Saturday 23 April 2016

තුනේ පන්තියේ චිත්‍ර පාඩම - Third class art?


පෙර සටහනක මා ලියූ පරිදි, අප කුඩා කාලයේ තුනේ පන්තියේ සිට පහේ පන්තිය දක්වා පාසල් විෂයය නිර්දේශයේ චිත්‍ර කර්මය නමින් විෂයයක් තිබුණි. ඊට පෙර මා පාසල් ගිය වසර දෙකේදී, එනම්, පළමුවෙනි ශ්‍රේණියේ දී සහ දෙවෙනි ශ්‍රේණියේ දී ද, අප පාසලේ දී චිත්‍ර ඇඳිමුත්, ඒවා ගල්ලෑල්ලේ ගල්කුරෙන් ඇඳුණු, අද දැනුමෙන් කියනවානම්, කළු-සුදු වර්ගයේ රේඛා චිත්‍ර පමණක් විය.

තුනේ පන්තියේ දී, ගල්කූර සහ ගල්ලෑල්ලෙන් අප පැන්සලට සහ ඇක්සයිස් පොතට මාරු වීමත් සමග, චිත්‍ර කර්මය යනු වෙනම ම විෂයයක් වී, ඒ සඳහා අවශ්‍ය ආම්පන්න ලෙස, පාට පැන්සල්, පැස්ටල් කූරු, දිය සායම්, පින්සල් සහ චිත්‍ර පොත් යනාදිය ද වාර්ෂික පොත් ලයිස්තුවට ඇතුළත් විය.

චිත්‍ර කර්මය අපට අනිවාර්ය විෂයයක් විය. එනම්, මේ වෙනුවට වෙනත් විකල්පක් නොතිබුණි.

ඇත්තටම ඔය විකල්ප යන සංකල්පය කුඩා දරුවන් සඳහා එදත්, අදත් අදාළ වෙන්නක් නොවේ. කියන දෙයක් කළ යුතු විය. ඇසෙන දෙයක් අසා සිටිය යුතු විය. උගන්වන දෙයක් ඉගෙන ගත යුතු විය.

ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා!

චිත්‍ර කර්මය යනු, කරුමයක්ම නොවුණත්, මා එතරම් ප්‍රිය කළ විෂයයක් නම් නොවුණි. එයට එක් හේතුවක් වූයේ එකල පාසල්වල ඉංග්ලිෂ් විෂයය හැර අන් සියලුම විෂයයන් ඉගැන්වූ පන්ති භාර ගුරුවරියන්ට වාර පරීක්‍ෂණයන් හි දී, චිත්‍ර කර්මය විෂයය සඳහා තමන්ට අවැසි අවැසි පරිදි ලකුණු දිමට හැකි වීම සහ ඒ ලකුණු අපට ඒ ලැබෙන ආකාරයටම බාර ගැනීම හැර වෙනත් කළ හැකි කිසිවක් නොවීමත් ය.

අනෙක් විෂයයන්ට අදාළව තත්වය මෙය නොවූ බව අමුතුවෙන් කිව යුතු නැත. උදාහරණක් ලෙස, ගණිතය සඳහා අපට ලැබෙන ප්‍රශ්න දහයට නිවැරදි පිළිතුරු දුන් විට මුලු ලකුණු ප්‍රමාණය ම ලැබිය යුතුය. බුද්ධාගම සඳහා අපට මිහිඳු හිමි සමග ලංකාවට ආ අනෙක් පිරිස කවුදැයි නම් කරන්න කියා ප්‍රශ්නයක් ලැබුණු කළ, ඉත්තියඋත්තියසම්බලබද්දසාලසුමනසාමනේරයන්වහන්සේසහපණ්ඩුකනම්බෑණා යැයි කට පාඩමෙන් (අවැසි පරිදි පද වෙන් කර කොමා ලකුණු යොදා) ලියූ කළ මුලු ලකුණු ප්‍රමාණයම ලැබිය යුතුය.

නමුත්, මා අඳින චිත්‍රයකට හේමාවතී ටීචර් දෙන්නේ ලකුණු හැට පහක් නම්, එය හැටක් හෝ හැත්තෑවක් නොවී හරියටම හැට පහක් ම වූයේ කෙසේ දැයි දන්නේ ඇය ම පමණි!

මේ ගුරුවරියන් චිත්‍ර ශිල්පය දන්නා අය යැයි මම නොසිතමි. ඔවුන් කළ එකම කාර්යය වූයේ, ආ ළමයි, අද මෙන්න මේක අඳින්න කියා කළුලෑල්ලේ යම් මාතෘකාවක් සඳහන් කිරීමයි.

මෙසේ අපට චිත්‍ර අඳින්නට ලැබුණු මාතෘකා අතර, චීත්ත මොස්තරය, වැසි දිනයක දර්ශනයක්, හිරු බැස යාම, හිරු නැග ඒම, පෙරහැරක්, පෝය දා පන්සලේ දර්ශනයක් වැනි දේ විය.

