Thursday, 28 April 2016

ජැක්සන් ඇන්තනි අයියේ, තාත්තා මට ගැහැව්වෝ..! - A chapter from my dramatic life


මගේ තාත්තා අපූරු මිනිසෙක් විය. රැකියාවෙන් පාසල් ගුරුවරයෙකු වුවද, ඔහු තම දරුවන් ට ගෙදරදී ටියුෂන් පන්ති දැම්මේ නැත. ඔහු ගේ අදහස වූයේ අප නොදන්නා දෙයක් තිබේ නම් පමණක් ඔහුගෙන් අසා ඉගෙනගත යුතු බවයිි.

ගමේ කණිෂ්ඨ පාසලෙන් ඇරඹුණු මගේ පාසල් දිවියේ ගමන් මග තීරණය වූයේ ද මා ඒ ඒ විභාග සමත් වූ ආකාරයට මිස, අධ්‍යාපන අමාත්‍යාංශයේ සිටි තාත්තා ගේ මිතුරන් හෝ ගෝලයින් ගේ පිහිටාධාර ඇතුව නොවේ.

මා කිසි දිනෙක තාත්තා ඉගැන්වූ පාසලක උගත්තේ නැති නිසා, ඔහු තම සිසු සිසුවින් ට සැර වැර කරන්නෙක් වූයේ ද, කරුණාවෙන් සලකන්නෙක් වූයේ ද යන්න ගැන නිවරද අදහසක් නොමැත. නිවසේදී නම්, අපේ ඇතැම් ක්‍රියාකාරකම් දැක කිපෙන ඔහු අපට බැණ වැදීම සාමාන්‍ය සිද්ධියක් විය. මා කළ ඇතැම් නොපනත්කම් නිසා කිහිපවරක් මට ඔහු ගේ ගුටි පූජාවලට මුහුණ දෙන්නට ද සිදුවිය.

මා අවසන් වරට තාත්තාගෙන් ගුටි කෑවේ, අටවැනි ශ්‍රේණියේ සිසුවෙකු ලෙස ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි අවදියේ ය. මේ ඒ කතාවයි.

අපේ පාසලේ හයවැනි ශ්‍රේණියේ සිට, උසස් පෙළ දක්වා සිසුන්ට පන්ති පැවැත්වුණු අතර, අපේ සිටි පන්තිවල පිරිමි සිසුන් කිහිප දෙනෙකු පමණක්, ශිෂ්‍යභට කණ්ඩායමේ සහ බාලදක්ෂ පෝතක කණ්ඩායමේ වැඩවලට සහභාගී වූහ. බහුතරයක් පිරිමි සිසුහු ද, ගැහැණු සිසුන් සමස්තයම ද කිසිදු අමතර ක්‍රියාකාරකමක නිරත නොවුනහ. වසරකට වරක් පැවැත්වෙන නිවාසාන්තර මලල ක්‍රී්‍රඩා තරගයට අමතරව වෙනත් කිසිදු සංවිධානාත්මක ක්‍රීඩාවක් ද පාසලේ නොපැවැත්වුණි.

පාසලක තිබෙන ඉහළ පෙළේ රාජකාරි කටයුතු වූ ශිෂ්‍ය නායක, ක්‍රීඩා නායක, නිවාස නායක තනතුරු දැරුවෝ ද, තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකත්වය දැරුවෝ ද උසස් පෙළ සිසුවෝ ය.

උසස් පෙළ සිසුන් සහභාගී වූ තවත් අමතර ක්‍රියාකාරකමක් වූයේ පාසල් මට්ටමේ කෙටි වේදිකා නාට්‍ය ලියා, නිපදවා, රඟ දැක්වීමයි. එකල, අධ්‍යාපන දිස්ත්‍රික්ක මට්ටමෙන් පාසල් නාට්‍ය තරගාවලියක් විය. එය සමස්ත ලංකා තරගාවලියක කොටසක් ද වූ බව මගේ මතකයයි.

ගම්පහ අධ්‍යාපන දිස්ත්‍රික්කයේ පාසල් අතර පැවැත්වුණු තරගාවලියට අපේ විදුහලේ නියෝජනය තෝරා ගැනීමට වෙනම ම තරගයක් ද පාසල් මට්ටමින් මෙකල පැවැත්වුණි.

මේ දිනවල ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ පාසල් නාට්‍ය රඟ දැක්වූවන් අතර කලා ශිල්පී ජැක්සන් ඇන්තනි, ගායිකා කුමාරි මුණසිංහ මෙන්ම, ජනප්‍රිය රූපවාහිනී ප්‍රහසනයක් වන ”ඇන්-කොම්පැනි”යේ විපක්ෂ නායක තනතුර රඟපාන උපතිස්ස බාලසූරිය ද වූහ.

