Tuesday, 24 May 2016

"සරල ද සරළ ද?" අජිත් පැරකුම් ජයසිංහ වෙත නිර්නාමිකයෙකු එවූ අනගි පිළිතුර හෙවත් කැකුණ රජ බොදුන් - Wow....!


පසුබිම් කතාව මෙසේ ය.

"ශාස්තෲ" නමින් දේශපාලන පසුබිමකින් යුතු නවකතාවක් ද රචනා කර ඇති W3Lanka බ්ලොග් අඩවියේ හිමිකරු ලේඛක අජිත් පැරකුම් ජයසිංහ විසින් පසුගිය දා ලියා පළ කරන ලද "ලංකාවේ ආගමික ශාස්තෘවරුන්ගේ යාවත්කාලීන කළ ලේඛනය" නම් ලේඛනයට අදාළව ඔහු හා නිර්නාමික පාඨකයෙකු අතර මහා විවාදයක් ඇති වී තිබේ.

මේ විවාදයේ එක් අතුරු මාතෘකාවක් වී ඇත්තේ Simple, Plain යන අරුත් දෙන සිංහල වදනේ නිවැරදි අක්‍ෂර වින්‍යාසය "සරල" ද, "සරළ" ද යන්නයි.

ලේඛක අජිත් පැරකුම් ජයසිංහ විසින් එය "සරළ" ලෙස ලියා තිබුණු අතර නිර්නාමික පාඨකයා විසින් නිවැරදි අක්‍ෂර වින්‍යාසය සරල විය යුතු බව පැවසූ පසු එයට පිළිතුරු ලෙස ලේඛක අජිත් පැරකුම් ජයසිංහ කියා සිටියේ ඒ දෙආකාරය ම නිවරද බවයි.

මේ පිළිබඳව නිර්නාමික පාඨකයා අද උදෑසන එවා තිබෙන අනර්ඝ විස්තරයකින් යුතු පිළිතුර කියවූ වහාම එය රසිකොලොජියේ ද පළ කිරීමට මට සිත් විය.

එයට එක් හේතුවක් නම්, පළ වී දින කිහිපයක් ම ගතවී ඇති උක්ත ලංකාවේ ආගමික ශාස්තෘවරුන්ගේ යාවත්කාලීන කළ ලේඛනය නම් ලිපියේ ප්‍රතිචාර සඳහා ලියාපදිංචි වී ඇති අයට අමතරව එකි නිර්නාමික පාඨකයා ගේ විශ්ලේෂණය තවත් පිරිසක ගේ අවධානයට යොමු කිරීමයි.

අනෙක් හේතුව නම්, වරක් නිර්නාමික පාඨක ප්‍රතිචාරයක් නැවත පළ කිරීමෙන් පසු ලේඛක අජිත් පැරකුම් ජයසිංහ විසින් තමන් නැවත එවැනි ක්‍රියාවක් නොකරන බවට කර තිබූ ප්‍රකාශයයි.

නිර්නාමික පාඨකයා ගේ සරල ද, සරළ ද නිවැරදි යන්න පිළිබඳ විශ්ලේෂණය පහත පළ වේ. සරල-සරළ විවාදයට කෙළින් ම අදාළ නොවෙන ස්ථාන කිහිපයක් සුදු හුණු ගා වසා ඇත. ඒ කොටස් කියවීමට කැමැත්තෝ හයිලයිට් කර කියවත්වා!

ඩබ්ලිව් තුන ලංකාහි සංවාද නො වන්නට සිතා සිටිය ද, ඔබ විසින් විමසා ඇති කරුණ පිළිබඳ විග්‍රහ නො කර සිටීමට අපගේ ශාස්ත්‍රකාමය විසින් අනුබල නො දෙනු ලබ යි. පැරකුම් විමසන වදන “සරල” විය යුතු බවත් එය “සරළ” නො විය යුතු බවත් අප පවසන්නේ සහේතුක ව ය.

භාෂාවක නීති, රීති හා සම්ප්‍රදායන් යනු දේවභාෂිතයන් නො වේ. ව්‍යාකරණ නීති යනු සද්භාෂා ව්‍යවහාරයන් දීර්ඝ කාලයක් තිස්සේ නිරීක්ෂණය කර, විමසුම් කර, අධ්‍යයනය කර එකී විෂයේ පණ්ඩිතයන් විසින් සම්මත කර ගත් නිගමනයන් ය. නීතියක්, රීතියක්, සම්ප්‍රදායක් නැත්තෝ අශිෂ්ටයෝ ය. අප විසින් අනුයනු ලැබ යුත්තේ ශිෂ්ටයන්ගේ ව්‍යවහාරය විනා අශිෂ්ටයන්ගේ ව්‍යවහාරය නො වේ. “ශිෂ්ටප්‍රයෝගාඃ සාධවඃ” යැයි සකුවෙහි නිතොර පැවසේ. අප විසින් ශිෂ්ටන්ගේ ව්‍යවහාරය ම අනුයනු ලැබ යුත්තේ කුමක් නිසා ද යන්න කුමරතුඟුවෝ තම මාහැඟි සිදත් සඟරා විවරණයෙහි ලා මෙසේ පවසති:

