන්නේ දෙමළන්. එන්ග්ලිෂ් වලින් කථා කරන්න ගියාම expression එලියට් දාන්න ළමයි ට බැහැ. මොකද මගේ english දැනුම සිමිතය්. හනික ළමයිගේ හුරතල් කමත් නැතිවෙනවා. අතේ හිදුල් හෝද ගන්න වගේ වචන මං දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ජාතිකවාදී ධීර වීර සිංහලයින් තම දරුවන් සමඟ කථා බස් කරන්නේ අන්ඩර දෙමළ බස් වලින් නොව හුදු හෙළයෙනි.

      අතේ හිදුල් වල කලින් මොළේ හිදුල් සෝදා ගත යුතුයි.

      මීට, කුමාර දිප්පිටිය මයා
      ගරු ලේකම්,
      තරුණ බෞද්ධ සංගමය,
      කොතලාවලපුර
      රත්මලාන.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. මොහොමඩ්,
      ඔබේ මව් භාෂාව දෙමළ නම්, ඔබේ දරුවන් සමග දෙමළ භාෂාවෙන් කතා කිරීම තමයි නිවැරදි ක්‍රමය. ජයවේවා.

      Delete
    4. යකෝ තොපිල පඩිපෙළවල් වගේනේ ළමයි හදන්නේ

      Delete
  8. රසික පුතා කැඩිච්ච ඉංගිරිස්ද භාවිතා කොරන්නෙ? අපිට හරිම කණගාටුයි රසික පුතා වගේ පෙරාදෙණියෙන් බිහිවෙච්ච උගතෙක්, අවුරුදු ගාණක් ඕට්ටේලියාවෙ ඉඳලත් මේ වගේ කැඩිච්ච දේවල් කරනවට?? අපි වගේ සිංහල විතරක් දන්න අයගෙ ඉංගිරිස් ගැන ඉතින් කවර කතාද !!

    මීට, කුමාර දිප්පිටිය මයා
    ගරු ලේකම්,
    තරුණ බෞද්ධ සංගමය,
    කොතලාවලපුර
    රත්මලාන.

    ReplyDelete
    Replies
    1. මට නම් කිසිම කනගාටුවක් නෑ අංකල්. මං පරම්පරාගත ඔසී මිතුරන්ටත් ඉංග්ලිෂ් උගන්වනවා.

      Delete
    2. හප්පේ මූ කැඩිච්ච ඉන්ගිරිස් කථා කළත්, ඔසී සුද්දන්ටත් ඔසී ඇක්සන්ට් එකෙන් ඉංග්‍රීසි කතා කොරන හැටි උගන්වනවා. බලපල්ලකො මූගෙ කතා ?? පව් ඔසී සුද්දො සිංහලෙන් වෙන්ටැ කතා කොරන්නෙ. මූගෙ ඔක්කොම කතා මේ වගේම ඇති. සියල්ල දත්, ක(ක්)කා මහත්තයනෙ.

      Delete
  9. අපේ ඉස්සරහා ගෙදර ඉන්නේ අවුරුදු දෙකහාමාරක් වෙච්චි හුරතල් පොඩි දෙමළ ජාතික කෙල්ලෙක්.ඒ ගෙදර දරුවා එක්ක දෙමලෙන් දෙමාවුපියෝ කතාකරන නිසා හොඳින් දෙමලත් පුළුවන්.අපි සිංහලෙන් කතා කරන නිසා සිංහලත් තේරුම් ගන්න සහා කතාකරන්න පුළුවන්.ඉංග්‍රීසි වලින් උනත් යම් යම් දේ හුරුබුහුටි ලෙස කියන්න ඇයට පුළුවන්.

    ReplyDelete
    Replies
    1. දරුවා ඉපදුනාම ඒ කෙල්ලත් එක්ක ආශ්‍රයට යවන්නට හොඳින් මතක තියා ගනිං.ඒ ගෙදරින් දෙමළත් ඉංග්‍රීසිත් තමන්ගෙ ගෙදරින් සිංහලත් ඉගෙන ගන්න දරුවා භාෂා තුනම හොඳින් කතා කරයි.මේ ගැන මගෙ පුද්ගලික අත්දැකීමකුත් ඇතත් මෙතන නොලියමි.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. හැලප යෝජනාව අගෙයි මනෝජ්.

      සන්නිවේදනය හිතවත්කම් වැඩිදියුණු කරනවා.

      Delete
  10. අප කළේත් ඔබ කළ දෙයමයි. මා ඒ ගැන සතුටු වෙනවා.

    ReplyDelete
  11. ළමුන්ට බහු භාෂා ඉගැන්වීම තුලින් ඔවුන් ගේ බුද්ධිවර්ධනයක් සිදු වන බව නම් Diaz පරියේශකයා පෙන්වා දී තිබෙනවා

    ReplyDelete
    Replies
    1. රෝයි ඩයස් ද?
      ඌ ක්‍රිකට් ගහපු එකෙක් කියල මම අහල තිබ්බේ. ගෑනිනම් මරාගේ ගෑනි ගේ හොර රත්තරන් විකුන්නා

      Delete
  12. මා නම් රසික අප කරපු දේවල් වලින් හා ඉගෙන ගත්තු පාඩම් දරුවන් හැදීමේදී ප්‍රයෝජනයට ගන්නවා (ගත්තා). මා ඔවුන්ව (ඔවුනට) එතරම් වැදගත් නොවන දේවල් ඉගෙන ගන්න යොමු කෙරෙව්වේ නැහැ, වගේම උනන්දු කෙරුවෙත් නැහැ. ඒ ගැන තැවිමකුත් නැහැ.

