Monday 13 June 2016

ජගත් බණ්ඩාර ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට යවමු - Message for those who live in NSW, Australia


සිනුවර අප අතර සිටිනා අපේ සුහද මිතුරෙකු වන ජගත් බණ්ඩාර, මෙවර ඕස්ට්‍රේලියානු ෆෙඩරල් මහ ඡන්දයේ දී සෙනෙට් සභාව සඳහා ලේබර් පක්‍ෂයෙන් සඳහා තරග වදී.

ඕස්ට්‍රේලියාව යනු ප්‍රාන්ත හයකින් ද, පාලන ප්‍රදේශ දෙකකින් ද සමන්විත ෆෙඩරල් රාජ්‍යයකි. සෙනෙට් සභාව යනු රටේ පාර්ලිමේන්තුවේ උත්තර මන්ත්‍රී සභාවයි. මේ සඳහා ජනතා නියෝජිතයින් තෝරා ගනු ලබන්නේ එක් එක් ප්‍රාන්තයෙන් සමානුපාතික ක්‍රමයට ය. අප වසන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය නියෝජනය කරමින් සෙනෙට් සභාවේ අසුන් ගන්නා පිරිස දොළොස් දෙනෙකි.

සාමාන්‍යයෙන් එක් ඡන්දයක දී පත්කර ගනු ලබන්නේ සෙනෙට් සභිකයින් හය දෙනෙකු පමණක් වුවත්, මෙවර ඡන්දය පැවැත්වෙන්නේ මුළු සෙනෙට් සභාවම විසුරුවා හැරීමෙන් පසු නිසා, ජගත් බණ්ඩාරට ඡන්දයෙන් ජය ගැනීමට වඩා වැඩි අවස්ථාවක් ඇති බව මගේ අදහසයි.

මා ජගත් බණ්ඩාර මුලින් ම වසර 2002 දී, එවකට මගේ දියණිය සහභාගී වුණු සෙන්ට් මේරිස් සිංහල පාසලේ වාර්ෂික සාදයේ මෙහෙයවන්නා හෙවත් එම්සී ලෙස ඔහු කටයුතු කළ දවසේ ය.

එසේ නමුත්, මා මුලින් ම ජගත් බණ්ඩාර මුණ ගැසී කතා බස් කළේ 2005 වසරේ අප්‍රියෙල් මස පැවති සිංහල අලුත් අවුරුදු උත්සවයේ දී බව මගේ මතකයේ ඉතා හොඳින් ලිය වී ඇත. එදා ඔහු සහ තවත් කිහිප දෙනෙක් උත්සවය පැවැත්වුණු ශාලාවේ පිහිටුවා තිබුණු එක් කුටියක එකල ඕස්ට්‍රේලියාවේ පළවුණු දිවැස නම් පුවත් පත බෙදා හරිමින් සිටියහ.

කෙටි කලක් පමණක් මුද්‍රණය වුණු දිවැස නම් සිංහල පුවත් පත ප්‍රකාශනය කළේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පිරිසක් විසින් බව පැවසුනි.

ජගත් සිටි කුටියේ වෙනත් ප්‍රකාශන යනාදිය ද තියෙන්නට ඇති නමුත්, ඒ පිළිබඳ වැඩි මතකයක් මට නැත. දිවැස පුවත් පතේ පිටපතක් මා අත තැබූ ජගත් "මෙන්න අපේ පත්තරයක්, කියවලා බලන්න!" යැයි කීවේය.

මා කළේ ආඩම්බර විලාසයෙන් ඒ පුවත් පතේ පිටු පෙරළා, එහි පළ වී තිබුණු, මා ලියූ "සකලබුජං" යන කවිය ඔහුට පෙන්වීමයි. ඉන් පසු අප දෙදෙනා වචන කිහිපයක සුහද කතා බහක යෙදුණෙමු.

ජගත් බණ්ඩාර යනු ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු ය යනුවෙන් මගේ සිතේ රැඳුණි.

ඊට සති කිහිපයකට පසු වෙසක් පොහොය දින හවස් වරුවේ බිරිඳ සහ දරු දෙදෙනාද කැටුව පන්සලට යන විට මා දුටුවේ ජගත් බණ්ඩාර සුදු ඇඳුමට උඩින් කහ පැහැති හයි විසිබිලිටි ජැකට්ටුවක් පැළඳ ගෙන පන්සලට එන වාහන ගාල් කිරීමේ කටයුතු මෙහෙයවමින් සිටින අයුරු ය. ඒ වැඩ පිළිවෙළ සංවිධානය කෙරුණේ නිව් සවුත් වේල්සයේ ආදී නාලන්දියන් ගේ සංගමය විසින් නිසා, මම ජගත් බණ්ඩාර යනු ආදී නාලන්දියෙකු බවත්, සමාජ සේවයට කැමැති අයෙකු බවත් හඳුනා ගතිමි.

