මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Wednesday, 23 December 2015
දයා පතිරණ පිළිබඳ මතකය - Forcing the sun to rise at mid-night
පසුගිය ඉරිදා රාවය පුවත් සඟරාවේ මගේ ලිපියක් පළවිය. එය මගේ විශ්වවිද්‍යාල ජීවිතය හා බැඳුණු එකකි. හැබැයි එහි ප්‍රධාන නළුවා මා නොව, ජනතා විමුක්ති පෙරමුණ / සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් මරා දැමූ බවට සැක කෙරෙන කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වූ දයා පතිරණ ය.
මගේ ලිපිය දිග වැඩි වීම නිසා එහි අවසාන පරිච්ඡේද කිහිපය රාවයෙන් හැලී ගොස් තිබුණු බැවින් මුළු ලිපියම (කොටස් කිහිපයකින් යුතුව) රසිකොලාජියේ පල කිරීමට සිතුවෙමි.
විශ්වවිද්‍යාල ශිෂ්‍ය දේශපාලනයේ ඉතිහාසය ගැන උනන්දුවවක් ඇති ඇත්තෝ කියවත්වා!
-රසිකොලොජිස්ට්
දයා පතිරණ සහ බලෙන් හිරු නංවීම
දයා පතිරණ ඝාතනයේ විසිනමවෙනි සංවත්සරය නිමිත්තෙනි
අසූව දශකයේ මැද භාගයේ දී කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයා ලෙස කටයුතු කළ දයා පතිරණ සහෝදරයාව කපා කොටා ඝාතනය කර දමා තිබුණේ අදින් වසර විසි නමයකට පෙර 1986 දෙසැම්බර් මස 15 වන දිනට යෙදුණු උදුවප් පුර පසළොස්වක පොහෝ දා ය.
ඉන් වසර දෙකහමාරකට උඩ 1984 ජූනි මාසයේ දී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පද්මසිරි අබේසේකර සහ කොළඹ විශ්වවිද්‍යාලයේ රෝහණ රත්නායක ශිෂ්‍යයන් දෙදෙනා රාජ්‍ය සේවයේ වෙඩි උන්ඩයෙන් මිය ගොස් තිබුණු බැවින් තවත් සරසවි සිසුවෙක් මරා දමා තිබීම එවකට රටේ මහජනතාව අතර විශාල කලබගෑනියක් ඇතිවීමට හේතුවක් නොවීය. නමුත් දයා පතිරණ ගේ මරණය එසේ සතුරු වෙඩි උණ්ඩයකින් සිදුවූවක් නොව මිතුරු ලෙසින් පැමිණි මාරයාගෙන් ලැබුණු පිහි පහරින් සිදු වූ එකක් වීම විශේෂයකි.
දයා පතිරණ ඝාතනයට මුලික ම හේතුව ලෙස මතුපිටින් පෙනුණේ කොළඹ සරසවියේ ශිෂ්‍ය නායකත්වය පිළිබඳ බල අරගලය වූව ද, සැබෑ වූ හේතුව වූයේ උතුරේ යුද්ධය සහ ජනවාර්ගික ප‍්‍රශ්නය පිළිබදව වූ වඩා පුළුල් මතවාදී ගැටුමක් ඔඩුදුවා යෑම බව මගේ හැඟීමයි. එ නිසා ම මෙම ඝාතනය, පසු කාලයේ ලංකාව තුළ උතුරු නැගෙනහිරින් බාහිරව සිදු වූ මහා ජීවිත විනාශයේ සමාරම්භක මිනිස් බිල්ල ලෙස කෙරෙන හඳුන්වා දීම ඉතා වැදගත් වේ.
දයා පතිරණ (ඔහු ගේ මුළු නම හේවා පතිරණගේ දයානන්ද පියසිරි විය) මට මුලින්ම හමුවූයේ 1984 අගෝස්තු මාසයේ දිනයක කඩවත සූරිගම පන්සලක පැවැත්වුණු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මංඩල (අවිශිබම) රැස්වීමේ දී ය. ඔහු ගේ මරණයෙන් පසුව මා දැනගත් පරිදි දයා පතිරණ මාතර ප‍්‍රදේශය තම නිජබිම කරගත්තෙකි. ඔහු පාසැලේ දක්‍ෂ කි‍්‍රකට් කී‍්‍රඩකයෙක් වූ බව ද කියවුණි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අප "අවිශිබම"ය හැදින්වූයේ "අයි.යූ.එස්.එෆ්." යන මුලකුරු වලින් වුවද එය අනෙකුත් විශ්වවිද්‍යාලවල ජනපි‍්‍රය වූයේ "අන්තරය" යන නමිනි. අවිශිබමයේ කැඳවුම්කරු ලෙස එවකට කි‍්‍රයා කළේ පසුව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභිකයෙකු වූ උපාලි ජයවීර ය. ඔහුට අමතරව කැලණිය විශ්වවිද්‍යාලයෙන් මෙම රැස්වීමට මහජන පක්‍ෂයට, ශී‍්‍රලනිපයට සහ නව සමසමාජ පක්‍ෂයට සම්බන්ධ ශිෂ්‍ය සංගම් නියෝජනය කරන නියෝජිතයන් ද, එදින කුමන පක්‍ෂයක් නියෝජනය කළේ දැයි මා අදත් නොදන්නා, පසුව 1994 දී ශී‍්‍ර.ල.නි.ප.යෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණු, ඩිලාන් පෙරේරා ද සහභාගී විය.