    ReplyDelete
    Replies
    1. රයිගම භාෂා තුනක් දන්නවා. දරුවන්?

      Delete
  13. අපිට ඉතිං ඔය ලැංවේජ් ගැන බරසාරෙට දොඩන්න දරුවො නෑනෙ තාම.. මම ලැංවේජ් ගැන හොද පාඩමක් ඉගෙනගත්තා ජාත්‍යන්තර කුනුහරුප වීඩියෝ අඩවි වලින්...මැක්සිකෝව, පිලිපීනය, ඉන්දුනීසියාව ඉන්දියාව වගේ රටවල කුනුහරුප සහ ඒ වචන වලින් ‍සර්ච් කලාම ඒ රටවල වීඩියෝ තමයි සර්ච් වෙන්නේ.. එතකොට කවදාවත් රටේ නමින් සර්ච් කලාට මලාට එන්නේ නැති වීඩියෝ කදිම ඒවා අපිට බලාගන්න පුලුවන් වෙනවා.. ඒ නිසාම මම දැන් මෙක්සිකන් ඉන්දුනීසියන් බසේ වචන දහය පාලවක් දන්නවා..

    ReplyDelete
    Replies
    1. ඉතින් බං ඒවයින් වචනයක් දෙකක් ලියහංකො මෙතන.

      Delete
  14. රසික කියන කතාව ඇත්ත කියලා මාත් ප්‍රායෝගිකව ඇත්ත අත්විදලා තියෙනවා.

    අපි තායිලන්තෙට ගියෙ අපේ පුතාට අවුරුද්දෙදි. එහෙදි එයා බලාගත්තෙ තායි ජාතික කාන්තාවක්. .....එක ඇතුලෙ තියෙන ජාත්‍යන්තර වටපිටාව රසික දන්නවනෙ. අපේ විලේජ් එක වටේට හිටියෙ එක එක රටවලින් ආව අය.

    අපි දෙන්නා එයත් එක්ක කතා කරේ සිංහලෙන්. කූන් තායි වලින්. දවල් කාලෙ වැඩිපුරම ඉන්නෙ ගෙයින් පිට නිසා එයාට අනිත් අය එක්ක අදහස හුවමාරු කරගන්න උනේ ඉංග්‍රීසියෙන්.

    එයා එහෙන් ආවෙ අවුරුදු තුනේදි. ඒ වෙනකොට ඔය භාෂා තුනම පුළුවන්. හොදම දේ එයා ලංකාවෙ කෙනෙක් දැක්කම කතා කරන්නෙ සිංහලෙන්, තායි අය එක්ක තායි වලින්. අනික් ඕනිම ජාතියක් එක්ක ඉංග්‍රීසියෙන්. පුංචි දරුවො අපි හිතනවට වඩා හරිම පහසුවෙන් භාෂාවල් අල්ලාගන්නවා. පුතයි මායි ජපානෙට ආවෙ එකට. මාස තුන හතරක් යනකොට එයාට මේ භාෂාවත් පුළුවන් උනා. මට අවුරුදු තුනක් ගිහිල්ලත් තාම එයාට වගේ කතා කරන්න බෑ

    ReplyDelete
    Replies
    1. හොඳ උදාහරණයක්.

      දෙවසරක් ඉඳලාත් මට තායි වචන් කීපයයි පුළුවන්

      Delete
    2. නිවසට ගම (විලේජ්) කීමත් තායිලන්තයේ දී විතරයි නේද?

      Delete
    3. විලේජ් කිව්වෙ AIT එකේ ස්ටුඩන්ට් විලේජ් එකට. මගේ AIT වචනෙ හැලිලා උඩ කමෙන්ට් එකෙ

      Delete
    4. AIT කියන අකුරු තිබුණත් නැතත්, නිවස කියන අරුත දෙන්න විලේජ් කියන්නේ එහේදී විතරයි.

      විලේජ් එකටත් විලේජ් කියනවා, ගෙදරට කියන්නේත් විලේජ් කියලාම තමයි. ඒක මහා විකාරයක් ලෙසයි මට ඒ කාලේ පෙනුනේ.

      Delete
  15. මේවා තමයි හසන්ත, ඕස්ට්‍රේලියාවේ ඉන්න වැදගත් මහත්තුරු ලංකාවෙ ගොන් නාම්බන්ට දෙන දිරච්චි ලණු.

    ඕස්ට්‍රෙලියාවෙදි හරි වෙන බටහිර රටකදි හරි ගෙදරදි සිංහලෙන් කතා කිරීමේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද පාසැලේදි බාහිර පරිසරයෙදි දරුවා අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා.