අප කළ යුතු වූයේ, අප දන්නා පරිදි ඒ මාතෘකාවට අදාළ යැයි අපට සිතෙන දේ අපේ චිත්‍ර පොතේ ඇඳීමයි.

චිත්‍ර පිළිබඳව හෝ චිත්‍ර අඳින්නට ඉගැන්වීම පිළිබඳව හෝ දැනුමක් නොමැති අයෙකුට වුවද, චිත්‍රයක් දෙස බලා යම් ආකාරයකට අගැයීමක් කළ හැකිය. සතිපතා අප අතින් ඇඳුණු චිත්‍රවලට සහ වාර විභාගවල දී අප කළ නිර්මාණවලට ලකුණු ලැබෙන්නට ඇත්තේ ඒ ආකාරයට විය යුතු යැයි මට සිතේ.

තුන්වෙනි ශ්‍රේණියේ දී හේමාවතී ටිචර්ගෙන් හෝ හතරවෙනි ශ්‍රේණියේ දී මැ.පෙ. රූපසිංහ ටීචර්ගෙන් හෝ පමණක් නොව පස්වෙනි ශ්‍රේණියේ දී බමුණුසිංහ ටිචර්ගෙන් හෝ මා චිත්‍ර සඳහා ලද ලකුණු පිළිබඳව සෑහීමකට පත් නොවූ බව කිව හැක. කෙසේ නමුත්, පස්වෙනි ශ්‍රේණියේ දී අපට වඩා වැදගත් වූයේ, චිත්‍ර කර්මය වැනි විෂයයන් නොව, ගණිතය, සිංහල සහ බුද්ධි පරීක්‍ෂණය යන විෂයයන් ත්‍රිත්වයයි. ඒ ඊළඟ වසරේ සිට ද්වීතීයික අධ්‍යාපනය හැදැරීමට වෙනත් පාසලකට යාම සඳහා සුදුසුකම් ලබා ගැනීමේ විභාගය සඳහාය.

පස් වසරක් උගත් අල්ලපු ගමේ පාසල වූ කොස්සින්න ශ්‍රී ශීලානන්දයට සමු දී, හයේ පන්තියේ සිට ඉගෙනීම සඳහා මා අපේ මහ ගෙදරට කිලෝ මීටර් හතරක් පමණ දුරින් පිහිටි ගලහිටියාව මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වූ පසු, චිත්‍ර කර්මය විෂයයට විකල්ප ලෙස නැටුම් හෝ සංගීතය හෝ හදාරන්නට අපට වරම් ලැබුණු අතර, මම දෙවරක් නොසිතා ම එයින් එක් විකල්පයක් කරා යොමු වුණෙමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
බ්ලොග් හේමන්තයේ ආරම්භය සනිටුහන් කිරීම පිණිස මා ලියූ සටහන ඇරඹුවේ පාසලේ චිත්‍ර පාඩම් පිළිබඳව කළ සටහනකින් නිසා, ඒ තේමාව ඉදිරියට ගෙන යාම පිණිස මේ කෙටි සටහන ලිව්වෙමි.

මේ ආකාරයේ තවත් කතා දෙක තුනක් ම ඇත!

(image: https://sites.psu.edu/badar/about-me-page/)

15 comments:

  1. හරි සුන්දර අත්දීම් ගැන රසිකඅයියා හරි ලස්සනට අකුරු කරනවා........... අගෙයි

    ReplyDelete
  2. බොහොම රසවත් දිගටම ලියාගන යන්න

    ReplyDelete
  3. ඉස්කෝලේ යන කාලේ ලොකුම වාතේ තමයි චිත්‍ර පොත සූට්කේස් එකට දාගන්න එක. නවන්නත් බැහැ. දිග ඇරලා දාන්නත් බැහැ. ඒ මොනවා වුනත් හයේ පන්තියේ ඉඳන් කරේ නැටුම්. ඒ නැටුම් තමයි තාමත් නටන්නේ. අපිට නැටුම් කරේ සොමිපාල හෙට්ටිආරච්චි කියලා සර් කෙනෙක්. බෙර තද කරන පොල්ලෙන් තමයි දමලා අරින්නේ.

    ReplyDelete
    Replies
    1. මට මතක චිත්‍ර කරපු වීරසිංහ ටීචර්ගේ නම් විතරයි... ඒත් එයාගේ සැක්සි සාරි ඇඳිල්ලයි බුරියයි නිසා...

      Delete
  4. මාත් චිත්‍ර ඇදල තියනව...මේ වෙනකන් කවුරුත් ලස්සනයි කියල නෑ....හැක් හැක්....

    ReplyDelete
  5. මං ආසම පාඩම..
    චිත්‍ර..

    ReplyDelete
  6. හේමාවතී ටිචර් එදා කල දේ ගැන විවේචන තියෙනවා. හැබැයි මූලික මාතෘකාව අදටත් වැලිඩ්. මේ කතාවේ සමහර සිද්ධි දැන් නැවතත් සිද්ධ වෙනවා.

    කෙසේ වෙතත් මේ කතාව ඒ යුගයේ ජීවත් වූ බොහෝ දෙනෙකුට නොස්ටල්ජික මතකයක් බව නිසැකයි.