ඒ වසරේ, අපේ පාසලේ නිපදවුණු එක් නාට්‍යයක් ලියා නිෂ්පාදනය කළේ උපතිස්ස බාලසූරියයි. පවුලක පුතුන් දෙදෙනෙක් අතර ඇතිවන ගැටුමකුත්, මවගේත්, සොහොයුරාගෙත් බස් නො අසා, අනෙක් සොහොයුරා නොමග යන අයුරුත් එයින් කියවිණි. මෙහි හොඳ පුතා ගේ චරිතය උපතිස්ස ට ද, මවගේ චරිතය කුමාරි ට ද හිමිවී තිබුණු අතර, ජැක්සන් ඇන්තනි රඟපෑවේ නරක පුතා නොමගට යොමුවීම විස්තර කෙරුණු නාට්‍යමය ජවනිකාවේ දී, එක් දුසිරිතක් නිරූපණය කරන යක්ෂයෙකු වශයෙන් සුළු චරිතයක් පමණි.

දිස්ත්‍රික්ක තරගයේ දී පාසල නියෝජනය කිරීමට හොඳම නාට්‍යය තේරීමේ තරගය පවත්වන ලද්දේ පාසල් වේලාවේ දී ම ය. තවත් හොඳ මට්ටමේ නාට්‍ය කීහිපයක් ම තිබුණ ද, ඒ තරගයෙන් ජයගත්තේ උපතිස්ස බාලසූරිය ගේ නාට්‍යයයි.

මින් දින කිහිපයකට පසු එක් දිනක පාසලේ දී මට අසන්නට ලැබුණේ, ගම්පහ අධ්‍යාපන දිස්ත්‍රික්කයේ පාසල් නාට්‍ය තරගයේ මූලික වටය පැවැත්වෙන්නේ ද අප පාසලේ බවයි. මේ වන විට මද පමණක නාට්‍ය ලෝලියෙකු වී සිටි මට මෙය සුබ ආරංචියක් ම විය.

අවට පාසල් කීපයකින් ඉදිරිපත් වුණු නාට්‍යයන් මෙහිදී රඟ දැක්වීමට නියමිත බැවින්, නාට්‍ය තරඟය නරඹා මිස නිවසට නොයෑමට මම තීරණය කළෙමි. එකම ප්‍රශ්නය වූයේ දවල් වරුවේ ඇරඹි නාට්‍යය රඟ දැක්වීම සාමාන්‍යයෙන් පාසල් නිමවන වේලාව වන විට අවසන් වී නොතිබීමයි.

දැවි, දැවී එන කුසගින්න ඇල්වතුරෙන් නිරතුරු නිවා ගනිමින් මා එදින සියලුම නාට්‍යයන් රඟ දක්වා අවසාන වන තුරු ම පාසලේ රැඳී සිටියෙමි.

පාසලේ සිට අප නිවසට දුර ප්‍රමාණය සැතපුමක් පමණ විය. පාසල් නාට්‍ය තරඟයේ උසස් නිර්මාණ රස විඳ, නව නළු රසයෙන් කුල්මත් වූ සිතැතිව ද, ඇල්වතුරෙන් තව දුරටත් රැවටිය නොහැකි වූ කුසගින්නෙන් දැවෙන සිරුරින් ද යුතුව මා එදින නිවසට ළඟා වූයේ සවස හතරට පමණ ය.

මේ වන විට, මා එන මගට පෙර ගමන් කරමින් සිටියේ, සේවය නිමවා නිවස බලා විත්, ඒ වනතුරුත් මා පාසලේ සිට නිවසට පැමිණ නැති බව දැන, මා සොයා යමින් සිටි මගේ පියා ය.

යාන්තමින් ගොනු කර ගත් නිදහසට කරුණු තටම තටමා කටින් පිට කර හමාර කරන්නටත් පෙර මා ලම්බ-කර්ණයෙක් බවට පත්වෙන්නේ ය යන සංවේගාත්මක හැඟීම ද, එතැන් සිට ගැහෙමින් නිවසට ළඟා වූ වහාම කෝටු පහර කිහිපයක් තට්ටම හරහා හමා යන වේදනාත්මක දැනීම ද, මට නොඅඩුව ලැබුණි.

ඒ තාත්තා මට එලෙස දඩුවම් කළ අන්තිම දිනයයි.

වේදිකා නාට්‍ය පිළිබඳ ඇල්ම පසකෙ තබා මම එතැන් පටන් ගණිතය වැනි සුන්දර විෂයයන් කෙරෙහි මගේ අවධානය යොමු කරන්නට පටන් ගත්තෙමි.

