Thursday 18 February 2016

මගේ අසමසම නාට්‍ය දිවියේ මුල් පියවර! - One small step at a time


මා මුලින්ම වේදිකාවක කෙරුණු නාට්‍යමය රංගනයක් දුටුවේ කොස්සින්න ශ්‍රී සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයේ පස්වෙනි ශ්‍රේණියේ සිටි කාලයේ යැයි සිතමි.

ඒ වසරේ පාසලේ වසරාවසාන විවිධ ප්‍රසංගයට අටේ පන්තියේ ලොකු ළමයින් පිරිසක් එකතුව කෙටි නාට්‍යයක් ඉදිරිපත් කළහ.

අටේ පන්තියේ ළමයි, ලොකු ළමයින් ලෙස මෙහි දී හැඳින්වූණේ, මා එකල පහේ පන්තියේ උගත් වයස අවුරුදු දහයක පොඩි ළමයෙකු වූ නිසා ම පමණක් නොවේ. අපේ පාසලේ පැවති ලොකුම පන්තිය ද ඒ අටේ පන්තිය වූ නිසාත් ය.

මේ කෙටි නාට්‍යයේ සම්පුර්ණ කතා වස්තුව අද දශක කිහිපයකට පසුව මගේ සිතින් ගිලිහී ගොස් ඇති වුවද, එහි පොලිස් පරීක්‍ෂකයෙකු මෙන් ම, පොලිස් සාජන්ටුවෙකු ද සිටි බවත්, ඔවුන් සාර්ථක ලෙස හොරෙකු අල්ලා ගත් බවත් මගේ මතකයේ හොඳින් රැඳී ඇත. ඒ වීර චරිත දෙක මගේ මෙන්ම පාසලේ සියලුම සිසුන් ගේ සිත් පැහැර ගත්තාට සැක නැත.

මගේ සිත වඩාත් ඇදී ගියේ ඔවුන් ගේ රඟපෑමට නොව, රංග වස්ත්‍ර කෙරෙහි ය. පොලිස් පරීක්‍ෂකයා හැඳ සිටියේ කාකි දිග කලිසමකි. දිග කලිසම් යනු එකල අපේ පාසලේ සිටි පිරිමි ගුරුවරුන් දෙතුන් දෙනාගෙන් දෙදෙනෙකු පමණක් හැඳි ලොක්කන් ගේ ඇඳුමක් විය.

හොරා ඇල්ලීමේ දී සාජන්ටුවා අත තබාගෙන සිටියේ බැටන් පොල්ලක් පමණක් වුවද, පොලිස් පරීක්‍ෂකයා අත කළු පැහැති පිස්තෝලයක් තිබෙනු දක්නා ලදී.

දිගු කලිසමක් හැඳ, සෙල්ලම් වුවත්, පිස්තෝලයක් අතැතිව ඒ ආකාරයේ වීර චරිතයක් රඟපාන්නට ලැබෙන්නේ නම් හොඳ නොවේදැයි මට එදා සිතුණි.

ඒ වනවිට ගාමිණී ෆොන්සේකා රඟපෑ වැලිකතර චිත්‍රපටය නරඹා තිබුණු අපේ එකල ප්‍ර්‍රියතම ක්‍රීඩාවක් වූයේ ලී කැබැලි දෙකකින් සාඳන ලද මැෂින් තුවක්කු උපයෝගී කරගනිමින් කළ හොරා පොලිස් ක්‍රීඩාවයි. එය, ගාමිණී ෆොන්සේකා ම ද්විත්ව චරිත රඟපෑ දෙමළ චිත්‍රපටයක කොපියක් වූ ආත්ම පූජා නරඹා අප උගෙන තිබූ කඩු සටන්වලට වඩා විනෝදාත්මක එකක් විය.

පොලිස්කාරයෙකු ගේ චරිතය රඟපෑමට සිතේ ඇති වූ කැමැත්ත කෙසේ වුවද, මට මුලින්ම අර්ධ රංගනයක් ලෙස හෝ ඉදිරිපත් කරන්නට ලැබුණේ එයින් වසර දෙකකට පසු මා ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ හත්වෙනි ශ්‍රේණියේ ඉගෙන ගනිමින් සිටි කාලයේ දී ය. ඒ එක්කෝ සේරිවාණිජ ගේ චරිතයයි, නැතිනම් කච්ඡපුට ගේ චරිතයයි. නම කෙසේ වෙතත්, මා මේ කියන්නේ අර යහපත් වෙළෙන්දා ගේ බෝසත් චරිතය ගැනයි, නපුරු දේවදත්ත චරිතය නම් නොවේ.