“අශිෂ්ටයෝ තමන් බසෙහි පිහිටා නො සිටිති. ඊයේ එක් ලෙසෙකින් කියූ දැය අද අන් ලෙසෙකින් කියත්; අද එ ලෙස කී දැය ද හෙට වෙනස් වූ ලෙසෙකින් පවසත්. ඔවුන් මසක් වහරට ගත් දෑ විමැසුව හොත්, එක් එක් දිනැ ගත්, එක් එක් ශබ්දයට එක් එක් පදයට එක් එක් වාක්‍යයට එක් එක් රීතිය බැගින් පහළ කළ යුතු සේ පෙනී යෙයි. භාෂාව කෙලසවන්නාහු අඥානයෝ යැ. ‘යම් කිසිවක් පැවැසියැ යුත්තේ ඔවුන් ගේ මන වඩන බසිනැ‘ යි කියමින් ‘සියල් සද’රුත් විදි අසේ පියෝනනට අනුරූ’ කරන්නට සැරැසෙන භාෂා පරිවර්තකයෝ ස්වකීය අඥ භාවය, නොදන්නා පාලකයන් ගෙන්, සඟවන්නට තැත් කෙරෙති.”
පැරකුම් විසින් අපගේ ආලෝවනයක් විසංයෝජනය කරමින් “ව්‍යාකරණය ගැන හොඳම වාග් විද්‍යාත්මක සංකල්පයක් සිදත් සඟරාවේ තිබේ. එහි තිබෙන වහරනු සෙරෙන් සපයා යන්නෙහි අරුත විමසා බලන්න” යැයි යෝජනා කළ විට, අප එකී කරුණ අලළා සැපයූ ආලෝචනය පැරකුම්ගේ වාරණයේ අයෝමය පාදපාවට යට වී ලෝපණය විණි. පැරකුම් තමා එවැනි ලෝපණයක් නො කළ බව පවස යි. එසේ නම් එම ආලෝචනය ඩබ්ලිව් තුන ලංකාහී අරක්ගත් බහිරවයෙකු විසින් ගිල දමන ලද්දේ ද? පැරකුම් විසින් එය කියවනු ලැබ, ඉන්පසු ලෝපණය කෙරිණි නම් එය ම ප්‍රමාණවත් ය; අවුල්වියවුල් නැත. එම අලෝචනය අපගේ ඇකමතයේ තිබිය යුතු ය. පැරකුම් එය ලෝපණය කළේ නො කියවා නම්, අපි පසු ව එය පැරකුම් වෙත එවන්නෙමු.
“සරල හා සරළ යන දෙක ම ව්‍යවහාරයේ පවතී” යැයි පැරකුම් පවස යි. එනිසා “ඒ දෙක ම නිවැරදි ය” යන සාධනයක් ද පැරකුම් අනියමින් පවස යි. එහි දී පැරකුම් පෙර පැවසූ සිදත් වැකියේ සාවද්‍ය අර්ථකථනයක් අනුයයි (එය සාවද්‍ය වන්නේ කුමක් නිසා ද යන්න ලෝපණය වූ ආලෝචනයේ සඳහන් ය).


සිංහල භාෂාවේ දන්තජ “ල” අන්ත පද සමූහයක් ද මුර්ධජ “ළ” අන්ත පද සමූහයක් ද පවතී.

හසළ, අදාළ, අග්ගළ, අඩාළ, පළ, පහළ, ඉළ, ඉහළ, එළ, ඇසළ, කසළ, කඳුළ, වෙරළ, සක්වළ, දෙමළ, රළ ඈ පද “ළ” අන්ත පද ය.

බාල, බහුල, නිසල, නිෂ්ඵල, නිර්මල, අමිල, අචල, දුබල, සකල, සසල, සිංහල ඈ පද “ල” අන්ත පද ය. මේවා බොහෝමයක් විශේෂණ පද ය. සරල යන ප්‍රස්තුත වදන ද මෙවැනි “ල” අන්ත පදයකි.

සරල යන්න සරළ යනුවෙන් වියත් වහරේ දී යොදනු අප නම් දැක නැත. “වහරනුසෙරෙන් සපයා” යනු “බහුතරය වහරන ඕනෑ ම ආකාරයක්” නො වන බව යළිදු සිහි කරනු රිසි ය.

සිංහලයේ ඇතැම් පද “ල” අන්ත වූ කල එක් අරුතක් ද “ළ” අන්ත වූ කල වෙනත් අරුතක් ද පවස යි. නිදර්ශන කීපයක් මෙසේ ය:

අපුල (අප්‍රිය අරුත් දේ)
අපුළ (ඇපිළීම ඈ ක්‍රියා අරුත් දේ)

ඇල (ඇල පිල්ල, ඇල වීම ඈ පැත්ත යන අරුත් දේ)
ඇළ (ඇළ දොළ, ඇළ වේලි ඈ දිය පහර අරුත් දේ)

අලු (එකලු ඈ ආලෝකය අරුත් දේ)
අළු (මිනී අළු ඈ භෂ්ම අරුත් ද, අළු හම්, අළු ගෝමර, අළු පුහුල් ඈ අළු වර්ණ අරුත් ද පා අළු ඈ ආධාර අරුත් ද දේ)

