Showing posts sorted by relevance for query මාකස් ප්‍රනාන්දු. Sort by date Show all posts
Showing posts sorted by relevance for query මාකස් ප්‍රනාන්දු. Sort by date Show all posts

Monday, 16 May 2016

මුලින්ම අරක්කු බීපු දවසේ වෙරි වුණේ බොරුවට ද? - A question I ask myself


ඒ ප්‍රශ්නය, මේ ලිපිය ලියන මා එය කියවන ඔබෙන් අසන ප්‍රශ්නයක් නොව, මා මගෙන් ම අසා ගන්නා ප්‍රශ්නයකි.

මගේ අතීතකාමය සන්තර්පනය කර ගැනීමට ලියවෙන, එසේම කියවන්නන්ගෙන් බහුතරයක ගේ ද අතීතකාමය ඇවිස්සීමට හේතු කාරක විය හැකි, මේ ලිපියේ මුඛ්‍ය කතාවට ඒමට පෙර මගේ සිතට ආ අතුරු කතා කිහිපයක් ලියවෙනු ඇත.

මා මුලින් ම, මද්‍යසාර බිඳක් තොල ගෑවේ උසස් පෙළ සහ විශ්ව විද්‍යාලය අතර ගන්ධබ්ක කාලයේ දී බව පෙර ලිපියක ලියූවෙමි. ඒ දිනවල මගේ වයස අවුරුදු දහඅට ඉක්මවා තිබුණි. නමුත්, මා දැන සිටි පරිදි පාසල් යන කාලයේ ද සමහර සිසුහු බියර් පානය කළහ.

අප එකොළොස්වන ශ්‍රේණියේ ඉගෙන ගන්නා කාලයේ පැවති ආනන්ද නාලන්ද වාර්ෂික ක්‍රිකට් තරගයේ අවසාන දිනයේ දී මා නිවසට යන්නට මරදාන දුම්රිය පොළට පැමිණියේ මගේ පන්තියේ සගයෙකු සහ අපට වඩා වසරක් පහළ පන්තියක සිටි ඔහු ගේ කඳානේ දුම්රිය මිතුරෙකු සමගය.

එකල, මරදාන දුම්රිය ස්ථානයේ වේදිකා අංග 5-6 ප්‍රදේශයේ ආපන ශාලාවක් පිහිටා තිබුණි. අපි එහි ගියෙමු.

මගේ මිතුරා බියර් බෝතලයක් ඇණවුම් කළ අතර, ඔහු ද, අනෙකා ද එයට වග කීවෝ ය. මම තේ එකක් ඇණවුම් කළෙමි. ඒ කාලේ ටින්කිරි දමා සාදන තේ කෝප්පයක මිල, මරදානේ දුම්රිය පොළේ ම ඉහළ මාලයේ පිහිටා ඇති ආපන ශාලාවේ නම්, ශත විසි පහකි. නමුත්, මෙදින මගෙන් රුපියල් දෙකයි ශත පනහක් අය කෙරුණු අතර, ඒ හිලව්වට මේසයට ම ලැබුණේ තේ ජෝගුවක්, කුඩා කිරි කෝප්පයක්, සීනි බඳුනක් සහ හැන්දක් තැබූ බන්දේසියකි.

සමහර විට මා ඒ තේ කෝප්පයකට වැය කළ මුදලෙන් එදා අඩු වශයෙන් බියර් බෝතල් භාගයක්වත් මිලට ගන්නට හැකිකම තියෙන්නට ඇත!

මගේ මුල් ම අරක්කු අත්දැකීම මට ලැබුණේ, ඉන් වසර දෙක හමාරකට පමණ පසු මා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ඇරඹුවායින් පසුවය.

නවකවද සමයේ අවසානයත් සමගම මා පදිංචිව සිටි මාර්කස් ප්‍රනාන්දු නේවාසිකාගාරයේ ජ්‍යෙෂ්ඨ සිසුවෝ අප පිළිගැනීම සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයක් සහිත උත්සවයක් සංවිධානය කළෝය.

ඒ උත්සවය සම්බන්ධයෙන් අමතක නොවන කාරණා තුනක් කීමට ඇත.

ඉන් එකක් නම්, එදා අපට ලැබුණු කෑම පාර්සලය දිග හැර එහි තිබුණු කුකුල් මස්, බිත්තරය, අච්චාරු, පරිප්පු සහ සම්බා කහ බත් දුටු, එතෙක් කල් ලොකු ඇට හාල්, මුං ඇට, කොළ ගෝවා මැල්ලුම සහ හරක් මස් හම් කෑලි කමින් සිටි අප අතර සිටි උඩුගම නම් මිතුරා විසින් "අද නම් ගෙදර වගේ!" යැයි ප්‍රකාශයක් කිරීමත්, අප වහාම ඔහු "බුරියානි නයා" ලෙසින් බෞතීස්ම කිරීමත් ය.