මේ අවස්ථාව මට ලැබුණේ අපේ සිංහල පාඩමේ කොටසක් ලෙසිනි. සිංහල පාඩම් පොතේ තිබුණු එක් කතාවක් වූයේ සේරිවාණිජ ජාතකයයි. අපට සිංහල ඉගැන්වූ ජයමහ නම් ගුරුවරිය ඒ පාඩම අකුරු, වචන, වාක්‍ය සහ පරිච්ඡේදවලින් ඔබ්බට ගෙන ගොස් එයින් නාට්‍යයක් රඟ දක්වන මෙන් අපට පැවරුවා ය.

ජාතක කතාවේ එන යහපත් වෙළෙන්දා ගේ, කච්ඡපුට නේද?, චරිතය පැවරුණේ මට ය.

මෙහිදී මට දෙවසරකට පෙර මා සිඩ්නි නගරයේ දී නැරඹූ බොර දිය පොකුණ චිත්‍රපටයේ එන දර්ශනයක් මට සිහිවේ.

එහි ආ කෞෂල්‍යා ප්‍රනාන්දු වැඩිහිටි කාලය රඟ පෑ චරිතයේ ළමා අවදියේ දී, තෝරා ගැනීමේ පරීක්‍ෂණයේ දී කවි, ගී යනාදිය ඉතා හොඳින් ගායනය කර තම දක්‍ෂතාවය පෙන්වූයේ වුව ද, පාසලේ විවිධ ප්‍රසංගය සඳහා නිපදවුණු බෝසත් චරිත කතාවේ යශෝදරා ගේ චරිතය රඟපෑම සඳහා එම කුඩා දැරියට අවස්ථාව නො ලැබේ. ඒ වෙනුවට ඇයට ලැබෙන්නේ ප්‍රජාපතී ගෝතමී ගේ චරිතයයි.

යශෝධරා ගේ චරිතය සඳහා කවි ගායනා නිවැරදිව නොකළමුත්, හොඳ පෙනුමක් තිබුණු වෙත් ගෑල්ළමයෙකු පන්තියේ ගුරුවරිය විසින් තෝරා ගෙන ඇත!

ගුරුවරිය මේ ආකාරයට චරිත බෙදීමට හේතුව ලෙස කුමක් කීව ද, ප්‍රේක්‍ෂක අපට සැබෑ හේතුව ලෙස වටහා ගන්නට ඉඟි කෙරුණේ මේ දැරිය කාලවර්ණ ඡවි කල්‍යානයකින් සමන්විත, සම්මත සුරුපී ලක්‍ෂණ නොමැති අයෙකු වීම, යශෝදරා වීමට ඇයගේ නුසුදුසුකම වූ බවයි.

දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් හෙබි, දුටුවන් නෙත් සිත් බඳින, නිබ්බුත පද කියවෙන සිදුහත් ගේ බිරින්දෑ වූ යශෝධරා ලෙස රඟපෑම සඳහා කළු, කැත, කොට කෙල්ලෙකු යෝග්‍ය නොවන බව අමුතුවෙන් කිව යුතු නැත!

බොර දිය පොකුණේ අයිරාංගනී සේරසිංහ ගුරුවරියට කෙසේ වෙතත්, අපේ ජයමහ ගුරුවරියට නම්, යහපත් කච්ඡපුට වෙළෙන්දා ගේ බෝසත් චරිතය රඟපෑම සඳහා තෝරා ගත යුත්තේ පන්තියේ දිගින් දිගටම පළමුවෙනියා වෙන දක්‍ෂතම සිසුවා ද, නැතිනම් දුටුවන් නෙත් සිත් බඳින, නිබ්බුත පද කියවෙන, කඩවසම් බවින් අග තැන්පත් සිසුවා ද යන්න පිළිබඳව කිසි ගැටලුවක් ඇති නොවිණි.

ඒ, මේ සිසුන් දෙදෙනා ම එක් අයෙකු වූ නිසා ය!