කල (තරුණ කල ඈ කාලය අරුත් ද මනකල ඈ ආකර්ෂණීය අරුත් ද දේ)
කළ (දිය කළය ඈ ඝටය අරුත් ද අවසන් කළ ඈ ක්‍රියා අරුත් ද දේ)

අසල (අසල රුඳි ඈ සමීප අරුත් ද අසලිඳු ඈ නො සෙලවෙන අරුත් ද දේ)
අසළ (හෙළ, පෙළ, සකු හසළ ඈ පුරුදු අරුත් ද පෙර කල අසළ ඈ ඇසුරු කළ අරුත් ද දේ)

නල (මද නල ඈ සුළඟ අරුත් ද නල මැද දැවී ඈ ගින්න අරුත් ද දේ)
නළ (ජල නළය ඈ බටය අරුත් ද නළඟන ඈ රඟන අරුත් ද දේ)

එහෙත් සරල යන්නට අනුරූප ව සරළ යන්නක් එකී ව්‍යවහාර විධි ක්‍රමය තුළ හෝ අපට හමු නො වේ. රළ යන්නට පෙර ව “ස‍” යොදා මනා රළ යන අරුතක් සරළ යන්නට නිමැවිය හැකි වුව ද වියත් වහරේ එවැන්නක් නො පවතී. එවැනි සරළ යන නව්‍ය පදයක ලිහිල් යන අරුතක් පවතින්නේ ද නැත. ඒ වූ කලී “සපැමිණි සසියලු සුවියත් සතුන් සාදරණීය ව සපිළිගනිමු” වැනි සෑම පදයකට ම පෙර “ස” කාර යොදා සුවියත් වන්නට දත කන විසුළු නිවේදකනිවේදිකා රළකගේ වහරකි.

සිංහලයේ ඇතැම් පදවල “ල” යෙදිය යුතු ද නැතහොත් “ළ” යෙදිය යුතු ද යන්න වියතුන් අතර ද එකඟතාවයක් නැති අවස්ථා පවතී. එවැනි අවස්ථා අල්ප ය. නිදර්ශන කීපයක් මෙසේ ය:

ලිහිණි හෝ ළිහිණි හෝ
ඇතුල් කිරීම හෝ ඇතුළු කිරීම හෝ
නෙලුම් යාය හෝ නෙළුම් යාය හෝ
(අජිත් ධර්මගේ යාය මෙනයින් නිවැරදි ය!)
ලිප හෝ ළිප හෝ
මාලිගාව හෝ මාළිගාව හෝ
මලුව හෝ මළුව හෝ (මිදුල අරුතින්)
තුරුල් හෝ තුරුළු හෝ
ගඩොල් හෝ ගඩොළු හෝ
කුකුල් හෝ කුකුළු හෝ
සතලිස හෝ සතළිස හෝ
(එහෙත් අතළොස්, සතළොස් ඈ වදන් නම් මුර්ධජ “ළ” සහිත ව ම ලියැ වේ)

එහෙත් සරල යන්නට අනුරූප ව සරළ යන්නක් එකී ව්‍යවහාර විධි ක්‍රමය තුළ හෝ අපට හමු නො වේ.

අපගේ සම්භාව්‍ය සාහිත්‍ය ග්‍රන්ථ විවරණ රැසක ම සරල යන්න යෙදේ. එළු අත්තනගලු වංශ විවරණ සංඥාපනයේ ද මුවදෙව් දා විවරණයේ ද කුමරතුඟුවෝ “සරල” එලෙස ම යොදති. සියබස් ලකර විවරුවේ අලවුඉසි සැබිහෙළයෝ ද “සරල” එලෙස ම යොදති. ලෝකෝපකාරයේ සම්මත සම්භාව්‍ය සංස්කරණය “සරල සන්න සහිත ලෝකෝපකාරය” නමි.

සිඛවළඳ හා සිඛවළඳ විනිස ද මජ්‌ඣිම නිකාය ද බුද්ධ පුත්‍රයන්ගේ ද බුදුන්ගේ ද අල්පාහාරය විස්තර කිරීමට සරළු යන වදනක් උපයුක්ත කර ගනී. ධම්පියා අටුවා ගැටපදයේ පංච කල්‍යාණය විස්තර කිරීමට ද සරළු යන වදනක් යොදා තිබේ (කේස කල්‍යාණ නම් කළු සිනිඳු සරළු කෙහෙ). එහෙත් ඒ කිසිඳු තැනෙක සරළ යන වදනක් නම් නැත.

වර්ෂා, හිරු, ආදරය ගින්දරක්, උතුම් පැතුම්, බොඳ මීදුම් ඈ “අතිසම්භාව්‍ය” ග්‍රන්ථරත්නයන්ගේ සරළ යන වදන තිබේ දැ යි අපි නො දනිමු.

මෙම භාෂා ගැටලුව විමැසුමට ඇති විදුහුරු තවත් ක්‍රමයක් නම් පාරකාලික (diachronic) විශ්ලේෂණීය වාග්විද්‍යාව විධි ක්‍රමයක් මඟින් විමසීම ය. එනම් මෙකී ප්‍රස්තුත වදනෙහි නිරුක්ති විමසීම ය.