    ලංකාවෙදි ගෙදර සිංහල කතා කරන දරුවා අන්තිමට දන්නෙ සිංහල විතරමයි. ඉංග්‍රීසි නාමයක් නෑ. අනේ ඌ අන්තිමට පාර අයිනෙ තැඹිලි විකුණන්න පටන් ගන්නාවා. ඇයි වෙන රස්සාවක් කරන්න ඉංග්‍රීසි බෑනෙ.

    ඒකත් හොඳයි. එතකොට අර ඕස්ට්‍රෙලියන් දරුවා සමර් එකට ලංකාවට ඇවිල්ලා ට්‍රිප් එක යනකොට තැඹිලි ගෙඩියක් ගන්න එකෙක් පාරෙ ඉන්නවනෙ.

    ReplyDelete
    Replies
    1. ඔයාට චූට්ටක් විතර ටැපලිලා ඇනෝ. රසික කතා කරන්නෙ පිටරට ඉන්න අයගෙ දරුවො ගැන.

      Delete
  16. රසිකගෙ ලිපිය ඉතාම වටිනවා කොමෙන්ටුත් එක්ක ගත්තම ඉතාමත්ම වටිනවා. මට හොඳ අත්දැකිමක් ලංකාවෙදි පාසලකින්ම ලැබුණා. එහි සිටි එක් දරුවෙක් භාෂා පහක් හොඳින්ම දන්නවා ගෙදරදි අම්ම තාත්තගෙන් ඉගෙනගත් භාෂාව, යාබද නිවෙස්වලින් ඉගෙනුම ලැබූ භාෂාව, පාසලෙන් ඉගෙනුම ලැබූ භාෂා තුනම දරුවාගේ මට්ටමින් හොඳින් ප්‍රගුණ කර තිබුණා. අපේ අරීබා ! | - sugv - WordPress.com කියල ගූගල් වලින් මෙයා ගැන විස්තර සෙව්වැහැකි. "භාෂාවක් ඉගෙනීම කියන්නෙ ලෝකයක් හැඳින ගැනීම භාෂා කීපයක් ඉගෙනීම කියන්නෙ ලෝක කීපයක් දැන හැඳින ගැනීම" මම මෙක් කොහේ දී හෝ අසා තිබෙනවා

    ReplyDelete
    Replies
    1. බෙංගාලි භාෂාව ඉගෙන පොත් පරිවර්තනය කළ ලේඛිකාව ගැන දන්නවා නේද?

      Delete
  17. දරුවො එක්ක හැම වෙලේම ඉංගිරිසියෙන් කතා කරන්න අවශ්‍ය නෑ. එයාලට දවසකට පැයක් ඉංගිරිසියෙන් කතා කළානම් ඒ ටික මතක තියා ගනියි. ඉංගිරිසි ඉගෙන ගන්න (නිවැරදි ඉංගිරිසි) පහසුකම් බොහෝමයක් තියනවනෙ. අපි ඇත්තටම කැඩිච්ච ඉංගිරිසි උගන්නලා ළමයා අමාරුවෙ දානවට වඩා මව් භාෂාව හරියට උගන්නපුවහම ඉවරයි.

    අර ජාතිවාදී පරයාගේ කමෙන්ට් එක මකල දාන්න.

    ReplyDelete
    Replies
    1. එය අදාල ඉංග්ලිෂ් කතා කරන රටක ඉන්නවා නම් පමණයි.

      ඉතාලියේ හෙම තත්වය මොකක්ද මන්දා?

      Delete
  18. සමාවෙන්න, මේ නොදන්නවට අහන්නේ. කොහෙද රසික මේ 'සිනුවර ' තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. සිනුවර කියා ගූගල් කර බලන්න.

      Delete
    2. ඔච්චර ආඩම්බර වෙන්න එපා. කිව්වනේ නොදන්න නිසා අහන්නේ කියලා. කලිනුත් ගූගලේ කළා. ඒත් එන්නේ ' sinuwara prathiba ' ම පමණයි . කියන්න බැරිනම් ඔයාම තියාගන්නකෝ. පිස්සු බුවෙක් !

      Delete
    3. බුදු අම්මෝ තරහ ගියාද?

      මෙන්න මේක කියවන්නකෝ, සිනුවර ගැන විස්තර තියෙනවා!

      සිඩ්නි නගරයට අළුත් නමක් - Sydney renamed...! :: http://rasikalogy.blogspot.com/2015/04/sydney-renamed.html

      Delete
    4. සොරි වෙන්න ඕනේ, දැන් තේරුණා මේක මේ රසික දාපු නමක්නේ. රසිකගේ මොලේ තමා මොලේ!!
      ඔහොම යන්, ඔහොම යන්, අනිත් නගර ටිකත් සිංහලට පෙරලමු.

      දැන් චීනේ අර දුපත් වලට අයිතිවාසිකම් කියනවා වගේ එතකොට තව ටික කාලෙකින් අපිටත් බැරිය ඔය රටටත් අයිතිවාසිකම් කියාගෙන පනුවර ට හරි ඇපුර ට හරි එන්න.