එතැන් සිට සිනුවර පැවැත්වුණු විවිධ උත්සව, සමාජ කටයුතු අවස්ථාවලදී ජගත් බණ්ඩාර මගේ නෙත ගැටුණි. එකිනෙකා සමග සිනාවක් සහ වචන කිහිපයක් හුවමාරු කර ගන්නා මිත්‍රතත්වයක් අප අතර ඇති වී තිබුණි.

තවත් දෙවසරකට පසුව 2007 අප්‍රියෙල් මාසයේ දී, මට ජගත්ව මුණ ගැසුණේ සිනුවර පැවති අලුත් අවුරුදු උත්සවයේ දී ය. ජගත් සහ තවත් කිහිප දෙනෙකු එදා උත්සව ශාලාවේ කුටියක "මානෙල් මල්" විකුණමින් සිටියහ.

ඒ මානෙල් මල් විකිණීම යනු ජනතා විමුක්ති පෙරමුණ ද, දත් දොස්තර ගුණදාස අමරසේකර ඇතුළු තවත් පිරිසක් ද එකතුව, ලංකාවේ එකල පැවති යුද්ධයට ආධාර පිණිස අරඹා තිබුණු ව්‍යාපාරයකි.

මේ උත්සවයේ නිවේදන කටයුතු කිරීම භාරව තිබුණේ, උත්සවයේ එක් සංවිධායක පාර්ශවකරුවෙකු වූ සිංහල සංස්කෘතික හමුවේ එකල සංස්කාරක ලෙස කටයුතු කළ මට ය. මා ජගත් බණ්ඩාර සිටි කුටිය අසලින් යන මොහොතේ මා ඇමතු ජගත්, මචං මේ වැඩේ ගැනත් එනවුන්ස් කරපං යැයි මගෙන් ඉල්ලී ය. මම ඔහුට මයික්‍රෆෝනය දුනිමි.

ජගත් බණ්ඩාර කෙටියෙන් කළ කථාවෙන් පසු, ඒ මානෙල් මලක් මිලදී ගන්නා මෙන් ඔහු මගෙන් ඉල්ලා සිටියේ ය.

වර්ගවාදී යුද්ධයට එක ශතයක්වත් නොදෙමි ය කියා මා දශක දෙකක් පුරා සිටි ස්ථාවරය එදා බිඳ දමන්නට ජගත් බණ්ඩාර ගේ මිත්‍රත්වය සමත් වූ අතර මගේ ශතයකට නොව ඩොලර් දෙකකට ම කෙලවිය!

මේ දිනවල ජගත් බණ්ඩාර විකසිත කලා කවය නම්, මා සිතන ආකාරයට ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සංවිධානයක් නියෝජනය කරමින් සිනුවර දී චිත්‍රපට දර්ශන සංවිධානය කළේ ය. මගේ මතකයේ හැටියට, සුභ සහ යස නව නිෂ්පාදනය සිනුවර වේදිකාගත කළේ ද, ජගත් ඇතුළු ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පිරිසයි.

විජිත ගුණරත්න ගේ පෙරම්බුරා වැනි නමකින් යුතු සිනමා දර්ශනය ද, ඉන් පසු විජිත ගුණරත්න විසින් කරන ලද දේශනයක් ද විකසිත කලා කවය මගින් සංවිධානය කරන ලදී. ඒ ආකාරයේ දේශන පැවැත්වුණේ ග්‍රැන්විල් හි පිහිටා ඇති ඕස්ට්‍රේලියානු නිෂ්පාදන සේවකයින් ගේ වෘත්තීය සමිති ශාලාවේ ය. ජගත් බණ්ඩාර සේවය කරන්නේ කම්කරු පක්‍ෂයට සම්බන්ධතා ඇති වෘත්තිය සංගම් ව්‍යාපාරයේ බව මම දැන ගතිමි.

විකසිත කලා කවය විසින් සංවිධානය කෙරුණු ඒ සියලුම කලා කටයුතු වලට මම සහභාගී වුණෙමි. ඔවුන් විසින් ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල අරඹා තිබුණු පරිගණක අධ්‍යාපනික වැඩ සටහනක් ගැන පැහැදුණු මම එයට මුදලින් ආධාරයක් කරන්නට ද ඉදිරිපත් වූයෙමි.