-රසිකොලොජිස්ට්

(image: https://en.wikipedia.org/wiki/Galahitiyawa_Central_College)

69 comments:

  1. ගලහිටියාව සෙන්ට්‍රල් එකේ මාගේ නාට්‍ය මිත්‍රෙයක් හිටියා! මන්රුචි සිරිවර්ධන..
    දැන් මිනිහා නාට්‍ය හා රංග කලාව ටියුෂන් ගුරුවරයෙක්
    අනිත් කෙනා මගේ ආත්මීය සගයෙක්..
    මම සභාපති විදියට කටයුතු කරන තරුණ ජනමාධ්‍යෙව්දීන්ගේ සංගමයේ ලේකම්... එයත් තරිඳු
    තරිඳු ජයවර්ධන - ලංකාදීප

    ReplyDelete
    Replies
    1. මංපොර සූරී කියලා එක්කෙනක් හිටියද?

      Delete
    2. //මම සභාපති විදියට කටයුතු කරන තරුණ ජනමාධ්‍යෙව්දීන්ගේ සංගමයේ ලේකම්... එයත් තරිඳු//

      ඕක මෙහෙම කියන බැරිද?

      තරුණ ජනමාධ්‍යෙව්දීන්ගේ සංගමයේ ලේකම්... එයත් තරිඳු

      Delete
    3. අඩේ... මන්රුචි දැන් ටියුෂන් කාරයෙක්ද?

      Delete
    4. //ඕක මෙහෙම කියන බැරිද?

      තරුණ ජනමාධ්‍යෙව්දීන්ගේ සංගමයේ ලේකම්... එයත් තරිඳු//

      එතකොට කොහොමද මම පොර කියලා පේන්නෙ....

      Delete
    5. බොහොම ස්තූතියි!! 
      මං ආයෙ ඒ විදියට කියන්නංකො

      Delete
  2. හපොයි ගණිතය සුන්දරයි......

    ReplyDelete
  3. වෙලාවට නාට්‍ය කාරයෙක් නොවුනෙ....බ්ලොග් කාරයෙක් වෙලා තියෙන කරදරේ මැදැයි....

    ReplyDelete
    Replies
    1. හෙට ඉඳන් බ්ලොග් එක කියවන්න ටිකට් ගන්න වේවි!

      Delete
  4. එතකොට මේ පහරදීම් උත්තේජනයක් නොවුනා නෙමෙයි නේ

    ReplyDelete
  5. මම තාත්තාගෙන් ගුටි කන එක පොඩි කාලෙම නතර උනා...
    ඒ තුන හෝ හතර වසරේදී වගේ වෙන්න ඕනේ...
    හැබැයි අම්මගෙන්නම් දොළහ වසරෙදිත් ගුටි කෑවා...
    ඒ කාලේදී තාත්ත කලේ වැරදි වලට බනින එක විතරයි...

    ReplyDelete
    Replies
    1. අම්මලා සාමාන්‍යයෙන් සැර නෑ ය කියායි මා නම් සිතා සිටියේ!

      Delete
  6. අප්පච්චිගෙන් නම් ගුටි කාලා නෑ. හැබැයි අම්මාගෙන් මදි නොකියන්න!

    ReplyDelete
    Replies
    1. අම්මලා සාමාන්‍යයෙන් සැර නෑ නේද?

      Delete
  7. ලමයින්ට ගහන එක ගැන රසික හිතන්නෙ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. දෙමව්පියන් දරුවන්ට ශාරීරික දඬුවම් දීම වැරදි වැඩක්.

      ප්‍රසිද්ධියේ කර නීතියෙන් දඬුවම් විඳින්නට වූ අවස්ථාත් තියෙනවා.

      තමන් ළමා කාලයේ ගුටි කෑ අය සමහර විට තමන් ගේ දරුවන්ට ශාරීරික දඬුවම් දිමට පුරුදු වෙනවා විය හැකියි.

      මා නම් කරන්නේ විවිධ තහනම් පැනවීමයි. උදාහරණයක් ලෙස, ඉන්ටර්නෙට් යම් කාලයකට තනහම් කිරීම.

      පාසල් ගුරුවරුන් ගේ සිසුන්ට ශාරීරික දඬුවම් කිරීම ගැන නම් කතා කරලා වැඩක් නෑ නේ!

      Delete
  8. ජීවිතේටම තාත්තගෙන් ගුටි කෑවෙ අවස්ථා දෙකයි.. ඒ දෙකම අවුරුදු පහට කළින්.. දෙවතාවම එපා කියූ දේවල් කරන්න ගිහින්...

    මං හිතන්නෙ මං අඩුවෙන්ම ගුටි කාල හැදුණු ළමයෙක්ද කොහෙද? ගණිතය මට නම් සුන්දර නෑ අප්පා..

    ReplyDelete
    Replies
    1. මෙතැන ගණිතය සුන්දරයි කියා ඇත්තේ භාෂා ප්‍රයෝගයක් විදියටයි නේ!