සරල යන වදන සංස්කෘත භාෂාවෙන් සිංහලයට තත්සම වූ වදනක් බව අපගේ විශ්වාසය යි. සංස්කෘතයේ එය සරල ය. ලිහිල්, පහසු, ලෙහෙසි, සෘජු ඈ අරුත් සරල යන්නට යෙදේ. මේඝ දූතයේ “තං චෙද්වායෞ සරති සරලස්කන්ධසංඝට්ටජන්මා” යනු සුළං හමන කල සරල ගස් එකිනෙක ගැටීමෙන් හටගත් ළැව්ගිනි යන්න ය. (සරල නම් ගස්; ආමාවතුර ගැට පද විවරණයේ ද සළල යන්නට සරල හෙවත් සොර ගස් යන අරුතක් පවස යි)

සංස්කෘතය ලියනු ලබන දේවනාගරී අක්ෂරයෙන් සරල යන්න सरल ලෙස ලියැ වේ. සංස්කෘත දේවනාගරියේ මුර්ධජ “ළ” නො මැත. කුමක් නිසා ද යත්, දිව අග තල්ලෙහි මුඳුනේ හෙවත් මුර්ධයෙහි ගැටීමෙන් උපදින “ළ” ශබ්දයක් සකුවෙහි නොමැති බැවින් ය. දේවනාගරියේ එන ल යනු සිංහලයේ දන්තජ “ල” ශබ්දයට ආසන්න ශබ්දයේ අක්ෂරීය නිරූපණය යි. සංස්කෘත “සරල” සිංහලයට තත්සම වන්නේ ද “සරල” ලෙස ම ය. මේ අරුතින් සරල යන්න විනා සරළ යනුවෙන් වියත් වහරක් නො පවතී.

එහෙත් සංස්කෘතයෙන් හෝ පාලියෙන් හෝ සිංහලයට තත්භව වූ ඇතැම් වදන්වල දී මාතෘ භාෂාවේ අදාළ වදන්වල පවතින “ට”, “ඨ”, “ඩ”, “ඪ” අක්ෂර වෙනුවට මුර්ධජ “ළ” ආදේශ වේ. නිදර්ශන කීපයක් මෙසේ ය:

කුටි (පාලි) --> කිළි (සිංහල)
(පැරකුම් ගඳකිළි පිළිබඳ කලකට පෙර ලියූ බව අපට මතක ය!)
භට (පාලි) --> බළ (සිංහල)

පාඨ (පාලි) --> පෙළ (සිංහල)
පඨම (පාලි) --> පළමු (සිංහල)

බිඩාල (සංස්කෘත) --> බිළාල (සිංහල)
ක්‍රීඩා (සංස්කෘත) --> කෙළි (සිංහල)

මූඪ (සංස්කෘත) --> මුළා (සිංහල)
ආෂාඪ (සංස්කෘත) --> ඇසළ (සිංහල)

එහෙත් සරල යන්නට අනුරූප ව සරළ යන්නක් එකී ව්‍යවහාර විධි ක්‍රමය තුළ හෝ අපට හමු නො වේ.

සංස්කෘතයේත් පාලියේත් යන ද්විභාෂාහි ම පවතින ඇතැම් වදන් සිංහල භාෂාවට පැමිණි කල, ඒවා පාලියට අනුකූල ව මුර්ධජ “ළ” සහිත ව ද සංස්කෘතයට අනුකූල ව දන්තජ “ල” සහිත ව ද ලියැ වේ. ඒ දෙයාකාරය ම විදුහුරු ය. පාලියට ළැදි අයෙක් මුර්ධජ “ළ” සහිත ව ලියති. සකුවට ළැදි (අප වැනි) අයෙක් දන්තජ “ල” සහිත ව ලියති. නිදර්ශන කීපක් මෙසේ ය:

කෝමල (සංස්කෘත) හෝ කෝමළ (පාලි) හෝ කොමළ (සිංහල) හෝ
වූල වංශය(සංස්කෘත) හෝ වූළ වංසය (පාලි) හෝ
නාලි (සංස්කෘත) හෝ නාළි (පාලි) හෝ
පාලි භාෂාව (සංස්කෘත) හෝ පාළි බස (පාලි)

එහෙත් සරල යන්නට අනුරූප ව සරළ යන්නක් එකී ව්‍යවහාර විධි ක්‍රමය තුළ හෝ අපට හමු නො වේ. පාලියේ බිළාර සිංහලයට බළල් ලෙස ද පාලියේ යුගළ සිංහලයට යුවළ ලෙස ද පාලියේ කීලා සිංහලයට කෙළි ලෙස ද පාළියේ ගුළිකා සිංහලයට ගුළි ලෙස ද මුර්ධජ “ළ” සහිත ව ම පාලියෙන් සිංහලයට පැමිණ තිබුණ ද, සරළ යන සිංහල වදනක් පාලියේ සරළ යන වදනකින් පැමිණි බව කිව නො හැකි ය. එයට හේතුව පාලියේ සරළ යන වදනක් නැති වීම ය. පාලියට ද සරල යනු සරල ම ය.