      Delete
  19. අපේ පුතාට මම සිංහල කවි සින්දු එහෙම පුරුදු කරේ වයස තුන හතර වෙද්දී. එයා භාෂා දෙකම චතුර ලෙස කතා කරනවා .. යු ටියුබ් එකට සින්දු කිහිපයකුත් දැම්මා සිංහලෙන් කියන. එයා ලංකාවෙන් පිටත් වෙන කොට වයස මාස පහයි..

    ReplyDelete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. විදේශයක ඉන්නකොට ළමයින්ට සිංහල ඉගැන්වීම සම්බන්ධ මගේ අත්දැකීම්...

    - ගෙදරදී සිංහලෙන් කතා කිරීම අනිවාර්යයකි.
    - ළමයා, දිවා සුරැකුම් මධ්‍යස්ථාන හෝ පාසල් යාමට පටන් ගැනීමෙන් පසු සිංහල කතා කිරීම අඩු වේ.
    - දහවල් දවසේ නිවසින් පිට සිටින නිසා, ළමයින්ට යම් යම් දේ පැහැදිලි කිරීමට දෙමාව්පියන් ඉංග්‍රීසියෙන් ළමයි සමග කතා කිරීමට පෙළඹෙයි.
    - සාමාන්‍ය කතා බහ සිංහලෙන් සිදුවන නිවෙස් වල පාසල් වයසේ ළමයින්ට හොඳින් සිංහල තේරුම් ගැනීමට හැකිය. නමුත් පිළිතුරු දීම සඳහා ඉංග්‍රීසි භාවිතා කිරීමට ඇති ඉඩ වැඩිය.
    - ආච්චි, සීයා නිවසේ සිටී නම් සහ ඔවුන් සිටින කාල වලදී ළමයා වැඩියෙන් සිංහලෙන් කතා කිරීමට පෙළඹෙයි.
    - දෙවෙනි සහ පසුව උපදින ළමයි සිංහල කතා කිරීමේ ප්‍රවනතාව තරමක් අඩුය. ඔවුන් බොහෝ විට සහෝදර සහෝදරියන් සමග ඉංග්‍රීසියෙන් කතා කිරීමට පෙළඹේ.
    - හැම ළමයාටම භාෂා කීපයක් ඉගෙනීමේ හැකියාව නැත. සමහර ළමයින් පිටතදී ඇසෙන ඉංග්‍රීසියත්, ගෙදරදී ඇසෙන සිංහලත් නිසා භාෂා තෝරා බේරා ගත නොහැකි තත්වයකට පත්වී එක භාෂාවක් හෝ කතා කිරීම ඉතා අඩු කරයි. කාලයකට පසු යථා තත්වයට පත්වේ.
    - පාසලේ මුල් වසර දෙක තුන තුල ඉගැන්වෙන ඉංග්‍රීසි උච්ඡාරණය පිළිබඳ ක්‍රමවේදයන් සහ දුටු පමණින් හඳුනා ගත යුතු වචන ආදිය, පාසලේ වැඩ කටයුතු හොඳින් කරගෙන යෑම සඳහා බෙහෙවින් බලපාන බැවින්, ළමයින්ට තව භාෂාවක් එම කාලය තුලදීම ආයාසයෙන් ඉගැන්වීම තරමක ප්‍රායෝගික වශයෙන් අපහසු කටයුත්තක් විය හැක. කලින් කී ආකාරයට, සෑම ළමයාම මේ සම්බන්ධව එක ලෙස දස්කම් දක්වන්නේ නැත.

    මා නිරීක්ෂණය කර ඇති දේ පමණි.

    ReplyDelete
    Replies
    1. මේ හැමදේටම හේතුව තිසර දෙමාපිය නොදැනුවත්කම්...භාශාවක් කතා කිරිම යනු කුමක්ද යන්න ගැන සහ තම දරුවා යනු කවුරුන්ද කියා අඳුනා ගැනිම ගැන... ස්වාධීනව නොසිතිම..

      Delete
  22. රසික, මමත් ඔය ප්‍රශ්නයට මුහුණ දෙන කෙනෙක්. අපේ ලොකු පුතාට හොඳට සිංහල කතා කරන්න පුළුවන්. ප්‍රශ්නය පොඩි පුතා. අපි සිංහලෙන් මොනොවත් ඇහුවත් උත්තර දෙන්නේ ඉංග්‍රීසියෙන්. රසික ගේ පුතා දුව තරම් හොඳට සිංහල කතා කරනවද? මම අර කලින් කිව්ව ප්‍රශ්නයට රසික මුහුණ දී තියෙනවද?