නවක සිසුන් වෙනුවෙන් අප ඉදිරිපත් කළ ප්‍රහසනයේ මා චරිතයක් නිරූපණය කිරීම ද වැදගත් මතකයකි. ඒ ප්‍රහසනය වනාහී අර අමාරිස් අයියලා ගේ ප්‍රසංගයක එන ආ යූ මෑඩ් ඕ ඈම් අයි මෑඩ් කියා සුද්දෙකු අසන විට බෝත් කියා පිළිතුර දෙන කතාවේ අනුවර්තනයකි. අප කළ එක් වෙනසක් නම් සුද්දා වෙනුවට පරංගියෙකු ඇතුළත් කිරීමයි. එයට හේතුව පරංගියා යැයි අන්වර්ථ නමෙන් හැඳින්වුණු කළා පීඨ අවසාන වසර ශිෂ්‍යයෙකු මාකස් ප්‍රනාන්දු ශාලාවේ ඒ දිනවල නේවාසිකව සිටීමයි. මා රඟපෑවේ ඒ පරංගියා ගේ චරිතයයි.

මගේ දහනමවෙනි උපන් දිනයට දින හතරකට පසුදින පැවති අපේ වෙල්කම් පාටියේ මගේ මතකයන් අතරින් අද මේ ලිපියට අදාළ සිදුවීම වන්නේ, එදින මා මුල්වරට අරක්කු පානය කිරීමයි.

වෙල්කම් පාටිය දා යමක් කරමු යැයි අප අතරේ සිටි කිහිප දෙනෙකු ගේ යෝජනා ස්ථීරත්වයෙන් සම්මත වී තිබුණි. වෙල්කම් පාටියේ දී ද, යම් කිසි පානයක් අපට ජ්‍යෙෂ්ඨ සිසුන්ගෙන් ලැබෙන බවට රාවයක් තිබුණ ද, අපට අවශ්‍ය වූයේ ඒ තනුක මිශ්‍ර බීම නොව කෙළින් ම අහවල් වර්ගයේ පානයක් කිරීමටයි.

සම්මාදම් වීමට කැමති අයගෙන් රුපියල් කිහිපයක් බැගින් සම්මාදම් කෙරුණු අතර, එකල පේරාදෙණිය අවට ගම් හතකවත් බෝතල් කඩයක් හෙවත් අද භාෂාවෙන් වයින් ස්ටෝරුවක් නොතිබුණු නිසා, අපේ අයෙකුට මහනුවර කොළඹ වීදියට ම යාමට ද සිදුවිය.

එදා නවක සරසවි සිසුන් ගේ තේරීම වූයේ, මගේ ආතා ද (මව ගේ පියා) පානය කරනවා යැයි මා දැන සිටි අරක්කු වර්ගය වූ සංස්ථා පොල් අරක්කු ය. අවර්ණ බෝතලයක් ද, සුදු කළු ලේබලයක් ද මෙහි දී මගේ සිහියට නැගේ. මෙය අද සිංහල බ්ලොග්කරුවන් ගේ ප්‍ර්‍රියතම පානය ලෙස හැඳින්වෙන, කොළ පැහැති ලේබලයකින් යුතු වර්ගයට වඩා රුපියල් කීපයක් මිලෙන් වැඩි අරක්කු විශේෂයක් විය.

මාකස් ප්‍රනාන්දු නේවාසිකාගාරයේ එක් කාමරයක රැස් වුණු අපි, භෝජනාගාරක් නොමැති අපේ ශාලාවේ තිබුණු කුඩා ආපන ශාලාවෙන් සොයා ගත් අඬු කැඩුණු කෝප්ප කිහිපයක් උපයෝගී කොටගෙන, සම්මාදමෙන් ගෙනා පොල් අරක්කු රස බැලුවෙමු. එක් අයෙකුට කෝප්ප භාගයක් පමණ හිමි වුණු බව මගේ මතකයේ ඇත.

ඉන්පසු අප කළේ, නවකවදය සමයෙන් පසු අප ලද නිදහස උපරිමයෙන් ප්‍රයෝජනයට ගනිමින්, මහ හඬින් ගී ගයමින්, නටමින් මාකස් ප්‍රනාන්දු ශාලාව පුරා යාමයි.

මේ අතරතුර මට නැගුණු ප්‍රශ්නය නම්, මගේ මුව තුළින්, මගේ උගුර හරහා, මගේ ම ආමාශය කරා ඇදුණු, පොල් අරක්කු අඬු කැඩිච්ච කෝප්ප භාගයෙන් මා සිතූ ආකාරයට මත් වීමක් කිසිසේත් ම ඇති නොවීමයි.

අයියෝ සල්ලි!

දැන් ඉතින් කුමක් කරන්නද?

ඇත්ත මත් වීමක් සිදු නොවෙයි නම්, මත් වූ බවට රඟ පෑමක්වත් කළ යුතු යැයි මට ඒ මොහොතේ ඇත්තට ම සිතුණි.

මගේ රඟ පෑමට අයත් වූයේ මත් වුණු හඬින් කතා කිරීමත්, උස් හඬින් ගායනයත්, ඇවිදින විට තරමක් ඇදට ඇවිදීමත් ය.