පැරකුම් සමඟ එකඟ වීමට ඇති දෘඪාපේක්ෂාව නිසා ම පාලියේ යම් තැනක සරළ තිබේ දැ යි අපි සිතා බැලුවෙමු. අවාසනාවක මහත! සම්භාව්‍ය පාලි භාෂාවේ සරළ ඇති තැනක් අපගේ මතකයට නො නැඟේ. දශක ගණනකට පෙර පරිශීලනය කළ පොල්වත්තේ බුද්ධදත්ත හිමියන්ගේ පාලිභාෂාවතරණයේ හෝ “සරළ” තිබූ බවක් මතකයේ නැත. බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය හිමියන්ගේ පාලි ශික්ෂකයේ ද “සරළ” තිබූ බවක් මතකයේ නැත. උන්වහන්සේගේ පොතේ නම ම වුව “සරල පාලි ශික්ෂකය” ය.

පාලි ග්‍රන්ථ කීපයක කරහම්පිටිගොඩ සුමනසාරාභිනන්දන සංස්කරණවල ද “සරළ” සොයා ගත නො හැකි ය. ත්‍රිපිටක පාලියේ මජ්‌ඣිම නිකායේ හා දීඝ නිකායේ යම් තැනෙක “සරළ” තිබේ දැ යි තැනින් තැන (තිබිය හැකි යැයි සිතුණු තැන් කීපයක) බැලුවෙමු. හමුවුයේ නැත. වෙනත් කරුණක් විමර්ශනය කරන කල හමුවුවහොත් නො ලසා, නො සඟවා පැරකුම්ට දන්වන්නම්. එසේ “සරළ” යන්නක් තිබිය නො හැකි බව අපගේ විශ්වාසය ය.
(පැරකුම් පවසන පරිදි “ගතානුගතික මාර්ක්ස්වාදීන්” වන අප ත්‍රිපිටක පාලිය විමර්ශනය කරන්නේ ශාස්ත්‍රීය ව්‍යායාමයක් ලෙස ය. එසේ නැති ව ඔය කෙහෙල්මල් ආගම්වලින් අපට ඇති වැඩක් නැත!)
මේ අනුව හමාර දෙසුමේ දී අපට පවසන්නට වන්නේ “සරල” යන්න විනා “සරළ” යන්න විදුහුරු නො වන බව ය. පැරකුම් අප සමඟ උරණ නො වේවා!

ස්තුතියි නිර්නාමිකය!

-රසිකොලොජිස්ට්

ප/ලි:
සිංහල භාෂාව යනු ව්‍යහවහාරයට අනුව වෙනස් වෙන, වෙනස් කළ හැකි භාෂාවක් යන මතය සනාථ කිරීම පිණිස ඇතමුන් විසින් උපුටා දක්වන සිදත් සඟරාවේ එන වහරනු සෙරෙන් සපයා යන වාක්‍යාංගය පිළිබඳව ද කියවිය යුතු ම විශ්ලේෂණයක් මේ නිර්නාමිකයා මීට පෙර කළේ ය.

එය කියවීමට කැමති අයගේ ප්‍රයෝජනය සඳහා, බ්ලොගයේ මේ වන විට දක්නට නැති එම විශ්ලේෂණය ද පහත පළ කරමි.


ජයසිංහයන් කතිකාවට ගෙන එන සිදතෙහි “වහරනුසෙරෙන් සපයා” හි සම්පූර්ණ වැකි පෙළ විමසමු.

“සදරුත් විදි සියල් – අනුරූ සේ පියෝනන්
ඉති සන් සඳ සමස් ඈ – වහරනුසෙරෙන් සපයා”

“සදරුත් විදි සියල්” යනු ශබ්දාර්ථ විධි සියල්ල යන්න ය. “අනුරූ සේ පියෝනන්” යනු පණ්ඩිතයන්ගේ යෙදුමට අනුරූප ලෙස යන්න ය. (සේ යනු සංස්කෘතයේ පණ්ඩිත යන අරුත් දෙන සෙව් ප්‍රකෘතියෙන් බිඳෙන වදනකි. පියෝනන් යනු ප්‍රයෝග හෙවත් යෙදවුම් ය.)

“ඉති සන් සඳ සමස් ඈ” යනු මෙලෙස සංඥා, සන්ධි හා සමාස යනාදිය යන්න ය. “වහරනුසෙරෙන් සපයා” යනු ව්‍යවහාරය අනුසාරයෙන් සම්පාදනය කර ගනු යන්න ය.

මේ අනුව සිදත් සඟරාකරු පවසන්නේ ශබ්දාර්ථ විධි සියල්ල පණ්ඩිතයන්ගේ යෙදුමට අනුරූප ලෙස ව්‍යවහාරය අනුසාරයෙන් සම්පාදනය කර ගනු යනුවෙන් ය. සිදත් සඟරාකරු පවසා ඇත්තේ ශබ්දාර්ථ හෙවත් වියරණ පිළිබඳ පණ්ඩිතයන්ගේ (ඡේකයන්ගේ) ව්‍යවහාරයට අනුකූල ව භාෂාවේ ව්‍යාකරණය සකසා ගනු කියා මිස අවියත් බකපණ්ඩිතයන්ගේ ව්‍යවහාරයට අනුව භාෂාවේ ව්‍යාකරණය සකසා ගනු කියා නො වේ.