      Delete
  9. අපේ ඉස්කෝලවල ගුරුවරුන්, කතන්දරට උගන්වපු ගුරුවරුන්, දරුවන්ට ගහපු ඒවා නිර්දය ලෙස විවේචනය කරපු රසික, තමන්ගේ තාත්තා කළ දේ අනුමත කරන බවක් තමයි මට නම් මේ පෝස්ට් එකෙන් පේන්නේ...

    ළෝකෙට පර කාසේ... ගෙදරට මරගාතේ... හැහ්.... හැහ්....

    ReplyDelete
    Replies
    1. අඩේ .. අප්පා........ පූ.. කට ගැසුවා ?

      Delete
    2. හැක්! දීපංකො උත්තර.

      Delete
    3. යෑස් යෑස්.. මගේ කමෙන්ට් එකත් ඒකට අදාළ එකක්..

      Delete
    4. මටත් ඕකම හිතුන. ඒත් කියන්න ඕන නැහැ කියල හිතුන. ඒ උනාට හෙහ් හෙහ්

      Delete
    5. මටත් ඕකම හිතුන. ඒත් කියන්න ඕන නැහැ කියල හිතුන. ඒ උනාට හෙහ් හෙහ්

      Delete
    6.       ∩___∩
         (ヽ  | ノ      ヽ  /)
        (((i ) / (゜)  (゜) | ( i)))
       /∠彡    ( _●_)  |_ゝ \
      ( ___、    |∪|    ,__ )
          |     ヽノ   /´
          |        /

      Delete
    7. සැර අඩුකරලා ලියන්න හිතපු කොමෙන්ට් එක මාතලන් අමුවෙන්ම ලියලා!

      Delete
    8. ඕං මගේ රුපියලත් කැටේට දැම්මා !!!

      Delete
    9. හොහ් විශාරදයකුට ටොක්කක් ඇ‍ණ ගන්න ලැබුනාම අතාරින්නේ කොමද, තෑගි ලැබුණු මිටියකුත් තියෙනවා.

      Delete
    10. මම කටයා කම්මුලට ගහපු එකත් විවේචනය කලා.

      Delete
    11. මුලින්ම මා "මයියා"ට ලියු පිළිතුර යළි යොදන්නම්.

      "දෙමව්පියන් දරුවන්ට ශාරීරික දඬුවම් දීම වැරදි වැඩක්. ප්‍රසිද්ධියේ කර නීතියෙන් දඬුවම් විඳින්නට වූ අවස්ථාත් තියෙනවා.

      තමන් ළමා කාලයේ ගුටි කෑ අය සමහර විට තමන් ගේ දරුවන්ට ශාරීරික දඬුවම් දිමට පුරුදු වෙනවා විය හැකියි. මා නම් කරන්නේ විවිධ තහනම් පැනවීමයි. උදාහරණයක් ලෙස, ඉන්ටර්නෙට් යම් කාලයකට තනහම් කිරීම.

      පාසල් ගුරුවරුන් ගේ සිසුන්ට ශාරීරික දඬුවම් කිරීම ගැන නම් කතා කරලා වැඩක් නෑ නේ!"

      දැන් මේ බහුතර අවධානය ලබා ගත් පැණයට පිළිතුරක්.

      මේ ලිපියේ මා තාත්තා කළ පහර දීම උත්කර්ෂයට පත් කර හෝ, හොඳ යැයි කියා හෝ, වරදක් නැති යැයි කියා හෝ ලියා ඇත්තේ කොතැනද? මා එසේ කියා නෑ.

      රාජකීය විද්‍යාලයේ ගුරුවරයෙකු වූ කටා නමැත්තා ගේ නිස්කාරණ පහරදීම් උත්කර්ෂයට නංවමින් ටැබූ (හෝ මාතලන්?) ලියු තැන්වල මා ඊට විරුද්ධව මගේ මතය ප්‍රකාශ කිරීම හෝ මට ගුරුවරයෙකු විසින් අසාධාරණ ලෙස පහර දුන් අවස්ථාවක් ගැණ මා ලිපියක් ලිවීම සහ මේ ලිපියේ අන්තර්ගතය වෙනස් බව මගේ අදහසයි.

      මේ ලිපිය මීට වසර හයකට පමණ පෙර දී මෙල්බර්න් හි පළවෙන පහන සඟරාව සඳහා ලියන ලද්දකි. එවිට මගේ පියා ජීවතුන් අතර සිටියේය.

      මා මේ ලිපිය ලියා ඇති සරදම් භාෂා විලාශය නිසා ඇතමුන්ට, ඇතැම් දේ වැරදි ලෙස වැටහි ඇති බව ද මට පෙනේ. උදාහරණයක් ලෙස මෙහි දී මා යොදා ඇති "සුන්දර ගණිතය" යන දෙදුම දැකිවිය හැක. එයින් මා අදහස් කරන්නේ ගණිතය විෂයය සුන්දරය කියා යැයි සිතීම සවද්‍යවේ.