ඒ මොහොතේ අපේ කැරොල් කණ්ඩායමේ මා අසලින්ම වාගේ සිටියේ මාරස්සනින් පැමිණි විද්‍යා පීඨයේ සිසුවෙකි. ඔහු එදා මත්පැන් පානයට සම්මාදම් නොවුණු අයෙකි. "මචං රසිකට පොඩ්ඩක් වැඩියි වගේ!" යැයි මාරස්සන මිතුරා පවසනවාත්, ඒ අසා මට කට කොනකින් සිනා යනවාත්, මගේ රඟපෑමේ සාර්ථකත්වය දැනී, මා එය දිගටම පවත්වාගෙන යනවාත්, මාරස්සනයා මා වත්තම් කර ගන්නවාත් මගේ මතකයේ ඇත.

හැබැයි, එතැනින් පසුව පසුවදා උදෑසන වෙනතුරු සිදුවුණු දේ පිළිබඳව නම් මගේ මතකය එපමණ පැහැදිලි නැත!

කෙසේ වෙතත්, යළිත් මුදල් සම්මාදම් කර නුවර ගොස් පොල් අරක්කු ගෙනැවිත්, නේවාසිකාගාරයේ භෝජනාගාරයෙන් ගෙනා අඩු කැඩුණු කෝප්පවලින් රහ බලන්නට මට ඉඩ ලැබුණේ නම් අක්බාර්-නෙල් නම් නේවාසිකාගරයේ දී මුල් අත්දැකීමෙන් මාස නමයකට පමණ පසු අපේ පළමු වසර විභාගය අවසන් වූ දිනයේ දී බව නම් මට නිසැකව ම කිව හැක.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මගේ අවවාදය නම්, මත්පැන් පානය යනු හැකි තරම් දුරස් කළ යුතු දෙයක් බව සහ නිරතුරු මත්පැන් පානය ඇබ්බැහියකට පෙරළීමට ඉඩ ඇති බවයි.

දිනපතාම අනුමත වුව ද, එමගින් බීමට ඇබ්බැහි නොවී සිටින්නේ කෙලෙසද යන්න ගැන උපදෙස් ගැනීමට අවශ්‍ය නම් මෞර්ය රාජ් බ්ලොග්කරුවා අමතන්න.

(image: http://www.panoramio.com/photo/2972580)

Thursday, 13 October 2016

සුද්දා පරංගියා කළ හැටි හෙවත් අහවලා ගේ නාට්‍යය ජීවිතයෙන් බිඳක්! - Sinhala Short Drama Festival - 15 October 2016 @ Dural, NSW, Australia


ඔහු ශාස්ත්‍ර පීඨයේ හෙවත් ආට්ස් ෆැකල්ටියේ අවසන් වසරේ සිසුවෙකි. එනම් පළමු වසරේ සිසුන් ලෙස පේරාදෙණිය මාකස් ප්‍රනාන්දු ශාලාවේ නවාතැන් ගත් අපේ අති ජ්‍යෙෂ්ඨ උත්තමයෙකි. ඔහු ගේ සැබෑ නම කුමක්දැයි මම අද ද නොදනිමි. ඒ අප සැම ඔහු හඳුනා ගෙන සිටියේ පරංගියා යන අන්වර්ථ නමෙන් නිසා ය.

විශ්වවිද්‍යාලයේ දී පටබැඳෙන මේ ආකාරයේ අන්වර්ථ නාම බහුතරයක කිසිදු තර්කානුකූල පදනමක් නොමැති වුවත්, පරංගියා යන්න අපේ කථා නායකයාට හොඳින් ගැළපෙන්නක් විය. ඉතා පැහැපත් ඔලිව් වර්ණයේ ඡවි කල්‍යාණයකින් ද, තද පැහැති බුරුසු කේශ කලාපයකින් ද, උසින් අඩි හයක් පමණ සිහින් සිරුරකින් ද යුතු වූ ඔහු ලාංකිකයෙකුට වඩා සිහිපත් කළේ යුරෝපීයානු හෝ ලතින් ඇමරිකානු හෝ ජාතිකයෙකි.

මේ අන්වර්ථ නාමයට ඔහු කිසිසේත් ම ප්‍රිය නොකළේ ය. ඒ බව අපට හොඳින් දක්නට ලැබුණේ, නවක වධයේ කොටසක් ලෙස ඔහු ගේ ම මිතුරන් විසින් ශාලාවේ එක් කොනක පිහිටි ඔහු ගේ කාමරය අසලට ගොස් පරංගියා යනුවෙන් කෑ ගසන්නට නවක සිසුන් වූ අපට නියම කළ විට, එයට දඬුවම ලෙස ඩිප්ස් පනහක් පමණ ගසන්නට ඔහුගෙන් අණ ලැබුණු බැවිනි.

අප එසේ කෑ නොගැසුවොත් එයට දඬුවම ලෙස ද ඩිප්ස් පනහක් ගහන්නට වෙන නිසා, අපේ විකල්පවල සැබෑ වෙනසක් නොතිබුණත්, එක් වරක් මුල් විකල්පය තෝරා ගත් පසු නැවතත් එසේ කරන්නට තරම් අප මෝඩ නොවුනෙමු.