    ReplyDelete
  7. මොනා උනත් ටීචර්ලගේ නම් ටික මතක තියෙන එකම මදෑ...

    ReplyDelete
  8. අපිත් කලේ චිත්‍ර තමයි. උගන්නන්න හිටියෙත් මෙලෝ හරයක් නැති ටීචර්ල දෙන්නෙක්. අපි කලේ අල්ලපු පන්තියෙ තිබ්බ නැටුං ක්ලාස් එකේ උංට නටන්න දෙන්නැතුව කචල් කරපු එක තමයි.

    ReplyDelete
  9. හරි සරලයි වගේ පෙනුනට, වැදගත් කථාවක්නෙ රසිකලොජි කියන්නෙ. මම චිත්‍ර අඳින බැරුවයි හිටියෙ ගිය අවුරුද්දෙ මැයි මාසෙ වෙනකං, මනුත් දැන් චුට්ටක් විතර පුළුවන් කියල හිතනව. චිත්‍ර කියන විෂයෙන් ළමයෙකුට උගන්වන්න පුළුවන් දේ බොහොමයි. ඒවයි වැඩි හරියක් මම ඉගන ගත්තෙ මම මෑත කාලීනව අඳින්න පටන් ගත්තු එක නිසයි. ඒ මොනාද කියල මම මෙතන කියන්න හදන්නෙ නැහැ. කොහොමනමුත්, එදත්, අදත්, හෙටත් පුංචි පන්තිවල ගුරුවරුන් හරියට චිත්‍ර ගෙන ළමයින්ට කියල දෙනවනම්, මනා පෞරුෂයකින් හෙබි, තීක්ෂ බුද්ධියෙන් යුත්, කලාකරුවෙන් නිතැතින්ම බිහි කරාවි.

    පුංචිකාලෙ අපි වැඩිපුරම අඳින්නෙ ඉර පායන දසුනනේ. ඔන්න ඒකාලෙ මතක් කරගෙන මම අද ඇන්ඳා ටිකක් වෙනස් අයුරක චිත්‍රයක්. මේ චිත්‍රෙ මම ඇන්ඳෙ, මම ලියපු කවි පෙළක් අර්ථ ගන්වන්න. මේ චිත්‍රෙ ලස්සන කරන්නනම් මම වැඩි උනන්දුවක් කරේ නෑ. වෙලාව තියෙන හැතියට ගිහින් බන්න්නකෝ මම මේ කවියෙන් කියන දේ ගැන.

    මගේ චිත්‍රෙ බලන්නයි, මකවි කියවන්නයි මෙතනින් යන්න පුළුවන්

    ReplyDelete
  10. තුන වසරෙදි වාර විබාගෙදි ඔය වගේ දුන්න මාතෘකා දෙක තුන අතරෙ මගේ හිතට හරියන එකක්වත් තිබ්බෙ නැති හින්ද මං මට හිතිච්ච හැටියට වෙන මොකක් හරි චිත්‍රයක් ඇන්ද... ටීචට පිස්සු හැදෙන්න ඇති... හි හි

    ReplyDelete
  11. චිත්‍රවලට ලොකු හැකියාවක් නොතිබ්බත් පොඩි කාලේ ඉඳලාම මමත් චිත්‍ර වලට ගොඩක් ආස කරනවා..

    ඔය චිත්‍ර වලට ලකුණු දෙන විදිහ නම් මටත් ඒ කාලේ හරි ප්‍රශ්ණයක්...

    ReplyDelete
  12. පොඩිකාලෙ ඇන්ද චිත්‍ර වලට නම් සහතික පදක්කම් හම්බුනා.. ලොකු වෙනකොට ඒ හැකියාව නැත්තටම නැති උනාද කොහෙදෝ..
    හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
  13. ස්කෙච් කරන්න පුලුවන් වුනත් පාට කිරීම හරියට බෑ.
    විශ්‍රාම ගියහම පුලුවන්නම් පේන්ටින් ක්ලාස් එකකට යනවා.
    රසිකල ඉන්න රටේ නම් ( ඇත්තෙන්ම ඔස්ට්‍රේලියාවෙ අඩුයි යුරෝපයට වඩා නේද? )නාකි වෙලාත් ඉගන ගන්න අය හුඟක් ඉන්නව ඇති. මෙහෙ අඩුයි

    ReplyDelete
  14. 5 වසරෙන් පස්සේ සෞන්දර්ය කියන විෂය යටතේ චිත්‍ර කලාව කළා - මිනිස් රූප අඳින්න පුලුවන් අනිත් හැමදේම අවුල් නිසා ලකුණු ආවේ අඩුවෙන් - පසුව 9 වසරේදි සෞන්දර්ය සඳහා ඉංගිලිසි සාහිත්‍ය තෝරගත්තා - එදා සිට සාමාන්‍ය පෙළ අවසන් වන තෙක්ම පංති 4 න්ම වැඩිම ලකුණු මටයි -චිත්‍ර කළා නම් ඒ වැඩේ වෙන්නෙ නෑ

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.