
ඒ ප්‍රශ්නය, මේ ලිපිය ලියන මා එය කියවන ඔබෙන් අසන ප්‍රශ්නයක් නොව, මා මගෙන් ම අසා ගන්නා ප්‍රශ්නයකි.
මගේ අතීතකාමය සන්තර්පනය කර ගැනීමට ලියවෙන, එසේම කියවන්නන්ගෙන් බහුතරයක ගේ ද අතීතකාමය ඇවිස්සීමට හේතු කාරක විය හැකි, මේ ලිපියේ මුඛ්‍ය කතාවට ඒමට පෙර මගේ සිතට ආ අතුරු කතා කිහිපයක් ලියවෙනු ඇත.
මා මුලින් ම, මද්‍යසාර බිඳක් තොල ගෑවේ උසස් පෙළ සහ විශ්ව විද්‍යාලය අතර ගන්ධබ්ක කාලයේ දී බව පෙර ලිපියක ලියූවෙමි. ඒ දිනවල මගේ වයස අවුරුදු දහඅට ඉක්මවා තිබුණි. නමුත්, මා දැන සිටි පරිදි පාසල් යන කාලයේ ද සමහර සිසුහු බියර් පානය කළහ.
අප එකොළොස්වන ශ්‍රේණියේ ඉගෙන ගන්නා කාලයේ පැවති ආනන්ද නාලන්ද වාර්ෂික ක්‍රිකට් තරගයේ අවසාන දිනයේ දී මා නිවසට යන්නට මරදාන දුම්රිය පොළට පැමිණියේ මගේ පන්තියේ සගයෙකු සහ අපට වඩා වසරක් පහළ පන්තියක සිටි ඔහු ගේ කඳානේ දුම්රිය මිතුරෙකු සමගය.
එකල, මරදාන දුම්රිය ස්ථානයේ වේදිකා අංග 5-6 ප්‍රදේශයේ ආපන ශාලාවක් පිහිටා තිබුණි. අපි එහි ගියෙමු.
මගේ මිතුරා බියර් බෝතලයක් ඇණවුම් කළ අතර, ඔහු ද, අනෙකා ද එයට වග කීවෝ ය. මම තේ එකක් ඇණවුම් කළෙමි. ඒ කාලේ ටින්කිරි දමා සාදන තේ කෝප්පයක මිල, මරදානේ දුම්රිය පොළේ ම ඉහළ මාලයේ පිහිටා ඇති ආපන ශාලාවේ නම්, ශත විසි පහකි. නමුත්, මෙදින මගෙන් රුපියල් දෙකයි ශත පනහක් අය කෙරුණු අතර, ඒ හිලව්වට මේසයට ම ලැබුණේ තේ ජෝගුවක්, කුඩා කිරි කෝප්පයක්, සීනි බඳුනක් සහ හැන්දක් තැබූ බන්දේසියකි.
සමහර විට මා ඒ තේ කෝප්පයකට වැය කළ මුදලෙන් එදා අඩු වශයෙන් බියර් බෝතල් භාගයක්වත් මිලට ගන්නට හැකිකම තියෙන්නට ඇත!
මගේ මුල් ම අරක්කු අත්දැකීම මට ලැබුණේ, ඉන් වසර දෙක හමාරකට පමණ පසු මා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ඇරඹුවායින් පසුවය.
නවකවද සමයේ අවසානයත් සමගම මා පදිංචිව සිටි මාර්කස් ප්‍රනාන්දු නේවාසිකාගාරයේ ජ්‍යෙෂ්ඨ සිසුවෝ අප පිළිගැනීම සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයක් සහිත උත්සවයක් සංවිධානය කළෝය.
ඒ උත්සවය සම්බන්ධයෙන් අමතක නොවන කාරණා තුනක් කීමට ඇත.