කෙසේ වෙතත්, අපේ සමහර නවකයින් ගේ සිත් තුළ පරංගියා ගැන තරමක කෝපයක් ශේෂ වී තිබෙන්නට ඇත. නැතිනම්, අපේ මාකස් ප්‍රනාන්දු නවකවද සමයේ තිබුණු එකම මතක තියෙන ආකාරයේ අත්දැකීම ඒ පරංගියා යැයි කැ ගන්නට ලැබීම විය හැක.

ඒ කුමක් වුවත්, නවකවද සමය අවසානයේ ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් අප වෙනුවෙන් සංවිධානය කරන ලද පිළිගැනීමේ සාදයේ දී, අප ඉදිරිපත් කළ කෙටි නාටකයට අපේ කතානායක පරංගියා ඇතුළු වූයේ ඒ නිසා බව කිව හැක.

අප එදා ඉදිරිපත් කළේ, බොහෝ දෙනෙකු අසා දැක හුරු පුරුදු "විනෝද සමය" විකටාංගයකි. ඒ ඇනස්ලි ඩයස්, සැමුවෙල් රුද්‍රිගු සහ බර්ටි ගුණතිලක චරිත නිරූපණය කළ කොලුවාට සුද්දෙකු ළඟ ආප්ප හැදීමේ ජොබ් එකක් සෙට් කිරීමට යාමේ කතාවයි.

සුද්දා කතා කරන්නේ ඉංග්ලිෂ් පමණකි. කොලුවාට ඉංග්ලිෂ් නොතෙරේ. ඉතිං අමාරිස් අයියා කරන්නේ සුද්දා විසින් ඇසීමට නියමිත ප්‍රශ්න ත්‍රිත්වය සහ ඒවාට දිය යුතු පිළිතුරු කොලුවාට කියා දී කට පාඩම කරවීමයි.

ප්‍රශ්නය: වට් ඊස් යුවර් නේම්?
පිළිතුර: අයි. ඕ. සිරිසේන

ප්‍රශ්නය: වට් ඊස් යුවර් ඒජ්?
පිළිතුර: ටුවෙන්ටි එයිට්

ප්‍රශ්නය: වට් ඩු යූ ලයික් ටු ඊට් ඉන් ද මෝරිනින් බ්‍රෙඩ් ඕ බටර්?
පිළිතුර: බෝත්

කොලුවා ඒ උත්තර ඒ පිළිවෙළට කට පාඩම් කර ගන්නා මුත් සුද්දා ප්‍රශ්න අහන්නේ වෙනත් ආකාරයකට ය.

නොදන්නා අය, එහිදී සිදුවුණු දේ මෙතැනින් නරඹන්න.



අප එදා කළේ ඒ විනෝද සමය ජවනිකාවේ අමු කොපියකි. අප කළ එකම නිර්මාණාත්මක වෙනස වූයේ, සුද්දා වෙනුවට ඒ චරිතය පරංගියා ලෙස නම් කිරීමයි.

මගේ අසමසම නාට්‍ය දිවිය ඇරඹුණු හැටි විස්තර කෙරුණු ලිපියේ සඳහන් කළාක් මෙන් පරංගියා ගේ චරිතය සඳහා බෝසත් ලක්‍ෂණ අවශ්‍ය නොවූ නමුත්, ඒ චරිතය රඟපාන්නට පැවරුණේ මට ය.

මා ජැක්සන් ඇන්තනි රඟ පෑ, උපතිස්ස බාලසූරිය ගේ නාට්‍යයකින් චූට්ටක් කොපි කළේ මේ සිද්ධියට මාස තුන හතරකට පසුව ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
සිනුවර සිංහල කෙටි නාට්‍ය උළෙල සාර්ථක තුන්වෙනි වරට ඔක්තෝබර් 15 සෙනසුරාදා ඩියුරල් හි දී පැවැත්වේ.

නිහාල් රූපසිංහ රචනා කර, ඔහු සහ තිලක් රණසිංහ ගේ අධ්‍යක්‍ෂණයෙන්, ඒ උලෙළේ දී රඟ දැක්වීමට නියමිත "නොම් පෙන් ගේම්ස්" නම් කෙටි නාට්‍යයට මා ද රංගනයෙන් සම්මාදම් වෙන බව සතුටින් දන්වමි.

සැමට සාදර ආරාධනා!

Tuesday, 2 June 2015

පේරාදෙනියේ දී මා කළ දේ ඔබ නොදනී - What did you do at Peradeniya University?



"උඹ මොනවාද බං කැම්පස් එකේ දී කළේ? උඹ අඩුගානේ කැම්පස් එකේ දී ටෙනිස්වත් ගැහැව්වාද?"

ඒ මට අපහාස කිරීමට සිතා සමකාලීන විශ්වවිද්‍යාල සිසුවෙකු අප විශ්වවිද්‍යාලයෙන් පිටවී වසරකට පමණ පසු සේවා ස්ථානයකදී මගෙන් ඇසූ පැණයකි. එකම විශ්වවිද්‍යාලයේ වුවද, මහවැලි ගඟෙන් දෙපැත්තේ පිහිටි අධ්‍යයන පීඨ දෙකක සිසුන් වූ අප දෙදෙනා මුලින්ම දැන හඳුණා ගත්තේ ද ඊට මාස දෙකකට පමණ කලිනි.