39 comments:

  1. රසිකලොජි අන්තර්ජාල වෙබ් අඩවියේ ප්‍රධාන විධායක නිලධාරී රසික සූරියආරච්චි (57) මැතිතුමා

    ReplyDelete
    Replies
    1. වයස එපමණ වනවිට මේ බ්ලොගය වෙනස් වෙන්නට ඉඩ තිබේ.

      Delete
    2. වයස ඒ වනකොට කකා සෙත්තා පෝච්චි තමයි.

      රත් පහ ගැනුනු නෙත්වල කඳුලැලි ධාරා
      උතුරා ගල යනු ඇත හදවත් පාරා
      මරුවා නොමැත ඇති නැති උදවිය තෝරා
      රසිකව සිහිකරමු වය ධම්මා සංඛාරා...

      සින්හල බ්ලොග් අතරේ එකට විසු
      පනස් හත් වසරක්ම දිවි මග සිනා මුසු
      ගෙව්වත් රසික සොහොයුර අදින් පසු
      අවසන් ගමන් යයි බුදු හිමි දහම දෙසු..

      Delete
    3. තව අවුරුදු තුනකින්, ඒ කියන්නේ 2019 දී, රසික ඒ වයසට සම්ප්‍රාප්ත වෙනවා.

      Delete
  2. පැරාට කෑම දියයුතු ඇගපත රිදෙන

    ReplyDelete
    Replies
    1. කෑම බීම කෙසේ වෙතත් මෙවැනි ලිපි නම් ඉතා වැදගත්!

      Delete
    2. මේ පඬිවරුන්ට තමන්ගේ කාර්යය කුමක් ද යන්න පිළිබඳ අවබෝධ කර ගන්නට කටයුතු කළේ වීරවිල කඳවුරේදී තනියෙන් පොත් කියවා උසස් පෙළ සමත් වූ නූගත් පැරා ය. පැරාට කෑම දෙන්න හෝ මෙවැනි ශාස්ත්‍රීය ලිපි ලිවීම අගය කළ යුතු ය. එසේම, එය නැවත පළ කිරීම ගැන රසිකලොජියට තුති. අද ගෙදර නො සිටි නිසා මට මේ කමෙන්ටුව මිස් වී තිබිණි. දැක්කේ මෙහි පළ වූ පසුවයි.

      Delete
  3. අයිසේ වල් තට්ට කකා, තමුසේ හැලපගේ බ්ලොග් එකේ කොමෙන්ට් දාලා රෙනවා කියලා ආන්න හැලප අමනාපෙන්. තමුසෙට බ්ලොග් පඩංගුවක් තියෙද්දී, හොද රහට කියවන්න පුළුවන් විදියට බ්ලොග් ලියන හැලප වගේ උන්ගේ වැරදි හොයන්න යන්න එපා. උබේ බ්ලොග් එක මෙලෝ රහක් නෑ කියලා අනුන්ගේ බ්ලොග් වල රෙන්න එපා.

    වල් තට්ටයා. දෙන්න ඕනි මන්නෙන් තට්ටේ හිල් වෙන්න.

    ReplyDelete
  4. ඇනෝ වැහුව නං කොහේද මේ වගේ සාර ප්‍රකාශයක්.. ඔහුට අපගේ ස්තුතිය හිමි විය යුතුයි.. පැහැදිලිවම ධාරණය කර ගත හැකි අයුරිනුත්, තවත් බොහෝ කරුණුත් ඉදිරිපත් කිරිම පිළිබඳව.. ස්තුතියි මිත්‍රයා.. රසිකටත් එසේමැයි.

    මට නං මේ නණලළ බේදය ඉතා හිරිහැරදායකයි. නමුත් මේ කරුණු දැක්වීම මත අප නණ ලළ නිවරැදිව භාවිතා නොකිරීමෙන් වියත් බස් වහරේදි අර්ථය කෙතරම් වෙනස් වන්නේ දැයි ඉතා පැහැදිලියි.. ජය වේවා..

    සිංහල ගුරු කියල බ්ලොග් එකක් පටන් ගන්න බැරිද දන්නෑ නේද??

    ReplyDelete
    Replies
    1. දේශක,
      ඉතිං පටන් ගන්න එකනෙ අපිට ඉගෙන ගන්නත් එක්ක.

      Delete
    2. වැරදි පොට අල්ලගන්නවා නේ හැලපයියා.. මං කිව්වේ අපේ ඇනෝ මිත්‍රයාට..

      Delete
  5. රසික පුතා බස රකිනා අයුරු පෙනේ
    පෙර ඉසිවර මහ මෙහෙවර සුවඳ දැනේ
    සිහල දැයට බොදු දහමට පාන සෙනේ
    රසික පුතා තව තව වැජඹේ දෙරණේ

    සිංහලයගේ මහ උරුමය සිහල බස
    එය රැකුණොතිත් අප කාටත් නැගෙයි තොස
    අදමිටු බලවේග නැසුවත් අපේ බස
    කර දිවි දෙවැනි රැක ගන්නෙමු අපේ බස

    සරල කියාලයි හෙළ බස ලියන්නේ
    වෘෂභයෝ තමයි ඊට 'සරළ' කියන්නේ
    හඩු බස ඉවත ලා හෙළ බස රකින්නේ
    රසික පුතා හැමදා ලොව දිනන්නේ

    මීට, කුමාර දිප්පිටිය මයා
    ගරු ලේකම්,
    තරුණ බෞද්ධ සංගමය,
    කොතලාවලපුර
    රත්මලාන.