ඉන් එකක් නම්, එදා අපට ලැබුණු කෑම පාර්සලය දිග හැර එහි තිබුණු කුකුල් මස්, බිත්තරය, අච්චාරු, පරිප්පු සහ සම්බා කහ බත් දුටු, එතෙක් කල් ලොකු ඇට හාල්, මුං ඇට, කොළ ගෝවා මැල්ලුම සහ හරක් මස් හම් කෑලි කමින් සිටි අප අතර සිටි උඩුගම නම් මිතුරා විසින් "අද නම් ගෙදර වගේ!" යැයි ප්‍රකාශයක් කිරීමත්, අප වහාම ඔහු "බුරියානි නයා" ලෙසින් බෞතීස්ම කිරීමත් ය.
නවක සිසුන් වෙනුවෙන් අප ඉදිරිපත් කළ ප්‍රහසනයේ මා චරිතයක් නිරූපණය කිරීම ද වැදගත් මතකයකි. ඒ ප්‍රහසනය වනාහී අර අමාරිස් අයියලා ගේ ප්‍රසංගයක එන ආ යූ මෑඩ් ඕ ඈම් අයි මෑඩ් කියා සුද්දෙකු අසන විට බෝත් කියා පිළිතුර දෙන කතාවේ අනුවර්තනයකි. අප කළ එක් වෙනසක් නම් සුද්දා වෙනුවට පරංගියෙකු ඇතුළත් කිරීමයි. එයට හේතුව පරංගියා යැයි අන්වර්ථ නමෙන් හැඳින්වුණු කළා පීඨ අවසාන වසර ශිෂ්‍යයෙකු මාකස් ප්‍රනාන්දු ශාලාවේ ඒ දිනවල නේවාසිකව සිටීමයි. මා රඟපෑවේ ඒ පරංගියා ගේ චරිතයයි.
මගේ දහනමවෙනි උපන් දිනයට දින හතරකට පසුදින පැවති අපේ වෙල්කම් පාටියේ මගේ මතකයන් අතරින් අද මේ ලිපියට අදාළ සිදුවීම වන්නේ, එදින මා මුල්වරට අරක්කු පානය කිරීමයි.
වෙල්කම් පාටිය දා යමක් කරමු යැයි අප අතරේ සිටි කිහිප දෙනෙකු ගේ යෝජනා ස්ථීරත්වයෙන් සම්මත වී තිබුණි. වෙල්කම් පාටියේ දී ද, යම් කිසි පානයක් අපට ජ්‍යෙෂ්ඨ සිසුන්ගෙන් ලැබෙන බවට රාවයක් තිබුණ ද, අපට අවශ්‍ය වූයේ ඒ තනුක මිශ්‍ර බීම නොව කෙළින් ම අහවල් වර්ගයේ පානයක් කිරීමටයි.
සම්මාදම් වීමට කැමති අයගෙන් රුපියල් කිහිපයක් බැගින් සම්මාදම් කෙරුණු අතර, එකල පේරාදෙණිය අවට ගම් හතකවත් බෝතල් කඩයක් හෙවත් අද භාෂාවෙන් වයින් ස්ටෝරුවක් නොතිබුණු නිසා, අපේ අයෙකුට මහනුවර කොළඹ වීදියට ම යාමට ද සිදුවිය.
එදා නවක සරසවි සිසුන් ගේ තේරීම වූයේ, මගේ ආතා ද (මව ගේ පියා) පානය කරනවා යැයි මා දැන සිටි අරක්කු වර්ගය වූ සංස්ථා පොල් අරක්කු ය. අවර්ණ බෝතලයක් ද, සුදු කළු ලේබලයක් ද මෙහි දී මගේ සිහියට නැගේ. මෙය අද සිංහල බ්ලොග්කරුවන් ගේ ප්‍ර්‍රියතම පානය ලෙස හැඳින්වෙන, කොළ පැහැති ලේබලයකින් යුතු වර්ගයට වඩා රුපියල් කීපයක් මිලෙන් වැඩි අරක්කු විශේෂයක් විය.
