Friday 25 December 2015

ජවිපෙට අජීර්ණය හැදෙන කවියක් - What an irony!


ඉතා දුර අතීතයක සිදුවුණු දේශපාලනමය වශයෙන් වැදගත් සිදුවීම් කිහිපයක් පිළිබඳ විස්තර සඳහන් වෙන මේ ලිපිය මෑස් කන්සම්ප්ෂන් සඳහා නොවේ. අවශ්‍ය ඇත්තන් ගේ කියවීම පිණිස ය.

මේ ලිපියේ අවසාන පරිච්ඡේද කිහිපය ඇරුණු විට අන් සියල්ල රාවය පුවත් සඟරාවේ පළවිය. එය මගේ බ්ලොගයේ කොටස් වශයෙන් පළ කරන්නේ මේ දිනිවල නිවාඩු පිට ඉන්නා බැවින්, වෙනදාමෙන් දුම්රියේ සේවයට යෑමක් නැති නිසා ලිවීමට කාලය සොයා ගැනිම පිළිබඳ ප්‍රශ්නයක් ඇති නිසාය.

මුල් කොටස:
රාවයේ පළවූ මගේ ලිපිය - Forcing the sun to rise at midnight
http://rasikalogy.blogspot.com/2015/12/forcing-sun-to-rise-at-mid-night.html


දෙවන කොටස:
කොළඹ විශ්ව විද්‍යාලයේ පැවති නයි-මුගටි සටනක්! - JVP vs Independent Students
http://rasikalogy.blogspot.com/2015/12/jvp-vs-independent-students.html


අද තුන්වෙනි කොටස කියවන්න.

අබේසේකර සහ රත්නායක සිසුන් දෙදෙනා මරා දැමීමට වසරකට පෙර 1983 ජූලියේ දී, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පැවති ශිෂ්‍ය සටනක් අවසානයේ මාරාන්තික උපවාසයක් පැවතුණි. වෙනම ම ලිපියකින් විස්තර කළ යුතු මේ සිදුවීම් මාලාව පිළිබඳව මා ලියූ දිගු කවියක් අවසාන කළේ මෙලෙස ය.
අසාධාරණයෙ අඳුර බිඳින්නට
හිරු පායන තෙක් සිටි කාලය ඇති
බලහත්කාරෙන් හෝ හිරු පුබුදා
හෙට මුළු ලෝකය එළිය කළ යුතුය
මෙම කවිය අනිවාර්යයෙන් ම නිර්ධන පන්තියේ විප්ලවය සනිටුහන් කරතැයි මම සිතුවෙමි.

ඉංජිනේරු පීඨ කලා කවය මගින් පවත්වා ගෙන යනු ලැබූ බිත්ති පුවරුවේ මුල් වරට ප‍්‍රදර්ශනය වූ මෙම කවිය මම පසුව (1984 ඔක්තෝබරයේ දී පමණ* අක්බාර්-නෙල් ශාලාවේ මා නැවතී සිටි කාමරයේ කුරුටු ගීයක් ලෙසින් සටහන් කළෙමි.

ඊළඟ වසරේ මේ කාමරයේ තාවකාලිකව නවාතැන් ගත් හිටපු ඉංජිනේරු පීඨ ශිෂ්‍ය, එකල ජ.වි.පෙ. පූර්ණකාලීන කි‍්‍රයාකාරිකයෙකු වූ ආනන්ද ඉඩමේගම මේ කුරුටු ගීය කියවා බලා, මා ගැන විපරම් කර ඇත.

මා එවකට ශිෂ්‍ය ව්‍යාපාරය තුළ යම් කිසි ආකාරක කි‍්‍රයාකාරිකයෙකුව සිටියෙමි. ශිෂ්‍ය සටන් තුළ දී සමාජවාදී ශිෂ්‍ය සංගමයේ කි‍්‍රයාකාරකම් පිළිබඳව මගේ අවුලක් නොතිබුණු නමුත් ජනවාර්ගික ප‍්‍රශ්නය පිළිබඳව රෝහණ විජේවීර ගේ කතා ඇතුළත් කැසට් සහ ඔහුගේ ම ”ජාතික ප‍්‍රශ්නයට විසඳුම කුමක් ද?” නමින් පළකළ පොත මගින් ඉදිරිපත් කරන ලද මතවාදය නම් මට රුචි නොවීය.