මිත්තනිය, මිනිබිරිය සහ සේරිවාණිජ චරිත කවුරුන් නම් රඟපෑවේ ද, ඔවුන් ඒ සඳහා තෝරා ගනු ලැබුවේ කවර පටිපාටියක් මත ද යන්න පිළිබඳව කිසිදු අදහසක් මගේ මතකයේ අද නැත.

ජයමහ ගුරුවරියගෙන් මට ලැබුණු උපදෙස් අනුව, කොට කලිසමට උඩින් නිවසෙන් ගෙනා සරමක් හැඳ, එකල පාසලේ බෙදූ බිස්කට් අසුරා තිබෙන විශාල ප්‍රමාණයේ පෙට්ටියක් කදා වළලු පෙට්ටිය ලෙස සකසා ගෙන මම නාට්‍යය සඳහා සැරසුණෙමි.

එදා පන්තිය පැවැත්වුණේ පන්ති කාමරය ඇතුළේ නොව එළිමහනේ ය. දුරින් පිහිටි අරලිය ගස් පේළි අතරින් කදා වළලු, ලාබයි, ලාබයි කියමින් මිත්තනිය සහ මිනිබිරිය සැදී පැහැදී සිටි පන්ති කාමරය දෙසට එන්නට මට සොඳුරු ආඥාදායක ජයමහ ගුරුවරියගෙන් අණ ලැබුණි.

පාඩම් පොතේ තිබූ දෙබස්වලට අනුව නාට්‍යය ගලා ගියේය. නාට්‍යයක් කියුවාට එය ඇත්තටම නාට්‍යයක් නොවේ. අප ඇත්තටම කළේ පොත බලාගෙන එහි පෙළ කියවීම පමණි.

එකම වෙනස වූයේ මා සරමක් හැඳ සිටීමයි!

කෙසේ වුවද, වසර දහතුන හමාරක් තුළ දිවගිය මගේ පාසල් දිවියේ මා කළ එකම රංගනය එය ම පමණක් විය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
අසමසම යන වදනේ තේරුම දන්නවා නේද?

(image: http://blog.dzone.lk/2014/12/06/serivanija-jataka-003/)

44 comments:

  1. සේරිවාණිජ පළමු වරට ඇතුළු වන්නේ ඒකාධිකාරී වෙළඳපොළකටය. ඒකාධිකාරී වෙළඳපොලක වුවත් අසීමිත ලාභයක් ලැබිය නොහැකි බව ඔහු අවබෝධ කර නොගනී. ඔහු අවදානම ප්‍රිය කරයි (risk lover). ඔහු මුල් වරම වළල්ලක් දී පිඟාන නොගන්නේ එසේ කළොත් (by inducing a demand) දැරිය තවත් වළලු ඉල්ලීමට ඉඩ ඇති බැවිනි. දැරිය දකින පිඟානේ වටිනාකම එතරම් වැඩි නැති බව ඔහු නිවැරදිව අවබෝධ කරගනී. ඇතැම්විට පිඟානේ ලෝහ සංයුතිය ගැන ඔහුට යම් සැකයක් තිබුණාද විය හැකිය. තරඟකාරී වෙළෙන්දෙකු පැමිණීමේ සම්භාවිතාව ඔහු අවතක්සේරු කරයි.

    කච්ඡපුට ඇතුළුවන්නේ තරඟකාරී වෙළඳපොළකටය. අවදානමට බිය (risk averse) පුද්ගලයෙකු වන ඔහු පාරිභෝගික අතිරික්තය ඉහළ දමා තමාද විශාල ලාභයක් ලබාගනී. ඔහු මුලින්ම පැමිණියානම් එසේ නොකරන්නටද ඉඩ තිබුණි. ඔහු සේරිවාණිජ නැවත පැමිණීමට පෙර පලා යන්නේ ඔහුගේ ලාභයද ඉතා වැඩි නිසාය. දෙදෙනාම එකවර පැමිණියානම්, දැරියට මීටත් වඩා හොඳ ගණුදෙනුවකට යා හැකිව තිබුණි.

    ReplyDelete
    Replies
    1. බෝසත් කච්ඡපුට චරිතය සඳහා මා තෝරා ගැනීමේදී අපේ සිංහල ගුරුවරිය ද සිටියේ, එක අතකට සලකා බලන කළ, විකල්පයක් නැති වෙළඳ පොළක ය.