මා පෙර දිනක දී කියූ ලෙසින්, එදා ඒ මගෙන් ඇසූ ප්‍රශ්ණය පසුපස තිබුණු සමාජ-දේශපාලන යථාර්තය දැක කම්පා වූ මම, ඔහුට පිළිතුරක් නොදුන්නෙමි.

අද මා මේ සැරසෙන්නේ ඒ නොදුන් පිළිතුර අකුරු කිරීමටයි.

මා උසස් පෙළ විභාගයට පෙනී සිටියේ මගේ දහ අටවෙනි උපන් දිනයට මාස දෙකකට කලිනි.

කුමන පාඨමාලාවක් හෝ හැදෑරීමට විශ්වවිද්‍යාලයට යාමට තරම් මගේ උසස් පෙළ ලකුණු ප්‍රමාණවත් වුවහොත් මා කාලයක සිට පෙරුම් පිරුවේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමටයි. එයට මූලිකම හේතුව වූයේ නවකතාවලින්, ගීතවලින් නිරතුරු උත්කර්ෂයට නැගෙනු අසා තිබූ හන්තානේ කඳු පාමුල, මහවැලි ගඟ අසබඩ සිව් වසරක් ගත කරන්නට සිත තුල බැඳුණු "පොඩි එකා ගේ ආසාව" යි.

පසු කාලයක මගේ බාල සොහොයුරා කළාක් මෙන් පිළියන්දල නැන්දලා ගේ නිවසේ සිට මොරටුවට යෑම වෙනුවට පේරාදෙනියේ වසර හතරක් පදිංචි වීමට මා ගත් තීරණයට ආර්ථික ශක්තිය දුන්නේ ඒ වන විටත් ගුරු සේවයෙන් විශ්‍රාම ලබා සිටි මගේ දුප්පත් පියා බව නෙත පිරුණු කඳුළින් යුතුව සිහි කරමි.

මා මගේ දහ නමවෙනි උපන් දිනය සැමරුවේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ පළමු වසරේ ශිෂ්‍යයෙක් ලෙස මාකස් ප්‍රනාන්දු ශාලාවේ දී ය.

සංජය වත්තේගම නිවැරදි ය. පේරාදෙනියේ ගත කළ සිව් වසරක් සහ මාස දෙකක කාලය තුල මා ටෙනිස් ක්‍රීඩා නොකළ බව සත්‍යයකි. එසේ වුවද, මා කළ කී වෙනත් දේ බොහෝ ය.

ටෙනිස් නොගැසූව ද මා නිරතුරු ටේබල් ටෙනිස් ක්‍රීඩා කළෙමි. ඇත්තටම කියනවා නම්, දෙවන වසර මුළ සිට තුන්වන වසරේ අවසානය වසර දක්වා ම මාගේ කාලය වැඩි වශයෙන් ගත වුනේ ශිෂ්‍ය පොදු කාමරයේ (Students' Common Room) ටේබල් ටෙනිස් සහ කැරම් ක්‍රීඩාවේ නිරත වීමටය කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ.

විශ්වවිද්‍යාල ක්‍රීඩාගාරයේ (Gymnasium) ටේබල් ටෙනිස් ක්‍රීඩා කිරීම සහ ශිෂ්‍ය පොදු කාමරයේ ටේබල් ටෙනිස් ක්‍රීඩා කිරීම අතර ඇති වෙනස දන්නෝ දනිති. නොදන්නන් ගේ දැන ගැනීම පිණිස කියනවා නම්, ශිෂ්‍ය පොදු කාමරයේ ටේබල් ටෙනිස් ක්‍රීඩා කෙරෙන්නේ දේශණ පැවැත්වෙන දිවා කාලයේ දී මිස ක්‍රීඩාගාරයේ දී මෙන් සවස් යාමයේ නොවේ!

දුම්රියේ පාසල් යාම අරඹා වයස දාසය පමණ ලැබූ පසු කවි ලියන්නට පෙළඹුනු මා ඒ සරල පෙම් ගීයෙන් ඔබ්බට ගියේ මේ සිව් වසරක කාලය තුළදී ය. ඉංජිනේරු පීඨ කලාකවය (Arts Circle) නිර්මාණ පුවරුවේ නිරතුරුවම මගේ කවි පළවිය. පාසල් සමයේ දී මා කළ කෙටිකතා ලිවීම නම් දිගටම කරන්නට තරම් උත්තේජනයක් නම් කලාකවයෙන් නොලැබුණු බව ද කිව යුතුය.

ඒ වෙනුවට, පළමු වසරේ දී සහ තුන්වෙනි වසරේ දී පැවති ඉංජිනේරු පීඨ පිළිගැනීමේ උළෙලේ (Freshers Welcome) දී සහ පීඨ දිනයේ (Faculty Day) දී පැවැති විවිධ ප්‍රසංග සඳහා කෙටි ප්‍රහසන ද්වයක් රචනා කර, අපේ කණ්ඩායමේ සිසු නළුවන් කිහිප දෙනෙකු ද සමග වේදිකා ගත කරන්නට මට හැකි විය.