මේ සියලූම හේතු නිසාවෙන් දෝ, මට නිසි මග පෙන්වා දීමට ජ.වි.පෙ. නියෝජිතයෙකුට අවසර දෙන්න යැයි මා මිතුරු නලින් මගෙන් ඉල්ලූ අතර මම එයට කැමැත්ත දුනිමි. මේ දේශපාලන සාකච්ඡුාව සඳහා මා හමුවට ආවේ අන් කිසිවෙකු නොව පසුව ජ.වි.පෙ. දේශපාලන මංඩල සභිකයෙකු වූ උපාලි ජයවීර ය.

ඉහත කවියෙන් මුළු ගැන්වුණු මගේ අදහස් වල වැරදි බව පවසමින් කතාව ඇරඹූ ඔහු, පැය දෙකකටත් වඩා වැඩි කාලය කාලයක් මිඩංගු කරමින් ජාතික ප‍්‍රශ්නය පිළිබඳ ජ.වි.පෙ. මතවාදය මා හමුවේ තැබීය.

ඔහු පැවසූ දේ සැකෙවින් කිවහොත් එය මෙසේ ය.

පවතින රජයේ බලයෙන් මිදී තමන් ගේ රජයක් අවි බලයෙන් ගොඩ නැඟීම අරමුණු කරගෙන එවකට උතුරේ කෙරෙමින් පැවතුන සටන ප‍්‍රතිගාමී එකකි. එනම් බලහත්කාරෙන් හිරු පිබිදවීමට දරන තැතකි. ත‍්‍රස්තවාදයකි. එය පරාජය කළ යුතුය.

අවසානයේ තර්කයෙන් කිසිදු ජයක් ලබා නොගෙන උපාලි ජයවීර හිස් අතින් වෙන්වී ගියේ නැවත හමුවෙන්නට අවශ්‍ය බව කියමිනි. කෙසේ වෙතත් මා වැනි සුඹුලෙකු ගැන වෙහෙසීමට වඩා වැදගත් වැඩ ඔහුට තිබෙන්නට ඇත.

පද්මසිරි අබේසේකර සහ රොහාන් රත්නායක සිසුන් දෙදෙනා මරා දමා වසරක් ගත වූ දින අපි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සැමරුම් උත්සවයක් සංවිධානය කළෙමු. මේ වෙනුවෙන් නිකුත් කළ සමරු කලාපයේ සංස්කරණය මට පැවරුණු අතර මගේ කතුවැකියේ අවසානයේ ඉහත සඳහන් කෙටි කවිය ද ඇතුළත් කළෙමි.

මේ සමරු කලාපයේ පිටපතක් කෙසේ හෝ දයා පතිරණ අතට පත්වෙන්නට ඇත.


සිව්වෙනි කොටස.
දයා පතිරණට එරෙහි ජවිපෙ කුමන්ත්‍රණය - Beginning of JVP bloody politics (Stage 2) :: https://rasikalogy.blogspot.com/2015/12/beginning-of-jvp-bloody-politics-stage-2.html

-රසිකොලොජිස්ට්

(image: http://uorunion.blogspot.com/2011/11/student-heroes.html)

17 comments:

  1. හොන්ද වෙලාවට අරූ ඩ්බෙට් එකෙන් පැරදුනේ..

    නැහ්නන් ඉතින් කතන්දරත් නෑ මාතලනුත් නෑ...

    ReplyDelete
    Replies
    1. ඔවුන් ගේ "පොත" සහ එහි තියරිය මට ඇල්ලුවේ නැත.

      Delete
    2. මගෙත් මොකද්දෝ වාසනාවකට ඔය ජාතික ප්‍රශ්නය ගැන ජ.වි.පෙ. එක්ක එකඟ නොවීමක් තිබුනා. එහෙම නොවුනා නම් අකාලයේ මැරෙන්ඩ තිබුනා. ඉඩමේගම හමු වූ හැමදාම ඒ හමුව කෙළවර වුනේ ජාතික ප්‍රශ්නය ගැන ඇද ගෙන.