ඩිලාන් එවකට ජ.වි.පෙ. හිතවාදියෙකු වූ බව මම අනුමාන කරමි. මා ඔහු අවසාන වරට සජීවීව දුටුවේ 1985 මැයි දිනයේ කොළඹ නව නගර ශාලාවේ පැවති නිල නොවන ජ.වි.පෙ. මැයි දින රැලියේ දී සිය පියාත්, නැගණියත් සමග සිටිය දී ය.
රැස්වීමට සහභාගීවූවන් බහුතරය එක්කෝ ජ.වි.පෙ. කි‍්‍රයාකාරිකයින් හෝ නැතිනම් ජ.වි.පෙ. අනුගාමිකයින් (එනම් විශ්වවිද්‍යාලයට පරිබාහිර ජ.වි.පෙ. දේශපාලනයට ද යම් ලෙසකින් දායක වෙන්නන්) හෝ නැතිනම් ජ.වි.පෙ. හිතවාදීන් (එනම් එවකට ශිෂ්‍ය දේශපාලනය තුළ ජ.වි.පෙ. කි‍්‍රයාකාරීත්වය පිළිබඳ බරපතල ප‍්‍රශ්න නැත්තන් - සමහරවිට ඩිලාන් පෙරේරා මේ ගොඩට වැටුණා විය හැක) බව කැපී පෙනුණි. කොළඹ, මොරටුව, ජයවර්ධනපුර, පේරාදෙණිය සහ රුහුණ විශ්වවිද්‍යාල ද අඩු වැඩි වශයෙන් නියෝජනය වී තිබුණු අතර යාපනය සහ නැගෙනහිර සරසවිය ප‍්‍රායෝගික කරුණු මත අවිශිබමයේ කොටසක් නොවී ය.
එදා රැුස්වීමට පැමිණ සිටි අය අතර සිහින් සිරුරකින් ද බොකුටු කොණ්ඩයකින් ද යුතු කොළඹ විශ්වවිද්‍යාලයේ දයා පතිරණ කැපී පෙනුණි. ඔහු ජ.වි.පෙ. හිතවාදියෙක් නොවන බව ක්‍ෂණයකින් පැහැදිලි වූයේ ඔහු කවුරුදැයි රැස්වීමේ කැඳවුම්කරු ද ඇතුළුව සභාවෙන් ප‍්‍රශ්න නැගුණු විට ය. තමා කොළඹ සරසවියේ ස්වාධීන ශිෂ්‍ය කණ්ඩායම නියෝජනය කරන බවත්, පසුගිය දිනක පැවති ජල බදු විරෝධී රැුලියේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් නියෝජනය කරමින් කතා කළ තමා ට මෙම අවිශිබම රැස්වීමට සහභාගීවීමට අයිතියක් තියෙන බවත් දයා පතිරණ ස්ථිරසාරව ප‍්‍රකාශ කළේ ය.
කූප‍්‍රකට භීෂණ සමය මේ වන විට ලංකාවේ තවමත් ආරම්භ වී නොතිබුණ ද මෙම අවිශිබම රැස්වීම පැවැත්වූ කාලය ද විශ්වවිද්‍යාල සිසුන් ට නම් එක්තරා ආකාරක භීම සමයක් විය. පෙර සඳහන් කළ පරිදි පද්මසිරි අබේසේකර සහ රෝහණ රත්නායක ශිෂ්‍යයින් වෙඩි තියා මරා දමා ඒ වන විට ගතවී තිබුණේ යාන්තම් මසක් පමණ කාලයක් පමණි. මේ රෝහණ රත්නායක ශිෂ්‍යයා දයා පතිරණ නායකත්වය දුන් කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙකු වී යැයි සිතමි.