    ReplyDelete
    Replies
    1. පිරිමි ලමයි භාශාව අතින් පෙන්වන්නේ මොළයේ වැඩිමේ පසුගාමි බවක් ගැනු ලමයින්ට වඩා.. පහසු භාශාව තමයි එයාලා තෝර ගන්නේ, දෙමාපියන් උපක්‍රමශීලිව දරුවන්ව හසුරුවා ගන්න ඕන.. උදාහරණයක් විදිහට සිංහලෙන් කතා කලාම විශේෂ දෙයක් දෙන්න පුලුවන්, අගය කරනන් පුලුවන් , වැඩියෙන් දරුවා එක්ක කාලේ ගත කරන්න පුලුවන්. මොනව කලත් දරුවා දෙමාපියන් ඇසුර ප්‍රිය කරන්නේ නැත්නම් වැඩක් වෙන්න නැහැ

      Delete
  23. රසික කියවලා තියනවද එහෙමත් නැත්නම් අහල තියනවද දැනුවත් ද EYLF ගැන ? එහෙම නැත්නම් ඔබත් කියවලා දැනුවත් වෙලා ඔබෙන් උපදෙස් ගන්න අයටත් දෙන්න කියවන්න. දැනුවත් වෙන්න. අපේ රටේ අපි දන්න දරුවන් හැදිමේ, ඉගැන්විමේ ක්‍රමයට වඩා මේ ක්‍රමය බොහෝ අංශවලින් ඉතාම වෙනස් වගෙම හරිම සරලයි. තමන්ගේ ළමයට ආවේණිකයි. ඒ නිසා අනිත් අයගේ උපදෙස් වලින් ගන්න පුලුවන් උදව්ව ඉතාම සීමීතයි තමන් ඉගෙන ගන්නේ නැත්නම්...

    ඔස්ට්‍රේලියාවෙ ඉගැන්නුම් පද්ධතිය නිර්මාණය වෙලා තියෙන්නෙ මෙන්න මේ පදනම උඩ. පදනම දන්නේ නැතුව යන ගමන හරියට කලුවරෙ අත පත ගාගෙන යනවා වගෙ..

    මට හිතා ගන්න පුලුවන් ඔබේ දියණිය වින්ඳ අපහසුතා වල තරම අපේ සාමාන්‍ය ජිවන රටාවට හාත්පසින් වෙනස් රටාවක් දිවෙන දිවා සුරැකුම් සහ පාසල් අධ්‍යාපනයේ ඔස්ට්‍රේලියාවෙ.. ඒක බොහෝ සංක්‍රමනික ආසියාතිකයන් නොදැනුවත්කම් නිසා මූණදෙන සුලබ තත්වයක්..

    දෙමව්පියන් ඇතුලු දරුවා සමඟ ගැටෙන ඕනම කෙනෙක් මේ දේවල් කියවලා හරියට දැනුවත් වී තින්දු තීරණ ගන්නවා වීනා අනිත් කෙනෙක් කල පලියට කිව්ව පලියට තීරණ ගැනිමේ කිසිඳු වටිනාකමක් හෝ තේරුමක් නැහැ.

    මම දකිනවා ලංකාවෙ ඉඳල එන දෙමාපියන්, දරුවන් බොහෝ සේ ගැටලු ( නොදැනුවත්කම නිසා මතු වන ) වලට මුහුණ දෙනවා මේ වෙනස තේරුන් ගන්න තරන් දැනුවත් භාවයක් නැති කමින්.. ඒ ඔක්කොටම හපන් ඒ ගැන හංකවින්සියක්වත් නොදන්න අයගෙන් උපදෙස් පැතිම වගේම එවැනි අය උපදෙස් දෙන්න යාම.. හොදම දේ තමන් වෙලාව හොයාගෙන ඇත්තටම කැප වෙලා හොයන එක, දැනුවත් වෙන එක.. කොහොමද මේ රටේ දරුවෙක් හදන්නෙ, කොහොමද දෙමාපියන් නැති තැනක දරුවෙක් මුණ දිය යුත්තේ.. තමන් ගෙදර මොනවද ඒ සඳහා කලයුතු වෙනස්කම්..දිවාසුරැකුම්, පෙර පාසල් ඇතුලු පාසල් අධ්‍යාපනයේ මූලික පදනම මොකද්ද ?

    මම නම් දකින්නෙ නැ දරුවා එක්ක ඉංග්‍රිසියෙන් කත කිරිමේ කිසිම වැරැද්දක්.. දෙමාපියන්ට පුලුවන් තමනගේ ඉංග්‍රිසි ( කම්මැලි අයට , වෙනස් වෙන්න අකමැති අයට මේක බැහැ ) හොඳ නැත්නම් ඉගෙන ගන්න ටික ටික.. දරුවා විතරක් එක එක භාශා වලින් දැනුවත් කරලා තමන් විහින් හදා ගන්න "ගැප්" එක කොහොමද මඟ හරවා ගන්නේ අනාගතයේ.. ඒ ගැන තමන්ටම දුක් වෙන්න වේවා නේද දරුවන් එක්ක අදහස් ලඟින් හුවමාරු කරන්න ගන්න බැරි උනාම.. මම නම් කියන්නේ, හිතන්න අඩුම ගානේ අවුරුදු පහක් ඈතට අද.. තමන්ගේ පවුල , දරුවන් කොහේ කොහොම ඉන්නවටද තමන් කැමති... ඒ අනූව තීරණ ගන්න එදිනෙදා.. කවදාවත් දෙයක් උනාට පස්සේ හිතලා වැඩක් නැ

    ReplyDelete
    Replies
    1. පසුව පිළිතුරක් ලියන්නම්-
      ස්තුතියි!

