මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Friday, 13 May 2016
ජර්මන්කාරයෙකු සමග නුවර එළියේ දී බියර් බෝතලයකට ඔට්ටුවක් ඇල්ලුවෙමි...! - Beer bottle bet
අරක්කු හා සසඳන විට වතුරවලට වඩා සුළු ප්‍රමාණයක් පමණක් මද්‍යසාර ඇති බියර් බීමට අපේ කාලේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් නොපෙළඹුනේ, බියර් බීමෙන් රුපියලකට ලැබෙන මත්වීම අරක්කුවලට සාපේක්‍ෂකව ඉතා අඩු නිසා බව මම ඊයේ පළ කළ ලිපියේ ලීවෙමි.
සිව් වසරක් පේරාදෙණියේ ගත කර, මුල් රැකියාව ලෙස නුවර එළියට ගිය පසු, ඒ පරිසරය නිසාත්, අතේ මුදල් ගැවසුණු නිසාත්, ඒ තත්වය ක්‍රමයෙන් වෙනස් විය.
මා ජර්මන්කාරයෙකු සමග බියර් බෝතලයකට ඔට්ටුවක් ඇල්ලුවේ ඒ දිනවල ය.
මේ ඒ කතාවයි.
මා මුල්ම රැකියාව කළේ, නුවර එළියේ පිහිටි, එකල ඇඩ්ලර් නම් වූ ජර්මන් සමාගමකට හිමිව තිබුණු ඉන්ටර් ෆැෂන් නම් ඇඟලුම් කම්හලේ ය. මේ කතාවේ මා ජර්මන්කාරයා යනුවෙන් හඳුන්වන්නේ ෂීරා නමැති ඒ කර්මාන්ත ශාලාවේ ප්‍රධාන කළමනාකරුවා ය. සහකාර නිෂ්පාදන කළමනාකාර පුහුණුවන්නෙකු ලෙස සේවය අරඹා තිබුණු මගේ බොසා ද ඔහු විය.
ජර්මානුවො බියර් බීමට රුස්සෝය. ඔවුන් බියර් බොන්නේ පයින්ට් එකේ හෝ ඊටත් වඩා විශාල විදුරු වලිනිි. ඔක්ටෝබර්ෆෙස්ට් නමින් හැඳින්වෙන ජර්මානු බියර් උත්සවය ලෝක ප්‍රසිද්ධ එකකි.
මා මීට වසර තුනකට පමණ පෙර ජර්මනියේ දී දුටු පරිදි, සෑම සිල්ලර කඩයක ම පාහේ බියර් (වයින් සහ අනෙකුත් මත්පැන් වර්ග) විකුණන්නට තිබෙන අතර, ඒවායේ මිල ද, ඕස්ට්‍රේලියාවට සාපේක්‍ෂව ඉතා අඩු විය.
නුවර එළියේ හරස් විදියක පිහිටා තිබුණු සිලෝන් බෲවරියේ බියර් කඩෙන් කරාමයෙන් වීදුරුවට වත්කර දෙන ඩ්‍රාෆ්ට් බියර් බොන්නට අප ඉඳහිට ගිය විට, අපේ කර්මාන්ත ශාලාවේ සේවය කරන ඇතැම් ජර්මානු ජාතිකයින් ද එහි පැමිණ බියර් බොනවා පෙනේ. ඇතමෙකු ආපසු නිවසට යන්නේ බියර් බෝතල් විසි හතරකින් යුතු ක්‍රේට් එකක් මිලට ගෙන එය තම වාහනයේ පටවාගෙන ය.
මගේ කළමනාකරණ පුහුණුවේ සති හතරක් පිරීමටත් කලින්, හදිසියේම මා පුහුණුවෙන් ඉවත් කර, කර්මාන්ත ශාලාවේ රෙදි කපන අංශයේ නිත්‍ය තනතුරකට පත් කරන ලදී. එයට හේතුව වූයේ, මගේ සුපිරි දක්ෂකමකටත් වඩා, මා ඒ අංශයේ මා සති දෙකක් පමණ පුහුණවක් ඒ වන විට ලබා සිටීමත්, එහි කෝඩිනේටර් නම් තනතුරේ කටයුතු කළ තිලක් නම් පුද්ගලයා, සති අන්තයේ නිවාඩුවට කොළඹ පිහිටි තම නිවසට ගොස් ආපසු පැමිණ නොසිටීමත් ය. එහි කලින් පුහුණුව ලැබූ අයට සාපේක්‍ෂව මා ඒ තනතුරට සුදුසු බව ෂීරාට වැටහී තිබෙන්නට ඇත. අපට "වර්ක් ස්ටඩි" නම් ක්‍රමවේදය උගන්වන්නට ජර්මනියෙන් පැමිණ සිටි වෙයිස් නම් පුහුණුකරුවා ගේ පැසසුමට මා ලක් වී තිබීම ද බොහෝ විට හේතු වන්නට ඇත.