මේ වන විට විශ්වවිද්‍යාල සියල්ල ම වසා දමා තිබුණු අතර අප එදා රැස්වුණේ ශිෂ්‍ය විරෝධය ඉදිරියට ගෙනයාමත්, විශ්වවිද්‍යාල නැවත විවෘත කරගැනීමත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ එවකට පිහිටුවා තිබූ පොලිස් ස්ථානය ඉවත්කරවා ගැනීමත් පිළිබඳ සාකච්ඡා කිරීමටය. මගේ මතකයට අනුව රැස්වීම අවසාන වූයේ, පොලීසිය එතැනින් ඉවත් කරන ලෙස රජයට බල කිරීම පිණිස, පොදු ජන පෙත්සමක් අත්සන් කිරීමට තීරණය කිරීමත් සමග ය.
දෙවෙනි කොටස: කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති නයි-මුගටි සටනක්! - JVP vs Independent Students :: https://rasikalogy.blogspot.com.au/2015/12/jvp-vs-independent-students.html.
-රසිකොලොජිස්ට්
Subscribe to:
Post Comments (Atom)
බුකියෙදි කියෙව්ව ඔක්කෝම. රාවයේ කැපිල්ල තමයි අවුල. කෝ මේ උඩුව?
ReplyDeleteඅනේ සමාවෙන්ටෝනේ!!
Deleteපිටු විසිහතරයි නෙව තියෙන්නෙ..
වරද මගේ.
Deleteමේ ලිපිය දිග වැඩියි. සංස්කරණය කළ යුතුව තිබුණා!
අත්‍යාවශ්‍ය නොවන කොටස් නිසා මා ලියූ අවසාන පරිච්ඡේදය කැපී යාම තමයි දුක!
හරි හෙට ඉතුරු ටිකත් කියවමු.
ReplyDeleteඅහසින් ම එන්න!
DeleteCongrats....!!!
ReplyDeleteතෑන්ක්ස් මිත්‍රයා!
Deleteබ්ලොග් ලෝකේ ඉන්න ගොඩක් දෙනෙක් තමන්ගේ ස්වාධීන අදහස් පත්තරේට ලිව්වනම් හොඳයි කියලා හිතනවා.. මොකද සයිබර් අවකාශයෙන් එළියේ හොඳ කියවන්නෝ ඉන්න නිසා...
ReplyDeleteමේ වෙද්දී පැරා, රසික සහ යශෝධා රාවයේ ලියනවා...
අනිත් අයටත් රාවයට ලියන්න කියලා ඇරියුම් කරනවා..
මට ෆේස්බුක් එකේ මැසේජ් එකක් දාන්න!!
පොඩ්ඩක් අවබෝධ විය යුතු කාරණේ පත්තරේට ලියන එක ටිකක් වෙනස් බ්ලොග් ලියනවට වඩා (යශෝධා සහ රසික ඒ තියරි එක දන්නවා)
දිග පිළිබඳ කතාවේදී අපට අවුලක් නෑ.. ඒත් මේ ලිපිය ටිකක් අඩු කරන්න වුණා..
සමාව ඉල්ලනවා රසිකට කියලා ගෙන්වාගත්ත ලිපියක් නිසා...
උඩුවා... නිදහස් සිතුවිලි රසික පාර පෙන්නූ ලිපිය දැක්කාද?
Deletehttp://chandimagomes.blogspot.com/2015/12/denying-education-rights-of-others.html?showComment=1450862780737#c7546627167000792285
වරද මගේ.
Deleteමේ ලිපිය දිග වැඩියි. සංස්කරණය කළ යුතුව තිබුණා!
අත්‍යාවශ්‍ය නොවන කොටස් නිසා මා ලියූ අවසාන පරිච්ඡේදය කැපී යාම තමයි දුක!
පද්මසිරි අබේසේකර මරණය අහඹු සිදුවීමක් !
ReplyDeleteඔව්.
Deleteඅහඹු ලෙස සිසුන් දෙසට එල්ල කර තැබූ තැබූ වෙඩි පහරක් ඒ උණ්ඩය ගමන් ගත් මාර්ගයේ සිටි අබේසේකර ගේ ඇඟේ අහඹු ළෙස වැදී තමයි ඒ මරණය සිදු වුනේ.
එහි දී උ්ණඩයක් වෙනුවට අගනා නිල් මැණිකක් ඒ ප්‍රචේගයෙන් ම එල්ල කළා නම් ඒ මැණික හිමිවෙන්නේ ද ඔහුටමයි!
//ඩිලාන් එවකට ජ.වි.පෙ. හිතවාදියෙකු වූ බව මම අනුමාන කරමි. මා ඔහු අවසාන වරට සජීවීව දුටුවේ 1985 මැයි දිනයේ කොළඹ නව නගර ශාලාවේ පැවති නිල නොවන ජ.වි.පෙ. මැයි දින රැුලියේ දී සිය පියාත්, නැගණියත් සමග සිටිය දී ය.//
ReplyDeleteපියාත් ? මාර්ෂල් පෙරේරා කොමියුනිස්ට් නේද? ඒකාලෙ කොමියුනිස්ට් කාරයො ජේවීපී එකට සපෝර්ට්කලාද? පස්සෙනම් උන්ට මැරුම් කන්න වුනා ජේවීපී එක අතින්.