      Delete
  2. ලින්ක් එක දැනුයි දැක්කේ. ඒ නිසා කියවලා ඉවර කළා. මේ සිද්ධිය වෙනකොට අපි ඇතුළට ගිහින් නෑ. බලාගෙන ගියහම සරසවි ඇතුළේ වාතාවරණය (සහ පසුව රටේ වාතාවරණය) වෙනස් වුණු හැරුම් ලක්ෂ්‍යයක් වගෙයි මේ සිද්ධිය. මේ සිද්ධියෙන් පස්සේ එක් පැත්තකින් එහි වගකීම භාර නොගනිමින් එය ජේආර් ආණ්ඩුව මත දමමින් ජවිපෙ මර්දනයට හේතුවක් හොයා ගැනීමට ආණ්ඩුව විසින් මෙය කළ බව පවසන අතරම, අනික් පැත්තෙන් දයා පතිරණලා 'ඉවත් කළ යුතුව තිබුණු' චරිත බවට තර්ක කිරීමේ දෙපිටකාට්ටු න්‍යායක් නේද ජවිපෙ සාමාජිකයින් විසින් අනුගමනය කළේ?

    ReplyDelete
    Replies
    1. මගේ ලිපිය දිග වැඩි නිසා දෝ අහි අවසන් පරිච්ඡේද කිහිපය මග හැරී ගොස් තිබුණා. මුළු ලිපියම කොටස් වශයෙන් මෙහි පල කරන්නේ එනිසායි.

      ජවිපෙ තමන් ගේ වැරදි පිළිගන්නා, ස්වයං විවේචනයක් කරන, පක්‍ෂයක් නොවෙයි. අඩු වශයෙන් මරාත් පැරදුණු පසු තමන් වැරදි කළ බව පිළිගත්තා!

      Delete
  3. උබත් දැන් එක දිගටම ලිපි දාන්න පටන් අරන් වගේ....දීර්ඝ නිවාඩුවක් නොවැ...

    ReplyDelete
    Replies
    1. නෑ, මේ ආකාරයට පොස්ට් දාන්න හේතුව අවිවේකයයි.
      මේවා කලින් ලියූ ඒවා!

      Delete
  4. උපාලිව අන්තිමට දැක්කෙ නන්දා මලිනී ගෙ පවන ෂෝ එකේදි ලුම්බිනි හෝල් එකේ.
    ඉන් සතියකට විතර පස්සෙ ඉස්සුව මම හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. උපාලි උස්සන කොට පවනක් තියා හුලං ‍රැලක්වත් තිබ්බේ නෑ. නන්දායි සුනිලුයි දෙන්නාත් ඉන්දියාවට පැනලා හිටියේ.

      Delete
    2. මට වැරදුනා වෙන්න පුලුවනි,
      නන්දාගෙ ෂෝ එක හරි අශොක හඳගමගෙ ඩ්‍රාමා එකක් හරි තිබුනා.
      ඒකට ආවා, පැය 1/2ක් වත් හිටියෙ නෑ ගියා.

      Delete
    3. මා ඔහුව අවසන්වරට දුටුවේ 1985 මැයි 1 දා නව නගට ශාලාව අසලදී ය.

      Delete
  5. අර මතවාදෙ ඔළුවට අරගත්තු නැති එක හොඳයි...

    ReplyDelete
    Replies
    1. අපී නම් අහූ උනා

      Delete
    2. ජවිපෙ එදා වාර්ගික ප්‍රශ්නය ගැන දැරූ මතයට එකඟ වුනාා නම් ඒ අනුවන කම නිසයි!

      Delete
  6. නිවාඩුවක් ලැබුණ එකෙන් අතීත මතක ගොනු කරන්න ලැබීම ඉතිහාසය ලියා තැබීමට හොඳ අවස්ථාවක්

    ReplyDelete
    Replies
    1. මේක කලින් ලියා මේ ළඟදී රාවයේ පළ කළ ලිපියක්. මෙලෙස රසිකොලෙජියේ පළ කළේ නිවාඩුවේ අලුතෙන් ලියන්නට කාලය නැති නිසයි!

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.