      මේ සිදුවීමේ දී, මා විස්තර කර ඇති පරිදි, කලින් නොදන්වා නිවසට ඒම පමා කළ වරදට, තාත්තා කළේ මගේ කණෙන් ඇඳ, කොටුවකින් දෙවරක් ගැසීමයි. මෙකල මගේ වයස අවුරුදු දොළහමාරක් විය. ඒ මා ගුටි කෑ අවසාන දවසයි.

      කොහොමටත් හොඳ ළමයෙකු වූ මා අතින් වෙනත් වැරදි සිදු නොවන්නට ඇත!!!

      පාසල්වල ළමුන්ට වේවැල්වලින් පහර දෙන කාලයේ ඉගෙන ගත්, ඒ සිරිත් තව දුරටත් පැවතුනු සමයක වසර තිස් අටක් ගුරුවරයෙකු ලෙසින් සේවය කළ මගේ පියා, පාසලේ දී ළමුන්ට ශාරීරික දඬුවම් කළ බවක් මා නම් අසා නැති බවත් අවසාන වශයෙන් පවසමි.

      කියවූ ඔබ සැමට ස්තුතියි!

      Delete
    12. ගූ-තලන්ට තේරෙන්නේ නැහැ නොවැ. හි... හි...

      Delete
  10. 250 වෙනි කඩඉමට සුබ පැතුම් !!

    ReplyDelete
  11. හොරෙන් වහලෙ උඩ නැගලා ගුටි කෑවා. ඒ තමයි පළවෙනි අන්තිමයි දෙකම...

    ReplyDelete
    Replies
    1. වහලේ උඩදීද ? බිමදීද? හොරෙන් නැග්ගය කියන්නේ... වහලෙට නැගල අහු උනාය කිව්වනම් සාධාරණයි.. හි හි..

      Delete
    2. එපා කියුව.. අප්පච්චි යනකල් ඉදලා නැග්ගේ.. වහලෙ උඩ ඉන්නකොට ආවා කියමුකෝ.. මං බහිනකල් එයා පහළ ඉදලා..
      අන්න ඒකයි උපේක්ෂා...

      Delete
    3. මං නං ගස්වලටත් නගින්න දන්නවා.

      හැබැයි පොල් ගස්වලට නගින්න නම් බෑ. කවදාකවත් උත්සාහ කළේ නෑ!

      Delete
  12. 250ට සුභපැතුම්.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මේට්.
      මේ 251 ලිපියයි!

      Delete
  13. ඒ තාත්තාගේ දඩුවම් කිරීම හැරවුම් ලක්‍ෂයක් වුනා එහෙනම් රසිකට.

    ReplyDelete
    Replies
    1. මේක සත්‍ය සිදුවීම් අනුව සඟරාවකට ලියූ නිර්මාණාත්මක ලිපියක්.

      ඔය සිද්ධිය නිසා මං පසුව මැත්ස් කරන්න ගියාය කියන්න බෑ කොහෙත්ම. ඒ දිනවල කලා විෂයයන් ඉගෙන ගන්න යන්නේ විභාග යාන්තම් පාස් වුණු අයයි. හොඳට පාස් නම් විද්‍යා/ගණිත තමයි.

      Delete
  14. 250 ට සුබ පැතුම් ,තව බොහෝ කලක් ලියන්නට ධෛර්යය

    ReplyDelete
    Replies
    1. ඇයි දීර්ඝායුෂ පතන්නේ නැද්ද?

      ස්තුතියි!

      Delete
  15.      *      *
      *     +  250ට සුබ පැතුම්!
         n ∧_∧ n
     + (ヨ(* ´∀`)E)
          Y     Y    *

    ReplyDelete
  16. මොලේ පෑදෙන්ඩ හරි තැනටම ගහල ,
    ගණිතය සුන්දරයි ? ආයෙත් පාසැල් කාලෙට යන්ඩ ඇත්නම් කියල හිතෙද්දි ගනං පාඩම මතක් වෙලා සිතිවිල්ල පුඃ ගාල නැතිව යනව.

    ReplyDelete
  17. හි හි , ගණිතය හරිම ලේසියි, මම හිතන්නේ මට ගහන එක හරි කරන්න එපා කියන හරි වැඩක් නැ කියල අම්මටයි තාත්තටයි දෙන්නටම තේරුණා පොඩි කාලෙම,ආදරෙන් කියනවා මිසක්, හැබැයි මං කල දේවල් නිසා මගේ මල්ලි නම් හැමවෙලේම ගුටි කැවා මාව බේරන්න..මං කොහොමහරි පැන ගන්නවා. සුබ පැතුම්..