ජේආර් 1983 ජූලි කළබළ උපයෝගී කරගෙන පක්‍ෂ තුනක් තහනම් කළා, ඒ ජවිපෙ, කො.ප. සහ න.ස.ස.ප.යයි. කොමියුනිස්ට් පක්‍ෂයේ තහනම මුළින්ම ඉවත් වුණා. මුලින් සැඟවී සිටි වාසු, බාහු, සිරිතුංග වැනි න.ස.ස.ප. නායකයින් කලකට පසුව විජය සමග එළියට ආවා.
Deleteකො.ප. සහ ජ.වි.පෙ. ලොකු විරෝධයක් 1985 දී නොතිබුණා විය යුතුයි.
ඩිලාන් ඒ කාලේ හිටියේ මහජන පක්ෂය හා සම්බන්ධ කණ්ඩායම් එක්ක. ජ.වි.පෙ.ට හිතවත් ශිෂ්‍ය ක්‍රියාකාරීන් ඩිලාන්ට කැමති නැහැ. ධවල පත්‍රිකා සටන කාලෙදී ලස්සන වැඩක් වුනා. මේ කාලයේ අන්තරේට ඕනෑ වුනා සිසුන්ගේ දෙමාපියන් එකතු කරලා සංවිධානයක් ගොඩ නඟන්න. මේ රැස්වීමේ ලමුන් වෙනුවෙන් වැඩිපුරම කතා කළේ ඩිලාන්ගේ අම්මා. ඉතින් ජ.වි.පෙ. හිතවතුන් කිව්වේ "ඩිලාන් වගේ නෙමෙයි උගේ අම්මා නම් නියමයි" කියලා. ඉතින් අවසානයේ පිහිටවපු සංගමයේ ඩිලාන්ගේ අම්මා සැලකිය යුතු නිලයකට පත් වුනේ ඩිලාන්ගේ විරෝධතාව මැද ජ.වි.පෙ. සිසුන්ගේ ආශිර්වාදයෙන්.
Deleteඩිලාන් කිව්වේ 'උඹලා අපේ අම්මා අඳුරන්නේ නැහැ. බලාගෙන හිටපන් පුක බිම ඇනගන්නකම්, එයා ඕකට දාගෙන" කියලා. අන්තිමට මේ දෙමාපිය සංගමය තීරණය කළා සිසුන් සටන් අත හැරලා නැවත දේශනවලට යායුතුයි කියලා. මම හිතන්නේ ඒ වෙනුවෙන් ලොකුම බලපෑම කළේ ඩිලාන්ගේ අම්මා. අන්තිමට ඩිලාන් කිව්වේ "මම කියපු දේවල් උඹලා ඇහුවා නම් මෙහෙම වෙන්නේ නැහැ" කියලා.
දයා පතිරණ සම්බන්ධයෙන් ඔබ නොලියූ (සමහරවිට නොදන්නා) කාරණය ඔහු වයසින් සමකාලීන ශිෂ්‍යයින්ට වඩා අවුරුදු ගණනක් (මතක හැටියට අවුරුදු අටක් පමණ) වැඩි කෙනෙක් බවයි. කොටින්ම ඝාතනය වෙද්දී ඔහු විශ්වවිද්‍යාලයෙන් (විභාග සමත් නොවීම නිසා) නෙරපා වසර හය හතක්. ඒ වසර ගණනම ඔහු ක්‍රියාකාරී දේශපාලනයේ නියැළුණා.
ReplyDeleteදයා පතිරණ මිය ගියායින් පසුව දිවයින ඉරිදා සංග්‍රහයට ලිපියක් ලියු (මාධ්‍යවේදී හා ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩා නිවේදක) පාලිත පෙරේරා කිව්වේ දයා පතිරණ තමන්ගේ පන්ති සගයකු බවයි.
නිකන් අතේ පැලවෙන බොරු කියන්න එපා ඇනෝ (Anonymous23 December 2015 at 20:00), පාලිත ඉපදිලා තියෙන්නෙ 1942, දයා පතිරණ පන්ති සගයෙක් නම්, දයා පතිරණත් ඉපදෙන්නෙ ඕනෙ 1942. එතකොට මිය යනකොට (1986) අවුරුදු 44ක් වෙනවා?? ඒ කාලෙ විශ්ව විද්‍යාලෙ ගියෙ අවුරුදු 19-20න් නම්, දයා පතිරණ ෆේල් වෙවී 1962 ඉඳන් 1986 වෙනකම්, ඒ කියන්නෙ අවුරුදු 24ක් තිස්සෙ විශ්ව විද්‍යාලෙ ඉන්නවා ?? මට නම් උඹගෙ ගොන් කතාවලට හිනා යන්නෙ අධෝ මුඛයෙන්.