මගේ මතකයේ සඳහන්ව ඇති ආකාරයට වර්ෂ 2008 මාර්තු මාසයේ දී පමණ "ෆ්‍රෙන්ඩ්ස්" නම් සංවිධානයක් විසින් ලංකාවේ ළමා නිවාසයකට හෝ එවැනි වැඩ පිළිවෙළකට ආධාර පිණිස සාදයක් සංවිධානය කෙරුණි. බිරිඳ සමග මා සභභාගී වූ මේ උත්සවයේ ද එක් සංවිධායකයෙකු වූයේ ජගත් බණ්ඩාරය. ඒ වැඩ පිළිවෙළ දේශපාලන පක්‍ෂයකට හෝ වෘත්තීය සමිතියකට හෝ අයත් එකක් නොවී ය.

වර්ෂ 2010 අග භාගයේ දී අනුර කුමාර දිසානායක සහ අර්ජුන රණතුංග දෙදෙනා, එවක ඔවුන් විසින් අටවාගෙන තිබුණු ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නැගීමේ සංවිධානය නියෝජනය කරමින් සිනුවරට පැමිණි අවස්ථාවේ දී පැවැත්වුණු සභාවේ මූලාසනය ගත්තේ ද ජගත් බණ්ඩාර ය. ඒ අවස්ථාවේ මා අනුර කුමාර දිසානායකගෙන් ඇසූ ප්‍රශ්නය ගැන මම මීට කලින් දිනයක ලියා ඇත්තෙමි.

"මචං, අර කොම්පියුටර් ප්‍රොජෙක්ට් එක අපට නැති වුණා!" තවත් වසර කිහිපයට පමණ පසු ජගත් මා සමග කීවේ ය. ඒ ලංකාවේ සිදුවුණු, සිඩ්නි නුවරටත් විශාල සම්බන්ධයක් ඇති දේශපාලන පෙරළියකට පසු ය.

නමුත්, දැන් ඒ වෙනුවට පියාපත් නම් ළමුන්ට ශිෂ්‍යත්ව ලබා දෙන වැඩ පිළිවෙළට ජගත් බණ්ඩාර නායකත්වය දෙයි. පසුගිය දා, ගුරු ගීතය සිනමා පටය මෙල්බර්න් නුවර විකසිත කලා කවය විසින් සංවිධානය කෙරෙද්දී, සිනුවර ප්‍රදර්ශනය කෙරුණේ පියාපත් සංවිධානය විසින් වීම සතුටට කරුණකි.

මා මේ පවසමින් සිටින්නේ ජගත් බණ්ඩාර යනු හොඳ මිනිසෙකු බවයි. ඔහු වැන්නෙකු ඕස්ට්‍රේලියානු සෙනෙට් සභාව වැනි උත්තරීතර ආයතනයකට තේරී පත්වීම සමස්ත ලාංකික සංක්‍රමණික ප්‍රජාවට මෙන්ම පොදුවේ ඕස්ට්‍රේලියාවට ම වැදගත් වෙනු ඇත.

මා සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියානු ලේබර් පක්‍ෂයට ඡන්දය දෙන්නෙකු නොවේ. ඒබීසී සේවයේ ඡන්ද මාලිමා ප්‍රතිඵලය අනුව ද මගේ නැඹුරුව ඇත්තේ හරිත පක්‍ෂය දිශාවට ය. ඒ සමගම, අප අතර ලිබරල් පක්‍ෂයට ඡන්දය දෙන දක්‍ෂිණාංශිකයින් ද සිටින බව නොරහසකි.

නමුත්, අපේ දේශපාලන අදහස් කෙසේ වෙතත්, අප සියලු දෙනාටම ජගත් බණ්ඩාරට ඡන්දය දිය හැකි ක්‍රමයක් මෙවර සෙනෙට් සභා ඡන්දය සඳහා ක්‍රියාත්මක වෙයි. අප කළ යුත්තේ, පක්‍ෂ සඳහා ඡන්දය නොදී, ඉරෙන් යට, එනම් අපේක්‍ෂකයින් ගේ නම් ඇති කොටසේ අපේ මනාපය අංක 1 සිට 12 දක්වා සටහන් කිරීමයි.

ජගත් බණ්ඩාර ගේ නමට ඉදිරියෙන් අංක 1 යොදන්න. එතැන් සිට ඉතුරු මනාප ඔබ කැමති පක්‍ෂවල, කැමති අපේක්‍ෂකයින් එකොළොස් දෙනෙකු සඳහා යොදන්න.

ස්තුතියි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
කඩේ යතත්, හොඳ මිනිහෙකුට කඩේ යෑම සතුටකි!

ප/ප/ලි:
ඡන්දයෙන් සති කිහිපයකට පසු අවසාන ප්‍රතිඵලය නිකුත් විය. ජගත් බණ්ඩාර ගේ ඕස්ට්‍රේලියානු කම්කරු පක්‍ෂයට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට හිමි සෙනෙට් ආසන දොළහෙන් ලැබුණේ හතරක් පමණි. ජගත් බණ්ඩාර ලබා තිබුණේ ඡන්ද ප්‍රමාණය අනුව හයවෙනි ස්ථානයයි.