    ReplyDelete
    Replies
    1. ළමයින්ට ගහන්නේත් ඉතිං ආදරේටය කියනවානේ!

      Delete
  18. ඉස්සර මට නිකං ගුටියක් කෑවෙ නැත්තං හිතට හරි මදිවාගෙ :D

    ReplyDelete
  19. ගලහිටියාව සෙන්ට්‍රල් එකේ කලා තැන්නක් වගේ.

    ReplyDelete
  20. එදා ගුටි නොකැව නම්, අද ගණන් කාරයෙක් නෙවේ. අහිංසක නාට්ටිකාරයෙක්. ;)

    //මගේ තාත්තා අපූරු මිනිසෙක් විය. රැකියාවෙන් පාසල් ගුරුවරයෙකු වුවද, ඔහු තම දරුවන් ට ගෙදරදී ටියුෂන් පන්ති දැම්මේ නැත. ඔහු ගේ අදහස වූයේ අප නොදන්නා දෙයක් තිබේ නම් පමණක් ඔහුගෙන් අසා ඉගෙනගත යුතු බවයිි.//


    මෙහෙත් එහෙමයි. ඒත් මම කවදාවත් තාත්තගෙන් ගණන් හදන විදිහ අහලා නැහැ. ගෙදරදි පාඩම් අහන්න ගියාම වදයක් වෙන්නෙ අම්මගෙන්.

    ජය !

    ReplyDelete
    Replies
    1. පස්සේ මට නම් තාත්තාටත් ඔන්නම් ගණං කියල දෙන්න පුළුවන් කාලයක් ආවා. ඒ හයේ පන්තියේ සිට, ජාල, න්‍යාස, කුලක වගේ දේවල් පටන් ගත්තාම!

      Delete
  21. හොඳ වෙලාවට ඩැඩි ගැහුවේ....නැත්නම් ජැක්සන් වගේ වෙලා මිනිස්සුන්ගෙන් ගුටි කන්නේ :D

    මේ ජැක්සන්ගේ සටහනක්.........

    //////උපතිස්ස බාලසූරිය පොළොන්නරුවේ සිට ගණේමුල්ලට සංක්‍රමණය වූයේ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට ශිෂ්‍යත්වයක් ලැබූ නිසා ය. මගේ උසස් පෙළ ගජ මිත්‍රයා වීමට ඔහු සුදුසුකම් ලැබුවේ ගලහිටියාව විදුහල්පතිතුමා ඔහුට “ගම් බට්ටා”, “ගමයා”, “ගොඩයා” ආදී නම් යොදා පරිභව කළ හේතුවෙනි. විල්සන් ගුණරත්න විදුහල්පති ගුරු පියාණන් ආදරය දක්වන්නේ පරිභව බිනීමෙන් යැයි තේරුම් ගත්තේ අප ආදී ශිෂ්‍යයින් බවට පත් වූවාටත් පසුව යි.//////////

    ReplyDelete
    Replies
    1. නමුත් ජැක්සන් ඇන්තනි තම මතක සටහන්වල මේ කෙටි නාට්‍යය ගැන සඳහනක් කරන්නේ නෑ.

      Delete
  22. ගහන නිසාම ළමයි හැදෙනවනම් අපේ වයසෙ හෝ ඊට වැඩි මල් පවුල්වල නරක ළමයි ඉන්නම බැරි තරන්.

    250 ට සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ඒ දවස්වල ගුටිකාපු හැටියට එහෙනං ඉන්දික මේ වෙන කොට බුදුවෙලා ඉන්න ඕනෑ නේද?

      Delete
  23. සුභ පැතුම්.. තව තවත් ලියවේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
  24. හිතවත් රසික ....
    මම බොහෝ දෙනාගේ බ්ලොග් සටහන් කියවනවා ...
    ඔබගේ සටහන් ගැන මට පොදුවේ දැනුන අදහස දැන්වත් කිව්වොත් හොදි කියල හිතෙන නිසයි මේ සටහන ලියන්නේ.
    පළමු කාරණය මම දැක්කේ අග මුල මැද හරි හරියට නොගැලපීම.. අනිත් කාරණය ස්වයන් පෞර්ෂව හානිය.. එහෙමත් නැත්නම් තමන් විසින් තමාටම ගහ ගැනීම.
    මෙම සටහනේ හෙඩිම ජැක්සන් මදය නාට්‍ය සහ තාත්තාගෙන් ගුටි කෑම අවසානය කලාව එපා වීම.
    මේක මටනම් තර්කානුකුල මදි...
    අනික මේකෙන් ඔබ විසින්ම ඔබගේ පියා නරුම කැටගරියට දානවා, පාසැල් ගුරුවරයෙක් ළමයෙකුට ගහනවද පාසැලේ උත්සවයකට හිටිය කියල. වෙන මොකකක් අවුලක් තියෙන්න ඔනැ ..පෙර වැරදි වගේ .. එහෙම නැතුව නාට්‍යක් බැලුවට , පුස්තකාලයකට ගියාට දෙගුරුන් තලන්නේ නැහැනේ. මේකෙන් වෙන්නේ ඔබ විසින් ඔබගේ පියාගේ චරිතයට හානියක් , මෙවැනිම අදහසක් දැනුනා ඔබ දුම්පානය ගැන ලියු ලිපියෙනුත්.