පළමු වසරේ දී ම කලා කවයේ කමිටු සාමාජිකයෙකු ලෙසින් ඇරඹුණු මගේ විශ්වවිද්‍යාල සංගම් ජීවිතය, ඊළඟ දෙවසරේ දී, කලා කවයේ සංස්කාරක සහ ලේකම් ලෙසද, සමාජ විද්‍යා සංගමයේ (Social Science Society) සංස්කාරක සහ ලේකම් ලෙසද ගත වී අවසාන වසරේ උච්ඡස්ථානයට පත් වූයේ ඉංජිනේරු ශිෂ්‍ය සංගමයේ (Engineering Students Union) සභාපති ලෙසිනි.

අපේ දෙවන අධ්‍යයන වසර හිටි හැටියේම අවසාන වූයේ ශිෂ්‍ය උද්ඝෝෂණයක් සහ එහි දී ඇති වූ සිදුවීම් කිහිපයකට පසු විශ්වවිද්‍යාලය වසා දැමීමෙනි. විශ්වවිද්‍යාලය තහනම් භූමියක් ලෙස පවත්වාගෙන යමින් විභාග පවත්වා පසුව අපේ තුන්වන වසර ඇරඹෙන විට විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් අහෝසි කර තිබුණු අතර, පෙර වසරේ ශිෂ්‍ය නියෝජිතයින් ලෙස කටයුතු කළ සිසුන් බහුතරයක ගේ ශිෂ්‍ය භාවය තහනම් කර තිබුණි. ඒ අරාජික තත්වය පවතිද්දී ශිෂ්‍ය හඬ නංවන්නට යම් ආකාරයක සම්මාදමක් වෙන්නටත්, ඒ වසර අවසානයේ විශ්වවිද්‍යාල ශිෂයෙකු පොලිස් වෙඩි පහරකින් මිය ගිය පසු ඇරඹුණු ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවට (Action Committee) සක්‍රීයව දායකත්වය සපයන්නටත්,අන්තර් විශ්වවිද්‍යාල බලමංඩලයේ (Inter University Students Federation) රැස්වීම්වල දී පේරාදෙනිය විශ්වවිද්‍යාලය නියෝජනය කරන්නටත් මට හැකිවිය.

මේ සියළු බාහිර වැඩ කටයුතු සඳහා වැය කරන්නට සිදුවන්නේ අධ්‍යාපනය සඳහා ගත කළ යුතු කාලය බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ නිසා ම, පළමු පන්තියේ සාමාර්ථයක් නොලැබුණද, දෙවන ඉහල පන්තියේ සාමාර්ථයක් (Second Class Upper Division) ලැබීම මට රජකම ලැබීම හා සමාන විය.

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ මා ගත කළ සිව්වසරක කාලය තුල මා නිරත වුණු ටේබල් ටෙනිස් සහ කැරම් ක්‍රීඩා, කවි සහ කෙටි නාට්‍ය වැනි නිර්මාණාත්මක ක්‍රියාකාරකම්, ශිෂ්‍ය සංගම්වල සේවය සහ අවසානයේ දී ලබා ගත් අධ්‍යාපන ජයග්‍රහණය ගැන ද මා මෙහිදී සඳහන් කළෙමි.

ඒවා, මොරටුවේ දී වුව ද කළ හැකිව තිබූ දේ බව අමුතුවෙන් කිව යුතු නැත.

එසේ නම්, පේරාදෙනියේ දී පමණක් කළ හැකි දේ?

"හන්තානේ කඳු මුදුණ සිසාරා පවනක් වී එන්නම්
ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම්"

ඔව්, ඒ කාරණා කටයුතු ද මම ඒ සිව් වසර තුළ කළෙමි. එක් වරක් පමණක් කළ යුතු දේ එක් වරක් නොව සිව් වරක් ම කළෙමි. එහි වරද නම් මගේ ය.

පේරාදෙනිය විශ්වවිද්‍යාලය මැදින් ගලා බසින මහවැලි ගඟ අසබඩින් වැටී ඇති ලවර්ස් ලේන් හෙවත් ආදරවන්තයින් ගේ පටුමග පිළිබඳව පසු කළෙක මා ලියූ ලිපියක කොටසක් මෙසේ ය.
සරච්චන්ද්‍ර රඟහලට නුදුරින් වැටී ඇති ආදරවන්තයින් ගේ මග දිගේ මද දුරක් ඇවිද ගොස් ඉන් පහලට බැස අනතුරුව කුඩා ඒ දඬු පාලමක් තරණය කර මහවැලි ගං ඉවුර අසලට පිවිසිය හැකි බව පෙර පින් පල දෙවා, මේ මග ගිය දෙපා මිස අනෙකෙකු නොදන්නා තරම්ය.