ඊළඟ මැතිවරණය තව වසර තුනකින් පැවැත් වේ!

49 comments:

  1. මෙහේ අය ඡන්දේ දෙන්නෙත් ඔය විදියටම තමයි... ඒක නිසා රසික ඒ මිනිස්සුන්ව විවේචනය කරන්න එපා... පව් නේ... :)

    ReplyDelete
    Replies
    1. හැක හැක හැක....

      Delete
    2. you beat me to that comment mr Mathalan :)

      Delete
    3. කිහිප දෙනෙකුට පමණක් තේරෙන විහිළුවක් සේ පෙනේ.

      කෙසේ වෙතත් මේ ලිපිය ලියා ඇත්තේ මාතෘකාවේ කියවෙන පරිදි ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන්ට පමණි.

      Delete
    4. ලූලන් හිඟ කේස් එකක් වෙන්න ඇති

      Delete
  2. 'ජගත් බණ්ඩාර ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට යවමු'
    මේ, ඔස්ට්‍රේලියාවේ සිංහල වර්ගවාදයද?

    ReplyDelete
  3. අනිවාර්යයෙන් !!! අපි දන්නා සිනුවර වැසියන්ට දැනුම් දෙන්නම්.. පාට කණ්ණාඩි වලින් නොබලා මිනිස් කමට සලකන්න කියමු කට්ටියට...

    ReplyDelete
    Replies
    1. ඔව් ආඩම්බර වෙයන් මෙන්න මේකත් කියවලා .....

      මෙයා ඒ රටේ පුරවැසිකම අරගෙන තියන්නේ ලංකාව ගැන තාරබර දාලා බොරු කියලා ......

      ඉතින් ආඩම්බර වෙයන් ! ලංකාව ගැන ඇත්ත තත්වයට එහා ගිහපු මහා බොරු කියලා ඒ රටේ පුරවැසිකම ගත්තු මිනිහෙක් ගැන

      බෝට්ටුවෙන් තමයි රටින් රට ගිහිල්ලා තියන්නේ

      පහත තියෙන්නේ මෙයා කියපු දේක උපුටා ගැනීමක් !

      A people smuggler promised to get them to Australia by boat, but they were robbed and abandoned in Java, Indonesia. Villagers sheltered them and helped them get to Jakarta, where they contacted the Australian Embassy with the support of an Indonesian friend who expected nothing in return. “The diplomats knew exactly where we had come from, the problems we’d faced and helped – that’s the difference now. We were given a three-week visa to enter Australia. I got a fair go when I arrived and the Government officials listened to my story and issued me with refugee status under the UN Convention .” Jagath worked in a five star hotel in Sydney and organised workers into a union, then joining what is now United Voice in 1997.

      Delete
    2. @ Anonymous 14 June 2016 at 09:45

      මොකද කොටස් විතරක් දාලා?

      මෙන්න සම්පූර්ණ ලිපියට පාර.
      http://www.amwu.org.au/harmony_day_celebrating_diversity_jagath_s_story

      මෙන්න තවත් කොටසක්.
      "he had to leave his beloved motherland of Sri Lanka due to political oppression between1987and 1990. “My concern is that politicians around the world have changed since then; there are some short-sighted people prepared to use the race card for power,” he said.

      Jagath grew up at a time when a right-wing Government used the security forces ruthlessly against young left activists, shutting universities to stifle protests for a progressive and vibrant democracy. Up to 60,000 people were abducted and killed. He was part of a leftist youth movement which wanted to end race-based politics and to build solidarity among working people.

      “Some of my closest friends were killed during this period, I didn’t want to leave but my parents were adamant I had to get out. They sent me out of the country,” Jagath said. From Singapore, he and four other young Sri Lankans had nowhere to go, so they crossed to Malaysia."

      තාරබර ගැන කියන්නේ ඔහේ ද එතැන ඇටර්නි වැඩේ කළේ?

      තාරබර තේරෙයි කොහෙමටත් ටයර් සෑයක අවසන් ගමන ගියා නම්!

      Delete
  4. අදාළ නැත! :)

    ReplyDelete
  5. ඔන්න රසිකගේ ජාතිවාදය එලියට ආවා. මහ ලොකුවට කතා කරන්නේ නං ජාතිවාදයට, වර්ගවාදයට විරුද්දව. හැබැයි මෙන්න වැඩ. කියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයි. කඩේත් යනවලු.