    අනික නාට්‍යක් බැලුවට නාට්‍යකාරයෙක් වෙන්නෙත් නැහැනේ , සින්දුවක් ඇහුවට ඉදල හිටලා ගායනයක් කරාට ගායකයෙක් වෙන්නෙත් නැහැනේ එක නිසා
    ඔබ තාත්තගේ ගුටි බැට නිසා කලාකාරයෙක් නොවී ගණන් කාරයෙක් උනා කියන එක කිසිම තර්කයක් නැහැ ,මෙයින් ඔබ විසින්ම ඔබව දුර්වල පෞර්ෂයක් ඇත්තකු බවට පත් කර ගන්නවා.

    අනිත් කාරණය ඔබ හරිම කලබලෙන් ලියන බව පේනවා , තම ලියන දේ දහා දොළොස් වතාවක් කියවන්න , එතකොට තමයි එක හොඳ පෝෂණයක් ලබන්නේ. ගගක් උනත් හොඳට පිරිලා ගලන කොට තමයි හැඩ.
    සිංහල භාෂාව ගැනත් ටිකක් සැලකිලිමත් වෙන්න මේක මැරිලා යන භාෂාවක්නෙ , ඔබල තමයි මේක ජීවමානව පවත්වාගෙන යන්න ඕන.
    සුබ පැතුම් ....

    ReplyDelete
    Replies
    1. ඔබේ දීර්ඝ ප්‍රතිචාරයට ස්තුතියි. මෙවැනි ප්‍රතිචාරයක් ලැබෙන්නේ කලාතුරකින් නිසා, එයට පිළිතුරක් දීම මගේ යුතුකමක්. ඉඩ ලද විගස පිළිතුරක් ලියන්නම්.

      එතෙක් මගේ අලුත් ලිපිය කියවන්න.
      http://rasikalogy.blogspot.com/2016/04/lesson-learnt-in-2007.html

      Delete
    2. නැවතත් ස්තුති කරමින්, ඔබේ විමසුම්/අදහස්වලට මෙන්න මගේ පිළිතුරු.

      1. හෙඩිම, මදය සහ අවසානය

      ඔබ නිරීක්‍ෂණය කර නැති බව පෙනෙන නිසා කියනවා නම්, මා හෙඩිම යොදන්නේ අන්තර්ගතය නිරූපණය කිරීමටම නොවේ. එසේම, හෙඩිමේ සිංහල ඉංග්ලිෂ් දෙකොටස හැම විටම එකක් අනෙකේ පරිවර්තනයක් ද නොවේ.

      සිංහලෙන් ජැක්සන් ඇන්තනි ගැන යොදා ඇත්තේ පාඨක අවධානය පිණිසයි. ඔහු, මෙහි කියවෙන කෙටි නාට්‍යයේ ද රඟපෑවේ ඉතා සුලු චරිතයක් පමණයි.

      මට කලාව හෝ නාට්‍ය එපා වුණා යැයි කියා ද මා කියා නැත. ගණිතය සම්බන්ධයෙන් කර ඇත්තේ සරදම් සටහනකි.

      මෙහි හෙඩිමේ ඉංග්ලිෂ් කොටසින් කියවෙන්නේ මේ මගේ නාට්‍ය ජීවිතයේ අවසානය කියා නොවන බව ඔබට පෙනෙන්නට ඇතැයි සිතමි.

      මේ කතාවේ තවත් පරිච්ඡේද කිහිපයක් ම ඇත!


      2. මගේ පියා ගැන මා ලියන දේ

      මගේ පියා මගේ කණෙන් ඇද, කෝටුවකින් දෙවරක් ගැසූ බව සත්‍යයකි. එය පෙර වැරැද්දක් මත නොව නොදන්වා නිවසට පැමිණීමට ප්‍රමාද වීම පිළිබඳව ඔහු දුන් දඬුවමයි. එය වැරදි බව මගේ අදහසයි. එනිසා, එය කීමේ වරදක් නැත.

      මේ ලිපියට ප්‍රතිචාර දක්වන කිහිප දෙනෙකු ඔබට සහමුලින්ම විරුද්ධ අදහසක් ද දක්වා ඇත. කරුණාකර ඒ ප්‍රතිචාරත් මා එහිදී ලියූ පිළිතුරත් කියවා බලන්න.