කෙසේ වෙතත්, ඒ ඇති වුණු ක්‍ෂණික වෙනසෙන් මම ඉතා සන්තෝෂයට පත් වීමි. මූලික පඩියේ වැඩි වීමක් නොතිබුණත්, සාමාන්‍යයෙන් අටේ-පහේ (එනම් දිවා කාලයේ) රැකියාවක් වුව ද, එය කාර්ය බහුල එනිසාම, අතිකාල දීමනා බහුලව ලැබෙන රැකියාවකි. නිවසෙන් පිට බෝඩිමක ජීවත්වෙන, කළ යුතු වෙනත් කාර්යක් නැති අවුරුදු විසි තුනක තනිකඩයෙකු වූ මට කාලය පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නොතිබුණි!
දින දෙකකින් පමණ ගමේ ගිය තිලක් ආපසු වැඩට පැමිණියත්, ඔහු සමග මටත් දිගටම ඒ අංශයේ සේවය කරන ලෙස ෂීරා පවසා සිටියේ ය. තවත් සති කිහිපයකින්, අප දෙදෙනාට දිනකට පැය දොළහ බැගින් දවසේ පැය විසි හතර ආවරණය කරන ලෙස නියම විය. මේ කර්මාන්ත ශාලාව සතියේ දින හයක්, දවසේ පැය විසි හතරම නොනවත්වා නිෂ්පාදන කටයුතු කෙරෙන තැනකි.
තවත් මාසයක් පමණ ගෙවී ගිය පසු නැවතත් සති අන්තයේ කොළඹ ප්‍රදේශයේ තම නිවසට ගිය තිලක් සඳුදා සේවයට පැමිණියේ නැත. මා එහි සිටි නිසා, විශාල ප්‍රශ්නයක් ඇති නොවුණි.
දෙවෙනි දිනය ද උදාවිය. තිලක් එදින ද පැමිණියේ නැත.
මගේ මේසය අසලට පැමිණි ෂීරා "අයි ඩොන්ට් තින්ක් තිලක් විල් කම් ඇට් ඕල් දිස් ටයිම්, අයි විල් ගෙට් යූ සම් හෙල්ප්!" යැයි කීවේය.
"නෝ, හී විල් කම් ප්‍රොබබ්ලි ටුමාරෝ" මම කීවේ, තිලක්ට කලින් වාරයේ මෙන් අසනීපයක් වැළඳි ඇතැයි සිතමිනි.
"නෝ, හී වෝන්ට් කම් දිස් ටයිම්. හී ප්‍රොබබ්ලි ගොට් අනදර් ජොබ්" ෂීරා නැවත කීවේය.
තමන් නොදන්වා සේවයෙන් ඉවත්ව වෙනත් රැකියාවකට යන බවට ඉඟියක්වත් තිලක්ගෙන් මට ලැබී නොතිබුණු නිසා, මම මුරණ්ඩු ලෙස මගේ මතයේ ම සිටියෙමි.
ෂීරා සහ මා අතර ඒ කතාබහ අවසාන වූයේ තිලක් ගේ පැමිණීම නොපැමිණීම ගැන අප දෙදෙනා බියර් බෝතලයක ඔට්ටුවකට එකඟ වීමෙනි.
පාසලේ දී අෂාඩ් පෙරේරා සමග මා ඇල්ලූ ඡන්ද ඔට්ටුවෙන් දිනුවා මෙන් මෙවර ද මට ජය ලැබේ යැයි මම සිතුවෙමි.
නමුත් තිලක් යළි අපේ කම්හලේ සේවයට පැමිණියේ නැත.
සතියකට පමණ පසු, තමන් රැකියාවෙන් අස්වෙන බව කියා තිලක්ගෙන් විදුලි පණිවිඩයක් ලැබී තිබුණි. මා ද පසුව වටහා ගත් පරිදි, ඒ දිනවල සාමා්‍යයෙන් විදුලි පණිවිඩයක් කොළඹ සිට නුවර එළියට ඒමට දින තුන හතරක් ගතවේ!
විදුලි පණිවිඩය රැගෙන මවෙත පැමිණි ෂීරා ජයග්‍රාහී විලාසයෙන් "යු ලොස්ට් ද බෙට්!" රසික කියා කීවේ ය.
මම පරාජය භාර ගත්තෙමි.