      Delete
  24. හිතලා මතලා නිර්මාණශිලිව වැඩ කල හැකි කැපවෙන දෙමාපියනට පුලුවන් සිංහලත් කතා කරලා දරුවා ඉගෙන ගන්න භාශාවත් කතා කරලා ප්‍රශ්නයක් ඇති නොවෙන විදිහට දරුවත් එක්ක දිඟින් දිඟටම ලඟ සම්බන්ධයක් තියා ගන්න දුරස් නොවි..

    දරුවට වටහා දුන්නම කොයි කොයි තැනදි ද භාශ වෙනස සිදු කල යුත්තේ කියලා හරිම පැහැදිලිව එයාල ඉගෙන ගන්නවා.. ගොඩක් වෙලාවට වෙන්නේ දෙමාපියන් දැනුවත් නැහැ කොහොමද දරුවට මේවා කියලා දෙන්නේ.. කොහොමද දරුවට ලං වෙන්නේ වෙනස් පරිසර රටාවක හැදෙන... හොඳම දේ කොහේ හෝ රටකට දරුවත් එක්ක යනව නම් ඊට කලින් ඉඳලම දරුවන් සඳහා වන ඒ රටේ ක්‍රියාපටිපාටි රජය හරහා ඇති පිලිගත් ආයතන , වෙබ් අඩවි හරහා තමන් දැනුවත් වීම සහ කෙලින්ම එවැනි ආයතන සමඟ වැඩ කරන සුදුසුකම්ලත් පුද්ගලයන් සමඟ තමන්ගේ දැනහැදුන්කම් අර්ථාන්විතව පවත්වාගෙන යාම.

    කාගෙන් හරි අහන්න ඕන කොහොමද කරන්න ඕන කියලා නෙමේ. මොනවද මුහුණ දුන්න ප්‍රශ්න, කොහොමද ඒවට විසඳුම් හොයා ගත්තේ..

    මේ හැම තොරතුරක්ම එකට එකතු කරගෙන තමන්ගෙ පවුලට, තමන්ගේ අදහස් වලට ගැලපෙන ක්‍රියාපටිපාටියක් හදා ගැනිම දෙමාපියන්ගේ ලොකු වගකීමක්.. එහෙම නැතුව එහෙට මෙහෙට තියන වෙනස්කම් වලට ඇඟිල්ල දික් කරලා තමන් බේරිලා ඕව ඔහොම තමයි කියල, ඉබේ හැදෙනකන් ඉන්න එක නෙමේ..

    රසික , පුලුවන් නම් මේ දේවල් සිංහලයට පරිවර්තනය කරන්න.. අපේ ක්‍රමයට වඩා හාත්පසින් වෙනස් ක්‍රමයක් මෙහි තියෙන්නේ.. අපි දෙමාපියන් විදිහට දැනුවත් නැත්නම් මේ ක්‍රම ගැන දරුවන්ට එන ප්‍රශ්න වලට නිවැරදි ගැලපෙන උත්තර අපිට දෙන්න පුලුවන් කමක් නැ..ඒකින් දරුවන් සහ අපි මුහුණ දෙන ගැටලු වලට තාවකාලික විසඳුම් දෙන්න කරන්න අපි පෙලබෙනවා.

    මේ රජයේ වෙබ් අඩවි වලින් බොහෝ තොරතුරු එකතු කර ගන්න පුලුවන් කොහොමද ගැටලු පැන නොනඟින්න දරුවෙක් වගේම පවුලක් විදිහට අපිත් මේ වෙනසට සාර්ථකව මුහුණ දෙන්න කියල.. හැබැයි ඒ සඳහා තමන්ටම ලොකු ඕනෙකමක් කැප විමක් ස්වයංදැනුවත්වීම් කරන්න තරන් වෙලාවක් සදා ගත් හැකි පරිදි ජීවන රටාව වෙනස් කරගන්න කැමැත්තක්..තමන්ගේ මතිමාතාරන්තර, ජීවන රටාව තැනට ගැලපෙන ලෙස වෙනස් කර ගන්න තරන් (Felxible) නිදහස් මනසක් , අලුතෙන් හිතිය හැකි මොළයක් (think out of box) අනිවාර්යෙන් තිබිය යුතුයි.. එතනදි මට ගොඩක් සැකයි අපේ ලංකාවෙ අයට ලමයෙක් හදන තැනට එනකන් ජිවිතේ උඩට එන්න ගත්ත වෙහෙසත් එක්ක මේ වගේ ක්‍රියාවකිලයකට යන්න තරන් ශක්තියක් ඉතුරු වෙලා තියෙවිද කියලා...

    තවත් හොඳ උපදෙසක් තමයි රසික, වෙන රස්සාවක් කරන හෝ නොකරන අම්ම කෙනෙක් උනත් ඔස්ට්‍රේලියාවේ රජය අනුමත ආයතනයකින් Early education certisficate 3 කියන පාඨමාලාව හෝ හැදැරිම ( basic, can do online with OTEN - Tafe uni at very cheap price even for low income families ) එයින් බොහෝ දේ වටහාගෙන ප්‍රශ්න වලදි පහසුවෙන් තීරණ ගැනිමේ සහ කතා කිරිමේ හැකියාව වැඩි කර ගන්න පුලුවන්.. අනිත් එක මෙයින් මුලුමනින්ම දිවා සුරැකුම් ආයතනකට සිට පාසල් අධ්‍යාපනයේ අවසන් අදියර දක්කවාම මේ රටේ වෙන්නෙ මොනවද කොහොමද වෙන්නෙ , දරුවත් යන පාර ගැන දැනුවත් වෙන්නේ කොහොමද කියන එක නිවැරදිව දැන ගන්න, තේරුන් ගන්න පුලුවන් තමන්ටම...එය ලොකුම ලොකු සැහැල්ලුවක් වේවි විශේෂයෙන් අම්මා කෙනෙකුට සහ දරුවන්ට...