      පන්තියේ සිටි දක්‍ෂතම සිසුවා තෝරා ගැනීම සහ පන්තියේ සිටි පින්බර බෝසත් පෙනුමැති, නිබ්බුත පද කියවෙන සිසුවා තෝරා ගැනීම යන විකල්ප දෙකම එහි දී සමපාත වී තිබුණි.

      අනෙත් අතට, ප්‍රශස්ත විසඳුම ලැබුණු නිසා, තරගකාරී වෙළඳ පොළකදී ලැබිය හැකි ප්‍රතිලාභයම ඇයට ලැබුණි.

      Delete
    2. රසික ඔයා කැමති සේරිවාණිජ දේවදත්ත චරිතය කරන්නද, නැතිනම් කච්ඡපුට බෝසත් චරිතය කරන්නද කියා සිංහල ගුරුවරිය මට විකල්ප දෙකක් සහිතව තීරණයක් ඝැනීමට ඉඩ දුන්නා නම්, මා එදා කරන්නේ සේරිවාණිජ දේවදත්ත චරිතය තෝරා ගැනීමයි.

      එසේ වී නම්, සේරිවාණිජ ඒ ආත්මයේ ම නිවන් අවබෝධ කර ගන්නා නිසා, අනාගත ආත්මය සඳහා දේවදත්තයෙකු ඉතුරු නොවෙනු ඇත!

      Delete
    3. දැරිය ඔය තැටිය Ebay එකේ දැම්මනම් අතරමැදිය නැතුව වළලු ගොඩක් ගන්න තිබ්බ නේද ඉකොන්? හැක්

      Delete
    4. එහෙම නං තව රන්තැටි එළියට ඇවිල්ලා සප්ලයි එක වැඩි වෙන්නත් ඉඩ තිබුණා!

      Delete
    5. දුෂ්ටයාට රඟපාන එක වඩා ආශාවෙන් කළ හැක්කක්ය කියල රෝවන් ඇට්කින්සන් කියල තිබ්බ.

      Delete
  2. අසමසම කියන්නේ අසමාන තත්වයට සමාන කියන එක නේද? මේවට නේද පැරඩොක්ස් කියලා කියන්නේ?

    ReplyDelete
    Replies
    1. අසමසම = Unique

      අප එක් අයෙකුගේ අත්දැකීමක් තවත් අයෙකුට එක හ සමාන වෙන්න ඇති සම්භාවිතාවය ශූන්‍යයට ආසන්නයි.

      එනිසා අප හැමෝම යූනීක් හෙවත් අසමසම තමයි!

      Delete
    2. එතකොට අසමසම නොවෙන්නේ එහෙමත් කෙනෙක්!

      Delete
  3. අපේ ගමේ ඉස්කෝලෙත් මේ නාට්ටය රංග දැක්වුණා මතකයි.. එකේ මෙහෙම කවියක් කියා කියා තමයි ඒ දෙන්න ආවේ ..
    මම කච්චපුට..
    මම සේරිවාණිජ..
    අපි දෙන්නා යමු.. වළලු වෙළඳාමේ..
    කාසි සොයන්න.. මාළු පුරවන්න....
    ඒකෙත් කච්චපුටට තෝරා ගත්තේ ලස්සන ,රෝස පාට කොල්ලෙක්

    ReplyDelete
    Replies
    1. කහ , තැඹිලි වගේ පාටක් කියමුකෝ.. පොරගේ නම කැලුම් වගේ මට මතක නුවරඑළිය පැත්තේ උපන් කෙනෙක්...අපේ බාප්පලා පුතා අමල් රඟපෑවේ සේරිවාණිජ චරිතේ.. අපේ මල්කා පුංචි තමයි පිගාන දුන්න කෙලි පොඩික්කිට හිටියේ මේ අපේ තුනේ පන්තියේ ඉන්න කාලේ ..

      Delete
  4. බහුබූත ලියන එකෙකුට ලියන්න බැරි දෙයක් නැහැ.

    අර චාමියා කරනවා වගේ ඒ වෙලාවට විහිළු දෙකකුයි ෆයිට් තුනකුයි එක්ක මෙලෝ අර්ථයක් නැති වාණිජ ෆිල්ම් එකක් වගේ කෑල්ලක් ලියා දැම්මනම් ඉවරයි.

    (c) සුජීව කොකාවල

    ReplyDelete
    Replies
    1. ජාතක කතා ගැන එහෙම කියන්නේ ඇයි?
      ඒවා හොඳම සිංහල සාහිත්‍ය ප්‍රභන්ධ ලෙස කවුදෝ විචාරකයෙකුත් කියා තිබුණා!