හරිත උඩුවියනකින් ද, හරිත කලාලයකින් ද සුන්දර වූ ද, ලංකෘත වූ ද, කන් පිනවන, රන් ස්වරයෙන් යුතු කෝකිල කූජනයෙන් හෙබි වූ ද මේ අඩවිය වනාහී එක් විසි වියේ කොල්ලන් කෙල්ලන් පේ‍්‍රමයෙන් තම මන රංජිත, නන්දිත කරගන්නා බිමක් මිස මැදි වියපත් අතීතකාමීන් සරණ පෙදෙසක් නම් නොවේ.

මේ සොදුරු අඩවියේ දී පෙමෙන් වෙලෙන තරුණයෙකු ලබන ලාලසී අත්දැකීම් ද පෙර කී නව නළු රසයෙන් කිහිපයක් ම, ඊටත් වඩා තීව‍්‍ර ලෙස, ඉන් විසිපස් වසරකට පසු වුව ද, යලි යලිත් මවන්නට සමත් බව නොකිව මනා ය.

වැලිකතරක දුහුවිලි පොදක් සේ නොදැනීම අතැඟිලි අතරින් ගිලිහී යන්නා වූ, පේරාදෙනිය විශ්වවිද්‍යාලය හා සබැඳි ඒ සොඳුරු අතීතය පිරී ඇති, පෙර කී දෙයාකාරයේ ම, මනරම් මතක සටහන් සියල්ල, අද තම මැදි විය ගෙවන්නෙකුට පෙර සේ ම එක හා සමානව අගනේ වේ.
මේ ලිපිය එක්තරා ආකාරයක පම්පෝරියකි. මා පේරාදෙනියේ දී කළ කී ඒ දේවල් මට වැදගත් වුව ද සංජය වත්තේගමට මෙන් ම මෙය කියවන ඔබට ද නොවැදගත් දේ වීමට හැකිය.

ඉතිං මට පාන් ද?

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඒ කෙසේ වෙතත්, මගේ ජීවිතයේ සිව් වසරක් ගෙවුණු හැටි ඉතා සංක්‍ෂිප්තව ලියවුණු මේ ලිපිය අද පළ කරන්නට සිතුවේ රසිකොලොජි බ්ලොගයේ සුවිශේෂී සැතපුම් කණුවක් සනිටුහන් කරන්නටයි. මා මෙතැනට ලඟාවෙන්නට සිටියේ රසිකොලොජියට වසරක් ගතවෙන ඔක්තෝබර් විසි හත්වෙනිදා ය. නමුත්, මුලින් නොසිතු විලස, මාස හතක් ගත වීමත් සමගම ලිපි සියයක් ලියා පළ කරන්නට මට හැකිවිය.

පසුගිය සත් මසක කාලයේ දී මේ ලිපි සියයෙන් එකක් හෝ කියවූ, ප්‍රතිචාර දැක්වූ සැමට මගේ අවංක ස්තුතිය පිරිනමමි.

Tuesday, 15 February 2022

චීන කවියක් නිසා ලියවුණු සටහනකි - Anything lost?


විශ්වවිද්‍යාලයේ අවුරුදු හතරක් සිටි නමුත්, පළමු වසරේ මුල් මාස දෙක හමාරේ මාකස් ප්‍රනාන්දු ශාලාවේ ජීවිතය සහ දෙවන මාස දෙක හමාරේ මෙන්ම සිව්වෙනි වසරේ මැද භාගයේ මසක් පමණ කාලයේ සවස්වරු කිහිපයක් අමතක කළ හොත්, මගේ ජීවිතය වැඩිපුර ම ගෙවුණේ මහවැලි ගඟේ වම් ඉවුරේ ය.

එනිසා ම නොවුණත්, මට නිකමට හෝ ශාස්ත්‍ර පීඨයේ එනම් කලා පීඨයේ දේශනයක් අහන්නට ලැබී නැත.

ඇත්තටම, මා ශාස්ත්‍ර පීඨයේ සිංහල අධ්‍යයන අංශයට ජීවිතය පළමුවෙනි වතාවට ගියේ විශ්වවිද්‍යාලයෙන් පිට වී දශක දෙකකටත් පසු 2008 අවුරුද්දේ දී යි. ඒ මා සංස්කරණය කළ, ඕස්ට්‍රේලියානුවාසී සිංහල ලේඛකයින් තම සංක්‍රමණික අත්දැකීම් අනුසාරයෙන් ලියූ කෙටිකතා ඇතුළත් "තිරස තරණ" ග්‍රන්ථයේ පිටපත් කිහිපයක් එහි අධ්‍යයන කාර්ය මණ්ඩලයට ලබා දෙන්නයි.



"කන්දෙන් ලන්දට" යන ගීතයක අප අසා පුරුදු යෙදුම, උපහාස කතා රචකයෙකු වූ, (දිවංගත) මහාචාර්ය මිණිවන් පී තිලකරත්න විසින් තම නවකතාවක නම සඳහා යොදාගෙන තිබුණේ, ඔහු ද කළ ආකාරයට, කඳුරට පිහිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උගෙන, පහතරට පිහිටි විශ්වවිද්‍යාලයක සේවයට යෑම සංකේතවත් කිරීමට ය. ඒ වචනම උපයෝගී කරගෙන විස්තර කරනවා නම් මහාචාර්ය ලියනගේ අමරකීර්ති කියන්නේ "ලන්දෙන් කන්දට" ආ පුද්ගලයෙකි.