      දුම්පානය ගැන මා ලියූ ඔබ කියන කාරණය කුමක්දැයි මට සිහියට නො ඒ. මගේ පියා සුරුට්ටු මෙන්ම දුම්කොළ දැමූ පයිප්පයක් ද කලක් බීවේය. නිරතුරු නොකළද, එය නරක පුරුද්දක් බව මගේ මතයයි. පසුව ඔහු එය අතහැරියේ ය.

      ඒ ගැන මා මගේ අදහස ලිවීම වරදක් වෙන්නේ කෙලෙසද?


      3. ස්වයං පෞරුෂ හානිය

      ඔබ කියා ඇති ස්වයං පෞරුෂ හානිය වැනි කරුණු මට ගෝචර ඒවා නොවේ.
      මා ඒ ඉස්කෝලේ නොවෙමි.

      එසේම මගේ ලිපිය හුදු වාර්තාකරණයක් ද නොවේ. මෙය සැබෑ සිදුවීම් අනුසාරයෙන් කළ නිර්මාණයක් බව කරුණාවෙන් දන්වමි.


      4. කලබලයෙන් ලිවීම

      එසේ ඔබට සිතුණා නම් මට කළ හැකි දෙයක් නැත. නමුත් මේ ලිපිය මීට වසර හයකට පමණ පෙර මෙල්බර්න් නගරයේ පළවෙන පහන නම් සඟරාව සඳහා ලියුවක් බව දන්වමි. එහි එකල කතෘ වූයේ ජයශ්‍රී චන්ද්‍රජිත් ය. මගේ ලිපිය සංස්කරණය කළේ ඩීබී කුරුප්පු ය.

      මා ලියන වෙනත් ලිපි කිහිපයකට පදනම සපයනු පිණිස ඊයේ මේ ලිපිය බ්ලොගය සඳහා කියවා නැවත සංස්කරණය කළෙමි.

      මේ සතියේ මා පළ කළ පහත ලිපි ද එලෙස වසර පහ හයකට කලින් ලියන ලද ඒවාය.

      i. හෝඩියේ සිත්තරාවිය
      ii. සිනුවර වැනුම
      iii. දකුණු කුරු දිව් කව්

      ඒවා මේ බ්ලොගයේ පළ කිරීම ගැන මට කිසිදු හදිස්සියක් නොතිබුණු බව අමුතුවෙන් කිව යුතු නැත.


      5. සිංහල භාෂාව

      මා ලියූ මේ ලිපියට යොදාගෙන ඇති සිංහල භාෂාවේ හෝ අක්‍ෂර වින්‍යාසයේ වැරදි කිසිවක් ඇති නම් ඒවා පෙන්වා දෙන ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලමි.

      මගේ ලිපිවල භාෂාවේ තත්වය මගේ දැනුම මත සීමාවෙන බව සත්‍යයකි. නමුත්, මෙහි නණලළ ඇතුළු අක්‍ෂර වින්‍යාසය මා සුබස නම් වෙබ් සේවය තුළින් ද විමර්ශනය කර අවශ්‍ය සංස්කරණයන් කළෙමි.

      මා ලියූ මේ ලිපියට යොදාගෙන ඇති සිංහල භාෂාවේ හෝ අක්‍ෂර වින්‍යාසයේ වැරදි කිසිවක් ඇති නම් ඒවා පෙන්වා දෙන ලෙස ඉතා කරුණාවෙන් නැවතත් ඉල්ලමි.

      ස්තුතියි!

      Delete
  25. මට හිතුණේ මේ සටහන කාලයකට කලින් ලියන්න ඇතිය කියලා.... මොකද ඔය ඇන්ඩ් කොම්පැනි වර්තාමානයේ විකාශය වෙනව වගේ ටෝන් එකකින් ලියලා තියෙන්නේ... ඒ වගේම මට මතකයි ඔය උපතිස්ස බාලසූරියගේ පාසල් කාලේ ෆොටෝ එකක් දාලා එයා කවුද කියලා අහලා තිබ්බ නේද?

    දෙමව්පියන් ළමයින්ට ගහන එකට විරුද්ධව හින්ට් එකක් අන්තිම වාක්‍යයේ තියනවා කියලයි මට හිතුණේ.

    ReplyDelete
  26. කුමක් කියම්දෝ කියා හිතුවේ ....ගණිතය නම් අප්පිරියයි එත ඔය කියපු සුන්දර කොටු පාර නම් මමත් කාලා තියනවා හි හි හොදදදදදද්දට

    ReplyDelete
  27. දඩුවම අනුමත කළ නොහැක්කේ, නිදහසට කරුණු නොඇසීම නිසයි...

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.