    රසිකගේ වර්ගවාදය එලියට ආ අයුරු. ලැජ්ජයි නේ රසික. ආයේ ලංකාවේ මිනිස්සු ජන්දේ දෙනකොට බන කියන්න එන්න එපා මෙහෙ අයට. ජාතිවාදයට විරුද්ධයි කියන ප්‍රොෆයිල් ෆොටෝ එකත් අයින් කරන්න.

    ReplyDelete
    Replies
    1. ඔබ ජාතිවාදය හෝ වර්ගවාදය යන්න පිළිබඳ හයක්-හතරක් නොදත් සමාජීය බබෙකු බව නම් පෙනේ.

      කරුණාකර විකිපීඩියාවටවත් ගොස් ඉගෙන ගන්න.

      Delete
    2. මෙහි මිතුරුවාදයක් ඇතැයි කිවහොත් පිළිගන්නිමි. එනම්, දේශපාලන අදහස් අමතක කර මිතුරෙකුට චන්දය දෙන්නට සිතීම සහ ඉල්ලීම ය.

      මේ ලිපියේ එක් තැනක ප්‍රතිපත්ති පාවා දීමක් ගැනද සඳහන් ය. ඒ මා ජෙප්පන් ගේ මානෙල් මලක් මිලට ගැනීමයි.

      Delete
    3. මේවට කියන්නේ ඩබල් ලයිෆ් ඕවා අද ඊයේ පටන් ගත්ත එවා නොවෙයි නේ

      Delete
    4. @ Anonymous 14 June 2016 at 09:15

      බ්‍රිස් ක්‍රිෂ් මේට් - කියන්නකෝ බලන්න මාත් නොදන්නා ඔය ඩබල් කතා?

      Delete
  6. අදාළ නැති උනත් කියෙව්වා.. හොඳ මිනිහෙක් කියල නම් හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. හොඳ මනුස්සයෙක් නිසායි පැය දෙකකටත් වඩා ගත කර මේ ලිපිය ලිව්වේ.

      Delete
  7. මොන ජාතියෙ වාහනද ලැබෙන්නෙ? එස්කෝට් කොච්චරද? සම්බන්දීකරන ලේකම්ල කීයද?

    ReplyDelete
    Replies
    1. ටැක්සි වවුචර් හෝ පූල් කාර් තමයි.

      Delete
  8. අවුරුදු 25 කට අධික කාලයක් ඔස්ට්‍රේලියාවේ දිවි ගෙවන අපේ චූටි මාමාගෙන් (ඒ කිව්වෙ අම්මෙග බාලම මල්ලි ) අපිට ලැබුණු උපදෙස..ඔස්ට්‍රේලියාවට ඇවිල්ලත් කඩේ යන ගොට්ට අල්ලන අයගෙන් පරිස්සම් වෙන්න කියලා

    ReplyDelete
    Replies
    1. බ්‍රිස් ක්‍රිෂ් මේට් - දැන් මේ ජෝක් එක ඇපිල්ලුවා ඇති.

      Delete
    2. පව් අහිංසකයා ,කඩේ අයිති එකාට පණිවිඩේ දෙන්නම්

      Delete
  9. ජගත් දැන් ඉන්නේ කුරු‍ටුගාමීන් සමග නේද?

    ReplyDelete
    Replies
    1. එවැනි පිරිසක් ගැන නොදනිමි.

      Delete
  10. මෙය පෙරටුගමින් නමින් වෙනස් විය යුතුයි . ලොකු පෙරට ගමනක් නැතිවුණාට

    ReplyDelete
    Replies
    1. ජගත් බණ්ඩාර පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ යැයි සිතමි. ප්‍රේමකුමාර් ගුණරත්නම් ගේ සිනුවර කමින් ඔෆ් ඒජ් රැස්වීමේ මුලසුන දැරුවේ ජගත් බණ්ඩාර යි.

      Delete
  11. "The Liberal/National ticket should win at least five seats, Labor should win four, and the Greens should win one. This leaves the last two seats up for grabs, with the three big tickets all competing to win an additional seat."
    Jagath is in 8th in labour list. He has no even outside chance of winning.

    https://en.wikipedia.org/wiki/Candidates_of_the_Australian_federal_election,_2016#New_South_Wales_2

    ReplyDelete
    Replies
    1. සෙනෙට් ඡන්දයේ නීති වෙනස් වී ඇත. දැන් ඇත්තේ පක්ෂ ක්‍රමයකට වඩා මනාප ක්‍රමයකි.

      ලිස්ට් සහ ඒවායේ අනුපිළිවෙල කුමක් වුවත් වැඩි පිරිසක ගේ මනාපය ලබන අපේක්ෂකයින් ජය ගනු ඇත.

      Delete
  12. යවමු යවමු......... අපේ කට්ටියට ඇහෙන්න කියන්න එපා... ඡන්දයක් කියලා රතිඤ්ඤත් දායි......