    ReplyDelete
  6. රසික පුතා
    හොද මුනියා
    රෑ දොළහට
    පඩ ඇරියා..

    ReplyDelete
  7. රත් පහ ගැනුනු නෙත්වල කඳුලැලි ධාරා
    උතුරා ගල යනු ඇත හදවත් පාරා
    මරුවා නොමැත ඇති නැති උදවිය තෝරා
    රසිකව සිහිකරමු වය ධම්මා සංඛාරා...

    සින්හල බ්ලොග් අතරේ එකට විසු
    පනස් එක් වසරක්ම දිවි මග සිනා මුසු
    ගෙව්වත් රසික සොහොයුර අදින් පසු
    අවසන් ගමන් යයි බුදු හිමි දහම දෙසු..

    ReplyDelete
  8. නණ ලළ භේදය කියන්නේ නොසැළකිය යුතු දෙයක් කියල සමහර අය හිතුවත්, මගේ වැටහීම නම් ඒ ගැන අපි සැළකිලිමත් විය යුතු බවයි. මම දන්නා තරමින් දෙමළ භාෂාවේ නම් මේක බොහොම තදින් සළකනවා.
    සමහර අය න සහ ණ වගේම ල සහ ළ එක සමානයි කියල හිතුවට මේ අකුරු වල ශබ්ද එකිනෙකට වෙනස්. සිංහළ භාෂාවේ (මේක සිංහල නෙමෙයි සිංහළ කියලයි මම හිතන්නෙ.) හෝඩියට අයිති අකුරු වර්ග කීපයක් තියනවා. තාලුජ, දන්තජ, මූර්ධජ යනාදී වශයෙන් දක්වලා තියෙන්නේ ඒවායි. තොල් වලින් හඬ නැගෙන අකුරු, දත් වලින් හඬ නැගෙන අකුරු, උඩු තල්ලට දිව තෙරපීමෙන් හඬ නැගෙන අකුරු වෙන වෙනම වර්ග කරල තියෙනවා. වුඩ්ලන්ඩ් කියල අපි ලිව්වට දෙමළ අය ලියන්නෙ වුඩ්ළන්ඩ් කියල. ඇත්තටම එතනදි එන්නෙ ළ ශබ්දයයි. අර රසික දවසක් ලිව්ව වී සහ ඩබ්ලිව් අකුරු දෙක වගේ තමයි. එෆ් සහ පීඑච් යොදන තැන්වලදි උච්චාරණය වන විදිහත් ඒ වගේම වෙනස්නෙ. ඉංගිරිසි කාරයෝ වී සහ ඩබ්ලිව් දෙකම එකයි කියල කියන්නෙ නෑ අපි න සහ ණ නැත්නම් ල සහ ළ දෙකම එකයි කිව්වට.

    මේ ඇනෝවරයා බොහොම වටිනා කතාවක් කියල තියන බවයි මගේ විශ්වාසය. අනිත් එක, “වහරනු සෙරෙන් සපයා“ කියන එකට එයාගේ විග්‍රහයත් හරිම තර්කානුකූලයි. මේ වගේ ඇනෝවරු බ්ලොග් ලෝකයට එකතු වෙනවනම් හොඳයි.

    මෙහෙම ගියොත්, “පට්ට කෑල්ල“ වගේ යෙදුම්, ඩොකා - ප්‍රොපා වගේ වචන, ඔරිජිනල් සිංහල බවට පත් වෙන්න ඉඩ තියනවා නුදුරු අනාගතයෙදි.

    ReplyDelete
  9. //මේ ඇනෝවරයා

    බොහොම වටිනා කතාවක් කියල තියන බවයි මගේ විශ්වාසය. අනිත් එක, “වහරනු සෙරෙන් සපයා“ කියන එකට එයාගේ විග්‍රහයත් හරිම තර්කානුකූලයි. මේ වගේ ඇනෝවරු බ්ලොග් ලෝකයට එකතු වෙනවනම් හොඳයි.

    මෙහෙම ගියොත්, “පට්ට කෑල්ල“ වගේ යෙදුම්, ඩොකා - ප්‍රොපා වගේ වචන, ඔරිජිනල් සිංහල බවට පත් වෙන්න ඉඩ තියනවා නුදුරු අනාගතයෙදි.//

    ඇනෝ කියන එකත් ඔර්ජිනල් සිංහල වචනයක් වේවි නේද එතකොට ?

    ඇනෝ කියන වචනය හැදුන anonymous කියන එකට මා ළඟ තිබෙන ශබ්ධකෝෂයේ දී ඇති තේරුම් අඥාත, අනාමික, නමක් නොයෙදූ, නිර්නාමික යන ඒවායි. තමුන් විසින්ම තමුන් "අසවල්" ඇනෝ ලෙස හදුන්වාගන්නා අවස්ථාත් මම දැකල තිබෙනවා. ඒ අතින් බැලුවම දැන් එය අථත්‍ය අනන්‍යතාවයන් වෙනුවෙනුත් යෙදෙන බවයි පෙනෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ශබ්ධකෝෂය,අථත්‍ය
      මේවායේ අක්‍ෂර වින්‍යාසය නිවැරදිද?