එදින හවස, අරවින්දනාදන් ද සමග නුවර එළියේ හරස් විදියක පිහිටා තිබුණු සිලෝන් බෘවරියේ බියර් කඩේට ගිය මම, ඔහු සමග චීස් සහ ක්‍රීම් ක්‍රැකර් කමින් පිල්ස්නර් බෝතල් දෙකක් ද හිස් කොට, තවත් බෝතලයක් මිලට ගෙන, පයින් ම හාවා එළියේ පිහිටි කම්හල වෙත පැමිණ, ඒ වන විටත් කම්හල තුළ සේවය කරමින් සිටි ෂීරා පිටත්ව යන මොහොතේ දී ඔහු ගේ මෝටර් රථය ගේට්ටුව අසල නවත්වා ගෙන, බෝතලය ඔහුට දී, ඔට්ටුවේ කොන්දේසිය ඉටු කළෙමි.
අපට ගේට්ටුව අසල රැඳී සිටින්නට සිදුවූයේ, මත්පැන් කිසිවක් කම්හල් පරිශ්‍රය තුළට ගෙන යාමේ තහනමක් තිබුණු බැවිනි!
මා ජර්මන්කාරයෙකු සමග බියර් බෝතලයකට ඔට්ටුවක් අල්ලා පැරදුණු කතාව එසේ ය.
-රසිකොලොජිස්ට්
ප/ලි:
මත්පැන් ඇබ්බැහියක් වීමට ඉඩ ඇත. නොබී සිටීමට අපහසු ම අවස්ථාවල පමණක් ඉතා ප්‍රවේශමෙන් පරිහරණය කරන්න. කිසිදාක මත්පැන් නොබී සිටියොත් එය වඩා හොඳ ය.
(image: Google street view)
Subscribe to:
Post Comments (Atom)
මත්පැන්වලින් ඇබ්බැහියක් ඇතිවේයයි මම නං හිතන්නෙ නෑ. මොකද එක කාලයක් දිනපතාම වගේ හැන්දෑවට අවුරුදු කිහිපයක් බිව්වත් ඇබ්බැහිවුනේ නෑනෙ.
ReplyDeleteරසික ගාමන්ට් ෆීල්ඩ් එකට සෙට් උනේ මොකද, පඩි වැඩි නිසාද...
ReplyDeleteමටත් මතකයි අපෙත් Textile නොවෙන ගොඩ දෙනෙක් Management Trainee විදිහට ගාමන්ට් ෆීල්ඩ් එකට ගියා කියලා...
දවස ගානේ පෝස්ට් කොටනවා වගේම කමෙන්ට් වලටත් උත්තර පුළුවන්නම් හොඳයි නේද...
/* රසික ගාමන්ට් ෆීල්ඩ් එකට සෙට් උනේ මොකද, පඩි වැඩි නිසාද */
Deleteදාපු මුල්ම ඇප්ලිකේෂන් එකට ඉන්ටර්වීව් එකක් ලැබුණා. ස්ටඩි ලීව් එකේ ඉන්ටර්වීව් එකට ගොස් රැකියාව එදිනම ලැබී, තවත් මාසයකට පමණ පසු විභාගය අවසාන කොට කෝස්වර්ක් සබ්මිට් කොට නිවසේත් සතියක් පමණ සිට රැකියාව ඇරඹුවා.
එපමණයි!
පඩිය නම් ඉන්ස්ට්‍රක්ටර් ජොබ් එකට වඩා හොඳයි.
හැක්.. මේක අන්තර්ජාතික ඔට්ටුවක් එහෙනං.
ReplyDeleteProst !!!
ReplyDeletecheers පුතා..
Deleteදේශපාලුවන් පිටරටවල් සමග ඩීල් දමා අසාර්ථක මහා පරිමාන ව්‍යාපෘති සිදු කොට හොරකම් කළ මහා ධනස්කන්ධය හේතුවෙන් අපේ රට හොඳටම ණය වී ඇති බව ඇත්තකි. උදාහරණයක් ලෙස චීනයෙන් ගන්නා ණයකට ලොකු ලොකු දේශපාලුවන්ට 20% කුට්ටි කොමිස් ලැබුණු බැව් කවුරුත් දනිති.
ReplyDeleteඑනමුත් ඒ ණයේ බර මහ ජනතාව මත බදු ලෙස පැටවීම හොඳටම අසාධාරණය. බුදුරදුන් දේශනා කොට වදාළේ ආණ්ඩුවක් බදු අය කළ යුත්තේ මී මැස්සා මල නොතලා රොන් ගන්නාක් මෙන්, ජනතාව නොපෙළා බවය.
මෙහි අසාධාරණම පැත්ත වන්නේ ධනවතුන්ගේ ආදායමෙන් 10%ක් පමණක් ආදායම් බදු අය කරමින් සෙසු සමස්ත බදු බර භාන්ඩ හා සේවා මත බදු පනවා ජනතාව මත පැටවීමය.