    ReplyDelete
  13. බ්ලොග් පොස්ට් දාලා විතරක් මදි. පෝස්ටර් පාරක් ගහලා, වාහන පෙළපාලියක් ගිහින්, මළගෙවල් ටිකක් කවර් කරලා ගන්න ඕන.

    ReplyDelete
    Replies
    1. දෙමු ගේම් එක එහෙනම්, ගහමු සිසිලිවලත් පෝස්ටර්, අත මිලානෝවල හෙමත් ගහන්නේ!

      Delete
  14. ජගත් බණ්ඩාර මා සමග පාසලේ 1, 2 ,3 ශ්‍රේනි වල සිටියා; සොඳුරු මිනිසෙක්

    ReplyDelete
    Replies
    1. ඉතාමත් ප්‍රිය මනාප පුද්ගලයෙකු තමයි!

      Delete
  15. රසික මේක මිතුරන්ගෙන් කරන ඉල්ලීමක්ද දේශපාලනික ප්‍ර‍චාරක පණිවිඩයක්ද.මම ජගත් ට ජන්දේ දුන්නොත් දෙන්නේ ඔහු ලාංකිකයෙකු නිසා සහ ඔහු නාලන්දියෙකු නිසා.ජ වි පෙ සහ පෙරටුගාමී කතාව අදාලම නෑ .හැබැයි ඒක මැතිවරණයේදි අවාසි සහගත වෙයි

    ReplyDelete
    Replies
    1. මෙහි මා කියා ඇති දේ අතරින් වාක්‍ය කිහිපයක් උපුටා දක්වන්නද?

      1. ජගත් බණ්ඩාර යනු ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු ය යනුවෙන් මගේ සිතේ රැඳුණි.

      2. මම ජගත් බණ්ඩාර යනු ආදී නාලන්දියෙකු බවත්, සමාජ සේවයට කැමැති අයෙකු බවත් හඳුනා ගතිමි.

      3. එකිනෙකා සමග සිනාවක් සහ වචන කිහිපයක් හුවමාරු කර ගන්නා මිත්‍රතත්වයක් අප අතර ඇති වී තිබුණි.

      4. ජගත් සහ තවත් කිහිප දෙනෙකු එදා උත්සව ශාලාවේ කුටියක "මානෙල් මල්" විකුණමින් සිටියහ.

      වර්ගවාදී යුද්ධයට එක ශතයක්වත් නොදෙමි ය කියා මා දශක දෙකක් පුරා සිටි ස්ථාවරය එදා බිඳ දමන්නට ජගත් බණ්ඩාර ගේ මිත්‍රත්වය සමත් වූ අතර මගේ ශතයකට නොව ඩොලර් දෙකකට ම කෙලවිය!

      5. "ෆ්‍රෙන්ඩ්ස්" නම් සංවිධානයක් විසින් ලංකාවේ ළමා නිවාසයකට හෝ එවැනි වැඩ පිළිවෙළකට ආධාර පිණිස සාදයක් සංවිධානය කෙරුණි. බිරිඳ සමග මා සභභාගී වූ මේ උත්සවයේ ද එක් සංවිධායකයෙකු වූයේ ජගත් බණ්ඩාරය. ඒ වැඩ පිළිවෙළ දේශපාලන පක්‍ෂයකට හෝ වෘත්තීය සමිතියකට හෝ අයත් එකක් නොවී ය.

      6. පියාපත් නම් ළමුන්ට ශිෂ්‍යත්ව ලබා දෙන වැඩ පිළිවෙළට ජගත් බණ්ඩාර නායකත්වය දෙයි.

      7. මා මේ පවසමින් සිටින්නේ ජගත් බණ්ඩාර යනු හොඳ මිනිසෙකු බවයි. ඔහු වැන්නෙකු ඕස්ට්‍රේලියානු සෙනෙට් සභාව වැනි උත්තරීතර ආයතනයකට තේරී පත්වීම සමස්ත ලාංකික සංක්‍රමණික ප්‍රජාවට මෙන්ම පොදුවේ ඕස්ට්‍රේලියාවට ම වැදගත් වෙනු ඇත.

      8. මා සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියානු ලේබර් පක්‍ෂයට ඡන්දය දෙන්නෙකු නොවේ. ඒබීසී සේවයේ ඡන්ද මාලිමා ප්‍රතිඵලය අනුව ද මගේ නැඹුරුව ඇත්තේ හරිත පක්‍ෂය දිශාවට ය.

      9. ජගත් බණ්ඩාර ගේ නමට ඉදිරියෙන් අංක 1 යොදන්න. එතැන් සිට ඉතුරු මනාප ඔබ කැමති පක්‍ෂවල, කැමති අපේක්‍ෂකයින් එකොළොස් දෙනෙකු සඳහා යොදන්න.