Deleteදයා පතිරණ වැඩිහිටි ශිෂ්‍යයෙකු නොවෙයි. මා ඔහුව දින කිහිපයක්ම දැක, කතාබස් කර තියෙනවා.
Deleteපාලිත පෙරේරා ගේ පුවත්පත් සාකච්ඡාව මාත් දැක්කා. ඔහු කියා හිටියේ දයා පතිරණ මාතර රාහුල වැනි පාසලක දක්‍ෂ පා දග පන්දු යවන්නෙකුව සිටි බවයි. මට මතක හැටියට පාලිත ආදී සිසුවෙකු ලෙස බිග්-මැච් එකක් නරඹන විට ඒ බව නිරීක්‍ෂණය කර තියෙනවා!
ආදි සිසුවෙකු ලෙස නොව ක්‍රිකට් විස්තර ප්‍රකාභකයෙකු ලෙස විය යුතුයි.
Deleteබොහොම අගනා විස්තරයක් . ඉතුරු ටිකත් බලලම ඉමු... සුභපැතුම්...වැරදි හොයනවා නෙවෙයි 2004 1984 වියයුතුයි නේද??// ඉන් වසර දෙකහමාරකට උඩ 2004 ජූනි මාසයේ දී// ...
ReplyDeleteවැරැද්දක් දැක්කහම පෙන්නන එකේ කිසි අවුලක් නෑ, 1984 වෙන්න ඕනේ තමයි.
Deleteවැරැද්දක් පෙන්වීමට නොව විරුද්ධ අදහසක් ප්‍රාකශ කිරීමට හෝ අවසර ගත යුතු හෝ අපොලොජටික් විය යුතු නෑ.
Deleteඑය නිවැරදි කළා. ස්තුතියි. රාවයත් ඒ වරද දැක නෑ!
අපොලොස්ජටික... මරු වචනෙ... අපොලොස්ජටික වෙන්න මම වරදක් කරලයැ... මේ පොලයිටික ක්‍ර්‍රමයට කියන විදිහ... මමත් බැලුව ලොකු කරල.. රාවය දැකලත් නෑ තමයි..
Deleteසජ්ජා, උඩින් ඇති ඡායාරූපය ලොකු කර බලන්නේ ඇයි?
Deleteරාවය ලිපියම ලින්ක් කර තිබේ.
ෆේස් කට් එකෙන් වගේම කෙරුවාවෙනුත් මූ රාජිතගෙ පුතා චතුර සේනාරත්න වගේ කියල හිතෙන්නෙ මට විතරද? මූ හිතන් ඉන්නෙ මූ හෙන ෆයිටර් කියලා. 1985 උ/පෙ එකෙක්ගෙන් ඇහුවනම් කියයි මුගෙ ෆයිටින් ගෑන. කොල්ලෙක් එක්ක ගහගත්තොත් මූව කඩයි බෝන්චි කඩනවා වගේ. මට හොදටම සුවර් ඇත්ත ලෝකෙදි මූ පට්ටම බය නෝන්ජල් ඩයල් එකක්
ReplyDeleteමාරයි!
Deleteමූණ බලා සාස්තර කීම!
යකඩෝ, මම මේක කියෙව්වා...
ReplyDeleteකියෙව්වා කියලා කියන්ට විදියක් නෑ විද්‍යුත් තැපැල් ලිපිනය නැති නිසා...
තනියෙන් හිතා ගත්තා ඊළඟ පෝස්ට්ටුවට අදහසක් විදිහට දානවා කියලා...
මෙන්න බොලේ පෝස්ටුව ඒකම වෙලා...
රී සයිකල් බඩු!
Deleteමම ඔබේ ලිපිය කියෙව්වා - අපි මොන්ටිසෝරි යන අවදියේ සිදුවූ මේ ඝාතනය ගැන මට මුල් වරට දැනගැනීමට ලැබුනේ සී ඒ චන්ද්‍රප්‍රේම ලියූ ජවිපෙ කැරැල්ල ගැන පොතෙන් - චන්ද්‍රප්‍රේමත් ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නිසා දයා පතිරණ ගැන සානුකම්පිතව ලියල තිබුනේ - මට මතකයි ගෙවිදු කුමාරතුංග මෑතකදී කියනවා ස්වාධීණ ශීෂ්‍ය සංගමය දෙමළ බෙදුම්වාදයට උඩගෙඩි දුන් බව - කෙසේ වුවත් තමන් දරන ලිබරල් දේශපාලන මතවාදය වෙනුවෙන් අවසානය දක්වාම පෙනි සිටීම අගය කළ යුත්තක්
ReplyDeleteදයා පතිරණ ගැන, සන්නස්ගල, ලක්තිලක, නිර්මාල් දේවසිරි වැනි අය එකතු වී පොතක් ම ලියා තියෙනවා. එය පළ කර ඇත්තේ සන්නස්ගල ගේ ප්‍රකාශන සමාගමෙනුයි.