    පහත ලින්ක් වලින් වැඩි විස්තර හොයා ගන්න පුලුවන්..මං කැමති ඕනම කෙනෙක්ට මේ පාඨමාල හැදැරිමට අවශය නම් උදව් කරන්න, පටන් ගන්න හැටි කරන හැටි කියල දෙන්න..කිසිම විදිහකින් තමනගේ එදිනෙදා ජිවිතයට බරක් එකතු කර ගන්නෙ නැතුව ගෙදර ඉඳලම...

    Early Years Framework

    Early YearsLearning Framework

    Learning Outcmoes

    Learning Outcmoes

    ReplyDelete
  25. My problem is why Sri Lankan 2nd generation can't speak in both languages while Turkish , Italian and arabics can? What's their secret????

    ReplyDelete
  26. ඒ වගේම රසික.. කිසිම දවසක කිසිම දෙමාපියෙක්ව දිරිමත් කරන්න වත් යොමු කරන්නවත් එපා දරුවන් එකිනෙකා හා සන්සන්ඳනය කරන්න.. ඒ වෙනුවට අවුරුද්දෙන් අවුරුද්ද දරුවා දරුවා එක්කම සසඳා බලන්න හුරු උනොත් දෙමාපියන් හරි වටිනවා..

    සමහර වෙලාවට දෙමාපියන් කරන්නේ අරයගේ දරුවා මෙහෙම කලා අරෙහෙම කලා කියලා දරුවා ඉස්සරහම කියලා ඒ දරුවගේ තියන වටිනාකමත් ආත්ම ශක්තියත් නැති කරලා දානවා..

    හැම දරුවෙක්ම සුවිශේෂි.. වටිනවා. ආවේණිකයි.. ඒක දෙමාපියන් අඳුර ගැනිම වටහා ගැනීම හරිම වැදගත්...

    ReplyDelete
  27. මට ඕන කලේ ලංකාව එපාකරපු ගෑනිගෙ පවුලේ කාපාලු සෙට් එක අපේ ළමයි එක්ක කථාකරල ඒ ළමයින්ගේ ඔලුවලට විස දාන එක නවත්තන්න. ඒ නිසා සින්හල ඉගෙනගැනීමට මම මුල් තැනක් දුන්නේ නෑ.

    ReplyDelete
  28. රසික මේකනම් මට සෑහෙන ප්‍රශ්නයක් වුණා. මම සිංහලෙන් කතා කලේ. බිරිඳ ජර්මන් වලින් කතා කලේ. දරුවෝ දෙන්නටම ජර්මන් හොඳට පුළුවන් මව් භාෂාව වගේ. මම වැඩ ඇරිලා ඇවිත් කතා කරන ටිකට ඉංග්‍රීසියෙන් තමා දෙන්නම උත්තර දෙන්නේ. පස්සේ පස්සේ ඉංග්‍රීසියෙන් මිසක් සිංහලෙන් මාත් එක්ක කතාව නැවැත්වුවා. මම සිංහල ඉගැන්වූවා දන්නා නංගි කෙනෙකුට කියලා. ඒත් හරි ගියේ නැහැ. පස්සේ දවසක ළමයි දෙන්නම ඇහුවා මගෙන් - "අපට මොකටද සිංහල. අපි මොනවටවත් පාවිච්චි කරන්නේ නැහැ ඒ භාෂාව. ලංකාවේ ගියත් ඒ අය උත්සාහ කරන්නේ ඉංග්‍රීසි කතා කරන්න කියල."
    ඒ කතාව ඇත්ත. ලංකාවේදී දෙමව්පියෝ තමන්ගේ ළමයින්ට කියනවා ඉංග්‍රීසියෙන් කතා කරන්න කියල අපේ දෙන්නට. මට මතකයි ඔය ජාත්‍යන්තර විදුහලකට යන ළමයෙක් නිතරම එයාගේ තාත්ත අරන් ආව අපි හිටිය ටික දවසට මේ දෙන්න එක්ක ඉංග්‍රීසි කතා කරන්න කියල.
    පොඩි කාලේ මෙහෙ පන්සලක වෙසක් ගීත වලට "දම් සුගන්දේ" සින්දුව කියපු මේ දෙන්නා දැන් වචනයක් කතා කරන්නේ නැහැ.
    මම තවම සටන අත හැරලා නැහැ. නමුත් දැනට පැරදිලා ඉන්නේ.
    දෙන්නගෙම තර්කය "ලංකාවෙත් ඉංග්‍රීසියෙන් නම් කතා කරන්නේ අපි මොකටද සිංහල ඉගෙන ගන්නේ කියන එක."
    මම කියන්නේ - මට ආසයි ඔයාල කොහොම හරි සිංහල පොතක් පතක් කියවල මම ගත්ත සතුට ඔයාලත් ලබනවා නම් කියල.
    අර ප්‍රා ජේත් වැඩේ කෑවනේ.
    දැන් දෙන්නම කියන්නේ - "අර අන්කල් ප්‍රදීප් වගේ ඉංග්‍රීසියෙන් පොත් ලියන්න. වඩා හොඳයිනේ ඒක. බ්ලොග් එකත් ඉංග්‍රීසියෙන් ලියන්න."