      Delete
  5. ඒ කාලේ පට්ට නේද රසිකයියේ.............

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ පට්ට කියන වචනේ අර්ථය අදට වඩා වෙනස්.

      Delete
    2. "පට්ට" කියන වචනේ ඒකාලේ තේරුම මොකක්ද?? ආසයි දැන ගන්න.

      Delete
    3. @ සිංහ මචන් 18 February 2016 at 18:52
      පට්ට වේසි කියන එකෙන් වත් හිතා ගන්න බැරිද මචං?

      Delete
    4. "පට්ට" යන්නේ සැබෑ අරුත, අද නූතන භාවිතයේ දී යෙදෙනාකාරයට ම, නාම විශේෂණයක් ලෙස ය. නමුත් එය සැම විටම පාහේ යෙදුනේ සෘණාත්මක දේ විස්තර කිරීමේ දී ඒ අදහස උද්දීපනය කිරීමට මිස අද මෙන් හොඳ දේ සුපිරි කිරීමට ධනාත්මක අර්ථයකින් නොවේ.

      චෛශ්‍යාව යන්නේ හුදු හෙළ පදය වන "වේසි" යන්න තවත් අගතියට පත් කිරීමට යොදා ගැණුනු "පට්ට වේසි" යන්න ද මේ සඳහා හොඳ උදාහරණයක් මුත්, ඊට වඩා හොඳ උදාහරණයක් වනුයේ "පට්ට පල් බොරු" යන්නයි.

      බොරුවකට වඩා පල් බොරුවක් බොරු ගතිය ඬැඩිය. පට්ට පල් බොරුවේ බොරුව ඊටත් වඩා වැඩි වේ.

      අන්තර්ජාල සෙවුමක දී පහත ලිපිය හමුවිය. කියවා බලන්න.
      http://kathandara.blogspot.com/2012/04/few-rarely-heard-sinhala-words.html

      Delete
    5. ඉස්සර පට්ට කියන එක පාවිච්චි වුනේ නාම විශේ්ෂණයක විශේෂණයක් හැටියට.
      පට්ට පල්
      පට්ට කළුවර
      පට්ට සීතල
      ඒත් අද කාලෙ පට්ට කියන එක තනියම භාවිතා වෙනවා, සුපිරි කියන අර්ථයෙන්.
      “ඒ වැඩේ නම් පට්ට“
      “අඩේ පට්ටයි මචං“

      Delete
  6. මටනං එකදිගට වසර දහතුනක් " ඉතාම කැමැත්තෙන්" ඉස්කෝලේ යාමම හොඳ රඟපෑමකි

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ් ( සබාවේ තදින් සිනා...)

      Delete
    2. හරිම තාත්වික රඟපෑමක් වෙන්න ඇති නේද?

      Delete
  7. එපාර මේ මොන පාන් එකක්ද මේ ?හරියට කාලෙකට කලින් වම්බොටු උයපු එක වගෙයි
    රටේ හොල් එකේ සින්ගී මචන් චාලි පෙන්වන කොට මෙයා සේරි වාණිජ ගේ චරිතයයි, කච්ඡපුට ගේ චරිතයයි රඟපෑ අයුරු මතක් කරනවා

    ReplyDelete
  8. මන් තාම නාට්‍යක් රගපාලා නෑ.. හැබැයි නාට්‍ය බලන්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. ලෝකය රඟමඩලකි, අපි සියලු දෙනා එහි නළුවෝ වෙමු කියා විලියම් ෂේක්ස්පියර් කියා තියෙනවා!

      Delete
  9. //අපේ ජයමහ ගුරුවරියට නම්, යහපත් කච්ඡපුට වෙළෙන්දා ගේ බෝසත් චරිතය රඟපෑම සඳහා තෝරා ගත යුත්තේ පන්තියේ දිගින් දිගටම පළමුවෙනියා වෙන දක්ෂතම සිසුවා ද, නැතිනම් දුටුවන් නෙත් සිත් බඳින, නිබ්බුත පද කියවෙන, කඩවසම් බවින් අග තැන්පත් සිසුවා ද යන්න පිළිබඳව කිසි ගැටලුවක් ඇති නොවිණි.