      Delete
    2. සමාවෙන්න. ශබ්දකෝෂය ලෙස නිවැරදි විය යුතුයි.

      මා ළඟ තිබෙන ඉලෙක්ට්‍රොනික ශබ්දකෝෂයේ virtual යන වචනයට දී ඇති තේරුම අථත්‍ය යන වචනයයි. එහි අක්ෂර වින්‍යාසය දක්වා ඇත්තෙත් මම ලියා ඇති ආකාරයෙන්මයි. එය නිවැරදිද කියා සොයා ගැනීමට මුලාශ්‍ර මගේ ළඟ දැනට නැත.

      Delete
  10. කුණුහබ්බ..... පරිනාමවාදය ගැන මෙළෝ දෙයක් නොදන්න කෙනෙක් වෙන්න ඕන...

    ReplyDelete
    Replies
    1. එක එක කාලෙට හිතන්නෙ පරිණාමයවෙලා ඇවිත් දැන් අපේ එක තමයි පර්ෆෙක්ට් කියලා. තව අවුරුදු පණහකින් දැනට වඩා වෙනස්වෙලා තියෙයි ඒත් ඒකාලෙ එවුන් විරුද්ධවෙයි එතකොට තියන එක වෙනස් වෙනවට

      Delete
  11. සරල තමයි නිවැරැදි කියල ඕනෙ කිච්චෙක් දන්නවනෙ. ආයෙ මොටද වාද විවාද? දන්නෙ නැති අය දැනගන්න ඕනෙ. සරළ කියල වචනයක් නැතෝ....

    ReplyDelete
    Replies
    1. ජෝඩුවක් වුනාම කමෙන්ටු හතරක් දාන්න ඕන :-)

      Delete
  12. න,ණ.ල,ළ ගැන අවදියෙන් ඉන්න ලියන මහත්වරුන්ට හොඳයි. ඕවා කටපාඩමෙන් කියන්න තරම් අය ඉන්නේ ටික දෙනයිනේ. කොයි එකටත් සේව් කරලා තියාගත්තා. ඒ අස්සේ මට අර ඉංග්‍රීසි ඇනෝව මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසි ඇනෝව පොඩ්ඩක් උනන්දු කරවල ගනිං මචං.ඌ දැන් ලියන්න ටිකක් හොරවෙලා වගේ.

      Delete
    2. හැලපේ..... ඌ හරි බිසි..පොර ඉංග්‍රීසි ටියුෂන් පන්තියක් පටන් අරන් "සැමට පහසු ඉංග්‍රීසි" නොහොත් "ALLBODY EASY ENGLISH" කියලා.

      Delete
    3. ///Who English ano?////වෙන කවුද බං උඹ මිසක්

      Delete
    4. I write post no stop. I have my blog too. I no ano now. Come and reed. Today also I put post jas now.

      Delete
  13. No matter wahat meen there words. Parakum sir rigt.

    ReplyDelete
  14. Dear Kencusah,
    Anowaraya is like Eskimowaraya. Those are of original pattern of making words in Sinhala language. Further use of that word is limited to bloggers.

    ReplyDelete
    Replies
    1. මිත්‍රයා, ඔබේ අදහසට ගරු කරන්න මට පහසු නොවුනත් ඊට එකඟ වෙන්නට අපහසුයි.

      එස්කිමෝ යනු ජනවර්ගයක නමක් නේද ? ඊට එස්කිමෝවරයා කීමත් අඥාත අදහස් දක්වන්නෙකුට ඇනෝවරයා කීමත් හාත්පසින් වෙනස් ලෙසයි මට නම් පෙනෙන්නේ.

      සිංහල වෙනුවට ඒ විදියට හිතුමතේට වරුන් නිර්මාණය කරන්න ගියොත් අපිට අන්තිමේ දී,

      ධීවරයා වෙනුවට ෆිෂර්මන්වරයා,
      රියදුරුවරයා වෙනුවට ඩ්‍රයිවරයා,
      ගුරුවරයා වෙනුවට ටීචවරයා,
      ජනපතිවරයා වෙනුවට ප්‍රසිඩන්ට්වරයා,
      වගේ වරුන් තමයි ඉතුරු වෙන්නේ. එනිසයි මම ඔබේ අදහසට එකඟ නොවෙන්නේ.

      Delete
    2. සමාවෙන්න වැරදීමක්, "ඔබේ අදහසට ගරු කරන්න මට අපහසු නොවුනත්", ලෙස වෙනස් විය යුතුයි.

      Delete
  15. මේ සටහන ගැන අවධානය යොමු කළාට ස්තුතියි.. කලෙක හැදෑරූ දැන් අමතක කාරණා කීපයක්ම නැවත මතක් වුණා...

    ReplyDelete
  16. ගූගල් සරළ නම් වැරදි වදනට අදාළ සෙවුම් ප්‍රතිඵල 312,000ක් ලබා දෙනවා. හැබැයි, ඒකෙ වරද ලෝකෙට පෙනුණේ පැරා නිසායි.

    ReplyDelete
  17. රසික සරල ව මෙතනට දාපු එක හොඳයි.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.