මාකස් ප්‍රනාන්දු නේවාසිකාගාරයේ එක් කාමරයක රැස් වුණු අපි, භෝජනාගාරක් නොමැති අපේ ශාලාවේ තිබුණු කුඩා ආපන ශාලාවෙන් සොයා ගත් අඬු කැඩුණු කෝප්ප කිහිපයක් උපයෝගී කොටගෙන, සම්මාදමෙන් ගෙනා පොල් අරක්කු රස බැලුවෙමු. එක් අයෙකුට කෝප්ප භාගයක් පමණ හිමි වුණු බව මගේ මතකයේ ඇත.
ඉන්පසු අප කළේ, නවකවදය සමයෙන් පසු අප ලද නිදහස උපරිමයෙන් ප්‍රයෝජනයට ගනිමින්, මහ හඬින් ගී ගයමින්, නටමින් මාකස් ප්‍රනාන්දු ශාලාව පුරා යාමයි.
මේ අතරතුර මට නැගුණු ප්‍රශ්නය නම්, මගේ මුව තුළින්, මගේ උගුර හරහා, මගේ ම ආමාශය කරා ඇදුණු, පොල් අරක්කු අඬු කැඩිච්ච කෝප්ප භාගයෙන් මා සිතූ ආකාරයට මත් වීමක් කිසිසේත් ම ඇති නොවීමයි.
අයියෝ සල්ලි!
දැන් ඉතින් කුමක් කරන්නද?
ඇත්ත මත් වීමක් සිදු නොවෙයි නම්, මත් වූ බවට රඟ පෑමක්වත් කළ යුතු යැයි මට ඒ මොහොතේ ඇත්තට ම සිතුණි.
මගේ රඟ පෑමට අයත් වූයේ මත් වුණු හඬින් කතා කිරීමත්, උස් හඬින් ගායනයත්, ඇවිදින විට තරමක් ඇදට ඇවිදීමත් ය.
ඒ මොහොතේ අපේ කැරොල් කණ්ඩායමේ මා අසලින්ම වාගේ සිටියේ මාරස්සනින් පැමිණි විද්‍යා පීඨයේ සිසුවෙකි. ඔහු එදා මත්පැන් පානයට සම්මාදම් නොවුණු අයෙකි. "මචං රසිකට පොඩ්ඩක් වැඩියි වගේ!" යැයි මාරස්සන මිතුරා පවසනවාත්, ඒ අසා මට කට කොනකින් සිනා යනවාත්, මගේ රඟපෑමේ සාර්ථකත්වය දැනී, මා එය දිගටම පවත්වාගෙන යනවාත්, මාරස්සනයා මා වත්තම් කර ගන්නවාත් මගේ මතකයේ ඇත.
හැබැයි, එතැනින් පසුව පසුවදා උදෑසන වෙනතුරු සිදුවුණු දේ පිළිබඳව නම් මගේ මතකය එපමණ පැහැදිලි නැත!
කෙසේ වෙතත්, යළිත් මුදල් සම්මාදම් කර නුවර ගොස් පොල් අරක්කු ගෙනැවිත්, නේවාසිකාගාරයේ භෝජනාගාරයෙන් ගෙනා අඩු කැඩුණු කෝප්පවලින් රහ බලන්නට මට ඉඩ ලැබුණේ නම් අක්බාර්-නෙල් නම් නේවාසිකාගරයේ දී මුල් අත්දැකීමෙන් මාස නමයකට පමණ පසු අපේ පළමු වසර විභාගය අවසන් වූ දිනයේ දී බව නම් මට නිසැකව ම කිව හැක.
-රසිකොලොජිස්ට්
ප/ලි:
මගේ අවවාදය නම්, මත්පැන් පානය යනු හැකි තරම් දුරස් කළ යුතු දෙයක් බව සහ නිරතුරු මත්පැන් පානය ඇබ්බැහියකට පෙරළීමට ඉඩ ඇති බවයි.
දිනපතාම අනුමත වුව ද, එමගින් බීමට ඇබ්බැහි නොවී සිටින්නේ කෙලෙසද යන්න ගැන උපදෙස් ගැනීමට අවශ්‍ය නම් මෞර්ය රාජ් බ්ලොග්කරුවා අමතන්න.
(image: http://www.panoramio.com/photo/2972580)