      Delete
  16. ඡන්ද ප්‍රචාරය හරිම අවදානම් බව යහපාලනේට ප්‍රචාරය දීල ඇණගෙන හොම්බෙන් ගිය මෙහෙ අය නං දන්නවා.

    ReplyDelete
    Replies
    1. මිතුරෙකු ගේ ඡන්ද අපේක්‍ෂත්වය ගැන ලියා, ඔහුට ඡන්දය දෙන්න යැයි ඉල්ලීමත්, මිතුරෙකු ගේ බ්ලොගයක් ගැන ලියා එය කියවන ලෙස කීමත් අතර ලොකු වෙනසක් මට නම් නොපෙනේ, මිතුර!

      1. http://rasikalogy.blogspot.com/2015/05/anything-better-to-do-on-this-sunday.html

      2. http://rasikalogy.blogspot.com/2016/04/jagath-j-edirisinghe-enteres-sinhala.html

      Delete
  17. ලේබර් පක්ෂයේ ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටීමට සෙනෙට් සභාවට පත්වීමේ තරඟයට ඉදිරිපත්වීමට නිව්සවුත්වේල්සයේ ආසියානුවන් මෙන්ම ලාංකිකයින් අතරින් සුදුසුම පුද්ගලයාට අවස්ථාව ලබාදී ඇත. ජගත් බණ්ඩාර පසුගිය කාලය පුරාම නොකඩවා ප්‍රජා හා දේශපාලන කටයුතුවල නොබියව නියැලෙන, නිතරම නම අසන්නට ලැබෙන සමාජ ක්‍රියාකාරිකයෙකි. ඔහුගේ දක්ෂකම් හා කැපවීමේ හැකියාවන් ඉහල තලයකට ජාතික තලයට ගෙනයාමට ලැබේවායිද නිව්සවුත්වේල්ස් වාසී ශ්‍රී ලාංකික සැමගේ සහයෝගය ලැබේවායිද පතමි.

    නිහාල් එම් රූපසිංහ

    ReplyDelete
  18. ජගත් බණ්ඩාර මනුස්සයෙක් වශයෙන් හොඳ කෙනෙක් වෙන්න ඇති. මම ජගත්ව පෞද්ගලිකව ඇසුරු කරල නැති නිසා ඒ ගැන කියන්න දන්නෙ නැහැ. අනිත් අතට මනුස්සය හොඳ කෙනෙක් වීම ඔහුට ඡන්දයක් දීමට ප්‍රමාණවත්ද කියන එක ගැනත් ඔහු රසිකගෙ මිතුරෙක් වීම ඊට සුදුසු කමක්ද කියන එක ගැනත් මම මුකුත් කියන්න යන්නෙ නැහැ. හැබැයි ජගත් බණ්ඩාර තමුන්ගෙ ලංකාවෙ කම ඇද ගෙන ඡන්ද ගන්න හදනව නම් (හෝ රසික එවැන්නක් කිරීමට බලාපොරොත්තු වෙනව නම්) මේ ටිකත් නොකියම බැහැ.

    ලේබර් පක්ෂෙ කියන්නෙ එදා ඉඳන්ම කොටිනට පක්ෂ ස්ථාවරයක හිටි පක්ෂයක්. ඔය පක්ෂෙ එදා ඉඳන්ම කලේ කොටින්ට හිතවත්ව කටයුතු කරන ගමන් අපිට ජගත් බණ්ඩාරල වගේ වගේ කැරට් අල පෙන්නල ඡන්ද ගන්න එක. නිව් සවුත් වේල්ස් පාර්ලිමේන්තුවෙ හිටිය වර්ජීනියා ජජ් කියන මංත්‍රීවරිය කට්ටියට මතක ඇතිනෙ. කෞශල්‍යන් මැරුණු වෙලාවෙ මෙයා නිව් සවුත් වේල්ස් පාර්ලිමේන්තුවෙ කෞශල්‍යන් ඝාතනය ගැන විරෝධය පාල කවියක් කියන්ව. ජගත් බණ්ඩාරව කියවන්න කලින් පුළුවන් නම් ඒ කවිය හොයා ගෙන කියවන්න. ඒක කියවන්න වටින කවියක්. ඒ ටිකක් ඉස්සර. ඊට පස්සෙ මෑතකදි වික්ටෝරියා ප්‍රාන්තයෙ ජීලොන්ග් වල තියෙන ලේබර් කාර්යාලෙක ප්‍රසිද්දියෙ කොටි කොඩිය ඉස්සුව. මේව ලේබර් පක්ෂෙ නොදැන කරපුව නම් නෙමේ. මේවට ලංකාවෙ කොටි විරෝධී සංවිධාන විරෝධය දැක්වුවහම බොහෝවිට ලේබර් පක්ෂෙ කරන්නෙ එක්කො ඒව නොතකා හරින එක, එහෙම නැත්නම් ඒ වෙලාවට මොනව හරි කියල ශේප් වෙන එක. මතක නැති අයට තව මතක් කරල දෙන්න පුළුවන්. කෙවින් රඩ් තමුන්ගෙ දෙවනි ධූරකාලය අවසානයේ චන්දෙට දවස් දෙකක් තියල මෙහෙ තියෙන කොටින්ගෙ ප්‍රොක්සි සංවිධානෙකට ඩොලර් 77,000ක් දුන්න. ඒක දුන්නෙ තමුන් ඡන්දෙන් පරදින්න යන බව දැනගෙන අන්තිම මොහොතෙ කොටි හිතවත් ඡන්ද ටික ගන්න බලාගෙන. ලේබර් පක්ෂයේ උප නායක ටාන්යා ප්ලිබසෙක් ලංකාව යුධ අපරාධ කලා යැයි කියමින් එක්සත් ජාති‍ඟේ සංවිධානයට ගෙනෙන ලද යෝජනාවට පක්ෂව කතා කල හැටිත් මේ වෙලාවෙ මතක් කර ගන්නව නම් හොඳයි.