Deleteඔව්, ස්වාධීන ශිෂ්‍ය සංගමය දෙමල ජනතාව ගේ ස්වයං නීර්ණය පිළිබඳ අයිතිය වෙනුවෙන් මතවාදීව පෙනී සිටියා. ඊට එපිටින් ගොස් ඒ වෙනුවෙන් සටන් කරන්නට ගිය වෙනත් දේශපාලන අදහස් දැරූ සිසුන් ද හිටියා, අඩු වශයෙන් එක් අයෙකු හෝ.
Deleteමගේ මතකයේ හැටියට මතවාදී මෙන්ම සන්නද්ධ පුහුණුවත් ගත්තා ස්වාධින ශිෂ්‍ය සංගමෙන් ඒ කාලේ. 88 -89 ඛෙදවාචකයක්. මිනිස්සු කරන්න ඕන වැඩේ පක්ෂය කරන්න ගිහින් කෙලෝ ගත්තා
Deleteමගේ මතකයේ හැටියට දයා පතිරණ ඒ කාලේ දයාන් ජයතිලක සමග සහයෝගිතාවයකින් වැඩ කළා. දයාන් ඒ කාලෙ අද වගේ කඩේ යන පොරක් නෙවෙයි. මෑන්ගෙ දේශපාලන දැනුම මත කරපු කතා වලින් ශිෂ්‍යයන් අතර ලොකු ආකර්ෂණයක් ඇති කරගෙන තිබුනා. දයා පතිරණත් බොහෝ විට ඒ ආකර්ෂණයට ඇදුනු කෙනෙක් වෙන්න පුළුවනි. ඔවුන් දෙදෙනාගේම තිබුනු පොදු ලක්ෂණය වුනේ ජවිපෙ විරෝධය. ජවිපෙ විරෝධය කියනවටත් වඩා ඒ කාලේ ජවිපෙ ගෙන ගිය සිංහල ජාතිකවාදී ගතියට විරුද්ධව දෙමළ ජාතියේ ස්වයං නිර්ණ අයිතිය පිළිගනිමින් සිටීම තමයි කැපිල පෙනුනෙ. මේ හේතුව නිසාම දයාන් සහ දයා පතිරණ සී අයි ඒ කාරයන්ය කියල මතයක් ජවිපෙ විසින් පතුරුවමින් හිටියා.
ReplyDeleteදයාන් ජයතිලක කියන්නේ තමන්ගේ තාත්තා වගේම ලිබරල්වාදියෙක් - ඔහු නිකරගුවාවේ සොමෝසා පාලනය සැන්ඩිනිස්ටාවරුන් පෙරළා දැමීම ගැන දැඩි ආශ්වාදයකට පත්වෙලා ලංකාවෙත් පීඩිත පංතියේ දෙමළ හා සිංහල සටන්කාමීන් අතර සන්ධානයකින් රාජ්‍ය පෙරළා දැමීම ගැන සිහින මැව්වා - ඔහු මේ සදහා විකල්ප කණ්ඩායම නම් සංවිධානයකුත් හැදුවා - අවසානයේ ඉන්දියාවට පැනයන ඔහුට ආපසු ලංකාවට එන්න ලැබෙන්නේ තම පියා හා ජේ ආර් අතර සබදතාව නිසා බව මම අසා තිබෙනවා
Deleteදයා සහ දයාන් අතර සම්බන්ධකම් තිබුනා. එහෙත් ඒ බව ප්‍රසිද්ධියේ පිළිගන්නට මැළි වුනා. (අපි දයාගෙන් මේ ගැන කෙලින්ම අහලා තිබුනා ) වරක් සාමයික කේන්ද්‍රයේ දයා සහ දයාන් හමුවක් තිබෙන බව ආරංචි වී මාත්, නීති පීඨයේ මිතුරෙකු වූ කෝලිතත්, නීති විද්‍යාලයේ අජිතුත් එතැනට කඩා වැදුනා. අප දුටුවාම දයාගේ මුහුණ වෙනස් වූ ආකාරය තවම මතකයි.