    ඒ, මේ සිසුන් දෙදෙනා ම එක් අයෙකු වූ නිසා ය!// :P

    කීමට දෙයක් නැත. :D

    ReplyDelete
    Replies
    1. සමහරු නිබ්බුත පද කියනවා.
      සමහරු නිරුත්තර (speechless) වෙනවා!

      Delete
    2. විබාගේ ලකුණු වලින් දක්ෂතම සිසුවා මනින්න ඇහැකි.
      ඒත් බෝසත් පෙනුම...?
      ජයමහ ටීචර් රසිකව හවසට ගෙදර එක්ක ගිහින් අමතර පන්තිවත් කරාද?
      "වැඩිය හොල්ලන්න එපා නඩුව පරදී" කියල ගම්පහ උසාවියකින් ඇහුනේ නෑ නේද ?

      Delete
    3. //සමහරු නිරුත්තර (speechless) වෙනවා//

      සමහරු නිරුවත් (naked) වෙනවා !!!

      Delete
  10. ගිය මාසේ මරණේ. මේ මාසේ නලුකමද?? හැක්

    ReplyDelete
  11. Athi yantham.Hiti gaman digatama liyapu maranaya ha anithyaya gana kiyawena lipi nathuwa me wage lassana lipi dannako!Me post eka harima lassanayi!

    ReplyDelete
    Replies
    1. මේ වගේ ලිපි හැමදාම ලියන්න බෑ!

      Delete
  12. සංස්කෘතිය කියන නාට්ටියේ අපි කොයිතරම් චරිත අකමැත්තෙන් රඟපානවද රසික..

    ReplyDelete
    Replies
    1. ඇඳුම් ගැලෙව්වාම සංස්කෘතිය එළියේ!

      Delete
  13. බොර දිය පොකුණේ අයිරාංගනී සේරසිංහ ගුරුවරියට කෙසේ වෙතත්, අපේ ජයමහ ගුරුවරියට නම්, යහපත් කච්ඡපුට වෙළෙන්දා ගේ බෝසත් චරිතය රඟපෑම සඳහා තෝරා ගත යුත්තේ පන්තියේ දිගින් දිගටම පළමුවෙනියා වෙන දක්‍ෂතම සිසුවා ද, නැතිනම් දුටුවන් නෙත් සිත් බඳින, නිබ්බුත පද කියවෙන, කඩවසම් බවින් අග තැන්පත් සිසුවා ද යන්න පිළිබඳව කිසි ගැටලුවක් ඇති නොවිණි.

    ඒ, මේ සිසුන් දෙදෙනා ම එක් අයෙකු වූ නිසා ය!
    මා මුලින්ම රඟපෑ නාට්‍යයේ තිබු දෙබසක්

    "ආනන්ද සර්පයා දුටුවෙහිද? බුදු අම්මෝ මෙන්න නයෙක්.!"

    ගාමිණි ෆොන්සේකා, අපායේ සිට

    ReplyDelete
  14. ලඟදි හැදෙන මෙගා ටෙළියක පාට් එකක් අල්ලලා දෙන්නද? හාන්දුරු චරිතයක් වගේ එකක්?

    ReplyDelete
  15. මට පොඩි කාලෙ තිබුනු බරපතල ගැටළුවක් වුනේ “සේරිවාණිජ“ වගේ ලස්සන නමක් දුෂ්ට වෙළෙන්දෙකුට දාලා “කච්ඡපුට“ වගේ කැත නමක් යහපත් වෙළෙන්දෙකුට දැම්මෙ ඇයි කියන එක. මට ඒ නම කියවුනේ කච්චපුක කියල. ඒත් මේ නම් දෙක ඉතින් හැබෑවටම තිබිල තියන නම් නිසා අපි කැමති වුනත් නැති වුනත් ඒක ඒ විදිහටම තමයි ඕං.

    ReplyDelete
    Replies
    1. අනිත් කේස් එක තමයි මේ ජාතක කතාවේ නම සේරිවාණිජ වීම. ඒක දේවදත්ත ගේ නම නේ!
      අසාමාන්‍යයි!

      Delete
  16. අපේ පුතා මම ඉස්සර මිනිහට ජාතක කතා කියලා දෙනකොට භාගයක් යද්දී නවත්තනවා.. "පොඩ්ඩක් ඉන්න .. පොඩ්ඩක් ඉන්න... මේ තමයි දේවදත්ත .." කියලා . කතාවේ කළු චරිතය දෙවදත්තනේ..?

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.