    මේ ලින්ක් එකේ තියෙන්නෙ වික්ටෝරියාවෙ වොන්ටර්නා ප්‍රදේශයෙන් පත්වෙලා ඉන්න ලේබර් සෙනට් සභික ජෝන් මැඩිගන් පසුගිය මැයි මාසෙ Tamil Genocide Remembrance Day කියල එකකට ගිහිල්ල තියපු සටහන. ලංකාවෙ ඉතිහාසය ගැන මෙලෝ දෙයක් දන්නෙ නැතුව ඒ උත්සවේට ගිහින් තමුන්ට ලැබුණු සැළකිලි සහ එතනදි අහපු දේවල් මත පදනම් වෙලා ලංකාව සම්බන්ධයෙන් මේ අය මැදිහත් වෙන්නෙ කොහොමද කියල නොදන්න අයට මේක බලල දැන ගන්න පුළුවන්.

    මම දන්න තරමින් ලේබර් පක්ෂෙ ලංකාවට පක්ෂ ස්ථාවරයක් එළිපිට ප්‍රකාශ කලේ හිටපු නිව් සවුත් වේල්ස් අගමැති බොබ් කාර් විතරයි. හැබැයි ඒක කිව්ව කියලත් පක්ෂෙ ඇතුළෙන්ම එයාට විරුද්ධව ලොකු විරෝධයක් මතු වුණා.

    අවශ්‍යනම් මේක ලියන්නෙ ලිබරල් පක්ෂෙට හිතවත් කෙනෙක් කියල හිත හදාගන්න බලන්න. හැබැයි මට පෙන්වන්න ඕනෙ උනේ ජගත් බණ්ඩාරලව පෙන්නල ලේබර් පක්ෂෙ අපෙන් වහන්න හදන්නෙ මොකක්ද කියන එක. ඒක නිසා අපිට ජගත් බණ්ඩාරගෙන් අහන්න තියෙන්නෙ ලංකාරාමෙ වාහන හසුරුවන්න දායක වුණු හැටි ගැන නෙමේ, මේවට විරුද්ධව ලංකාවෙ මුල් ඇත්තෙක් හැටියට පක්ෂෙ ඇතුළෙ මොනවද කලේ කියන එක. තව තියෙනව,, හැබැයි දැනට එච්චරයි.

    https://www.facebook.com/SenatorJohnMadigan/photos/?tab=album&album_id=995545437181929

    ReplyDelete
  19. Jagath Bandara was the most vociferous debater in the school circles during 1985-1986 when he was representing Nalanda Debating team. He was the 4th speaker in the team and had a unbelievable ability to pounce on any argument that others had. A truly humble guy and an inspiring leader from those days

    ReplyDelete
  20. ප/ප/ලි:
    ඡන්දයෙන් සති කිහිපයකට පසු අවසාන ප්‍රතිඵලය නිකුත් විය. ජගත් බණ්ඩාර ගේ ඕස්ට්‍රේලියානු කම්කරු පක්‍ෂයට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට හිමි සෙනෙට් ආසන දොළහෙන් ලැබුණේ හතරක් පමණි. ජගත් බණ්ඩාර ලබා තිබුණේ ඡන්ද ප්‍රමාණය අනුව හයවෙනි ස්ථානයයි.

    ඊළඟ මැතිවරණය තව වසර තුනකින් පැවැත් වේ!

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.