මේ අසාධාරණයට එරෙහිව මහ ජනතාව පාරට බැසිය යුතුමය. දේශපාලුවන් හොරකම් කළ ධනයෙන් මිලදී ගත් මුදල් හා දේපොළ රාජසන්තක කොට, විදේශ ණය පියවන මෙන් ආණ්ඩුවට බල කල යුත්තේය.
ජාතික හරිත සමාජවාදී විප්ලවය දිනේවා..!
-ධර්මකාමී ජාතික ව්‍යාපාරය
ජර්මන් කාරයෙක් පරදවන්න තිබ්බ අවස්ථාව අපරාදේ...
ReplyDeleteඅහල තියෙන විදිහට ජර්මනියෙ වතුරට වඩා බියර් මිළ අඩුයි ලු.
ReplyDeleteජයවේවා..!!
හැබැයි ඉතිං ඔට්ටුව දිනන්න තිබුනා ඔය ඔට්ටුව දාපු දවසේ මිනිහා ජොබෙන් අස් වෙන්න හිතලවත් නෑ කියල තව ටෙලිගරාම් එකක් ගෙන්න ගත්ත නං.. හැක්
ReplyDeleteජීවීතේ කියන්නේ ජය පැරදුම දෙකම තියෙන දෙයක්ය කියනවනේ....
ReplyDeleteඅපි ඇල්ලුවොත් ඔහොම තමා
ReplyDeleteජර්මනියෙ කෑමට පසු වතුර දෙන්නෙ නෑ නේද.වතුර හෝ බියර් හෝ වයින් ඉල්ලලා ගන්න ඕනෑ.
ReplyDeleteරසිකගේ ජීවිතේ හැම කාලයක්ම හතරෙන් බෙදෙනවද කොහෙද. සිව් වසරක් මරදානේ... සිව් වසරක් පේරාදෙණියේ...
ReplyDeleteඔක්ටෝබර්ෆෙස්ට් කියන්නේ ඉතින් සොසේජස් කනවයි, බියර් බොනවයි, නටනවයි තමයි. 1980 ගනන්වල ලංකාවේ ලොකු හෝටල්වල ඇනුවල් ඉවෙන්ට් එකක්. ඒ වෙනුවෙන්ම beer,sausages,sauerkraut වර්ග ගෙන්වනවා. මගේ ජීවිතේට ඒ වගේ සොසේජස් වර්ග ප්‍රමානයක් කොහෙවත් දැකලා නැහැ. බියර් වර්ගත් එහෙමයි. බැවේරියන් බියර් තමයි ඒ කාලෙට ගෙන්වන්නේ.ලංකාවේ ඉස්සෙල්ලාම සොසේජස් හදපු හෝටලය ඔබරෝයි එක. ඒකට වෙනම යන්ත්‍ර ගෙන්නුවා. ලංකාවේ ඉස්සෙල්ලාම pizza oven එකක් ගෙනාවෙත් ඔබරෝයි එකට.
ReplyDeleteGermany, a country of sausages කියලත් කියනවා.
ජර්මන්කාරයෝ බියර් බොන තරමේ හැටියට එක බෝතලයකට ඔට්ටු ඇල්ලුවා පුදුමයි.
ReplyDeleteඔක්ටෝබර් පෙස්ට් විසේශයෙන්ම බයර්න් ප්‍රාන්තයෙ මියුනික් (මියුන්චෙන්)වල තමයි දැවැන්තවම සමරන්නෙ.එහෙ තමයි විශාල බියර් මග් පාවිච්චි කරන්නෙ.ඒ වගේම බියර් පානය පලාතෙන් පලාතට වෙනස් ඒ ඒ පලාත අනුව බියර් වර්ගය, ඒවා පානය කරන වීදුරු ආදිය වෙනස් වෙනවා.උදාහරනයක් ලෙස නොඅර්ත් රයින් වෙස්ට්පාලියා ප්‍රාන්තයේ ඩුසල්ඩෝර්ප් වල සාම්ප්‍රදායික බියර් අල්ට් බියර් ලෙසින් හැදින්වෙනවා. ලන්කාවේ මෙය ස්ටවුට් වලට සමානවෙනවා.ඒවගේම පාවිච්චි කරන්නේ හීනි වීදුරු විසේශයක්.(රන්ජන්)
ReplyDeleteබියර් බොන එක අපරාද වැඩක් , චූ බර වෙනවයි සෙම ඇවිස්සෙනවයි විතරමයි
ReplyDeleteබීමට ඇබ්බැහි වෙන්නේ, බිව්වහම හෝම් වර්ක් අතපසු කරන උදවිය.
ReplyDelete