දෙවරක් පමණ හමු වී කතා බහ කර ඇති, මගේ ෆේස්බුක් මිතුරෙකු ද වන, ලියනගේ අමරකීර්ති විසින් ඊයේ අපට නවමු අත්දැකීමක් ලබා දුන්නේ ය. එය නම්, ඔහුගේ දේශනයක කොටසකට අනියම් ආකාරයකින් සම්බන්ධ වීමට අවස්ථාවකි.

පහත දැක්වෙන්නේ සහශ්‍රක දෙකකටත් ඉහත කාලයක ජීවත් වුණු (එසේ ම, රැවුල වවපු කොණ්ඩෙ බැඳපු) චීන අධිරාජයකු විසින් ලියන ලද විරහ කවියකි.

The sound of her silk skirt has stopped.
On the marble pavement dusk grows.
Her empty room is cold and still.
Fallen leaves are piled against the doors.
Longing for that lovely lady,
how can I bring my aching heart to rest?

Wu Ti, 6th Han Emperor, 157-87 BC
Translated by Arthur Waley

මහැදුරු ලියනගේ අමරකීර්ති අපට කියා තිබුණේ එම කවිය සිංහල භාෂාවට පරිවර්තනය කරන්න කියායි. එය ඔහුගේ යම්කිසි දේශනයක ද උපයෝගී කරගන්නා කවියක් බව කියවුණි.

අද උදෑසන පාතරසය රසවිඳින අතරතුර මට ඒ සඳහා යම් උත්සාහයක නිරත වෙන්නට කාලය් ලැබුණි.

මෙන්න එහි මුල් ප්‍රතිඵලය.

සේද සායෙන් ඇගේ, නැගුණු නද නැවතිලා
කිරිගරුඬ පුවරු මත ගොම්මන ද බෝ වෙලා

ඇගෙන් හිස් වූ කුටිය, සීතල ය, නිසසල ය
දොර අසල ගොඩ ගැසුණු මිලින වූ තුරු පත් ය

ඒ සොඳුරු කත කෙරෙහි ලාලසාවන් සිටිමි
රිදුම් දෙන හද මගේ කෙලෙස සතපා ලම් ද?


සියයට සියයක පරිවර්තනයක්, විශේෂයෙන් ම කවියක පරිවර්තනයක්, කිසිවෙකුට කළ හැකි වේ යැයි නොසිතමි. සෑම පරිවර්තනයක් ම, අඩුවැඩි වශයෙන් අනුවර්තනයකි. මෙහි ප්‍රතිශතය 90% පමණ වේ යැයි සිතමි. වචන සහ අදහස සම්බන්ධයෙන් එසේ වුව ද, කවියේ ධ්වනිතාර්ථය, මැවෙන රසය නම් එලෙස පරිවර්තනය කිරීම ඉතා අසීරු වේ. ඉංග්ලිෂ් භාෂාවෙන් Loss in translation කියන්නේ මේ කාරණය ගැනයි.

මෙහි දී අප නොදන්නා අනෙක් කාරණය නම්, මුල් චීන කවිය අප කියවන ඉංග්ලිෂ් භාෂාවට පරිවර්තනය වෙන අවස්ථාවේ කෙතරම් ප්‍රතිශතයක් නැති වූවා ද යන්නයි.

කෙසේ වෙතත්, මගේ උත්සාහය වූයේ නිසදැසක් නොව තාලයකට කිව හැකි කවියක් නිර්මාණය කිරීම බව ලියා තබමි.

පරිවර්තන සහ අනුවර්තන ගැන මා කාලයක් තිස්සේ අසා තිබුණත්, ඒ රේඛාවේ අනිත් අන්තයේ පිහිටි ප්‍රති-රචනය සහ සෙවනැලි රචනය ගැන මා දැනගත්තේ පිළිවෙලින් හෂිත අබේවර්ධන සහ ප්‍රියන්ත ෆොන්සේකා නිසා බව කිව යුතුයි.

අම්බලවානර් සිවානන්දන් ගේ When memory dies නම් කෘතියේ ප්‍රති රචනයක් හෂිත අබේවර්ධන විසින් මීට වසර කිහිපයක්ට පෙර "මතක මියෙන සඳ" ලෙස ඉදිරිපත් කළේ ය.


දශකයකටත් වඩා දිගු කාලයක් තිස්සේ විදෙස් කවි අනුසාරයෙන් තමන් කරන නිර්මාණ "කවි සෙවණැල්ල" නම් බ්ලොගයක පළ කළ ප්‍රියන්ත ෆොන්සේකා දැන් ඒ කවි එකතුව කවි පොතක් ලෙස ඉදිරිපත් කර තිබේ.


ඒ වගත් මෙසේ ම,

-රසික සූරියආරච්චි

(images: various sources in Internet)