Deleteමේ ඝාතන ප්‍රවර්ධනය කරන ලද සියළු සිසු කණ්ඩායම් සාමාජිකයන් තුල අනන්‍යතා අර්බුධ , ග්‍රාමීය පසුගාමීත්වය , ප්‍රචණ්ඩත්වය ගැටළු නිරාකරණය සඳහා එකම මධ්‍ය බව ඇති විශ්වාසය, හීනවූ සහකම්පනීය අවබෝධ්‍ය සහ බොහෝ විට පෞරුෂ අක්‍රමතා හඳුනා ගත හැකියි. මෙම පුද්ගලයන් පිළිබඳව මනෝ විද්‍යාත්මක වශයෙන් අධ්‍යනය කිරීමක් අවශ්‍යයි. මෙම සිසු කණ්ඩායම් සාමාජිකයන් බොහෝ දෙනෙකු ජීවිතය වින්දනය කිරීම වෙනුවට අයිඩියෝලොජි එකක් වෙනුවෙන් මිනී මැරීම හෝ මරාගෙන මැරීමට යොමු වීම ඛේදවාචකයකි. පසු කාලීනව සත්‍ය වටහාගත් පැරණි සාමාජිකයෝ මෙරට හා පිටරට වල ජීවත් වෙමින් ජීවිතය වින්දනය කරති. ඔවුන් තම දරුවන් තරුණ කාලයේ තමන් ගිය මුග්ධ මාර්ගයේ නොයැවීම් 100 % දකින්නට හැකි සාධකයකි.
ReplyDeleteමෙවැනි ප්‍රචණ්ඩත්වයට යොමුවූ ශිෂ්‍ය ක්‍රියාකාරීන් උත්කර්ශයට පත් කිරීම වෙනුවට එහි ඇති හිස් බව , ඛේදවාචක බව සහ මුග්ධ බව පෙන්වා දීම මගින් අනාගතයේ බිලි බෝයිස් ලා බිහි වීම වලක්වා ගත හැකියි. අද දිනයේ මේ මිය ගිය සිසුන් ගැන වේදනාව තිබෙන්නේ ඔවුන් ගේ පවුලේ උදවියට පමණි. එදා මේ සිසුන් ෆෝම් කරන ලද කිසිවෙකු අද ඒ අසරණ වූ පවුල් දෙස නොබලති.මිය ගිය දයා පතිරණ ගැන හෝ රාගම සෝමේ ගැන දුක් වන්නේ කවුද ? ඔවුන් ගේ පවුලේ සාමාජිකයන් මිස වෙන කවරෙක් ද ? නිසි අධ්‍යාපනයක් ලබා එලදායී පුරවැසියෙකු වී සමාජයට සේවය කිරීම වෙනුවට ඔවුන් දුඛදායක ලෙස අකාලයේ මහා මාර්ග වල මිය ගියහ.
රාජ්‍යය ස්වභාවයෙන්ම කෘරය. විශාල රාජ්‍ය මර්ධනයට එදිරිව සටන් කල යුත්තේ මාටින් ලූතර් කිං ක්‍රමයට මිස ගල්කටස් සහ පිහි මගින් නොවේ. එවිට දරුණු රාජ්‍ය තන්ත්‍රය මහා භීෂනයක් මුදා හරියි.. එය 71 , 88 හා 2009 දී ලංකා වැසියන් දුටුවෝය.
//පසු කාලීනව සත්‍ය වටහාගත් පැරණි සාමාජිකයෝ මෙරට හා පිටරට වල ජීවත් වෙමින් ජීවිතය වින්දනය කරති.// doctor විහිළු කරනවද ? :D ජීවත් නම් වෙනවා ඇති වින්දනය කරනවද දන්නේ නෑ... ;) පිටරට ගිය කීප දෙනෙක් ස්මහර විට වින්දනය කරනවා ඇති...මෙහෙ ඉන්න අය නම් සිස්ටම් එකේම ජරාජීරන වෙලා ගේමක් ගහන් ඇති... නරුමවාදීව වේදනාවම වින්දනයකරමින් සතුටු වෙමින්.