    ReplyDelete
    Replies
    1. අජිත් මට ඔබේ කමෙන්ට් එක කියෙව්වම හිතුන් දේ ලියන්න හිතුනා. මට දැනුනු විදිහට ඔබට ඕන ඔබේ දරුවන් සිංහලෙන් කතා කිරිම හෝ කියවිම තුලින් ඔබ යම් සතුටක් ලැබිම.. සිංහල ඔබේ මව් බස නිසා විඳින.. එය සාමාන්‍යයි.. නමුත් ඔබේ දරුවන්ට ඔබේ ඒ හැඟිම ඔබ විසින් හරි හැටි දැනෙන්න ඔවුන් සමඟ කතා බහේ යෙදිල ඇසුරු කරලා නැහැ කියලා මට හිතෙනවා. ඔබට දැනෙන ඔවුනට නොදැනෙන දෙයක් වෙනුවෙන් දරුවන් නමන්න හරි අමාරුයි අජිත්.. ඔබ ඔවුන්ට ඔබේ හැඟිම දනවන්න ඔනේ සිංහලෙන් කතා කලාම ඔබට දැනෙන.. දරුවන් එක්ක නිතරම ඔබට වඩා වැඩි කාලයක් ගත කරන බිරිඳට ( ඔබේ හැඟිම ඇය වටහා ගෙන නම් පමනක් ) පුලුවන් ඔබේ හැඟිම් දරුවන්ට වටහා දෙන්න දෙවල් කරන්න. උදාහරනයකට විශේෂ දවසක සිංහලෙන් යම් දෙයක් සැදිම උපදින කාඩ් පතක් හෝ කේක් එකක නම ලිවිම හෝ බිත්ති සැරසිල්ලක් ( පිටපත් කිරීම ඕනම කෙනෙකුට කල හැකියි )...එවිට එය දකින ඔබේ හැසිරිමේ වෙනස තුලින් ඔබේ හැඟිම දරුවන්ට දැනෙන්න ඉඩක් හදා ගන්න පුලුවන් මම හිතන්නේ..

      Delete
    2. මම යම්කිසි සතුටක් ලබනවාට වඩා සිංහල ගීතයක් ඇහුවම මට ලැබෙන සතුට ඔවුන්ට ලැබෙනවට තමා මම කැමති. නමුත් ඒකට ඒගොල්ලන්ගේ තර්කය තමා - ඒ ගොල්ලෝ හින්දි සින්දු අහන්නේ භාෂාව දන්නේ නැතිව. ඒ නිසා එක අදාල නැහැ. සින්දුවේ තේරුම කියන්න කියල. හින්දි සින්දු අහන්න පුරුදු වුනේ කොහොමද දන්නවද? ලංකාවෙන්. නෑදෑ ළමයි පුරුදු කරලා. ඔය ඉහත කියන දේ අපි කලේ පන්සල් ගිහින් හෙම. නමුත් ඒකෙන් වුනේ පාලි අහන්න ගිහිල්ල ඔවුන්ට එපා වීම. දැන් පරක්කු වැඩියි කියල මට හිතෙන්නේ. මෙහෙ ඉන්න ගොඩක් සිංහල දෙමාපියන්ගේ ළමයි පවා දෙමාපියන්ට උත්තර දෙන්නේ ඉංග්‍රීසියෙන්. මට හිතෙන්නේ ඒක ස්වභාවිකයි කියල. මගේ ළමයි දැන් අම්මට පිළිතුරු දෙන්නෙත් ඉංග්‍රීසියෙන්.

      Delete
    3. දරුවයි, අපියි කියන්නේ පුද්ගලයන් දෙන්නෙක්නේ අජිත්.. අපිට දැනෙන දෙයක් එයාලට නොදැනෙන්න පුලුවන්.. හින්දි තරම් සිංහල තාලමය නොමැති නිසා එයාලට හිතට දැනෙන්නේ නැතුව ඇති.. ඔබ කියනවා වගේ දැන් නම් පරක්කු වැඩි ඇති..අපි හැමෝම තෝර ගන්නේ වඩා දැනෙන ලේසි දේ..

      Delete
  29. ඔය පින්තුරේ ඉන්න කෙනා රසිකගේ මලයෙක් වගේ.

    ReplyDelete

  30. [img]https://4.bp.blogspot.com/-nHRRt_Er1mM/V7nb_9oPZpI/AAAAAAAAPFQ/5neCwcD3N9YnkL6uo862rLq75WCn1xsFwCLcB/s320/13962580_527291544130059_8774925092504064113_n.jpg[/img]

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.