Delete//රාජ්‍යය ස්වභාවයෙන්ම කෘරය. විශාල රාජ්‍ය මර්ධනයට එදිරිව සටන් කල යුත්තේ මාටින් ලූතර් කිං ක්‍රමයට මිස ගල්කටස් සහ පිහි මගින් නොවේ. එවිට දරුණු රාජ්‍ය තන්ත්‍රය මහා භීෂනයක් මුදා හරියි.// :D doctor මම හිතනවා මීට වඩා තමන්ගේ official විෂයට පරිබහිරව අදහස් දක්වන විට ඒ පිලිබදව මීට වඩා අධ්‍යනය කරන්න.පිහි කෑලි වලිනුයි ගල් කටස් වලිනුයි විතරක් බෑ නම් තමයි..හැබැයි මාටින් ලූතර් කිO Jr විදිය විතරක් නෙවෙයි..තව විදි තියෙනවා...ලෝක ඉතිහාසය දිහා බලන්න!!!...ඒ වගේම අවසන් විග්‍රහයකදි මාටින් ලූතර් කිO ගේ ව්‍යාපරය කොපමන දුරට සාර්ථකද කියන එක වෙනම විග්‍රහ කරන්න ඕනේ කරුනක්..ඒ වගේම එම ව්‍යාපාරය කොපමන දුරට දේශපාලනිකද කියන එක
//මෙම සිසු කණ්ඩායම් සාමාජිකයන් බොහෝ දෙනෙකු ජීවිතය වින්දනය කිරීම වෙනුවට අයිඩියෝලොජි එකක් වෙනුවෙන් මිනී මැරීම හෝ මරාගෙන මැරීමට යොමු වීම ඛේදවාචකයකි.// මට කියන්න තියෙන්නේ ඔබට මනෝ විද්‍යාව පිලිඹදව දැනුම අල්පයි ඒ වගේම දර්ශනය පිලිඹදව..හදාරන්න හදාරන්න....
//මෙවැනි ප්‍රචණ්ඩත්වයට යොමුවූ ශිෂ්‍ය ක්‍රියාකාරීන් උත්කර්ශයට පත් කිරීම වෙනුවට එහි ඇති හිස් බව , ඛේදවාචක බව සහ මුග්ධ බව පෙන්වා දීම මගින්// මම හිතන්නේ නෑ රසික මහතා මෙහි කිසි විටෙකත් කවුරුත්ම උත්කර්ශයට නගලා කියලා ඔහු තම අත්දැකීම සහ එම යුගය විවරනය කිරීමකුයි කරලා තියෙන්නේ
//මේ ඝාතන ප්‍රවර්ධනය කරන ලද සියළු සිසු කණ්ඩායම් සාමාජිකයන් තුල අනන්‍යතා අර්බුධ , ග්‍රාමීය පසුගාමීත්වය , ප්‍රචණ්ඩත්වය ගැටළු නිරාකරණය සඳහා එකම මධ්‍ය බව ඇති විශ්වාසය, හීනවූ සහකම්පනීය අවබෝධ්‍ය සහ බොහෝ විට පෞරුෂ අක්‍රමතා හඳුනා ගත හැකියි.// මෙකට එකගයි හැබැයි එකේන් කියන්න නෑ ඔවුන් ආමන්ත්‍රනය කරන ලද ඒ යුගයේ ප්‍රශ්න සහ ඔවුන් ගෙන ගිය අරගල නිකන් joke එකක් කියල!!! ඔවුන්ගේ අරගල විදි ක්‍රම වල,සOවිධානාත්මක බාවයන්ගේ බරපතල අඩු පාඩු තිබිය හැක.හැබයි අද ලOකාවේ බැලුවොත් අනන්‍යතා අර්බුධ නැති කෙනෙක් හොයාගන්න එක තමා real challenge එක.සමහර විට ඔබ පවා...
Deleteමේ ලිපිය මට මිස් වෙලා. හොන්ඩ අලිපියක්.
ReplyDeletehttp://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/2315-2016-01-08-21-23-06
ReplyDeleteහොඳ ලිපියක් කියල ලිව්වේ. වැරදියට ටයිප් වුනේ.
Can you tell me where the full article is. I want to read it.
ReplyDeleteදෙවන කොටස:
Deleteකොළඹ විශ්ව විද්‍යාලයේ පැවති නයි-මුගටි සටනක්! - JVP vs Independent Students
http://rasikalogy.blogspot.com/2015/12/jvp-vs-independent-students.html
තුන්වෙනි කොටස:
ජවිපෙට අජීර්ණය හැදෙන කවියක් - What an irony!
http://rasikalogy.blogspot.com/2015/12/what-irony.html
සිව්වන කොටස:
දයා පතිරණට එරෙහි ජවිපෙ කුමන්ත්‍රණය - Beginning of JVP bloody politics : Stage 2
http://rasikalogy.blogspot.com/2015/12/beginning-of-jvp-bloody-politics-stage-2.html
පස්වන කොටස:
ජවිපෙ ජාතිවාදය සහ සටන් පාඨ - IUSF expels Daya Pathirana
http://rasikalogy.blogspot.com/2015/12/blog-post_27.html
අවසාන කොටස
දයා පතිරණ අවසානය ද, ආරම්භය ද? - Daya Pathirana, the end...!
https://rasikalogy.blogspot.com/2015/12/daya-pathirana-end.html